සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කළේ ය. මේ හමුවේ සති දෙකක් ඇතුළත දෙවන වතාවටත් සමස්ත ශ්‍රී ලංකා වාසීහු අන්දුන් කුන්දුන් වූහ. 

විශේෂත්වය වන්නේ ජනපතිවරයා මෙම නිවේදනය නිකුත් කිරීමට පැය 24 කට මත්තෙන් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයකින් පාර්ලිමේන්තුව විසිරුවා නොහැරෙන බව අවධාරණය කර පුවත් නිවේදනයක් ද නිකුත් කර තිබූ හෙයිනි. ඊයේ පැවසූ දෙය අද එසේ නොවන බව දේශපාලනයේ ස්වභාවය බව පැවසේ. 

අද වටිනාකමින් ඉතාම අඩු තැනකට තල්ලු වී තිබෙන යහපාලනය ද, එය ආරක්ෂා කරන බවට පොරොන්දු දුන් පුද්ගලයින්ගේ ද හැසිරීම ගත් කළ, ඉහත කියමන අනුව යතොත් පුදුමයට පත්වීමට තරම් දෙයක් නැත.
නාම යෝජනා කැඳවීම නොවැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 26 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී සිදුකිරීමට නියමිත බව ද, නව පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි මස 17 වැනිදා කැඳවෙනු ඇති බව ද, මේ අරබයා නිකුත් කැරුණු නිවේදනයක දැක්විණ. 

ඉරිදා රාත්‍රියේ ජනපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතුපාදක වූ කරුණු ගෙන හැර දක්වමින් ජාතිය ඇමතීය. 

ජනපතිවරයාට පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබා දී නැතැයි ඇතැම් පාර්ශවයන්ගේ මතය වුවත්, නිකුත් කැරුණු නිවේදනයේ සදහන්ව තිබූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2) (ඇ) අනුව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ (2) අනුව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (5) අනුව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවය.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තුඩු දුන් ප්‍රධාන හේතු දෙකකි.

ඉන් එකක් වනුයේ පාර්ලිමෙන්තුව නැවත කැඳවීමට නියමිත වූ නොවැම්බර් මස 14 වැනිදා බහුතරය විමසා බැලීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබීමය. රජයේ සැළසුම වී තිබූයේ එදින වැඩකටයුතු ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියැවීමට පමණක් සීමා කිරීමටය. මේ අරබයා අතීතයෙන් ගත හැකි ආදර්ශ නොමැති වුවද, ජයසූරිය මහතා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට අදහස් දක්වමින් මෙසේ කීවේය. 

“මම මගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයගේ අයිතීන් සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට මට සිදුවෙනවා” 

නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහසට විරුද්ධ විය. ඔහු සන්ඬේ ටයිම්ස් පුවත් පතට කියා සිටියේ මෙවැන්නකි.

“ඒ වගේ තීරණයක් ගන්න ස්ථාවර නියෝගවලින් කිසිම අවසරයක් ලබා දීලා නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවක් අනුව කටයුතු කිරීමට පමණයි කතානායකවරයාට අවසර ය තිබෙන්නේ”

“එතැනදිත් එවැනි යෝජනාවක් මුල්කරගත් විවාදයක් පැවැත්වෙනවා ද යන්න තීරණය කරන්නට පුලුවන් වෙන්නෙත් පක්ෂ නායකයන්ගේ අදහස් විමසීමෙන් පසුවයි. මෙය අත්තනෝමතිකව කළ දෙයක්. ඔහු ස්වාධීනව කටයුතු කර නැහැ”

සිකුරාදා රාත්‍රියේ ජනපති සිරිසේන මහතා රජයේ මුද්‍රණාලය තමන් යටතේ වන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තේ ය. පරිශ්‍රයට ආරක්ෂාව සැපයීමට හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අනුයුක්ත කැරිණ. 

