දෙවැනිවතාවටත් ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ වෑයමක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටී. මේ සඳහා ඔවුන් උපයෝගී කරගනිමින් තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි දේශපාලන පක්ෂය සහ වෙනත් පක්ෂයක් එකතුව බිහිකරන ආණ්ඩුව ජාතික ආණ්ඩුව වන්නේය යන අර්ථකථනය මත ඔවුහු ඒ සඳහා අරඅඳිති. එක්සත් ජාතික පක්ෂ තුරුම්පුවවන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. පැහැදිලිව කිවහොත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීධුරයකි. 2015 අගෝස්තු මහමැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව එක්සත් ජාතික පෙරමුණ යන නාමයෙන් තරග වදිද්දී එම පක්ෂයේම එක් අපේක්ෂකයෙක් පක්ෂ නාමයෙන් ගස ලකුණින් තරග කළේය. ඔහු ද පාර්ලිමේන්තුවට තේරී පත්විය. එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාතිශය බහුතරය මහමැතිවරණයෙන් පසු කටයුතු කළේ එක්සත් ජාතික පෙරමුණ හැටියටය. දැන් හිටිහැටියේ ඉහත කී තනි මන්ත්‍රීවරයා දඩමීමා කරගෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හැටියට සලකා ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට හැකිද? ව්‍යවස්ථාමය වශයෙන් වංගුවක් ගත්ත ද එය සදාචාරාත්මක නැති බව කුඩා දරුවකුට වුව වැටහේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බැලූ බැල්මටම තිබෙන දෙයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේක්ෂා කළ දෙයත් යන කාරණා දෙක ගැනම මෙහිදී සැලකිල්ල යොමු කළ යුතුවේ. පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේදී වසර හතරහමාරක් ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට ජනාධිපතිවරයාට බලය නැති බව ප්‍රකාශයට පත්විය. එහිදී ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ප්‍රත්‍යක්ෂ ලෙස පෙනී යාමය. එහෙත් මේ ජාතික ආණ්ඩු නිර්මාණය කිරීමේ වෑයමේදී බැලූ බැල්මටම පෙනී යන්නේ ඊට පදනමක් නැති බවය. එක්සත් ජාතික පෙරමුණ නමැති පාර්ලිමේන්තුව පිළිගත් නිල සන්ධානය සංයුක්ත වන්නේම අලියා ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගේ ද එකතුවෙනි. ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ගස ලකුණින් තරග කළ අපේක්ෂකයා පමණක් සලකා ජාතික ආණ්ඩුවකට යද්දී නිතැතින්ම නොසැලකිල්ලට ලක්වන්නේ අලියා ලකුණෙන් පාර්ලිමේන්තු ආ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසය. ඕනෑම දේශපාලන සන්ධානයකට සන්ධානයක් වීම නිසාම අත්වන දේශපාලන වාසි තිබේ. දේශපාලන පක්ෂ සන්ධාන බිහිකරන්නේම මේ වාසි සලකා බලාය. ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පාර්ශ්වයක් වීම නිසා අත්වන වාසි ඇත. එසේ බලද්දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තම තනි මන්ත්‍රීවරයා ජාතික ආණ්ඩුවට පූට්ටු කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාරයන් ලෙස වාසි ද ගනිමිනි.   

