
මෙවර කිවිදා දැක්ම සඳහා ලිවිය හැකි මාතෘකා කීපයක්ම මතුවී තිබෙන බව පැහැදිලිය. එක් පැත්තකින් කොරෝනා වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳවය. තවත් පැත්තකින් ආර්ථිකයේ ගැටලුකාරිත්වය පිළිබඳවය. තවත් පැත්තකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳවය. මේ සියලුම මාතෘකා උණුසුම් ඒවාය. මීට අමතරව අපේ සමාජය තුළ බරපතළ ආකාරයෙන් මතුවෙමින් එන ගැටලුවක් වන්නේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් මතුකර තිබෙන වැටුප් සම්බන්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයයි. මේ ගැටලුවේ තිබෙන පදනමට වඩා ඉතාමත් වැඩි වේගයකින් මේ සම්බන්ධ සටන් ව්‍යාපාරය මෝදු වෙන බවක් ද පෙනෙන්නට තිබේ.
මගේ මෙවර කිවිඳා දැක්ම වෙන් වෙන්නේ මේ ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව කථා කරන්නටය. මේ ප්‍රශ්නයට එක්වී තිබෙන වෘත්තිය සමිති විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා එක නායකයකු යටතට හෝ එසේත් නැතහොත් නායකයන් කීප දෙනෙකු හෝ යටතට පත් කළ යුතු යැයි මා සිතන්නේ නැත. එය එසේ වුවත් මේ ප්‍රශ්නය පිළිබඳව කථා කිරීම ඉතාමත් අවශ්‍ය බව මගේ හැඟීමය.
ගුරුවරුන්ගේ සටන් පාඨයට අනුව බලන විට ඒ අයගේ වැටුප් විෂමතාව පැවත එන්නේ 1994 තරම් ඈත කාලයක සිටය. ඒ කාලයේ සිට මේ වන විට ආණ්ඩු 07 පත් වී ඇති අතර ඒ ආණ්ඩු 07 න් 06 ක්ම මේ වන විට වෙනස් වී ඇත. දැනට තිබෙන්නේ 07 වැනි ආණ්‍ඩුවේ කාලයයි.
මේ ප්‍රශ්නය ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිවල අභ්‍යන්තරයේ තිබුණා විය හැකි වුණත් රටේ ජනතාව මේ වගේ බරපතළ ගැටලුවක් තිබුණු බවක් දැනගෙන හිටියේ නැති බව සමහරුන්ගේ මතයයි. ඒ අය එහෙම කියන්නේ මෙවර ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය එක පාරට මතු වූ එකක් ලෙසින් පෙනී යන නිසාය. ජෝසප් ස්ටාලින් මහතා නිරෝධානයට රැගෙන ගියේ නැති නම් ගුරු වැටුප් විෂමතාව පිළිබඳව මේ ආකාරයේ විරෝධයක් මතු නොවන්නට ඉඩ තිබුණු බව ඉතාමත් පැහැදිලිය. එයින් කියන්නේ ගුරු භවතුන්ට වැටුප් පිළිබඳ ගැටලුවක් නොතිබුණා කියා නොවේ. එයින් කියන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව අද හෙට විසඳා ගන්නට තිබෙන ගැටලුවක් ලෙසින් ගුරුවරුන් සැලකුවේ නැති බවය.
