IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විසඳුමක් නැතිව යළිත් ඇවිළෙන

මීට වසර කීපයකට පෙර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූවේය. එහි අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රමිතිගත නොවන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය විය. එසේම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි සංගම්, ඔවුනගේ මව්පිය සංගම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෘත්තීය සමිති බොහොමයක් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධව නැගී සිටියහ. එවන්වූ තත්ත්වයක් මත නෛතිකමය ගැටලු රාශියක් මතුවූ අතර සයිටම් අහෝසි කිරීම පිළිබඳ මතවාදයට රජයට මැදිහත් වීමට සිදුවිය. ඒ අනුව සයිටම් අහෝසි කිරීම, දැනට සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණය ඉටු කිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම වැනි තීන්දු තීරණ රාශියක් ගැනිණ. 

 
එහෙත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරන ආකාරයට වත්මන් තත්ත්වය වන්නේ සයිටම් ආයතනය ස්ලිට් ආයතනයට පවරා දී නැවත එයම ක්‍රියාත්මක කරවීම සිදු කරන බවයි. එමෙන්ම රජය සයිටම් ආයතනයේ අධ්‍යාපනලාභීන් ඉත්තන් කරගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ මුල්ගල තැබීමට කටයුතු කරන බව තවත් අදහසකි. එවන් වූ වාතාවරණයක දී සයිටම් විරෝධී පිරිස් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යාමටත් ආණ්ඩු විරෝධී අරගලයක නිරතවීමටත් සැරැසෙන බව පෙනී යයි.   


එබැවින් සැබැවින්ම සයිටම් අහෝසි කරනවාද? නැතිනම් එය වෙනත් නමකින් ක්‍රියාත්මක කරනවාද? සයිටම් දරුවන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද? නිදහස් අධ්‍යාපනයට කණ කොකා හඬයි ද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ආණ්ඩුවේ පරමාර්ථය යන ගැටලුවලට විවිධ පාර්ශ්ව දැක්වූ අදහස් මෙසේ පෙළ ගස්වමු.

 

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය වෙනුවෙන්...

 

වෛද්‍ය නලින්ද හේරත් 
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ
සහකාර ලේකම්   


සයිටම් ආයතනය දෙදාස් අට දෙදාස් නමය (2008/2009) කාලයේදී ආරම්භ වුණේ. ඒ වනවිට දැනට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිව සිටිනා අනුරුද්ධ පාදෙණිය මහතා ලංකාවේ සිටියේ නෑ. 2011 වසරේ තමයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අපගේ අතට පත්වුණේ. ඒ කාලය වනවිට සයිටම් ආයතනයේ ශිෂ්‍ය කණ්ඩායම් හතරක් පහක් සිටියා. 


සයිටම් ආයතනයට වෛද්‍ය සභාවේ අනුමැතිය නොලැබී තිබුණත් එවකට සිටි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා එය නීතිගත කිරීමට බොහෝ වෙහෙසුණා. ඒ කාලයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ප්‍රධාන කාර්ය වූයේ සයිටම් පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් කර වාර්තාවක් සැකසීම. එය තමයි අදටත් අපිට දක්නට ලැබෙන මාලබේ වෛද්‍ය පීඨය පිළිබඳ ඇති මුල්ම වාර්තාව. ඒ වාර්තාව එළියට එනවාත් සමඟම සයිටම් ආයතනය හා එවකට අධ්‍යාපන අැමැතිව සිටි එස්. බී. දිසානායක මහතා බොහෝ කළබලයට පත් වුණා. රාජ්‍ය මාධ්‍යය භාවිත කරමින් අපිට දිගින් දිගටම අපහාස කළා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිට සාවද්‍ය චෝදනා කරමින් ඔහුගේ ලිපි ගොනුව අල්ලස් කොමිසමට අරගෙන ගියා. ඒත් ඔවුන්ට ඒ කිසිවක් නීති විරෝධී ලෙස ඔප්පු කර ගන්න බැරි වුණා. ඒ හැම දේම කළේ අපි සයිටම්වලට විරුද්ධ වූ නිසා. ඒ නිසා මේ ආණ්ඩු කාලේ වගේම පසුගිය ආණ්ඩුව කාලෙත් අපි සයිටම් විරෝධිව කටයුතු කළ බව පිළිගත යුත්තක්. අදටත් අපි ඒ සටන අත්ඇරලා නෑ.   


එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපගේ ප්‍රතිපත්තින් පිළිබඳ ධනාත්මකව කටයුතු කළා. අද කුමන ප්‍රතිපත්තිවල සිටියත් එදා එතුමා සයිටම් පිළිබඳව ඍජු ස්ථාවරත්වයක් දැරුවා. ඒ නිසා අපේ ඉල්ලීම පරිදි පංච පුද්ගල කමිටුවක් පත් කළා. ඉන් සයිටම් ආයතනයේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ඌන බව පැහැදිළිව ඔප්පු වුණා. ඒ පිළිබඳව වාර්තාවක් සැකසුණේ ඒ නිසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය දරුවන් සයිටම් අධ්‍යාපනයට යොමු නොකරන්න කියලා දැන්වීම් දැම්මේ ඒ වාර්තාවට අනුවයි. ඒ නිසා එදා අපිට සෞඛ්‍ය අමාත්‍යංශයත් සමඟ ගැටීමක් තිබුණේ නෑ. එදා සිටි සෞඛ්‍ය ඇමැතිවරයා වෛද්‍ය සභාවට අනිසි බලපෑම් කරලත් නෑ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශයත් සමඟ සටන් නොකර බුද්ධිමත්ව කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා.   


ඒත් 2015 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශය රාජිත සේනාරත්න මහත්මයාට ලැබුණා. ඉන් පෙර තිබූ සියලු තත්ත්වයන් කණපිට පෙරළුණා. මේ කාලසීමාවේ සයිටම් ශිෂ්‍යාවක් කොළඹ අධිකරණයේ නඩුවක් ගොනු කළා. ඉන් ඉල්ලා සිටියේ “සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබාදෙන්න” කියලා. මේ නඩුවට රජයේ නිලධාරින්ගේ සංගමය මැදිහත්වීමට යනකොට විත්තිකාර රාජිත සේනාරත්න අමාත්‍යවරයාත් සයිටම් ශිෂ්‍යයනුත් එකඟතාවකට ඇවිල්ලා තිබුණා. ඒ රජයේ රෝහල් පුහුණුව ඔවුන්ට ලබාදීමට. අවිස්සාවේල්ල ​ෙරා්හල ඒ අයට පාවිච්චි කරන්න ලැබුණේ ඒ ආකාරයට. සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඒ පක්ෂග්‍රාහි හැසිරීම නිසයි අපට සටන් කිරීමට සිදුවූයේ. ඒ අනුව අවිස්සාවේල්ලෙන් උද්ඝෝෂණය ආරම්භ කර කුරුණෑගල, හම්බන්තොට, වව්නියාව, මඩකලපුව ආදි රට පුරා උද්ඝෝෂණ සිදුකළා.   


ඉන් වසර දෙකක් තුළ සයිටම් රටේ ප්‍රධාන මාතෘකාවක් වුණා. මෙය දවසකින් දෙකකින් සිදුවූ දෙයක් නෙවෙයි. පසුගිය රජය කාලේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු වෙනස් වුණා. ඒත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සයිටම් විරෝධී අරගලයට නායකත්වය දී පාරේ සටන් පටන් ගන්නවාත් එක්කම ශිෂ්‍ය ප්‍රජාව එකතු වුණා. ඒ වගේම රජයේ වෛද්‍ය පීඨවල දරුවන්ගේ මාපියෝ මේකට එකතු වුණා. විවිධ දේශපාලන පක්ෂ එකතු වුණා. කවදාවත් එකට වාඩි වුණේ නැති එදිරිවාදි මතවාද දැරූ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය එකම වේදිකාවකට ආවා. මේ සියලු දෙනාගේ පසු හැසිරීම් පිළිබඳ විවිධ මතවාද තිබුණත් අවසානයේ සියලු දෙනා එකතුවී සටන සාර්ථක කර ගත්තා.   


