සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි
පරිවර්තනය කෝවිද ගුණසේකර

සතිපතා කැබිනට් මණ්ඩල රැස්වීමක දී හෝ කැබිනට් මණ්ඩල හමුවක දී හෝ පිළිපැදෙන සාම්ප්‍රදායක පිළිවෙත් ගැන බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.

එවන් රැස්වීමක ආරම්භය සනිටුහන් කෙරෙනුයේ ආගම සිහිකිරීමෙනි. අනතුරුව පැමිණ නොමැති සාමාජිකයන් ඒ සදහා ඉදිරිපත් කර ඇති හේතු සැලකිල්ලට ගැනෙන අතර, එයින් පසු පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම් වාර්තාව සම්මත කරගැනීම සිදුවේ. අවසන ජනපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩල සාමාජිකයන් සතියේ සාකච්ඡාව සඳහා වාඩිවනුයේ එළැඹෙන සතියේ කැබිනට් රැස්වීම පැවැත්වීම සදහා දිනය හා වේලාව වෙන්කර ගැනීමෙන් ද පසුවය.

වත්මන් සභාග රජයේ මෙම දිනය හා වේලාව තීරණය කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේනය. එය බොහෝ විට අඟහරුවාදා දිනයක පෙරවරු 9.30 ටය. ජාතික නිවාඩු දිනයක් යෙදෙන දිනයක් වේ නම් පමණක් එහි වෙනසක් සිදුවේ.

සභාග රජයේ ප්‍රධාන පාර්ශව දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක පසුගිය 9 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ජනපති සිරිසේන වුවමනාවෙන්ම ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලය පැවැත්වීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කිරීමෙන් වැළකී සිටියේය. එයට හේතු ලෙස ඔහු ඉදිරිපත් කළේ අප්‍රේල් 20 වැනිදා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගීත්වයෙන් යුතු වූ මාධ්‍ය සාකච්ඡාවක දී වෙසක් පොහොය දිනයට පෙර කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකරන බවට දුන් පොරොන්දුව ඉටුකිරීමට නොහැකි වීමය.

පසුගිය සඳුදා රැයේ ජනපති සිරිසේන ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායමේ හමුවක් පැවැත්විණි. අතිශයින් නොසන්සුන්කාරී වාතාවරණයක පැවැති එම රැස්වීමේ දී නොයෙක් අදහස් හුවමාරු විය.

එවන් වාතාවරණයක් ඇති වීමේ ප්‍රධාන හේතුව ඒකාබද්ධ විපක්ෂයේ ගාලු මුවදොර පැවැති මැයි රැලියට අනපේක්ෂිත ලෙස විශාල ජනකායක් සහභාගී වීමය. පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කළ මැයි රැලිවල ජන සහභාගීත්වය පිළිබද අසතුටින් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වැඩිම ජනතාවක් සහභාගී වූයේ නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට බව කියා සිටියේ ය. ඔහු හා එකඟ වෙමින් අදහස් දැක්වූ ජනපති සිරිසේන පොළොන්නරුවෙන් 7000ක ජන ප්‍රමාණයක් පක්ෂයේ මැයි රැලියට සහභාගී වන බව තමා පෞද්ගලිකවම සහතික කළ බවද, තවත් අමාත්‍යවරු ඔවුනොවුන්ගේ බල ප්‍රදේශවලින් ජනතාව රැලියට සහභාගී කළ බවද පැවසූහ. යථාර්ථය මෙම ප්‍රකාශවලට වඩා අතිශයින් වෙනස් වාතාවරණයක, ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් මෙසේ අදහස් දක්වමින් සිටින්නේ එයින් යම් ගැම්මක් ලබාගැනීමේ අදහසින් බව පැහැදිලිය. හමුවේ දී අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතිය හා සාමය පවත්වාගැනීමේ වගකීම සරත් ෆොන්සේකා මහතාට පවරන බවට කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක දී කර තිබූ ප්‍රකාශය ය.