ඒ කාරණය කෙසේ වුවත් මේ වන විට ගුරුවරුන් වෘත්තීය සමිති ගණනාවක් සම්බන්ධ කර ගනිමින් මේ කාරණයට (වැටුප් විෂමතාවට) එරෙහිව සටන් කරන්නට යොමුවී තිබෙන බව ඉතාමත් පැහැදිලිය. දැන් සටන පටන් ගත්තේ කවුරුන් ද සහ නිමා කළ යුත්තේ කෙසේ ද යන කාරණා නොසලකා හරිමින් බරපතළ තැනකට රටේ අධ්‍යාපනය තල්ලු කරන්නටත් මේ සටනට හැකි වී තිබෙන බව පැහැදිලිය. කොරෝනා වසංගතය හේතුවෙන් අවුරුදු එක හමාරක් පමණ කාලයක් ගෙදරට වී සිටීම නිසා ඇති වී තිබෙන ආතතිය සමහන් කරන්නට මෙන් උද්ඝෝෂණ සඳහා ඇදී එන ගුරු භවතුන් රාශියක් සිටින බවත් මෙහිදී නිරීක්ෂණය වන කාරණයක්ය. ඒ අනුව මේ වන විට අනෙක් කිසිම ක්ෂේත්‍රයක නොපෙන්වූ ආකාරයේ ජනතා සහභාගිත්වයක් මේ වෘත්තීය ක්‍රියාමාර්ග සමගින් පෙන්නුම් කරන බව සත්‍යයක්ය.
තවත් ලෙසකින් කිවහොත් අපේ ආණ්‍ඩුවට ඡන්දය දුන් සමහරුන් ද මේ මොහොතේ සිටින්නේ ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය සමගය. ඒ දේශපාලන තේරුමෙන් සමහර දේවල් අර්ථකථනය කරන්නට අපහසු තැනට මේ ප්‍රශ්නයට සම්බන්ධ ගුරුවරුන් හැම දේශපාලන පක්ෂයකටම සම්බන්ධ පිරිස් බව සත්‍යයකි.
මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ කාල වකවානුව සලකා බලන විට පැහැදිලි වන්නේ මේ සටන ඉතාමත් මූලික වෘත්තිය සටන් ආචාරධර්මවත් නොපිළි ගන්නා වර්ගයේ එකක් බවය. ඒ කියන්නේ මේ සටන පටන් ගත්තේම ලෝකයේ වෙනත් කිසිම රටක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තෝරා නොගන්නා කාල වකවානුවක් බවය. එක පැත්තකින් කොරෝනා වසංගතයය. අනික් පැත්තෙන් බරපතළ ආර්ථීක ගැටලුකාරිත්වයක් තිබෙන කාලයක්ය. තවත් පැත්තකින් ආණ්ඩුවට කිසිම ආකාරයක දැනුම්දීමක් ලබා නොදෙමින් හදිසියේ ගත් තීරණයකට අනුව මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබීමය.
මේ ආකාරයේ ආචාර ධර්මීය ගැටලු ගණනාවක් තිබුණත් දැන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැටුප් විෂමතාව සමහන් කරන ලෙසින් ඉල්ලා සටන් මගට පැමිණ අවසන්ය. සාමාන්‍යයෙන් පෙනී යන ආකාරයට ඒ අයගේ සටන ස්ටාලින්, මහින්ද වැනි නිතර රූපවාහිනියේ පෙනී සිටින නායකයන්ගේ පරිමාණය ද ඉක්මවා යමින් තිබෙන බව ඉතාමත් පැහැදිලිය. ඒ කියන්නේ ස්ටාලින්ලාට මහින්දලාට අවශ්‍ය ආකාරයට මේ සටන ගලා යන්නේ නැති බවය. ඔවුන්ටත් දැන් ඒ තත්ත්වය කළමනාකරණය කිරීමට නොහැකි තත්ත්වයකට මේ සියල්ල පත්වෙමින් තිබෙනවා යැයි කීමේ වැරැද්දක් නැති ගානය. මුළු රටම බරපතළ වසංගත රෝග තත්ත්වයක් සමග පොර බදන අවස්ථාවක මේ සටන ඇදී යන්නේ හරි සටන් නායකත්වයක්වත් නොමැති වෘත්තීය වසංගතයක් ලෙසින්ය. මේ තත්ත්වය වසංගතයේ වේගවත් වර්ධනය ගැන වුවත් කිසිම ගානක් නැතිව ඉදිරියට යන්නේ මම ඒ කියන නායකත්වයක් නොමැති තත්ත්වයට මේ සටන්කරුවන් පත්වී ඇති නිසා යැයි පිළිගැනීමේ වැරැද්දක් නැත.
