වෙනිසියුලාවේ සමාජවාදී ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය දැඩි සටනක නිරත වී ඇති බැවින් එරට දේශපාලන අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරී තිබේ. 

දකුණු ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාව වසර කිහිපයක සිට දැඩි ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දී සිටී. එම තත්ත්වය හේතුවෙන් පසුගිය වසර දෙක තුනක කාලයේදී තෙල් සම්පතින් පොහොසත් වෙනිසියුලාව කඩා වැටුණා යැයි සඳහන් කළහොත් එහි වරදක් නැත. රටේ ජනතාව අතර දේශපාලනය සම්බන්ධයෙන් ඇති තෘප්තිය පහළ ගොස් ඇති අතර ඔවුහු දැඩි කලකිරීමට පත්ව සිටිති. රටේ උද්ධමනය දිගින් දිගටම ඉහළ යන අතර විදුලි බලය ඇණ හිටීම, ආහාර සහ ඖෂධ හිඟය නිසා දේශපාලන හා ආර්ථික අර්බුද තව තවත් උග්‍ර වී ඇත.  

එහි ප්‍රතිඵලයක් ලෙස මෑත වසරවලදී මිලියන තුනකට වඩා පිරිසක් වෙනිසියුලාව අත්හැර වෙනත් රටවලට පලාගොස් ඇත. 

දිනෙන් දින උග්‍ර  වන මේ අර්බුදය පිටුපස සිටින්නේ කවුද? 

මෙම නව දේශපාලන අර්බුදය ආරම්භ වන්නේ ජනවාරි 23 වැනිදාය.  ජනවාරි 23 වැනිදා වෙනිසියුලාවේ විපක්ෂ නායක සහ ජාතික මන්ත්‍රණ සභාව හෙවත් එරට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන යුවාන් ගුවයිඩෝ තමන් රටේ වැඩබලන ජනාධිපතිවරයා බවත් රටේ විධායකයේ බලය සියතට ගන්නා බවත් නිවේදනය කළේය. එය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ බලය සෘජුවම අභියෝග කරන්නක් විය. ජනාධිපති මදුරෝ ඊට සති දෙකකට පෙර දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දී තිබිණි. 

තම ප්‍රතිවාදියාගේ ප්‍රකාශයට මදුරෝ ප්‍රතිචාර දැක්වීය. ඔහු සුපුරුදු පරිදි ඇමෙරිකාවට චෝදනා කළ අතර මෙය තමන් බලයෙන් පහ කිරීමට ඇමෙරිකාව දියත් කරන කුමන්ත්රවණයක් යැයි ද කීවේය. ආණ්ඩුක්රටම ව්ය්වස්ථාවට අනුව රටේ ජනාධිපතිවරයා තමන් බවත් එය ඉදිරියටත් එසේම බවත් හෙතෙම කීවේය.

ජනාධිපති ආරවුලක් ඇයි? 

නිකොලස් මදුරෝ ප්‍රථම වරට ජනාධිපති ධුරයට පත්වූයේ 2013 වසරේ අප්‍රේල් මාසයේදීය. ඒ එරට හිටපු නායක හියුගෝ චාවේස්ගේ මරණයත් සමඟය. චාවේස් මදුරෝගේ දේශපාලන ගුරුවරයාද විය. එම අවස්ථාවේදී මදුරෝ ජයගත්තේ 1.6 %ක සීමිත ප්‍රතිශතයකිනි. 

මදුරෝගේ පළමු ධුර කාලයේදී ආර්ථිකය කඩා වැටුණි. රටේ කඩා වැටීමට වගකිව යුත්තේ ජනාධිපති මදුරෝ සහ ඔහුගේ සමාජවාදී ආණ්ඩුව යැයි එරට බොහෝ පිරිස් චෝදනා කළහ. 

මදුරෝ දෙවැනි ධුර කාලය සඳහා තේරී පත්වූයේ පසුගිය වසරේ මැයි මාසයේ පැවැති දැඩි මතභේදාත්මක මැතිවරණයකින් පසුවය. විපක්ෂයේ බොහෝ පක්ෂ එම මැතිවරණය වර්ජනය කළහ. 

