IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අවුල් තැවුල්

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

පසුගිය බදාදා සිදුවූ රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුගේ දිව්රුම් දීම, ඊට දින කිහිපයකට පෙර සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය හා සමානවම ආන්දෝලනයකට තුඩු දුනි.

මෙම අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා තමන් දරමින් සිටින තනතුරු ද්විත්වයෙන්ම ඉවත්වන බවට තර්ජනය කළේ ය. හෂීම් සන්සුන් වූයේ ඔහුගේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් නොකරන ලෙසට ඔහු කළ ඉල්ලීම අනුව කටයුතු කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වීමෙන් පසුවය. කෙසේවුවත් අභිනව රාජ්‍ය කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමිකව හෝ පත්ව සිටින්නේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනය. හෂීම් මෙවැනි ඉල්ලීමක් කළේ ඔහුට අබේවර්ධන සමග දේශපාලන වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් ආරෝවක් ඇති නිසාවෙන් නොවේ. රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමෙන් පසුව ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 13 වැනි හා 37 වැනි මහල්වල සිට ක්‍රියාත්මක වන කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය වෙත ගිය අබේවර්ධන එහිදී ඇතිකරගෙන තිබෙන ආරවුලක් නිසාවෙන් ද නොවේ. හෂීම් පැමිණිලි කරන ආකාරයට අමාත්‍යාංශයෙන් තමාට කාමර හයක් පමණක් අනුයුක්ත කර තිබෙනු දැක අබේවර්ධන ආපසු හැරී ගොස් ඇත. ඔහු පෙර දරමින් සිටි අමාත්‍යාංශයේ කාමර නවයක්ම අබේවර්ධන වෙනුවෙන් වෙන්කර තිබී ඇති බව හෂීම් පවසා තිබේ. මේ නිසාවෙන් නව අමාත්‍යාංශයේ තමන් වෙනුවෙන් වෙන් කර තිබූ කාමර භාවිතා කිරීම අබේවර්ධන ප්‍රතික්ෂේප කර තිබෙන බව සඳහන්ය.

එසේ වුවත් සැබෑ හේතුව මෙය නොවන බවට දැන් ක්‍රමයෙන් කරුණු අනාවරණය වෙමින් පවතී. කැබිනට් සංශෝධනයක් සිදුවන බවට තතු දැනගත් වහාම හෂීම් තම අමාත්‍ය මණ්ඩල සගයා මෙන්ම එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා සමග එක්ව ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර දේශපාලනික වශයෙන් වැදගත් අදහස් හුවමාරු කරගැනීමේ මෙහෙයුමක නිරතව ඇත. මෙම තීරුවෙන් පසුගිය අවස්ථාවක අනාවරණය කැරුණු ආකාරයට ඔවුන්ගේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූයේ කැබිනට් සංශෝධනයේ දී කවරෙකුට කවර තනතුර හිමිවිය යුතුදැයි යන්න සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ ජනපතිවරයාගේ අවධානය යොමු කරවීමත්, කැබිනට් සංශෝධනය සිදුකළ යුතු දිනය සම්බන්ධයෙන් ඔවුන් යෝජනා කරන දිනයකට ජනපතිවරයාගේ එකගතාව ලබාගැනීමත්ය. මෙම මෙහෙයුමේ තවත් කරුණු දැන් ක්‍රමයෙන් අනාවරණය වෙමින් තිබේ.

කැබිනට් මණ්ඩල සංශෝධනය මෙම වසරේ අගෝස්තු මාසය දක්වා කල්දැමිීම සුදුසු බව ජනපති සිරිසේනට ඒත්තු ගැන්වීමට හෂීම්, සමරවික්‍රම දෙදෙන මෙම මෙහෙයුමේ මුල් අවදියේ දී උත්සාහ කළෝ ය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාග රජයක් පිහිටුවීම සදහා ඇතිකරගෙන තිබෙන ගිවිසුම අවසන් වන්නේ අගෝස්තු මාසයේ දී වීමත්, 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකී ගිවිසුමට ඇතුළත් වූයේ එම වසරේ අගෝස්තු 17 වැනිදා වීමත්, ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවේ පදනම විය. එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ ජනපති සිරිසේන කියා සිටියේ කැබිනට් සංශෝධනය කඩිනමින් සිදුවිය යුතුව තිබෙන බවය. ජනපතිවරයාගේ ප්‍රතිචාරය පිළිබදව අගමැති වික්‍රමසිංහ දැනුම්වත් කිරීමට දෙදෙන කටයුතු කළ අතර, අනතුරුව එළැඹි සමයේ හෂීම්, සමරවික්‍රම දේශපාලන මෙහෙයුම වැඩි ජවයකින් ක්‍රියාත්මක වනු දැකගත හැකිවිය. මෙවර වැඩි අවධානයක් යොමු වූයේ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ අමාත්‍යධූරවල කවර වෙනසක් සිදුවිය යුතුද සම්බන්ධයෙන්ය.

