IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ජනපති මෛත්‍රී කඩුව වනයි

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තව ඇත්තේ හරියටම දින තුනකි. ඒ නිසාම දේශපාලන කරළිය ද මොහොතින් මොහොත උණුසුම් වෙමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රීලනිපයත් විශ්වාස භංගයට සහාය දීමේ මෙහෙයුමට එක්ව සිටින අතර විශ්වාසභංගය පරදවන්නට එජාපය කඳවුරු බඳිමින් සිටී


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර ​ කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයා පැමිණියේ තරමක් කේන්තියෙනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට්ටුවේදී කීවේ මීට මාසයකට පමණ පෙරදීය. ඉන් පසුව එය අහෝසි කරන්නට ජනපතිවරයා කැබිනට් පත්‍රිකා දෙකක් ද ඉදිරිපත් කර තිබිණි. ජනපති අහෝසි කරන්නැයි කී ආර්ථික කළමනාකරණ කමිටුව ඉකුත් සතියේ බදාදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබිණි. ජනාධිපතිවරයා අ​හෝසි කරන්නැයි කියා තිබියදී රැස්වූ ආර්ථික කළමනාකරණ කමිටු රැස්වීමට සමහර ඇමැතිවරුන් පැමිණ සිටියේ ද නැත. මේ සියල්ල වෙද්දී ජනාධිපතිවරයා සිටියේ දිවයිනෙන් බැහැරවය. තමා අහෝසි කරන්නැයි කියා තිබියදීත් නැවත එය රැස්වීම ගැන දැනගත් ජනාධිපතිවරයා සිටියේ කේන්තියෙනි. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට පැමිණියේ මේ සියල්ල හොඳින් දැනගෙනය. කැබිනට් රැස්වීම් ආරම්භයේදීම ජනාධිපතිවරයා කීවේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන බවය. ඒ ගැන තීන්දුවක් ගැනීමට තව සතියක් කල්දෙන්නැයි අගමැතිවරයා ඉල්ලා සිටියේය. මට තව කල්දෙන්න බැහැ. සතියක් නෙවෙයි විනාඩි දෙකක්වත් කල් දෙන්න බැහැ මම ඔයාලට අවුරුදු තුන හමාරක් කල් දුන්නා. රටේ මොකුත් කෙරිල නැහැ. ඔය කියන එකක්වත් ඔයාලා කරන්නෙ නෑ. ජනතාව හොඳ කනේ පාරක් ඡන්දෙදි දීලා තියෙනවා. ඔබතුමාට මේක කරන්න බැරි බව ඔප්පු කරල තියෙනවා කරුණාකරලා දැන්වත් මට මේක කරන්න දෙන්න යැයි ජනාධිපතිවරයා කීවේ තරමක් කේන්තියෙනි.


මහනුවර අධිවේගී මාර්ගය හදන්න ජපානයේ කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගත්තා. මම ජපානයට ගියාම දැනගත්තා. මේ අධිවේගී මාර්ගය හදන්න බාර ගත්ත සමාගමේ අය හිරේ ඉන්නෙ කියලා. මේවා වහාම අහෝසි කරන්න යැයි ජනාධිපතිවරයා කීවේය. මේ අතර ජනාධිපතිවරයා කීවේ තීන්දු ගන්න ඒවා කැබිනට් එකෙදි සාකච්ඡා කරල ගන්න. වැඩි යමක් සාකච්ඡා කරන්න ඕන නම් අනුකමිටුවක් දාලා ඒකේදි සාකච්ඡා කරන්න කියාය. මලික් සමරවික්‍රම අනුකමිටුවල සංයුතිය ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය බව කීවේය. සංයුතිය ගැන සාකච්ඡා කරන්න දෙයක් නෑ. ඔය ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරල දාන්න. බොරුවට ඇද ඇද ඉන්න ඒකේ තේරුමක් නැහැ. ජනාධිපතිවරයා කීවේය. ලක්ෂ්මන් කිරිඇල්ල අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තුව ගැන කියමින් කීවේ කැබිනට් අනුමැතියකින් තොරව අධිවේගී මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් දී නැති බවය. එහිදී චම්පික රණවක ඇමැතිවරයාද මැදිහත් විය. ප්‍රශ්නය තියෙන්නෙ තාක්ෂණ කමිටුවෙන් තෝරාගත් අය ඉද්දි ප්‍රතික්ෂේප කරපු අයට ජපානයෙන් ගෙනා ලියුමකට කොන්ත්‍රාත් දී ඇති බවය. ඒ අනුව ජනාධිපතිවරයා ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කළේය.


