IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සංචාරකයන්ගෙන් ආදායමක් ලැබෙනවාද

සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයෙහි ප්‍රධාන ඉපැයීම් මාර්ගයක් ලෙස හඳුනාගෙන එය ප්‍රවර්ධනය කිරීමට අදාළ විවිධ වැඩසටහන් රැසක් ඉකුත් කාලයේදී ක්‍රියාත්මක කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම තත්ත්වය පදනම් කරගෙන සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් විවිධ තාලයේ මතිමතාන්තරද ගොඩනැගුණි. සංචාරක කර්මාන්තය පවත්වාගෙන යා යුතු ආකාරය ගැනත් එමගින් ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබඳවත් වන සාකච්ඡාව ඒ පසුබිමේ වේගයෙන් ඉස්මතුවීමද සිදුවිය. මෙවර විද්වත් හමුව විශේෂාංගය වෙන්වන්නේ එම කරුණු කාරණා සාකච්ඡා කිරිමට වන අතර ඒ සඳහා මතවාදී දායකත්වය සැපයීමට ඉදිරිපත් වූයේ ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතාය.

 

ප්‍රශ්නය : පසුගිය දශකයක කාලයේදී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට සංචාරක කර්මාන්තය පත් කර ගන්න ආකාරයක් අපි දැක්කා. ඒ සඳහා විවිධ වැඩපිළිවෙළවල් පවා දියත්වුණා. මේ අංශයෙන් රටට සාර්ථක ප්‍රතිලාභ අත්කර ගන්න හැකිවූ බවත් ප්‍රකාශ වුණා. මේ කාරණා ගැන ඔබේ විග්‍රහය කෙබඳුද?
පිළිතුර :
2009 න් පස්සේ රටේ ඇතිවුණු සාමකාමී වාතාවරණයත් එක්ක අපේ රටේ සංචාරක කර්මාන්තයේ පැහැදිලි වර්ධනයක් ඇති වුණා කියලා කියන්න පුළුවන්. සංචාරක කර්මාන්තයට වගේම ඒ කර්මාන්තයෙහි රැකියාවල නියැළෙන්නන් සඳහා නොයෙකුත් පහසුකම් ලබාදීම හරහා පැවති රජය උත්සාහ කළේ ඇතිවුණු සාමකාමී වාතාවරණයත් එක්ක සංචාරක කර්මාන්තය දියුණු කරලා ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබාගන්නයි. 


ප්‍රශ්නය : ආර්ථිකයේ සේවා අංශයට අදාළව මේ කර්මාන්තයෙන් විශාල දායකත්වයක් ලබාගන්න පුළුවන් වුණා කියලා ඔබ හිතනවද? 
පිළිතුර :
සංචාරක ව්‍යාපාරය කියන්නෙත් සේවාවන් මූලික කරගත් කර්මාන්තයක්. එහි මූලිකාංග වෙන්නෙත් මේ සේවාවම තමයි. සංචාරකයන්ට සපයන ආහාරපානවල ඉඳලා සංචාරක ආකර්ෂන ස්ථාන නැරඹීම දක්වාම තියෙන්නෙ විවිධ වූ සේවාවන්. ඒවත් එක්ක තමයි අපි කතාකරන  ආර්ථිකමය වාසි  එන්නේ. 


ප්‍රශ්නය : සංචාරක කර්මාන්තයේ දියුණුව පැත්තෙන් කතා කළොත් මේ කර්මාන්තයට අදාළව ලෝක මට්ටමින් ඇතිවෙලා තියෙන නව වර්ධනයන් අපේ රටේ ප්‍රතිස්ථාපිත වෙලා තියෙනවද?
පිළිතුර :
ඒ පැත්තෙන් කතා කරන කොට දැනෙන්නෙ කනගාටුවක්. ඒකට කාරණා කීපයක් බලපානවා. එකක් තමයි අපේ රටේ තියෙන ආර්ථිකය. ලෝකයේ වෙනත් රටවල් සංචාරක කර්මාන්තයෙන් ඉපයීම් සඳහා විදේශ ආයෝජකයො ගෙන්වනවා. නමුත් අපේ රටේ ඒක හරියට වෙන්නෙ නෑ. දෙවැනි කාරණය තමයි ලංකාවේ සංචාරක කර්මාන්තයෙ තියෙන ප්‍රමුඛතා මොනවද කියලා රජය තවම හඳුනාගෙන නෑ. නමුත් ලෝකයේ වෙන රටවල් ගත්තොත් සංචාරකයන්ට විකුණන්න පුළුවන් දේවල් මොනවද කියලා ඒ රටවල් තෝරාගෙන තියෙනවා. නමුත් අපි තවම තෝරාගෙන නෑ ලෝකෙට මොනවද දෙන්න පුළුවන් කියලා. ඒක තමයි මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය. 