කැබිනට් ප්‍රකාශක තනතුරින් සේනාරත්න ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය පිරිසට වුවමනා විය. එහෙත් ජනපති සිරිසේන අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කෙරෙන පරිදි අනුර ප්‍රියදර්ශන යාපා මහතා අතිරේක කැබිනට් ප්‍රකාශකයකු ලෙස පත්කිරීමට යෝජනා කළේය. එම යෝජනාව ප්‍රතික්ෂේප කළ යාපා, තමන්ට එවැනි වගකීමක් දැරීමට කැමැත්තක් නොමැති බව පැවසුවේ ය. දැන් එම තනතුරු ක්‍රීඩා අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයකු මෙන්ම තවමත් එම පක්ෂයේ සාමාජිකයන් අතර ජනප්‍රිය දයාසිරි ජයසේකර මහතා වෙත ලබාදීමට නියමිතය.

පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් අනාවරණය කෙරුණු, ජනපති සිරිසේන හමුවීමට පවා අවස්ථාවක් නොමැති බවට කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු කිහිපදෙනා මෙම හමුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළෝ ය. අගෝස්තු මාසයෙන් පසු තවදුරටත් රජයේ අමාත්‍යවරුන් ලෙස කටයුතු නොකරන බව කියා සිටි ඔවුහු, එයින් අදහස් වන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට එක්වන බව නොවේ යැයි අවධාරණය කළහ. අමාත්‍ය ධූරයන්ගෙන් ඉවත්වීමෙන් පසු තමන් ස්වාධීන සාමාජිකයන් ලෙස පෙනී සිටින බව ඔවුහු කීහ. සභාග රජයක් ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇතිකර ගැනුණු ගිවිසුම එළැඹෙන අගෝස්තු මාසයෙන් අවසන් වන අතර, එසේ වුවත් දෙපාර්ශවයේම නායකයන් පසුගිය කාලය මුළුල්ලේම නැවත නැවතත් කියා සිටියේ ගිවිසුම අවසන් වුව ද 2020 වසර දක්වාම මෙම සබඳතාව එළෙසම පවතින බවය. අමාත්‍ය පිරිස දැක්වූ අදහස් තරයේම බැහැර කළ ජනපති සිරිසේන අපි මේක දිගටම අරගෙන යන්න ඕනේ යැයි පැවසුවේ ය. කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකිරීම සම්බන්ධව තමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා කළ බවද, වෙසක් පොහොයට පෙර එම වෙනස සිදුකරන බවට පොරොන්දු වූයේ එම නිසා බවද ජනපතිවරයා පැවසුවේ ය. එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වීම නිසා කලකිරීමට පත්ව සිටින බව ඔහු නොසැඟවී ය. ජනපතිවරයා හා අගමැතිවරයා කැබිනට් මණ්ඩල වෙනසක් සිදුකිරීමට එකඟ වූ බව පසුගිය මාර්තු 26 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් ද අනාවරණය කැරිණි.

එයින් පසුව සාකච්ඡාව යොමු වූයේ කඩිනමින් සිදුකළ යුතුව තිබෙන වෙනස්කම් සම්බන්ධයෙන්ය. ජනතාවට දී තිබෙන පොරොන්දු අමතක කර දමා ඒවා ඉටු නොකර සිටීමේ කිසිදු වුවමනාවක් තමාට නොමැති බව ජනපතිවරයා අවධාරණය කළේය. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය පිරිස අතිශයින් විවේචනාත්මකව කරුණු දැක්වූයේ ඉන් අනතුරුවය.  එයින් එක් අමාත්‍යවරයකු වර්තමානයේ රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට වගකිවයුතුව තිබෙන බවද, අනෙක් තැනැත්තා විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ කටයුතුවල නියැළෙමින් හිතුමතයට තීන්දු තීරණ ගනිමින් සිටින බවද ඔවුහු කීවෝය. මෙම තැනැත්තා ඇතැම් තීරණ ගෙන ඇත්තේ ජනපතිවරයාට පවා නොදන්වාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය පිරිස මෙම දෙදෙන කළ කී දැෑ එකින් එක ගෙනහැර දැක්වූ අතර ජනපති සිරිසේන ඒ සියල්ල සම්බන්ධව දැඩිව අවධානය යොමු කළේය. අවසානයේ තමා මේ සම්බන්ධයෙන් විමසන බව පවසා සිටි ජනපතිවරයා, කැබිනට් තනතුරු වෙනස සිදුකෙරෙන තෙක් නැවත කැබිනට් මණ්ඩල හමුවක් නොපැවැත්වෙනු ඇති බවට ඉඟියක් ද කළේය. එයින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමග පැවැති හමුව නිමාව දැක්කේ ය.

දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක, චන්දිම වීරක්කොඩි, සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු මෙම හමුවට සහභාගීව සිටියහ.

ජනපති සිරිසේන හමුවීම සදහා අගහරුවාදා උදැෑසනම පැජට් පාරේ පිහිටි ඔහුගේ නිල නිවෙසට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු දෙදෙනෙක් පැමිණියහ. ජනපතිවරයාට දීමට ඔවුන් අත පණිවිඩයක් තිබිණි. සිකුරාදා රැයේ චීනය බලා පිටත්වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණෙන තෙක් කැබිනට් මණ්ඩල තනතුරු වෙනස සිදුකිරීම කල්දමන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ගෙවුණු දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය පිරිස, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාවලින් හිස පිරී තිබුණු නිසාදෝ, මෙම දෙදෙනගේ ඉල්ලීම ඇසූ ජනපතිවරයා අතිශයින් කෝපයට පත්විය. දිගින් දිගටම තනතුරු වෙනස කල්දැමිීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහු දැඩි වචනවලින් තම කලකිරීම ප්‍රකාශ කළ බව එදින් සිදුවීම් පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

එයින් පැය කිහිපයකට පසු සතිපතා කැබිනට් මණ්ඩල හමුව පැවැත්වුණේ අතිශයින් උද්වේගකර වාතාවරණයකය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට චෝදනා කළේය. මැතිවරණයෙන් පසු රජය හා එක්ව සිටින ඇතැම් අය කැබිනට් තනතුරු වෙනසක් සිදුකිරීමට එකග නොමැති බව ඔහු කීවේය. මැතිවරණය පැවැති සමයේ පෙනෙන්නටවත් නොසිටි ඇතැමුන් දැන් විවේචන ඉදිරිපත් කරන බව ඔහු පැවසුවේ ය. ඉදිරි ජනපතිවරණ ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා කීවේය.

ඔබට පැහැදිලි බහුතරයක් හිමිවුණේ නැහැ. ඒ නිසයි ඔබට වුවමනා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතුවෙලා රජයක් හදන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට බනින්න එපා. ඒ අය කියනවා අපි රජයෙන් ඉවත්විය යුතුයි කියලා. මම බොහොම අමාරුවෙන් මේ ගමන ගෙනියන්නේ. ජනපති සිරිසේන ඔහුට පිළිතුරු දුන්නේය. අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා අදහස් දක්වමින් සැප්තැම්බර් මාසයට පසු පැවැත්වෙන පළාත් සභා මැතිවරණවලින් ජනතාව රජය ගැන සිතන්නේ කුමක්ද යන්න මනාව පැහැදිලි වනු ඇති බව කීවේ ය. රජය කෙරේ ඇති විශ්වාසය පාක්ෂිකයන්ගෙන් පමණක් නොව සාමාන්‍ය ජනතාවගෙන් පවා ගිලිහී යමින් තිබෙන බව ඔහු පැවසුවේ ය.

දේශපාලන කරුණුවලට අමතරව තවත් වැදගත් ලියවිල්ලක් කැබිනට් මණ්ඩලයේ අවධානය ලක්විය. එය නම් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අරබයා චීනය සමග ඇතිකරගැනීමට නියමිත සහන ගිවිසුමයි. මැයි මස 3 වැනිදා වරාය අධිකාරියේ අදහස් විමසීම සදහා එම අධිකාරිය වෙත යැවුණු ගිවිසුම් ලියවිල්ලට ප්‍රතිචාර ලෙස, වරාය අධිකාරිය සකස් කර තිබූ පිටු 42කින් යුත් වාර්තාව ද අමාත්‍ය සරත් අමුණුගම මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. සහන ගිවිසුමට ඇතුළත් කර තිබෙන ඇතැම් කරුණු, කාරණා, පදනම් සහගත නොවන බවත්, එම කරුණු කාරණා සමග එකගතා ඇතිකරගත නොහැකි බවත් වරාය අධිකාරිය ඉදිරිපත් කර තිබූ වාර්තාවේ සදහන් විය. අගමැති වික්‍රමසිංහ සිකුරාදා චීනය බලා යෑමට නියමිතව තිබූ හෙයින් මෙම ගිවිසුම පිළිබද අවසන් තීරණයක් ගැනීම අත්‍යාවශ්‍යම විය.

