IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහින්ද ඉවත් කිරීමේ තිරය පිටුපස මෙහෙයුම


තිරය පසුපස දියත්ව තිබෙන මෙහෙයුම්වල තවත් ඉදිරි පියවරක් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පැවැති පාර්ලිමේන්තු සැසියේ දී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයයි. ඔහු එක්සත් ජනතා සන්ධානයේ සාමාජිකයකු නොවීම එම කාර්යය තවත් පහසු කළේය. 

පාර්ලිමේන්තුව බලා යෑමට පෙර එදින උදෑසන අමාත්‍ය වියජදාස රාජපක්ෂ මහතා, මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිවස්නයේ දී ජනපති සිරිසේන මහතාව හමුවිය. නීතිඥවරයකු මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයාද වන අමාත්‍ය රාජපක්ෂගේ පුත් රකිත ඔහුගේ පියා වෙනුවෙන් පෙනී සිටිමින් දුරකතනය ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතාව අමතා ඔහුගේ සහාය ඉල්ලා සිටියේය.

වියජදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා සිදුකිරීමට නියමිත වූ කතාවට අනුබල දීම යනු අගමැතිවරයා ලෙස ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට රාජපක්ෂ මහතාව තල්ලු කරන්නක් විය. මේ හමුවේ කෝපයෙන් රකිත ඇමතූ මහින්ද රාජපක්‍ෂ මහතා....

“ඕනෙනම් මාව අස්කරන්න කියලා ජනපති සිරිසේනට කියන්න කියලා ඔයාගේ තාත්තට කියන්න. මට වැඩ තියෙනවා. අධිකරණයට තීන්දුව ගන්න දෙන්න” යැයි කීවේ ය.

තිරය පසුපස සිට දියත් කර තිබෙන මෙහෙයුම් මනා ලෙස සම්බන්ධීකරණය කැරෙන බව පැහැදිලි කිරීමට විජයදාස මහතාගේ පාර්ලිමේන්තු කතාවෙන් කොටස් කිහිපයක් ගෙන හැර දැක්විය හැකිය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන නායක දෙපළට ඔවුනොවුන්ගේ කණ්ඩායම් සංවරව කටයුතු කරන බව සහතික කරන්නට නොහැකි වුනා. ඔවුන් ඒ සඳහා අපොහොසත් වුනා.

දෙපාර්ශවය අතර අනනොන්‍ය විශ්වාසය නැති වුනා. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැතිවරයාව ඉවත් කළ ජනපතිවරයා හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව ඒ වෙනුවට පත්කළා.

අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කෙරුණා. පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරුණා. මේ ගැන අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙනවා. ඉතාම අපුල සිදුවීම් කිහිපයක් සිදුවුනා. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන ජනතාව කතා කළේ ඉතාම අප්‍රසාදයෙන්. දැන් රටේ රජය ක්‍රියාත්මක වන්නේ නැහැ. රටේ මොනවාද වන්නේ කියා නොදන්නා ජනතාවට ඒ නිසාම දැන් බලාපොරොත්තු අහිමිව ගොසින්. ඒ නිසාම දවසින් දවස, එක එක කණ්ඩායම් එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින්, අපහාස කරගනිමින් සිටිනවා..

අපේ ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ අධිකරණමය බලය පාර්ලිමේන්තුවෙන් අධිකරණ හරහා ක්‍රියාත්මක කැරෙනවා. ඒ නිසා එම බලය රැදී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව අත තිබෙන බලය, විවිධ නීති සකස් කිරීම මගින් නිර්මානය කර තිබෙන්නෙත් පාර්ලිමේන්තුවමයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වන ගැටලු විධායකය, අධිකරණය සහ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 දෙනා, ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත්වලට ගරු කරමින් සිදුකරන සාකච්ඡාවන් හරහා විසඳා ගන්නට පුලුවන්. අප අතර තිබෙන ගැටලු සාකච්ඡා හරහා විසඳාගන්නට අපට බැරිනම්, ඔබලා අපේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියා ජනතාව අපෙන් අසනවා.

