IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මංගල - අමුණුගම - රාජිත ​මුහුණට මුහුණ ගැටෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ දින තුන හතරක්ම ගතකළේ පොළොන්නරුවේය. ජනාධිපතිවරයා පමණක් නොව මැති ඇමැතිවරුන් වැඩි දෙනකු සිටියේද පොළොන්නරුවේය. අඩු සැලකිල්ලක් ලැබුණ පොළොන්නරුව සංවර්ධනයේ ඉහළම තලයකට ගෙන ඒම මෛත්‍රීගේ දේශපාලන දිවියේ තිබූ ඉලක්කයකි. එක් අතකින් ඔහු තුළ තිබූ සිහිනයක් වූ පොළොන්නරුව සංවර්ධනය සැබෑ කර ගන්නට මෛත්‍රී ජනාධිපති වූ විගස ‘පිබිදෙමු පොළොන්නරුව’ නමින් නව වැඩ සටහනක්ද ආරම්භ කළේය. සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය, කෘෂිකර්මය, වාරිමාර්ග, ආගමික සිද්ධස්ථාන ආදී සියලු අංශ ඊට ඇතුළත් කළේ, පොළොන්නරුවේ දැවැන්ත සංවර්ධනයකට මුලපුරමිනි.


ගිය අඟහරුවාදා කොළඹ උත්සව කීපයකටම සහභාගිවී මෛත්‍රී බදාදා උදේ පොළොන්නරුව බලා පිටත්ව ගියේ පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ වැඩ නිම කළ ව්‍යාපෘති 180ක් දින තුනක් ඇතුළත ජනතා අයිතියට පත් කර නිම කරන්නටය. අගෝස්තු 1 වැනිදා ඇරැඹි විවෘත කිරීමේ මෙහෙයුම අවසන් කළේ ඉකුත් සිකුරාදා දිනයේය. නිමල් සිරිපාල, රාජිත සේනාරත්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරුන් පමණක් නොව මහ ඇමැතිවරුද වැඩි දෙනෙක් එම දින තුන පොළොන්නරුවේ ගත කළහ. දින තුනේ විවෘත වූ ව්‍යාපෘති සඳහා පමණක් වැය කළ මුදල රුපියල් කෝටි 6000ක් බව ජනාධිපතිවරයා පොළොන්නරුවට ගොස් කීවේ පොළොන්නරුවේ ජනතා ඡන්දයෙන් ඉහළටම ආ තමා පුලතිසි ජනතාවට සිය යුතුකම අකුරටම ඉටුකළ බව නොකියා පෙන්වමිනි.


ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමේ ඩිලාන් හා තිලංග දෙදෙනා මේ උත්සවවලට සහභාගිවීමද කැපී පෙනෙන සිද්ධියක් විය.


සුපුරුදු පරිදි සතියේ කැබිනට් රැස්වීම ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා උදේ රැස්වූයේ ජනාධිපති කාර්යාලයේය. එදින කැබිනට්ටුවේ වැඩි කාලයක් වෙන්වුණේ ඇමැතිවරුන්ගේ මත ගැටුම් වෙනුවෙන් බව කැබිනට් රැස්වීමේ අභ්‍යන්තර තොරතුරු විමසීමේදී මනාව පැහැදිලිය. රාජිත සේනාරත්න ඇමැතිවරයා මීට මාසයකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට චෝදනාවක් එල්ල කරමින් කියා තිබුණේ තමා ගෙනා සංවර්ධන ව්‍යාපෘති 48ක් අවුරුදු තුනක් තිස්සේ මොකුත් නොකර එකතැන පල්වෙමින් තිබෙන බවය. මුදල් අමාත්‍යාංශයේ හිරවී තිබෙන ආයෝජන ව්‍යාපෘති ගැන හොයන්නට ජනාධිපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක සහ මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් එම සාකච්ඡාවලට සරත් අමුණුගම හා චම්පික රණවක යන දෙදෙනා සහභාගි නොවූයේ වෙනත් රාජකාරි කටයුතු තිබූ බැවින් බව වාර්තා විය.


අදාළ ඇමැති කමිටු වාර්තාව ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබිණි. මංගල සමරවීර ඇමැතිවරයා කීවේ මෙම ව්‍යාපෘති ගැන මුදල් අමාත්‍යංශයේ නිර්දේශ ගන්න සිදුවන බවය. එහෙත් රාජිත, මංගලගේ අදහසට විරුද්ධ විය. දැන් ආයෙ මුදල් අමාත්‍යංශයේ නිර්දේශ ඕන නැහැ. ඒකට තමයි මේ කමිටුව දැම්මේ. මුදල් අමාත්‍යංශය පසුගිය අවුරුදු තුනේම මේවා හිරකරගෙන ඉඳල දැන් මොකටද ආයෙ නිර්දේශ ගන්නෙ. රාජිත කීවේය. මංගල කීවේ මුදල් අමාත්‍යංශයේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කිසිවක් නොකරන බවය. මුදල් අමාත්‍යංශයේ සමහර නිලධාරින් ආණ්ඩුව වට්ටන තැනට වැඩ කරන බවට රාජිත චෝදනා කළේ මේ අතරවාරයේය.