ප්‍රශ්නය : අපේ රටේ සංචාරක කර්මාන්තයෙ උන්නතිය වෙනුවෙන් ඇති කළ අමාත්‍යාංශයක් වගේම තවත් ආයතන තියෙනවා. මේවා හරහා මේ කර්මාන්තය ඉහළට ඔසොවා තැබීමට නම් රාජ්‍ය මැදිහත්වීම මොන විදියට සිදුවිය යුතුයි කියලද ඔබ කල්පනා කරන්නේ.
පිළිතුර :
මේ ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි ලංකාවේ කුමන රජයක් බලයේ සිටියද සංචාරක කර්මාන්තය පරිපාලනය විය යුත්තේ මේ මේ ප්‍රතිපත්ති අනුවය යනුවෙන් නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ඇති කළ යුතුයි කියන එක. ලංකාවේ එහෙම රාජ්‍ය ප්‍රතිපත්තියක් නෑ. බලයට පත්වෙන රජයක් තම තමන්ගේ ප්‍රතිපත්ති අනුව තමයි මේ කර්මාන්තය හසුරුවන්නේ. 


ප්‍රශ්නය : සංචාරක කර්මාන්තයට ලක්වෙන  ස්ථාන හැටියට නම් දරා ඇති සමහර ස්ථානවල අඩු පහසුකම් සම්බන්ධයෙන් මෙන්ම ඒවා නිසි පරිදි ප්‍රවර්ධනය නොකිරීම ගැනත් මැසිවිලි නැගෙනවා. මේ තත්ත්වය කර්මාන්තය වර්ධනයට මොන විදියෙ බලපෑමක්ද ඇතිකරන්නේ. 
පිළිතුර :
ලංකාවේ සංචාරක ආකර්ෂනයට  ලක්වෙන ඉතා වැදගත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන තියෙනවා. ඒ නිසා අතිවිශාල ධනස්කන්ධයක් වියදම්කරලා අලුත් සංචාරක ආකර්ෂණ ඉදිකිරීමේ අවශ්‍යතාවක් අපේ රටට නෑ. සීගිරිය ගත්තොත් ඒකට ඓතිහාසික වටිනාකමක් තියෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමකුත් ඒකට තියෙනවා. සීිගිරියට තියෙන මේ වටිනාකම වෙන නිර්මාණයක් කරලා ගන්න බෑ. මේ වගේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන අනුරාධපුරයෙත් පොළොන්නරුවෙත් තියෙනවා. ඒ නිසා අපි කළ යුත්තෙ මේ ස්ථාන ප්‍රමෝට් කරන එක. අනිත් දේ තමයි ඒ වගේ ස්ථාන නැරඹීමට එන අයට පහසුකම් සැපයීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ වෙනකොට ලංකාවේ වැඩිම ආදායම් උපයන සංස්කෘතික මධ්‍යස්ථානය බවට පත්වෙලා තියෙන්නේ සීගිරිය. පසුගිය දවසක මම දැක්කා සීගිරිය බලන්න ආපු සංචාරකයො පිරිසක් තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකර ගන්න පහසුකම් නෑ කියලා කරලා තිබුණු ප්‍රකාශයක්. එතැනම රජය පැත්තෙන් ලොකු වැරැද්දක් තියෙනවනෙ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න රජය විසඳන්න ඕනෑ. අනික් කාරණය තමයි ලංකාවේ තියෙන සංස්කෘතික ස්ථාන ප්‍රවර්ධනය කරන්න අපිට අමුතුවෙන් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙන්නෙ නෑ. මොකද මිනිස්සු වැඩිපුරම බලන්න එන්නේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සහිත ස්ථාන නිසා. මේ කාරණා තුන ඇතුළත් සංචාරක ස්ථාන සැලකෙන්නෙ වටිනාකමක්, මිලක් නියම කළ නොහැකි ස්ථාන හැටියට. ලංකාවේ තියෙන ඒ වගේ මිල කළ නොහැකි ස්ථානවලට නියම සාධාරණත්වයක් ඒවා පාරිපාලනය කිරීමට තියෙන ආයතනවලින් හරි කිසිදු රජයකින් හරි ලැබෙන බවක් පේන්න නෑ. එතන තමයි තියෙන ලොකු ගැටලුව. ඒ වගේ ස්ථානවලින් උපයන ආදායමෙන් යම් කොටසක් වැය කරලා එම ස්ථාන නැරඹීමට එන සංචාරකයන්ට අවශ්‍ය මූලික පහසුකම් සලසනවා නම් මේ දේවල් මීට වඩා හොඳට කරන්න පුළුවන්. 


