IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තන්තිරිමලේ දියුණුවට පාර කැපුවේ විජය පුවත්පත් සමාගමයි

(බිඟුන් මේනක ගමගේ)

තන්තිරිමලය විහාරාධිපතිත්වය පොසොන් උත්සව කමිටුවෙන් පවා නොසලකා හැර තිබූ සමයක තමන්වහන්සේ ද දිරි ගන්වමින් තන්තිරිමලය පුද බිම ආලෝකවත් කර තන්තිරිමලය ග්‍රාමයේ දියුණුවට පාර කපනු ලැබුවේ විජය පුවත්පත් සමාගම විසින් යැයි උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ පැවසූහ.

සමාජ මෙහෙවර යන නාමයට මුවා වී විශාල නාම පුවරු සවි කරගැනීමට දඟලන පිරිස් අතර නිශ්ශරණාධ්‍යාශයෙන් කටයුතු කරන විජයවර්ධන පවුල නිතැතින්ම මතු වී පෙනෙන්නේ යැයි කී උන්වහන්සේ ඔවුන් මේ රටේ ඇති කළ ආගමික, සමාජ හා අධ්‍යාපනික ප්‍රබෝධය ප්‍රශංසනීය යැයි සඳහන් කළහ.

තමන් වහන්සේගේ එකම අරමුණ ගුරු හිමියන්ගේ අරමුණු මුදුන් පමුණුවාගැනීම මිස විහාරස්ථානය කොන්ක්‍රීට් ගොඩක් කිරීම නොවන්නේ යැයි ද චන්දරතන නාහිමියෝ කීහ.

තන්තිරිමලේ චන්දරතන නාහිමියන් මෙම අදහස් පළ කළේ ඓතිහාසික තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය වූ පසුගිය 9 වැනිදා පුණ්‍යෝත්සව කටයුත්තේදී අනුශාසනාවක් පවත්වමිනි.

ලංකාදීප  පොසොන් ආලෝක පූජාව විජය පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ හා ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා අතින් විවෘත කෙරුණු අතර ඓතිහාසික තන්තිරිමලේ පුදබිම විදුලි එළියෙන් ඒකාලෝක වෙද්දී රැස්ව සිටි බැතිමත්හු සාධු නාද පවත්වමින් පුණ්‍යෝත්සවයට සහභාගි වූහ.

උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක හා තන්තිරිමලේ රජ මහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ  මෙසේ ද පැවැසූහ.

තන්තිරිමලේ ආලෝක පූජාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් මේ රටම සැලකිය යුතු තරමින් දැනුම්වත් කර තිබෙනවා. ඒ නිසා මේ ආලෝක පූජාව ආරම්භ කිරීමට පියවර තැබූ විජයවර්ධන පවුල ගැන මා කෙටියෙන් හෝ යමක් පැවැසිය යුතුයි. විනාශමුඛයට යමින් තිබූ ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් ආරක්ෂා කිරීමට කටයුතු කළේ හෙලේනා විජයවර්ධන මැතිණියයි. කැලණිය හා කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ විහාරාරාම ප්‍රතිසංස්කරණය කරමින් ආරක්ෂා කරමින් බෞද්ධ සිද්ධස්ථාන මතු පරම්පරාවටත් උරුම කරදීමට විජයවර්ධන පවුල කළ මෙහෙය ප්‍රශංසනීයයි. එමෙන්ම මිහින්තලය රජ මහා විහාරස්ථානය මෙන්ම තවත් බෞද්ධ සිද්ධස්ථානවල විදුලි ආලෝක පූජා ආරම්භ කරමින් බොදුනුවන් තුළ බොදු බැතිය වර්ධනය කිරීමට ගත් තීන්දුවත් විශේෂයි. විජයවර්ධන පවුල බෞද්ධ සමාජයට කළ මැදිහත්වීම ආගමික ප්‍රබෝධයට පමණක් නෙවෙයි අධ්‍යාපනික සංස්කෘතික ප්‍රබෝධයට පවා තුඩුදුන්නා. ඊට හොඳම උදාහරණය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු විවේකාශ්‍රමයක් ඉදි කිරීමයි.

