IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වීල් එක රෝල්වේවී ඇළට පෙරළෙනවා දැක්කා

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්පියසක් වූ කරඳගහමඩ අල්ලියද්ද ගමේ ඩී.එම්. චන්ද්‍රසේන (42) මහතාත් බිරිඳ එස්.එම්. කරුණාවතී (38) මහත්මියත් මොහොතකට පෙර සුරතල් වදන් තෙපලමින් තමුන් සමග එකම වාහනයේ පැමිණි සය හැවිරිදි බාල දරුවාත්, 21 හැවිරිදි වැඩිමහල් දියණියත්, ඇයගේ  වයස අවුරුදු දෙකක් වූ කුළුඳුල් දරු පැටියාත් (මිණිපිරියත්) ඔවුන් ඉදිරියේදීම ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයත් සමගම  ලොග්ගල්ලා ඔය වියානා ඇළ මාර්ගයට වැටී ගසාගෙන ගියේ පොසොන් සඳ නැගී හෝරා දෙක තුනක් ඉක්ම යන මොහොතේදීය.

බදුල්ල මහියංගණ මාර්ගය අතරතුර වූ වියානා ඇළ මාර්ගයේ අටවන කිලෝමීටර් කණුව ආසන්නයේදී ත්‍රිරෝද රථයක් මෙම පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අවාසනාවන්ත මරණ තුන සිදුවිය.
 
මෙම අනතුරින් ඩී.එම්. චන්ද්‍රසේන (42), එස්.එම්. කරුණාවතී (38) යන අඹු සැමි යුවළගේ වැඩිමහල් දියණිය ඩී.එම්. ස්වර්ණා මල්කාන්ති (21), ඇගේ එකම දියණිය ඩී.එම්. රශ්මි දීප්තිකා (2) මෙන්ම මියගිය මල්කාන්තිගේ බාල සොහොයුරා වන ඩී.එම්. කවිෂ්ක ගයාන් (6) ද මියගියහ.

තමුන් පණ සේ ආදරය කරමින් හදා වඩාගත් දරු පැටවුන් තිදෙනාගේ වියෝව ඉවසාගත නොහැකිව මේ මාපියන් නැගූ විලාපය මුළු බිම්තැන්න පුරාම විසිර ගිය ද  වියානා ඇළේ රුදුරු සැඩ පහර එය තඹයකට පවා මායිම් නොකර මේ දරු පැටවුන් තිදෙනාගේ ජීවිත ඇළ පතුළේ සඟවා තැබුවේ මුර්‍ළු ගමක් නොව ඇසූ ඇසූ සියලු දෙනා කම්පා කරවමිනි.

මේ අවාසනාවන්ත කතාව ඇරඹෙන්නේ පොසොන් පෝදාට පෙර දිනයේය.
ඩී.එම්. චන්ද්‍රසේන මහතා ස්ථිර රැකියාවක් නොකළේය. එහෙත් කුමන හෝ රැකියාවක් සොයාගෙන ඔහු පවුලේත් දරු මුණුපුරන්ගේත් අඩුපාඩු ඉටුකළේ එය පියකුගේ යුතුකමක් සේ සලකමින්ය.

තම බිරිය, දරු තිදෙනා මෙන්ම දියණියගේ කුළුඳුල් දූ සිඟිත්තිය ද ඇගේ සැමියා ඇතුර්‍ළු ගමේ තවත් පිරිසක් ද එකතු කරගෙන පොසොන් පෝදින උදෑසනින්ම දඹුල්ලට  ගොස් වැඳ පුදා ගන්නට පෝයට දින කීපයක් තිබියදීම ඔහු සැලසුම් කරන්නේ ඔහු යුතුකම් ඕනෑවටත් වඩා දන්නා පියකු නිසාය.