ජනපතිවරයා එවැනි පියවරක් ගත්තේ නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තුව නැවත රැස්වන අවස්ථාවේ බහුතරය විමසීමක් සිදුවන බව සදහන් නියෝග පත්‍රිකාවක් මුද්‍රණය කරන ලෙස කතානායකවරයා මුද්‍රණාලයෙන් ඉල්ලා ඇතැයි වාර්තා පළව තිබූ නිසාවෙන්ය. එවැන්නක් හමුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවනු ඇතැයිද, එවැනි ගැටුමක් ඉදිරියේ ජනපතිවරයා අපහසුතාවයට සහ ලැජ්ජාවට පත්වනු ඇතැයිද, නව රජයේ නායකයෝ බිය වූහ.

දෙවැනි හේතුව වන්නේ ඉලක්කම් සෙල්ලමයි. 

මෙම තීරුවෙන් අද දින සිදුකෙරෙන අනාවරණයේ දී පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 දෙනා අතරින් 113 දෙනෙකුගේ බහුතරය දිනා ගැනීමට නව රජය කොපමණ වෙහෙසක් දැරුවේදැයි පැහැදිලි වනු ඇත. 

එක් අවස්ථාවක එම බහුතරය තහවුරු කරගැනීමට ඔවුන් සමත්වුවද, ඒහාම අනෙක් අතට බිය පළවන්නට ගත්තේ ඇතැම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු ඔවුන්ගේ අදහස වෙනසක් කරගනු ඇතිය කියාය. සහාය දිනාගැනීම අරබයා මුදල් ගෝණි ගණනින් හුවමාරු වෙමින් තිබෙතැයි ජනපති සිරිසේන මහතා ද චෝදනා කළ අතර, එවැනි ක්‍රියා වර්තමානයේ දේශපාලන පක්ෂ අතර තිබෙන සම්ප්‍රදායක මට්ටමට පත්ව ඇත.

ජනපති සිරිසේන මහතාගේ සභාග රජයෙන් ඉවත් කැරුණු එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අරබයා අතිශය කෝපයට පත්ව සිටියේ ය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගැනුනු තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ඔවුන් සූදානම් වන ලකුණු පසුගිය සෙනසුරාදා දිනයේ දැකගත හැකිවිය. මේ සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා කියා සිටියේ මෙවැන්නකි.

“මැතිවරණයක් සම්බන්ධයෙන් අපේ පක්ෂය කිසිම අවස්ථාවක හිත කරදර කරගෙනවත් බියට පත්වෙලාවත් නැහැ. අපට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය පවා යොදා ගැනුනු කාලයක් තිබුණා”

“එදා රජය කටයුතු කළේ රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින්. අපේ පාලන සමයේ දී එවැනි ඇතැම් පුද්ගලයින්ට අවසානයේ අධිකරණය ඉදිරියට එන්නට සිදුවුනා. දැන් සමහර විට ඒ අය නිකම්ම නිදහස් වේවි. මේ විදිහට පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම නීතිවිරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි ඒ වගේම ව්‍යවස්ථා විරෝධීයි. අප මේ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය අධ්‍යනය කරනවා. එහෙම නැතිනම් අපි ජනතාව මත බලහත්කාරයෙන් පටවන ඕනෑම අනීතික ක්‍රියාවකට එරෙහිව පෙනී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට යටත්ව පෙනී සිටිනවා.” යයි කබීර් හෂීම් මහතා කීවේය. 

සිකුරාදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මත්තෙන් ජනපති සිරිසේන මහතා ජනපති ලේකම් කාර්යාලයේ පැවැති ඉහළ පෙලේ රැස්වීම් කිහිපයකම මුලසුන හෙබවූයේ ය. එක් රැස්වීමක දී ඩිලාන් පෙරේරා මහතා කතානායකවරයාට නිකුත් කර තිබෙන නිවේදනය හමුවේ මතුව තිබෙන ගැටලු අවධානයට ලක් කළේ ය.

විධායක නියෝග නිකුත් කිරීමට බලය තිබෙන්නේ ජනපතිවරයාට පමණක් බව කියා සිටි ජනපති සිරිසේන මහතා, පාර්ලිමෙන්තු සභාවාරය අවසන් කිරීම සහ නැවත කැඳවෙන දිනය ප්‍රකාශයට පත් කැරුණේ ගැසට් නිවේදනයක් හරහා බව පෙන්වා දුන්නේ ය. 

