IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනාධිපතිවරණය සහ අන්ධ භක්තිය


යන එන ගමනට දේව ආරක්ෂාව පතා දේවාලවලට පඬුරු දැමීම අපේ රටේ කලක් තිස්සේ පැවතෙන චාරිත්‍රයකි.

එලෙස පඬුරු දැමීමට තම රථය නතර කළ පුද්ගලයකුට වූ හදියක් 2018 මැයි 26 වෙනිදා ලංකාදීප පුවත්පතේ වාර්තා විය.

ලක්ෂ 40ක් වටිනා යූරියා පොහොර හා අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය පටවාගෙන කොළඹ සිට තිස්සමහාරාමයට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් ලොරියක හිමිකරු එක්තරා දේවාලයක් අසල නතර වූයේ තම ගමනට දෙවි රැකවරණ ලබා ගැනීම සඳහා පඬුරු දැමීමටය. ඒ අතර ලොරියට ගොඩවුණු කොල්ලකරුවන් පිරිසක් එහි රියදුරාට (ලොරියේ හිමිකරු ද ඔහුය) පහර දී ඔහු මහ මග දමා ලොරිය ද රැගෙන පලා ගියහ. පසුව හිස් ලොරිය වැලිපැන්නේ දී හමු වූ බව ද පුවත්පත සඳහන් කළේය.

මහ මග යනවිට රැකවරණය ලැබීමට නම් අවැසි වනුයේ දේව බැල්ම නොව තමන්ගේම සුපරික්ෂාකාරිත්වය බව මෙම සිද්ධියෙන් මොනවට පැහැදිලි වේ. අන්ධ භක්තිය බැතිමතාටම පාරා වළල්ලක් වීම අසාමාන්‍ය සංසිද්ධියක් නොවේ.

විශ්වාසයට බුද්ධිය යට වීම පුද්ගලයකුට මෙන්ම රටකට ද වින කැටිය හැකිය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යන දෙදෙනා ඝාතනය කිරීමට වූ කුමන්ත්‍රණයක් පිළිබඳ නාමල් කුමාර නම් වූ පුද්ගලයකු ඉමහත් ආන්දෝලනයක් නිර්මාණය කළේ මෙයට වසරකට පමණ පෙර ය. මෙම කුමන්ත්‍රණයට වගකිවයුත්තන් ලෙස එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ නාලක ද සිල්වා මහතාට සෘජුවමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වක්‍රවවත් නාමල් කුමාර හැඳින් වූවේය.

කුමන්ත්‍රණය පිළිබඳ කිසිදු සාක්ෂියක් නාමල් කුමාර සතු නොවීය. ඔහු පොලිසියට ලබා දුන් හඬ පටවල එවන් කුමන්ත්‍රණයක් පිළිබඳව වචනයක්වත් සඳහන් නොවිණි. එහෙත් කුමන්ත්‍රණයක් ඇති බව නාමල් කුමාර යළි යළිත් කීය. මේ අභූත චෝදනාවට ජනමාධ්‍ය තුළින් උපරිම ප්‍රචාරයක් ලැබුණි. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනාව සැබෑවක් ලෙස පිළිගත්හ. වැඩිකල් නොයා ජනපති සිරිසේන මහතා ද මෙම කුමන්ත්‍රණ කතාව අන්ධ භක්තියෙන් වැළඳ ගත්තේය.

2018 ඔක්තෝබර් 26 දා දියත් කෙරුණු ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට තුඩුදුන් කාරණා අතර මෙම ඝාතන කතාව ද වූ බව නොරහසකි.

