IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුව පෙරැළීම ලේසි නෑ

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ

ආණ්ඩුව අර්බුදයකට පත්වෙලාද? බැඳුම්කර කොමිසම, විදේශ ඇමැතිට එරෙහි විශ්වාසභංගය, ආණ්ඩුව අපහසුතාවට පත්කරන්නේ ශ්‍රී.ල.නි.ප යද? උතුරේ ආරක්ෂාව යනාදී කරුණු ගැන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දැක් වූ අදහස් මෙවර සඳුදා  හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය - හිටිගමන් ආණ්ඩුව අර්බුද රැසකට ලක්වෙලා නේද? සයිටම්, බැඳුම්කරය ආණ්ඩුව බෙල්ලටම හිරකරලාද?
පිළිතුර - නෑ, ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන විට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට පූර්ණ අයිතියක් සෑම කෙනකුටම තිබෙනවා. ඒ වගේම අධිකරණයට ස්වාධීනව ක්‍රියාත්මක වීමේ නිදහස තිබෙනවා. ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සටන් කිරීමට නිදහස තිබෙනවා. රජයේ සේවකයන්ගේ පැත්තෙන් ඔවුන්ටත් ඒ නිදහස තිබෙනවා. පුරවැසියන්ගේ පැත්තෙන් ඒ නිදහස තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑමක් නැතිව ඕනම කෙනෙක්ගෙන් අද ප්‍රශ්න කරන්න පුළුවන්.

ප්‍රජාතන්ත්‍රවාදය මේවගේ ක්‍රියාත්මක වෙන රටක ප්‍රශ්නවලට මුහුණපාන්නවීම හොඳයි. ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන්, විසඳුම් මාර්ගයෙන් අවසානයක් වේවි.


ප්‍රශ්නය - ඔය කියන නිදහස තියෙන්නේ ජනතාව පාරට බැස්සාම ඔළු පලන්නද?
පිළිතුර - කරුණු දෙකක් තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතයට හානිකර තත්ත්වය උපරිමයට ආවාම ඒක මර්දනය කරන්න පොලිසිය සුළු වශයෙන් ඒකට මැදිහත් වෙනවා. පැහැරගෙන ගොස් මරා දැමීම් වෙන්නේ නැහැ. මේ තියෙන නිදහස ප්‍රයෝජනයට අරගෙන කණ්ඩායම් තිහක් හතළිහක් පාරට බැස්සාම සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවිතය ගෙනියන්න පුළුවන්කමක් නෑ. ඒවගේ වෙලාවට සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගන්න අවම බලයක් පාවිච්චි කර තිබෙන බාධක නවත්වන්න පොලිසියට සිදුවෙනවා. ඒක ඕනම රටක සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.


ප්‍රශ්නය - පොලිසිය බලා සිටියදී මැරයන් ලවා උද්ඝෝෂකයන්ට පහර දෙන්නෙත් ඒ නිසාද?
පිළිතුර - ආණ්ඩුවක් හැටියට ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ පවතින ආයතන හා නීති රාමුව තුළයි. ඒක වගකීමෙන් කියන්න පුළුවන්. හැබැයි කවුරුන් හෝ ඔය වගේ වැඩක් කරල තියෙනවා නම් ඒක සම්පූර්ණ වැරැදියි. ඒ සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පසුබිම සකසන්න පුළුවන්. මැරයන් ලවා පහර දුන්නා කියා කවුරුන් හෝ කියනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.