සමාජ මෙහෙවර නමින් පුංචි දෙයක් කරලා මුලින්ම නාම පුවරුව ගහගන්න දඟලන මිනිසුන් අපට කොතෙකුත් මුණගැසෙනවා. වරක් එවැනි අවස්ථාවක් මා පෞද්ගලිකවම අත්වින්දා. අඩි හයයි හතරක්වත් පළල නැති ඉදිකිරීමක් කළ ඔහු උත්සාහ කළේ ඉදිකිරීමටත් වඩා විශාල නාම පුවරුවක් සවිකරගැනීමටයි. විජයවර්ධන පවුලේ කාර්යභාරය මෙවැනි මිනිසුන් නිසා තවත් මතුවී පෙනෙනෙවා. දුමින්දාගමනය සිහිවීම පිණිස සඝමිත් මෙහෙණියගේ ශෛලමය ප්‍රතිමාවක් නිර්මාණය කර නිරාවරණයට පසුගියදා මේ පවුලේ මහත්ම මහත්මීන් කටයුතු කළා. පිළිරුව නිරාවරණය කරන තෙක්ම එය සිය පවුලේ උදවිය කළ ඉදිකිරීමක් බව රංජිත් විජයවර්ධන මහතා දැනසිටියේ නෑ. එනිසා නිශ්ශරණාධ්‍යාශයෙන් කරන මේ ක්‍රියා සැබෑ පින්කම් හැටියට හැඳින්විය හැකියි.

මෙවරත් පොසොන් ආලෝක පූජාවට දේශපාලන අධිකාරියෙන් පොසොන් උත්සව කමිටුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා ආරක්ෂක අංශයෙන් නොමද සහායක් ලැබුණා. අප මෙතෙක් පැමිණි ගමන තනිකරම කටු කොහොලින් පිරුණු ගමනක්. ත්‍රස්තවාදීන් ගහණ මේ වන පෙදෙසට මුලින්ම පැමිණියේ ලංකාදීපයයි. කනගාටුවෙන් වුවත් මේ ටිකත් කිව යුතුයි. තන්තිරිමලේ හාමුදුරුවන් හැටියට ඉස්සර මට පොසාන් උත්සව කමිටුවට සහභාගීවීමට අවස්ථාව දුන්නේ නෑ. බලධාරීන් කිව්වේ අප ඊට අයත්වන්නේ නෑ කියලයි.

එහෙත් ලංකාදීප කාර්ය මණ්ඩලය අපි කොහොම හරි වැඬේ කරමු හාමුදුරුවනේ යැයි කියා මා දිරිමත් කළා.
එහෙම ආරම්භ කර පැමිණි ගමනකින් පසු අද වනවිට පොසොන් උත්සව සංවිධාන කටයුත්තේදී ප්‍රධාන තැනක් අපට හිමිවී තිබෙනවා. මට අවශ්‍ය මේ පන්සල කොන්ක්‍රීට් ගොඩක් කරන්න නොවෙයි. මේ බිහිසුණු වනාන්තරයට එදා මා පැමිණියේ අපේ නායක හාමුදුරුවන්ගේ සිවුරු කොනේ එල්ලිලයි. මගේ එකම අරමුණ ඒ හිමියන්ගේ අපේක්ෂා මුදුන්පත් කිරීමයි. ලියුම් කරදහියක් ලිව්වත් දේශපාලන අධිකාරියෙන් සහායක් ඉල්ලුවත් ඒ සියල්ල මා කරන්නේ මේ දියුණුවටයි. අපට ඒ ආකාරයට කරගැනීමට තවත් දේවල් ටිකක් ඉතිරිවී තිබෙනවා. ඒ ගමනේදී ජනමාධ්‍යයෙන් මෙන්ම දේශපාලන හා පරිපාලන යාන්ත්‍රණයන්ගෙන් අපට විශාල සහයෝගයක් ලැබෙමින් තිබෙනවා. එය ඉතා සතුටට කරුණක් යැයි ද උන්වහන්සේ පැවැසූහ.

ලංකාදීප කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සහ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා මෙසේ පැවසීය. දාහතර වැනි වරටත් ලංකාදීප පොසොන් ආලෝක පූජාව පවත්වන මේ අවස්ථාවේ දහතුන් වසරක් තිස්සේ අප කළ දේ ගැන අතීතාවර්ජනයක යෙදෙද්දී අපට සිහිවන්නේ තන්තිරිමලේ ග්‍රාමය කෙබඳු තත්ත්වයක පැවැතුණාද යන්නයි. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යකරණයෙහි රූපවාහිනී මහගෙදර නමින් හඳුන්වන ස්වාධීන රූපවාහිනියත් මේ කටයුත්තට සම්බන්ධවීම අප ලද ජයග්‍රහණයක් හැටියට හැඳින්විය හැකියි. එම කටයුත්තට මූලිකත්වය ගත් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාට අප ප්‍රණාමය පුද කරනවා.