සමරවික්‍රම, එවක විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවික්‍රම මහතාට කතාකරමින් රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කිරීමටත්, ඔහුගේ නික්මයෑමෙන් හිස්වන මුදල් අමාත්‍යධූරය (පසුව ජනමාධ්‍ය අමාත්‍යංශය එකතු කැරිණ) සමරවීරට ලබාදීමටත් අවධානය යොමුව තිබෙන බව පැවසුවේ ය. මෙම නව තනතුර තමාට ලැබෙන උසස්වීමක් ලෙස සලකන බවද, එම තනතුරේ වැඩකටයුතුවල යෙදීමට තමාට හැකියාව තිබෙන බවද, සමරවීරගේ පිළිතුර විය. තමා අගමැතිවරයාගේ විශේෂ දුූතයකු ලෙස පෙනී සිටින බවද ඔහු නොසැගවීය. මෙම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය මාර්තු මාසයේ, ජනපති සිරිසේන රුසියාවේ නිල සංචාරයක නියැළීමට මත්තෙනි. එම සංචාරයට මංගල සමරවීර ද ඇතුළත්ව සිටි අතර, රුසියාව බලා පිටත්වීමට ප්‍රථමයෙන් අවසන් තීරණය දැනුම්දෙන ලෙස ඔහුට උපදෙස් ලැබී තිබිණ. මංගලගේ පිළිතුර ඔව් විය. රුසියාව බලා ගිය ජනපතිවරයාගේ දුත පිරිසේ සාමාජිකයකු මතකය අවදි කරමින්, පිරිස සමග සතුටු සාමීචියේ යෙදී සිටිය දී ජනපති සිරිසේන ඇතැම් අවස්ථාවල තීරණයක් ගත්තාදැයි මංගල සමරවීරගෙන් විමසූ බවත්, එයට මංගල සමරවීර ඔව් යැයි හිස සලමින් පිළිතුරු දුන් බවත් සිහිපත් කළේය. එම තීරණය කුමක් පිළිබදවදැයි කිසිවකුටත් අදහසක් නොතිබූ බවද එම සාමාජිකයා වැඩිදුරටත් පැවසුවේ ය.

රවී කරුණානායක හා සම්බන්ධ වූයේ අගමැතිවරයාය. තනතුරු වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බව පැවසූ වහාම කරුණානායක ඊට දැඩිව විරෝධය පළ කළේය. තමා ගොදුරු කරගන්නට මාන බලමින් සිටින්නේ කවුරුන්දැයි ඔහු විමසුවේ ය. එම පුද්ගලයන් සම්බන්ධව අවධානයෙන් සිටීමට ඔහුට අවැසි විය.

කරුණානායකගේ ස්ථාවරය සම්බන්ධයෙන් සමරවික්‍රම, හෂීම් දෙපළ දැනුම්වත් කළ අගමැති වික්‍රමසිංහ, මුදල් අමාත්‍යධූරය වෙන කිසිවකුට පවරා දීමේ කිසිදු අදහසක් කරුණානායකට නොමැති බව පවසා සිටියේ ය. මේ හමුවේ ජනපතිවරයා දැනුම්වත් කරනු විනා අන් කළ හැකි කිසිවක් හෂීම් - සමරවික්‍රම දෙපළට නොතිබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ජනපති සිරිසේන රවී කරුණානායක හා දුරකථනය ඔස්සේ සම්බන්ධ විය. සංශෝධනය සිදු කෙරෙන්නේ කිසිදු අයුරකින් කරුණානායක පහත් කර සැලකීමට හෝ හෙළා දැකීමට හෝ නොවන බව ඔහු අවධාරණය කර කියා සිටියේ ය. විවිධ ක්ෂේත්‍රවල හොඳම හැකියා ඇති පිරිස්, එම ක්ෂේත්‍රවලටම අනුයුක්ත කිරීමේ අරමුණින් පමණක් කැබිනට් සංශෝධනය සිදුකැරෙන බවත්, පිළිගත් හා වගකීමෙන් යුත් දේශපාලනඥයකු ලෙස මෙම සංශෝධන සදහා සහයෝගය දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවත්, ජනපතිවරයා සිරිසේන, රවී කරුණානායක හා පැවසුවේ ය.