එවැනි ගැටලු විසඳීමට අප අධිකරණයට ඉඩ දුන්නොත් එය පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කිරීමක් වෙනවා. 
ව්‍යවස්ථාදායකයේ නායකයා වන කතානායකවරයාට සහ විධායකය වන ජනපතිවරයාට ඉතා විශාල වගකීමක් තිබෙනවා. අද පවතින තත්ත්වය යටතේ, විධායකය නිකුත් කරන නියෝග ව්‍යවස්ථාදායකය සළකන්නේ නැහැ. ව්‍යවස්ථාදායකය නිකුත් කරන නියෝග විධායකය සළකන්නෙත් නැහැ. 

පාර්ලිමේන්තුවේ සිදුවන අනුමත කිරීම් පවා විධායකය පිළිගන්නේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථාව මුල් කරගෙන මේ වගේ අර්බුදයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ දේශපාලනය අමතක කර දමා ජනතාව වෙනුවෙන් පෙනී සිට, ගැටලුවට මුහුණ දී දේශපාලන තත්ත්වය ස්ථාවර කරන්නට කටයුතු කළ යුතුයි.

අද තරුණ පරම්පරාව රටේ පවතින තත්ත්වය ගැන කතා කරන්නේ කොහොමද කියන එක සැළකිල්ලට ගත්තොත් අපට ඒකෙන්ම ඉගෙන ගන්නට පුලුවන්. 

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරහා අප ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි. පුද්ගලයින්ගේ හරි සහ වැරදි තීරණ ගැන පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම අප නොකළ යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටින කණ්ඩායමට රජයක් තනන්නට අප නැවත වරක් අවස්ථාව ලබාදිය යුතුයි. 

පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් හැටියට මම ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නවා. අතීතයේ අපි සියලුදෙනා වැරදි කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් ජනපතිවරයා ඉතාම විශාල කැපකිරීමක් කළා. ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හරහා ඔහු තවදුරටත් ඡන්ද දායකයින්ගේ විශ්වාසය එළෙසම පවත්වාගනිමින් සිටිනවා. පක්ෂ නායකයින් ජනපතිවරයා හා සාකච්ඡා කළොත් මේ ගැටලුව විසදාගන්නට පුලුවන් වේවි කියා මා සිතනවා.

අනෙක් පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව පැත්තකට තමා ජනපතිවරයා හා සාකච්ඡාවක් පවත්වා දිනක හෝ දෙකක කාලයක් ඇතුළත ගැටලු විසදාගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම ඉල්ලා සිටිනවා. 
බහුතරයක් තිබෙන කණ්ඩායමට රජයක් තැනීමට සහ ස්ථාවරත්වයක් ඇති කිරීමට අවස්ථාව ලබා දෙන්න. මම මේ දෙයම ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ජනපතිවරයා මගේ ඉල්ලීම ගැන උනන්දුයි. මේ ගැන කටයුතු කරන්න නීතිමය බලය සහ ව්‍යවස්ථාමය හැකියාව ඔබට නිල වශයෙන්ම හිමිවෙලා තිබෙන නිසා, මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.......

විජයදාස රාජපක්ෂ මහතාගේ කතාව අවසානයේ, පෙර සූදානමකින් සිටියාක් මෙන් කතානායක කරූ ජයසූරිය මහතා ඊට පිළිතුරු දුන්නේ මෙසේය.

ඔබ කළ විස්තරයට මම මගේ සම්පූර්ණ අවධානය යොමුකරනවා. සාකච්ඡා පැවැත්වීමේ කිසිම ගැටලුවක් මට සහ ජනපතිවරයාට නොමැති බව මම සභාවට කිව යුතුයි. 

