IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැති නොදැන දිවුරුම් දුන් ඇමැතිවරු

සතිය පුරාම එජාප ආණ්ඩුව ජනතාවට පසුගිය අය-වැයෙන් දුන් පොරොන්දු ඉටුකිරීම සඳහා අගමැති රනිල් හා මුදල් ඇමැති මංගල මෙන්ම ඇමැති දයා ගමගේද විශාල පරිශ්‍රමයක් දැරූහ. අලුතින් සමෘද්ධිය පවුල් ලක්ෂ 6කට දීම ඒ අතර මුල් තැන ගත්තේය.


මේ වන විට පළාත් හා දිස්ත්‍රික් මට්ටමෙන් අවස්ථා කිහිපයකදී පවුල් ලක්ෂ 3කට ආසන්නව ඒ ප්‍රතිලාභ දීමට කටයුතු සිදුව තිබේ. තවද පසුගිය අය-වැයේදී ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 2500 දීමනාව ඇතුළු සෙසු ප්‍රතිලාභ දීමද ජූලි 1වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වන විට සම්පූර්ණ කර තිබේ.
එපමණක්ද නොව, විශ්‍රාමිකයින් ලක්ෂ 6කට රුපියල් 3500 සිට 20,000 දක්වා ප්‍රතිලාභ දෙමින් මෙතෙක් පැවැති විශ්‍රාම වැටුප් විශමතාවද නිමකිරීමට ඇමැති මංගල සියලු කටයුතු සම්පූර්ණ කරනු ලැබීය.


බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේදී උදයේම රාජකාරි ඇරැඹූ අගමැති රනිල් අනතුරුව පාර්ලිමේන්තුව බලා ගියේය.


“මුස්ලිම් ඇමතිවරුන් ඔක්කොම එකට අයින් වුණාට එජාප දෙන්නා විතරක් එක පාරටම දිවුරුම් දුන්නේ ඇයිද කියා හැමෝම අහනවා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී විමසුවේ අගමැතිගෙනි.


“නැහැ. දිවුරුම් දීපු එකේ නිවුස් ඇලර්ට් එක එනකන් ඒ ගැන මමවත් දැනන් හිටියේ නැහැ. ඊයේ (19) කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මේ ගැන කතා කරන්න හිටියා. ඒත් කබීර් ආවෙත් නැහැ. ටෙලිෆෝන් එක වැඩ කළෙත් නැහැ. කෘත්‍යාධිකාරිය යන අතරේ කවුදෝ නැගිටලා කිව්වා කබීර් හා හලීම් අන්න දිවුරුම් දීල කියලා” අගමැතිවරයා කීවේ මද නොසන්සුන් බවකිනි.


“ජනාධිපතිතුමාත් එක්ක මේ වැඩේ කතා කරගෙන තිබෙන්නේ එජාපයේම බලවතෙකු කියා ආරංචියි. අන්තිමට ඒ බලවතාටත් හොරෙන් තමයි දිවුරුම් දී තිබෙන්නේ. ඊට කළින් අගමැතිතුමයි, ඇමැති මලිකුත් කබීර් ඇමතිතුමාට කතා කළාලු. මංගල ඇමතිතුමා ඇතුළු මුළු එජාපෙම දිවුරුම්දීමට එච්චර කැමති නැහැ වගේ පේන්නේ. ඔක්කොටම වඩා එකට තනතුරු අතෑරපු අනිත් පක්ෂවල මුස්ලිම් අය අපසෙට් කියලයි ආරංචි. දිවුරුම් දී ඒ ඇමැතිවරුන් අගමැතිතුමා හමුවුණේ නැද්ද?” එසේ විමසුවේ එජාපයේ ඉහළම නීති නිලධාරියෙකි.
“දිවුරුම් දී මාව හමුවුණා. පක්ෂ සභාපති හැටියට එහෙම වැඩ කරන එක හරි නැහැ කියා මා ඇඟෙව්වා. නමුත් වුණ දේ වුණා. දැන් ඒක අප ප්‍රශ්නයක් කරගන්න නරකයි” අගමැතිවරයා කීය.