අවසානයේ වරාය අධිකාරිය ඉදිරිපත් කර තිබූ විරෝධතා නොසළකා හැර පාර්ශවීය ලෙස සහන ගිවිසුම් කෙටුම්පතට අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. තමා චීනය හා අත්සන් තැබීමට බලාපොරාත්තු වන්නේ මෙම සහන ගිවිසුම සම්බන්ධයෙන්ද සදහනක් ඇතුළත් අවබෝධතා ගිවිසුමක් මිස, මෙම සහන ගිවිසුම නොවන බව අගමැති වික්‍රමසිංහ අවධාරණය කළේය.

දැනට අනාවරණය වී ඇති ආකාරයට විශේෂ ඇගයීම් අමාත්‍ය සහ සම්බන්තොට වරාය ව්‍යාපෘතිය පිළිබද කැබිනට් උප කමිටුවේ සභාපති සරත් අමුණුගම, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිකරගැනීමට යන සහන ගිවිසුමේ පිටපතක් කල්තියාම ජනපතිවරයා අතට ලබාදීමට අපොහොසත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සිකුරාදා රැයේ අගමැති වික්‍රමසිංහ ඇමතූ ජනපතිවරයා (අගමැතිවරයා චීනය බලා පිටත්වීමට පෙර) වරාය ව්‍යාපෘතිය පිළිබදව තමා හා තවත් රජයේ පාර්ශවයන් ඉස්මතු කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම සැලකිල්ලට ගැනීමෙන් තොරව ගිවිසුම අත්සන් තැබීමේ කටයුතු ඉදිරියට ගෙන යෑමෙන් වැළකිය යුතුව තිබෙන බවට අවධාරණය කළේය.

එනම්, චීනය හා අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුමට, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය - සහන ගිවිසුම පිළිබද කිසිදු නිල මට්ටමේ සදහනක් එක් නොකිරීමට ඔහුට අවැසි විය.

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් ජනපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණ. අගමැති වික්‍රමසිංහ කොළඹ සිට චීනයේ බීජං බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන්යානයට තවත් පැවතියේ ද පැය කිහිපයකි. දෙදෙන අතර පැවැති සාකච්ඡාවේ දී හම්බන්තොට වරාය සහන ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොදක්වන ලෙසත්. ඒ පිළිබදව කිසිදු සදහනක් චීනය හා ඇතිකරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමට ඇතුළත් නොකරන ලෙසත් ජනපතිවරයා, අගමැතිවරයාට උපදෙස් දුන්නේ ය. නිල ආරංචි මාර්ගයක් සන්ඬේ ටයිම්ස් හා දැක්වූ අදහස්වලට අනුව අගමැතිවරයා එම උපදෙස් වලට එකගත්වය පළකර ඇත. කැබිනට් තනතුරු වෙනස පිළිබදව ද දෙදෙන සාකච්ඡා කළ අතර එකග වූ පරිදි එම කටයුතුවල යෙදීමට ද අගමැතිවරයා කැමැත්ත දක්වා තිබේ. ඒ අනුව එම කටයුතු ඔහු දිවයිනට පැමිණෙන මැයි 19 වැනිදාට පසු සිදුකැරෙනු ඇත.

ජනපති සිරිසේන, අගමැති වික්‍රමසිංහට ලබාදුන් උපදෙස් ප්‍රකාරව, හම්බන්තොට වරාය ගිවිසුම තවත් කල්යනු ඇත.

සහන ගිවිසුම සකස් කිරීමේ දී නීතිපතිවරයා දැක්වූ අදහස් හා පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැතැයි ගිවිසුම පිළිබදව වාර්තාව සමග සරත් අමුණුගම වෙත ලිපියක් යොමුකර ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති අයිතිය, කාලසීමාව, කොටස් අයිතිය, ලාභාංශ බෙදාගැනීම, වැඩිදුර සංවර්ධනය, බදුදීම්, වරාය සේවා, තීරු බදු, සේවකයන්, ගිවිසුම අත්හිටුවීම සහ වරාය සම්පත් පවරාගැනීම පිළිබද කරුණු එම ලිපියෙන් ඉස්මතු කර තිබේ.