අපේ රටේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඉතාමත් වැදගත් ජාතික සේවාවක් සිදු කරන අය බව සත්‍යයයක්ය. ඒ වගේම ඔවුන්ගේ වැටුප් විෂමතාවක් දිගටම තිබූ බව දැන් අපට පැහැදිලිය. එහෙත් ඒ ගැටලුව පිළිබඳ කිසිදු වෘත්තීය සමිති බලපෑමක් සමාජයට දැනෙන ආකාරයෙන් පසු ගිය වසර ගණනාවක දී මතු වූ බවක් රටේ කවුරුවත් දන්නේ නැත. දැකලාත් නැත. මා එසේ කියන්නේ ඒ අයගේ අභ්‍යන්තර සාකච්ඡාවල මේ ප්‍රශ්නය සාකච්ඡා වුණේ නැත කියා නොවේ. එහෙත් මේ පසුගිය සති දෙක තුළ පෙන්නුම් කරන ආකාරයෙන් මෝරා යන ආකාරයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බරපතළ ප්‍රශ්නයක් තිබෙන බවක් මේ රටේ කවුරුත් දැනගෙන නොසිටි බව මගේ අදහසය. කොටින්ම කියනවා නම් මේ පන්නයේ සියලු ගුරුවරු පාරට කැඳවන ජීවිතය හෝ මරණය වැනි බරපතළ ස්ථාවරයක් සහිත සටන් ව්‍යාපෘතියක් සූදානම් කරමින් ස්වකීය වැටුප් අරගලය ඉදිරියට ගෙන යන බවක් ඔවුන් (ගුරුවරුන්) තමන්ගේ අමාත්‍යාංශයට වත් දැනුම් දී තිබුණේ නැත. සටනේ අරමුණේ සිට සටන් උපක්‍රම දක්වා සියල්ල මතුවුණේ ස්ටාලින් නිරෝධායනයට ගෙන ගිය නිසා යැයි සමහරුන් කියන කතාවේ පදනමක් තිබෙනවා යැයි සිතෙන්නේ මේ තත්ත්වය නිසාය.
දැන් මේ සටනේ නායකයන් කරමින් සිටින්නේ ‘‘ගුරුවරුන් ටික පාරට ගත්ත එකේ කොහොම හරි මේ ප්‍රශ්නය විසඳන තුරු ඒ අය පාරේ තියා ගන්න පුළුවන් ආකාරයට සටන් උපක්‍රම තෝරන්නට යැයි’’ ඉතාමත් පැහැදිලිය. මේ තත්ත්වය එක පැත්තකින් ඉතාමත් බරපතළ විනාශකාරිත්වයක් නිර්මාණය කළ හැකි බව ද පෙනී යන කාරණයකි. ඒ කියන්නේ වෘත්තීය ක්‍රියා මාර්ගයක ආරම්භය ගමන් මාර්ගය සහ අවසානය පිළිබඳව කිසිදු සැලැස්මක් නොමැතිව හුදු හැඟීම්බරව ගුරුවරුන් පාරට කැඳවීම නිසා එක පැත්තකින් වසංගතයේ ගොදුරු බවට සමහර ගුරුභවතුන් පත්වීමේ අනතුරය. අනෙක් පැත්තෙන් රට හෝ සමාජය තුළ නිසි ආකාරයෙන් වර්ධනය නොවූ සටන් පාඨයක් තුළට ගෙවල්වල සිටින ගුරුභවතුන් තල්ලු කරමින් හදිසි බලපෑමක් බවට වෘත්තීය ක්‍රියා මාර්ගයක් ලඝු කරන්නට යෑම හේතුවෙන් ඒ වෘත්තීය අවශ්‍යතාව හෙවත් ඉල්ලීම දිනාගත නොහැකි එකක් බවට පත්වීමේ අනතුරක් ද මෙහි ඇති බවය.