ප්‍රශ්නය - කරන්න පුළුවන් කිව්වාට කරන්නේ නැති එක නේද ප්‍රශ්නය?
පිළිතුර - නෑ නෑ ආණ්ඩුව පියවර ගන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ගෙන් ප්‍රශ්න කරන ආකාරය අද මුළු රටටම පේනවා. ඉතිහාසයේ මොන කාලෙද මෙහෙම වෙලා තියෙන්නේ. 1978 ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ රටේ නායකත්වයට ඒ ජනාධිපති බලය තිබියදී කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයකුගෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉතා ස්වාධීනව ප්‍රශ්න අහනවා. කොමිසමේ නීතිඥවරු ස්වාධීනව කටයුතු කරනවා. ඒ නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිමයක් වශයෙන් දකින්න පුළුවන්. 1978 සිට පැවැති සෑම ආණ්ඩුවකම මේ වගේ තත්ත්වයක් ක්‍රියාත්මක වෙලා නෑ. රටේ ජනතාවට හානිකරන දේවල් ප්‍රශ්න කරන්න, රටේ අලාභය, වංචාව යනාදියට පියවර ගතහැකි පසුබිමක් තිබෙන බව අද පේන්න තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ට අද පැහැදිලිව ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ පණිවිඩ ජනතාවට ලබාදෙන්නත් මාධ්‍යයට නිදහස තිබෙනවා.

මේ නිදහස පිළිබඳව නැවත වරක් හැරී බලන්න ඕන. ජනාධිපතිවරයා මේ නිදහස ලබාදී තිබෙනවාද නැද්ද කියා සිතන්න ඕන.


ප්‍රශ්නය - පවතින තත්ත්වය අනුව ආණ්ඩුවේ ගෞරවය වෙනුවෙන් වහාම තීරණයක් ගතයුතු බව එස්.බී, ඇමැතිවරයා කිව්වා. ඒ එළිදුටුවේ ශ්‍රී.ල.නි.ප ස්ථාවරයද?
පිළිතුර - ඉතාම පැහැදිලිව ශ්‍රී.ල.නි.ප හැටියට බැඳුම්කර වංචා පිළිබදව කොමිටියක් පත්කළා. ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවෙදි ඒ කොමිටිය පත්කළේ කරන්න ඕන දේ මොකද්ද කියා නිර්දේශ ලබාගන්නයි. ඒ අනුව නිර්දේශ නවයක් ලබා දී තිබෙනවා. මේ ගැන සෙවීමට ස්වාධීන කොමිසමක් පත්කිරීම එයින් එක් නිර්දේශයක්.

ඒ කොමිසම ස්වාධීනව ක්‍රියා කරනවාද නැද්ද කියා අද සියලු දෙනාටම පේනවා. මේකට කොතරම් රජය නිදහස දී තිබෙනවාද? රජයේ කිසිම බලපෑමක් නෑ. ජනාධිපතිතුමා ඒ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ඒක අපි නිර්දේශ කරපු දෙයක්. ශ්‍රී.ල.නි.ප ස්ථාවරය මොකද්ද කියා දැන් පැහැදිලිවම රටට පේනවා. මොන තරාතිරමක අය වැරැද්දක් කළත් ශ්‍රී.ල.නි.පය ඉන්නේ පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තියක.


ප්‍රශ්නය - කොමිසමක් පත්කර ප්‍රශ්න කිරීම පමණක් ප්‍රමාණවත්ද? මෙතැනින් එහාට මොකුත් නෑ කියා තිබෙන මතය ගැන මොකද කියන්නේ?
පිළිතුර - විශේෂ ජනාධිපති කොමිසම සහ මේ කොමිසම අතර පැහැලි වෙනසක් තිබෙනවා. මේ කොමිසමේ වාර්තාව අනුව නඩු පවරන්න නීතිපතිට පුළුවන්. ඒ වගේම මේ පිළිබඳව අවංකවම කතා කරන මන්ත්‍රීවරු අපේ පක්‍ෂයේ පමණක් නෙමෙයි එ.ජා.ප යෙත් ඉන්නවා. ඔවුන්ගේ අදහස් අපට පාර්ලිමේන්තු ලොබියේදී කියනවා. ඒ නිසා මේක එළියට ආවා වගේම සාධාරණව නීතියත් ක්‍රියාත්මක වේවි කියා ඒ අයත් බලාපොරොත්තු වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්නත් ඉඩක් ලබාදී තිබෙනවා. අනාගතයේදී ඒක වෙනවා.