ප්‍රශ්නය : සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දී සංචාරකයන්ගෙ ආරක්ෂාව සම්බන්ධව කාරණය වැදගත් වෙන්නෙ කොහොමද? විශේෂයෙන්ම පසුගිය කාලයේදී ලංකාවට පැමිණි සමහර සංචාරක කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවූ විවිධ අතවර හිරිහැර ගැන තොරතුරු වාර්තා  වුණා. මේ වගේ සිදුවීම් මේ කර්මාන්තයට මොන විදියෙ බලපෑමක්ද එල්ල කරන්නේ?
පිළිතුර :
සංචාරක කර්මාන්තය ගත්තහම ලෝකයේ සෑම රටකම ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. මේවා අපිට නවත්වන්න බෑ. සමාජයේ මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය කරන්න අපිට බැහැනේ. ඒ කියන්නේ පාරිශුද්ධ සමාජයක් ගොඩනගන්න අපි කාටවත් බෑ. එහෙම නම් කළයුත්තේ විධිමත් නීති රීති පද්ධතියක් තුළ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන එක. මේ මෑතකදී චීනයේ පවත්වපු ඔලිම්පික් උළෙලකදී චීනයේ මිනිසුන්ව දැනුවත් කරන වැඩපිළිවෙළක් ඒ රටේ බලධාරීන් පැවැත්වූවා. ඒ කියන්නේ චීනයට එන සංචාරකයන්ට සැලකිය යුතු ආකාරය ගැන අවුරුද්දක් පුරා ටීවී චැනල් මගින් ජනතාව දැනුවත් කළා. එහෙම කරලා තමයි ඔලිම්පික් උළෙල තිබ්බේ. ඒක ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් වැඩපිළිවෙළක් වුණා. මේ නිසා රටට එන සංචාරකයන්ට සැලකිය යුතු ආකාරය ගැන රටේ ජනතාවට අවබෝධයක් ලබාදීමේදී මාධ්‍යයට විශාල වගකීමක් පැවරෙනවා. නමුත් ලංකාවේ වෙන්නෙ සංචාරකයකුට මොකක් හරි දෙයක් වුණහම ඒක නිතරම මාධ්‍ය මගින් පෙන්වන එක විතරයි. ඒක ලංකාවට වගේම සංචාරක කර්මාන්තයටත් හොඳ නෑ. මොකද ඒවයෙන් ලංකාව ගැන නරක පින්තූරයක් ජාත්‍යන්තරයට යන නිසා. 


