IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සබඳතා බිඳ වැටෙයි

බදාදා (හෙට) විවාදයට ගැනීම සදහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවකි. 

ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය පදනමේ සිට මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, එම වගන්තිය අනුව අගමැතිවරයාගේ මරණය, ධූරයෙන් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම යන තත්ත්වයන් යටතේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මහ මැතිවරණය පැවැත්වීම දක්වා වන කාලයට, අගමැතිවරයා සතු බලතල ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයකු පත්කිරීමට ජනපතිවරයාට හැකියාව ඇත. එසේත් නැතිනම් එම බලතල තමන් වෙතම පවරාගැනීමට ද ජනපතිවරයාට අවසරය තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙකි. විජයපාල හෙට්ටිආරච්චි, හර්ෂණ රාජකරුණා, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔවුහුය.

2018 ඔක්තෝබර් 26 වන දින අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ හෙයින් ද, 

2018 නොවැම්බර් 16 වන දින ගරු කතානායකතුමා, 2018 නොවැම්බර් මස 14 වන දින සම්මත වූ යෝජනාවේ පළමුවන ඡේදය ඉවත් කර ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම යෝජනාව සම්මත වූ හෙයින් ද, 

ඒ අනුව 2018 නොවැම්බර් 14 වන දින සම්මතවූ යෝජනාවේ පළමු ඡේදය ඉවත් කර ඇති හෙයින් ද,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති හෙයින් ද,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වන වගන්තිය ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස මෙම සභාව අතිගරු ජනාධිපතිතුමාට යෝජනා කර සිටී.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීම පසුපස කතාවක් ද තිබේ. මෙවන් යෝජනාවක් ඉදිරිපත් කිරීම අරභයා තිරය පසුපසින් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවේ, යෝජනාවේ සිංහල කෙටුම්පත (බොහෝ විට රජයේ ඉහළම තැනක් හරහා) ජනතා විමුක්ති පෙරමුණ වෙත ලැබිණ. මෙම යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ගැනීම ඔවුන්ගේ අදහස විය. 

ජනතා විමුක්ති පෙරමුණ එය එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී එක්සත් ජාතික පෙරමුණේ මුල් පෙල සාමාජිකයෙක් අගමැතිවරයා සම්බන්ධයෙන් එම යෝජනාවේ වූ සඳහන කපා හැරියේ ය. එම සඳහන කපා හැර ඇති යෝජනා කෙටුම්පත මෙම පිටුවේ ඇත. එළැඹෙන බදාදා විවාදයට ගැනීමට නියමිතව තිබෙන්නේ මෙයයි.

එනම්, පෙනෙන්නට තිබෙන්නේ ජනපතිවරයා, එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර යම් එකගතාවයක් ඇතිව තිබෙන සේයාවකි. ජනපති සිරිසේන මහතා සහ අගමැති රාජපක්ෂ මහතා අතර සබඳතා බිද වැටීමක් එයට නිසැක හේතුව බව කිව හැකිය.

එක්සත් ජාතික පක්ෂයද මේ හා සමාන යෝජනාවක් පිළිබදව දැනුම්වත් කළේ වුවත්, යෝජනාවේ කෙටුම්පතක් පක්ෂය වෙත ලැබුණේය යන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රතික්ෂේප කළේ ය. එසේවුවත්, පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණු ආරංචි මාර්ගයක් එක්සත් පෙරමුණු සාමාජිකයන්ගේ අත්සන් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරුණු යෝජනාවට පෙරම, කෙටුම්පත් කිහිපයක්ම රටේ ඉහළම තැනින් තම පක්ෂයට ලැබුණු බව අනාවරණය කළේ ය. මේ තොරතුරු දැනගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෝ දැඩිවම කෝපයට පත්වූහ.

ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් අගමැති රාජපක්ෂගෙන් ලබාගැනීමට ජනපති සිරිසේන මහතාට තිබෙන නොහැකියාව, විශේෂයෙන්ම රාජපක්ෂ මහතාගේ රජයට පාර්ලිමේන්තු බහුතරයක් නොමැති අවස්ථාවක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීමට හේතුපාදක වී තිබෙන ආකාරයක් දැකගත හැකිය. 

පසුගිය බදාදා එනම් 28 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 දෙනාත්, ජනපති සිරිසේන මහතා සහ අගමැති රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්විණ. මාතෘකාව වූයේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව ඉදිරියට යා හැක්කේ කෙසේද යන්නයි.