“කෑගල්ල ටවුන් එකට මිනිස්සු බස්සලා තමයි කබීර් මේ වැඬේ පටන් ගත්තේ. හලීම් ඇමැතිතුමාට කියා තිබෙන්නේ ආණ්ඩුවේ සියලු දෙනා දිවුරුම්දීම ගැන දන්නවා කියලයි. ඊට පසු හලීම් ඇමැතිතුමා අගමැතිතුම ඇහුවාම අඟවලා තියෙන්නේ ඔබතුමා දැනුවත් බවට මට පණිවුඩ ආපු නිසා දිවුරුම් දීපු බවයි.


අනික පක්ෂ සභාපතිතුමා මට කිව්වාම එතනින් එහාට මා කිසිම දෙයක් හිතුවේ නහැ කියලයි එතුමා කියා තිබෙන්නේ” එජාප ඇමැතිවරයෙක් කීවේය.


එජාපෙට අයත් පක්ෂ නායකයන්ගේ හදිසි දිවුරුම් දීම පිළිබඳව අගමැතිවරයාගෙන් ඊට කලින්දා විමසූ අවස්ථාවේ සිට ආණ්ඩුව තුළ සංවාදය ඉදිරියට ඇදී ගියේය.
“ඊයේ කෘත්‍යාධිකාරියේදී චම්පික රණවකටයි, දින 52දී අමාරු වෙලාවෙ ආපු ශ්‍රීලනිප අයටයි ආසන සංවිධායකකම් දෙන එකට කෘත්‍යාධිකාරියෙදි අජිත් පී. පෙරේරල විරුද්ධ වුණා. සංවිධායකකම් දෙන එකට ඇතුලේ එක්තරා කල්ලියක් තමයි විරුද්ධ කියා විග්‍රහය ආවේ. ඇමැති රවීත් මුලින් විරුද්ධවෙලා පස්සේ කැමති වුණා” තවත් එජාප ප්‍රබලයෙක් කීවේ එවැන්නකි.


“මට මාස 18ක් පැත්තකට වෙලා ඉන්න කියා කබීර්ලට සතියෙන් ආපහු ඇමැතිකම ගැනීම පුදුමයක් කියා ඇමැති රවී කෘත්‍යාධිකාරියේදි කියපු එකත් විශේෂයි.” එජාප පසුපෙළ සාමාජිකයින්ගෙන් ආවේ එවැනි අදහසකි.


“තේරීම් කාරක සභාව නතර නොකළොත් කැබිනට් තියන්නේ නැහැ කියා හට්ටි වළං පොළොවෙ ගහපු ජනාධිපතිතුමා ගිය කැබිනට් එකට ආපු එකෙන් වැඩිම වාසිය එතුමාටයි.” ලක්ෂ්මන් කිරිඇල්ල සිනහසෙමින් කීවේ එවැන්නකි.


“අජිත් පී. පෙරේරා ඇමැතිතුමා රූපවාහිනි සංවාදයකදී මේ ගැන හරිම විග්‍රහය කළා. ඔක්තෝබර්වලදී හොරාට පිට ගිහින් නීතියෙන් බල කළාම ආපහු ගෙදර ඇවිත් දිගටම ප්‍රශ්න ඇති කරන තත්ත්වය මේ තිබෙන්නේ. පාර්ලිමේන්තුව කල් දාලා විශේෂ කාරක සභාව අහෝසි කරන්නත් උත්සාහ කර පාර්ලිමේන්තුව කල් දැම්මත් මෙවැනි විශේෂ කාරක සභාව අහෝසි නොවන බව පස්සේ තේරිලයි අකුළගෙන තිබෙන්නේ කියා එතුමා තේරෙන භාෂාවෙන් රටට පැහැදිලි කළා” චමින්ද විජේසිරි කීවේය.