විපක්ෂයේ බොහෝ අපේක්ෂකයන්ට මැතිවරණයට ඉදිරිපත් වීම වළකන ලද අතර ඇතැම් පිරිස් සිරගත වී සිටියහ. තවත් පිරිසක් රටින් පලාගොස් සිටියහ. සිරගත වීමේ බිය නිසා ඇතැම් විපක්ෂ අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් නොවූහ. එම නිසා මැතිවරණය නිදහස් හෝ සාධාරණ හෝ නොවන බව විපක්ෂයේ නායකයෝ තර්ක කළහ. 

වෙනිසියුලාවේ ව්‍යවස්ථාදායකය වන ජාතික මන්ත්‍රණ සභාවේ පාලනය තිබෙන්නේ විපක්ෂය සතුවය. ජනාධිපති මදුරෝගේ නැවත පත්වීම පිළිනොගන්නා බව විපක්ෂය ප්‍රකාශ කළේය.  

නිකොලස් මදුරෝ දෙවැනි ධුර කාලයක් සඳහා තේරී පත්වූයේ පසුගිය වසරේ මැයි මස මුල පැවැති ඡන්ද විමසීමෙනි. තමන් පළමු ධුර කාලය අවසන් කර දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන්නේ ජනවාරි 10 වැනිදා යැයි මදුරෝ නිවේදනය කළේය. 

තම ආණ්ඩුවට විරුද්ධ වීම නව ජීවයක් ලැබුණු බව දිවුරුම් දීමෙන් අනතුරුව මදුරෝ කීවේය. මැතිවරණ නිදහස් හා සාධාරණ නොවූ බැවින් මදුරෝ බලෙන් ජනාධිපති ධුරය ලබාගෙන ඇති බවට තර්ක කළ විපක්ෂය රටේ ජනාධිපතිවරයෙකු නැති බව ද කීය. 

රටට නව ජනාධිපතිවරයකු අවශ්‍ය බවට තර්කයක් ඒ අනුව ගොඩනැගුණු අතර ජාතික මන්ත්‍රණ සභාවෙන් ජනාධිපතිවරයකු තෝරා ගත යුතු බවට ද අදහසක් නිර්මාණය විය. ඒ අනුව 35 හැවිරිදි යුවාන් ගුවයිඩෝ තමන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි නිවේදනය කළේය. වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 233 සහ 333 වගන්තිවලට අනුව ජාතික මන්ත්‍රණ සභාවේ ප්‍රධානියාට ජනාධිපති ධුරයේ වැඩ බැලිය හැකි බව එම සභාව සඳහන් කළේය. යුවාන් ගුවයිඩෝ ජනවාරි 23 වැනිදා තමන් වැඩ බලන එසේත් නැතිනම් අන්තර්වාර ජනාධිපතිවරයා යැයි නිවේදනය කරන්නේ ඒ අනුවය. 

ජාත්‍යන්තරය මොකද කියන්නේ?

යුවාන් ගුවයිඩෝ තමන් විධායක බලතල සියතට ගන්නා බව ප්රධකාශ කර මිනිත්තු කිහිපයක් ගත වූ විගස වෙනිසියුලාවේ නීත්‍යනුකූල ජනාධිපතිවරයා ලෙස තමන් යුවාන් ගුවයිඩෝ පිළිගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රරම්ප් නිල වශයෙන් නිවේදනය කළේය. 

ඊට ප්‍රතිචාර දැක්වූ නිකොලස් මදුරෝ ඇමෙරිකා එක්සත් ජනපදය තමන් බලයෙන් පහ කිරීමට කාලයක සිට උත්සාහ කරන බව කීවේය. ට්‍රම්ප්ගේ නිවේදනයට ප්‍රතිචාර ලෙස වෙනිසියුලාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට එරටින් පිටවීමට පැය 72ක කාලයක් දුන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ද හෙතෙම තීරණය කළේය. ගුවයිඩෝගේ නිවේදනය නොපිළිගත් රාජ්‍ය නිලධාරීන් රැසක් ‘අධිරාජ්‍යවාදී තර්ජනවලින්’ ජනාධිපති මදුරෝ ආරක්ෂා කරගන්නා බව ද කීහ. 