ප්‍රශ්නය - මේ හරහා අර්බුදයට යන්නේ ආණ්ඩුවම නේද?
පිළිතුර - මොන අර්බුදයට ගියත් රටේ මහ දවල් වූ බරපතළ වංචාවක්, දූෂණයක් සම්බන්ධයෙන් සොයා බැලීම වරදක් නෑ, එහෙම සොයා බලා අර්බුදයට ගියාට ගැටලුවක් නෑ. ඒ අර්බුදය පක්ෂ, නායකයන් විසඳාගනීවි. මම සිතන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම තැනක්.


ප්‍රශ්නය - මේ සිද්ධිය වෙද්දී ඔබ මුදල් රාජ්‍ය ඇමැතිවරයා. ඒ ගැන දැන සිටියේ නැතිද?
පිළිතුර - මගේ ස්ථාවරය පැහැදිලිව මුදල් අමාත්‍යාංශය ඇතුලේ ඉඳගෙන කතා කළා. මගේ ස්ථාවරය මාධ්‍ය සාකච්ඡා හරහා පැහැදිලි කළා. මගේ සීමා යටතේ කළ හැකි උපරිමය කළා. එක ස්ථාවරයක සිටියා. ඔය මහ බැංකු අධිපති මුදල් අමාත්‍යාංශයේ රැස්වීමකට ආවද කියා ප්‍රශ්න කළාම මම උත්තර දෙකක් දුන්නා. ඒ රැස්වීමට මහ බැංකු අධිපති කවුරු හෝ කැඳෙව්වා නම් එයාට රෙදි ඇඳගෙන ඉන්න බෑ. රැස්වීමට ඔහු ආවනම් එයා එන්නත් ඕන රෙදි නැතිව කියලයි මම කිව්වේ. මගේ ස්ථාවරය ඉතාම පැහැදිලියි.


ප්‍රශ්නය - ආණ්ඩුවක් හැටියට ගත්තාම ආණ්ඩුව අපහසුතාවට ලක් කරන්නේ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමද?
පිළිතුර - දූෂණයෙදි, වංචාවෙදි විතරයි අපි අපහසුතාවට පත්වෙන්නේ. දැන් ඒක කරගෙන යනවා. ඒ වගේම පෞද්ගලිකරණය වගේ කාරණාවලදී ශ්‍රී.ල.නි.ප අදහස් ප්‍රතිපත්ති ආණ්ඩුව තුළ ප්‍රකාශ කරනවා. ආණ්ඩු නිවැරැදි තැනකට සමහර තැන්වලදී පැමිණ සිටිනවා. සමහර සංශෝධනත් සමග ඉදිරියට යනවා. ඒ වගේම හොඳදේත් කර තිබෙන බව කියන්න ඕන. ජාත්‍යන්තරය දිනාගැනීම, ජී.එස්.පී ප්ලස් ලබාගැනීම, මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීම, ජාත්‍යන්තරව කීර්ති නාමයක් තහවුරුකර ගැනීම ආදී හොඳ දේවල් ගොඩක් මේක ඇතුලේ තිබෙනවා.


ප්‍රශ්නය - ශ්‍රී.ල.නි.ප 18 ක් ආණ්ඩුවෙන් යන බවයි කියන්නේ. එහෙම වුණොත් යළිත් අවුලක් නේද?
පිළිතුර - ආණ්ඩුවට ශ්‍රී.ල.නි.ප එකතුවී සිටින්නේ ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකින්. ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද කියා තීරණය කරන්නෙත් පක්ෂයයි. පුද්ගලයො නෙමෙයි. ඒ අයට එළියට යන්න පුළුවන්. එහෙත් පක්ෂයක් හැටියට එළියට යනවද නැද්ද කියා තීරණය කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පක්‍ෂයේ නායකයායි. ඒ තීරණය අනුවයි අනාගතයේ කරන්නේ මොකද්ද කියා පදනම් වෙන්නේ.

ඔය තැන් තැන්වල කතා කරන දේවල් කොයිතරම් නොවී තිබෙනවාද? ඒ නිසා ඕවා ගැන දැන්ම කලබල විය යුතු නෑ. ඉදිරි ප්‍රශ්නවලට විසඳුම් දෙන්න තව කාලය තිබෙනවා. අපි බලමු මොකද්ද වෙන්නෙ කියල.