ආරම්භක අවධියේදී මේ ග්‍රාමය හා වටපිටාව තිබුණේ භෞතික වශයෙන් ඉතාම අඩු දියුණු තත්ත්වයකයි. අපට එදා අනුරාධපුරයේ සිට තන්තිරිමලයට පැමිණීමට පැය දෙකහමාරක් වැනි කාලයක් ගතවුණා. ඓතිහාසික තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝක කර මු`ඵ තන්තිරිමලයටම ආගමික මෙන්ම සමාජ හා ආර්ථික වශයෙන් පුනර්ජීවනයක් ඇති කළ යුතු යැයි රංජිත් විජයවර්ධන මැතිඳුන් තීරණය කළේ එවැනි වටපිටාවකයි. එසේ ගත් තීන්දුව අනුව 2004 වසරේදී ආරම්භ කළ ආලෝක පූජාව අඛණ්ඩව වසර දාහතරක් පැවැත්වීමට විජය පුවත්පත් සමාගම සමත්වී තිබෙනවා. මේ දියුණුව දකිද්දී ලංකාදීපය හැටියට අපට ඇතිවන්නේ නිහතමානී ආඩම්බරයක්.

උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතා මෙසේ පැවසීය.
 
පොසොන් පෝ දිනය යනු ආගමික හා ඓතිහාසික වශයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් දවසක්. ලංකා භූමිය නව මගකට යොමු කළ දිනය හැටියට පොසොන් පෝ දිනය හැඳින්වූවාට වරදක් නෑ. ශ්‍රී සද්ධර්මය අප මාතෘ භූමියට මිහිඳු මාහිමියන් විසින් රැගෙන එනු ලැබුවේ අද වැනි දිනයකයි. උන්වහන්සේගේ සොහොයුරිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා පැමිණි ගමනේ මඟ සලකුණු මේ තන්තිරිමලේ භූමියේ පිහිටා තිබෙනවා. මේ පුදබිමෙහි පිහිටා ඇති අෂ්ටඵල බෝධීන් වහන්සේ ලංකාවාසී බෞද්ධයන් කාගේත් වන්දනාවට ගෞරවයට ලක්වනවා.

1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් බලයට පත්වීමෙන් පසුව මේ ප්‍රදේශය සශ්‍රීක කිරීමට කටයුතු කළා. අපවත්වී වදාළ අපේ නායක හාමුදුරුවන් එම කාර්යේදී මහා කැපවීම් කළා. තන්තිරිමලේ මේ තත්ත්වයට ගෙනඒමට අත්තිවාරම දැමුවේ උන්වහන්සේයි. චන්දරතන හිමියන් එතැන් සිට ඊළඟ කොටස මහ ඉහළින්ම සිදුකළා. නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසුව චන්දරතන හිමියන් ඒ අභියෝගය බාර නොගත්තා නම් මේ තැන අත්හැර ගියා නම් අප ඉතා ඛේදනීය ඉරණමකට ගොදුරු වෙනවා. ඒ නිසා තන්තිරිමලය දියුණුවෙන් දියුණුවට පත්වෙමින් තිබෙන අද දවසේ අපගේ නමස්කාරපූර්වක ගෞරවය චන්දරතන හිමියන්ට පළ කළ යුතුයි.

ජනාධිපතිතුමන් මෙන්ම අගමැතිතුමන් මේ රට නිවැරැදි මාවතකට ගැනීමට විශාල මෙහෙයක් හා කැපකිරීම් කරමින් තිබෙනවා. රට තුළ සමාජ, දේශපාලනික හා ආර්ථික වශයෙන් විශාල වෙනසක් කිරීමට කටයුතු සිදුවෙමින් පවතින කාල පරිච්ඡේදයක් හැටියට මේ යුගය හැඳින්විය හැකියි. ඒ වෙනස වෙනුවෙන් හොඳ පූර්ව සැලැසුමක් මේ නායකයන් දෙදෙනාටම තිබෙනවා. එවැනි මොහොතක සිදුවිය යුත්තේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ ආදී වශයෙන් වූ සියලු ජාතීන් ශ්‍රී ලාංකික යන එකම ජාතියක් හැටියට සලකා රටේ දියුණුව වෙනුවෙන් සහාය දීමට කටයුතු කිරීමයි.

