IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ දෙදරීමක්

ජනාධිපතිවරණයෙන් පසුව රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවෙමින් තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා භාරකාර ආණ්ඩුවක් ස්ථාපිත කිරීමටය. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පහළොස් දෙනකුගෙන් යුත් තාවකාලික කැබිනට් මණ්ඩලයක් මාර්ගයෙන් රට පාලනය කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතරහමාරක් ගතවූ පසුවය. ඒ අනුව ඉකුත් 2015 වසරේ අගෝස්තු මස පිහිටවූ ආණ්ඩුවට වසර පහ ගතවන්නේ ලබන 2020 වසරේ අගෝස්තු මාසයේදීය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතරහමාර ගතවන ලබන මාර්තු මාසයේදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. එතෙක් රට පාලනය කිරීමට භාරකාර ආණ්ඩුවක් පිහිටවූයේ ඒ අනුවය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයකින් කෙරෙන යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. නව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් වඩාත්ම කැමැත්ත පළකර තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහසට එක්සත් ජාතික පක්ෂය සතුටු වූයේ නැත. ඒ සම්බන්ධයෙන් එජාපයේද මතභේද හටගෙන තිබිණ, එජාපයේ පිරිසක් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයකට යාමටය. තවත් පිරිසක් ඊට එකඟ නැත. ‘අපි රටේ මහජන මතයට ගරු කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරයක් නැහැ. ඒත් අපට ආණ්ඩුවේ කටයුතු අවුල් කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි මාස තුන බාධාවකින් තොරව කරගෙන යාමටත් ඊට පසුව පාර්ලිමේන්තු මැතිවරණයකට යාමටත් අපි එකඟ’ යැයි එජාපයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති. තවත් පිරිසක් කියන්නේ වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවය.

‘එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේ පරාජය වෙලා ඉන්න මොහොතක්. වහාම මැතිවරණයකට ගියොත් එජාපයට දැනට තියෙන ආසන ටිකවත් දිනාගන්න බැරිවේවි’ යැයි එජාපයේ තවත් පිරිසක් පවසති. කෙසේ වෙතත් අවසානයේදී ආණ්ඩුවේ සහ එජාපයේ එකඟතාවයෙන් මහ මැතිවරණය ලබන වසරේ මාර්තු දක්වා කල්ගොස් තිබේ. මේ අතර පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධයෙන් තවත් විරෝධතාවයක්ද මතුවී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න නවක මන්ත්‍රීවරුන්ගෙන්ය. නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 60ක් පමණ වන අතර ඉන් බහුතරය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ය. ආණඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් හිමිවන්නේ අඛණ්ඩව වසර පහක පාර්ලිමේන්තු සේවා කාලයකින් පසුවය. වර්තමාන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරුන් සියලු දෙනාටම මෙවර විශ්‍රාම වැටුප හිමිවන්නේ නැත. ඒ ලබන මාර්තු මාසය වනවිට වසර හතරහමාරක් ගතවන පාර්ලිමේන්තුව විසුරුවා හරින නිසාය. ඉකුත් ආණ්ඩුව තීන්දුකර තිබුණේ සියලු මැතිවරණ අලුත් ඡන්ද ක්‍රමයට පැවැත්වීමටය. එහෙත් ආණ්ඩුවට හැකිවූයේ පළාත්පාලන මැතිවරණය පමණක් නව ඡන්ද ක්‍රමයට පැවැත්වීමටය. පළාත්සභා සහ මහ මැතිවරණය එම ඡන්ද ක්‍රමයට පැවැත්වීමට හැකියාවක් නැත. ඒ අනුව ලබන මාර්තු මාසයේදී මහ මැතිවරණය දිස්ත්‍රික් පදනම මත මනාප ක්‍රමයට පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණයෙන් ජයගත් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට මෙන්ම නව ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමටය. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය මහ මැතිවරණය මුලින් පැවැත්වීමටය. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය පළාත්සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමටය. ‘පළාත් සභා මැතිවරණය වසර ගණනාවකින් කල්ගිහින්. ඒක හොරු අරගෙන ගිහින්. ඒ මැතිවරණය කලින් තියන්න අවශ්‍ය කටයුතු කරාවි යැයි අප විශ්වාස කරනවා’ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයෙන් පසුව තරමක කාර්ය බහුලත්වයකින් මිදී තිබුණද එහි නිලධාරීන් පවසන්නේ ඉදිරි මැතිවරණය සඳහා ඉක්මනින් සූදානම් විය යුතු බවය.

‘මහ මැතිවරණයක් ආවත් පළාත්සභා ආවත් තව මාස තුනයි ඔක්කොටම තියෙන්නේ. අපි ඒ කාලය තුළ ඊළඟ මැතිවරණයට සූදානම් වෙනවා. ඒත් තවම ජනාධිපතිවරණයේ කටයුතුත් නිමවී නැහැ. ජනාධිපතිවරණයෙන් පස්සේ ගෙවීම් කරන්න තියෙනවා. පොලිසියට, තැපැල් දෙපාර්තමේන්තුවට, ලංගමට සහ තවත් රාජ්‍ය ආයතනවලටත් මැතිවරණ රාජකාරී කළ නිලධාරීන්ටත් ගෙවීම් කරන්න ඕනේ. ඒ කටයුතුත් තවම කරමින් තිබෙන්නේ’ යැයි මැතිවරණ කොමිසමේ නිලධාරීහු පවසති.