දිවුරුම් දීමෙන් දින කිහිපයක් ඇතුළත, ඒකාබද්ධ සන්ධානයක් පිහිටුවා ගැනීමෙහි ලා ජනපති සිරිසේන මහතා සහ නව අගමැති රාජපක්ෂ මහතා එකඟතාවයක් ඇතිකර ගත්හ. ඉලක්කම් ගණන දිනාගැනීමට රාජපක්ෂ පාර්ශවයට නොහැකිව තිබෙන බවට චෝදනා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය තීරණය කර තිබෙන්නේ තනිවම ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වීමටය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද (අඟහරුවාදා) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන අතර, දිස්ත්‍රික්ක මට්ටමින් රැස්වීම් පැවැත්වීමට ද පක්ෂය සැළසුම් කර තිබේ. 

බලයෙන් ඉවත් කැරුණු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට සහාය දක්වා පසුව විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමෙන් සිව්දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන අවසන්ය. එස්.බී.දිසානායක, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා සහ වසන්ත පෙරේරා ඔව්හු වෙති. නමුත් ඔවුහුද පසුගිය බදාදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමට සහභාගී වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්ය සහ මූලෝපායික සැළසුම්කරු වන බැසිල් රාජපක්ෂ මහතා ඉලක්කම් පිළිබදව ඔහු මින් පෙර දැරූ මතය යම්තාක් දුරකට වෙනස් කරගෙන ඇත.

“අවශ්‍ය ගණන තිබේවි කියා අප විශ්වාස කළා. කවුරුවත් එය එසේ පවතීවි කියා පොරොන්දු දුන් බවක් නම් මම කියන්නේ නැහැ” යයි ඔහු ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට කීවේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධානයක් ඇතිකරගැනීම අරබයා අදහසක් ඉදිරිපත් වුව ද, එය නිල වශයෙන් සාකච්ඡාවට නොගැනුණු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. 

බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස් දැක්වීම හමුවේ මීට පෙර අවස්ථාවක එස්.බී.දිසානායක අමාත්‍යවරයා පළකළ අදහස් පදනම් විරහිත තත්ත්වයට පත්වේ. නව සන්ධානයක් පිහිටුවාගෙන අවසන් බව ප්‍රසිද්ධියේම කියා සිටි ඔහු පැවැති මාධ්‍ය සාකච්ඡා ගණනාවකදීම සිරිසේන - රාජපක්ෂ රජය ගොඩනැගීමේ ලකුණු තමාට දා ගැනීමටද කිසිසේත්ම පසුබට නොවීය.

එක්සත් ජාතික පෙරමුණු රජයකට දෙමළ ජාතික සන්ධානයේ සහාය දැන් හිමිව තිබෙන හෙයින් පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් දැන් කිසිදු ගැටලුවක් නැත. නමුත්, පසුගිය සිකුරාදා රාත්‍රියේ ජනපති සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සාමාජික කණ්ඩායමක් හා සාකච්ඡාවක සිරවී සිටියේ අගමැතිවරයා ලෙස පත්කළ යුත්තේ කවුරුන්දැයි යන්න තීරණය කිරීම සම්බන්ධයෙනි. 

කිසිදු තත්ත්වයක් යටතේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස පත්කිරීමට කටයුතු නොකරන බව ජනපති සිරිසේන මහතා අවධාරණය කර තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. නව අගමැතිවරයකු දිව්රුම් දුන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බව නිවේදනය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පවා සූදානමින් සිටින බවට සිකුරාදා පැවැති සාකච්ඡාවේ දී ජනපතිවරයාගේ පාර්ශවයෙන් ඉගි පළවිය. 
වික්‍රමසිංහ මහතා හැර වෙනත් අයකු අගමැතිවරයා ලෙස පත්වන එක්සත් ජාතික පෙරමුණු රජයක් පිළිගැනීමට තමා සූදානම් බව ජනපති සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සාමාජික කණ්ඩායම හමුවේ පැවසුවේ ය. අධිකරණය හමුවේ තිබෙන නඩු විභාගයන්ගේ තීන්දු ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථමයෙන් ගැටළුව විසදාගැනීමට ඔහුට අවශ්‍යව තිබිණ. 