කුඩා කල සිටම තම බාල දරුවාට වැළඳී තිබූ හදවත් අමාරුවක් වෙනුවෙන් කරනු ලබන විවිධ ප්‍රතිකාරවලට අමතරව නිරතුරුවම දෙවියන්ගේත් බුදුන්ගේත් පිහිට පැතූ  චන්ද්‍රසේන මහතා බොහෝ විට මෙම ගමන්වලට සහභාගි වූවේ ඉන් තම දරුවාට ද කිසියම් හෝ යහපතක් සිදුවන්නේ යැයි සිත තුළ තිබූ විශ්වාසය නිසාය.
පොසොන් පෝදින අලු_යමින් පිටත්වීමට යෝජනා කර ගත් මේ ගමනේ එක් අරමුණක් වූවේ ද තම බාල පුතාට කිසියම් හෝ සෙත් සාන්තියක් අත්කර ගැනීමයි.

අසල්වැසියන් සමග කවදත් කුළුපග වූ චන්ද්‍රසේන මහතාගේ දඹුලු ගමනට ගමේ පිරිසක් ද එක්වූ අතර ගමන සඳහා ඔහුගේ ත්‍රිරෝද රථයට අමතරව කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ද සූදානම් කර ගත්තේ පිරිසේ ප්‍රමාණය තරමක් වැඩිවූ නිසාය.

චන්ද්‍රසේන මහතා ත්‍රිරෝද රථයේ රියැදුරු අසුන බාර ගත්ත ද ඇගේ බිරිය මෙන්ම දරු පැටවුන් ද විටින් විට ත්‍රිරෝද රථයෙන් ලොරියටත්, ලොරියෙන් ත්‍රිරෝද රථයටත් මාරුවෙමින් ගමනේ යෙදුණේ ඊට කිසිවකුන් ගෙන්වත් විරෝධතාවක් ද එල්ල නොවූ   නිසාය.

පවුලේ උදවියගේ මෙම චාරිකාවට මියගිය ස්වර්ණාගේ සැමියා වූ යුද හමුදා සෙබළ රුවන් චමින්ද (30) මහතා ද එකතු වූවේ මේ තම ආදරණීය බිරියත් දරු පැටියාත් සමග තමුන් යන අවසන් ගමන බව කිසිසේත් නොදැනය.

අවසන් සටනේ විරුවකු වූ චමින්ද කොතෙක් සංවේදී සිදුවීම් දැක තිබුණ ද සිය බිරිය, දියණිය මෙන්ම මස්සිනාගේ වියෝවෙන් ඇතිවූ කම්පාව ඔහුට තවමත් දරා ගන්නට බැරිය. ඔහු තවමත් සිටින්නේ සිදුවූවේ කුමක්දැයි සිතා ගන්නට පවා නොහැකිවය. ඔහු මෙසේ කීවේය.

“මියගිහින් ඉන්නේ මගේ නෝනයි, එකම දරුවයි, නෝනගේ මල්ලියි. අපි සතියක විතර ඉඳල තමා පොසොන් එකට දඹුලු_ යමු කියල කතා කර ගත්තේ. ගමේ දහ පහළොස් දෙනෙකුත් ගමනට එකතු වුණා. කට්ටියක් ලොරියක් ලෑස්ති කර ගත්තා. කට්ටියක් මගේ නෝනගේ තාත්තගේ වීල් එකේ යන්න සූදානම් වුණා.
පෝය දවසෙ උදේ 8.00ට විතර අපි ගෙදරින් පිටත් වුණා. නෝනගේ තාත්තයි, අම්මයි, නෝනගේ දෙවැනි මල්ලියි එයාගේ යාළුවෙකුයි තමා විල් එකේ ගියේ. මමයි මියගිය මේ තුන්දෙනයි ගමේ කට්ටියයි ගියේ ලොරියේ පිටිපස්සේ. නෝනත් එක්ක විහිලු කරගෙන අපි හරිම සතුටින් තමා ගියේ.

දවල් 11.00 විතර වෙද්දි අපි දඹුල්ලට ගියා.