“අගමැතිතුමාගේ සිංගප්පූරු සංචාරය කොහොමද? ගෝඨාභය බලන්නත් ඒ ඉස්පිරිතාලෙට ගියාද? ගෝඨා බලන්නම සිංගප්පූරු ගියා කියලයි සමාජ ජාලාවල තිබුණේ?” හේෂා විතානගේ කීවේ සිනාසෙමිනි.


“නැහැ. මා සිංගප්පූරු ගියේ නිල සංචාරයකටයි. ඒ රටේ විදේශ හා ස්වදේශ කටයුතු ඇමැතිවරුන් දෙන්න හා ඉහළ නිලධාරීන් හමුවෙලා ද්විපාර්ශ්වික කරුණු රැසක් කතා කළා. ගෝඨාභය බලන්න තිබුණා නම් හොඳයි. ඒත් බයිපාස් කරපු කෙනෙකු බලන්න යන එකත් ඔහුට කරදරයක්. ගෝඨාභයට කාලයක් රෙස්ට් කරන්න කියා උපදෙස් ලැබුණු බව නම් මට ආරංචි වුණා.” අගමැතිවරයා කීය.


“මිහින්තලේදි ඔබතුමා ලිච්ඡවි රජදරුවන්ගේ පාලනය ගැන කියපු කතාවට ජනාධිපතිතුමයි තව තව කට්ටියයි දැන් තඩි බානවා.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ මද සිනහවක්ද සමගිනි.


“ලිච්ඡවි පාලනය ගැන එතන කතා කළේ මිහින්තලේ නායක හාමුදුරුවෝ මිසක් මා නොවෙයි. මා ඒකට ප්‍රතිචාරය දැක්වුවා විතරයි. මා එතන කතාකරන්නවත් නොවෙයි හිටියේ. නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමටයි ඒ කතාව කළේ” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.


“ආශු මාරසිංහ ගිය සතියේ පත්තර සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ හා විමල්ගේ අතීතය එළි කිරීම හුඟක් වටිනවා කියා හැමෝම කියනවා.” හේෂා විතානගේ කීවේ අගමැතිටය.
“මොකක්ද ආශු එළිකර තිබුණෙ?” අගමැති විමසීය.


“නැහැ අගමැතිතුමා, ජාතික නිදහස් පෙරමුණ පටන්ගත්තේ වීරවංශ නොවෙයි කමල් දේශප්‍රිය, මාන්නපෙරුම, නන්දන ගුණතිලකලයි. විමලුත්එතෙන්ට එකතු වුණා කියලයි මා එළිකළේ.


“අනික මා ඉංජිනේරු සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කාලේ දක්ෂිණ අධි වේගයේ පිවිසුම් ඉදිකිරීමට මිලියන 1000කට වැඩි ටෙන්ඩරය සංස්ථාව තරඟ කර ගත්තා. ඒක සංස්ථාවේ ඓතිහාසිකම අවස්ථාවයි. ඒත් මහින්ද රාජපක්ෂ හා වීරවංශ මට බලපෑම් කර වෙන කෙනෙකුට ඒ කොන්ත්‍රාත් එක දෙන්න කිව්වා. දූෂණවලට ඉඩදෙන්න බැරි නිසා සංස්ථාව දාලා මගේ ජපාන මහාචාර්ය ඇදුරුකමට ගියා.


ඊට පසු මහින්ද ජනාධිපතිතුමා ජපානයට ආවහම භාෂා පරිවර්තක වුණේ මමයි. ඒ සංචරයෙදී එතුමගේ ක්‍රියාකාරකම් දැකලයි ඔහු පරාජය කළ යුතුම නායකයකු කියා මා එවකට විපක්ෂ නායක වූ ඔබතුමා හමුවෙලා කිව්වේ. ඔබතුමාට ඒක මතක ඇති” මහාචාර්ය ආංශු මාරසිංහ කී විට අගමැතිතුමා හිස සැළුවා මිසක කිසිවක් කීවේ නැත.
“ජනාධිපතිවරණයට කලින් මහ ඡන්දය ගේන්න කෝටි 1000ක් විතර වියදම් කර ජනමත විචාරණයක් තියන්න හදනවා කියන කතාව මොකක්ද?” ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම නවීන් දිසානායකද ඇසුවේ එකම පැනයකි.