වරාය අධිකාරිය විශේෂයෙන්ම පෙන්වා බරපතළ මට්ටමේ කාරණයක් වන්නේ ව්‍යාපෘතිය භාර චීන සමාගම හා සාකච්ඡා කර වසර 99ක කාලයකට බදු දෙන බවට මුල් අවස්ථාවේ දී ඇතිකරගෙන තිබෙන එකගතාව, එයට වඩා අඩු කාලයක් දක්වා පහත දමා ගැනීමට, එම සාකච්ඡා පවත්වන පාර්ශවලට ඇති නොහැකියාවය. බද්දට දෙන කාලය වසර 50 - 70 අතර සීමාවක පවත්වා ගන්නා ලෙස ජනපති සිරිසේන ද නිර්දේශ කර ඇත. වරායේ කොටස් හිමිකාරීත්වය චීන සමාගමට සියයට 60ක් ද, රජයට කොටස් 40ක් ද ලෙස බෙදී යන පරිදි ගිවිසුම සකස්වීම ද ඔහුගේ අවශ්‍යතාවකි. චීන සමාගමට හිමිවන කොටස් වලින් සියයට 20ක් දේශීය වෙළදපොළේ විකිණීමට අවකාශ සැලසෙන බවට සදහනක් ද සහන ගිවිසුමට ඇතුළත් වීමට නියමිතව තිබිණ. එහෙත් සංවර්ධන ක්‍රමෝපාය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ සහය ඇතිව විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම සකස් කර තිබෙන සහන ගිවිසුමේ අවසන් කෙටුම්පතෙහි ජනපති සිරිසේන ඉදිරිපත් කළ නිර්දේශයන් කිසිවක් ඇතුළත්ව නොමැත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හම්බන්තොට වරාය - සහන ගිවිසුම - අවසන් කෙටුම්පත, අරබයා සකස් කළ වාර්තාවේ වැදගත් කරුණුවල සංක්ෂිප්තයක් පහත දැක්වේ.

ගිවිසුම් කෙටුම්පතෙන් වරාය සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සදහා ඉතාම පුළුල් අවසරයක් රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාවය පවත්වාගන්නා අතරමැදියාට බලාදීමට අවශ්‍ය අවකාශය සළසා දී ඇත. එනම් වරායක සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි බලය හා සමාන බලයක් මෙම රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව පවත්වාගන්නාට හිමිය. වරාය අධිකාරී පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කෙරෙන මෙවන් අවසරයක් වෙනකෙක් වෙත ලබාදීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැඩිව විරුද්ධය. දැනට පවත්නා ආකාරයෙන්ම ගිවිසුම බලාත්මක කෙරුණහොත්, හම්බන්තොට වරාය අරබයා කිසිදු කටයුත්තක යෙදීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට නොහැකි වනු ඇති වනවා පමණක් නොව කිසිදු ව්‍යවස්ථාපිත පාලනයක් නොමැති වෙනම, ස්වාධීන වරාය සමාගමක් ඇතිවීම ද නොවැළැක්විය හැකිවනු ඇත.

සම්පූර්ණ කාලසීමාව පුරා සියලු වරාය සේවා ලබාදීමේ අයිතිය, සම්පූර්ණ කාලසීමාව පුරා බද්දට ගත් භූමියේ සියලුම සංවර්ධන කටයුතුවල අයිතිය, හෙක්ටයාර 780 බිම් කොටසක පිහිටි වරාය සම්පත් වල බදු අයිතිය, හෙක්ටයාර 1235 ක බිම් කොටසක විහිදෙන මෙහෙයුම් කලාපයේ බදු අයිතිය, චංචල දේපළ පැවරීමේ අයිතිය, ආදිය මෙම සහන ගිවිසුම ප්‍රකාරව රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව පවත්වාගන්නාට හිමිවේ. මෙම අයිතීන් පවරා දීමේ දී ගිවිසුමෙන් සැළකිල්ලට ගෙන ඇත්තේ සංවර්ධනය සදහා වන වැය පමණකි. එහෙත් මෙහිදී බැරකිරීමේ අගය මෙන්ම ආයෝජන අගය ද සැලකිල්ලට ගත යුතුය. මෙම අයිතීන් රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව පවත්වාගන්නාට ලබාදීම පිළිබද තීරණය කළ යුත්තේ ඉන් පසුවය.