ඊට පස්සේ දවල්ට දන්සලකින් කාල දඹුලු කන්දත් නැගල හවස 5.30ට විතර අපි ආපහු එන්න පිටත් වුණා තාත්තල වීල් එකේ හයියෙන් යන්න බැරි නිසා ඉස්සර වෙලා ආව. අපි පස්සෙන් ආව. අපි මහියංගණයට එනකොට රෑ 9.00ට වගේ ඇති. ඊට පස්සේ අපි මහියංගණයෙත් තොරණ බලල ආපහු එන්න ලැස්ති වෙද්දි මගේ නෝන මාත් එක්ක  කීව මට නිදිමතයි, මම මල්ලියි දරුවයි එක්ක තාත්තගේ වීල් එකට යන්නම් කියල. මම ඒ වෙලාවේ එයාට විහිර්‍ළුවට වගේ කීව ඔව් ඉතින් සැපට නිදාගෙන යන්න පුළුවන්නේ කියල.

දෙයියනේ මම කළ ඒ විහිළුවට එයා මං දිහා බලල එක ඇහැක් බාගෙට වගේ වහල අමුතු විදිහට හිනා වුණා. ඊට පස්සේ මට අත වනල බායි කියල යන්න ගියා. දෙයියනේ.... ඊට පස්සේ මට ආය එයා පණ පිටින් දකින්න ලැබුණේ නැහැ. එයා අන්තිමට හරිම ආදරෙන් හිනා වුණ විදිහ හරිම අමුතුයි. මට තාමත් ඒ හිනාව මැවි මැවී පේනව. මට ඒක කොහොමවත් අමතක කරන්න බැහැ.

මගේ නෝනගේ මල්ලිත් ඒවගේම මට ආදරෙයි. එයා එදා දවසෙම හිටියෙ මම ළඟ. එයාට ලෙඩක් තියෙන නිසා නිතරම එයා වෙනුවෙන් පින් දහම් කරන බව එයා දන්නව. ඒ නිසාම එයත් වඳින්න පුදන්න හරි ආසයි. එයා උස නැති නිසා කොහේ ගියත් එයා මට තමා කියන්නේ ‘අයියේ මාව උස්සල බුදු සාදු පෙන්නන්න’ කියල. එදත් කීප සැරයක්ම එයා මගේ උදව්වෙන් මල් පහන් පූජා කළා. අනේ මෙච්චර පිනක් කරල එද්දි නේද අපිට මේ විනාසෙ වුණේ.”

ඉන්පසු සිදුවූ බෙහෝදේ මියගිය කාන්තාවගේ දෙවැනි මල්ලි වූ චතුර ජනන්දට (15) හොඳ හැටි මතකය. ඔහු මෙසේ කීවේය.

“අපි උදේම දඹුල්ලේ ගියා. උදේ යනකොට අපි වීල් එකේ ගියා. ආපහු එනකොට මාරු වෙවී ආව. මහියංගණයට එනකොට 6.00ට විතර ඇති. ඊට පස්සේ අපි මහියංගණේ තොරණ බැලුව. දන්සල් වැන්ද.
මහියංගණෙන් පිටත්වෙනකොට රෑ 9.00ට විතර ඇති. ඒ වෙලාවේ පෙරහර නිසා  පාරෙ ටිකක් ට්‍රැෆික් තිබුණ. තාත්ත තමා වීල් එක ගෙනාවේ. අක්ක මහියංගණේදී කීව වීල් එකට එන්න ඕනි කියල. ඊට පස්සේ අක්කට වීල් එකට යන්න කියල මමයි යාර්‍ළුවයි ලොරියට නැග්ගා. අක්ක බැඳපු අයියත් හිටියේ ලොරියේ.

අම්මයි, මල්ලියි, අක්කයි, අක්කගෙ දුවයි මගේ යාළුවකුගේ අම්මයි වීල් එකට නැග්ගා. අපි ලොරියේ ටිකක් පමා වෙලයි ආවේ. ටික දුරක් එද්දි අපේ වීල් එක අනතුරට ලක් වුණා කියල ආරංචි වුණා. ලොරියට ඉක්මනට එන්න බැරි නිසා අක්ක බැඳපු අයියා පාරේ ගිය බයික් එකකට විස්තරේ කියල ඒකේ නැගල ආව. අපිත් පස්සෙන් ආව. අපි සිද්ධිය වුණ ඇළේ බැම්ම ළඟට එද්දි  එතන තාත්තයි, අම්මයි අර නැන්දයි අඬ අඬා හිටිය.