“ඔය ප්ලාන්ට් කරන බොරු ප්‍රවෘත්ති ගැන කතා කර කාලය නාස්ති කරන්නෙපා” අගමැති කීය.


“දැන් රිෂාඞ් ඇමැතිතුමාත් පරීක්ෂණයකට කලින් ඇමැතිකමේ දිවුරුම් දෙයිද දන්නෙ නැහැ” ආශු මාරසිංහ ඇසුවේ අගමැතිගෙනි.


“රිෂාඞ්ගේ පරීක්ෂණ ඉක්මන් කර ඒ වාර්තාව අනුවයි තීන්දු ගන්න වෙන්නේ. ඒව ඉක්මන් කරන්න දැන් වෙනමම කණ්ඩායමකුත් දාලයි තිබෙන්නේ. රිෂාඩ් කාරක සභාවට කැඳවනවද නැද්ද කියා ආශුලටම තමයි තීන්දු කරන්න වෙන්නේ.” අගමැතිවරයා කීවේය.


පාස්කු ඉරිද‌ා මඩකළපුව සියොන් දෙව් මැදුරේදී පුපුරා ගිය බෝම්බයේ බියකරු හඬ සිත්සතන් තුළ දෝංකාර දෙද්දී එම ඛේදවාචකයෙන් විපතට පත් පවුල් 22 ක් සඳහා නව ගම්මානයක් ඉදිකිරීමට පසුගියද‌ා සජිත් ප්‍රේමද‌ාස අමාත්‍යවරයා අතින් මුල්ගල් තැබුණේ මඩකළපුව, මන්මුනෙයි උතුර කොට්ඨාසයේදියි. ‘සියොන් ග්‍රාමම්’ නමින් ඉදිවන මෙම ගම්මානයේ සියලු නිවෙස් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මුදල් වියදම් කරයි. මෙම අවස්ථාවට සියෝන් දේවස්ථානය භාර රොෂාන් දේවේන්ද්‍ර දේවගැතිතුමා, ශ්‍රී නේසන්, අමීර් අලි, අලි සහීර් මවුලානා යන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුද්‍ එක්ව සිටියහ. සජිත් සමීපයට පැමිණි රොෂාන් දේවේන්ද්‍ර දේවගැතිවරයා කීවේ, ‘ඇමැතිතුමා, ඔබතුමා මේ කරන්නේ උතුම් කාර්යයක්. මෙවැනි කර්තව්‍යයකට අත ගසා දුප්පත්, අහිංසක පවුල් වෙනුවෙන් ඉටුකරන සත්කාරය ගැන අපේ ගෞරවය ඔබතුමා වෙත පුද කරන්න කැමැතියි.’ කියාය. සජිත් කීවේ ‘රටේ මහජන නියෝජිතයන් හැටියට අපි ජනතාව වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් යුතුකම් ඉටු කරන්නට ඕනෑ.’ කියාය. මඩකළපුව, එරාවුර්පත්තු හි ‘යූ.එල්. දාවුද් ග්‍රාමම්’ 202 වැනි උද‌ා ගම්මානය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගිවෙමින් ගෙයින් ගෙට යද්දී සජිත් ඇසුවේ ‘මේ ගමට යූ.එල්. දාවුද් ග්‍රාමම් කියලා නම තිබ්බේ ඇයි? කියාය. එහිදී ගමේ වැඩිහිටි පිරිස කීවේ ‘යූ.එල්. ද‌ාවුද් කියන්නේ අපේ ගමෙන් බිහිවුණු පළමුවැනි උපාධිධාරියා. එතුමා පරිපාලන නිලධාරියෙකු හැටියට පත්වෙලා මේ ප්‍රදේශයට විශාල සේවයක් කරමින් සිටි කාලයේදීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වුණා. එතුමා කළ සේවයට කළගුණ සලකන්නටයි මේ ගමට එතුමාගේ නම තැබුවේ.’ කියාය. අනතුරුව සජිත් ගියේ හම්බන්තොට නගරය ආසන්නයේදී උද‌ා ගම්මානයකට මුල්ගල් තැබීමේ උත්සවයටයි. ගම්මානය ‘සිරිසඟබෝගම’ යනුවෙන් නම්කර තිබුණි. එහිදී සජිත් සිය අමාත්‍යාංශ නිලධාරින් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම අගයමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට ද අමතක කළේ නැත. ‘හිසට සෙවණක් ලබාදීමේ ජනතාවාදී වැඩපිළිවෙළ අද මේ රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙලා තිබෙනවා. මේ ගම්මානයේ වැඩ අරඹන ලද දිනයේ අමාත්‍යාංශයේත් ඒ යටතේ ඇති සෙසු ආයතනවලත් දක්ෂ නිලධාරින්ට, සහෝදර සේවකයන්ට මගේ කෘතවේදිත්වය පුද කරනවා. ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් නිදිවරාගෙන වැඩ කළ මේ අය නිසා අපට අභියෝග ජයගත හැකි වුණා. ශ්‍රී ලංකාවේ දක්ෂතම නිලධාරින් සිටින්නේ ම​ෙග් අමාත්‍යාංශය යටතේ වීම මට විශාල සතුටක් වගේම ආඩම්බරයක්.’ සජිත් කීවේය.