ඒ වගේම 2017 ජනවාරි 31 නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා. ඒ කොළඹ අභියාචනාධිකරණයේදී. ඒ සයිටම් ශිෂ්‍යාවකගේ ඉල්ලීමකට අනුව. එහි සඳහන් වූයේ සයිටම් ආයතනයෙන් උපාධිය ලබාගත් බවත් ඊට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබිය යුතු බවත්. ඒ අනුව අභියාචනාධිකරණය ඇයට ලියාපදිංචිය දිය යුතු බවට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළා. මේ නඩුවේ පැමිණිලිකාරයා සයිටම් ශිෂ්‍යාවක්. විත්තිකාරයෝ හැටියට හිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අැමැතිවරයා එම අමාත්‍යංශ ලේකම්, උසස් අධ්‍යාපන ඇමැතිවරයා, එම අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ පාර්ශ්ව පහෙන් සයිටම් ශිෂ්‍යාවගේ ඉල්ලීමට විරුද්ධ වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විතරයි. අන් පාර්ශ්ව හතරම ඊට එකඟ වුණා. සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන ඇමැතිවරු වෙනුවෙන් ගරු අධිකරණයට කරුණු දැක්වූයේ නීතිපතිවරයාගේ නියෝජිතයා. ඔහු වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ නිර්ණායක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තිබුණත් ඒ නිර්ණායක ගැසට් කරලා නැති නිසා එහි නීතිමය වලංගු භාවයක් නැති බවයි ප්‍රකාශ කර සිටියේ. ඒ වගේම සයිටම් ආයතනය පරීක්ෂාකර බැලීමටවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අයිතියක් නැති බව ඔහු පැවැසුවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්ථාවරය ඒ ආකාරයටයි ප්‍රකාශ කළේ. ඒ අනුවයි අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේ. මේ නඩු තීන්දුවට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ නඩුවේ තීන්දුව මේ මාසය අවසන් වනවිට ප්‍රකාශයට පත් වේවි. ඒ තීරණාත්මක නඩු තීන්දුව දෙස රටම වුවමනාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම එය 88/89 යුගයක ඇරැඹුමක් වේවිද යන්න පිළිබඳ බොහෝ දෙනා මත ප්‍රකාශ කරනවා.   


ඒ වගේම අපිට මතකයි අභියාචනාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වෙනවාත් සමඟම කිරිඇල්ල ඇමැතිවරයා “සයිටම් ළමයින්ට ලියාපදිංචිය දෙන්න කියලා නඩු තීන්දුවක් ලැබිලා තිබෙනවා. ඒකට විරුද්ධවෙන අය හිරේ දානවා. උසාවි ගෙනියනවා. යනුවෙන් පවසමින් තර්ජනය කළා. ඒත් අපි අපේ සටන නැවැත්තුවේ නෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවොත් ලේ හලාගෙන සටන් කළා. ඒ සියල්ලෙහි ප්‍රතිඵලය ලැබුණා. රජය සයිටම් අහෝසි කරනවා කියන එකඟතාවට ආවා. ඒ වගේම දැනට සයිටම් හි අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙන සාධාරණ තීන්දුව පිළිබඳවත් කතා කළා. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් නිවේදනයකින් නිකුත් කරන බව ප්‍රකාශ කළා. මේ සියලු දේ නව ව්‍යුහයකට අනුව සිදුකරන බවකුයි රජය ප්‍රකාශ කළේ. එහිදී අපි රජයෙන් විමසුවා ප්‍රශ්නය විසඳන නව ව්‍යුහය කුමක්ද කියා. එහිදී යම් යම් දේශපාලන පක්ෂ අපි සටන පාවාදුන් බවට ප්‍රකාශ කළා. ඔවුන් මව්පියන් සමඟ කොටුවට ගොස් උපවාස කළා. අවසානයේ ජයග්‍රහණය සමරා රතිඤ්ඤාත් පත්තු කළා. ඉන් රටට ගිය පණිවිඩය වූයේ රජය සයිටම් අර්බුදය විසඳු බව.   


ඒත් අපට අද පේනවා සයිටම් අර්බුදය විසඳා නොමැති බව. අපි ජයග්‍රහණ සමරන්න ඉක්මන් වුණේ නෑ. ආණ්ඩුව සයිටම් අහෝසි කළා කියන ප්‍රකාශය මත එකඟතාවකට යාමේ හැකියාව තිබෙනවා. ඒත් රජය එක් පැත්තකින් කියනවා ස්ලිට් ආයතනයට සයිටම් පවරනවා කියලා. අපි දකින විදියට මේ වෙලාවේ සයිටම් අහෝසි කරලා ස්ලිට් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඉන්න ළමයින්ට සාධාරණයක් කිරීමට අවශ්‍ය නම් පවතින ව්‍යුහයක් යටතේ උපාධිය දීමේ වරදක් අපි දකින්නේ නෑ. නමුත් නව ව්‍යුහයකට යාමට අපි එකඟ වෙන්නේ නෑ. මේ වෙලාවේ රටට තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අවශ්‍ය නැහැ.   