මෙය බැලූ බැල්මටම යුක්ති සහගත නොවන, ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවලට පිටුපාන තත්ත්වයකි. අනෙක් අතට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුඛ්‍ය අරමුණුවලට කිසිසේත් පෑහෙන්නේ නැත. එවැන්නක් සිදුවුවහොත් එය ඉතාම විකාරසහගත දේශපාලන යටිකූට්ටු වැඩවලට පාර කපන්නක් විය හැකිය. තම තමන්ගේ පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘතිසහගත ලෙස භාවිත කිරීමට සෙස්සන්ද පෙළඹෙනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ආණ්ඩුකරණයේ පදනම වන රටේ මූලික නෛතික ලියැවිල්ලය. මෙයින් වනු ඇත්තේ රටේ මූලික නෛතික ලියැවිල්ල කෙරෙහි මහජන අප්‍රසාදයත් අවිශ්වාසයත් නිර්මාණය වීමය. එය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවේ. එනිසා මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණයට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකිය. එය එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ටසම්පන්න පාර්ලිමේන්තු පරිචයන් ඇසුරෙන් විමසද්දී මේ කරන්නට යන්නේ නම් පොදු ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමක් බව කිවමනාය. ප්‍රශ්නය ඇත්තේ එතැනය. නොඑසේව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම නොවේ. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ තම නිදහස් දින පණිවුඩයේදී පැහැදිලිව අවධාරණය කළේ ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට තමා මනාප නැති බවය. තනි මන්ත්‍රීවරයකු යොදාගෙන ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සදාචාරාත්මකදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා කීවේ ජනතා පැතුම තනි පක්ෂ ආණ්ඩුවක් හා තිහක ඇමැති මණ්ඩලයක් බවය. කවරෙකු කැමැති වුණත් නැතත් දැන් පවතින්නේ ජනාධිපතිවරයා නායකත්වය දරන ආණ්ඩුවකි. එනිසා ජනාධිපතිවරයාගේ මතය නොසලකා කටයුතු කිරීම යහපත් නැත. අනෙක් අතට මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේම දෙවැනි පෙළෙන් ජාතික ආණ්ඩුවට එල්ලවන්නේ විරෝධයකි. ඔවුන් කියන්නේ ආණ්ඩුවට ඇති ඉදිරි කෙටි ආයුෂ කාලයේදී ජනතාවට සහන සැලැසීමට විනා අමාත්‍ය ධුර වැඩිකරගැනීමේ වැඩකට අතගැසීම දේශපාලනිකව සියදිවි නසාගැනීමක් බවය. ඉතින් ප්‍රතිපාර්ශ්වයෙන් මෙන්ම පක්ෂ අභ්‍යන්තරයෙන් පවා කෙරෙන අවධාරණ නොසලකා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ නම් එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයකට තරම් නොවේ. උද්ගත වූ දේශපාලන අවුල නැවත වටයකින් ආරම්භවීමක් බවට එය පත්වනු ඇත. 

වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ රාජ්‍ය පාලනයයි. පැහැදිලි බහුතර බලයක් පෙනෙන්නට නැති තත්ත්වයක නීති සම්පාදන කටයුතු මෙන්ම ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම ඔවුන් මුහුණ දී ඇති ප්‍රශ්නයයි. එනිසා දැන් ආණ්ඩුව පළමුව බේරාගත යුතුව තිබෙන්නේ ගැටුම්වලින් අවම ආණ්ඩුකරණ පිළිවෙතක් සොයාගැනීමයි. එහෙත් යෝජිත ජාතික ආණ්ඩුව ආණ්ඩුකරණ ක්‍රියාවලියට සහයෝගයක් වනු ඇතැයි අපට උපකල්පනය කළ නොහැකිය. එයින් වනු ඇත්තේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය තව තවත් අර්බුදයට තල්ලු කිරීමය. තවදුරටත් ආණ්ඩුව අකර්මණ්‍යවීමය. අඩුම තරමින් තමන්ගේ පක්ෂයේ පසුපෙළෙහි සහායවත් ලබාගැනීමට නොහැකි වීමට ඉඩ තිබේ. විශේෂයෙන්ම මේ ගැන දෙමළ ජාතික සන්ධානයේ මතය ද වැදගත්ය. දෙමළ ජාතික සන්ධානය යනු දේශපාලන අර්බුදයේදී එක්සත් ජාතික පක්ෂයට යළිත් අගමැති ධුරය ගැනීමට සහාය දැක් වූ පක්ෂයයි. එහෙත් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ ඇමැති ධුර ඉහළ දමන වැඩපිළිවෙළකට සිය පක්ෂයේ සහායක් නොලැබෙන බවය. ජනතා විමුක්ති පෙරමුණ ඊට එකහෙළා විරුද්ධය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම එය සංයුක්ත වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සෙසු පක්ෂ ද යන්නේ එම පීල්ලේමය. එසේ බලද්දී රටේ සාතිශය බහුතරයක් පක්ෂ මේ වැඩපිළිවෙළට විරුද්ධය. ආණ්ඩුවට ඇති කෙටි පාලන කාලය බලද්දී මෙය තනිකරම වරප්‍රසාද භුක්ති විඳීමේ අරමුණෙන් කරන වැඩක් බව සක්සුදක් සේ පැහැදිලිය. 