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනෙමින් තිබෙන අතර අභියාචනාධිකරණය අගමැති රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ක්වෝ වැරන්ටෝ චෝදනාවක් විභාග කරමින් තිබිණ. පැය දෙක හමාරකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාව අවසන් තීරණයකින් තොරවම නිමාවට පත්වූව ද, අවසානයේ ඇතිකරගත් එකගතාවයක් අනුව තවදුරටත් සාකච්ඡා කිරීම සදහා ඊයේ ඉරිදා (2 වැනිදා) දෙපාර්ශවය නැවත වතාවක් හමුවන්නට නියමිතව සිටියේ ය.

එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පිරිස හමුවීමට පෙර ජනපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසක් හමුවිය. 

ජනපතිවරයා වෙත එවා තිබූ ලිපියේ කරුණු සහතික කිරීමට අමතරව ඔවුහු දැනට යුද හමුදාව යටතේ පවතින උතුරේ දෙමළ ජාතිකයන්ට අයත් ඉඩකඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කරන ලෙස ද ඉල්ලා සිටියහ. චෝදනා ගොනු කිරීමකින් තොරව රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහා වහාම පියවර ගතයුතුව තිබෙන බව ද, දෙමළ ජාතික සන්ධාන දූත පිරිසේ අදහස විය. 

තමාව ජනපතිවරයා ලෙස පත්කිරීම අරභයා දෙමළ ජනතාව ලබාදුන් සහාය වෙනුවෙන් ඔවුන්ට ණයගැති බව කියා සිටි ජනපති සිරිසේන මහතා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දීම වෙනුවෙන් සෑම විටම පෙනී සිටින බවද කීවේය. යහපත් ප්‍රවේශයක් පවත්වා ගැනීමේ අරමුණින් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා, ජනපතිවරයා අරබයා ගැනෙන තීන්දු තීරණ කිසිවෙකටවත් තම සන්ධානය කිසිදු සහායක් ලබා නොදෙන බවද සහතික කළේය. 

සම්බන්ධන් මහතා කියා සිටියේ වෙනත් කිසිවක් නොව, යම් අවස්ථාවක ජනපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ඉදිරිපත් වුවහොත්, දෙමළ ජාතික සන්ධානය එයට සහාය නොදක්වනු ඇති බවට ජනපතිවරයා අස්වැසීමකි.

නව රජයක් පිහිටුවීම සදහා සහාය දක්වන්නේ වුවද, එම රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට දෙමළ ජාතික සන්ධානය පැහැදිලිව කියා ඇතත්, දෙමළ සන්ධානයේ නායකයින්ගේ කටයුතු එහි සාමාජිකයන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. පක්ෂ 4කින් සැදුම් ලබන දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකාරක කමිටුවේ, එනම් සන්ධානයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදක ව්‍යුහයේ, සාමාජිකයෙක් වන ටෙලෝ සංවිධානයේ මහලේකම් නල්ලතම්බි ශ්‍රී කාන්ත මහතා ‘සන්ඬේ ටයිම්ස්’ හා කියා සිටියේ මෙවැන්නකි.

“ඒක අපේ දෙමළ සන්ධානයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්”

මහින්ද රාජපක්ෂගේ රජය ඉවත් විය යුතුයි කියන එක ගැන කිසිම ගැටලුවක් නැහැ, අපි ඒකමතිකව ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියන එක ගත්තොත්, අපි ඇත්තටම තෙවැනි පාර්ශවයක්. ප්‍රධාන බලවේගයන් මෙහෙයවන්නේ එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපට එක පාර්ශවයක් ගන්නට බැහැ. මේක ඇත්තටම අන්තිම පහත් තත්ත්වයකට වැටීමක්. දෙමළ ජනතාව පාවා දීමක්” යයි නල්ලතම්බි ශ්‍රී කාන්ත මහතා කීවේය. 

එක්සත් ජාතික පෙරමුණට නව රජයක් පිහිටුවීමට හෝ අගමැතිවරයකු පත්කිරීමට හෝ සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණය ඔහු අගය කළේ ය.

“මම නම් හිතන්නේ, ඉස්සෙල්ලා කිව්වා වගේ, දෙමළ ජාතික සන්ධානයත් අනුගමනය කළ යුත්තේ මේ ප්‍රතිපත්තියමයි. මේක මෙහෙම කරලා තියෙන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේ 4 වැනිදාට පෙර නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට දෙමළ ජනතාවට පොරොන්දු ලබා දී තිබෙන නිසාද කියා මා දන්නේ නැහැ. රහසේ කරන ගනුදෙනු ගැන මගේ විශ්වාසයක් නැහැ” යයිද ඔහු කීවේය. 