සභාවාරය අවසන් කළ පාර්ලිමේන්තුවක් කැදවීමට කතානායකවරයාට කිසිදු බලයක් නොමැති බව පැහැදිලි කළ ජනපති සිරිසේන මහතා, එය තමන් ගැන තමන්ම කරන නඩු ඇසීමකට සමාන කළේ ය. අගමැති රාජපක්ෂ මහතාද මෙම රැස්වීමට සහභාගීව සිටියේ ය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණයට ඔවුහු එළැඹියේ මෙහිදීය. කතානායකවරයාගේ ස්ථාවරය හමුවේ ඉදිරි කටයුතු දියත් කිරීම දුෂ්කර වනු ඇති බව නායක දෙපළගේම මතය වූවේ යැයි ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් සදහන් කළේ ය. මේ අනුව ජනපතිවරණයක් පැවැත්වීමට සිදුවන්නේ නව පාර්ලිමේන්තුවක් එහි ධූර කාලය ගෙවමින් සිටින වාතාවරණයක බව නායක දෙපළම අවබෝධ කරගෙන සිටියෝ ය.

ව්‍යවස්ථාවට අනුව පත් කෙරුණු පසු වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ජනපතිවරයාට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය මතුකරන තර්කයයි. ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුවය.
නමුත් ජනපතිවරයාගේ නීති උපදේශකයින් ඔහුට දැනුම් දී තිබෙන්නේ මෙම කොටස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හදුන්වාදීම සිදුවූයේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමෙන්තුවේ විවාදයට ලක් කැරෙමින් පැවැති සමයේ ක්‍රියාත්මක වූ කමිටු අදියරේ දී පමණක් බවය. සකස් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථානුකූල භාවය පරික්ෂා කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි එම නිසාම මෙම කොටස අන්තර්ගතව නොතිබූ බව ඔවුන්ගේ මතය වී තිබේ. 

පාර්ලිමේන්තුව හරහා යැවෙන කෙටුම්පත් අරබයා පශ්චාත් - අධිකරණ විවරණ ක්‍රියාවලියක් නොමැති හෙයින්, එම නීති උපදේශකයින්ගේ අදහස වී ඇත්තේ මෙම කොටස ව්‍යවස්ථාවට එකතු කර තිබෙන්නේ හොර රහසේ බවය. එනිසාම පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ජනපතිවරයා බලගන්වන ව්‍යවස්ථාමය අවසරය තවමත් පවතින බවට ඔවුන් තර්ක කර තිබේ.

මෙම කරුණු ජනපති සිරිසේන මහතා වෙත පෙන්වා දී තිබෙන්නේ ව්‍යවස්ථා විශාරදයින් දෙදෙනෙක් බව දැනගන්නට තිබේ. ඔවුන්ගෙන් එක් අයෙක් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන්නෙක් බව ද, අනෙකා කිසියම් දේශපාලඥයකුගේ වුවමනාව මත ජනපතිවරයාට මෙම උපදෙස් සපයා ඇති උතුර පදනම්ව ක්‍රියාත්මක වන දෙමළ දේශපාලන පක්ෂයක් හා සබදතා ඇති අයෙක් බව ද, අනාවරණයව තිබේ. මේ දෙදෙන නෛතික හිඩැස් රාශියක් ද මේ හමුවේ ඉතිරි කර ගොස් තිබෙන බව සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කිරීමට ද විවිධ පාර්ශවයන් කටයුතු කර ඇත.

ජනපති සිරිසේන මහතාගේ නීති උපදේශකයින් මතුකර තිබෙන තවත් තර්කයක් වන්නේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් එවක කළ විමසීමකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකි. පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරයක කැමැත්තෙන් සහ අනතුරුව පැවැත්වෙන ජනමත විචාරණයකින් පළවන කැමැත්තෙන් හැර ජනපතිවරයාගේ බලතල ඉවත් කිරීමට නොහැක යැයි එම තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන බව ඔවුහු ජනපතිවරයාට පෙන්වා දී ඇත. නීති උපදේශකයින්ගේ තර්කය වඩාත් සවිමත් කළේ මෙම කාරණයයි.