IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


71 පොළොන්නරුව ප්‍රහාරය: පොලිස්පතිගේ වාර්තාවෙන්

 
සමාජ අසාධාරණය, විරැකියාව හා කුල පීඩනය වැනි දැවෙන ප්‍රශ්නවලට විසඳුම පවතින දේශපාලන රාමුව පෙරළා දමා නව සමාජයක් ගොඩනැගීම 1971 තරුණ කැරැල්ලේ එක් අරමුණකි. 
ජනතා විමුක්ති පෙරමුණ විසින් රහසිගතව ලබාදුන් පංති පහක දේශපාලන දැනුමේ ආශ්වාදයෙන්, තම ශක්තිය පිළිබඳව අධිතක්සේරුවක් සහිතව අසංවිධානාත්මක හා අති වාමාංශික ලෙස ග්‍රාමීය තරුණයෝ අවි අතට ගත්හ. එම කැරැල්ලේදී බහුලව ප්‍රයෝජනයට ගත්තේ ප්‍රාථමික වර්ගයේ ගල්කටස් වැනි ගිනිඅවි හා අත්බෝම්බය. එම අවිවල සාර්ථකත්වය පිළිබඳව කැරලිකරුවන්ට පවා විශ්වාසයක්ද නොවීය. මනා පුහුණුවක්ද නොතිබිණි. 
ගොවි තරුණයින් බහුලව වෙසෙන පොළොන්නරුව දිස්ත්‍රික්කය ද 71 කැරැල්ලේ මර්මස්ථානයක් විය. 
 
පොළොන්නරුව පොලීසිය වටකර පහරදී අල්ලා ගැනීමට කැරලි කරුවන් ගත්වෑයම අවසානයේදී නිශ්ඵල වුවත් 500කට ආසන්න කණ්ඩායමක් මෙහෙයවා 71 අප්‍රේල් 05, 10, 12 වශයෙන් තෙවරක්ම උත්සාහ ගන්නා ලදී.
 
මෙම සටන් නිසා ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගිය කැරලිකරුවන් 41 දෙනෙකුගේ සිරුරු පොලිස් ස්ථානය අසලින් සොයාගන්නා ලදී. ආරක්ෂක අංශ කිසිවෙකුට හානියක් නොවීය. 71 කැරැල්ලේදී එක් පොලිස් ස්ථානයකදී මියගිය වැඩිම කැරලිකරුවන් සංඛ්‍යාව මෙය බව පැවසෙයි. 
 
පළමු සටනින් පසු පොළොන්නරුව පොලීසිය ආරක්ෂක හේතු මත නව නගරයේ ගොඩනැගිල්ලකට ස්ථාන මාරු කිරීම හා මැදිරිගිරිය, ඇළහැර, බකමූණ වැනි පොලිස් ස්ථාන අතහැර පසු බැසීමටත් සිදුවිය. පොලීසිය කළ ආරක්ෂක මෙහෙයුම පිළිබඳව කතාව කියැවෙන්නේ මෙලෙසිනි. 
 
1971 දී කැරලිකරුවන් පොළොන්නරුව පොලීසිය අල්ලා ගැනීම සඳහා කළ සටන හා කැරලිකරුවන්ට එරෙහිව පොලිසිය යෙදවූ ගිනි බලය පිළිබඳව විශේෂ වාර්තාවක් පොලිස්පති විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව වෙතට ඉදිරිපත් කළේය. 
 
එම වාර්තාව සකස් කළේ එවකට පොළොන්නරුව පොලිස් ස්ථානාධිපතිව සිටි ජොහාන් මහතාගේ සහයෙන් පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරි වුඞ්ලන් මහතා විසිනි. 
 
1971 අප්‍රේල් මස 5 වැනි දින පස්වරු 8.06ට පොලිස්පතිතුමාගේ පණිවිඩයක් පොළොන්නරුව පොලිස් ස්ථානයට ලැබුණ අතර, එම පණිවිඩයේ සඳහන් වූයේ එදිනම පස්වරු 11.00ට ත්‍රස්තවාදීන් විසින් පොලිස් ස්ථානවලට පහර දීමට සූදානම්කර ඇති බවයි. එදිනම පස්වරු 7.00ට පමණ පිරිසක් විසින් පොලිසියට පහරදීම සඳහා රථයක් පැහැර ගන්නා ලද බවට ආරංචියක් හිඟුරක්ගොඩ සිටියදි මට ලැබිණි. මෙම ආරංචිය ලැබුණ වහාම මම ආපසු පොළොන්නරුව කරා පැමිණියෙමි. 
 