මංගල රාජිතගේ චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ තමා ඇමැතිවරයකු වශයෙන් අවුරුදු 20 කට වඩා කටයුතු කර ඇති බවත් තමාට මෙතෙක් ලැබුණු හොඳම නිලධාරින් පිරිස මුදල් අමාත්‍යංශයේ නිලධාරින් බවත්ය. රාජිත මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට එරෙහි මතයක දිගටම සිටි අතර මංගල එම නිලධාරින් වෙනුවෙන්ම පෙනී සිටියේය.


දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාවක් නිමල් සිරිපාල ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව නැවත වාග් යුද්ධය පටන් ගත්තේය. නිමල්ගේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කැබිනට් මණ්ඩලය විසින්ම පත් කරන ලද අමුණුගම කමිටුවේ නිර්දේශ පදනම් කර ගනිමිනි. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ සැණින් මංගල ඊට විරෝධය පළ කළේ මේවට දෙන්න සල්ලි කොහෙන්ද කියමිනි. නිමල්ගේ පත්‍රිකාව ගැන අදහස් දක්වන්නට ඉදිරිපත් වුණේ සරත් අමුණුගමය. ඔහු කීවේ මෙය වෘත්තිය සමිති සමග සාකච්ඡා කර ඇතිකර ගත් එකඟතාව මත කරන්නක් බවය. අනෙක මෙය කැබිනට් මණ්ඩලය මීට පෙර ගත් කැබිනට් තීන්දුවක් බව අමුණුගම කීවේ කලින් දින කරන්නට ගිය දුම්රිය වැඩ වර්ජනයද නතර කළේ මෙම යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවට දුන් පොරොන්දුව මත බවය.


අනතුරුව කතා කළේ රාජිතය. රාජිත අමුණුගමගේ අදහස අනුමත කරමින් කතා කළේ මෙය වෘත්තිය සමිතිවලට දිය යුතු දෙයක් බව පෙන්වමිනි. මෙය නොදුන්නොත් දුම්රිය වෘත්තිය සමිති නැවත වර්ජනයකට යනු ඇතැයි ඔහු කීවේය. එ් කතාවත් සමඟ මංගලට යකා නැග්ගේය. මංගල කීවේ මේක කොන්ද පණ නැති ආණ්ඩුවක්. මමත් ඇමැතිකම් කරල තියෙනවා. මෙහෙම ආණ්ඩුවක නම් මම කවදාවත් ඇමැතිකම් කරල නැහැ කියාය. එහෙත් මංගලගේ විරෝධය නොතකා කැබිනට් පත්‍රිකාව අනුමත කර තිබිණි.


දයා ගමගේ ඇමැතිවරයාද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ වැඩිහිටි සුබ සාධනය සඳහා වෙනම ලොතරැයියක් මුද්‍රණය කිරීමට අවසර ඉල්ලමිනි. මංගල සමරවීර ඇමැතිවරයා ගත් කටටම කීවේ එම යෝජනාව කළ නොහැකි බවය. දැනටමත් ලොතරැයි මණ්ඩල දෙක ලොතරැයි 10 ක් ගහනවා. වැඩිහිටියන්ට කියල වෙනම ලොතරැයි ගහන්න බැහැ. කරන දෙයක් කරන්න වෙන්නෙ මේ උපාය ඇතුළෙයි යැයි මංගල කීවේය. ඒ අනුව දයා ගමගේගේ යෝජනාව ලත් තැනම ලොප් විය. මේ අතර මංගල හා චම්පික රණවක ඇමැතිවරයා අතර ද තරමක මත ගැටුමක් ඇතිවූයේ නගර සංවර්ධන කටයුතු සඳහා තම අමාත්‍යාංශයට විද්වත් වෘත්තිකයින්ගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය බවට චම්පික ඉදිරිපත් කළ යෝජනාවකට මංගල විරුද්ධවීම හේතුවෙනි. චම්පික කීවේ එය අවශ්‍යම කටයුත්තක් බවය. එහෙත් මංගලගේ පිළිතුර වූයේ එවැන්නකට මේ මොහොතේ ඉඩදිය නොහැකි බවය.  
මුදල් අමාත්‍යාංශය හඳුන්වාදී ඇති සියයට 7 ක සහන පොළියකට නිවාස ණය ලබාදීමේ ව්‍යාපෘතිය ගැන චම්පික කතා කළේය. ඔහු කීවේ මේ දාල තියෙන කොන්දේසි එක්ක කිසිම කෙනෙක් ජය අරගෙන නැහැ. මේවා මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕන කියාය. ජනාධිපතිවරයාද මංගලට කීවේ ඒ ගැන සොයා බලන ලෙසය. මීමැසි පාලන පර්යේෂණ ආයතනයක් අම්පාරේ පිහිටුවීමට දයා ගමගේ මහතා ගෙනා යෝජනාවට මහින්ද අමරවීර විරුද්ධ විය. ඔහු කීවේ මී මැසි පාලනය කෘෂිකර්මයට අයත් කටයුත්තක් බවය. දයා ගමගේ කීවේ තම අමාත්‍යාංශයට එය වැටෙන බවය. අවසානයේ ජනාධිපතිවරයාද ඊට මැදිහත්විය. මෙතන තියෙන්නෙ මී මැසි පාලන පර්යේෂණ ආයතනය පිහිටුවන්නෙ හම්බන්තොටද අම්පාරෙද කියන ප්‍රශ්නයයි’ ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි.   


