මේ රජයේ හතර වැනි අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සතියේය. රටේ ජනතාවගේ එච්චර අවධානයකට ලක්වුණේ නැති වුණත් මේ දවස්වල හැමදාම වාගේ  අය-වැය විවාදය පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන බව ද සත්‍යයක්ය. මේ  අතර අය-වැය දෙවන වර කියවීමේ ඡන්දය ගත්තේ මේ සතියේ අඟහරුවාදා රාත්‍රියේය. ඒ ඡන්දය විමසීමට  අනුව අය-වැයට පක්ෂව ඡන්ද 119 ලැබුණු අතර එයට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 76 පමණක් බව ද මෙහිදී අපගේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. මේ අය-වැයට ඡන්දය දෙමින් ආණ්ඩුව රැකගත්තේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් වුවත් අය-වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි ‘නොකරමින්’ ආණ්ඩුව රැකගත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ද ඇතුළත් 25 අධික පිරිසක්  සිටි බව සිහියට ගැනීමත් මෙහිදී ඉතාමත් වැදගත්ය.  ඡන්දයෙන් වැළකී සිටීමේ ඒ මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය තේරුම් ගත යුත්තේ ඒ අයගෙන් බහුතරය යනු වෙන කවුරුවත් නොව නුදුරු අනාගතයේදී ‘වෙන්ඩ යූඑන්පී’ ගමන් මඟේ කල්මරන කණ්ඩායමක් වශයෙන් හැඳින්වීම අසාධාරණ නොවේ.

 

නිල ශ්‍රීලනිපයේ අනාගතය වැටී ඇත්තේ මොනතරම් බරපතළ අගාධයකටදැයි තේරුම් ගැනීමට මේ ‘ඡන්දයෙන් වැළකී සිටීමේ’ දේශපාලනය දෙස බැලීම හොඳටම ප්‍රමාණවත්ය. මේ ආකාරයෙන් ඡන්දය දීමට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කල්මරන්නේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන තුරු පමණක් බව දැන් කාටත් හොඳින්ම පැහැදිලිය. ඡන්දයක් ප්‍රකාශයට පත් කළ විගස මේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්  පැදුරටත් නොකියාම එජාපයේ ආසන සංවිධායකයන් බවට පත්වෙන බව මේ කාරණයෙන් ඉතාමත් පැහැදිලිය. එසේ නොයාමේ ඉඩක් ඇත්තේ ඩිලාන්ලා වැනි අතර මැද සිටින (එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි යැයි සිතන) කිහිප දෙනකු පමණක් බව මගේ අදහසය. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් අර්බුදයට ගිය ශ්‍රීලනිපයේ කණ්ඩායම්වලට තමන් යා යුත්තේ කුමන පාරේද කියා තේරුම් ගැනීමේ ඉඩක් නොමැතිවීම නිසා ඇතිවී තිබෙන මේ තත්ත්වය මගින් යෝජනා කරන්නේ ශ්‍රීලනිප දේශපාලනයේ අවසානය දැයි කිව නොහැක.