මෙයින් පසු කරුණානායක සහ අගමැතිවරයා අතර තවත් හමුවක් පැවැත්විණ. ඒ වන විට කරුණානායක තම අදහස වෙනස් කරගෙන තිබිණ. ඔහු විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තනතුරු භාරගැනීමට කැමැත්ත පළකර සිටියේ ය. එහෙත් කොන්දේසි තිබිණ. විදේශ කටයුතු අමාත්‍යංශය යටතට තවත් ආයතන කිහිපයක් ඇතුළත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා බැංකුව සහ වැවිලි සමාගම්, එම ආයතන විය. මේ පිළිබදව ජනපතිවරයා දැනුම්වත් කිරීමට හෂීම් හා සමරවික්‍රම කටයුතු කළෝය. දෙපාර්ශවය අතර අදහස් හුවමාරුව පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් පවසා සිටි ආකාරයට කරුණානායකගේ ඉල්ලීම් සැලකිල්ලට ගැනීමට ජනපතිවරයා කැමැත්ත දක්වා තිබේ. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම සිටියේ වෙනස් මතයකය. කරුණානායක යටතට වෙනත් කිසිදු ආයතනයක් ඇතුළත් නොකළ යුතුයැයි ඔවුහු දැඩිව කියා සිටියෝ ය. කැබිනට් සංශෝධනය නිල වශයෙන් සිදුවූයේ මෙවන් පසුබිමයක් යටතේය.

බදාදා සිදුවූ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිව්රුම්දීම හෂීම් මත පැටැවුණු අමතර බරක් විය. නිල සංචාරයක් සදහා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට සිදුවීම හමුවේ මැයි 22 වැනිදා සිදුකැරුණු කැබිනට් සංශෝධන ගැසට් කිරීමට ජනපති සිරිසේනට අවස්ථාවක් නොලැබිණ. පසුගිය සෙනසුරාදා 3 වැනිදා වනතෙක්ම ඔහු එම කටයුතු අවසන් කිරීමට උත්සාහ කරමින් සිටියේ ය. එහෙත් තවමත් කැබිනට් සංශෝධන සහතික කරමින් ගැසට් නිවේදනයක් නිකුත්ව නොමැත. පෞද්ගලික සංචාරයක් සදහා නිව්යෝර්ක් බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ නැවත දිවයිනට පැමිණෙන තෙක් ඔහු බලා සිටින්නේ ද?, කැබිනට් සංශෝධනය සිදුකර අදට සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් අවසන්ය.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්වීමට ප්‍රථමයෙන් අගමැති වික්‍රමසිංහ, හෂීම් සහ සමරවික්‍රම සමග ජනපති සිරිසේන හමුවිය. ඔවුන් අතර පැවැති සාකච්ඡාවේ වැඩි අවධානයක් යොමුවූයේ කරුණානායක ඉල්ලා ඇති අමතර විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ය.

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ගයක් පවසා සිටි ආකාරයට, කරුණානායක ඉල්ලා සිටින ආයතන ඔහුට ලබාදුන් පසු තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත්වන බවත්, නව රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ද කිසියම් වගකීමක් ලබාදුන් පසු කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම හිස් තත්ත්වයකට පත්වන බවත්, වටහාගෙන සිටි හෂීම් අදහස් දක්වා ඇත්තේ ඒ අනුවය. දඩයම්කරුවා ගොදුර බවට පත්ව ඇතුවාක් මෙන්, එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් තනතුරු සංශෝධන සම්බන්ධයෙන් මැදිහත් වූ හෂීම්ට දැන් සිදුව ඇත්තේ තමන් වෙනුවෙන්ම පෙනී සිටීමටය. විසඳුමක් නොලැබුණහොත් තමා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරයෙන් සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව ඔහු දැනටමත් පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රමට දන්වා ඇත. දේශපාලන බල හුවමාරුවේ ප්‍රබලයකු වන හෂීම්, ජනපතිවරයා ද අමතා තම තීරණය දැනුම් දී ඇත. ඊට පිළිතුරු ලෙස ජනපති සිරිසේන ඔහුට කියා ඇත්තේ ඉවසීමෙන් සිටින ලෙසය.

