(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


කොස්ගම, සාලාවේ අවි ගබඩාව පුපුරා යාමෙන් වසරක් ඉක්ම ගොස් තිබියදී පවා විපතට පත් වූ ව්‍යාපාරික
ප්‍රජාවට අහිමි වූ භාණ්ඩ වෙනුවෙන් ලබාදී ඇත්තේ සියයට හතළිහක වන්දියක් පමණක් බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ හා සාලාව එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති හේමන්ත රුද්‍රිගු මහතා පැවැසීය.

ඉතිරි කොටස ජුනි 5 වැනිදාට පෙර ගෙවා දමන ලෙස මානව හිමිකම් කොමිසම නිකුත් කළ අතුරු වාර්තාවෙන් පවා නිර්දේශ කර තිබියදී එය ගෙවා අවසන් නොකිරීමෙන් දැනට ඉදිකරමින් පවතින ව්‍යාපාරික ස්ථානවල ඉදිකිරීම් අවසන් කර ගැනීමට බාධා පැමිධෑම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාධාරණය ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට පියවර ගන්නා බව ද පැවසීය.

සාලාව අවි ගබඩාව පිපිරීමෙන්, වසරකට පසුව වුව ද එම ප්‍රදේශයේ නොවිසඳුනු ගැටලු කිහිපයක් ඇතැයි කියවෙන කරුණු සම්බන්ධයෙන් විමසා බැලීමට එම ප්‍රදේශයේ අප සිදුකළ සංචාරයක් අතරතුරදී රුද්‍රිගු මහතා එසේ කීය. සාලාව ප්‍රදේශයේ අවි ගබඩාව පුපුරා යන අවස්ථාව වනවිට කුලී පදනම මත ව්‍යාපාර කළ ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන බවට පොරොන්දු වූ කඩ කාමර 35 ඉදිකිරීම් ඉතා මන්දගාමීව සිදුවන බව ද පැවැසේ.

එසේම නිවාස හානි සඳහා ලබාදුන් වන්දි මුදල පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ද කියැවේ. සාලාව අවට හානියට පත් නිවාසවල ඉදිකිරීම් කටයුතු යුද හමුදාව මගින් සිදුකර ඇත. ඇතැම් නිවාසවල අත්තිවාරම් හා බිත්ති පුපුරායාම්, වහලයට සෙවිලි කළ ඇස්බැස්ටස් සීට් ඉරිතලා යාම් හා සිදුරු වී තිබීම් දක්නට ලැබිණි. ඇතැම් නිවාසවල ඉදිකළ වහල ශක්තිමත්භාවය නොතිබීමෙන් අනාරක්‍ෂිත බවක් ද උද්ගතව ඇති බව ජනතාව පවසති.

එසේම හානියට පත් නිවාස බොහොමයක ඉදිකිරීම් අවසන් කර ගැනීමට ලබාදුන් වන්දි මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති අයුරු අප සමග විස්තර කළේය. අත්කම් නිවාස ක්‍රමයේ හානියට පත් සේවා පියසේ වහලයට සෙවිලි කළ සෙවිලි තහඩු කිහිපයක් ශක්තිමත්ව සවි නොකිරීමෙන් ඉකුත්දා
ඇතිවූ සුළඟට ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබිණි. වසරක් ගෙවී ගිය ද තවමත් කූඩාරමක දිවිගෙවනා පවුලක් පිළිබඳව ද වාර්තා විය.

අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් නිවාසලාභීන්ට, මාස 6ක් සඳහා රුපියල් 50,000 බැගින් කුලී දීමනාවක්
ලබාදෙන බවට පොරොන්දු වුව ද එය පොරොන්දු වූ පරිදි ලබා නොදුන් බවත් එය මාස දෙකක් හෝ තුනක් හෝ පහක් හෝ පමණක් ලැබූ අය ද සිටින බවත් පැවැසේ.

මේ පිළිබඳව අදහස් දක්වන වෙළෙඳ සංගමයේ සභාපති හේමන්ත රුද්‍රිගු මහතා මෙසේ ද කියා සිටී. “මේ විපතින් පූර්ණ හානියට පත් නිවාසවලට ලබාදුන් තක්සේරුව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. ව්‍යාපාරිකයන්ගේ විනාශ වුණු භාණ්ඩ සඳහා දැනට වන්දි ලබාදී තියෙන්නේ සියයට හතළිහක් පමණයි.