ඒ අතර හිඟුරක්ගොඩ හා මැදිරිගිරිය යන පොලිස් ස්ථානවලටද මෙම පහරදීම සම්බන්ධ ආරංචිය දන්වා යැව්වෙමි. මම පොළොන්නරුවට පැමිණීමෙන් පසුව, පොලිස් ස්ථානයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ආරක්ෂක කටයුතු සංවිධානය කළ අතර, මේ සම්බන්ධව පොළොන්නරුව නව නගරයේ පිහිටි යුද හමුදා අනු කණ්ඩායමටද දන්වා යැවීමි. 
 
පොළොන්නරුව පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ හබරණ මඩකළපුව මාර්ගයට මුහුණලා පොළොන්නරුව පැරණි නගරය තුළය. ප්‍රධාන පාරත් සමගම පොලිස් ස්ථානය ඉදිරිපසින් නව නගරය දක්වා දිවෙන අතු පාරක් ඇති අතර, පොලිස් ස්ථානයේ දකුණු පසින් පොලිස් ස්ථානය වටා යන අතුරු පාරක්ද ඇත. පොලිස් ස්ථානය පිටුපස රජකයින්ගේ ජනපදයක්ද, ඉන් ඉස්මත්තේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මද පිහිටා ඇති අතර, රාත්‍රී කාලයේදී ප්‍රධාන මාර්ගය දෙසින් එන විදුලි ආලෝකය හැර, අනෙකුත් සෑම පැත්තකින්ම දැඩි කළුවරකින් යුක්ත බව සඳහන් කළ යුතුය. 
 
එමෙන්ම දකුණු පසින් වන්දනාකරුවන් සඳහා විශ්‍රාමශාලාවක් ඇති අතර, පොලිසිය පැත්තට ඇති කොටසේ බිත්තිය සඳහා අඩි 5ක් පමණ උස ඇති තාප්පයක් බැඳ ඇති බවද සඳහන් කළ යුතුය. 
 
ඉදිරිපසින් දිවෙන අතුරු පාරේ පොලිස් ස්ථාන භූමියට බිම් කැබලි දෙකකට යාබදව තවත් විශ්‍රාමශාලාවක් පිහිටා ඇත. පොලිස් ස්ථාන භූමිය අක්කරයක් පමණ විශාල වනඅතර, ප්‍රධාන පාරට මුහුණලා පිහිටුවා ඇත. පිටුපස විවාහක පොලිස් සැරයන්වරුන්ගේ නිවාස සමූහයක්ද තනිකඩ නිලධාරීන්ගේ භෝජනාගාරයද පිහිටා ඇත. විවාහක සැරයන්වරුන්ගේ නිවාස හා පොලිස් ස්ථානය අසල පොලිස් ස්ථානයේ ගුවන්විදුලි පණිවිඩ යන්ත්‍ර සවිකර තිබූ කුඩා ගොඩනැගිල්ලක්ද විය. භෝජනාගාරයට අඩි 30ක් පමණ උසින් වතුර ටැංකියක්ද සවිකර තිබූ අතර එහි යට විදුලිජනකය සවිකර තිබුණි.   
 
1971 අප්‍රේල් 05 වැනි දින ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මෙසේය. 
 
සහකාර පොලිස් අධිකාරි - 01
පොලිස් පරීක්ෂක හා උප පොලිස් පරීක්ෂක - 03
සැරයන්වරු - 04
කොස්තාපල් වරුන් - 35
පොලිස් රියැදුරන් - 02
 
මෙම දිනයේදී පොලිස් ස්ථානයේ තිබූ අවි ආයුධ සංඛ්‍යාව මෙසේය.
 
ප්‍රයෝජනයට ගතහැකි රයිපල් තුවක්කු -- 44
මැෂින් තුවක්කු - 05
රිවෝල්වර - 05
 
පොලිස් ස්ථානයේ තිබූ වෙඩි උණ්ඩ ප්‍රමාණය මෙසේය.
 
303 රයිපල් වෙඩි උණ්ඩ - 3720
380 රිවෝල්වර වෙඩි උණ්ඩ - 384
මිලි මීටර් 9 වෙඩි උණ්ඩ - 750
 
1971 අප්‍රේල් මස 4 වැනි දින වන විට ත්‍රස්තවාදීන් විසින් වැල්ලවායට කරන ලද පහර දීමද, පොලිස් ගුවන්විදුලිය මගින් දැනගෙන සිටි අතරම, ලද ආරංචිද පොලිස්පතිතුමාගෙන් ලැබුණ පණිවිඩද අනුව ආරක්ෂක කටයුතු අවස්ථාවේ හැටියට හැකි තරම් සුරැකි වන අන්දමට සංවිධානය කළෙමි. 
 