අපේ රටේ ගුරුවරුන්ගේ සේවය සම්බන්ධ වැටුප් විෂමතා ගැටලුවෙන් ආරම්භ වී විසඳන්නට තියෙන ප්‍රශ්න ගණනාවක්ම තිබෙන බව මගේත් අදහසය. එසේ විසඳිය යුතු ගැටලු අතර මුලින්ම තිබෙන එකක් වන්නේ ගුරුවරුන්ගේ පුහුණුව පිළිබඳව ගැටලුවය. විශ්වවිද්‍යාලයෙන් උපාධියක් රැගෙන විෂය දැනුමක් සහිතව පාසල්වල උගන්වන්න එන ආචාර්යවරුන්ට විශ්‍රාම යන තුරුම ගුරු පුහුණුවක් ලබා දෙන්නට හැකියාවක් නැති ආකාරයේ ගුරු සේවයක්ය අපට තිබෙන්නේ. මේ නිසාම විෂය දැනුම තිබෙන එහෙත් පාසල්වල ඉගැන්වීම පිළිබද කිසිදු පුහුණුවක් ලබා නොදෙන ගුරු භවතුන් බහුතරයක් සිටින ක්ෂේත්‍රයක් බවට මෙය පත්වී ඇති බව එහි එක ගැටලුවක්ය.
තවත් පැත්තකින් තේරුම් ගත යුතු කාරණයක් වන්නේ අපේ රටේ අධ්‍යාපනය විෂය මධ්‍යම ආණ්‍ඩුව සහ පළාත් සභා අතර දෝලනය වන ආකාරයේ තිබෙන සමහර ගැටලුකාරීත්වයයි. මේ වන විට අපේ රටේ රජයේ පාසල් 10155 තිබෙන අතර එයින් මධ්‍යම රජය යටතේ තියෙන්නේ ජාතික පාසල් 373 පමණය.
මේ ගණන 1000 දක්වා වැඩි කිරීමටත් වත්මන් රජය තීරණය කර තිබුණ ද තවමත් ඒ තීරණය ක්‍රියාත්මක වී නොමැත. රජයේ පාසල් අතරින් විශාල බහුතරය වූ පාසල් 9782 ක්ම පාලනය කරනු ලබන්නේ පළාත් සභාව විසින්ය. පළාත් සභාවලට මන්ත්‍රීවරුන් හෝ ඇමැතිවරුන් නොමැතිව ඒ ක්‍රමය මේ වන විට දුවන්නේ හුදු නිලධාරීන් කණ්ඩායමක් යටතේය.
මේ ගැටලුවට අමතරව මවිසින් ඉහතින් සඳහන් කළ ගුරුවරුන්ගේ පුහුණුව පිළිබඳව කාරණය බරපතළ ප්‍රශ්නයක් ලෙසින් පවතින අනෙක් ක්ෂේත්‍රයයි. මේ වන විට රටේ සිටින සියලු ගුරුවරුන් ගණන 249944 කි. මේ අතරින් 121569 ක්ම සිටින්නේ විෂය පැත්තෙන් උපාධියක් තිබෙන එහෙත් අධ්‍යාපන විද්‍යාව පැත්තෙන් කිසිම පුහුණුවක් නොමැති ගුරු භවතුන්ය. මා එසේ කියන්නේ ඒ ගුරු භවතුන්ගේ විෂය ඥානය පිළිබඳව කිසිදු සැකයක් හෝ අපහාසයක් ජනිත කිරීමේ අදහසින් නොවේ. එහෙත් මගේ අදහස වන්නේ අපේ රටේ සිටින සම්පූර්ණ ගුරු ජනගහනයෙන් සියයට 48.7 පමණ සිටින්නේ කිසිදු ගුරු පුහුණුවක් සඳහා ලක් නොකළ විෂය දැනුම පමණක් තිබෙන ගුරු භවතුන් බවය. මෙය රටක් ලෙසින් විසඳිය යුතු බරපතළම ප්‍රශ්නයක් වුවත් ඒ සඳහා කිසිදු වෘත්තීය සමිතියකින් හඬක් නැගෙන්නේ නැත.