මේ ඉතිරි වන්දිය ලබාදෙන්නැයි අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් එය සිදුවුණේ නැහැ. ඒ නිසා අපි ඉකුත් දෙසැම්බර් මාසයේ මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් දැම්මා. ඒකේ අතුරු වාර්තාව 2017-03-29 දින එළි දැක්වූවා. එහි නිර්දේශ කර තිබුණේ ගෙවීම් පිළිබඳව ගැටලු ඇති බැවින් ඉතිරි වන්දි මුදල් ජුනි 5 දාට පෙර ගෙවා අවසන් කරන ලෙසයි. නමුත් අද වෙනකම් ඒ මුදල් ගෙවීම් කර නැහැ.

එසේම ව්‍යාපාර අහිමි වූවන්ට රුපියල් 50,000 බැගින් කුලී දීමනාවක් මාස 6ක් සඳහා ගෙවීමට රජය පොරොන්දු වුණා. ඒත් අපිට ලැබුණෙ මාස 3යි. මේ ගැන ආපදා කළමනාකරණ ඇමැතිතුමාට දැනුම් දුන්නා. එතුමා ඉතිරි මුදල ගෙවන්න කැමැතියි. නමුත් නිලධාරීන් ඒක ප්‍රමාද කරනවා.

ඒ නිසා මේ ගැටලුවලට සාධාරණයක් ලබාගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අපි තීරණය කර තිබෙනවා. තව ද අපේ ව්‍යාපාරික ස්ථානවලට ලබා දුන් තක්සේරුව මදි. හේතුව මීට වසරකට පෙර තිබූ මිල ගණන් නොවෙයි අද තියෙන්නේ. භාණ්ඩවල මිල වෙනස්. ඒ නිසා අපේ ඉදිකිරීම් නැවතිලා. සමහරු බැංකු ණය අරගෙන වැඩ කරන්නේ.

එසේම අපේ ව්‍යපාරිකයන් 35 දෙනකු කුලී පදනමින් ව්‍යාපාර කළා. අද වනවිට ඔවුන්ගේ ව්‍යාපාර අරඹන්න තැනක් නැතිව ඔවුන් කුලී වැඩ කරනවා. ඔවුන්ට දෙන්න පොරොන්දු වුණු කඩ කාමරවල ඉදිකිරීම් ඉතා මන්දගාමීවයි සිදුවෙන්නේ.”

අනතුරුට ලක්වූ නම කීමට අකමැති වූ සාලාව ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් අප සමග මෙසේ කීය. “මේ අනතුර වුණේ අපේ වරදින් නොවෙයි බලධාරීන්ගේ නොසැලකිල්ලෙන්. ඒ නිසා මේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය භාණ්ඩ සහන මිලට අපට දෙන්න ඕනෑ.

නමුත් එහෙම කළේ නැහැ. විදුලිය ජලය ලබාදෙන්නත් අපෙන් මුදල් අය කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුන්නේ කූඩාරම් ටික විතරයි. අපිට බෙදන්න එහෙ බඩු ගොඩ ගැහිලා තිබුණා. නමුත් ඒවා හරියට බෙදුනෙ නැහැ.”

නම කීමට අකමැති වූ ප්‍රදේශයේ කාන්තාවක් මෙසේ කීවාය. “ලැබෙන අයට ලැබුණා. දුප්පත් අපට අඩුවෙන් තමයි ලැබුණේ. ඒත් මිනිස්සු මදි කියනවා. අපිටත් මදි තමා. ඒත් ලද දෙයින් සතුටුවෙන්න ඕනෑ. මගේ ගේ හදන්නත් සල්ලි මදි.

ඒ සඳහා මහත්තයගේ අර්ථ සාධකය අරන් ගෙයි ඉතුරු වැඩ ටික කරනවා. අපිට රුපියල් 50,000 ගාණේ මාස 6ක් ගෙවල් කුලී දෙනව කිව්වා. නමුත් ලැබුණේ මාස 5යි. දැන් දැන් සමහරුන්ට වන්දි මදිලු. සිද්ධියෙන් පසුවත් සමහරු තමන්ගේ ගෙවල් තමන්ම කඩාගෙන වන්දි ගන්න ක්‍රියා කළා. ඒ නිසා අපි කියන්නේ මේ ගැන සාධාරණව හිතන්න කියලා.”