මෙදින පස්වරු 8.10ට මම පොලිස් ස්ථානයට පැමිණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමඟ නිලධාරීන් අනුඛණ්ඩවලට බෙදා පොලිස් ස්ථානයේ එක් එක් කොටස ඔවුන්ට බාර කළෙමි. මේ අනුව ඉදිරිපස කොටස ආරක්ෂා කිරීම සඳහා මූලස්ථාන පොලිස් පරීක්ෂකද, උප පොලිස් පරීක්ෂකවරයෙකුද, සැරයන්වරයෙකුද, පොලිස් කොස්තාපල්වරු දස දෙනෙක්ද යෙදවූහ. 
 
පොලිස් ස්ථානයේ දකුණු පස ආරක්ෂා කිරීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙක්ද, සැරයන්වරයකු හා කොස්තාපල්වරු අට දෙනෙකුද යොදවන්නට කටයුතු කෙරිණි. පොලිස් ස්ථානයේ පිටුපස රැකගැනීම සඳහා සැරයන්වරයකුද කොස්තාපල්වරු නව දෙනෙකුද යෙදවිණි. 
 
මෙම සියලු නිලධාරීන්ට තමන් ආරක්ෂා වෙන පරිදි සැඟවී සිටිය හැකි ස්ථාන මම සටහන්කර දුනිමි. ඔවුන් විසින් අණක් ලැබෙන තුරු වෙඩි නොතැබිය යුතු බවට විශේෂ නියෝගයක් කරන ලදී. සෑම පොලිස් කොස්තාපල්වරයෙකුටම රයිෆලයක් හා වෙඩි උණ්ඩ 20 බැගින් නිකුත් කෙරුණි. මූලස්ථාන පොලිස් පරීක්ෂකට හා උප පොලිස් පරීක්ෂකවරුන්ට ඔවුන්ගේ රිවෝල්වර සහ මැෂින් තුවක්කුව බැගින්ද, අනෙක් මැෂින් තුවක්කුව දකුණුපස සිටි සැරයන්වරයා වෙත නිකුත් කළ අතර, මෙම එක් මැෂින් තුවක්කුවකට උණ්ඩ 28 බැගින් දැමිය හැකි මැගසින් දෙකක් නිකුත් කෙරුණි. උණ්ඩ පුරවන ලද මැගසින් දෙකක් සමඟ මැෂින් තුවක්කුවක් සහ රිවෝල්වරයක් මා විසින් ගන්නා ලදී. 
 
පොලිස් ස්ථානයේ ආරක්ෂාව පිළිබඳව කටයුතු යොදා, පොලිස් නිලධාරීන්ට නියමිත පරිදි උපදෙස් දීමෙන් පසු අපි සතුරා එනතෙක් රැක සිටියෙමු. මේ අවස්ථාවේදී පොලිස් ස්ථාන භූමියේ තිබූ සියළුම පහන් නිවා දැමුණි. මහා මාර්ගයේ විදුලිපහන් පමණක් පත්තු වෙමින් තිබුණි. 
 
පෙරවරු 01.00ට හෝ 01.10ට පමණ හිඟුරක්ගොඩ පැත්තේ සිට පොළොන්නරුව පොලිස් ස්ථානය පිටුපසට එළිය නොමැතිව එන බස් රථයක් වෙත අපේ ඇස් යොමු විය. මේ වනවිට ඉදිරිපස රැකීමේ නියුක්ත පොලිස් පිරිස සමඟ මමද පොලිස් ස්ථානයේ සිටියෙමි. මෙම බස්රථය ක්‍රමයෙන් පොලිස් ස්ථානයට ඇදී ආ අතර, එය හදිසියේම මහා මාර්ගයේ සිට පොලිස් ස්ථානය වෙත හැරවූයේය. මේ වනවිට පොලිස් ස්ථානයට ඇතුළු වීමට තිබූ ගේට්ටුව වසා තිබූ හෙයින් රථයට ඇතුළට ඒමට නොහැකිවූ අතර, එය ඉදිරිපිට ඇති අතුරු පාරට හරවා නැවැත්තුණි. 
 
මෙම අතුරු පාරට මුහුණලා විශාල බෝ රුකක් තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. මෙම බස් රථය පොලිස් ස්ථානයට කිට්ටු වෙනවාත් සමඟම එය තුළින් එක වෙඩිල්ලක් පත්තු විණි. මෙම වෙඩිල්ල නිසාම බස් රථයෙන් පැමිණි පුද්ගලයින් පොලිසියට පහරදීමට පැමිණි අය බව මවිසින් ඒත්තු ගන්නා ලද අතර, ඔවුන්ට වෙඩි තැබීමට මම අණ දුනිමි. 
 
