IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මේ ගේම් එක ගහන්න පුළුවන් රනිල්ට විතරයි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති
අකිල  විරාජ් කාරියවසම්

 

අර්බුදකාරී දේශපාලන වටපිටාවක එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි කීමට තවමත් අපොහොසත් වී ඇත. මේ ඒ පිළිබඳව සහ තවත් ප්‍රශ්න කීපයකට එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබා දුන් පිළිතුරුය. 

කෝ යූඑන්පී එකේ ජනාධිපති අපේක්ෂකයා?  


අපි මුල ඉඳලම තීරණය කළේ අපි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. හැමෝටම එකඟවිය හැකි, පක්ෂ පාට භේදයකින් තොරව පොදු ලකුණකින් සහ පොදු සන්ධානයකින් අපේක්ෂකයා දාන්න හිටියේ. ඒ වැඩපිළිවෙළ අපි හදාගෙන ගියා. ඒ ගිවිසුම අත්සන් කරන්න ඉඳපු දිනය කල් දාන්න සිද්ධ වුණා. ඒක වුණේ‍ පිරිසක් මේක තවත් සංශෝධනය වෙන්න ඕනෑ කියලා කියපු නිසා. ඒක ඉතා ඉක්මනින් පවත්වනවා. ඒ සංවිධානයට අදාළ වැඩ ගොඩක් මේ වෙනවිට අවසන් කරල තියෙන්නේ. ඒ වැඩ ඉවරවුණු ගමන් අපි අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපිට හදිසියක් නෑ. ජනාධිපතිවරණයට තව මාස තුන හතරක් තියෙනවනේ. ගිය සැරේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ මාස එකහමාරක් වගේ පොඩි කාලයක් ඇතුළත. ඒක නිසා දේශපාලනය දන්න අයට තේරෙනවා ඇති මෙතන ගැටලුවක් නැති බව.  


ඔබ කිව්වට අපිට හදිස්සියක් නෑ කියලා පක්ෂෙ ඇතුළෙ කචල් ටික නිසා නේද තාම අපේක්ෂකයා කවුද කියලා කියාගන්න බැරි වෙලා තියෙන්නේ?  


වෙනත් අදහස් තිබුණු නිසා තමයි අපි සන්ධානය ගිවිසුම්ගතවීම කල් දැම්මේ. පක්ෂයේ ඕනැ කෙනෙක් ඉදිරි ජනාධිපතිවරණය දිනන්න හිතනවනම් පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙන්න ඕනැ කියන යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. අපිට මේ ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් විතරක් දිනන්න බෑ. ඒකට තව ඡන්ද ප්‍රමාණයක් අපිට එකතු කරගන්න වෙනවා. ඒ හැම ඡන්දයක්ම තීරණාත්මකයි. ඒවා අමතක කරලා යන්න බෑ. අපි හැමෝම එක අදහසකට එන්න ඕනැ. පක්ෂයේ එකමුතුකම ආරක්ෂා වීම වැදගත්. අපි නොබෙදී ගියොත් දිනන්න පුළුවන්. බෙදුණොත් අමාරුවෙ වැටෙනවා. එක්සත්ව ඉදිරියට යද්දී අපි හැමෝටම යම් යම් කැපකිරීම් කරන්න වේවි.  

 

ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕනැ වෙලාවක් මේක. මේ සටන මෙහෙයවන්න පුළුවන් කෙනා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. කොටින්ම කියනවනම් මේ ගේම් එක ගහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට තමයි


නොබෙදුණොත් දිනනවා කිව්වට හරි පැහැදිලියි නේ රනිල් - සජිත් දෙපැත්තට අදිනවා කියලා. ප්‍රශ්න නෑ කියල හංඟනවට වඩා විවෘතව ඒවා විසඳන්න බලන්නේ නැත්තේ ඇයි?  