තවත් පැත්තකින් ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපනය සැලකිය හැකිය. රටේ පාසල් ක්ෂේත්‍රයේ 1-5 දක්වා ශ්‍රේණිවල උගන්වන ගුරුභවතුන්ගේ සංඛ්‍යාව 75353කි. ඒ කියන්නේ සමස්ත ගුරුභවතුන්ට සාමාන්‍ය පුහුණුවක් ලැබෙන නමුත් මූලික ළමා අධ්‍යාපනය පිළිබඳ නිශ්චිත වූ පුහුණුවක් ලැබෙන්නේ නැත. දරුවකුගේ මුල් කාලයේ අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයේ ඉතාමත්ම වැදගත් හා තීරණාත්මක කාලයක් බව ඉතාමත් පැහැදිලිය. එහෙත් ඒ කාලය තුළ දරුවා පුහුණු කිරීම යනු විෂය දැනුමට සම්බන්ධ දෙයක් යැයි සිතන අධ්‍යාපන ක්‍රමයක් ලෝකයේ වෙනත් රටක නැති දෙයක් යැයි කීමේ වැරැද්දක් ද නැත. රටේ මේ කලාපයේ ගැටලු විසඳීමේ පළල් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් අවශ්‍ය වී ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ රජයේ එක් උත්සාහයක් වී තිබුණේ ඒ ආකාරයේ ප්‍රතිසංස්කරණ මාලාවකට අධ්‍යාපන ක්ෂේත්‍රය යටත් කිරීමය. මීට පෙර සිටි අධ්‍යාපන ඇමැතිවරයා වූ ඩලස් අලහප්පෙරුම මහතා මේ පුහුණුව පිළිබඳ ක්ෂේත්‍රය ගැන විශේෂයෙන් උනන්දු වූ අයකු බව ද මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය. වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශය මේ කාරණය පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද මේ වන විට පෙනී ගොස් ඇත. මේ ක්ෂේත්‍රයේ වර්ධනයන් ගැන වෘත්තීය සමිති එතරම් උනන්දුවක් දක්වන්නේ නැතිවීම ඉතාමත් කනගාටුදායක කාරණයක්ය.
මේ දිනවල මහ මගට කැඳවා ඇති ගුරුභවතුන් හැම දෙනාම කියන්නේ පසුගිය වසර 24 කාලයක් පුරා ඔවුන්ගේ වැටුප් විෂමතාව විසඳී නැති බවය. ඒ කියන්නේ පසුගිය කාලයේ රට පාලනය කළ සියලු පක්ෂ සම්බන්ධ විවේචනයක් නිසා මේ තත්ත්වයෙන් ලාභ දේශපාලන වාසි ගැනීමේ උත්සාහය ඉතාමත් දුර්වල උත්සාහයක් බව මගේ අදහසයි.
ගුරු සිත නොරිදවා ගුරු භවතුන්ගේ ගැටලු විසඳීම වත්මන් රජය මීළඟ අයවැය මගින් මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්නට යන බව මේ වන විටත් ප්‍රකාශ වී ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සටන් උපක්‍රම තේරිය යුතු බව ගුරුභවතුන්ට ඉතාමත් අවංකව මා කරන යෝජනාවය.
වෘත්තිය ක්‍රියාමාර්ගයකට ආදර්ශයට ගත යුත්තේ දේශපාලන ක්‍රියාමාර්ග සඳහා ලෙනින් ලබාදුන් සමහර සටන් පාඨයෝය. ලෙනින් කීවේ පියවරක් ඉදිරියට පියවර දෙකක් පසු පසට නැවතත් වේගයෙන් ඉදිරියට කියාය. මා කියන්නේ දැන් පියවර දෙකක් පසු පසට ගොස් රජයට මේ සඳහා අවස්ථාව දිය යුතු බවය. එහෙත් කනගාටුවට කාරණය වන්නේ අපේ ගුරුභවතුන් ලෙනින්ව අමතක කර ස්ටාලින්ව අනුගමනය කරන්නට යාමය.