අපි මොකද වුණේ කියල අහද්දි තාත්ත කීව අපේ තාත්ත ආව පැත්තට විරුද්ධ පැත්තෙන් ආව වීල් එකක් තාත්ත ආව වීල් එකේ හැප්පුව කියල. ඊට පස්සේ අක්කයි මල්ලියි දුවයි එක්ක වීල් එක ඇළට වැටිල ගහගෙන ගියා කියලත් කීව.”

පියවි සිහියෙන් මෙන්ම කල්පනාවෙන් සිය වාහනය හැසිරවූ චන්ද්‍රසේන මහතාට ද සිදුවූ බොහෝ දේ හොඳ හැටි මතකය. ඔහු එම මතකයන් ආවර්ජනය කළේ විටෙක මහ හඬින් හඬා වැටෙමින්ය.

“මහත්තයො, වියානා ඇළ පාරට දාල මීටර් 200ක් එන්න වුණේ නැහැ. එක පාරටම මගේ ඉස්සරහින් ආව වීල් එකක් මගේ වීල් එකේ හැප්පුණා. මමයි මගේ නෝනයි වීල් එකේ ආව පුතාගෙ යාළුවගේ අම්මයි පාරට විසිවුණා. මම අමාරුවෙන් නැගිටල බලද්දි වීල් එක පේන්න තිබුණේ නැහැ. ඇළ දිහා බලනකොට වීල් එක රෝල් වෙවී ඇළට පෙරළෙනව දැක්ක. දෙයියනේ මගේ දරුවෝ තුන්දෙනාම ඒකේ හිටියා.....

අනේ මහත්තයෝ මගේ පොඩි දරුවගේ හදවතේ සිදුරක් තියෙනව. ඒක සුව කර ගන්න නොකරපු දෙයක් නැහැ. ලක්ෂ ගාණක් වියදම් කළා. ඒ අතරේ හැම තැනම එයා එක්ක ගිහින් සෙත් පැතුව. මේ දරුව දඹුල්ලට එක්කරගෙන ගිහිල්ලත් මම දරුවට හොඳක් වෙන්න කියල ප්‍රාර්ථනා කරල ආපහු එද්දි තමා මට මේ දරුව නැති වුණේ... දෙයියනේ මගේ දරු පැටව් නැතිව මම කොහොම ද ඉන්නේ.....” කියමින් චන්ද්‍රසේන මහතා හඬා වැටෙන්නට පටන් ගත්තේ බලා සිටියවුන්ගේ පවා නෙතඟට කඳුළක් එක් කරමින්ය.

කෙසේ වෙතත් මේ පිරිසගේ කෑ ගැසීමත් සමගම එහි පැමිණි ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසල පිහිටි පොලිස් පුහුණු පාසලේ නිලධාරීන් ඇළේ සැඩපහරට හසුව ගසාගෙන යමින් තිබූ ත්‍රිරෝද රථය අනතුර වූ ස්ථානයට කිලෝමීටරයක් පමණ පහළදී මහත් පරිශ්‍රමයක් යොදා කඹයක ආධාරයෙන් ගොඩ ගනු ලැබූ අතර ඒ තුළ සිරවී තිබී ඩී.එම්. ස්වර්ණා මල්කාන්තිගේ සිරුර ද හමුවිය.  

ගමේ තරුණයකු වූ කැලු_ම් නමැත්තාත්, මාපාකඩ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ජීවිතාරක්ෂක ඒකකයේ උපපොලිස් පරීක්ෂක විජේරත්න මහතාත් මීට නායකත්වය දුන්හ.

ගොඩගත් කාන්තාවට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරියා කෘතිම ශ්වසනය ලබා දී ඇය මහියංගණ රෝහලට ඇතුළත් කරන්නට කටයුතු කළ ද ඇයගේ ජීවිතය බේරා ගන්නට ඒ උත්සාහයෙන් ඵලක් නොවීය.

ඒ වනවිටත් එම ස්ථානය කරා මහියංගණ පොලිසියේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් දහසකට අධික පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් කිසිවකුටත් ඇළට වැටීමෙන් පසුව අතුරුදහන්වූ දරු පැටව් දෙදෙනාගේ දේහයන් සොයා ගන්නට නොහැකිවිය.

