වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ෆෙඩරල් විමර්ශන ඒකකය (එෆ්.බී.අයි) දේශපාලනීකරණය වී ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා චෝදනා කරයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ අවශ්‍යතාව පරිදි එෆ්.බී.අයි ආයතනය පරීක්ෂණ මෙහෙයවන බවත් එම ආයතනය මෙන්ම අධිකරණ දෙපාර්තමේන්තුව පක්ෂපාතීව කටයුතු කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඇමෙරිකාවේ නීතිය ක්‍රියාත්මක කරන ඉහළම ආයතනයක් වන එෆ්.බී.අයී ආයතනය හා ජනපතිවරයා අතර  මතභේදාත්මක අවස්ථා කිහිපයක්ම ඇති වූ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා නිරන්තරයෙන් එෆ්.බී.අයි ආයතනයේ ක්‍රියාකලාපය විවේචනය කළේය.  

ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ ද එෆ්.බී.අයි ආයතනයයි.

“එෆ්.බී.අයි ආයතනයේ විමර්ශකයන් සහ එහි ඉහළ පෙළේ නායකයන් මෙන්ම අධිකරණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වෙලා. ඔවුන් විමර්ශන කටයුතු කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ වුවමනා එපාකම්වලට අනුවයි. ඔවුන් රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව කටයුතු කරනවා” යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා චෝදනා කරයි.

055