සම්බන්ධන් සහ සුමන්තිරන් යන දෙමළ ජාතික සන්ධානයේ නායක දෙපළ විවේචනය කළ ඔහු, ඔවුන් දෙමළ ජනතාව මුලාවට ලක්කරමින් සිටින බව චෝදනා කළේ ය.

අදහස් දැක්වූ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කියා සිටියේ තමා දෙමළ ජාතික සන්ධානය ජනපතිවරයාට යැවූ ලිපියට අත්සන් තැබූයේ සන්ධානයේ සාමාජිකයන් අතර එක්සත්භාවයක් පැවැතිය යුතු නිසා පමණක් බවය. එසේවුවත් පළමු අවස්ථාවේ ලිපියට අත්සන් යෙදීම ඔහු ප්‍රතික්ෂේප කළ අතර එවිට දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ශ්‍රීදර්න්ට චෝදනා කරමින්, මහින්ද පාර්ශවයෙන් මුදල් ලබාගැනීම නිසා එසේ අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව කියා සිටියේ ය. එම චෝදනාව මන්ත්‍රීවරයා තරයේම බැහැර කරයි. 

බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේ පැවැති, බලයෙන් ඉවත් කෙරුණු අගමැති වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවකට ඔහු සහභාගී නොවූ අතර, පසුව සිකුරාදා රැයේ ජනපති සිරිසේන මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති රැස්වීමට ද ඔහු සහභාගී නොවීය. අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමට සහභාගීවීමෙන් වැළකී සිටි තවත් අයෙක් වන්නේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන්ය.
ශ්‍රීධරන් මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ මෙලෙසය.

“රනිල් වික්‍රමසිංහට සහාය දක්වන්නට ඉස්සෙල්ලා ලිඛිතව ලබාගන්නා සහතික මොනවා ද කියා මා ඇසුවා. ඊට වැඩි දෙයක් කියන්නට මට බැහැ”

නමුත් පසුගිය සෙනසුරාදා ඔහු තම ආධාරකරුවන් පිරිසක් අමතමින් කියා සිටියේ මෙවැන්නකි.

“දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂට ඇති අපේ විරෝධය පිළිගත්තත්, රනිල් වික්‍රමසිංහට සහාය දක්වන්නට අප ඔවුන්ට කියන්න යන්නේ මොනවා ද? දෙමළ ජාතික සන්ධානයෙන් ජනතාවට සහනයක් සැළසුනේ නැතත් ඇතැම් නායකයින්ට නම් සහන සැළසෙනවා. එවැනි එක පුද්ගලයෙක්ට හිටපු අමාත්‍යවරයෙක් හරහා උතුරේ රැකියා 150ක් ලැබීම ඒකට උදාහරණයක්. ඡන්ද දායකයින් අපට එරෙහිව නැගී සිටිනවා” 

රාජපක්ෂට එරෙහිව ක්වෝ වැරන්ටෝ නියෝගයක් ලබාගැනීම සදහා අභියාචනාධිකරණය ඉදිරියට ගොනු කැරුණු චෝදනාවට තම අත්සන ලබා ගැනුණේ බලහත්කාරයෙන් බවද ශ්‍රීධරන් තම ආධාරකරුවන් හමුවේ පැවසුවේ ය.
“මට ඒ ගැන සතුටක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ නම් අපට ඕනම දෙයක් කියන්නට තිබුණා. දැන් අපි අපේ අරගලය එළියට අරගෙන ගිහින් තිබෙනවා. අපි සිංහල ජනතාවට අගෞරවයක් කර තිබෙනවා. අපි කොහෙද ඉන්නේ කියන එක ඔවුන් දැන් දන්නවා. ඔහු කීවේ ය”

වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන දූත පිරිස අතර පැවැති හමුව නිමාවූ පසුව යාපනයේ ප්‍රකාශිත දෙමළ පුවත්පතක් වන උදයන් හි සිකුරාදා දින මුල් පිටුවේ වූ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ බලයෙන් ඉවත් කෙරුණු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතිකයන්ගේ අවශ්‍යතා සහ වෙනත් කරුණු අවධානයට ගෙන සකස් කර තිබෙන නව ව්‍යවස්ථාව ලබන වසරේ පෙබරවාරි මස 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ලිඛිතවම සහතික කළ බවය. එය එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ රජයක් බලයට පත්වූ පසුය.