ඒත් රජය උත්සහ කරන්නේ සයිටම් එකේ දැනට ඉන්න ළමයි ටික පෙන්වමින් ඔවුන්ගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල න්‍යාය පත්‍රය සක්‍රිය කරගන්න. හේතුව රජයට ලොකු වුවමනාවක් තිබෙනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනක් ආරම්භ කරන්න. ඊට පලිහක් විදියටයි ඔවුන් සයිටම් ශිෂ්‍යයෝ භාවිත කරන්නේ. අපි ඒකට විරුද්ධයි.   


මීළඟට අපි දැක්කා සෞඛ්‍ය ඇමැතිවරයා අවම ප්‍රමිතිය ගැසට් කළ ආකාරය. ඔහු විපක්ෂයේ සිටියදීත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට විරුද්ධ වුණා. ඒ නිසාම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සහිත ලියවිල්ල වසරක් යනතුරුත්, නඩු තීන්දු දෙනතුරුත් ඉදිරිපත් නොකර සිටියා.   


වෛද්‍ය අධ්‍යාපනයට ඇතුළත්වීමේ අවම සුදුසුකම ලෙස සළකන්නේ පසුගිය වසරේ රජයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ ශිෂ්‍යයාගේ අවම ප්‍රතිඵලය. ඒ අනුව පසුගිය වසරේ රජයේ වෛද්‍ය පීඨයට ඇතුළත්වීමේ අවම සුදුසුකම අරගෙන තිබුණේ මුලතිව් ප්‍රදේශයේ ශිෂ්‍යයෙක්. ඒ ශිෂ්‍යයාගේ ප්‍රතිඵලය වුණේ උසස් පෙළ (B-3) බී තුන. ඒ අනුව මේ අවුරුද්දේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම විය යුත්තේ බී තුන. මෙය අවුරුදු පතා වෙනස් වෙනවා. නමුත් සෞඛ්‍ය ඇමැතිවරයා මෙය එස් තුන කිරීමට ගියා. ඒත් අපිට ලැබුණ ආරංචියේ හැටියට එය සී-2යි. එස්.-1ක ලෙස ගැසට් කර තිබෙනවා. එය වෛද්‍ය සභාවේ නිර්දේශ හෑල්ලු කිරීමක්. ඉන් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය බාල්දුවී තිබෙනවා. මේ කරන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන අයට වෙළෙඳපළ සාදා දීමක්.   


අඩු ප්‍රමිතියකින් යුතු වෛද්‍යවරුන්ගේ ගැටලු බලපාන්නේ රටේ මහජනතාවට. ඉන්දියාවේ වෛද්‍ය සේවයට සිදුවී ඇති විනාශයයි රාජිත සේනාරත්න ඇමැතිවරයා ලංකාවට සිදු කරන්න යන්නේ. අපි වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. රජයේ වෛද්‍යවරුන්ගේ මධ්‍යම කාරක සභාව ජනවාරි 15 රැස්වෙනවා. එහිදී ගන්නා තීරණ ගොඩක් බරපතළ වේවි.

 

සාධාරණ සටනක්....

 

නීතිඥ ගාමිණී ඒකනායක
වෛද්‍ය ලේකම් ශිෂ්‍ය මාපිය සංවිධානය   


අපි පහුගිය අවුරුද්දෙ නොවැම්බර් අටවැනිදා සයිටම් විරෝධී මාරාන්තික උපවාසය නතර කරනකොට ආණ්ඩුව විසින් සයිටම් ආයතනය අහෝසි කරනු ලබන බවට හා ස්ලිට් එකට පවරාදී මේ ප්‍රශ්නය විසඳන්නේ නැති බවට පොරොන්දු ලබාදුන්නා. ඒ ආණ්ඩුව නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා ඇමැතිවරයා මව්පියන්, ශිෂ්‍යයන් හා වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළා. අපි ඒ ගැන සම්පූර්ණ විශ්වාසයක් තැබුවා. අපේ දරුවෝ අපි කියූ වචන විශ්වාස කරලා නැවත විශ්වවිද්‍යාලයට ගියා. අතුරු කමිටුව හරහා 2017.10.29 දින සිට ක්‍රියාත්මක කරනවා කියූ යෝජනාවලිය ආයෙත් ආන්දෝලනයකට ලක්වෙලා. අපි ප්‍රතික්ෂේප කරපු දේ රජය නැවත කරනවා නම් වෘත්තීය සමිතිය ක්‍රියා මාර්ගයකට යන්න වෙනවා. රජය ඒකටයි අපට ආරාධනා කරන්නේ.   