(***)

මහාචාර්ය - චරිත හේරත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කිව්වොත් රටේ අධ්‍යාපනය විනාශ කිරීමට මුල් වූයේද හත්තෑ වසරක් පුරා සිටි දේශපාලකයින්. රජයේ ගුරු සේවය එපා වී පෞද්ගලික අංශයට සමහරෙක් බැඳුනේ වැටුප් අඩු නිසා පමණක් නොවේ. රජයේ පාසැල්වල වරින්වර පත්වන ඇමතිවරුන්ගේ න්‍යාය පත්රවලට අනුව කරන පෝරම පිරවීම මෙන්ම ගුරු පුහුණුව අතරේ දේශපාලන ඉලක්ක සපුරාලීමට කාලය වැය කිරීම, ගුරු උපදේශකවරුන් අතර ගුරුවරුන්ට වඩා ඉතාමත් අඩු සුදුසුකම් ඇති දේශපාලන පත්වීම් ඇති අය සිටීම මින් සමහරක් පමණයි. බොහෝ ගුරු මහත්මීන් උපාධිය අභිබවා සුදුසුකම් ලැබ සිටියද තම සැමියාගෙන් යැපීම හේතුවෙන් අඩු පඩිය ගැන කථා කිරීම අවුරුදු 20 කට පමාවිය.
සිංගප්පූරුව වගේ වෙන්න ආසයි... ඒ විදිහට වැඩ කරන්න, සිස්ටම් ක්‍රියාත්මක කරන්න කැමති නැහැ.. රට හදන්ඩ දෙන්නේ නැත්තේ වෘත්තීය සමිති සහ දියව් දියව් පක්ෂය මිසක් වෙන කව්රුත් නොවේ..
දැන් ගුරු මණ්ඩලෙත් ගමනාගමන මණ්ඩලය වගේ වෙලා .උද්ඝෝෂණ කරන්න පුළුවන් යුගයක්ද හලෝ මේක. මෙගොල්ලොත් ලැබෙන්නේ නැති වෙලාව හරියටම බලලා ඉල්ලනවා .ඔය බලය යොදන්න තිබුනේ මීට කලින්
වසංගත තත්වය හමුවේ බොහෝ රටවල රැකියා අහිමිව ඇත. අප රටේද පෞද්ගලික අංශයේ රැකියා අහිමිව තිබියදීත්, කුමක් හෝ දෙයක් කර කීයක් හෝ හම්බ කරගෙන දිවි ගැටගසා ගත් අය මංමුලා වී සිටියදීත් ඔවුන් නිහඬව නිවෙස්වලට වී සිටිනුයේ අවබෝධය නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. නිවෙස් වලට වී සිටියත් කිසිම අඩුවක් නැතිව වැටුප් හා දීමනා ගෙවමින් තිබියදීත් මේ සිදුකරන්නේ රාජ්‍ය විරෝධී ක්‍රියාදාමයක් මිස වෙන කිසිවක් නොවේ. මේ රට බහුතර බලයකින් ශක්තිමත්ව තිබූ හැම අවස්ථාවකදීම සිදු වූ ආකාරයේ ක්‍රියාදාමයක් සිදු නොවන්නේ යැයි සිතිය යුතු නැත. ගුරුවරුන් තියා කුමන වෘත්තියක් වුවත් ඒවැනි තත්වයට ඉඩ නොදිය යුතුමයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී ලබන ආභාෂය වෘත්තියට වැද්ද ගැනීමට ඉඩදීමට තරම් විනය පිරිහීමට ඉඩ සලස්වා ඇත. එබැවින් පළමුව විනයානුකූලව කටයුතු කිරීම ඇරඹිය යුතුයි. නැත්නම් දරුවන්ද පාසැල් වියේදීම මේවා ආදර්ශයට ගනු ඇත. කොතලාවල වි.වි. මොවුන් විරුද්ධ වනුයේද ඊනියා ශිෂ්‍ය සංගම් නැති විනයානුකූල වි.වි. බිහි වීමේ ආදර්ශයට ඇති බයටයි. මෙම ආදර්ශය වෙනත් වෘත්තීන් අනුගමනය කිරීමට පෙර දඬුවම් දිය යුතුමයි. කිසිවක් තවත් කිසිවකට වඩා උසස් නැත. රට පළමුව විය යුතුයි.