වික්‍රමසිංහ මහතා හමුවට පැමිණි දෙමළ ජාතික සන්ධාන දූත පිරිසේ එක් සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සර්වනාපවන් මහතා උදයන් පුවත්පතේ කලමණාකරන අධ්‍යක්ෂවරයා ද වේ. ආරක්ෂක අංශ භාරයේ තිබෙන ඉඩම් ජනතාව වෙත ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ දේපළ අහිමිවූවන් වෙනුවෙන් ඉක්මනින්ම අදාළ දීමනා ගෙවීම, දෙමළ ජාතික සන්ධානය වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ අනෙක් ඉල්ලීම් විය.

සටන් විරාමයක් ඇති කිරීමට සහ පියවර කිහිපයක් පසුපසට තබමින්, උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට සාකච්ඡාමය විසදුමක් සෙවීමට ජනපති සිරිසේන මහතා උනන්දු ඇයි? 

බොහෝ දෙනා හොඳින්ම දන්නා පරිදි පාර්ලිමේන්තුව විසිරුවාහැරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය, රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන අධිකරණයද වේ. මේ අරබයා ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් මස 4, 5 සහ 6 යන දිනයන්වල සිදුකිරීමටත්, අවසන් තීන්දුව 7 වැනිදා ප්‍රකාශයට පත්කිරීමටත් නියමිතව ඇතත් නිල ආරංචි මාර්ග සදහන් කරන්නේ අවසන් තීන්දුව ලබාදීම තවත් ප්‍රමාද විය හැකි බවය. 

විභාගය දැන් පැවැත්වෙන්නේ සත් පුද්ගලය විනිසුරු මඩුල්ලක් හමුවේය. රටේ උසස්ම අධිකරණයෙන් ලබාදීමට නියමිත තීන්දුවක් අරබයා පුරෝකථනයන් සිදුකිරීම සුදුසු නොවූව ද, රජයේ ඉහළම තැන් මේ සා කලබලයට පත්ව සිටින්නේ ඔවුන්ට එතරම් සුභ නොවන තීන්දුවක් ප්‍රකාශයට පත් කැරෙනු ඇතැයි සිතා බව කිව හැකිය.

ජනපති සිරිසේන මහතා ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකර තිබෙන කාරණය මෙය බව කියා සිටි නිල මට්ටමේ ආරංචි මාර්ගයක් වැඩිදුරටත් සඳහන් කළේ කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය සහ ආධුනිකයන් ලෙස හැසිරෙමින් සිටින රටේ ආරක්ෂක අංශයේ ඉහළම පෙලේ නිලධාරීන්ගේ කටයුතු නිසා බිද වැටෙමින් තිබෙන ජාතික ආරක්ෂාව, ජනපතිවරයාගේ තීරණය තවත් ඉක්මන් කළ බවය. 

ජනපති සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබද අනාවරණය වූ තතු නොසළකා හැරියේයැයි දැනටමත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බරපතල ලෙස විවේචනයට ලක්ව සිටින අතර, පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් හා අති සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවක යෙදුණු ජනපතිවරයා, විමර්ශන ප්‍රමාද කිරීමට පසුගිය කාලයේ ගැනුණු උත්සාහයන් සැළකිල්ලට ගනිමින් එම විමර්ශන කටයුතුවලට නව ප්‍රවේශයක් හදුන්වාදීමට කටයුතු කරන බව කීවේ ය.