විජයවර්ධන පවුලේ ආගමික, සමාජ, අධ්‍යාපනික සේවය ගැන බොහෝ දෙනෙක් කතා කළා. වැඩි දෙනෙක් කතා නොකළාට ඔවුන් දේශපාලන වශයෙන් ද මේ රටේ ප්‍රගමනයට කළ සේවය අතිවිශාලයි. විජයවර්ධන පවුල යනු අතු ඉතිලා වැඩුණු විශාල වෘක්ෂයක් වගෙයි. ඒ පවුලෙන් මේ රටට වූ සේවය මෙවැනි මොහොතක කියා නිමකළ නොහැකියි. කෙසේ වෙතත් 14 වසරක් තිස්සේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් මේ පුදබිම ආලෝක කරමින් තන්තිරිමලය ප්‍රදේශයට විජය පුවත්පත් සමාගම කළ සේවය කිසිදා අමතක නොවන බව කිවයුතුයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා මෙසේ පැවසීය.
ජාතික පොසොන් උත්සව වැඩසටහන යටතේ අනුරාධපුරයේ සිද්ධස්ථාන තුනකට අපේ අවධානය යොමුකර තිබෙනවා. එයින් එක් සිද්ධස්ථානයක් වන තන්තිරිමලේ සුවිශේෂයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවාගෙන ආ සඟමිත් තෙරණිය ප්‍රමුඛ පිරිස එක් රැයක් ගත කළේ මෙම ස්ථානයේදීයි. එවක මේ පෙදෙස තිවක්ක බමුණුගම නමින් හැඳින්වූවා. එමෙන්ම විජය රජුගේ උපතිස්ස නම් ඇමැතිවරයා දියුණු කළ උපතිස්ස ග්‍රාමය මෙය ලෙස ද ඉතිහාසයෙහි සඳහන් වෙනවා. එසේ බලද්දී තන්තිරිමලය යනු ඓතිහාසික ස්ථානයක්.

රජය මගින් ප්‍රකාශයට පත් කළ පොසොන් සතිය මේ වනවිට අවසානයට ළඟා වෙමින් තිබෙනවා. මේ සතිය පුරාම ආමිස හා ප්‍රතිපත්ති දානමය පින්කම්හි නියැලීමට ලංකාවාසීන් කටයුතු කළා. අනුරාධපුරය යනු කෙල ලක්ෂ ගණනක් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ හා සර්වඥ ධාතුන් වහන්සේ වැඩ වසන පූජනීය නගරයක්. බුදුරදුන්ගේ අරහං යන ගුණය අවධාරණය කෙරෙන කාලයක් හැටියට මේ කාලය හැඳින්විය හැකියි.

 එනම්, සියලු දෙව් මිනිසුන්ගේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවට යෝග්‍යවන හෙයින් යන්නයි. එම ගුණය මෙම පූජාවෙන් ද නියෝජනය වෙනවා. ඒ නිසා මේ පූජාවට දායක කාරක වන ඊට ඇපකැප වන සියලුම දෙනාට විශාල කුසලයක් හිමිවෙනවා. එයට ලංකාදීප පුවත්පත මූලිකත්වය ගැනීමත් ස්වාධීන රූපවාහිනී සේවයෙන් ලබාදෙන මාධ්‍ය මෙහෙවරත් අප අගය කළ යුතුයි. එවැනි සහායක් හිමිවීම තන්තිරිමලේ නාහිමියන් ඇතුළු හිමිවරුන් හා මේ ප්‍රදේශවාසීන් ලද භාග්‍යයක් හැටියට හැඳින්විය හැකියි. සම්බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ මේ පුදබිමෙහි මේ සිදුකරන පුණ්‍ය ක්‍රියාවෙන් මු`ඵ රටටම සාමය උදාවී සියලු ජනතාවගේ දුකඳුරු දුරු වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ද ඔහු පැවැසීය.

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (2)

තන්තිරිමලේ දියුණුවට පාර කැපුවේ විජය පුවත්පත් සමාගමයි

sam Monday, 12 June 2017 09:37 AM

සංඝමිත්තා මෙහෙණින් වහන්සේට ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන එන්නට උපකාර කළේ කොහොමද?

:       0       0

sanjeeva Monday, 12 June 2017 11:24 AM

මම වර්ෂ 2002 දී තන්තිරිමලේ පුදබිමට ආවා. ඒ කාලයේ මගේ ඥාති මාමා කෙනෙක් සේවය කරමින් සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග අධ්‍යක්ෂ හැටියට.... එතුමාගේ මුලිකත්වයෙන් 2002 දෙසැම්බර් මාසයේ පෝයට පෙර තන්තිරිමලේ මාර්ගය තැනුවා. ඒ කෙරුවේ වාරි මාර්ග අමාත්‍යංශයෙන්.... මේ ගැන විවිධ මාධ්‍යයන් ඔස්සේත් ප්‍රචාරය වුණා.

:       101       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3726 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11148 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1874 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 627 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 775 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site