අනෙක් අතට පසුගිය ආණ්ඩුව හදන්නට එජාපය සමඟ සන්ධානගතවී ඇමැතිකම් රැගෙන සිටි එහෙත් දැනට පොහොට්ටුවට පැමිණ ඇති ඇමැතිවරුන් කවුරුවත් කෙළින්ම ඊළඟ මැතිවරණයේදී එජාපයට යාමේ ඉඩක් දැනට නැති බවත් ඒ වගේම සැබෑවක්ය. ඒ හුඟක් අය එසේ එජාපයට නොයමින් පොහොට්ටුවේ රැඳී සිටින්නේ ආසන්න අනාගතයේ නැවත වරක්  එජාප ආණ්ඩුවක් නොහැදෙන බවක් දැනෙන නිසා  පමණක් නොව ‘හවුල් ආණ්ඩු කෙරුවාව’ නිසා යළිත් වරක් පාර්ලිමේන්තුවට යාමටවත් ඉඩක්වත් ශ්‍රීලනිපයේ රැඳී සිටීමෙන් නොලැබෙන බව හොඳින්ම දන්නා නිසාය. තමන්ගේ පැත්තෙන් සලකා බලන විට වඩාත්ම බුද්ධිමත් දේශපාලන තීරණය ගත්තේ ඒ කණ්ඩායමේ අය බව මගේ අදහසය. එකම පාර්ලිමේන්තු කාර්තුවක් තුළ පළමුවැනි වසර තුනහමාර ආණ්ඩුවේ ඇමැතිවරුන් වී එජාපයේ විවිධ තීන්දු තීරණවලට එකඟවීමත් ඒ පාර්ලිමේන්තු කාර්තුවේම අවසාන වසර එකහමාර විපක්ෂයේ මන්ත්‍රීවරුන් වී තමන් මුලින්  ගත් තීන්දු තීරණ විවේචනය කිරීමත් කරන  විට ‘යම් ආකාරයක විචිකිච්ඡාවක්’ ගොඩනැඟෙන  බව සත්‍යයක්ය. තවමත් ශ්‍රීලනිපයේ සිටින සමහර මන්ත්‍රීවරුන්ට නොහැකිවී ඇත්තේ ඒ විචිකිච්ඡාවෙන් ගැලවෙන ආකාරය සොයා ගැනීමටය. ඒ අය හිත හදාගෙන ඇත්තේ කෙළින්ම එජාපයට යාමට බව මේ ඡන්දය වැළකී සිටීමෙන් පෙන්නුම් කරන බව පෙනේ.

දැන් මේ ආණ්ඩුවේ අය-වැය ලේඛනය පුරාවටම මංගල ඇමැතිතුමා උත්සාහ ගත්තේ මෙය ආණ්ඩුවේ අවසාන අය-වැය නොව තනි එජාප ආණ්ඩුවක පළවැනි අය-වැය ලේඛනය බව කියන්නටය. එක පැත්තකින් ඒ ප්‍රකාශයත් පෙන්නුම් කරන්නේත් තවත් ආකාරයක නිර්භීතභාවයක්ය. ‘නැව ගිලුනත් බෑන් චූන්’ කියා සාමාන්‍ය ව්‍යවහාරයේ කථාවක් තිබේ. ඒ කථාවට පදනම වැටී ඇත්තේ  නැව් ගමනාගමනය කරන කාලයේ ඒ ඒ නැව්වල ගමන් කරන අයට සංගීතය සැපයීමේ ක්‍රියාදාමය සමඟ ගැට ගැසුණු කාරණයක් නිසාය. නැව් ගමනාගමනයට අනුව මේ සංගීත සැපයීමේ ක්‍රියාදාමය වෙනත් කිසිම හේතුවක් නිසා නැවැත්විය නොහැකි ක්‍රියාදාමයක් වී තිබූ බව පැරැන්නෝ දනිති.