දැන් බොහෝ දෙනකුට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේශපාලන ව්‍යාපාරයේ සටන් පාඨ මතක නැත. 2015 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වෙද්දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනතාවට දුන් පොරොන්දුව වූයේ ඇමැති මණ්ඩලය තිහට අඩු කිරීමය. යම් යම් හේතු මත මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය පාවිච්චි කළ පිරිස් පවා මෙම කාරණයට සිය එකඟතාව පළ කළහ. ජනාධිපතිවරණ සමයේ මේ ජාතික ආණ්ඩු කතා තිබුණේ නැත. ජාතික ආණ්ඩු කතා හැදුණේ මහමැතිවරණයටය. එහෙත් දැන් ජාතික ආණ්ඩුව හැදුණොත් කැබිනට් මණ්ඩලය තිහ නොව පනහක සීමාවට ද ආසන්න වෙයි. පසුකාලීනව තවත් මැතිවරණ පැවැත්වුව ද මේ ආණ්ඩුවේ දේශපාලනය පොදු අපේක්ෂක දේශපාලනයෙන් මුළුමනින් වෙන්කළ නොහැකිය. එනයින් බලද්දී මේ නම් තනිකරම ජනවරමට පිටුපෑමකි. ආණ්ඩුවට කොහොමත් තමන් ලද ජනවරමේ මූලික හරයන් ගැන දැන් මතකයක් නැත. ඇත්ත වශයෙන්ම ඒ අමතකවීම හටගත්තේ කාලයාගේ ඇවෑමෙන් නොව ආණ්ඩු බලය ලැබූ මුල් කාලයේදීමය. මහබැංකුවේ බැඳුම්කර සිදුවීම විසින් ඔප්පු කරනු ලැබූවේ එයයි. ආණ්ඩුව සිටින්නේ මේ වනවිට දූෂණ වංචා ගැන කතා කිරීමට බැරි තත්ත්වයකය. ශ්‍රී ලංකාවේ වැඩිම අගයක් හිමි මුදල් නෝට්ටුව රුපියල් පන්දහසයි. ඒ නෝට්ටුවට අස්සන ගැසූ මහබැංකු අධිපති අද සැකකරුවෙකි. එහෙත් ඒ පුද්ගලයා වර්තමානයේ සිටින්නේ නීතියට වැලි ගසමින් කට්ටි පනිමිනි. ආණ්ඩුවේ දූෂණ විරෝධය ලත් තැන ලොප් වුණේ එහෙමය. අඩුම තරමින් මේ අපවාදයෙන් යම් තරමකට හෝ ගැලවෙන්නට ආණ්ඩුවට හැකිවනු ඇත්තේ වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවීමෙනි. 

ආණ්ඩුව බලය ගත්තේ පැවැති ආණ්ඩු කාලයේ දූෂණ වංචා හොයා වැරැදිකරුවන්ට දඬුවම් කිරීමටය. එහෙත් දැන් ජනාධිපතිවරයා කියන්නේ 2015 සිට සිය පාලන කාලයේ සිදු වී යැයි කියන වංචා දූෂණ සෙවීමට ද කොමිසමක් පත්කරන බවය. කටයුතු සිදුවන ආකාරයෙන් මගේ අදහස නම් වංචා දූෂණ සෙවීමට ස්ථිර ජනපති කොමිසමක් පත්කිරීම වඩා යෝග්‍ය යැයි කියාය. අල්ලස් හා දූෂණ මැඩලීමට නීතිය ක්‍රියාත්මක කළ අවස්ථා ඉතිහාසයේ ද නැත්තේ නොවේ. 1960 ජූලි මැතිවරණයේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට අසුන අහිමි වුණේ එහෙමය. 1980 දශකයේදී පොතුවිල් අසුන දිනූ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයකුට වුණේත් ඒ සන්තෑසියමය. ඒ නිසා දැන් විය යුත්තේ ද නීතිය ක්‍රියාවට නැඟීමය. එහෙත් මේ සිදුවන්නේ හොරුන් ඇල්ලීම පසෙක තබා හොරු බිහිකරන හොරුන්ට ධෛර්යය දෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමය. මෙය කිසිසේත් ජාතික ප්‍රමුඛත්වයක් දිය යුතු වැඩපිළිවෙළක් නොවේ. සමස්ත රටවැසියාම අද මුහුණ දී තිබෙන ප්‍රධාන අභියෝගය නම් ආර්ථික අර්බුදයයි. දේශපාලන වශයෙන් ගත් තීන්දු තීරණවල අනිටු විපාක විඳිමින් සිටින්නෝ සමස්ත රටවැසියෝය. එනිසා ක්‍රය ශක්තිය අඩුවීමෙන් ඉතාම සකසුරුවම් ජීවිත ගතකරන තැනකට ඔවුහු තල්ලු වෙමින් සිටිති. ඔවුන් පත්ව ඇත්තේ අතිරේක වැය පමණක් නොව අත්‍යවශ්‍ය වියදම් පවා කපා හැර දමන තැනකටය. ආණ්ඩුව ඇමැති මණ්ඩලය ජම්බෝ ඇමැති මණ්ඩලයක් බවට පත්කර මහජන මුදල් කාබාසිනියා කිරීමට අරඅඳින්නේ එවැනි කනගාටුදායක පරිසරයකය. 