ප්‍රශ්නය - විදේශ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන ශ්‍රී.ල.නි.ප ස්ථාවරය මොකද්ද?
පිළිතුර - ඊට ඉස්සෙල්ලා වෙන්න තියෙන ගොඩාක් දේවල් තිබෙනවා. සෙනසුරාදා පුවත්පත්වලත් යම් යම් දේ තිබුණා. ඒවා ඒ ආකාරයෙන් සිදු නොවුණොත් විතරයි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප අදහස් අවශ්‍යමයි. ඒ නිසා ඒ ගැන කවුරුවත් සැක සංකා මතුකර ගැනීමේ වුවමනාවක් නැහැ.


ප්‍රශ්නය - ඔබ කියන විශ්වාසභංගයට පෙර සිදුවෙන්න තිබෙන බොහෝ දේ මොනවාද?
පිළිතුර - බලාගෙන ඉන්න. මම මාධ්‍යයට කියපු කිසි දෙයක් බොරුවෙලා නැහැ. අසත්‍යයක් මම මාධ්‍යයට කියන්නේ නැහැ. ගොඩක් දේවල් අනාගතයේදී සිදුවේවි. ඒක පැහැදිලියි.


ප්‍රශ්නය - විදේශ ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීමක් ගැනද ඔබ නොකියා කියන්නේ?
පිළිතුර - මට එහෙම කියන්න බෑ. ඒකට තව පොඞ්ඩක් ඉවසගෙන ඉඳිමු. එතකොට වෙනදේ බලාගන්න පුළුවන්.


ප්‍රශ්නය - ඔබ කියන කාරණාවලින් අර්ථවත් කෙරෙන්නේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නේ නැහැ කියලද?
පිළිතුර - විශ්වාසභංගයක් ගෙනඒමට හේතු වූ කාරණා එම හේතු වූ දේවල් අවශ්‍ය නැති වුවොත් මොකද කරන්නේ. විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමෙන් පලක් නෑ. වෙන්න ඕන දේ ඊට කලින් සිදුවී හමාරයි කියන තත්ත්වයට පත්වුවොත් විශ්වාසභංගයක් මොකටද? ඒක නිසා තව බොහෝදේ සිදුවන පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. වැරැදිකරුවන් සම්බන්ධ පියවර ගැනේවි.


ප්‍රශ්නය - මේ වන විට උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන තැන්වලට පත්වෙලා නේද?
පිළිතුර - සන්නද්ධ අරගලයක් මේ රටේ තිබුණා. එල්.ටී.ටී.ඊ තැන් තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා කළා. හමුදාවෙන් පැනගිය අය නොයෙක් තැන්වල නොයෙක් දේ කළා. යම් යම් කණ්ඩායම් කල්ලි ක්‍රියාත්මක වෙනවා. ඒවා මර්දනය කර ගැනීම සහ ඒවා ඉවත් කිරීම රජයක වගකීමක්. ඒ වගකීම රජය හරියට ඉටුකරාවි.


ප්‍රශ්නය - සිද්ධි ගණනාවක් සිදුවුණා. මේවායෙන් පෙන්නුම් කරන්නේ ආරක්ෂක හිඩැසක් ඇති බවටයි චෝදනා නැගෙන්නේ?
පිළිතුර - ආරක්ෂාවේ හිඩැසක් නෙමෙයි. ක්‍රම දෙකක් තිබෙනවා. මිනිස්සු උස්සාගෙන ගිහින් මැරීම එකක්. එහෙම කළාම ප්‍රශ්නය ඉවරයි කියා දකුණේ ඇතැම් අය සිතන්න පුළුවන්. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තිබෙනවා. සිද්ධිවලට සම්බන්ධ අය අත් අඩංගුවට අරන් නඩු පවරා සිරගත කිරීම ආදිය ඒ තුළ තිබෙනවා. අද මේ රටේ ත්‍රස්තවාදයක් නෑ. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය පියවර ගනීවි.

ත්‍රස්තවාදයක් හැටියට මතු වෙනවා නම් එයට අවශ්‍ය පියවරක් ගැනීමට සිදුවේවි. රටේ ආරක්ෂා තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වෙන්නේ නෑ.