ප්‍රශ්න නෑ කියලා මම කියන්නෙ නෑ. අපිට විතරක් නෙවෙයි. බලන්නකො අනික් පක්ෂවල තියෙන ප්‍රශ්න. මේක අපිට ඇතුළෙ විසඳගන්න බැරි තත්ත්වයක් නෙවෙයි. එක එක්කෙනා විටින් විට තම තමන්ගේ පුද්ගලික මත මාධ්‍යවලට එහෙම ප්‍රකාශ කරනවා. ඒත් අපි එකට ගමනක් යනවනම් පුද්ගලික මතවලින් බැහැර වෙලා සාමූහික මතයකට එන්න ඕනැ. මීට කලිනුත් මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්න අලුත් ප්‍රශ්න නෙවෙයි. අපිට මේවා ඉතා ඉක්මනින් බේරුමක් කරගන්න පුළුවන්. අපේ පක්ෂයේ ඉන්න හැමෝම ආරක්ෂා කරගැනීම තමයි මගේ නම් අදහස. කවුරුවත් නිසා තවත් කවුරුවත් පක්ෂෙන් යන්න ඕනැ නෑ. කාටවත් කඩාගෙන යන්න දෙන්න බෑ. මහලේකම්වරයා විදිහට මම උත්සාහ කරන්නේ මේ කවුරුත් එක්ක පක්ෂය ගැට ගහගෙන ඉදිරියට යන්න.   


සජිත් ප්‍රේමදාස නම් දිගටම කියනවා එයා තමයි ජනාධිපති අපේක්ෂකය. වෙන විකල්ප නෑ කියලා.....  


තාම අපේ පක්ෂය එහෙම තීරණයක් අරගෙන නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකතුවෙලා තමයි ඒ ගැන අවසන් තීන්දුව අරගන්න ඕනැ. එතකං අපි කාටවත් කියන්න බෑ අහවලා තමයි අපේක්ෂකයා කියලා.  


පක්ෂ නායකයා මේ වෙලාවෙ ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරලා..... සමහර එජාප මන්ත්‍රීවරු නොකියා කියනවා.......  


නෑ. ඒ කතාව සම්පූර්ණ අසත්‍යක්. එතුමා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒකාධිපති නායකයෙක් නම් එහෙම නෙවෙයි වැඩ කරන්නේ. ඔහු හැමෝගෙම අදහස්වලට ඉඩ දෙනවා. ඕනෑ කෙනෙකුගෙ අදහසකට ඇහුම්කන් දෙන නායකයෙක්. එතුමා තරම් ඉවසීමෙන් වැඩ කරන නායකයෙක් නැති තරම්. පක්ෂය කැඩෙන්න නොදී මෙච්චර කල් රැකගත්තු නායකයා. අපේ පාක්ෂිකයො ඒ කාරණය තේරුම් ගන්න ඕනැ. කවුරු මොන විවේචන ඉදිරිපත් කළත් රනිල් වික්‍රමසිංහ කියන්නේ දූරදර්ශී නායකයෙක්. එහෙම පරිණත නායකයෙකුට විවේචන එල්ල කරන්න බෑ.  


සන්ධානයක් හදලා පොදු අපේක්ෂකයෙක් දානවට යූඑන්පීයේ බොහෝ දෙනෙක් එකඟ නෑ නේද? පසුපෙළ මන්ත්‍රීවරු මේකට ගේම ඉල්ලනව වගේ......  


දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙනw ඕනෑ කෙනෙක් දන්නවා මේ තියෙන තත්ත්වය උඩ සන්ධානයකින් තමයි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනැ කියලා. එක්සත් ජාතික පක්ෂය වටා අනෙක් සියලු බලවේග එකතු කර ගන්න ඕනැ. අපිටත් කියන්න පුළුවන් අරයා දාන්න මෙයා දාන්න කියලා. ඒත් දිනන්න පුළුවන් කෙනා කවුද කියල හරියටම තීන්දු කරන්න ඕනැ. මේකෙදි අපේ පුද්ගලික ඕනැ එපාකම්වලට වඩා පොදු අදහසක් අවශ්‍ය වෙනවා.  


තරුණ මන්ත්‍රීවරුන්ට අත්දැකීම් ප්‍රයෝජනවත් වෙන්නේ මේ වගේ වෙලාවල්වදි තමයි. ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕනැ වෙලාවක් මේක. මේ සටන මෙහෙයවන්න පුළුවන් කෙනා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. කොටින්ම කියනවනම් මේ ගේම් එක ගහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට තමයි.  