වයස අවුරුදු 100 ට වැඩි වැඩිහිටියන්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ගෙවීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ එස්.බී ය. ඔහු කීවේ අවුරුදු 100ට වැඩි වැඩිහිටියන් 256 දෙනකු සිටින බවය. මේ අතර යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පාලනය හා නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමේ පනතක් ගෙනෙන්නට චම්පික රණවක ඇමැතිවරයා ​යෝජනා කර තිබිණි. ඒ යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග 7ක් ඉදිකිරීමටත් ඉන් දෙකක් මේ වසරේ ආරම්භ කිරීමටත් චම්පික යෝජනා කර තිබිණි.


ග්ලයිෆොසෙට් තහනම ගැන ඇමැතිවරුන් කිහිපදෙනකු අතර වාදයක් හට ගත්තේ පිරිසක් ග්ලයිෆොසෙට් අවශ්‍ය බව කීමත් තවත් පිරිසක් එම තහනම දිගටම තිබිය යුතු බව කීමත් හේතුවෙනි. මේ වාදයට මුල පිරුවේ දුමින්ද දිසානායක හා නවීන් දිසානායක ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා දෙකකිනි. තේ වගාව සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ යුතු බවට ඔවුන් යෝජනා කර තිබිණි. එම යෝජනාවට රාජිත සේනාරත්න ඇමැතිවරයා විරුද්ධ විය. ලෝක සෞඛ්‍යය සංවිධානය 2013 දී වියළි කලාපය ආශ්‍රිතව වකුගඩු රෝගයට බලපා ඇති සාධක ගැන පර්යේෂණයක් කළා. ග්ලයිෆොසෙට් මගින් වකුගඩු රෝගය ඇතිවිය හැකි බව 2015 පර්යේෂණවලින් අනුමත කර ප්‍රකාශයට පත් කෙරුණු යුරෝපා සංගමය ද පිළිකා කාරකයක් ලෙස ග්ලයිෆොසෙට් හඳුන්වා තිබෙනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අපි පිළිගත යුතුයි යයි රාජිත කීවේය. රාජිත තවත් රටවල් කීපයකින් උදාහරණ ගෙන පැහැදිලි කළේය. නවීන් කීවේ මෙම පර්යේෂණවලින් ස්ථිරව ඒ බවක් හඳුනාගෙන නැති බවය. ලංකාවේ ප්‍රශ්නය තේ වගාවට අවශ්‍ය ශ්‍රමය නැතිවීමයි. වල් නාශකයක් විදිහට මේක පාවිච්චි කරන්නෙ. මේක දැන් සටන් පාඨයක් විතරක් යැයි කී නවීන් දිසානායක මේක තේ අස්වැන්නට බලපාලා යයි කීවේය. ඒ සමගම ඔහු කීවේ තේ අස්වැන්නට මෙමගින් බිලියන 15ක පමණ පාඩුවක් සිදුව ඇති බවය. දුමින්ද දිසානායක ද නවින්ගේ අදහස් අනුමත කරමින් කතා කළේය. අවසානයේ ජනාධිපතිවරයා කීවේ ග්ලයිෆොසෙට් තහනම තේ වගාව සඳහා ඉවත් කිරීම ගැන විශේෂඥ කමිටුවක් පත්කර මාසයක් ඇතුළත වාර්තාව ගෙන්වාගන්න කියාය. රාජිත, දුමින්ද හා නවින් ද එම කමිටුවේ නිරීක්ෂකයින් ලෙස පත් කරන්නට තීරණය විය.


කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා ඉදිරිපත්ව තිබූ යෝජනාවක්ද සාකච්ඡාවට​ ලක්විය. කිරිපිටි සමාගම් කීපයක් එක එක මිල ගණන්වලට කිරිපිටි ආනයනය කරන බව කීවේ පී. හැරිසන්ය. දේශීය ගොවීහු ආරක්ෂාවන ලෙස කටයුතු කරන්නැයි හැරිසන් ඉල්ලා සිටියේය. කිරිපිටි ගැන කතා කරන්නට ගොස් බිත්තර ගැන ද කතාබහට ලක්විය. අවුරුදු උත්සව සමයේ බිත්තර ලක්ෂ 28ක් ගෙන්වන්නට යන බවට මාධ්‍ය වාර්තා ද පළ වී තිබිණි. එයට දයාසිරි ජය​සේකර ඇමැතිවරයා විරෝධය පළ කළේය. ඔහු කීවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිත්තර අතිරික්තයක් තිබෙන බවය. රුපියල් 9.50 තොග මිලට බිත්තර ලක්ෂ 50ක් දැන් දෙන්න කුරුණෑගල ගොවීන් සූදානම් බව දයාසිරි කීවේය. ඒ අනුව බිත්තර ආනයනය නතර කරන්නට තීරණය විය.


පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයාගෙ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමේ පත්‍රිකාවද සාකච්ඡාවට ගැනිණි. එහිදී අගමැතිවරයා කීවේ එවෙලේ රංගෙ බණ්ඩාර පොලිසියෙන් විශ්‍රාම යැව්වෙ නැති බවය. ඔහු දේශපාලනයට ඒමට පොලිසියෙන් අස් වූ බව අගමැතිවරයා කීවේය. ජනාධිපතිවරයා ඇසුවේ බැරිද මෙයා පොලිස්පති කරලා දාන්න. එතකොට ප්‍රශ්න දෙකක් විසඳෙනවා කියාය.


පොහොර ප්‍රශ්නය හා වී මිලදී ගැනීමේ ප්‍රශ්නය මෙවර කැබිනට් රැස්වීමේදී ද මතුවිය. දුමින්ද දිසානායක කීවේ වී වලට පොහොර මිටිය රුපියල් 500 ටත් අනෙක් වගාවන්ට පොහොර මිටිය රුපියල් 1500 ටත් දෙන්න තීරණය කර ඇති බවය. මංගල සමරවීර ඇමැතිවරයා කීවේ පොහොර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම වාසිදායක බවය. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ද ඒ ගැන කතා කළේය. මම තුන් හතර වතාවක්ම මේ ගැන මෙතෙක් කතා කළා. පොහොර ටික දෙන්න කියල ජනතාව කනට ගහල කියල තියෙනවා. පාසල් නිල ඇඳුම් රෙද්ද වෙනුවට වවුචර් දෙනවා. ජනතාව අතරට මතය යන්නෙ පාසල් නිල ඇඳුම් රෙද්ද කැපුවා කියලයි. ඒ නිසා වහාම පෝර ටිකයි පාසල් නිල ඇඳුම් රෙදියි දෙන්න යැයි සජිත් කීවේය. අකිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයා කීවේ වවුචර් දීමෙන් කිසිම ප්‍රශ්නයක් මතුව නැති බවය. ඉස්සර රෙදි බෙදිල්ලෙනුත් ගසා කෑව. දැන් ශතයක්වත් කවුරුවත් ගසා කන්නේ නෑ යැයි කීවේ රාජිතය. එහෙත් දයාසිරි ජයසේකර කීවේ වෙනත් කතාවකි. ඔහු කීවේ ඉස්සර අපේ පැත්තෙ තිබුණ ටේලර් ෂොප් 14 දැන් දෙකට බැහැල කියාය. දැන් සේරම තනි මිනිහෙකුටයි යන්නෙ යැයි දයාසිරි කීවේය.


මේ අතර චම්පික රණවක ඇමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි ගමන් මග ගැන ගිය සතියේ ඉදිරිපත් කළ කරුණු 45කින් යුත් යෝජනාවලිය ද සාකච්ඡාවට ලක්විය. ජයවික්‍රම පෙරේරා කීවේ අපි මේකෙන් කෑලි කෑලි ක්‍රියාත්මක කරල හරියන්නෙ නෑ. මේ වැඩපිලිවෙල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ​ඕනැ කියාය. ඔහු කීවේ මෙය ආණ්ඩුව නිවැරැදි මගට ගැනීමට හොඳ වැඩ පිළිවෙළක් බවය. ජනාධිපතිවරයාද නිරීක්ෂණ ඉදිරිපත් කරමින් කියා තිබුණේ මෙම වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාවේ මධ්‍යකාලීන වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ද සහායෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසය.


එක්සත් ජාතික පක්ෂයේ ඇමැති සංයෝජනයේ අමාත්‍යාංශවල විෂය බෙදීම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවේ ගිය බදාදා හවසය. ඇමැතිවරයාගේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අගමැතිවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය යටතට පත්කර තිබුණේ එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙනි. එම ගැසට් නිවේදනය නිකුත් වන තෙක් කිසිවකුත් ඒ බවක් දැන සිටියේ නැත. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ මහ බැංකුව හදිසියේම අගමැතිවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීම ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුවය. බොහෝ දෙනා කීවේ ජනාධිපතිවරයා නැවත වතාවක් කඩුව වනා ඇති බවය.


අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ඡා කරන්නට ශ්‍රීලනිප ඇමැති, රාජ්‍ය ඇමැතිවරුන් ගිය බදාදා රාත්‍රියේ කොළඹ පිහිටි මහින්ද අමරවීරගේ නිවසේ දී රැස්වූයේ නිමල් සිරිපාල ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී., දයාසිරි ජයසේකර, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, ටී.බී. ඒකනායක ඇතුළු ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 26 දෙනකු පමණ ඊට සහභාගි වී ඇත. තවත් පිරිසක් ඊට සහභාගි නොවූයේ ඔවුන් දිවයිනෙන් බැහැරව සිටි බැවිනි. රැස්වීම ආරම්භ කරමින් නිමල් සිරිපාල ඇමැතිවරයා විශ්‍වාසභංග යෝජනාව හා ශ්‍රීලනිපයේ ස්ථාවරය කෙසේ විය යුතුද යන්න පැහැදිලි කළේය. අපි තීන්දු ගන්න ඕන අපේ පක්ෂයෙත්, මන්ත්‍රීවරුන්ගේත්, රටේත් දේශපාලන අනාගතය දිහා බලලයි. මේ ගෙනාපු විශ්වාසභංග යෝජනාවට පක්ෂ නොවී ඉන්න අපට බැහැ. විශ්‍වාසභංගයේ සඳහන් චෝදනා 14ටම අපි එකඟයි. බැඳුම්කර කොමිසම ජනාධිපතිතුමා පත්කළේ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පත් කරන ලද කමිටුවේ නිර්දේශය මතයි. විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනා 14න් 13ක්ම තියෙන්නෙ මහබැංකු බැඳුම්කර කොල්ලය ගැනයි. ඒ නිසා අපි කණ්ඩායමක් විදියට මේ වෙලාවෙ එක තීන්දුවක් අරගෙන එකට වැඩ කරන්න ඕන. අපට මේ විශ්වාසභංග යෝජනාවට සහාය නොදී ඉන්න බැහැ යැයි නිමල් කීවේ දිර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. අනතුරුව කතා කළේ සුසිල් ප්‍රේමජයන්තය.

සුසිල් ගිය සතියේම සිය ස්ථාවරය මාධ්‍යයට ද කීවේය. ඔහු කීවේ විශ්‍වාසභංගයට සහාය දීම ගැන ශ්‍රීලනිපයට දෙපාරක් හිතන්නට දෙයක් නැතැයි කියාය. මේකට සහාය නොදී අපි කාටවත් ගමට යන්න හම්බ වෙන්නෙ නෑ. සුසිල් කීවේය. ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර යන ඇමැතිවරුන් ද අදහස් දක්වමින් කීවේ විශ්‍වාසභංග යෝජනාවට සහාය නොදී ඉන්නට ශ්‍රීලනිපයට නොහැකි බවය. ජනාධිපතිවරයා අගමැතිවරයා යටතේ තිබූ මහ බැංකුව, අගමැතිගෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ඇති බවට ආරංචිය ලැබුණේ මේ සාකච්ඡාව යන අතරේය. සුසිල් කීවේ මේකෙන්ම පේනවා ජනාධිපතිතුමාගේ මතය මොකද්ද කියලා කියාය.  


අනතුරුව සාකච්ඡාව විවෘත සංවාදයක් බවට පත්විය. දුමින්ද දිසානායක ඇමැතිවරයා ඇසුවේ ඇයි අපි අගමැතිවරයා ඉවත් කරන්නෙ කියාය. දයාසිරිත්, සුසිල් හා තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් ද ඒ ගැන පැහැදිලි කරන්නට වූහ.  


අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිවයි අගමැතිවරයා ඇතුළු එජාපය වැඩ කරන්නෙ. අපි කැබිනට් එකේදී කියන ඒවාත්, ආර්ථික කළමනාකරණ කමිටුවේදී වෙනස් කරනවා. අනෙක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙන චෝදනාවලින් අගමැතිවරයාට ගැලවෙන්න බැහැ යැයි සුසිල් කීවේය. අපි අගමැතිතුමා අයින් කළා කියමු, ඊළඟට කවුද දාන්නෙ’’ දුමින්ද විමසීය. යූඑන්පීයෙන්ම එක් කෙනෙක් නම් කළොත් අපි ඒක බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෙනෙක් දානවා නම් අපි නිමල් සිරිපාල ඇමැතිතුමා දාමු කියලා දැනටමත් කියල තියෙනවා. එහෙම නැත්නම්, ජනාධිපතිතුමාට තීරණය කරන්න දෙමු යැයි එස්.බී. කීවේය. දයාසිරිත් ඩිලානුත් ඒ ගැන පැහැදිලි කළේය.  


හැන්දෑවේ ඇරඹුණු සාකච්ඡාව අවසන් වූයේ මැදියම් රැයද ඉක්ම ගිය පසුවය. එහිදී තීන්දුවකට පැමිණ තිබුණේ අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන්නටය. පිටරට ගොස් ඇති මැති ඇමැතිවරුන් ද පැමිණ පසුව, සඳුදා හවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේ දී මේ ගැන අවසන් තීරණය ගැනීමට ද තීරණය විය.  



අදහස් (0)

ජනපති මෛත්‍රී කඩුව වනයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 119 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 399 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 237 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 242 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site