පසු අවස්ථාවක හෂීම් සහ ජනපතිවරයා අතර සාකච්ඡාවක් පැවැති බවද, එහිදී තමන් පත්ව සිටින තත්ත්වය ඔහු තවදුරටත් විස්තර කළ බවද, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කියා සිටියේ ය. තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් පූජා කිරීමේ අකමැත්තක් නොමැති මුත්, වගකිවයුතු කාර්යභාරයක් නොමැති අමාත්‍යංශයක් භාරව සිටීමේ නින්දාව විදීමට තමා කිසිදු අයුරකින් සූදානම් නොමැති බව හෂීම්, ජනපති සිරිසේන හමුවේ අවධාරණය කර කියා ඇත. අමාත්‍යාංශයෙන් ආයතන ඉවත් කෙරුණහොත් එවැනි තත්ත්වයක් ඇතිවන බව ජනපතිවරයා ද පිළිගෙන තිබේ. ඔයාට පතල් කණින්නයි වෙන්නේ, යැයි ඔහු පිළිවදන් දී තිබෙන බවද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස තමාට මෙවැනි හිස් අමාත්‍යාංශයක් මෙහෙයවීමට නොහැකි බව හෂීම් පෙන්වා දී තිබේ. අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රැකියා අවස්ථා සදහා පුද්ගලයන් පත් කිරීමට හෝ බලයක් තමාට නොමැති බවද ඔහු කියා ඇත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ අභිනවයෙන් පත්වූ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, හෂීම්ගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස නම් කිරීමටත්, ඔහුගේ දෙවැනියා ලෙස වෙනත් අයකු පත්කිරීමටත් ජනපතිවරයාගේ අවධානය යොමුව තිබෙන බව ඉහත සදහන් කළ ආරංචි මාර්ගය කියා සිටියේ ය. ජනපතිවරයා මෙවැනි අදහසක් පිළිබදව විමසා බලමින් සිටින්නේ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා තම කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස පත්කරගැනීමට අගමැති වික්‍රමසිංහ කටයුතු කර තිබෙන ආකාරය සැලකිල්ලට ගනිමිනි. මෙම පිළිවෙත බි්‍රතාන්‍යය පාලන ක්‍රමයේ ද අනුගමනය කෙරෙන්නකි. අදහස් විමසීම සදහා හෂීම් සම්බන්ධ කරගැනීමට සන්ඬේ ටයිම්ස් උත්සාහ කළද, ඔහු එම ඇමතුම් කිසිවකටත් පිළිතුරු දුන්නේ නැත.

තනතුරු සංශෝධනය සම්බන්ධයෙන් රවී කරුණානායකගේ අදහස් විමසීමට සන්ඬේ ටයිම්ස් සමත්විය. ජනතා මනාපයෙන් පරාජයවී ජාතික ලැයිස්තුවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සමත්වූ පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් තමා මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් කැරුණු බව ඔහු පැවසුවේ ය. මෙවන් තතු නොඟවා අනාවරණය කිරීමට කාලය පැමිණ තිබෙන බව කියා සිටි ඔහු, ජනතාව හා රට ඉදිරියට ගෙන යාමට, ජනතාවම දරන උත්සාහය සහ ඔවුන් ලබාදෙන මෙහෙය කිසිදු අවස්ථාවක නොසලකා හැරිය නොහැකි බව අවධාරණය කළේය.

පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී දැනට රජය සතුව තිබෙන රථවාහනවලින් සෑහීමකට පත්වීමටත්, මෙම වසර සදහා අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට වෙනුවෙන් කර තිබූ රථවාහන ඇනවුම් සියල්ල අවලංගු කිරීමටත් තීරණය විය. පසුගියදා වට මහ වැසි හමුවේ ආපදාවට පත්ව සිටින ලක්ෂ ගණනක් ජනතාවට සහන සැලසීමේ පියවරක් ලෙස මෙම තීරණය ගැනිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති සිරිසේන කියා සිටියේ ආපදා සහන ලෙස ලැබෙන විදෙස් මුදල් ආධාර සියල්ල භාණ්ඩාගාරය යටතේ එක් ගිණුමක තැන්පත් කළ යුතුව තිබෙන බවය. එම ආධාර නිවාස ගොඩනැගීම සදහා යොදාගත යුතු බව ඔහු පැවසුවේ ය. එම කටයුතු බාරව කටයුතු කරනුයේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ස්වභාවික ආපදාවලින් නැවත නැවතත් හානියට පත්වූ ප්‍රදේශවල වාසය කරන ජනතාව වෙනත් ආරක්ෂිත ප්‍රදේශවල පදිංචිය කරා යොමුකළ යුතු බවද ජනපතිවරයා පැවසුවේ ය.

කැබිනට් සංශෝධනය සහ නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිව්රුම්දීම හමුවේ තිරය පසුපස දිවෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ අර්බුදය තවදුරටත් රට ඉදිරියේ අනාවරණයව තිබේ. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ පාලන තන්ත්‍රයේ ද ගැටලු මතුව තිබෙන බව දැන් රහසක් නොවේ. සභාග රජයේ දෙවැනි සංවත්සරය එළැඹිීමට තිබිය දී, රටේ ණය බර, අපරාධ, ජීවන වියදම, ක්‍රමයෙන් ඉහළ නගිමින් තිබිය දී, ඒ හා සමග රජය කෙරේ ජනතාවගේ අප්‍රසාදයද වර්ධනය වෙමින් තිබිය දී, රජය මෙම සියලු අර්බුද කෙසේ හසුවරුවාගනු ඇතිදැයි යන්න සැබැවින්ම වැදගත් පැනයකි.