පාස්කු ඉරිදා සංහාරය සැලසුම් කළ සහරාන් හෂීම් පිළිබඳව පරික්ෂණ බාරව සිටියේ උප පොලිස්පති නාලක පෙරේරා මහතාය. නාමල් කුමාරගේ ජනපති - ගෝඨාභය ඝාතන අන්දරය නිසා නාලක පෙරේරා උප පොලිස්පතිවරයා අත්අඩංගුවට පත්විය. ඒ සමගම සහරාන් හෂීම් පිළිබඳ පරීක්ෂණ ද නතර විය.
බොරු ඝාතන කතාවක් පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමුවීමේ එක් ප්‍රතිඵලයක් වූයේ සැබෑ ඝාතන ප්‍රයත්නයකට දොර කවුලු විවර වීමය. නාමල් කුමාරගේ ඝාතන කථාව බොරුවක් බව සනාත වන විට සැබෑ සංහාරයක් සිදුවී හමාරය.

ඉතිහාසය වරක් ඛේදවාචකයක් ලෙසත් තවත් වරක් විගඩමක් ලෙසත් ප්‍රතිනිර්මාණය වන බව කාල් මාක්ස් තම The Eighteenth Bromaire Of Louis Napoleon නම් වූ කෘතියේ සඳහන් කළේය. (Bromaire - බෲමේ යනු 1789 ප්‍රංශ විප්ලවවාදීන් නිර්මාණය කළ නව දින දර්ශනයේ දෙවන මාසය හැඳින්වීමට යොදාගත් වචනයයි) මාක්ස්ගේ මෙම ජනප්‍රිය කියමන ලංකාවට ද අදාළ වන බවට ඉඟියක් මේ දිනවල මතුවෙමින් තිබේ. ඒ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ නවතම නිසොල්ලාසය තුළිනි.

අලුත්ම ඝාතන මිත්‍යාව

තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවත් ඒනිසා තමන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය බවත් කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරයාට ලිපියක් යොමු කළේ ගත වූ මාසයේය. තමන්ට පමණක් නොව ඩග්ලස් දේවානන්ද හා කරුණා අම්මාන් මහත්වරුන් ද ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි ද ඒ සඳහා විශේෂ අවියක් මලයාසියාවේ සිට රැගෙනවිත් ඇතැයි ද මෙම ලිපියේ සඳහන් වූ බවට ජන මාධ්‍ය වාර්තා කළේය.
පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාව ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේ මෙම ලිපියෙන් සතියකට පමණ පසු අගෝස්තු 18 වනදාය. මෙම වෛද්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට ඇතැම් ජනමාධ්‍යවලින් දිගින් දිගටම වාර්තා විය.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා පොදු පෙරමුණට හිතවාදී වෙබ් අඩවියක අගෝස්තු 28 දා “ගෝඨා ඝාතනයට තුවක්කුකරුවන් රැසක් යොදවලා... අත්අඩංගුවේ සිටි කිලිනොච්චි ත්‍රස්ත දොස්තර හෙළි කරයි” යන මැයෙන් වූ පුවතක මෙලෙස සඳහන් විය. “හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා තුවක්කුකරුවන් පිරිසක් දෙමළ ඩයස්පෝරාව යොදවා ඇති බව අත්අඩංගුවට ගෙන සිටින කිලිනොච්චි පලෙයි රෝහල් වෛද්‍යවරයා විසින් හෙළි කරයි. මේ හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව දැඩි කරන ලෙස ද සින්නයියා ශිවරූබන් වෛද්‍යවරයා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් ඉල්ලා තිබේ”
වෙබ් වාර්තා අනුව මෙම ලිපිය 65,305 දෙනෙක් කියවා තිබෙන අතර එය කියවූවන්ගෙන් අතිබහුතරය එය පරම සත්‍යයක් ලෙස විශ්වාස කළා නියතය.

එහෙත් මෙම ලිපියේ සඳහන් කරුණු නාමල් කුමාර පන්නයේ ගජබින්නයක් බව මේ වන විට හෙළිවී තිබේ.
අත්අඩංගුවට පත් කිලිනොච්චි වෛද්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ කරන චේතිය කතාව කෙතරම් නම් දුර ගියා ද යත් මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සියලු මාධ්‍ය ආයතන වෙත නිල ලිපියක් යොමු කිරීමට පොලිසියට සිදුවිය.

“පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා ශිවරූබන් පිළිබඳ විමර්ශනය” යන මැයෙන් පොලිස් මූලස්ථානය විසින් අගෝස්තු 29 වැනිදා නිකුත් කළ මෙම ලිපියේ මෙලෙස සඳහන් වේ.

“2019.8.29 වන දින සහ පසුගිය දින කිහිපය පුරා විවිධ මාධ්‍ය ඔස්සේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමක් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට ඉහත සැකකරු පාපොච්චාරණයක් දී ඇති බවට පුවත් පළවිය. එම පුවත සම්පූර්ණ අසත්‍ය වේ. එවැනි ප්‍රකාශයක් හෝ පාපොච්චාරණයක් මෙතෙක් සින්නයියා ශිවරූබන් ඇතුළු සැකකරුවන් 07 දෙනා විසින් පොලිසියට හෝ වෙනත් බලධාරියකු වෙත ලබා දී නොමැති බවට මෙලෙස දන්වා සිටිමි”

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධය යන ව්‍යාජ පුවත ජන මාධ්‍ය ගණනාවකම යළි යළිත් වාර්තා විය. මෙම ව්‍යාජ පුවත නිර්මාණය කොට එය ජනමාධ්‍ය වෙත බෙදා හැරියේ කවුද? මේ ක්‍රියාව සිදු කරවූවන්ගේ යටි අරමුණ කුමක් ද?

ඝාතන කුමන්ත්‍රණ කතා නිර්මාණය කරනුයේ ජනතා අනුකම්පාව දිනා ගැනීමටය. විශේෂයෙන්ම දේශපාලකයින් මෙවැනි දේ කරනුයේ තමන්ගේ අනුගාමිකයන්ගේ  උද්‍යෝගය තීව්‍ර කිරීමටත් ඡන්ද දායකයන් තමන් වෙත ආකර්ශනය කර ගැනීමටත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ රටේ ගැලවුම්කාරයාගේ ලෝගුවෙන් සැරසීගෙනය. දෙමළ ඩයස්පෝරාව ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි විශ්වාසයක් රට තුළ නිර්මාණ කිරීම තුළින් මෙම ගැලවුම්කාර වේශය ශක්තිමත් නොවන්නේ ද?

ඝාතන කුමන්ත්‍රණ කතාව දිගින් දිගටම ඇදගෙන යාමෙන් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජනතාව තුළ චකිතයක් ජනිතකොට ඒ ප්‍රදේශවල ඡන්ද වැටීම අඩු කර ගත හැකි නොවන්නේ ද? එලෙස දෙමළ ඡන්ද ප්‍රමාණය අඩුවීමේ වාසිය මුලුමනින්ම ලැබෙනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නොවේ ද?

පොලිස් ප්‍රකාශකවරයාගේ නිල ලිපියෙන් පලෙයි වෛද්‍යවරයා පිළිබඳ කතාව යටපත් වුවද ගෝඨාභය රාජපක්ෂ ඝාතන නිසොල්ලාසය වෙනස් මුහුණුවරකින් ඉදිරි දින - සති කිහිපය තුළ දී යළි මතුවනවා නියතය.
ග්‍රීක මිථ්‍යා කතාවල හයිඩ්‍රා නම්වූ සත්වයෙකු පිළිබඳ සඳහන් වේ. මේ මිථ්‍යා සත්වයාට හිස් කිහිපයක් තිබූ අතර එක් හිසක් කපා දැමූවිට ඒ වෙනුවට තවත් හිස් දෙකක් නිර්මාණය වන බව ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් විය.
ව්‍යාජ ප්‍රවෘත්ති හා දේශපාලන ඕපාදූප අයත්වනුයේ මෙම හයිඩ්‍රා ගණයටය. එබැවින් ජනපතිවරණය අවසන් වනතුරු ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ ගජබින්නය නිමා වෙතැයි සිතීම අසීරුය. මන්ද එයට කවා පොවා පෝෂණය කිරීමේ ඉමහත් දේශපාලන වැදගත්කමක් රාජපක්ෂ මහතාට ඇති බැවිනි.