ප්‍රශ්නය - අනාගතයේදී රන්බිජු දමන කිකිළියක් බඳු හම්බන්තොට වරාය විකුණා දැමීමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ මෙහි ඇති වටිනාකම නොදැනද?
පිළිතුර - රන් බිජු දමන කිකිළියක් වුවත් රන් බිජු දමන්නේ නැති නම් කරන්න දෙයක් නැහැ. මෙහි සම්පූර්ණ වශයෙන් ඉඩම දීලා නැහැ. ඒ ගැන කොන්දේසියක් තිබෙනවා. ඒ වගේම ලංකාවට නැවත ලැබෙන ක්‍රමයකුත් තිබෙනවා. ලබාදෙන ප්‍රමාණය තිබෙනවා. මේ වරාය හොඳ වරායක්. ඒත් මෙයින් ආදායම් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. ආදායමට වඩා වියදම දහස් ගුණයකින් වැඩිවන විට එම වියදම පියවා ගැනීම අමාරුයි.

විශාල ණයක් පියවීමට තිබෙනවා. එ ණය බරෙන් අපි නිදහස් විය යුතුයි. ඒ සඳහා මෙය විකිණීමෙන් තොරව යමක් ක්‍රියාත්මක කිරීම වැරැදි නෑ. මේ දෙස භයංකාරව නොබලා මේ ගිවිසුමේ යටින්දාපු කොන්දේසිය බලන්න ඕන. “ඕනෑම සංශෝධනයකට යටත්” කියන කොන්දේසිය ජනාධිපතිතුමා මේකට ඇතුළත් කළා. ඒ ගැන කවුරුවත් කතා නොකරයි නොයෙක් කතා කියන්නේ. අපට යම් පීඩාකාරී අවස්ථාවක මෙය සංශෝධනය කරන්න පුළුවන්. රටට අහිතකර දේවල් මේකෙ නෑ. ඇයි මේවා රටට නොකියන්නේ. ලාබ ලබන ආයතන කිසිවක් විකුණන්නේ නැහැ. ඒ වගේම මහජන සුබසෙත වෙනුවෙන් රජය පවත්වාගෙන යා යුතු ආයතන පාඩු ලැබුවත් ඒවා පවත්වාගෙන යනවා.


ප්‍රශ්නය - රටට පව් නොදී ආණ්ඩුව ගෙදර යා යුතුයි කියා ඒකාබද්ධයේ සිටින ඔබලාගේම මන්ත්‍රීවරු කියනවා. ඒ ගැන ඔබලාට ඇති අදහස මොකද්ද?
පිළිතුරු - ශ්‍රී.ල.නි.පය හැටියට අපි මේ දිනවල මත දෙකක සිටියත් ශ්‍රී.ල.නි.පය හැටියට එකට එක් වී ඕනෑම වෙලාවක ඉදිරියට යන්න පුළුවන්. ශ්‍රී.ල.නි.පයේ එම මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ නිදහසේ සිටීමේ අවස්ථාව ජනාධිපතිතුමා ලබාදී තිබෙනවා. සමහර ශ්‍රී.ල.නි.ප නායකයන් එහෙම නිදහසක් දුන්නේ නෑ. පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්‍ෂය නොකැඩී තබා ගැනීමට දැඩි උත්සාහයකින් ජනාධිපතිතුමා තීන්දු ගෙන තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ එළියේ සිටින ශ්‍රී.ල.නි.ප කණ්ඩායමත් ආණ්ඩුවේ සිටින කණ්ඩායමටත් එකතු වෙන්න ඕන තරම් අවස්ථාව තිබෙනවා. අනාගතයේදී එහෙම වේවි. කාටවත් තනියම යන්න බෑ. මොන කණ්ඩායමක් හැටියට ආවත් පක්‍ෂය නැතිව ඉදිරියට යන්න බෑ. සෙනග සිටියත් පක්‍ෂය නැතිව ගමනක් නෑ. ඒක අපි හැමෝටම තේරෙනවා. ඒ නිසා කවදා හෝ සියලු දෙනා එකට එක් වී සිරීපාදෙ වඳීවි.