තීරු බදු - හම්බන්තොට වරායේ යෝජිත ක්‍රියාකාරීත්වය සහ කොළඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තයේ හා දකුණු ආසියා ද්වාර පර්යන්තයේ ක්‍රියාකාරීත්වයන් අතිශයින් වෙනස්ය. පසුව සදහන් කළ පර්යන්තයන්හි සේවාදායකයන්ට තම බහාලුම් මෙහෙයුම් කටයුතු සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හෝ වෙනත් පෞද්ගලික සමාගමක හෝ සේවාව ලබාගත හැකිය. ඒ සදහා අදාළ පරිදි බදු ගෙවිය හැකිය. එහෙත් හම්බන්තොට වරායේ දී, සේවාදායකයන්ට සිදුවනු ඇත්තේ එහි මෙහෙයුම් කටයුතු භාර රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව පත්වාගන්නා ඉදිරිපත් කරන ගාස්තු හා සේවාවලට එකග වීමටය. එනම් වෙනත් සේවා ලබාගැනීම සදහා අවස්ථාවක් යෝජිත සහන ගිවිසුම ප්‍රකාරව හම්බන්තොට වරායේ නැත. තවද, මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් තීරු බදු පැනවීමේ අවසරය ද මෙම රාජ්‍ය පෞද්ගලික සම්බන්ධතාව පවත්වාගන්නාට ලබාදුනහොත් එයින් කොළඹ සහ වෙනත් වරායන්හි කටයුතුවලට මෙන්ම රටේ ආර්ථිකයට ද මරු පහරක් එල්ල වීමේ අවදානමක් ඇත.

ගිවිසුමේ වරාය නියාමකයකු ගැන සදහනක් පැවතිය ද, එම වරාය නියාමකයාට බදු සම්බන්ධ කටයුතුවල නියැලීමට බලය ඇතැයි දක්වා නොමැත. මෙම සහන ගිවිසුම, ව්‍යාපෘතියේ මුළු කාලය පුරාවටම අදාළ පාර්ශවයන් එකිනෙක බැද තබාගන්නා ලියැවිල්ල වන නිසාවෙන්ම, ගිවිසුමේ සදහන් පිළිවෙත් හා කොන්දේසි රටේ නීතියට අනුගත වන බවත්, සියලු පාර්ශව ඒවාට එකග බවත් සහතික කිරීම ගිවිසුමේ ප්‍රධාන පාර්ශව අත ඇති වගකීමකි.

සේවා සැපයීම සදහා වෙනත් පාර්ශවයක සහය ලබාගැනීම - ගිවිසුමට අනුව වරායේ සේවා සැපයීම සදහා වෙනත් පාර්ශවයකට අවස්ථාව ලබාදීමට රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව පවත්වාගන්නාට හැකිය. එහෙත් මෙහෙයුම් කටයුතු සියල්ල පැවරෙන්නේ මෙම සම්බන්ධතාව පවත්වාගන්නාට බව ගිවිසුමේ සදහන් වන නිසා මෙලෙස වරාය සේවා සැපයීම සදහා තෙවැනි පාර්ශවයක සහය ලබාගැනීමේ අවසරයක් රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව පත්වාගන්නාට නොමැත.

වරාය අධිකාරිය මතුකර තිබෙන තවත් කරුණු කිහිපයක් පහත දැක්වේ.
රට මුහුණ දී සිටින විදේශ විනිමය ගැටලුව හමුවේ, ගිවිසුමේ සදහන් දින 180ක කාලය ඇතුළත වරායේ ගනුදෙනු පිළිබදව එකගතාවයකට පැමිණීමේ හැකියාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හා ශ්‍රී ලංකා රජයට නොමැති වීම.මෙය නීතිපතිවරයා පවා පෙන්වා දී තිබෙන කාරණයකි.

ගිවිසුම අත්සන් තැබූ පසු එහි ක්‍රියාකාරීවය නියාමනය කිරීමට තිබෙන උනන්දුවම, ගිවිසුම අත්සන් තැබීමට පෙර එහි කරුණු අධ්‍යයනය කිරීමේ දී පැවතිය යුතු බව අපගේ අදහසයි.

ස්වාධීන වරාය නියාමකයකු ස්ථාපිත කෙරෙන තෙක් රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාවය පවත්වාගන්නා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රසිද්ධ කරන තීරු බදුවලට එකගව කටයුතු කළ යුතු බව අපගේ මතයයි.