මුදල් ඇමැති පුටුවෙන් රවි තල්ලු කළේ පරාජිතයෙක්?
තමන් මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට හේතුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් නැවත නැවතත් විමසා සිටි බවද, රටේ ආර්ථිකය ගොඩනැගීමට තමා ගත් පියවර පක්ෂයේ අසතුටට හේතුවී ඇති බවක් පෙනී යන බවද, කරුණානායක සන්ඬේ ටයිම්ස් හා සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ය. ජනපති මෛත්‍රීපාල සිරිසේන පවා මාස කිහිපයකට පෙර කියා සිටියේ රටේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින බවය.

අපගේ සාකච්ඡාව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යංශ යේදීය. එයට බාධා සිදුවුණි නම් ඒ නිතර නාදවූ කරුණානායකගේ ජංගම දුරකතනය නිසාය. එක් ඇමතුමකට ඔහු මහත් උද්යෝගයෙන් පිළිතුරු දුන්නේ ය.
“නියමයි. ඉතා හොඳයි. ඉතා හොඳයි. විශිෂ්ටයි. මෙතනට එන්න ඔයාට කොච්චර වෙලා යාවිද ?“

එම ඇමතුම ලැබුණේ කාගෙන් දැයි මම ඇසීමි. ඊට පිළිතුරු දුන් නව විදේශ අමාත්‍යවරයා, තම දෙවැනියා වගකීම් බාරගෙන ඇති බවත්, එම ඇමතුමේ සිටියේ ඔහු බවත් කියා සිටියේය. විදේශ කටයුතු අමාත්‍යංශයේ දෙවැනියා ලෙස අභිනවයෙන් පත්වීම් ලැබුවේ පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාය.

පහත දැක්වෙන්නේ කරුණානායකට මා යොමුකළ ප්‍රශ්න සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරුය.


ප්‍රශ්නය - මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම ගැන සමහරවිට ඔබට පසුතැවීමක් ඇති. ඔබට සිතෙන හැටියට එවැනි තීරණයක් ගන්නට මුල් වුණ හේතු මොනවා වන්නට පුලුවන් ද?
පිළිතුර - පසුතැවීමෙන් ඉන්නවාය කියලා නම් මම කියන්නේ නැහැ. දේශපාලන ව්‍යුහය බැලුවොත් ඇත්තටම මේක උසස්වීමක්. ඒත් පුදුමයට කාරණය වුණේ මේ දේවල් සිදුවුණු ආකාරය. ඇත්තටම බැලුවහම මේ කිසිම තනතුරක් කාටවත් සදහටම උරුම නැහැ කියලා මම නම් හිතනවා. ඒත් මේ දේවල් සිදුවුණු ආකාරය ඇත්තටම පුදුමයි, ඒ වගේම ගුප්තයි.


ප්‍රශ්නය - ඇයි ඔබ එහෙම කියන්නේ? ඔබ ආර්ථිකය වැරදි ලෙස හැසිරවූ බවට වැරදි පෙන්වා දීමක් හෝ චෝදනා නැගීමක් සිදුවූවා ද?
පිළිතුර - ඇත්තටම තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අපේ ණය බර අඩු වුණා. ජනපතිවරයා පවා මාසයකට ඉහත කියා සිටියා අපේ ආර්ථිකය හොද මට්ටමක පවතින බව. මේ හින්දම, මගේ තනතුර වෙනස්කිරීම ඇත්තටම මහ පුදුමයක්. මගේ සාර්ථකත්වය නිසාද මේ දෙය සිදුවුණේ? අපේ ආර්ථිකය ඇත්තටම දැන් හොඳ තත්ත්වයක තියෙන්නේ. එකේ කිසිම ගැටලුවක් නැහැ. 2015 වසරේ අපි බාරගත්තු ආර්ථිකය හරියට ආරක්ෂක මුදුව ඉවත් කරපු අත් බෝම්බයක් වගේ. ඒක නිශ්ක්‍රීය කරන්න අපට හැකිවුණා. දළ දෙශීය නිශ්පාදිතයෙන් සියයට 10ක් වුණු රටේ ආදායම දැන් සියයට 15ක්. 2015 ඉදන්ම බහුතරයක් දෙනා භාවිතයට ගන්නා භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවෙලා නැහැ. ජීවනබර පාලනය කරගත හැකි මට්ටමක තිබෙනවා. අපි ආර්ථික කටයුතු පිළිබද විනයක් ඇති කළා. අන්තර්ජාතික දායකයින් ඒ පිළිබද තෘප්තිමත්. මේ සිදුවුණු සාධනීය වෙනස්කම්වලින් කිහිපයක් පමණයි. නොසලකා හැර දමා තිබුණු ආර්ථිකය අපි ඉහළට ගෙනාවා.


