මාර්තු 18 වැනි සෙනසුරාදා උදේ වරුව පැරීසිය අවට මීදුමින් පිරී සිරි පොද වැස්ස වෙලාගත් අඳුරු දිනයක් වූයේය. සෙනසුරාදා උදේ හෙයින් පැරීසිය මෙන්ම ඉන් අවටද එතරම් වාහන තදබදයක් නොතිබිණි. මෙවැනි පරිසරයක පැරීසියට උතුරු දිශාවේ කි:මී: 15 ක් පමණ දුරින් ගාස් ගොනේස් යන ප‍්‍රදේශයේ එහි ප‍්‍රධාන නොවන මාවතක වේගයෙන් ගමන් ගත් රෙනෝල්ට් කිලියෝ වර්ගයේ වාහනයක් උදේ 06.55 ට පමණ පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් නවතා පරික්ෂාවට ලක් කළහ.

වාහනයේ සිටියේ රියැදුරු පමණය. ඔහුගේ හැඳුනුම් පත ඉල්ලා සිටි පොලිස් නිලධාරීන්ට එය ලබාදුන් රියැදුරා පොලිස් නිලධාරීන්ට පිස්තෝලයකින් වෙඩි තබමින් පලා යෑමට තැත් කළේය. වෙඩි පහරින් එක් පොලිස් භටයකුගේ මුහුණට තුවාල සිදුවූ අතර අනෙක් දෙදෙනා පලා යන වාහනයට වෙඩි වරුසාවක් එල්ල කලද වෙඩි වැදුණු වාහනය අධික වේගයෙන් පලා ගිය අතර දකුණු දිග පැරීසියේ විට්රි සූසෙන් යන ප‍්‍රදේශයේදි වාහනය අතහැර දැමුවේය. පලා යන අතරතුර ”මම වැරදි වැඩක් සිදුකළා ” යනුවෙන් සඳහන් එස් එම් එස් පණිවුඩයක්ද ඔහුගේ පියාට හා සහෝදරයාට යැව්වේය.

අනතුරුව පාරේ නවතා තිබූ බීම වර්ග ප‍්‍රවාහනය කරන වාහනයක රියදුරුට තර්ජනය කොට එම වාහනය සොරා ගැනීමට තැත් කලද; එය සාර්ථක නොවුයෙන් වෙඩි ප‍්‍රහාරයන් දෙකක් ඔහුටද එල්ල කොට එතැනින් පලා ගියේය. පසුව අවටින් සොයාගත් වෙනත් වාහනයකින් පලා ගිය ඔහු දකුණූ දිග පැරීසියට කි:මී: 15ක දුරින් පිහිටි ප‍්‍රංශයේ දෙවන විශාලතම ගුවන් තොටුපොළ වන ඔරලි ගුවන් තොටුපොලේ පොළොව යට රථ ගාලට උදේ 08.06 ට පැමිණ වාහනය ගාල් කොට ගුවන් තොටුපොලේ දකුණු දිග පර්යාන්තයේ පළමු මහලට පැමිණියේය. ඒ වනවිට හරියටම වේලාව උදේ 08.22 පමණ විය.

පළමු මහලේ ආරක්ෂාවට ඇවිදිමින් සංචාරයේ සිටි යුද හමුදාවේ භටයන් තිදෙනකු පසු පසින් පැමිණි සැකකරු එහි කාන්තා හමුදා භට නිලධාරිනිය පසු පසින් තදින් බදාගෙන ”මම මෙතැනට පැමිණියේ අල්ලා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට යැයි කෑ ගසමින් ” ඈ සතු තුවක්කුව උදුරා ගැනීමට පොර බැදීමේදී දෙදෙනාම බිම වැටිණි. සැනෙකින් අනෙක් භටයන් දෙදෙනාගේ වෙඩි පහරින් සැකකරු මරුමුවට පත් කළේය.

මේ වනවිට ගුවන් තොටුපොළේ දකුණු පර්යාන්තයේ 3000ක් පමණ මගීන් පිරිසක් සිටි අතර ඔවුන් සියල්ලෝ කලබලයට පත් වූයේය. ක්ෂණිකව ඒ සියලූ දෙනාම ඉවත් කොට ගුවන් තොටුපොළ දැඩි පරීක්ෂාවට ලක් කළේය. ඒ වනවිට ගුවන් යානා 33ක් ගුවන් තොටුපොළේ නවතා තිබූ අතර සෙනසුරාදා දිනයක් හෙයින් පැමිණීමට හා පිටත්වීමට කාල සටහනේ ගුවන් ගමන් 476 කින් ගුවන් ගමන් 176 ක් අවලංගු කළේය. සවස 5ට පමණ වනවිට යථා තත්වයට පැමිණි ගුවන් තොටුපොළ නියමිත ගුවන් ගමන් ආරම්භ කළේය.

සවස 7.30ට පොලිසියේ ප‍්‍රධාන කොමසාරිස් විසින් මාධ්‍යට කරුණු හෙළි කරමින් සැකකරු වයස අවුරුදු 39ක් වයැසැති ෂෙයිඩ් බෙන් බෙල්හසීම් ලෙස හදුනා ගෙන ඇති බවත් ඔහු 1978 දී පැරීසියට නුදුරු නගරයකදී උපත ලබා ඇත්තේය. මත්ද්‍රව්‍ය ජාවාරම, සොරකම් හේතුවෙන් මින් පෙර දෙවතාවක් සිරබත් කා ඇති මොහු වසර 2011 හා 2012 අතර සිර දඬුවම් විඳි කාලයේ අන්තවාදී ලෙස වෙනස්වී ඇති බවද හෙළි කළේය. ඔහු මිය යන විට ඔහු සතුව කරේ එල්ලා ගෙන පැමිණි ගමන් මල්ලක ලීටරයක පමණ පෙට්‍රල් බෝතලයක් සොයා ගෙන ඇත්තේය. මේවන විට ඔහුගේ පියා, සහෝදරයෙක් හා ඥාති සහෝදරයක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටියි. අද ප‍්‍රංශය මුහුණදී ඇති ත‍්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ප‍්‍රංශය පුරා පොලිසියට අමතරව යුද හමුදා භටයන් 15000ක් පමණ ආරක්ෂාවට යොදවා ඇත. පැරීසිය පුරා විහිදී ඇති ඵෙතිහාසික සංචාරක ස්ථාන සියල්ලම පාහේ දැඩි හමුදා හා පොලිස් ආරක්ෂාව යටතේ පවතින්නේය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)