මුලදී ගුරුවරුන් කොතලාවල පනත වෙනුවෙන් පමණක් හඬ නැගූහ. ගුරුවරුන්ට පඩි වැඩි නොකළ ආණ්‍ඩුව ලෝකයේ විශාලම ඇමති මණ්ඩලයේ පක්ෂ විපක්ෂ සැමගේ පඩි වැඩි කරගත්තේ වැඩ පටන් ගන්නට කලින්ය. එනමුදු මෙතෙක් ඉවසා සිටි ගුරුවරුන්, කාලකන්නි දේශපාලකයින් එක්කෙනෙක් හෝ දෙන්නෙක්ගේ ප්‍රකාශයකින් පසු මෙසේ ලේඛනගත කරන ලද වැටුප ඉල්ලීමට තීරණය කළෝය. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය රටකට අවශ්‍ය වූවද ශ්‍රී ලංකාව වැනි නීති නැති රටක එහි අනිටු ප්‍රථිඵල සමහර අහිංසක සිසුන් අත් විඳිමින් සිටී. බොරු ආචාර්ය උපාධි අතැතිව මෙවැනි ආයතන පටන් ගන්නා සමහර හිමිකරුවන් ලක්ෂ ගණන් දරුවන්ගේ මුදල් ගසා කති. අන්තිමේදී සුදුසුකම් නැති අයවලුන් විසින් උගන්වා යාන්තම් සහතිකයක් අත මිට මොලවන ආයතන ක්රමානුකූල ආයතනද හෑල්ලුවට ලක් කරති. පැමිණිලි පරීක්ෂා කර බැලීමට UGC වෙත යන්න. රජයේ නියාමන නිලධාරීන් මර නින්දේ සිටීම දූෂිත රටක පුදුමයක් නොවේ.
පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන පළමු මාසය තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා ආදායම හම්බකරගත් අයට කිසිදු ආදායමක් නැතිවිය. රජයට මේ ගැන වගක් නොවීය. ඔවුන් හමුවේ තිබූ ප්‍රධාන අභියෝගය ජනතාව කොරෝනා වලින් බේරා ගැනීමට පියවර ගැනීමයි. සෞඛ්‍ය, ආර්ථික, කෘෂිකර්ම, අධ්‍යාපන හා අනෙකුත් ක්ෂේත්‍ර සඳහාද දේශපාලන නායකත්ව, අමාත්‍යංශ, නිලධාරීන් විශාල සංඛ්‍යායාවක් සිටියි. එහෙත් මෙම වසංගතය හමුවේ අධ්‍යාපන ක්ෂේත්රයට වන හානිය පුරෝකථනය කිරීමට හෝ එය වැලැක් වීමට ගත හැකි නිර්දේශ ඉදිරිපත් කර පොදු වැඩ පිළිවෙලක් සකස් කිරීමට අමාත්‍යංශ, පළාත්, කලාප, කොට්ඨාශ නිලධාරීන් අපොහොසත් විය. රජය සේවක වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ගෙවමින් ඔවුන්ගේ සේවය නිසි අයුරින් නියාමනය නොකරන ලදී. මෙහි පලවිපාක ගෙවමින් සිටී. කොරෝනා ස්වරුපය මාරු කරමින් අප අතර තවත් කාලයක් රැඳෙනු ඇත. රජය මේ ගැන අවධානය නොකලොත් තව වසර 10 පමණ යනවිට ඉහල අධ්‍යාපන මට්ටම් අවැසි රැකියා සඳහා පුරප්පාඩු විදේශ ශ්‍රමිකයන් ලවා පිරවීමට සිදුවනු ඇත.
