පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තනවුවාන් පළාතේ නගරාධිපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 

මොහු ඝාතනය කර ඇත්තේ තනවුවාන් නගර ශාලාවේ උත්සවයකට සහභාගී වෙමින් සිටියදීය. වෙඩි තබන අවස්ථාවේ ඇන්ටෝනියෝ හලිලි නගරාධිපතිවරයා ජාතික කොඩිය ඔසවමින් සිටි අතර ජාතික ගීය වාදනය වෙමින් පැවතුන බව පැවසේ.

නගරාධිපතිවරයා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටි නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කරන බවටද චෝදනා එල්ල වී තිබිණ.

වෙඩි තැබූ පුද්ගලයා පලාගොස් ඇති අතර පොලිසිය පවසන්නේ මොහු නගරාධිපතිවරයා සිටි ස්ථානයට මීටර් 150ක් පමණ දුරින් සිට වෙඩිතබා ඇති බවයි. ඔහු පුහුණු ස්නයිෆර් තුවක්කුකරුවකු වියයුතු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

(බීබීසි ඇසුරිණි - 085)