අපි මව්පියෝ විදියට ඉතාම කාර්ය බහුල පිරිසක්. ඒ වගේම අපේ දරුවෝ ගැන අපි හිතන්න ඕනෑ. ඒ අය විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර ඉන් පිටවෙන්න ඕනෑ. ඒත් රජය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවිධිමත් ක්‍රියාකාරිත්වයක යෙදෙනවා නම් මව්පිය සංගම යළිත් එකතුවී ඉදිරිය පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව පසුගිය සතියේ තීන්දු රාශියක් අරගත්තා. ඊට ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල මව්පිය සංගම් එකතු වුණා. අපි මේ සටන යළිත් ආරම්භ කරනවා. මේ අවස්ථාවේ කිසිසේත්ම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය නෑ. හේතුව අපි පළමුවෙන්ම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. ආචාර්යවරු වැඩි කිරීම, විශ්වවිද්‍යාල පහසුකම් වැඩි කිරීම වගේ කළ යුතු වැඩ කටයුතු රාශියක් තිබෙනවා. ඒවා නොකර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවා කියන එකෙන් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය විනාශ වීමයි සිදුවන්නේ. අඩු සුදුසුකම් මත වෛද්‍යවරු බිහිකරාම ඉන්දියාවේ වෙච්ච දේමයි සිදුවන්නේ. අපි ඒකට විරුද්ධයි. සයිටම් එකෙන් ගුණාත්මක භාවයෙන් තොර වෛද්‍යවරයෙක් බිහිකළාට පස්සේ ඒ අයගේ සේවය ලබාගන්නේ මේ රටේ දුප්පත් ජනතාවයි.   


රාජිත සේනාරත්න ඇමැතිවරයා ලෙඩවුණාම ප්‍රතිකාර ගන්න රජයේ රෝහලකට ගියේ නෑ. ඔහු ගියේ මවුන්ට් එළිසබත්වලට. ඉතිං ඔච්චර හොඳ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇයි ඔහු නොගියේ. එයා කියන විදියට හොඳම වෛද්‍යවරු ඉන්න, හොඳම පහසුකම් තියෙන රෝහලක්නෙ ඒක.   


එයා ලෙඩ වුණාම මවුන්ට් එළිසබත් යන්නයි, මේ රටේ දුප්පත් මිනිස්සු ලෙඩ වුණාම සයිටම් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නයි සිදු විය යුතු දෙයක්ද? ඒකට අපි විරුද්ධයි. ඒ වගේම සී-2යි එස්-1යි කියන්නේ රටේ වෛද්‍යවරයෙක් වෙන්න තියෙන අවම සුදුසුකම. උපරිම සුදුසුකම තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. ඒ නිසා සී-2යි එස් 1යි කියන එකටත් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මුදල මත වෛද්‍ය අධ්‍යාපනය දීම සම්පූර්ණ අසාධාරණයි. හේතුව සී 2යි එස් එක තියෙන දුප්පත් ළමයෙක් රෝහලේ ලේබර් කෙනෙක් විදියට වැඩ කරද්දී එම ප්‍රතිඵලයම තිබෙන ධනවත් දරුවෙක් එහි වෛද්‍යවරයෙක් විදියට සේවය කිරීම. එය සමාජ අසාධාරණයක්. මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන් විදියටත්, මව්පියන් විදියටත් අපි ඒකට විරුද්ධයි.   


මේ එළැඹෙන මැතිවරණයේදී ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට අපි ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා. ඉදිරියට උද්ඝෝෂණ ව්‍යාපාර, දැනුම්වත් කිරීමේ ව්‍යාපාර, පෝස්ටර් ව්‍යාපාර ගම් හා දිස්ත්‍රික් මට්ටමින් රටපුරා සිදුවේවි. 21 වැනිදාට කලින් සියලු පිරිස් එකතු කර ගන්නවා. අපි සියලු දෙනා මේ යුක්ති සහගත සටන ඉදිරියට ගෙනයනවා. ඒ වගේම අපේ සටනට සහය දෙන ඕනෑම පක්්‍ෂයකට කිසිදු භේදයකින් තොරව අපේ මනාපය ලබාදෙනවා. ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙනකොට එයාලා කරගත්ත අපරාධය තේරුම් ගනීවි.   