 නැව මහ මුහුදට ගිලෙමින් තිබෙන වෙලාවක වුවත් සංගීතය සැපයීම නවත්වන්නේ නැති බවට ඇති පිළිගැනීමක් ඇත්තේ මේ නිසාය. ටයිටැනික් නැවේ කථාව ඇතුළත් චිත්‍රපටිය බැලූ අයට මේ කාරණය තරමක් පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. නැව ගිලෙමින් තිබෙද්දීත් වාදකයන් කරන්නේ එහෙම දෙයක් නොදන්නවා සේ සිටිමින් තමන් කරමින් සිටින සංගීතය වාදනය කිරීමය. දැන් මේ අය-වැය ඉදිරිපත් කිරීම හරහා මංගල ඇමැතිතුමා කරන්නේත් නැව ගිලෙද්දී ඒ බව දන්නේ නැති ගානට සංගීතය වාදනය කිරීමය. මේ වර්ෂය ඇතුළත පාලන බලය වෙනස් විය හැකි ආකාරයේ මැතිවරණයක් පවත්වනවා යන කාරණය අප හැමෝම පමණක් නොව මුදල් ඇමැතිතුමාද හොඳින්ම දන්නා කාරණයක් බව සැබෑවක්ය. එහෙත් අය-වැය ලේඛනය ඉදිරිපත් කරමින් ආණ්ඩුව කියන්නට හදන්නේ එවැනි කිසිම වෙනස්වීමක් ‘මේ කපේ’ වෙන්නේ නැති බවය. කථාවෙන් එසේ වූවාට මෙවර අය-වැය ලේඛනයෙන් ලබා දෙන්නට පොරොන්දු වන දේවල් දෙස බැලූ විට පෙනී යන්නේ මේ වර්ෂයේ අය-වැය යෝජනා යනු දිගටම ඉන්න ආණ්ඩුවක් ඉදිරිපත් කරන දේවල් නොව පරාජයක සෙවණැලි මැද අමාරුවෙන් අල්ලාගෙන සිටීමට වැර දරන ආණ්ඩුවක් දරන උත්සාහයක් බවයි. 

මෙවර අය-වැයේ අලුතින් එක්කර ඇති දෙයක් ලෙසින් පෙනෙන්නේ විවිධ වර්ගයේ  වචන යොදාගනිමින් සිදුකරන අලුත් ව්‍යාපෘති යෝජනා කිරීමයි. අය-වැය කථාවේ තිබූ ඒ හරබර වචන මාලාව මිස එතැනින් එහාට ශක්තිමත් හා ප්‍රායෝගික උපායමාර්ගික ඉදිරිපත් කිරීමක් නොතිබූ බව බොහෝ අයගේ තේරුම් ගැනීමය. විවිධ අාකාරයේ නම්වලින් දමා ගැසීම හෙවත් name-dropping කියා කියන්නේ දාර්ශනික අර්ථයෙන් ‘යම් වැඩකින් පළා යන්නට හොයාගන්නා’ අවර ගනයේ උපක්‍රමයක්ය. ගම්පෙරළිය තිරසර නගර සිහින මාළිගා වැනි වචන දමමින් කරන්නේ මේ වැඩේ බව ඉතාමත් පැහැදිලිය. අය-වැය විවාදයේදී එක් විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබුණේ සිහින මාළිගා කියා මේ මුළු අයවැයටම නමක් දැමිය හැකි බවයි. අය-වැයේ එක කොටසකින්  තවත් කොටසකට යනවිට අලුතින් සංකල්පයක් හඳුන්වා දීම හැර වෙනත් දෙයක් මේ යෝජනා මාලාව හරහා ඉදිරිපත් වෙන්නේ නැති ගානය.