රටට මුවාවී ගැලවීම

මෙලෙස ව්‍යාජ පුවත් ආලෝකයේ වේගයෙන් සංසරණය වෙද්දී එළඹෙන ජනපතිවරණය සම්බන්ධයෙන් වැදගත්කමක් ඇති සැබෑ පුවත් පාඨක ජනතාව වෙත ඇදෙනුයේ ඉබි ගමනිනි.

තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වූ අහිංසා වික්‍රමතුංග මහත්මිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ උසාවියක නඩුවක් පැවරුවේ මේ වසරේ අප්‍රේල් මාසයේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා වූ ජෝන් සී උලින් මහතා මෙම අගෝස්තු 5 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අයදුමෙන් කියා ඇත්තේ Forum non Convenience යන පදනම මත මෙම නඩුව ඉවතට දමන ලෙසය. මෙම ලතින් යෙදුමේ අර්ථය නම් මෙය නුසුදුසු සභාවක්ය යන්නය. එයින් කියවනුයේ මෙම නඩුව විභාග කිරීමට කැලිෆෝනියා අධිකරණයට වඩා සුදුසු අධිකරණයක් ඇති බවය. ලංකාවේ නිදහස් හා ස්වාධීන අධිකරණයක් ඇති බවට ජාත්‍යන්තර ආයතන මෑතක දී වාර්තා කර ඇති බවත් එබැවින් මෙම නඩුව විභාග කිරීමට වඩා සුදුසු ලංකා අධිකරණයක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා කියා සිටියි.

රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ඉදිරිපත් කර ඇති තවත් තර්කයක් මෙරට ජනපති ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා දරන උත්සාහයට බෙහෙවින් අදාළය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට රාජපක්ෂ මහතා සම්බන්ධ වූවා යැයි ඔහුට චෝදනා නැගෙනුයේ පුද්ගලික මට්ටමින් නොව ආරක්ෂක ලේකම්වරයා ලෙස බවත් එබැවින් විදෙස් නිලධාරීන්ට හිමි හැසිරීම මත පදනම් වූ විනිර්මුක්තිය (Conduct Based Immunity ) යන සංකල්පය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ඉවත දැමිය යුතු බවත්ය.

සාමාන්‍ය ව්‍යවහාරයෙන් නම් මේ කියන්නේ කුමක් ද? රාජපක්ෂ මහතා ඔහු කළේ යැයි කියන වරද කළේ ශ්‍රී ලංකා රජයේ ව්‍යුහය තුළ ක්‍රියාකරමින් ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහුගේ බලතල භාවිත කරමින් බවත් ඒ නිසා ඔහුට එරෙහිව විදෙස් අධිකරණයක නඩුවක් විභාග කළ නොහැකි බවත්ය. වඩාත් සරලව කියනවා නම් ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා කළා යැයි කියන වරදකට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයක දී නඩු පැවරිය නොහැකි බවය. සමූල ඝාතන චෝදනා ඇතුළු වෙනත් අපරාධ චෝදනා ලද බොහෝ විදෙස් නිලධාරින් මෙම තර්කය සාර්ථක ලෙස භාවිත කරමින් ඇමරිකානු අධිකරණයන් මගහැරිය බව ද නීතිඥවරයා පෙන්වා දෙයි.

මෙම තර්කය කැලිපෝර්නියා අධිකරණය පිළිගනීද නොපිළිගනීද යන්න ඉදිරියේ දී හෙළිදරව් වනු ඇත. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ වගකීම මෙලෙස ව්‍යංගයෙන් ලංකා රජය මත පැටවීම ලංකාවට සිදු කළ අපකීර්තියක් නොවන්නේ ද? ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ලංකා රජයේ අවශ්‍යතාවක් අනුව වූවක් යැයි ව්‍යංගයෙන් හෝ කීම ලංකා රජයට ම්ලේච්ඡ මිනීමරු හංවඩුවක් ගැසීමක් නොවන්නේ ද?