ප්‍රශ්නය - එහෙනම් මෙහෙම වුණේ ඇයි කියලා හේතුව විස්තර කරන්න පුලුවන් ද?
පිළිතුර - මම හිතන්නේ වෙන්නේ මොනවද කියලා අවධානයෙන් ඉන්න අයටනම් මේ වුණු දෙය ඇත්තටම පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. හැම පක්ෂයකම ඉන්නවා එක්තරා පුද්ගලයින්. එක්සත් ජාතික පක්ෂයෙත් මේ අය ඉන්නවා. මේ අය තමයි ජනතා මනාපයෙන් පත් නොවුණු, ජාතික ලැයිස්තුවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ආපු අය. ඔවුන් එක්සත් ජාතික පක්ෂය විනාශ වන අයුරින් පක්ෂයේ කටයුතු මෙහෙයවන්නට උත්සාහ කරනවා.

අපිටත් ඉන්නවා එහෙම කෙනෙක්, එයාට ඕනම දෙයක්, සහ සියලුම දේවල් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න. මම හිතන්නේ මේ දේවල් ඒ විදිහටම කියන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ජනතාව මුලා කරන්න අපි කිසිවකුටත් ඉඩදිය යුතු නැහැ.

ජනපති මෛත්‍රීපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත්, 2015 ජනවාරි 8 වැනිදා පැවැත්වුණු ජනපතිවරණයෙන් පස්සේ මා ගැන විශ්වාසය තියලා මුදල් අමාත්‍යංශය මට භාරදුන් බව මම හිතනවා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මම නැවතත් මුදල් අමාත්‍යවරයා විදිහටම පත්වුණේ. අපි වංචාවට එරෙහිව දැඩිව පෙනී සිටියා. ආයෙ කතා දෙකක් එතන තිබුණේ නැහැ. ඒ නිසා අපසුතාවට පත්වුණු පිරිසක් සහතිකවම සිටින්නට ඇති. ඒ නිසයි අද මේ වගේ තත්ත්වයකට අපි මුහුණදීලා සිටින්නේ. මේක දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. තමන්ට හැකියාව තිබෙන බව පැහැදිලිව පෙන්වා දී තිබෙන පුද්ගලයන්ට එහෙම සිදුවිය යුතු නැහැ. මෙය දේශීයවත්, විදේශීයවත් පිළිගෙන තිබෙනවා.


ප්‍රශ්නය - ඔබ කියන්නේ, එක්සත් ජාතික පක්ෂයේ, ඔබගේම පක්ෂයේ, ඔබගේ සාර්ථකත්වය පහත හෙළන්නට උත්සාහ කරන පුද්ගලයෙකු හෝ පුද්ගලයන් හෝ සිටින බවද?
පිළිතුර - ඔව්. ඇත්තටම ඔව්. සහතිකයෙන්ම. මට ඒ ගැන කිසිම සැකයක් නැහැ. ජනපතිවරයාත්, අගමැතිවරයාත් ඔවුන්ගේ මුළු ශක්තියෙන් සහ හැකියාවෙන් තත්ත්වය සමනය කරන්නට උත්සාහ කළ බව මම දන්නවා. නමුත් මේ අය (විරුද්ධවාදීන්) කොහොම හරි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක ඇත්තටම පුදුම දෙයක්.

එහෙම නෙවේ නම්, කොහොමද අර්ජුන රණතුංග සහ චන්දිම වීරක්කොඩි වගේ අමාත්‍යවරුන් මම හා සමානවම ගොදුරු බවට පත්වුණේ? එකම වුවමනාව තියෙන නිසා තමයි මෙහෙම වැඩ වෙන්නේ. නායකත්වය දෙන්නේ එක පුද්ගලයෙක්. මම ඔවුන්වත්, ඔවුන්ගේ කටයුතුත්, නිසි කාලය පැමිණියහම හෙළි කරනවා.


ප්‍රශ්නය - ඔබ මේ ගැන පක්ෂයේ නායකයා, අගමැති රනිල් වික්‍රමසිංහ එක්ක සාකච්ඡා කර තිබෙනවා ද?
පිළිතුර - ඔව් මම කර තිබෙනවා.මම පක්ෂය වෙනුවෙන් එදා සිටම පෙනී සිටපු, අවුරුදු 24ක් පුරාවට පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු, පක්ෂය වෙනුවෙන් කැපකිරීම් රැසක් කරපු, පුද්ගලයෙක්. ඒ නිසා මට අයිතිය තියෙනවා මේ ගැන කතාකරන්න. මම ඉදිරිපත් කළ පැනය වුණේ, මෙහෙම දේවල් අපිටත් වෙන්න පුළුවන් නම්, මේ වගේ දේවල් කරන්න උත්සාහ කරමින් ඉන්න අනෙක් පුද්ගලයින් ගැන කවර කතාද කියන එක. පක්ෂපාතීත්වය සහ තමන්ට පැවරෙන කාර්යයන් කාර්යක්ෂමව ඉෂ්ට කිරීම අපේ පක්ෂයේ ඉහළින්ම සලකා බැලෙනවා. මේ විකාර වහාම නැවැතිය යුතුව තිබෙන බව කියන්න මට ශක්තිය සහ ධෛර්යය තිබුණා.