රාජිත සේනාරත්න ඇමැතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධුරයට පත්වීම සම්බන්ධයෙන් ඔහුට උපහාර පිදීමේ උත්සවයක් නෙළුම්​ පොකුණ රඟහලේදී පැවැත්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. සුවපති අභිෂේකය නමින් නම්කර තිබූ උත්සවයට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද මැති ඇමැතිවරු විශාල පිරිසක්ද එක්ව සිටියහ. එහි දේශනය කළ මහාචාර්ය කාලෝ ​ෙෆාන්සේකා පළමුව සුවපති-දෙවනුව ජනපති යැයි කීවේ රාජිතට ද ජනාධිපති අපේක්ෂකයා වීමේ සිහිනයට තල්ලුවක් දෙමිනි. ඔහු උදාහරණයට ගත්තේ බණ්ඩාරනායක අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරුන් ලෙස සිට ආණ්ඩුවෙන් එළියට ගොස් රටේ නායකයින් වූ ඉතිහාස කතාවය.  


මෝටර් රථ මිල ඉහළ නැඟීම දේශපාලන කරළිය ගිනියම් කළ මාතෘකාවක් බවට පත්ව තිබිණි. පුංචි කාර්වල මිල එකවර ඉහළ ගියේ රුපියල් ලක්ෂ තුන හතරකිනි. ආණ්ඩුව වාහන මිල ඉහළ දැමීම කෝචොක් එකකට ගනිමින් ඒකාබද්ධ විපක්ෂය කීවේ’ යහපාලන ආණ්ඩුව ඇවිත් පුංචි කාර් ගන්න බලන් හිටි නංගිට මොකද වුණේ කියා සෙවිය යුතු බවය.   


මැති ඇමැති වැටුප් වැඩි කිරීමද ආන්දෝලනාත්මක පුවතක් බවට පත්විය වැටුප් වැඩිවීම ස්ථිර නොවුණත් ආණ්ඩුවෙ පැත්තෙන් කියැවුණේ අධිකරණ ක්ෂේත්‍රයේ වැටුප් වැඩිවීමට සමානරූපීව මෙය සිදුවන බවකි. ඒකාබද්ධ විපක්ෂයද ඊට විරුද්ධද නැද්ද යන්න ස්ථිර වශයෙන් ප්‍රකාශයක් කර නොතිබිණි.  


පියංකර ජයරත්න මන්ත්‍රීවරයාගේ දියණියකගේ මංගල උත්සවය ගිය සතියේ පැවැත්වුණේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටකරගෙන දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, අනුර යාපා, ලක්ෂ්මන් යාපා, ප්‍රසන්න රණතුංග, බැසිල් රාජපක්ෂ, මහින්දානන්ද ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක මේසයක වාඩිවී සිටියහ. ආණ්ඩුවේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් මහින්ද අමරවීරත් ලසන්ත අලගියවන්නත් පැමිණ ඊට යාබද මේසයක අසුන්ගෙන සිටියහ. අමරවීර මහින්ද ළඟට පැමිණ ආචාර කළ අතර අලගියවන්නද පැමිණ මහින්දට ආචාර කළේය. ගෝඨාභයත්, කුමාර වෙල්ගමත් පැමිණියේ පිරිස කතාබහ කරමින් සිටින අතර වාරයේය. බැසිල් ලසන්ත අලගියවන්න පෙන්වමින් මහින්දට කීවේ මෙන්න වාසනාවන්තම ඇමැතිතුමා කියාය. ඇයි ඒ කොහොමදැයි මහින්ද අහද්දි, බැසිල් ඒ ගැන පැහැදිලි කළේ ඇයි මෙයා ජනාධිපතිවරුන් තුන් දෙනෙක් එක්ක වැඩ කරනවා. චන්ද්‍රිකා කාලෙත් ඇමැති, ඔබතුමාගෙ කාලෙත් ඇමැති, මෛත්‍රීගේ කාලෙත් ඇමැති යැයි කියමිනි.



අදහස් (0)

මංගල - අමුණුගම - රාජිත ​මුහුණට මුහුණ ගැටෙති

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 127 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site