ප්‍රශ්නය : සංචාරක කර්මාන්තයට අදාළව පසුගිය කාලයේදී දේශපාලන ක්ෂේත්‍රයේදී ඇතැම් විට උපහාසාත්මකව ප්‍රකාශ වූ කාරණයක් වුණේ රටට වැඩිපුර එන්නේ ‘දුප්පත් සංචාරකයො’ කියන කාරණය. ඔබ මේ තත්ත්වය හඳුනා ගන්නෙ කොහොමද? 
පිළිතුර :
මේ තත්ත්වය ලෝකෙම තියෙනවා. එහෙම සංචාරකයො  ඉන්නවා. ඒ අය කරන්නෙ කිසිම ආයතනයක් මැදිහත් කර නොගෙන ස්වාධීනව රටවලට ගිහින් ඉතාම අඩු මුදලක් වියදම් කරලා ඒ රටවල සංචාරය කරන එක. සංචාරක කර්මාන්තයෙ අරමුණත් ඕකමනේ. සංචාරක කර්මාන්තය කර්මාන්තයක් විදියට පටන් ගනිද්දීම ඔය බෙදීම ඇති වෙනවනේ. ඒ කියන්නේ හොඳට සල්ලි තියෙන අයට හොඳ පැකේජයකුත් ඊට වඩා අඩුවෙන් සල්ලි තියෙන අයට ගැළපෙන පැකේජයකුත් අරගෙන සංචාරය කරන්න තියෙන හැකියාවන්. අනිත් එක තමයි ලංකාවේ මිනිස්සු හිතන්නේ සංචාරකයෙක් කියන්නේ සුදු හමක් තියෙන පිටරටක ඉඳලා ඇවිත් ලංකාවේ ඇවිදින ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි කියලා. ඒක වැරැදියි. ලංකාවේ මිනිස්සුත් රටේ කොහෙ හරි තැනක් බලන්න යනවා නම් ඔවුනුත් සංචාරකයෝ. ඒ දේශීය සංචාරකයො ප්‍රවර්ධනය කරන්න අපිට කිසිම වැඩපිළිවෙළක් නැහැ. අපි ඒ අය ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. මොකද විදේශීය සංචාරකයන්ගෙන් වගේම දේශීය සංචාරකයන්ගෙනුත් අපිට ආදායමක් ලැබෙන නිසා. 


ප්‍රශ්නය : සංචාරක කර්මාන්තයෙ ප්‍රවර්ධනය ගැන කෙරෙන කතාබහකදී ඊට ප්‍රතිවිරුද්ධ අන්තයෙන් ප්‍රකාශ වෙන කාරණයක් තමයි දේශීය සංස්කෘතිය, හර පද්ධතීන් එමගින් තර්ජනයට ලක්වෙනවා කියන එක. කැසිනෝ ශාලා ගෙන ඒමට දැරූ උත්සාහයේදී වගේම මූල්‍ය නගර ව්‍යාපෘතියට අදාළ සාකච්ඡාවෙදිත් මේ සංස්කෘතික කාරණය ඉස්මතු වුණා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමේදී රජයක් විසින් මේ සංස්කෘතික සාධකය කළමනාකරණය කරගත යුත්තෙ කෙසේද? 
පිලිතුර :
කර්මාන්තයක් දිහා බලන කෝණයකින් බලද්දී මම ඒ දේවල්වල වැරැද්දක් දකින්නෙ නෑ. මෙතන තියෙන්නේ ඒ දේවල් එපා කියන කාරණය නොවෙයි. ඒ දේවල් එපා කියන කණ්ඩායම්වල තියෙන්නෙ දේශපාලන අරමුණු. ලංකාවට එන ආර්ථිකමය වාසි ගැන අදහසක් එතන නෑ. ඒ කොහොම වුණත් අපේ රටවල් සංස්කෘතික රටවල් නිසා ඒ දේවල් (කැසිනෝ) රටට ගෙනා යුත්තෙ අපේ රටේ සංස්කෘතියට ගැළපෙන විදියටයි. ඒ සඳහා අවශ්‍ය අවබෝධතා ගිවිසුම්වලට එළඹෙමිනුයි මේ කටයුතු කළ යුත්තේ. වෙන විදියකට කියනවා නම් කැසිනෝ වැනි ව්‍යාපෘති ලංකාවට ගේන අයෝජකයො අපේ ප්‍රතිපත්ති රාමුවට අනුගත කර ගනිමින් තමයි ඒවා කරන්න ඕනෑ. නමුත් අපේ රටේ වෙන්නෙ ආයෝජකයො තමන්ගෙ රාමුවට අනුව ඒ දේවල් රටට ගේන එක. ඒක වැරැදියි. 
අනිත් කාරණය තමයි සංචාරක කර්මාන්තය දියුණු කරනවා නම් ඒ දේවල් රටේ තිබිය යුතුයි. මොකද ලංකාවට එන හැමෝම සංචාරකයො එන්නේ සීගිරිය හරි, අනුරාධපුරය හරි, වෙන ඒ වගේ ඓතිහාසික ස්ථාන හරි බලන්නම නොවෙයි. ලෝකයෙ සංචාරකයො විවිධයි. සංචාරක කර්මාන්තය තියන්නෙත් ඒ විවිධත්වය තමයි. කර්මාන්තය දියුණු කරන්න නම් සංචාරකයො තෘප්තිමත් කරන්න ඕනෑ. අනිත් පැත්තෙන් රටක් විදියට අපි දැනගන්න ඕනෑ. අපේ සංස්කෘතිය හර පද්ධතීන් ආරක්ෂා කර ගන්න ඒක වෙනම කාරණයක්. ඒ සඳහා අපි වෙනම ප්‍රතිපත්ති හදලා සමාජයේ ආකල්ප  සංවර්ධනය කරන්න වෙනම කාර්යභාරයක් කරන්න ඕනෑ. 


