2016 වර්ෂයේ දී ලොවපුරා පාරිසරික ක්‍රියාකාරීන් 200ක් පමණ මියගොස් ඇති බව ග්ලෝබල් විට්නස් නම් හරිත සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.

ස්වාභාවික සම්පත් සහ භූමිය අත්පත් කර ගැනීමට සිදුකරන අරගල හේතුවෙන් රටවල් 24 කින් මෙම ඝාතන වාර්තා වූ බවත් එම සංඛ්‍යාව 2015 වර්ෂයේ වාර්තා වූ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි බවත්  සංවිධානය පෙන්වා දෙයි.
 
වැඩිම ප්‍රමාණයක් එනම් ඝාතන 49ක්  බ්‍රසීලයෙන් වාර්තා වන අතර කොළොම්බියාව, පිලිපීනය හා ඉන්දියාව ද ඝාතන වැඩියෙන් සිදුවූ රටවල් ලෙස වාර්තා වී ඇත. සියලුම ඝාතන වලින් සියයට 60ක ප්‍රමාණයක් ලතින් ඇමරිකානු රටවල් ආශ්‍රිතව සිදුවී ඇති බවත් එයිනුත් සැලකිය යුතු ප්‍රමාණයක ඝාතන සිදුව ඇත්තේ ස්වදේශික කණ්ඩායම් අතර බවත් ග්ලෝබල් විට්නස් සංවිධානය පවසයි.
 
පසුගිය වසරේ සිදුවී ඇති  ඝාතන වලින් 33ක් පතල් කර්මාන්තයේ යෙදෙන අය අතර විම ද විශේෂත්වයක් බව මෙම සංවිධානය පවසයි.  මෙම ඝාතන වල උච්චතම අවස්ථාව ලෙස සැලකෙන්නේ හොන්ඩුරාස් දේශයේ බර්ටා කැසකස් නම් හරිත ක්‍රියාකාරිනියගේ ඝාතනයයි. එම ඝාතනය ද ඇතුළුව හොන්ඩුරාස් දේශයේ ඝාතන 14ක් පසුගිය වසරේ සිදුව ඇත. 
 
කෙසේ වුවද බර්ටාගේ ඝාතනයෙන් පසු හොන්ඩුරාස් දේශය වෙත විශාල වශයෙන් ජාත්‍යන්තර බලපෑම් එල්ලවීම නිසා මෙම වසරේ පාරිසරික ක්‍රියාකාරීන් ඝාතනය වීම බොහෝ සේ අඩු වී ඇතැයි ද වාර්තා වේ.   
 


(බීබීසී පුවත් ඇසුරිණි - 085)