මේ අණදෙන අවස්ථාව වනවිට බස් රථය පොලිසිය ඉදිරිපිට අතුරු පාරේ බෝරුකට කෙළින් නවතා තිබිණි. බස් රථයෙන් එළියට පැනගත් විමුක්ති පෙරමුණේ භටයෝද, බස් රථය තුළ සිටි විමුක්ති පෙරමුණේ භටයෝද නොකඩවාම පොලීසිය වෙත වෙඩි ප්‍රහාර එල්ල කළහ. මෙම වෙඩි ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර පොලීසිය මඟින් නොකඩවා දෙනු ලැබීය. බස්රථය සමඟම ඒ පිටුපස තවත් ලෑන්ඞ් රෝවර් රථයක් පැමිණි අතර එය පොලීසියේ දකුණු පසින් ඇති අතුරු මාර්ගයට හරවා නැවැත්විණි. 
 
මෙම ලෑන්ඞ් රෝවර් රථයෙන් පොලීසියට නොනවත්වාම අත් බෝම්බ සහ ගිනි අවුලවන ලද පෙට්‍රල් බෝතල්වලින් පහර දුන්නේය. ඒ සමගම දකුණු පස විශ්‍රාමශාලාවේ තාප්පය අසලින් පැමිණි තවත් පිරිසක් පොලීසියේ දකුණු පස දෙසට පහර දෙන්නට වූහ. මේ පහරදීම මධ්‍යයේ පොලීසියේ වම්පස විවාහක නිලධාරීන්ගේ නිවාස පිටුපස සිට විමුක්ති පෙරමුණේ භටයින් නොකඩවාම පහර දීමට පටන්ගත් අතර, පිටුපසින් පැමිණි තවත් විමුක්ති පෙරමුණේ භටයින් පිරිසක් විසින් වෙඩි තබන ලදි. ඒ අතර පෙට්‍රල් බෝම්බ හා අත්බෝම්බ මගින් නොකඩවාම පහරදීම කරගෙන ගියහ. 
 
මෙම සටන පෙරවරු 2.20ට පමණ හදිසියේම විමුක්ති පෙරමුණේ සියළු සටන් නවතා ඔවුන් තමන් සිටි ස්ථානවලින් එක්වරම ඈත්වුණ බවත් මට පෙනී ගියේය. ඒ සමගම මම එතෙක් ක්‍රියාකාරීව තිබූ ටෙලිෆෝනය මඟින් මෙම පහරදීම සම්බන්ධව අනුඛණ්ඩයට දන්වා අපේ සහයට එන ලෙස දන්වා සිටියෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස ඊට මිනිත්තු පහකට පමණ පසුව සැරයන්වරු දෙදෙනෙක්, සෙබළුන් දස දෙනෙකුගෙන් සමන්විත සුළු බළඇණියක් පොලිස් ස්ථානයට ළඟා විය. 
 
එම නිලධාරීන් පොලිස් ස්ථානයට පැමිණෙනවාත් සමගම විමුක්ති භටයින්ගේ ප්‍රහාරය නැවතත් හතර වටින්ම පොලිස් ස්ථානයට එල්ල විය. මෙම සටනේදී විමුක්ති භටයින් තුවක්කු, අත්බෝම්බ සහ ගිනි අවුල්වන ලද පෙට්‍රල් බෝතල් ප්‍රයෝජනයට ගත් බව සඳහන් කළ යුතුය. පොලිසියේ හා හමුදාවේ ප්‍රතිප්‍රහාර නොනවත්වාම සිදු කෙරිණි. 
 
පොලිස් නිලධාරීන්ට වැඩිපුර වෙඩි උණ්ඩ ලබාදීම මවිසින් උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පෞද්ගලිකව කරන ලද අතර නිලධාරින් සිටි ස්ථානවලට බඩගාගෙන යාමෙන් නොයෙක්වර වෙඩි උණ්ඩවලට මුහුණ දෙමින් යාමට සිදුවූ බවත් සඳහන් කළ යුතුය.
 
 
විශේෂ ස්තූතිය,
 
(71 සහෝදරත්ව සංසදය විසින් 2012 වසරේදී ප්‍රකාශනයට පත් කළ “සමහාර” කෘතිය ඇසුරිනි.)
 
 
 
 
 
මතු සම්බන්ධයි.
 
 
 
ගණේමුල්ල - බුද්ධි බොල්ලත
සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික



අදහස් (0)

71 පොළොන්නරුව ප්‍රහාරය: පොලිස්පතිගේ වාර්තාවෙන්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site