අත්කම් නිවාස ප්‍රදේශයේ පදිංචි ලයනල් රූපසිංහ (ත්‍රිරෝද රියැදුරු) මෙසේ කීය. “සිද්ධිය දා මගේ අවුරුද 1 මාස 6 පුතායි අවුරුදු හතක දුවයි මම බිරියයි ගෙදර හිටියේ. සිද්ධියෙන් මගේ නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදුවුණා. නමුත් මට ලැබුණේ අර්ධ හානි නිවසකට ලැබෙන වන්දියක්. එයින් නිවසේ අඩුපාඩු හදා ගත්තා.

ඒත් දැන් අත්තිවාරම පුපුරලා. බිත්ති පුපුරලා. වහලෙ සීට්වල හිල්. සමහර සීට් පුපුරලා. ඒ වගේම අපිට කුලී දීමනාව රුපියල් 50,000 බැගින් මාස 6ක් දෙනව කීවත් ලැබුණේ මාස 2යි. අපිට බෙදන්න ගෙනාපු බඩුත් සමහරු සොරකම් කළා. ඒවාට කතා කරල අදටත් මාත් එක්ක සමහරු කතා කරන්නේ නැහැ.” මෙම සිද්ධියෙන් වසරක් ගත වුව ද අදටත් කූඩාරමක දිවි ගෙවන නන්දා පත්මිණි මව මෙසේ කීවාය.

“මම හරිම අසරණ වෙලා ඉන්නේ ගේ හදාගන්න බැරුව, ලැබුණු වන්දි මුදල මදිව. මගේ සැමියාත් මියගියා ගේ හදන වැඩවලදී කකුලෙ ඇණයක් ඇනිලා. ඒක මට ලොකු දුකක්. එයාගෙ මාස තුනේ දානෙ දෙන්නවත් මට සල්ලි නැහැ.” කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට මෙසේ කීය. “මේ අනතුරින් පසුව තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සිදුවූ අලාභය ගණනය කරලා වන්දි ගෙවීම ආරම්භ කළා.

ඒ අනුව මේ විපතෙදි හානි වූ පවුල් ගණන 2042යි. එයින් 1939 දෙනකුට වන්දි ගෙවා අවසන්. ඒ සඳහා දැනට බිලියන 1183ක් ගෙවා තියෙනවා. තවත් පවුල් 103කට වන්දි ගෙවන්න තියෙනවා.

ඔවුන් මේ වන්දි ලබා නොගන්නේ වන්දිය සුළු මුදලක් නිසා සහ තවත් අයකුට වන්දි මුදල මදියි කියපු නිසා මදි කියපු අය අභියාචනා ඉදිරිපත් කරල තියෙනවා. ඒවා තක්සේරු දෙපාර්තමේන්තුවට යොමු කරල තියෙන්නෙ.

හානියට පත් ස්ථාන සඳහා රුපියල් 50,000 බැගින් අවස්ථා පහකදී මිලියන 62ක් ගෙවා තියෙනවා. ඒවා ගෙවා අවසන්. ඔය කියන සියයට 40 කතාව බොරු. කුලියට වෙළෙඳාම් කළ 35 දෙනාගේ කඩ කාමර දැන් ඉදිවෙමින් යනවා. ඒවා ඉතා නුදුරෙදි ව්‍යාපාරිකයන්ට ලැබේවි.

අනතුර සිදුවූ වෙලාවේ, ගෙවල් යුද හමුදාව විසින් අලුත්වැඩියා කළා. ඒවට වන්දියකුත් දුන්නා. එම වැය වූ මුදල ජනතාවගෙන් අය කළෙත් නෑ. ඒ නිසා දැන් අඩුපාඩු කීම හරිම අසාධාරණයි. මේ විසඳුම් පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් අධිකරණයට ගොස් විසඳුමක් ලබාගන්නා ලෙස එම ජනතාවට දන්වා සිටිනවා. ඒ සඳහා මමත් ඔවුන්ට සුබ පතනවා.”