මෙම නඩුවටම අදාළව අගෝස්තු 26 දා ඉදිරිපත් කර තිබූ Defendent's Notice Of Motions Motion to stay the case Memorandum of points,Aumorities නම්වූ ලේඛනයේ තවත් අපූර්ව තර්කයක් සඳහන්ව තිබුණි. මේ දෙසැම්බර් 7 වෙනිදා පැවැත්වෙන ලංකා ජනපතිවරණයට ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවත් ඔහු මැතිවරණයෙන් ජය ගැනීමේ විශාල ඉඩක් ඇති බවත් මැතිවරණය නිමාවන තෙක් නඩුව කල් දමන ලෙසත්ය. ඊළඟ ජනපතිවරණය පැවැත්වෙන දිනය ලංකා ජනපතිවරයාට හා අගමැතිවරයාටත් පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයා දැනගත්තේ කෙලෙස ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි.

ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඔටුනු පළඳවාගෙන දේශපාලන පන්සල් වන්දනාව පටන් ගත්තේ මන්දැයි දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයට බඳුන් වූ කාරණාවකි.
එළඹෙන ජනපතිවරණය ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වුවහොත් ඔහුට මෙරට හෝ විදෙස් අධිකරණ ගැන බිය විය යුතු නැති බව මගේ හැඟීමයි. ස්වෛරී රටක ජනපතිවරයකු ලෙස රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක නඩු විභාගයක් සිදුනොවිය හැකි යැයි රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා තර්ක කරනු ඇති අතර එම තර්කය කැලිෆෝනියා අධිකරණය විසින් පිළිගැනෙනු ඇත.

මෙලෙස ජනපති ධුරයට පත්වුවහොත් තමන්ට එරෙහිව මෙරට හා ඇමෙරිකාවේ නැගී ඇති චෝදනාවලින් නිසැකවම නිදහස් වීමට රාජපක්ෂ මහතාට හැකිවනු ඇත. ජනපති අපේක්ෂකයා ලෙස අබිසෙස් ලැබීමට ඔහුට තිබූ හදිසියත් ජනපතිවරණය කෙලෙස හෝ ජයගැනීමට ඔහුට ඇති වුවමනාවත් මෙම සංදර්භය තුළ බලන විට තර්කානුකූලය.

තවමත් ප්‍රකාශයට පත්නොවුනු ජනපතිවරණ තරගයේ දී දැනට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව සැබෑය. ඊට මූලික හේතුව ජනපති අපේක්ෂකත්වය සඳහා එජාපය තුළ හටගෙන ඇති කුකුල් පොරයයි.
බිළිඳකුගේ අයිතිය වෙනුවෙන් කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුම පිළිබඳ කතාව පන්සිය පනස් ජාතකයට මෙන්ම බයිබලයේ පරණ තෙස්තමේන්තුවට ද පොදුය. එක්සත් ජාතික පක්ෂයට අද සිදුවෙමින් පවතින්නේ මේ අභාග්‍යයයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පැරදවීමේ හා එජාපය ජයග්‍රහණය කරවීමේ සැබෑ වුවමනාවක් සජිත් ප්‍රේමදාස මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට තිබේ නම් පක්ෂය දුර්වල කරන හා පාක්ෂිකයන් දුර්මුඛ කරන මෙවන් ක්‍රියා මාර්ගයකට ඔවුන් අවතීර්ණ වන්නේ නැත. 1988 ජනපතිවරණයට එජාප අපේක්ෂකත්වය රණසිංහ ප්‍රේමදාස මහතා දිනාගත්තේ ජනපති මමයි කියමින් රටපුරා රැස්වීම් පැවැත්වීමෙන් හෝ පක්ෂය දෙකඩ වන තැනට කටයුතු සැලවීමෙන් හෝ නොවන බව සජිත් ප්‍රේමදාස මහතා නොදැනීම අවාසනාවකි.