ප්‍රශ්නය : පසුගිය යුද ගැටුම් පැවැති අවධියේදී ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට ඒ රටවල වැසියන්ට අනතුරු  ඇඟවීම් පවා කළා. නමුත් දැන් රටේ යුද්ධය නිමාවී අර්ථවත් සාමයක් කරා පියවර තබන ගමනේ වසර අටක් පසුකරලා තියෙනවා. උදාවෙලා තිබෙන මේ සාමකාමී වාතාවරණය මේ කාර්මාන්තයේ ප්‍රගමනය සඳහා යොදාගැනීමට නම් මේ රජය හෝ මතුවට පත්වෙන රජයක් හෝ ඒ අවස්ථාව කෙසේ පාවිච්චි කළ යුතුයි කියලද ඔබ හිතන්නේ. 
පිළිතුර :
ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා උපදෙස් දෙන විශේෂඥයන්ට නොපෙනෙන දෙයක් අපිට පෙනෙනවා. ඒක තමයි යුද්ධයක් තිබිලා ඒක ඉවර වුණොත් ඒ සාධකය සංචාරක ආකර්ෂණයක් බවට පත් කරගන්න පුළුවන්නෙ. යුද්දෙ ඉවර වෙලා මාස කීපයක් ඇතුළත දකුණේ මිනිස්සු ලක්ෂ ගණනින් යාපනේ සංචාරය කළා. අපි ඒ තත්ත්වයට කියනවා පශ්චාත් යුද සංචරණය කියලා. මම කියන්නේ යුද්ධ කාලෙ තිබූු බංකර ඇතුළු යුද ස්මාරක ඒ විදියටම තියන්න ඕනෑ. එතනදී ජාතිකත්වය පිලිබඳ ගැටලුවක් මතු වෙන්නෙ නෑ. මොකද ජාතිකත්වය කියන්නේ දේශපාලනමය කාරණයක් නේ. එහෙම යුද ස්මාරක තිබුණහම දේශීය, විදේශීය සංචාරකයො ඒ ප්‍රදේශවල සංචාරය කරන්න යනවා. ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට ඒ මගින් ආදායම් මාර්ග උපය ගන්න පුළුවන්. නමුත් අද වෙනකොට ප්‍රතිසන්ධානයට බාධාවක් බව කියමින් ඒ යුද ස්මාරක විනාශ කරලා තියෙනවා. ඒක අනුවණ ක්‍රියාවක්.  යුද්ධෙන් පස්සෙ අපිට උදාවුණු ස්වර්ණමය අවස්ථා රාශියක් අපි විනාශ කරගෙන තියෙනවා. යුද්දෙ ඉවර වුණු සාධක ටික ඒ විදියටම තිබුණා නම් සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වෙනවා වගේම හොඳ සිනමා කර්මාන්තයකුත් ඒ ආශ්‍රිතව ගොඩනගා ගන්න පුළුවන්කම තිබුණා. පර්යේෂකයෝ ගෙන්න ගන්න තිබුණා. 


අනිත් කාරණය තමයි ලංකාව මේ වනවිට සාමකාමී රටක් වුණත් ඒ සාමකාමී බව ලෝකෙට ප්‍රචාරය කිරීම සම්බන්ධ ගැටලුවක් රජයට තියෙනවා. අදත් දෙමළ වයස්පෝරාව තමයි ලෝකය පුරා තමන්ගෙ හඩ පතුරුවන්නෙ. එයාලා කියන්නෙ නෑනෙ ලංකාව සාමකාමියි කියලා. මේ නිසා ලංකාව තවදුරටත් වාර්ගික අර්බුදයක් නැති බවට වන පණිවුඩය ලෝකය පුරා ප්‍රචලිත කිරීමේ වගකීම, පත්වෙන සෑම රජයකටම තියෙනවා.

සාකච්ඡා කළේ : උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

සංචාරකයන්ගෙන් ආදායමක් ලැබෙනවාද

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3005 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 22 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site