අප අතර අනයෝන්‍ය අවබෝධයක් තිබෙනවා, අපට සාකච්ඡා කළ හැකියි. මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බව මම පිළිගන්නවා. ඔබේ යෝජනාව අනුව මම අද සන්ධ්‍යාවේ ජනපතිවරයා හමුවට යනවා. සාකච්ඡා හරහා මේ ගැටලුව විසදාගන්නට ගත හැකි සෑම පියවරක්ම ගනිමින්, ඒ සදහා අවංක උත්සාහයක් මම දරනවා. හැකි ඉක්මනින්ම මම එය කරනවා.

පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිත කතාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුම්වත් කිරීම සදහා විජයදාස සහ ජයසූරිය අතර සාකච්ඡාවක් පැවැති බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධරයකු සදහන් කළේ ය. මෙහිදී ජනපතිවරයා හා කතානායකවරයා අතර හමුවක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා එය ඉතාම කැමැත්තෙන් පිළිගන්නා බව කතානායකවරයා ඊට පිළිතුරු ලෙස කියා සිටි බවත්, ඔහු පැවසුවේ ය. 

තිරය පසුපස මෙහෙයුම් ගැන කතානායකවරයාද දැන සිටියේ ය.

බදාදා රැයේ ජනපතිවරයා සහ කතානායකවරයා අතර පැවැති හමුව සුරංගනා කතාවකට නොඅඩු අවස්ථාවකට, එසේත් නැතිනම් දුරස්ව සිටි මිතුරන් දෙදෙනෙක් වසර ගණනාවකට පසු යළිත් එක්වූ අවස්ථාවකට සමාන බව ජනපතිවරයාට සමීප ආරංචි මාර්ග පැවසුවේ ය.

දැෑත් එක්කොට ආයුබෝවන් කියමින් කතානායක ජයසූරිය මහතාව පිළිගත් ජනපතිවරයා, දේශපාලනයේ අපි ගහගන්නවා නමුත් කිසිම තරහක් නැහැ ඔබතුමා එක්ක යැයි කීවේ ය. 

මේ අවස්ථාව ලැබුණු එක ගැන මම සන්තෝස වෙනවා, කතානායකවරයා පිළිතුරු දුන්නේ ය.

පෙර සදහන් කළ ආරංචි මාර්ගය කියා සිටි ආකාරයට දෙදෙන අතර සංවාදය ඉතාම ආචාරශීලී අයුරින් පැවත තිබෙන අතර, බරපතල ගැටලු අරබයා සාකච්ඡා කරන අතරවාරයේම අතීතය ගැන සිහිපත් කරමින් ප්‍රශංසනාත්මක මුඛයෙන් එකිනෙකා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ ද ඔවුන් දෙදෙන නිරතව ඇත. බෞද්ධ හිමිවරුන් අතර ජයසූරිය මහතාට තිබෙන පිළිගැනීම අගය කළ ජනපතිවරයා, වර්තමානයේ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදය කඩිනමින් විසඳාගැනීම අරබයා තමා ඔහු කෙරේ විශ්වාසය තබා සිටින බව කීවේ ය.

තමා එක්තරා විදෙස් රටක සංචාරයක යෙදී සිටි අවස්ථාවක එම රටේ නායකයින් ජනපති සිරිසේන ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර තිබෙන කාර්යභාරය අගය කරමින් ඔහුව කනිෂ්ඨ මැන්ඩෙලා කෙනෙකු ලෙස හදුන්වාදුන් බව ජයසූරිය මහතා සිහිපත් කළේ ය. බහු පාර්ශ්වික සංවිධානයක ප්‍රධානියකු හා පැවැති සාකච්ඡාවක් ජනපති සිරිසේන මහතා හමුවේ ගෙනහැර දැක්වූ කතානායකවරයා, ජනපති සිරිසේනව ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හදුන්වාදුන් ඔහු, එවැනි පුද්ගලයකු මේ සා දේශපාලන අර්බුදයක් ඇතිවන අයුරින් කටයුතු කර තිබෙන්නේ මන්දැයි තමාගෙන් විමසා සිටි බව පැවසුවේ ය.