ප්‍රශ්නය:- මේ සියල්ල හමුවේ ආණ්ඩුව ස්ථාවරද? ආණ්ඩුව පෙරළන බවයි. ඒකාබද්ධය නම් කියන්නේ?
පිළිතුර:- අනාගතයේදී ඕවා තීන්දු වේවි එහෙම ආණ්ඩු පෙරළන්න ලේසි නෑ. ඡන්දයකට යන්නත් ලේසි නෑ.

2020 වන තෙක් මේ රටේ මැතිවරණයක් පවත්වන්න බෑ. පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරුවක් විතරක් වෙන්න පුළුවන්. ජනාධිපතිවරයාටවත් දැන් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. ඒ නිසා ඔලු ගෙඩි මාරු වෙයිද කියා අද කියන්න බෑ. එහෙම වෙන අවස්ථා වගේම එහෙම නොවී සුළුතරයෙනුත් ආණ්ඩු දුවන අවස්ථා තිබෙනවා. ඒ නිසා අනාගතයේ මොනව වෙයිද කියා කියන්න බෑ. අපි බලාගෙන ඉඳිමු.



අදහස් (5)

ආණ්ඩුව පෙරැළීම ලේසි නෑ

ONE SRILANKAN Monday, 07 August 2017 07:08 AM

වරාය ගණුදෙනුවේ ඕනෑම සංශෝධනයකට යටත්ව කියලා ඇති නමුත් දෙපාර්ශවයේ එකඟත්වයෙන් කියලත් තියනවලු නේද? එතකොට චීනේ මහත්වරු අකමැති වුණොත්... මම දන්නේ නැති නිසයි අහන්නේ..

:       0       108

joseph de silva Monday, 07 August 2017 08:03 AM

මෙහිදී රන් බිජු දමන කිකිලියක් ගැන ප්‍රශ්නයක් අසා තිබෙනවා. ඕවා දමනකන් ලංකාවේ මිනිස්සු අවුරුදු කීයක් රුපියල් බිලියන ගණනක් ණය ගෙවන්න ඕනෑද? වරාය හදලා පහුගිය අවුරුදු පහට නැව් 40000ක් කිට්ටුවෙන් ගිහිල්ල තිබෙනවා. වරායට ඇවිත් තියෙන්නේ හතළිහයි. මට හිතෙන්නේ ප්‍රශ්න අහන අයට රාජපක්ෂලා ගෙවනවා ඇති.

:       178       1

Senarath Monday, 07 August 2017 10:25 AM

"ආණ්ඩුව පෙරලීම ලේසි නැහැ" කිය කියා නිකම්ම කාලේ කා දැම්මම මේ රටේ ජනතාවගේ බඩ කට පිරෙනවද? ඩෙංගු ලෙඩ්ඩු සනීප වෙනවද? අනෙකුත් ප්‍රශ්න විසඳෙනවද? ඇමැතිලා ටිකනම් පරම්පරා 100 කට ඇතිවෙන්න හොරකම් කරනවා කියන එක දැන් මිනිසුන්ට බොහොම පැහැදිලියි.

:       0       10

raveendra Monday, 07 August 2017 12:11 PM

මගේ අම්මෝ මහමෙරු පර්වතය වගේ බරදෙ? මහින්ද උන්නැහෙත් ඔහොම හිතාගෙන තමයි හිටියේ. මොකද ඔබතුමාටත් රවීට හැදුණු "මට මතක නැහැ " ලෙඩේ හැදිලද? පින්පඩි..... එතකොට වරප්‍රසාද ඒවා ගැන හිතනකොට ... " අසූචි ගොඩේ තියෙන සතය කටේ තියෙන දිවෙන් වුණත් ගන්න" මතක් වෙනවා නේද?

:       0       24

siri Monday, 07 August 2017 08:43 PM

ආණ්ඩුව පෙරලීම කෙසේවෙතත් ලබන චන්දයකදී ඔබව නම් පෙරළෙනවා සිකුරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3723 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10965 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1860 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site