ආර්ථිකමය එකගතාවයන්ගේ පදනමෙහි සිට පවත්නා නීති වෙනස් කිරීමට හෝ පාර්ලිමෙන්තුව හරහා නව නීති හදුන්වාදීමට හෝ, ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, ශ්‍රී ලංකා රජයටත් හැකියාවක් නොමැත.

යුද නෞකා, ගමනාගමන නෞකා සහ අන්තර්ජාතික බහාලුම් ප්‍රවාහන නෞකා, අන්තරායදායක බහාලුම් ප්‍රවාහන නෞකා, ඉන්දියා සාගර කලාපය ආවරණය කරන බහාලුම් ප්‍රවාහන නෞකා, වාහන ප්‍රවාහනය කරන නෞකා, වෙනත් ඕනෑම මාදිලියක නෞකා ආදී ලෙස දැනට ශ්‍රී ලංකාවේ වරායන්හි අනුගමනය කෙරෙන නැංගුරම් ප්‍රමුඛතාව, හම්බන්තොට වරායේ ද අනුගමනය විය යුතුය.

චීනය බලා යන අගමැති ප්‍රමුඛ දුූත පිරිස එරට සමග නව ගිවිසුමක් අත්සන් තැබීමේ අපේක්ෂාවෙන් ද පසුවේ.මෙම ගිවිසුම සකස් කිරීමේ අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ අමාත්‍ය මලික් සමරවික්‍රමය.පුළුල් ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ගිවිසුම ප්‍රකාරව, කෘෂිකර්මය, නිශ්පාදන, ප්‍රවාහන, යටිතල පහසුකම්, මහජන සේවා, බලශක්තිය, විදුලි බලය, තොරතුරු හා සන්නිවේදනය, සංචාරක සහ නගර සංවර්ධනය ආදී ක්ෂේත්‍ර සම්බන්ධව අවධානය යොමු කෙරේ.2017 සිට 2021 දක්වා වසර පහක කාල රාමුවක මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ගිවිසුමේ කෙටුම්පත් සමරවික්‍රම වෙත ලබාදීමට චීන රජය දැනටමත් කටයුතු කර අවසන්ය. ඔහුම සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ගිවිසුම් කෙටුම්පතට වඩා එම කෙටුම්පතෙහි වඩාත් තොරතුරු අන්තර්ගතය. ගිවිසුම අනුව කටයුතු කිරීමේ දී ද්විපාර්ශවීය ආයෝජන සහ තාක්ෂණික සහයෝගීතාව වර්ධන වන අන්දමේ සමත් රජයන් අතර සම්බන්ධතා, සමාගම්, ආර්ථික ආයතන, පර්යේෂණ ආයතන, සහ වෙනත් සංවිධානවලට මුල් තැන දෙන බව චීන රජය සදහන් කර ඇත.

චීනය ප්‍රමුඛතා ව්‍යාපෘති ලයිස්තුවක් ඉදිරිපත් කර ඇත.මධ්‍යම අධිවේගී මාර්ගය, හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු, හම්බන්තොට වරාය නැව් තටාංගණය, හම්බන්තොට වරාය තෙල් ටැංකි කලාපයේ මෙහෙයුම් කටයුතු, හම්බන්තොට වරාය කර්මාන්ත පුරය, කොළඹ අන්තර්ජාතික ආර්ථික නගරය, සහ තවත් මාර්ග සහ ජල ව්‍යාපෘති ගණනාවක් එම ව්‍යාපෘති ලැයිස්තුවේ අන්තර්ගතය.

සමරවික්‍රමට අමතරව, නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක, විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම, අගමැති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු, චීනය බලා යන දුූත පිරිසේ අනෙක් සාමාජිකයෝය.

ඇතැම් විට ලබන 19 වැනිදායින් පසු සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල තනතුරු වෙනසින් පසු රජයේ තිබෙන අර්බුදය යම් තරමකට හෝ සමනය වනු ඇත. එහෙත් ජනපති සිරිසේන, චීනය බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පිළිගන ඒ වන තෙක් බලා හිදී ද, නැතහොත් එළැඹෙන 16 වැනිදා සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල හමුව පවත්වා තීරණයක් ගනු ඇති ද, යන්න ගැටලුවකි. එසේවුවත්, තනතුරු වෙනස සිදුකෙරුණ ද නැත ද, පවතින ඇතැම් ගැටලු දිගටම එළෙසම පවතිනු ඇත.