එජාපයේ මෙම අර්බුදයේ වාසිය ගෝඨාභය රාජපක්ෂ මහතාටය. ඔහු ඊළඟ ජනපතිවරණය ජයගතහොත් එහි සැබෑ කීර්තිය හිමි විය යුතු වනුයේ ඔහුට නොව ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් එජාපය දෙකඩ කිරීමට සැරසෙන එජාප නායකයන්ටය.

සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ කඹ ඇදිල්ලෙන් වනු ඇත්තේ එජාපයේ ගෙළ හිරවීමය.
මේ නායකයන් ජනපති පුටුවට පොරකනුයේ රට, ජාතිය හා පක්ෂයේ නාමයෙනි. එහෙත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් වනු ඇත්තේ රට ජාතිය හා පක්ෂ අර්බුදයෙන් අර්බුදයට යාමයි.

මේ නායකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් කියන දෑ සිහි බුද්ධියෙන් ඇසීමට අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. නැතහොත් අපට අත්වන ඉරණම අන්ධ භක්තිය නිසා විපතට පත් කන්ටේනර් ලොරි හිමියාට වූ ඉරණමටත් වඩා අන්ත වනු ඇත.

තිසරණී ගුණසේකර



අදහස් (4)

ජනාධිපතිවරණය සහ අන්ධ භක්තිය

LALITH DE SILVA Thursday, 05 September 2019 06:42 AM

තිසරනී, කියන්නේ තනි රාජපක්ෂ විරෝධියෙක්. මෙය ස්වාධීන පුද්ගලයෙක් නෙවෙයි.

:       275       287

සෑම් Thursday, 05 September 2019 07:49 AM

සැබෑවටම රටේ සිදුවන දෙය පිලිබඳ ඉතාමත් හොඳ විග්‍රහයක්. පොඩි අඩුවකට ඇත්තේ නාගානන්ද මහතා ප්‍රමුක විකල්පය ගෙනයන සාධනීය ප්‍රයත්නය ලිපියට ඇතුලත් නොකිරීමයි.

:       108       243

lalithm Saturday, 07 September 2019 05:15 AM

අනගි විග්‍රහයක්. නාමල් කුමාර කතාව බොහෝ දෙනෙකුට තේරුණාට රටේ නායකයින්ට නොතේරී විපක්ෂයේ අයට විතරක් තේරුනේ කොහොමද? කට කතාවලින් උපරිම වාසි ගන්න දන්නා අයවලුන් විපක්ෂයේ පිරිලා බව චූටි කපටි මොලේට තේරෙන්නේ නැතිද?

:       154       157

Chathuri Thursday, 12 September 2019 12:30 PM

අන්ධ භක්තිකයි කියන එකේ තේරුම මහින්ද ඇතුළු පවුලේ කට්ටියගෙන් බලාගන්න පුළුවන්... මහින්ද රජවාසලේ හිටියෙත් හඳහන් බලන, ශාස්ත්‍ර කියන, මිනිසාව ළඟ තියාගෙන... අන්තිමට වුනේ පැරදිලා පැදුරත් අකුලගන ගිය එක විතරයි. නමුත් තවමත් අන්ධ භක්තිය උතුරලා යනවා. ළඟදීම බිරිඳව අත අරින්නත් වෙයි. දමල තියෙන සුරවලට එකට නිදා ගන්නත් එපා පිරිසිදුව ඉන්න කියපු දවසට, මහින්දට දෙවියන්වයි, බුදුහාමුදුරුවෝයි පැටලිලා තියෙන්නේ මහින්ද වැඩ ගන්න කට්ටඩියා ප්‍රසිද්ධ වුණානම්.. ඒ ගමේ සියලුම දෙනාට රැකියා බිහිවෙනවා. ගමත් දියුණු වෙනවා. පිටතින් එන ජන ගඟට, තමන්ගේ වෙලාව හොඳ නම් බඹරෙත් වැල්ලේ කැරකෙනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 104 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 189 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 337 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 62 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 516 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 279 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site