ලොවපුරා මෙතෙක් වාර්තා වූ උණුසුමින් වැඩිම මාසය පසුගිය ජූලි මාසය බව චන්ද්‍රිකා දත්ත අනුව තහවුරු වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

යුරෝපා සංගමයේ කාළගුණික විපර්යාස සේවාවේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම තක්සේරුව සිදුකර ඇත.

මෙතෙක් උණුසුමින් වැඩිම මාසය ලෙස වාර්තා වූ 2016 වර්ෂයේ ජූලි මාසයට වඩා සෙල්සියස් අංශක 0.04කින් මෙම වසරේ ජූලි මාසයේ උෂ්ණත්වය වැඩිවී ඇත.

මෙය පැහැදිලි කරමින් විද්‍යාඥයින් පවසන්නේ පෙර නොවූ විරූ ලෙස පෘථිවිය උණුසුම් වීමේ පෙරනිමිති එමගින් පෙන්නුම් කරන බවයි.

දේශගුණික විපර්යාසයන්ට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළයෑම ද මෙලෙස උෂ්ණත්ව ඉහළ නැගීමට හේතුවක් බව ඔවුහු සඳහන් කරති.

(බීබීසී ඇසුරිනි - 085)