පසුගිය සතියේ තමා හමුවීමට පැමිණි මාලදිවයින් හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා ඇතුළු මාලදිවයින් පාර්ලිමේන්තු විශේෂ දූත පිරිස කතානායක නිල නිවසේදී හමුවිය.


එහිදී කථානායකවරයා ඔවුන් හමුවී සඳහන් කළේ ‘අද වගේ දවසක ශ්‍රී ලංකාවට පැමිණි ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර රත්නය වන මිහිඳු නාහිමියන්ගේ මඟ පෙන්වූ බෞද්ධ ශිෂ්ටාචාරය මත අපේ රට හැඩගැසී ඇති බවත් එකල සිටි රජුට මිහිඳු නාහිමියන් වහන්සේ පැවසුයේ ‘මහරජ ඔබ මේ දේශයේ හිමිකරු නොවේ. භාරකරු පමණක් බව මතක තබාගන්න’ කියලා. එය මගේ රටට පමණක් නොවේ ඔබේ රටටත්, මුළු ලෝකයටත් සද‌ාතනික පණිවිඩයක්.’ යනුවෙන්ය.


පොසොන් දවසේ කතානායකවරයා මිහිඳු නාහිමියන්ගේ මෙම පාඨය උපුටා දක්වමින් රාජ්‍ය පරිපාලනයේදී යොද‌ාගත හැකි ධර්ම කරුණු රැසක් පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක් කළේ මාලදිවයින් පාර්ලිමේන්තු විශේෂ දූත පිරිස අමතායි.


ශ්‍රී ලංකාවත්, මාලදිවයිනත් අතර පවතින මිත්‍රත්වය සංකේවත් කරමින් අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කිරීමත්, දෙරට අතර අන්තර් පාර්ලිමේන්තු සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමත් මෙම විශේෂ දූත ගමනේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී ශ්‍රී ලංකාව ත්‍රස්ත තර්ජනය අකර්මණ්‍ය කොට කඩිනමින් යළි නැගී සිටීම පිළිබඳව කල්‍යාණ මිත්‍රයන් ලෙස තමන් සතුටු වන බවද මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.


උතුරු කොළඹ, මහවත්ත, ශාන්ත අන්තෝනි සිංහල පාසලේ දූ දරුවන්ට ක්‍රීඩා භාණ්ඩ උපකරණ ලබාදීමේ උත්සවයක් විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණ. ඊට එක්ව සිටි කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ‘ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයේදී මුදල් ඇමැති කරන වැඩවලින් රජය අපහසුතාවයට පත්වෙනවා. එයා මුදල් ඇමැති ධුරය භාරගත්ත වෙලාවේම මේ සපත්තුව ලොකුයි කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා. එහෙම කියලා තියෙද්දී මුදල් ඇමැතිකම දුන්නේ ඇයි දැයි’ ඇසීය. පිළිතුරු දුන්නේ ඇමැති රවිය.