ප්‍රශ්නය - 2015 එක්සත් ජාතික පක්ෂ ජනපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයන්ගේ ඔබ කැපී පෙනෙන චරිතයක්.පක්ෂයේ වෙනස්කම් සිදුවෙන කොට ඔබටත් ඉහළ තනතුරක් ලැබීමට නියමිත බවට වාර්තා පළවුණා. ඔබ එය පිළිගන්නවා ද?
පිළිතුර - මම කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන කෙනෙක්.වැට උඩ ඉදගෙන, තනි මතයට වැඩ කරමින්, හැමවෙලාවකම පක්ෂය වැරදිපාරේ ගෙනියන්න උත්සාහ කරන පුද්ගලයන් අපිට හමුවෙනවා. ඔවුන් සමග ගැටුම් ඇතිකරගැනීම නොවෙයි කළ යුත්තේ. ඔවුන්ගේ මෙම සාපරාධී ක්‍රියාවන් වහාම අනාවරණය කළ යුතුව තිබෙනවා. මේක තනි පුද්ගලයකුට සහ ඔහුගේ සහචරයන්ට වුවමනා හැටියට තීරණ ගන්න පුළුවන් තැනක් නෙවෙයි. පක්ෂයේ යහපාලනය පත්වාගැනීම අපට උරුමවෙලා තියෙන වගකීමක්. ඒ වගකීම හරියට ඉෂ්ට කරාවිය, ඒ ශක්තියෙන්ම රටේ කටයුතුත් හරියාකාරව ගෙනයාවිය, කියන යන විශ්වාසයේ අපේ පාක්ෂිකයින් සිටිනවා.


ප්‍රශ්නය - විදෙස් ආයෝජන ගැන කොහොම ද?
පිළිතුර - ආයෝජකයන් අද්දවා ගන්න දේවල් දැන් තියෙනවා. මේක ඇත්තටම තවත් අවධානය යොමුවෙන්න වුවමනා ක්ෂේත්‍රයක්.කවුද අද අපේ රටට එන ආයෝජන කටයුතු මෙහෙයවන්නේ? ඇයි ඒවායින් ප්‍රතිඵල නොලැබෙන්නේ? අපිට පුළුවන්වෙලා තියෙන්නේ බොහොම සුළු දේවල් ටිකක් කරගන්න විතරයි. ඒවා ඇත්තටම පසුගිය රෙජීම සමයේ ලැබුණු දේවල්.


ප්‍රශ්නය - ඔබ දිගටම මුදල් අමාත්‍යවරයාව සිටියානම් රටේ ආර්ථිකයේ දැනෙන වෙනසක් සිදුකරන්නට හැකිව තිබුණු බව ඔබ සිතනවා ද?
පිළිතුර - මගේ අනුප්‍රාප්තිකයා දැන් යමින් යෙදිලා ඉන්නේ ඒ ගමනේ තමයි. අනුගමනය කෙරුණු පියවර ඒ අයුරින්ම අනුගමනය කෙරෙනු ඇතිය කියලා මම හිතනවා.


ප්‍රශ්නය - රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමට, ඉන්ධන මිල පහත හෙළීමට ආදී ලෙස ජනතා ආකර්ෂණය දිනාගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනා නිසා ආර්ථිකයට බලපෑමක් වූවා ද? අඩුපාඩු පියවාගන්න රජයට මුදල් සොයාගන්න සිදුවුණා.
පිළිතුර - ඒ කිසිම දෙයකින් හානියක් වුනේ නැහැ. ඒකේ ගෞරවය යන්න ඕනේ ජනපතිවරයාටයි අගමැතිවරයාටයි.


ප්‍රශ්නය - අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් ආධාර ලබාගැනීම පිළිබදව
පිළිතුර - අපිට අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් එල්ල වුණ පීඩනයට මුහුණදෙන්න සිදුවුණා. මේ රට ගැන අපි නොදන්නවාට වඩා වැඩි යමක් ඔවුන් දන්නා බව මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද වෙන්නේ කියලා අපි දන්නවා. අපි දැනුම්වත් රජයක්. සමහර ගැටලු සම්බන්ධයෙන් අපි දැඩි පිළිවෙතක සිටියා. ඒ නිසාම අපිට ගරුත්වයක් හිමිවුණා. ඇත්තටම බදු පැනවීම් වගේම සහන කප්පාදුවක් සිදුවුණා. මම ඒ ගැන දැඩිව විවේචනය කළ අයෙක්.


