සිම්බාබ්වේ වෙසෙන පුද්ගලයන්ගෙන් මිලියන 5ක්, එනම් සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක්, ආහාර අහේනියකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
බොහෝ රටවල් ආහාර අහේනියක් කරා ගමන්කරමින් ඇති බවද, බහුතරය හදිසි අවදානම් තත්වයක පවතින බවද, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනනෙහි ප්‍රධානී ඩේවිඩ් බේස්ලි මහතා පැවසීය.
 
මේ රටවල් අතරින් සිම්බාබ්වේ වසර ගණනාවක් තිස්සේ කුසගින්නෙන් පෙළෙන බව ද ඔහු කීය. 

අස්වනු නෙළීමට ආසන්න සමයේදී පැමිණි නියගයෙන් බලපෑම් එල්ල වූ බවද, වෙළඳපොළෙහි ආහාර වෙනුවෙන් පවතින මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවද, මේවනවිට එම රට ආර්ථික ගැටලුවලින් මිරිකී සිටින බවද වාර්තා වේ.
 
සිම්බාබ්වේ මිලියන දෙකකට අධික ජනතාවක් හාමතේ හිණිපෙත්තේ සිටින බව බේස්ලි මහතා වැඩිදුරටත් පැවසීය.
 
මලාවි සහ මොසැම්බික් රාජ්‍යයන්ට බලපෑ දරුණු කුණාටු හේතුවෙන්, සිම්බාබ්වේවැසියන් 570,000ක පීඩාවට පත්වූ බවත්, දස දහසකට අධික පිරිසකට නිවාස පවා නොමැති වූ බවත් වාර්තා වේ.
 
පසුගිය සතියේ සිම්බාබ්වේ මූල්‍ය අමාත්‍යවරයා වන  මියුතුලි නිකියුබ් මහතා පැවසුවේ, ග්‍රාමීය සහ නාගරික නිවාස 757,000කට රජය මගින් ධාන්‍ය ලබාදෙන බවය.
  
(බීබීසී ඇසුරිනි)

16844