ඔබ ඔය නොකිය කියන්නේ සජිත් දාලා ඉල්ලං කන්න වෙනවා වගේ තත්ත්වයක් තියෙනවා කියලද?  


නෑ. මම එහෙම කියන්නේ නෑ. මේ සටනට නායකත්වය දෙන්න ඕනැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.​ මේක අවදානම් ගන්න හෝ අත්හදා බැලීම් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. නිසැක ජයක් ගතයුතු මොහොතක අපි ඉන්නේ.  


කවුද ඉතිං ඔය කියන විශ්මකර්ම අපේක්ෂකයා......  


ඒක අපේ පක්ෂය සහ අපිත් එක්ක එකතුවෙන සියලු දෙනාගෙ පොදු තීන්දුවකින් තෝරා පත්වෙන කෙනෙක්.  


ඒ කියන්නේ අපේක්ෂකයා පහුගිය වතාවල්වල වගේම හයර් කරන්න වෙයි.......

  
නෑ. නම් තුනයිනෙ දැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නම් තුන මත තමයි මේ දෝලනය සිද්ධ වෙන්නෙ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය අතරේ තමයි තීන්දුව දෝලනය වෙන්නේ. මේ නම් තුනෙන් වැඩිම සුදුස්සා අපි ගේන්න ඕනෑ. 

 

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය අතරේ තමයි තීන්දුව දෝලනය වෙන්නේ. මේ නම් තුනෙන් වැඩිම සුදුස්සා අපි ගේන්න ඕනෑ

 
ඔබ කියන විදියට සීන් එකේ ඉන්නේ රනිල් - සජිත් - කරු තුන්දෙනා නම් ඔය කියන සන්ධානය ඇතුළෙ ඉන්න රාජිත, චම්පික, අර්ජුන, ෆොන්සේකා වගේ අය කොයි පැත්තට ද සපෝට්?  


ඒ අයගෙ ප්‍රශ්නයක් නෑ. අපි හැමෝම පොදු අදහසකට ආවට පස්සෙ පෞද්ගලික කැමැත්ත අකමැත්ත ප්‍රශ්නයක් කරගන්න ඕනැ නෑ. මේ කවුරුත් කැමති සුසංයෝගයක් දාන්න ඕනෑ. ඒක හදාගන්න තමයි අපි දක්ෂ වෙන්න ඕනැ. මේ කාගෙවත් හිත් නොරිදෙන අවසන් උත්තරයක් හදාගන්න ඕනැ.   


ඔය ගොඩනැගෙන්න හදන සන්ධානෙ මහ ලේකම්කම යූඑන්පී එකෙන් ගැලවෙනව කියලා කතාවක් තිබුණා.......  


දැන් ඒ ප්‍රශ්නය සමතයකට පත්වලො. කවුරුත් වගේ දැන් එකඟතාවකට ඇවිත් තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ඒකෙ මහලේකම්කම ලැබිය යුතුයි කියලා.  


ඒකෙ ව්‍යවස්ථාවත් අන්ඩර දෙමළයක් වගේ කියලා කතාවක් යූඑන්පී මන්ත්‍රීවරුම කිව්වා......  


දැන් ඒකෙ යම් යම් සංශෝධන සිද්ධවෙලා පැහැදිලි තැනකට ඇවිත් තියෙනවා. තාමත් මේ ගැන කාටහරි ප්‍රශ්න තියෙනව කියන්න මං දන්නෙ නෑ. ආපු අදහස් උඩ ඒක සංශෝධනය කළා. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.  


ඒවා සිද්ධ වුණේ යූඑන්පීයේ අය නොදැනුම්වත්ව කියලත් කියවුණා. චතුර සේනාරත්නගෙ ගෙදර මේවා සිද්ධ වුණා කියලත් කියවුණා......  


නෑ. ඒවා බොරු කතා. මේ සියල්ල සිද්ධ වුණේ‍ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් අරලිය ගහ මන්දිරේදී.  


දැන් ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් කරළියට ඇවිත්. ඔබලගේ ප්‍රමාදය ජයග්‍රහණයට බාධාවක් නෙවෙයිද?  