ගුරුවරුන්ගේ සේවාව හැකි සෑම අවස්ථාවකම පාසැල හරහා පාසල් වේලාව තුලදී ලබාගැනීමට කටයුතු කරන්න. බොහෝ පාසල් වල පරිගණක, අන්තර්ජාල පහසුකම්, විද්‍යාගාර හා ඉගෙනුම් උපකරණ ඇත. 1. ඒවා යොදා ගෙන ගුරුවරුන් මගින් මාර්ගගත අධ්‍යාපනය පාසල් වේලාව තුලදී දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් හදන්න. 2. එවිට ගුරුවරුන් නගන අන්තර්ජාල හා උපකරණ ගැටළු වලට හොද විසඳුමක් ලැබෙන අතර. ඔවුන්ගේ සේවා කාලය නිසි ලෙස ගුණාත්මක බවකින් ලබාගැනීමට හැකි වේ. 3. තවද පාසල් පටන්ගත් දිනකදී පවා කොටස් වශයෙන් දරුවන් පාසල් එන අවස්ථාවක ඉතිරි සිසුන්ට මාර්ගගත ආකාරයෙන් පාඩමට සම්බන්ධ වීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් වනු ඇත. 4. අඩු සිසුන් සහිත පාසල් කල් නොමරා පටන්ගන්න. 5. ශ්‍රේණි දෙකක වාර විභාග 5ක් මග හැරුණු දරුවන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම අමාත්‍යංශ මට්ටමෙන් සියලු ශ්‍රේණි, විෂයන් ආවරණය වන අනිවාර්ය ලිඛිත වාර විභාගයක් පවත්වන්න. 6. එම ලකුණු පාසල්, කොට්ඨාශ, කලාප, පළාත්, අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කර හැකි ඉක්මනින් හදුනාගන්නා ගැටළු ජාතික මට්ටමෙන් විසදන්න.
ගුරුවරුන්ගේ සේවාව හැකි සෑම අවස්ථාවකම පාසල හරහා පාසල් වේලාව තුලදී ලබාගැනීමට කටයුතු කරන්න. බොහෝ පාසල් වල පරිගණක, අන්තර්ජාල පහසුකම්, විද්‍යාගාර හා ඉගෙනුම් උපකරණ ඇත. 1. ඒවා යොදාගෙන ගුරුවරුන්ට මාර්ගගත අධ්‍යාපනය පාසල් වේලාව තුළදී දරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් හදන්න. 2. එවිට ගුරුවරුන් නගන අන්තර්ජාල හා උපකරණ ගැටළුවලට හොඳ විසඳුමක් ලැබෙන අතර... ඔවුන්ගේ සේවා කාලය නිසිලෙස ගුණාත්මක බවකින් ලබාගැනීමට හැකි වේ. 3. තවද පාසල් පටන්ගත් දිනකදී පවා කොටස් වශයෙන් දරුවන් පාසල් එන අවස්ථාවක ඉතිරි සිසුන්ට මාර්ගගත ආකාරයෙන් පාඩමට සම්බන්ධ වීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් වනු ඇත. 4. අඩු සිසුන් සහිත පාසල් කල් නොමරා පටන්ගන්න. 5. ශ්‍රේණි දෙකක වාර විභාග 5ක් මග හැරුණු දරුවන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම අමාත්‍යාංශ මට්ටමෙන් සියලු ශ්‍රේණි, විෂයන් ආවරණය වන අනිවාර්ය ලිඛිත වාර විභාගයක් පවත්වන්න. 6. එම ලකුණු පාසල්, කොට්ඨාශ, කලාප, පළාත්, අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කර හැකි ඉක්මනින් හඳුනාගන්නා ගැටළු ජාතික මට්ටමෙන් විසදන්න. 7. මාර්ගගත අධ්‍යාපනය ඉතා හොඳින් පවත්වාගෙනයන පාසල් හඳුනාගෙන ඔවුන් අගය කරමින් එම සම්පත් රටේ අනෙක් දරුවන්ට ලබාදෙන්න.