2015 ජනාධිපතිවරණ සමයේදී සිවිල් සමාජය නමැති දේශපාලන ප්‍රවාහය අතිශය ශක්තිමත්ව හඬ නඟමින් සිටියේය. සිය මතවාද ජනගත කිරීමේදී විශාල පෙරළියක් කළේය. එහෙත් ආණ්ඩු වෙනස සමඟ ඒ මුහුණු පෙර මෙන් දැකගැනීමට අපට හැකිවුණේ නැත. ආණ්ඩුව නිවැරැදි පීල්ලට ගනු වෙනුවට ආණ්ඩුවේම ආයතනවල කොටස්කරුවන් බවට ඔවුහු පත් වූහ. නැතිනම් වරදාන වරප්‍රසාද ලබන තැනට පත්වූහ. ඔවුන් බඩගෝස්තරවාදීන් නොවේ නම් දැන් කළයුත්තේ මැතිවරණ නොපවත්වන මේ ආණ්ඩුවේ අමුතු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව හඬ නැඟීමය. එහෙත් ඒ සංවිධානවල මාධ්‍ය නිවේදනයක්වත් දැන් අපට දකින්නට නැත. අගමැතිවරයා ධුරයෙන් පහකළ අවස්ථාවේ කෑමොර දෙමින් ඉදිරියට ආ ඔවුන් දැන් නැවතත් සොයාගැනීමට නැත. පළාත් සභා ගණනාවක මැතිවරණ දැනටම බොහෝ පමා වී තිබේ. කාලය නිමාවීමට ඉතිරිව තිබෙන්නේ තවත් පළාත් සභා දෙකක් පමණි. ආණ්ඩුව සූක්ෂ්ම ලෙසින් කටයුතු කරන්නේ තවදුරටත් මැතිවරණය පමා කිරීමටය. අවසානයේදී නිසි කලට මැතිවරණය පවත්වන්නේ නැතිනම් සභාපති ධුරයෙන් අස්වන්නේ යැයි කියන තැනට පත්වන්නට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට සිදු වී තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කෑමොර දුන් ඊනියා සිවිල් සමාජයට මේ කිසිවක් පෙනෙන්නේ නැත. මේ ඔවුන්ගේ අපූරු ප්‍රජාතන්ත්‍රවාදයේ තරමය.

අද අපට දකින්නට ලැබෙන්නේ ලැබුණු බලතල බොහෝමයක් පසුකාලීනව අත්හළ ජනාධිපතිවරයෙකි. ශේෂ වූ බලතල පවා ඔහු පාවිච්චි කරන්නේ ජනතා විරෝධී නොවන ආකාරයටය. එහෙත් අවාසනාවකට පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි එක්සත් ජාතික පක්ෂය හවුල්කාර පක්ෂ සමඟ කරන්නට යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙළකි. එයින් නැවතත් උපදිනු ඇත්තේ දේශපාලන ගැටුමකි. එය ආණ්ඩුකරණ ක්‍රියාවලිය අඩාල කරමින් දේශපාලන අර්බුදයකට පාර කපනු ඇත. මෙයට ඇති එකම විසඳුම නව ජනවරමක් ලබාගැනීමය. ඒ සඳහා කළයුත්තේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමය. දැන් ජනවරම් මෙන්ම මැතිවරණ පොරොන්දු ද තිබෙන්නේ එකිනෙක පැටලිලාය. මේ නූල් බෝලය ලිහාගත හැක්කේ පොදු ජනතාව හමුවේ තම පාර්ශ්වයේ ප්‍රතිපත්ති ප්‍රකාශ තබා ඊට මනාපය ඉල්ලා සිටීමෙන්ම පමණි. 

සටහන - බිඟුන් මේනක ගමගේ