නෑ. ඒක කිසිම ගැටලුවක් නෙවෙයි. දැනට කරළියට ආපු අය මේ වෙද්දීත් ආරවුල් හදාගෙන. බලන්න තව ටික දවසක් යනකොට ඔය කට්ටියට මොකද වෙන්නේ කියලා. 2015දී පොඩි කාලයක් ඇතුළත අපි වැඩ කරලා අපේ අපේක්ෂකයා දිනෙව්වානේ. අපේ පක්ෂෙ හැමෝම එක වගේ හිටියොත් මේක ලොකු අමාරුවක් නෑ. තනි තනි ගේම් ගහන්න ගියොත් නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.  


අජිත් පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, රංජිත් මද්දුම බණ්ඩාර වගේ අය සජිත් ප්‍රේමදාසවනේ කරේ තියාගෙන යන්නේ. සජිත් නොදැම්මොත් බලාගමු වගේ එකක් ඒ ගොල්ලො කියනව නේ......  


ඔය වගේම තවත් පිරිසක් තව තව මත ඉදිරිපත් කරනවා. මත දෙකක් තියෙනවා. ඒත් බහුතර මතයට ඉඩ දෙන්න ඕනැ. අවසානයේ කාටත් එක මතයකට එන්න වෙනවා.  


පහුගිය ජනාධිපතිවරණයේදී ඔබල තොරොම්බල් කරපු ලසන්ත, තාජුඩීන්, සුදු වෑන්, හොරකම්, දූෂණ වගේ මාතෘකා තවදුරටත් කියන්න පුළුවන්ද? ඒ ගැන චෝදනා කරපු අය මේ අවුරුදු හතර හමාරට ඔබලම නේද හුරතල් කළේ?  


ඒකත් වැරදි මතයක්. ඒකත් රාජපක්ෂ මාෆියාවේම තවත් කොටසක්. අපිට ඒ අය හුරතල් කරන්න ඕන වුණා නම් එෆ්.සී.අයි.ඩී. දානවද? විශේෂ අධිකරණ දානවද? තිබුණු අධිකරණ පද්ධතියෙන් මේක කරන්න අමාරු නිසා තමයි මේවා ස්ථාපිත කරලා හොරකම් දූෂණ ගැන පරීක්ෂණ කළේ, ඒවා ඉවර නෑ තාම. කාලයක් ගතවුණා තමයි. හැබැයි පියවර නොගෙන හිටියේ නෑ. ඒ අයට තියෙන චෝදනා නිෂ්ප්‍රභා වෙලා නෑ තාම. ඒක මතක තියාගන්න.  


ඔය හොරකම් දූෂණ ගැන චෝදනා තියෙනවා කියල කියන පැත්තෙන් ආපු ගෝඨාභය මුණගැහෙන්න යූඑන්පී එකේ කබීර් හෂිම්ලා, සාගල රත්නායක වගේ අය හොරෙන් හොරෙන් ඇදෙන්නෙ මොකද?  


ඒක හොරෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඒක පෞද්ගලික දෙයක්. අපි දේශපාලනිකව දෙපැත්තක හිටියට පුද්ගලික හිතවත්කම් තියෙන්න පුළුවන්.  


ඩීල් එහෙම නෙවෙයිනේ?  


නෑ. අපිට මේවට ඩීල් කියල කියන්න බෑ. මඟුලක් මරණයක් කිව්වම අපි කාගෙ වුණත් යනවනේ. මේ දෙන්නම ගෝඨාභය රාජපක්ෂ බලන්න ගිහින් තියෙන්නේ අසනීප වෙලා ඉඳපු නිසා කියලා තමයි එයාලා දැනුම් දීලා තියෙන්නේ. ඕවා ලොකුවට ගණන් ගන්න ඕනැ දේවල් නෙවෙයි.  

 

මම මහලේකම්කම ගත්තේ පක්ෂය අසීරුම අඩියක තියෙද්දී. හොඳටම වැටිලා තියෙද්දී අරගෙන මම මේ තැනට ගෙනාවේ. මම මහලේකම්වරයා විදියට සතුටු වෙනවා මේ තරම් උඩට පක්ෂය ගේන්න පුළුවන් වුණු එක ගැන.