ඊළඟට මොකද වෙන්නේ?

“වෙනිසියුලාව නිදහස් වන තුරු” විරෝධතාවල නියැලෙන්නැයි ජනාධිපති මදුරෝට සහ ඔහුගේ ආණ්ඩුවට විරුද්ධ සියලු පාර්ශවවලින් යුවාන් ගුවයිඩෝ ඉල්ලා සිටියේය. 

ගුවයිඩෝට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය හිමි ව තිබේ. බටහිර රටවල් රැසක් ද ඔහුට සහාය පළ කර තිබුණත් ප්‍රායෝගිකව බලන විට ගුවයිඩෝට වෙනිසියුලාව තුළ සැලකිය යුතු බලයක් නොමැත. ලතින් ඇමෙරිකානු රටවල් රැසක සහ ජාත්‍යන්තර නායකයන්ගේ සහාය තමන්ට හිමිවනු ඇතැයි ගුවයිඩෝ විශ්වාසය තබා ඇත.

ගුවයිඩෝ වෙනිසියුලාවේ ජාතික මන්ත්ර්ණ සභාවේ ප්‍රධානියා වුවත් 2017 වසරේදී නිර්මාණය කරන ලද ජාතික ව්‍යවස්ථාදායක සභාව හේතුවෙන් ජාතික මන්ත්‍රණ සභාව බලය නොමැති ව්‍යවස්ථාදායක ආයතනයක් බවට පත්ව තිබේ. ජාතික ව්‍යවස්ථාදායක සභාව ආණ්ඩු හිතවාදීන්ගෙන් සමන්විතය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති මදුරෝ ව්‍ය්ව‍ස්ථාදායක සභාව නිර්මාණය කරන ලදි.

විපක්ෂයට බලය හිමි ජාතික මන්ත්‍රණ සභාව දිගින් දිගටම රැස් වුවත් මදුරෝ එහි තීරණ නොසලකා හැරි අතර තමන්ට හිතවත් ජාතික ව්‍යවස්ථාදායක සභාව ගන්නා තීරණ ක්‍රියාත්මක කළේය. 

මේ අවුල විසඳිය හැක්කේ කාට ද?

වෙනිසියුලාවේ ආරක්ෂක අංශ මේ අර්බුදයේ ප්‍රධාන පාර්ශවකරුවකු බවට පත්ව ඇත. මේ දක්වා ගත වූ කාලයේදී ආරක්ෂක අංශ මදුරෝට පක්ෂපාතීව කටයුතු කර තිබෙන අතර මදුරෝ අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ වැටුප් වැඩි කර තිබේ. ඊට අමතරව ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් රටේ ප්‍රධාන තනතුරුවලට සහ ප්‍රධාන ආයතනවල මුල් පුටුවලටද පත් කර ඇත. 


ජනාවරි 23 වැනිදා සිදුවීමෙන් පසුව ආරක්ෂක අංශවල ඉහළ පෙළේ අණදෙන නිලධාරීහු රැසක් මදුරෝට සහාය පළ කළහ. එහෙත් එක් අවස්ථාවකදී වෙනිසියුලාවේ ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයන් පිරිසක් විපක්ෂයේ විරෝධතාකරුවන්ට ඉදිරියට යෑමට ඉඩ ලබාදෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රසිද්ධියට පත්විය. මදුරෝගෙන් ඉවත් වුවහොත් ආරක්ෂක අංශවල සියලු දෙනාට සමාව ලබාදෙන බව ගුවයිඩෝ පොරොන්දු දී ඇත. 

 

055

(බී.බී.සී ඇසුරිනි)