උද්ගතව තිබෙන තත්ත්වය කඩිනමින් විසඳාගත නොගතහොත්, රටේ ආර්ථිකය තව දුරටත් ආගාධයට යනු ඇති බව ජයසූරිය මහතා පෙන්වා දුන්නේ ය. එවන් තත්ත්වයක් යටතේ ජීඑස්පී බදු සහන රටට අහිමිවීමේ අවදානමක් පවතින අතර, රුපියලද ඩොලරයට සාපේක්ෂව ඉතාම සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින තිබේ. සියල්ල සැළකිල්ලට ගනිමින් සිකුරාදා රාත්‍රියේ පක්ෂ නායක හමුවක් පැවැත්වීමට අවසානයේ දෙපාර්ශවය එකග විය.

එය සිකුරාදා දක්වා කල්දැමීමට සිදුවූයේ බ්‍රහස්පතින්දා පොළොන්නරුව බලා ගිය ජනපති සිරිසේන මහතා සිකුරාදා උදැෑසන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ උත්සව අවස්ථාව සදහා වෙන්කර තිබූ බැවිනි.
දෙදෙන අතර අදහස් හුවමාරුවක් සිදුනොවුන ද, වහාම සැළකිල්ලට ගතයුතුව තිබෙන කාරණයක් වන්නේ දැනට දින 38 ක කාලයක් රටේ අගමැතිවරයා ලෙස කටයුතු කර තිබෙන මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත්වන යන තැනට යොමු කරන්නේ කෙසේද යන්නය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ගයක් මෙසේ අදහස් දැක්වූයේ ය.

කතා කරලා භාර දුන්නු අගමැති ධූරයෙන් ඉවත්වීමේ වුවමනාවක් රාජපක්ෂට නැහැ. අවශ්‍යතාවක් තිබෙනවා නම්, ජනපති සිරිසේන මහතාට පුලුවන් ඔහුව අස් කරන්න. එය ඇත්තෙන්ම යම් අගෞරවයක් වුවත් දේශපාලනික වශයෙන් රාජපක්ෂට යම් වාසියක් අත්කර දීමේ හැකියාවක් ද ඊට තිබේ. 

කෙසේ වෙතත් අගමැති තනතුරෙන් රාජපක්ෂ මහතාව අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට සිදුවීමේ තත්ත්වයක මුල් අඩිතාලම මේ වන විටත් වැටී අවසන්ය. එය නම් ලබන 5 වැනිදා විවාදයට ගැනීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවකි. 

දෙමළ ජාතික සන්ධානයේ සහාය මත එය නිසැකවම සම්මත වනු ඇත. ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය පදනමේ සිට මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, එම වගන්තිය අනුව අගමැතිවරයාගේ මරණය, ධූරයෙන් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම යන තත්ත්වයන් යටතේ, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සිට මහ මැතිවරණය පැවැත්වීම දක්වා වන කාලයට, අගමැතිවරයා සතු බලතල ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයකු පත්කිරීමට ජනපතිවරයාට හැකියාව ඇත. එසේත් නැතිනම් එම බලතල තමන් වෙතම පවරාගැනීමට ද ජනපතිවරයාට අවසරය තිබේ. මෙයින් පැහැදිලි වන කරුණු 2කි.

එකක් වන්නේ තිරය පසුපස මෙහෙයුම මහ මැතිවරණයක් පැවැත්වීම දක්වා මාර්ගය විවෘත කර දී තිබෙන බවය. දෙවැන්න වන්නේ අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට ජනපතිවරයා බලාත්මක කිරීමය.

 



අදහස් (0)

මහින්ද ඉවත් කිරීමේ තිරය පිටුපස මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

ටයිම්ස් දේ.තී.

දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ
2022 අගෝස්තු මස 27 7443 2

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප


උභතෝකෝටික ප්‍රශ්න
2022 අගෝස්තු මස 26 4508 1

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව
2022 අගෝස්තු මස 24 12756 10

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි


මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
2022 අගෝස්තු මස 17 5534 1

සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්
2022 අගෝස්තු මස 03 6818 1

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ


රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම
2022 ජුලි මස 26 4843 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site