රනිල් - සජිත් - කරු කියන නම් තුනෙන් පුද්ගලිකව ඔබේ වැඩි කැමැත්ත කාටද?  


මේ කවුරුත් පක්ෂයට වටිනවා. කවුරුත් අවශ්‍යයි ජයග්‍රහණයට. පක්ෂෙ මහලේකම් විදියට මේ කවුරුත් එකතු කරගෙන පක්ෂය දිනවීම තමයි මගේ එකම අරමුණ. ඒත් මම පුද්ගලිකව විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙකුට රට ඉදිරියට ගෙනියන්න විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් කියලා. ඉවසීම, දරාගැනීම, අත්දැකීම් අතින් ඔහු ඉතා ඉහළ තැනක ඉන්නේ. එතුමාගෙන් රට තව වැඩ ගන්න ඕනැ. මේ වගේ නායකයෝ ආපහු බිහි වෙන්නෙ නෑ.  


පසුපෙළ මන්ත්‍රීවරු මේ සැරේ නම් රනිල් වික්‍රමසිංහ එක්ක ගේමට වගේ එන්නේ?  


එක එක්කෙනාට පුද්ගලික අදහස් ඇති. ඒ සමහර අය ඊළඟ වතාවේ පාර්ලිමේන්තු එන විදිහ හිතනව ඇති. එයාලට ජනප්‍රිය වෙන්න පුළුවන් කවුරු එක්ක ගියොත්ද කියල හිතනව ඇති. ඔය කොයි දේත් යටයි පක්ෂ විනයට. පොදු තීන්දුවක් ගත්තොත් ඒකට එකඟ විය යුතුයි.  


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් දැන් සජිත් ප්‍රේමදාසට සුදු හුනු ගානව නේද. මොකාටද මේ එන්නේ?  


ඒ පිළිබඳවත් ගොඩක් අයගෙ ප්‍රශ්නයක් තියෙනවා. අපේ අය අතරම මේ ගැන යම් විචිකිච්චාවක් තියෙනවා. අපි මේවයින් පරිස්සම් වෙන්න ඕනැ. අපේ පක්ෂයේ ප්‍රශ්න ඇති වෙන්න දෙන්න හොඳ නෑ. පක්ෂය කාටවත් කඩන්න දෙන්න බෑ.  


මෛත්‍රී - සජිත් ඩීල් එකක් යටින් යනවා කියලා පොඩි පොඩි ආරංචි යනවා. ඔබත් ඒ බව දන්නවද?  


අපේ ප්‍රාර්ථනය එහෙම දෙයක් නොවේවා කියලා. හැබැයි අපිට කිසිම දෙයක් ගැන අනාවැකි කියන්න බෑ.  


කරළියට ආපු ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නගෙන් ඔබලට තියෙන අභියෝගය කොහොමද?  


කිසිම අභියෝගයක් නෑ. දෙගොල්ලොම පරාද කරලා අ​පේ අපේක්ෂකයා දිනන හැටි බලාගෙන ඉන්න.  


ඔබ පක්ෂ මහලේකම් වුණු දවසෙ ඉඳලා පක්ෂෙ ඇතුළෙ කචල්නෙ......  


එහෙම කියන්න එපා. මම මහලේකම්කම ගත්තේ පක්ෂය අසීරුම අඩියක තියෙද්දී. හොඳටම වැටිලා තියෙද්දී අරගෙන මම මේ තැනට ගෙනාවේ. මම මහලේකම්වරයා විදියට සතුටු වෙනවා මේ තරම් උඩට පක්ෂය ගේන්න පුළුවන් වුණු එක ගැන. ගෝල්ෆේස් එක පිරෙව්වෙ මම මහලේකම්වරයා විදියට මූලික වෙලා. මම පටන් ගත්තු දවසේ ඉඳලා අද දක්වා පක්ෂයේ දියුණුව ගැන විමසිල්ලෙන් බැලුවනම් සත්‍ය පේනවා.  

 

 

සාකච්ඡා කළේ   
ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මේ ගේම් එක ගහන්න පුළුවන් රනිල්ට විතරයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site