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත පිපිරීමක් සිදුවීමේ ලකුණු පහළවී තිබේ. එජාපයේ රනිල් හිතවාදීන් සහ සජිත් හිතවාදීහු දෙපිලකට බෙදී මත ගැටුමක් නිර්මාණය කර ගනිමින් සිටිති. රනිල් හිතවාදීන්ගේ චෝදනාව වී ඇත්තේ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබාදී ඔහු අමාරුවේ දැමූ බවය. ඊට පිළිතුරු වශයෙන් සජිත් හිතවාදීන් චෝදනා කරන්නේ රනිල්ගේ පාර්ශ්වය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කකුළෙන් අදිමින් කටයුතු කළ බවටය. කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධවද තිබූ මත ගැටුම හා පිල් බෙදීම සජිත් පාර්ශ්වය ජයග්‍රහණය කළ අතර මෙවර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ පක්ෂයේ බලය අල්ලා ගැනීමය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීමටත් පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ බලවත් තනතුරු වෙනත් පුද්ගලයන්ට ලබාදීමටත් එම පාර්ශ්වය මේ වනවිට සටනක් ආරම්භ කර තිබේ. මේ අතර රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාගේ අදහස වී ඇත්තේ තරුණ කණ්ඩායමකට පක්ෂය භාරදීමටය. එහෙත් පක්ෂයේ ගරුත්වය හා පක්ෂය කැඩී බිඳී නොයන අයුරින් කටයුතු කළ හැකි කණ්ඩායමක් ඒ සඳහා පත්කරගතයුතු බවත් ආවාගියාට පක්ෂයක් භාරදිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ කියා තිබේ. හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර මෙන්ම සජිත් ප්‍රේමදාස දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ රනිල්ගේ නායකත්වය යටතේ තවදුරටත් දේශපාලනය කිරීමට සූදානම් නැති බවය. ඒ අනුව ඉදිරියේදී එනම් මහ මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය පුපුරා යනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පවසති.

මේ අතර සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමෙහි ඉකුත් බදාදා විශේෂ සටහනක් තබා තිබුණේය. ඔහු එහි සටහන් කර තිබුණේ තමාගේ ඉදිරි කාලය දිවියන් ආරක්ෂා කරගැනීම සඳහා කැපකරන බවය. මෙරට වනාන්තර වෙසෙන වඳවීගෙනයන සත්ව විශේෂයක් වන දිවියන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන් කාලය යොදවන බවද සජිත්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණේය.

මේ අතර දේශපාලන විචාරකයින් එම සටහන අර්ථ කථනය කර ඇත්තේ ඔහු දේශපාලනයෙන් සමුගන්නා බවක් ඉන් කාට හෝ හැඟෙන්නට පුළුවන් බවටය. එජාපයේම තරුණ කණ්ඩායම සජිත් පක්ෂ නායකත්වයට ගෙනඒමට උත්සාහ ගනිද්දී ඔහු පක්ෂය වෙනුවෙන් කැප කිරීමට තිබෙන කාලය දිවියන් වෙනුවෙන් යෙදවීම ගැටලු සහගත බවද දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන්ද විවිධ ආරංචි ඉකුත් දිනවල පැතිර ගියේය. මාස තුනකට පිහිටුවන භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය දිනේෂ් ගුණවර්ධනට ලබාදිය යුතු බවට පොහොට්ටුවේ කීප දෙනකු යෝජනා කර තිබූ බවද එම ආරංචි මගින් සඳහන්වී තිබිණ. එහෙත් ජනාධිපතිවරණ වේදිකාවේදී මීළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය මහින්ද රාජපක්ෂට ලබාදෙන බව නිතර නිතර කියැවුණි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඊයේ දිවුරුම් දී රාජකාරීද ආරම්භ කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවූ බවට විවිධ පාර්ශ්ව අදහස් ප්‍රකාශ කරමින් සිටිති. නමුත් ජවිපෙ නායකයා කියා සිටින්නේ මෙවරත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බවත් එය සිදුවූයේ ‘ස්මාර්ට්’ ආකාරයෙන් බවත්ය. ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී ද මේ සම්බන්ධයෙන් අවධානයට ලක්විය. “මීට කලින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණා ආකාර කිහිපයකට. ගෙවල්වලට පැනලා ඡන්ද කාඞ් මංකොල්ලකෑවා. ඡන්ද මධ්‍යස්ථානවලට ගිහින් ඡන්ද පෙට්ටි පිරෙව්වා. නැත්නම් ඡන්ද පෙට්ටි පිටින් මාරු කළා. ඒ හැම දේකින්ම කළේ ජනතාවගේ ඇත්ත කැමැත්ත සාධාරණ ලෙස ප්‍රකාශයට පත්වීම වැළැක්වීම. ඒ දේ මෙවර මැතිවරණයේදීත් සිදුවුණා. ඒක වුණේ ස්මාර්ට් විදියට. අපේ රටේ රාජ්‍ය මාධ්‍යයි ඇතැම් පෞද්ගලික මාධ්‍ය කිහිපයකුයි රටේ ජනතාවගේ ඇත්ත කැමැත්තට විශාල බලපෑමක් ඇති කළා. මේ ගැන ඇත්ත කතාබහක් රට තුළ සිදුවිය යුතුයි. ඒ වගේම මාධ්‍යවේදීන්ටත් තමන්ගේ ආයතන ඇතුළේ අරගලයක් තිබෙනවා මාධ්‍ය භාවිතය ගැන. මොකද නීති හදලා මේ පාලනය කරනවට වඩා සමාජයේ මාධ්‍ය භාවිතය ගැන සාකච්ඡාවක් අවශ්‍යයි.” අනුර දිසානායක මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් කියා සිටියේය.

