(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)


කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර 2010 වසරේ මීතොටමුල්ලේ ඉදිකළ කාබනික පොහොර කම්හලේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන අතර ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කලක සිට දිරාපත් වෙමින් තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා එම ගොඩනැගිලිවල සවිකර තිබූ යන්ත්‍ර කොටසක් ගලවා ඉවත්කරගෙන ගොස් තිබෙන අතර කොටසක් කුණු කන්දට යටවී ගොස් ඇතැයි කියති. මීතොටමුල්ලේ අක්කර දෙකක පමණ භූමියක ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වසර දෙකක පමණ කාලයක් සාර්ථකව පවත්වාගෙන ගොස් පොහොර නිපදවීමක් කර පසුව අත්හැර දමා ඇත.

කොලොන්නාව නගර සභාවේ පාලනය යටතේ තිබූ මෙම කාබනික පොහොර කම්හල වසා දැමීමට සිදුවූ හේතු සම්බන්ධයෙන් විමසූ විට කොලොන්නාව නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ගුත්තිල සිල්වා මහතා
මෙසේ පැවසීය. කොලොන්නාව නගර සභාව කළ ඉල්ලීමකට අනුව 2010 වසරේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ මේ ගොඩනැගිලි ඉදිකළේ කසළවලින් පොහොර නිපදවීමේ අරමුණින් බව කියන්න ඕනෑ.

වසර දෙකක පමණ කාලයක් පොහොර නිපදවා නගර සභාව ආදායමක් ලබාගත්තා. එවකට සිටි පරිසර ඇමැති පාඨලී චම්පික ඇමැතිතුමා මේ සඳහා අවශ්‍ය මුදල් ලබාදුන් බවත් කියන්න ඕනෑ. පසුව මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන යන්න ඉඩ ලැබුණේ නෑ. වෙනත් යෝජනා ඇවිත් කඩාකප්පල් වුණා. කොළඹ නගර සභාව යටතට කසළ අංගණය ගත්තට පස්සේ පොහොර කම්හල වැහිල ගියා. විශාල වියදමක් දරලා ඉදිකළ ගොඩනැගිලි හතර දිරාපත් වෙමින් තිබෙනවා. මේ ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන ගියේ නම් කුණු ප්‍රශ්නය දිග්ගැසෙන්නේ නෑ.

මේ වනවිට කොලොන්නාව නගර සභාවට කසළ දාන්න ප්‍රදේශයේ තැනක් නෑ. මීතොටමුල්ලට නැවත කුණු දාන්නත් බෑ. නමුත් මේ ගොඩනැගිලිවලින් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ.

හිටපු නාගරික මන්ත්‍රී සාලිය වික්‍රමසිංහ මහතා:
පිළිසරු ව්‍යාපෘතියට නිසි සහයක් ඉහළ තැන්වලින් නොලැබුණු නිසා එය නතර කරන්න සිදුවුණා. ගොඩනැගිලි හා යන්ත්‍ර විනාශ වුණා. කොලොන්නාව නගර සභාව එයට වන්දියක් ඉල්ලුවා. කොළඹ නගර සභාවට අපේ විරෝධය පළකළා. පසුව තවත් ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නා.

කොම්බිටෙක් කියන ජර්මන් තාක්ෂණයට අනුව කසළවලින් ගෑස්, විදුලිය, පොහොර හා අයිස් හදන්න සැලසුම් කරලා තිබුණා. භූගත ක්‍රියාවලියක් මගින් කර්මාන්තය කරන බව ඒ ගැන දැනුම තිබූ අය කිව්වා. මේ වැඩපිළිවෙළට ඒකමතිකව සියලු මන්ත්‍රීවරු කැමැත්ත දුන්නා. ජර්මනිය සියයට 75ක අරමුදල් දෙනවා කිව්වා.

මේ කර්මාන්තය සඳහා අක්කර 3ක ඉඩමක් ඕනෑ වුණා. අපිට ඉඩමයි කසළයි දෙකම තිබුණා. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම නොදී සිටියා. ගොවිජන සේවා අධිකාරිය සහාය දුන්නේ නෑ. ඒ නිසා ඒ ව්‍යාපෘතියත් කෙරුණේ නෑ. සමහරු කිව්වා පාරිසරික ප්‍රශ්න එනවා කියලා. සෞඛ්‍යයට තර්ජනයක් කිව්වා.

කසළ කළමනාකරණය සඳහා ගෙනා හොඳ යෝජනා සියල්ල කඹ ඇදීම් නිසා කෙරුණේ නෑ. කසළ ගොඩගහලා තියලා වැඩක් නෑ. කොලොන්නාවේ කර්මාන්ත කලාපයක් කරන්න තිබූ තැන මේ වනවිට අවදානම් කලාපයක් වෙලා. එය කනගාටුවට කරුණක්.

පිළිසරු ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ගොඩනැගිල්ලට සිදුවූ හානිය ගැන පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා. කොළඹ නගර සභාවටත් මේ ගැන දන්වලා තිබෙනවා. ඒ අතර පරිසර අධිකාරියටත් දන්වලා තිබෙනවා. ඔවුන් මෙහි තක්සේරු වටිනාකම ලබාදෙනවා කියලා අපිට කිව්වා. එය තවමත් ලැබුණේ නෑ.

එය ලැබුණ පසු වන්දියක් ඉල්ලන්න කටයුතු කරනවා යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොලොන්නාව නගර සභාවේ ප්‍රධානියෙක් පැවසීය.