මේ රජය මුලින් කීවේ ශ්‍රීලනිපයේ ද ප්‍රතිපත්ති එකතු කර ගනිමින් සමගි සන්ධාන ආණ්ඩුවක් හදන බවය. එහෙත් ඒ ආකාරයෙන් තමන් හඳුන්වා ගත්තත් මේ ආණ්ඩුවේ  තිබූ ආර්ථික පදනම හා එය ඉදිරියට ගිය ගමන් මාර්ගය වූයේ තනිකරම වර්තමාන එජාපයේ ආර්ථික දර්ශනය වන නව ලිබරල්වාදී ආර්ථික මූලෝපායන් මත පදනම් වෙමින් බව ඉතාමත් පැහැදිලි කාරණයක් විය. එහි තිබූ එකම නොපැදිලිභාවය වූයේ ශ්‍රීලනිපයෙන් පැමිණ ආණ්ඩුවේ සිටි සමහර ඇමැතිවරුන්ට මේ කාරණය නොතේරීම  මිස වෙන යමක් නොවේ.
මේ නව ලිබරල් ධනවාදයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ රාජ්‍යය මගින් පවත්වාගෙන එන සුබසාධන හා මැදිහත්වීම් හැකි පමණට කඩා බිඳ දමමින් සමාජයේ පෙර ගමන්කරුවා ලෙසින් වෙළදපොළට කැමැති පරිදි වර්ධනය වෙන්නට ඉඩදීමය. වෙළෙඳපොළ තරගකාරිත්වය වුවත් එතෙක් තිබූ නිෂ්පාදන ආර්ථික මොඩලයෙන් එළියට ගනිමින් හුදු සේවා ආර්ථිකයක් වෙතට ලඝු කිරීම ඒ ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය විය. එසේ  යෝජනා කරමින් පැමිණ මේ ක්‍රමයට  මේ වන විට ශක්තිමත් සේවා ආර්ථිකයක්වත් ගොඩ නඟා ගැනීමට හැකිවී නැති බව අප හැමෝම දන්නා කාරණයක්ය. දැන් ගොඩ නැඟී ඇත්තේ හුදු උපදේශන සේවා (consultancy) ආර්ථිකයක් වැනි සරලම තත්ත්වයක් මිස වෙන දෙයක් නොවන  බව මේ වන විට හොඳටම පැහැදිලි වී තිබේ. ඒ උපදේශන සේවා ආර්ථිකයවත් කරගෙන යාමට මෙරට වෘත්තිකයින්ට ශක්තියක් නැතැයි ආණ්ඩුව කල්පනා කරන බව පේන්නේ ඒ  සඳහා සිංගප්පූරුවේ හා ඉන්දියාවේ විශේෂඥයන් ගෙනෙන්නට ගිවිසුම් ගහන්නට යන නිසාය. ඉට්කා ගිවිසුම සහ සිංගප්පූරු ගිවිසුම ගෙනාවේ මේ සඳහා බව බොහෝ විද්වතුන්ගේ මතයයි. 

අනෙක් අතට මෙවර අය-වැයේ මුදල් යෙදවීම් පිළිබඳව ඇති කථා මගින් උත්සාහ ගන්නේ වසර හතරකට පසුවත් එකම බොරුව එකම ආකාරයෙන් කියන්නටය. බස්නාහිර නගර ගොඩ නැඟීම පිළිබඳ අමාත්‍යාංශයක් හැදුවාට ඒ සඳහා වූ ආයතනයවත් ආණ්ඩුව හැදුවේ නැති බව ඒ විෂය භාර ඇමැතිතුමාම පුවත්පතකට කියා තිබුණේ ඒ සතියේය. රැකියා ලක්ෂ ගණනින් ගොඩ නඟන බව මේ වසරේ අය-වැයෙන් කීවේ සාර්ථක හතරවැනි වතාවටය. අපනයන කලාප හා අගය වැඩි කළ නිෂ්පාදන සඳහා වූ ජාත්‍යන්තර කර්මාන්තපුර වැනි වචන දැන් හැමදාම ඇසෙන ගානට වර්ධනය වී ඇත. ඒ වචන මාලාව මෙවර අය-වැයේද අපූරුවට යොදා තිබූ බව හැමෝම දන්නා කාරණයක්ය. සුන්දර වචනවලින් මේ සියල්ලම කීවත් ඉදිකළ කර්මාන්ත ශාලාවක් හෝ ගොඩ නැඟූ නගරයක් මේ මහ පොළවේ දකින්නට හැකියාවක් නම් නැති බවත් හැමෝම දන්නා කාරණයක්ය. අය-වැය විවාදයේ එක් මන්ත්‍රීවරයකු කියූ පරිදි මේ අය-වැයම පමණක් නොව ආණ්ඩුවම යනු එක්තරා ආකාරයක සිහින මාළිගාවක් මිස සැබෑ ලෝකයේ කිසිවක් සිදු කළ එකක් නොවන බව මේ වනවිට ඉතාමත් පැහැදිලිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්