රටේ ආරක්ෂක සේවයේ ඉහළම තනතුර වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පසුගිය සතියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැදැවිණ. ඝාතන චෝදනා එල්ලව තිබූ සැකකරුවන්ට ආරක්ෂාව සැපයීයැයි ඔහුට එරෙහිව චෝදනා නැගී තිබේ. කිසිදු ශ්‍රී ලංකා පුරවැසියකුට රටේ නීතියට ඉහළින් කටයුතු කිරීමට හැකියාවක් නොමැති අතර, කිසියම් නීතිවිරෝධී කටයුත්තක යෙදී ඇතිනම් ඔහුට හෝ ඇයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුම වේ. එය අද්මිරාල් විජේගුණරත්නටත් අදාළය.
නමුත් එතැන පෙනෙනවාට වඩා වැඩි ගැටලුවක් ඇත. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ අද්මිරාල් විජේගුණරත්න හොරා - පොලිස් සෙල්ලමක නිරතව සිටි අතර එය මාධ්‍ය හරහා මුලු රටටම අනාවරණය විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ මූලස්ථානයට පැමිණෙන ලෙස කීවද ඔහු පැමිණියේ නැත. මෙසේ කට්ටි පනිමින් සිට අවසානයේ ඔහු අධිකරණයට යටත් වූයේ තමා අද්මිරාල්වරයකු බව අඟවන නාවික හමුදාවේ නිල ඇදුම සහ ලාංඡනද පැළදගෙනය. ඒ හමුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට සිදුවූයේ සිවිල් ඇදුමින් සැරසී නැවත පැමිණෙන ලෙස ඔහුට නියෝග කිරීමටය.

ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක් වන අද්මිරාල් තනතුර හොබවන්නෙකු, එම තනතුර අඟවන නිල ඇදුමින් සැරසීම අධිකරණය වෙත යාම නිසැක වශයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයට නින්දාවකි. ඒ මන්ද යත්, චෝදනා නැගී තිබෙන්නේ අද්මිරාල් විජේගුණරත්නට නොව ඔහු අද්මිරාල් තනතුරින් පහළ ශ්‍රේණියක රාජකාරි කරමින් සිටි සමයේ සිදුකර ඇතැයි චෝදනා නැගී ඇති දැෑවලටය. අද්මිරාල් ඇඳුම පිටින් ඔහු අධිකරණය වෙත යාම ආරක්ෂක අංශවල උසස්ම තලයේ නිලධාරීන් කෝපගන්වා තිබෙන අතර එය තමන් සියල්ලටම සිදුවූ නින්දාවක් ලෙස ඔවුහු සළකන්නෝ ය.

රටේ නීතිය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය සපුරාලීමට සිටින ආරක්ෂක අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට විජේගුණරත්න මහතා කැඳවනු ලැබූ අවස්ථාවේ කළ දෙයක් නොමැති තරම්ය. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වරදක් සිදුකරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය හඩ අවදි කළ යුතුව තිබුණි. සම්පූර්ණ නිල ඇදුමින් සැරසී ඔහු අධිකරණය වෙත යමින් සිටි අවස්ථාවේ මැදිහත්විය හැකිව තිබුණි. නමුත් පසුගිය වසර 3ක කාලය පුරාවටම ප්‍රදර්ශනය කළ ආධුනිකත්වය මෙම අවස්ථාවේදී ද ආරක්ෂක අමාත්‍යංශයට අලුත් දෙයක් නොවුණි. 

රටේ සේනාධිපති වන ජනපති සිරිසේන කෙරේ ඉතාම අයහපත් ප්‍රතිරූපයක් ගොඩ නැංවීමෙහි ලා මෙවැනි ක්‍රියා සමත්වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.

අඩුම තරමේ, සති 6කට පසු පළමු වතාවට පාර්ලිමේන්තුවේ ඉලක්කම් සෙල්ලමටවත් දැන් විසඳුමක් ලැබී තිබේ. 
එක්සත් ජාතික පෙරමුණ ඔවුන්ගේ අගමැතිවරයා ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විට, බලයෙන් ඉවත් කැරෙනු ඇති අවධානම මහින්ද රාජපක්ෂ මහතා හමුවේ තිබේ. මුරණ්ඩු පිළිවෙතක් අනුගමනය කරමින් සිටින ඔහු, ජනපතිවරයා මැදිහත්ව ඉවත් කළහොත් මිස සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීම තරයේම ප්‍රතික්ෂේප කරයි.
අපේක්ෂා කළ සටන් විරාමයේ ජය කණුවටම ළංව සිටින ජනපති සිරිසේන මහතාගේ අත ළගම සාකච්ඡාමය විසදුමක්ද තිබේ. නමුත් ඔහු මුහුණදෙන අර්බුදය මෙතැනින් අවසන්වේයැයි සිතීම හිතලුවකි. 
අලුත්, බියකරු, හා ප්‍රචණ්ඩ කුණාටුවක ආරම්භය නුදුරේදීම සනිටුහන් වනු ඇත.

 



අදහස් (0)

සබඳතා බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 258 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 409 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 235 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 637 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 759 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2859 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site