දරු දෙදෙනාගේ දේහයන් සෙවීම පසු දිනට කල් දැමූ පිරිස අනතුරින් තුවාල ලබා සිටි ඩී.එම්. චන්ද්‍රසේන (42), එස්.එම්. කරුණාවතී (38) සහ එන්. ධම්මිකා (39) යන තිදෙනා වහාම මීගහකිවුල රෝහල වෙත ඇතුළත් කළ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි ඩී.එම්.  චන්ද්‍රසේන (42), එස්.එම්. කරුණාවතී (38) යන අඹු සැමි යුවළ ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහල වෙත මාරුකර යවන්නට පියවර ගෙන තිබිණි.

මේ අතර අනතුර සිදුකළ අනෙක් ත්‍රිරෝද රථය පැදවූ 26 හැවිරිදි රියැදුරා මහියංගණ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ එදින රාත්‍රියේම ප්‍රතිකාර සඳහා මහියංගණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

සැකකාර රියැදුරා පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහු  කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයේ අයකු බවට අනාවරණය විය.   

මේ අතර සිද්ධියට පසුදින එනම් 9 වැනි දින යළිත් අනතුර වූ ස්ථානය වෙත පැමිණි මියගිය පිරිසගේ ගමේ උදවිය මෙන්ම අවට ගම්වාසීහු ද අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා වියානා ඇළ පහළට ගමන් කරන්නට වූ අතර එදින උදෑසන 8.00 පමණ වෙද්දී සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් 12ක් පමණ පහළින් පිහිටි දියබානා වැවේ සිට උල්හිටිය ජලාශයට ජලය ගෙන යන ඇළ මාර්ගයේ ගසාගෙන යමින් තිබූ පිරිමි දරුවාගේ සිරුරත් සවස 1.00 පමණ වෙද්දී දියබානා වැවේ තිබී දැරියගේ සිරුරත් ගොඩ ගනු ලැබීය.

මහියංගණ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි පී. රඹකැන්පුර මහතා මියගිය තිදෙනා සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර ඔහුගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ මහියංගණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඩබ්ලිව්.ඕ.එස්. බුවනෙක මහතා මෙම මරණ තුනම දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණ බවට නිගමනය කළේය.

පරීක්ෂණවලින් අනතුරුව මියගිය තිදෙනාගේ සිරුරු ඉකුත් 9 වැනි දින රාත්‍රී 10.30ට පමණ මියගිය තරුණියගේ නිවෙස වෙත රැගෙන ආ අතර එය දැක බලා ගැනීමට ප්‍රදේශවාසීහු විශාල පිරිසක් රාත්‍රියේ  සිටම එම නිවෙස වෙත පැමිණෙන්නට වුහ.

මෙම තිදෙනාගේම සිරුරු ඊයේ (11) සවස බෞද්ධ ආගමික කටයුතුවලින් අනතුරුව කරඳගහමඩ ගමේ පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ සහකාර පොලිස් අධිකාරී උජිත් ලියනගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත පොලිස් පරීක්ෂක තිස්ස කුමාර, පොලිස් පරීක්ෂක එම්. ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන ආර්.එම්. රත්නායක (35131), ඩී.එම්. වීරකෝන් (83229), ඩී.එම්. ප්‍රේමරත්න (88742), ඩී.එම්. ධර්මදාස (34166), ඩී.එම්. විජේරත්න (60195), අදිකාරි (60105), ඩී.එම්. චන්ද්‍රසේන (75160), රථවාහන අංශයේ පොලිස් සැරයන් සිසිර දිසානායක (29383) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

(කතාව සහ ඡායාරූප - වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර)

 



අදහස් (1)

වීල් එක රෝල්වේවී ඇළට පෙරළෙනවා දැක්කා

Bandara Tuesday, 13 June 2017 02:18 AM

පවු! ඔබට නිවන් සුව ලැබේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3726 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11147 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1874 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 627 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 775 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site