‘එයා ලොකු සපත්තු ද‌ාගෙන ඇවිද ගන්න බැරිව බකල් ගගා ඇද වැටුණත් කමක් නැහැ. ඒ මදිවට බොහොම අමාරුවෙන් හද‌ාගත්ත රජයත් වට්ටන්නයි හදන්නෙ. මේ සපත්තුව ලොකු නම් කරන්න තියෙන්නෙ සපත්තුව හරියන කෙනෙකුට දෙන්න ඕනැ. මම මුදල් ඇමැතිකම හොඳට කළා. බැඳුම්කර වංචාවක් කියලා මට පමණක් නෙමෙයි මගේ බිරිඳට දරුවන්ට පවා අසාධාරණකම් කළා. මේවා වැඩකරන දේශපාලනඥයෝ නැති කරන්න කුහක දේශපාලනඥයින් විසින් කරපු දෙයක්. ඒ වගේ මේකට වැඩියෙන්ම ද‌ායක වුණේ අපේ පක්ෂයේ අයම තමයි. අද සාධාරණය ඉෂ්ට කරලා සැබෑ තත්ත්වය හෙළිදරව් වෙලා තියෙන්නෙ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නෙ දෙකක්. මම ක්‍රියාවෙන් ම සැබෑ තත්ත්වය ඔප්පු කරලා තියෙන්නෙ. මගේ නිර්දෝෂිභාවය පෙන්නුම් කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම ඇත්තටම දෙවියන්ට සහ ජනතාවට ස්තූතිවන්ත වෙනවා. අපේ පක්ෂයේ ඡන්දයකින් දිනන්න බැරි ජාතික ලැයිස්තුවෙන් ඇමැතිකම් කරන කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අය තමයි නායකතුමාට කේලම් කියලා අපිව ඈත් කරන්නෙ. පක්ෂයක් දිනන්න නම් දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල් කරගෙන කටයුතු කරන්න නෙවෙයි අවශ්‍ය ​ෙවන්නේ. මට කනගාටු එක දෙයක් ගැන පමණයි. මම මුදල් ඇමැති වෙලා කරපු දේ ඉදිරියටම පවත්වා ගෙන ගියා නම් අද රටට මේ වගේ ගැටලු ඇතිවන්නේ නැහැ. මම ආසියාවේ හොඳම මුදල් ඇමැති බවට පත්වුණේ නිකම් ඉඳලා නෙමෙයි පැය ගණන් වැඩ කරලා. මට ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. චීන ජාතිකයින් 6000 ට සිගරැට් පොවන්නයි. හැම මාසයකම 10 වැනිද‌ා ට මිල සූත්‍රය කියලා තෙල් මිල වැඩි කරන්නයි හැරුණු විට ජනතාවට දැනෙන දෙයක් කළේ නැහැ. මේ වැඩේට මුදල් ඇමැති කෙනක් පත් කරන්න ඕනැද? පහේ පන්තියේ ළමයකුට වුණත් ඒ වැ​ෙඩ් කරන්න පුළුවන්. මුදල් ඇමැතිකම කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දීල තමන්ගේ කකුලට ගැළපෙන සපත්තුවක් ද‌ාගන්න ඕනැ. අඩු ගානේ පන්සලකටවත් වද්දගන්නෙ නැති මුදල් ඇමැති කෙනෙක් අපිට ඉන්නේ. ලැජ්ජයි මේවා කතා කරන්න.’ යැයි දැඩි කලකිරීමකින් විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා කීවේය.



අදහස් (0)

අගමැති නොදැන දිවුරුම් දුන් ඇමැතිවරු

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 150 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site