Most influential 5 men in the Presidential Election results යනුවෙන් ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක ෆේස්බුක් සඳහනක් තැබුවේ පසුගිය විසිවෙනි දිනය. එම සටහන තැබූ විගසින් පුද්ගලයන් පිළිබඳව නම් සඳහන් කරමින් අදහස් දැක්වීම් ආරම්භ විය. ඒ අතර බොහෝ පිරිස් ඒ සම්බන්ධයෙන් බිමල් රත්නායක සමඟ කතාබහ කිරීමට පටන් ගත්තෝය. “මන්ත්‍රීතුමා මේ ඡන්දෙදි මාධ්‍යවලින් කරපු බලපෑම නම් නරකම එකක්. මේවා එක්ක අපිට හැප්පෙන්න වෙනවා. මොකද අපි කියන මතය කොයිතරම් ඇත්ත සාධාරණ වුණත් බොරු මතයක් සමාජගත කරන්න ප්‍රබල මාධ්‍යවලට පුළුවන්. ඉස්සරහට මේක තවත් බරපතළ වෙනවා. අපිට බැරිද චැනල් එකක් පටන් ගන්න. පුළුවන් මට්ටමින් පටන් ගන්න. අපි අපේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන්නම්. දුරකතන ඇමතුමක් ලබාදුන් වෘත්තිකයෙක් බිමල් රත්නායකට පවසා තිබිණ. “ඔව් මාධ්‍ය බලපෑම ගැන අපි අවබෝධයෙන් ඉන්නේ. ඕනෑ තරම් වෙනත් රටවල උදාහරණ තියෙනවා බලයට ගේන්න ඕනෑ කෙනා ඉලක්ක කරගෙන මේ වගේ මාස්ටර් කැම්පේන් යනවා. අපි උත්සහ කරමු අලුත් විදියකට අපේ ප්‍රචාරණ කටයුතු කරන්න.” බිමල් රත්නායක පිළිතුරු දෙමින් පැවසීය.

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව බොහෝ දෙනා ජවිපෙ නායකයන්ට කතාබහ කරන්නේ තමන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් ලැබුණ බව කියමිනි. ඒ අතර ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය තුළ ජවිපෙ පරාජය ගැන උදම් අනමින් සිටීමද දකින්නට ලැබේ. බොහෝ පිරිස් ජවිපෙ දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාව පළකළද ජනාධිපතිවරණයේදී දෙදෙනකු අතර වූ තීව්‍ර තරගකාරීත්වය නිසා ජවිපෙ (ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා) තෝරාගැනීමට පෙළඹෙන සම්භාවිතාව අඩු වූ බව දේශපාලනයට සංවේදී සියලු දෙනා දන්නා කරුණක් බව ජවිපෙ නායකයන්ගේ අදහස්ය. කෙසේ වෙතත් මේ දිනවල ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ මෙන් ජාතික ජනබලවේගය නියෝජනය කළ අනෙකුත් සංවිධානවල නායකයන්ටද සිය ඡන්ද දායකයන්ගෙන් දුරකතන ඇමතුම් ගලා ඒමේ අඩුවක් නම් නොමැත.

“මන්ත්‍රීතුමා අපි මේ සැරේ ඡන්දය දුන්නේ ආණ්ඩුව පරද්දන්න මිසක් ඔබතුමාලා පරද්දන්න නෙවෙයි. මොකද අපි මීට කලින් හොරු එළවන්න ඡන්දය දුන්නා. එහෙත් පහුගිය ආණ්ඩුව ඒක හරියට කළේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට විරෝධය පළකරන්න අපි මේ සැරේ ඡන්දෙ දුන්නා. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි දෙන්නේ ඔබතුමාලට. මොකද බැඳුම්කර වංචාව හෙළිකළේ ජවිපෙ බව රටම දන්න දෙයක්. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ නැතුව කවුරු ජනාධිපති වුණත් මේ රට හදන්න බැරි බව අපි දන්නවා.” ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට දුරකතන ඇමතුමක් ලබාදුන් නීතිඥයෙක් පවසා තිබිණ.

කස්තුරි



අදහස් (0)

එජාපයේ දෙදරීමක්

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4307 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2994 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3151 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3017 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site