ජීනිවාහිදීය (රොයිටර්)

රොහින්ජා මුස්ලිම් දරුවන් ලොවට අහිමි දරු පරම්පරාවක් බවට පත්වීමේ අවදානමක් හටගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (24) අනතුරු ඇඟවීය. 

බංග්ලාදේශයේ අවතැන් කඳවුරුවල සිටින රොහින්ජා දරුවන් විවිධ රෝගාබාධ ගොදුරු වීමේ අවදානමක් හටගෙන ඇතැයි ද මියන්මාරයේ සිටින රොහින්ජා දරුවන්ට නිසි අධ්‍යාපනයට ප්‍රවේශ වීමටත් හැකියාවක් නැතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි ළමා අරමුදල (යුනිෆෙස්) විසින් ඇගයීමක් කර තිබේ. එයින් අනාවරණය වූ තොරතුරු කනගාටුදායක තත්ත්වය පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. 

පසුගිය වසරේදී රොහින්ග්‍යා වැසියන් සහ මියන්මාර ආරක්ෂක අංශ ගැටුම් උත්සන්න විය. එම ගැටුම් උත්සන්න වීමත් සමඟ රොහින්ජා වැසියෝ 700,000කට වැඩි පිරිසක් මියන්මාරයෙන් පලා ගියහ. 

දේශසීමාවේ දෙපැත්තේම සිටින රොහින්ජා දරුවන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එම ඇගයීම සිදු කර තිබේ. 

“රොහින්ජා දරුවන් ලොවට අහිමි දරු පරම්පරාවක් අහිමි වීමේ අවදානමට අපි මුහුණ දී සිටිනවා. අපි කතා කරන්නේ එය ගැනයි” ජීනිවා නුවරදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සයිමන් ඉන්ග්‍රම් පැවැසීය. ඔහු බංග්ලාදේශයේ කොක්සිස් බසාර් දිස්ත්‍රික්කයේ රොහින්ග්‍යා  අවතැන් කඳවුරුවල සති හයක කාලයක් ගත කිරීමෙන් අනතුරුව එම පුවත් සාකච්ඡාව පැවැත්වීය. 

“ලක්ෂ පහකට ආසන්න දරුවන් පිරිසක් බංග්ලාදේශයේ හෝ ඒ දේශසීමාවේ සිටිනවා. තවත් බොහෝ පිරිසක් රඛීන් ප්‍රාන්තයේ සිටිනවා. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථා ඉතා සීමිතයි. අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නැති තරම්” ඉන්ග්‍රම් කීය. 

රටක් රාජ්‍යයක් නොමැති රොහින්ජා වැසියන් 530,000 ත් 600,000ත් අතර පිරිසක් තවමත් රඛීන් ප්‍රාන්තයේ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එයින් 360,000ක් දරුවන් බව පැවසේ. රඛීන් ප්‍රාන්තයට යෑමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති අවස්ථා ඉතා සීමිත බව පැවසේ.

තමන් රඛීන් ප්‍රාන්තයේ ස්වදේශිකයන් යැයි රොහින්ජා වැසියෝ පවසති. එහෙත් ඔවුන් අයුතු ලෙස මියන්මාරයට පැමිණි පිරිසක් යැයි මියන්මාරයේ බෞද්ධ බහුතරය පවසති.  එමෙන්ම බහුතර බෞද්ධයෝ රොහින්ග්‍යා  වැසියන්ට පුරවැසිභාවය ලබාදීම ද ප්‍රතික්ෂේප කරන අතර ඊට දැඩි විරෝධයක් එල්ල කරති. 

(055)