ප්‍රශ්නය - වංචාව හා දුූෂණය මර්දනය කරන බවට ඔබ මැතිවරණ සමයේ දුන් පොරොන්දු, පොරොන්දුවලටම සීමා වී තිබෙන බවට ජනතාව අතරින් විවේචන නැගෙනවා. වංචනිකයන් සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කරන බවට පවසා සිටි පුද්ගලයන් අතර ඔබත් පෙරමුණේ සිටියා. දැන් තත්ත්වය කොහොම ද?
පිළිතුර - මම හිතන්නේ ඔය කටයුතු බාරව ඉන්න පුද්ගලයන්ගෙන්ම අහන එකයි සුදුසු. එම කටයුතුවල කිසියම් වේගයක් සහ කාර්යක්ෂමබවක් තිබෙනවා. මට වැඩි දෙයක් කියන්න බැහැ. ඒත් අදාළ පුද්ගලයන්ගෙන් ඒ ගැන අසා දැනගන්න එක වඩා සුදුසුයි.


ප්‍රශ්නය - හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔබට ඥාති සබදතාවක් තිබෙන බව. අදහස් දැක්විය හැකි ද?
පිළිතුර - සම්පූර්ණ විකාරයක්. අවුරුදු ගණනක ඉදන්ම අපේ පවුල් අතර මිත්‍රත්වය පැවතුණා. ඔහුගේ බෑණා සහ මගේ මුත්තණුවන් එකිනෙකාව හොදින් අඳුනනවා. අර්ජුන්ගේ පියා රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔවුන් අගමැති වික්‍රමසිංහගෙත් හොදම මිතුරෝ. මේ නිසා මට හිතාගන්න බැහැ ඇයි මෙහෙම දේවල් කියන්නේ කියලා.

භාණඩාගාර බැදුම්කර ගැටලුවට මුදල් අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධතාවක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම පිටස්තර දෙයක්. අගමැතිවරයා සම්බන්ධයෙන් යම් වැරදි අදහසක් පළවෙන විට එය නිවැරැදි කිරීම මගේ වගකීමක්. මම රාජ් රාජරත්නම් (කොටස් තැරැව්කරු - දැනට ඇමෙරිකාවේ සිරගතව සිටී) සමග සම්බන්ධතා පැවැත්වූ බවට ඔවුන් චෝදනා කළා. ඇත්තටම රාජ් හා සම්බන්ධ වූයේ මහ බැංකුවේ ප්‍රධානියා. ඔහු හොඳ පුද්ගලයෙක්. ඔවුන් වැරැදි පුද්ගලයන්ටයි චෝදනා එල්ල කරන්නේ. ඔබ වංචනිකයන් ඇසුරේ කාලය ගෙවනකම් ඔබට ගැටලුවක් නැහැ. හැබැයි ඔවුන්ට විරුද්ධ වෙනවානම්, ඉබේම ඔබ ඉලක්කයක් බවට පත්වෙනවා.


ප්‍රශ්නය - ආර්ථිකය මත පදනම් වුණු රාජ්‍යතාන්ත්‍රික සබදතා ඔබේ ප්‍රධාන ඉලක්කය බවට පත්වෙලා තිබෙනවා. පැහැදිලි කළ හැකි ද?
පිළිතුර - ඔව්. ඇත්තෙන්ම එය තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒත් අපි මානව හිමිකම් පිළිබද තත්ත්වය නොසලකා හැරලා නැහැ. නොබැදි පිළිවෙතක් අනුගමනය කරන්නත් අපි බැදිලා ඉන්නවා. මානව හිමිකම් ගැටලු මතුවෙලා තියෙන්නේ රටේ තිබුණු යුද්දය නිසා. මගේ පූර්වගාමියා ඇත්තටම විශිෂ්ට මෙහෙයක් සිදුකරලා තියෙනවා. දැන් අපි අනෙක් කරුණු ගැන අවධානය යොමුකළ යුතුයි. අපේ තානාපති කාර්යාල ප්‍රතිසංවිධානය කිරීම, ඒවායේ සේවයට යැවෙන පුද්ගලයන්ගේ තත්ත්වය සහතික කිරීම, ඒවායින් උසස් සේවයක් ලැබෙන පරිදි කටයුතු සකස් කිරීම, ප්‍රධානයි. අප අපගේ අපනයනයන් වැඩිකළ යුතුව තිබෙනවා. පිටස්තර ලෝකයා සමග ශ්‍රී ලංකාව එක්සත් කළ හැක්කේ විදේශ කටයුතු අමාත්‍යංශයට පමණක් බව ජනපතිවරයාත්, අගමැතිවරයාත් මට පවසා තිබෙනවා.

 



අදහස් (1)

අවුල් තැවුල්

jantha ravi Monday, 05 June 2017 09:37 AM

එයාර් ලංකා වන්දි පොරොන්දු ප්‍රමාණයට වඩා ගෙව්වේ කොහොමද කියන ප්‍රශ්නය මුල්වුණා. බැඳුම්කරේ තමයි අනික් හෙනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3850 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3725 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11109 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1873 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 626 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 774 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site