 

සල්ලි ගෙවලා ඉගෙන ගත්ත ළමයිට මොකද වෙන්නේ


විමල් සමරකෝන් 
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ මව්පිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශ්වවිද්‍යාලය ප්‍රවේශය සඳහා දැන්වීමක් පළ කර තිබෙනවා. එහි සඳහන් වන්නේ එස් සාමාර්ථ තුනක් සහ පොදු විෂයට සියයට තිහකට වැඩිය ලකුණු ගත්ත අය උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීමට සුදුසු බව.   


පාඨමාලාවේ ස්ථාන වෙන් කරන්නේ ඉහළම ලකුණු ලබාගත් පිළිවෙළටයි. එහිදී දිස්ත්‍රික් පදනමින් කොටසක් බඳවා ගැනීම සිදුවෙනවා. අද වෙනකොට අඩුපාඩු සහිත දිස්ත්‍රික්කවලට දෙන කෝටා එක වැඩි බවක් පෙනී යනවා. ඉන් ප්‍රධාන නගරවල හොඳ ශිෂ්‍යත්ව පාඨමාලාවලට ඇතුළත්වීමේ අවස්ථාව නැතිව යනවා. මීළඟට අපිට බෑ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයි රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්න කියන්න. හේතුව වෛද්‍ය පීඨයට තේරිච්ච නැති ළමයි තමයි මෙතැන ඉන්නේ. ඒ වගේම විද්‍යා පීඨවලට තේරුණු ළමයිනුත් මෙතන ඉන්නවා. මේ ළමයින්ට රජයේ ​වෛද්‍යපීඨවල අධ්‍යාපනය දීම පිළිබඳ යෝජනාව රජයෙන් ආ යුත්තක්.   


මෙහිදී මා කිව යුතුයි රජයේ වෛද්‍ය සිසුවෝ මෙවැනි යෝජනාවක් ගේන්න හේතුව වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට ඇති අකමැත්ත කියලා. ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ විධි විධාන විශ්වවිද්‍යාල පනතේ සඳහන් කරලා තිබෙනවා. සෞඛ්‍ය පනතේ තිබෙනවා උපාධි ප්‍රධාන ආයතන ලබාදෙන උපාධිය රජයේ උපාධිය හා සමාන බව. ඒ නිසයි අභියාචනාධිකරණයේදී පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලියාපදිංචිය දීමට තීන්දුව ලබාදුන්නේ. ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ අධීක්ෂණය වන ස්ලිට් ආයතනයට සයිටම් භාර දෙනවා. ස්ලිට් කියන්නේ දැනට උපාධි ගණනක් පිරිනමන ලෝකය පිළිගත් හොඳ ආයතනයක්. ඒ වගේ ආයතනයකින් වෛද්‍ය උපාධියක් ලබාදීම පිළිබඳ මව්පියන් හැටියට අපි විරුද්ධ වෙන්නේ නෑ. අපේ ළමයින්ට අධ්‍යාපනය ලබාගන්න හැකිවුණේ මෙවැනි ආයතනයක් තිබුණ නිසා. රජයත් ඒක පිළිගන්නවා නම් අපි යන්න ඕන රජයේ ප්‍රතිපත්ති අනුව. වෛද්‍ය සභාවේ හෝ රජයේ විශ්වවිද්‍යාලවල මව්පිය සංගම්වල මතයකට යන්න අපිට අවශ්‍ය නෑ. ඊට රජයයි විසඳුම් දිය යුත්තේ. ඒ වගේම සයිටම් දරුවෝ රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගද්දී උසස් පෙළ ලියලා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවුණ අනිත් ළමයි පැවසුවොත් ඊළඟට ඉසඩ් ඉස්කෝර් එක අපිටයි තියෙන්නේ. අපියි තේරෙන්න ඕනෑ කියලා මොකද කරන්නේ. එතකොට සල්ලි ගෙවලා ඉගෙන ගත්ත ළමයිට මොකද වෙන්නේ. ඒ නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ඇති නොකළ යුතුයි කියන්න බෑ.   


ඊයේ පෙරේදා පුවත්පත් දැන්වීම්වල ටෙලිකොම් විශ්වවිද්‍යාලයක් පිළිබඳ තොරතුරු සඳහන් කරලා තිබුණා. එහි තිබුණ අවම සුදුසුකම විෂයන් තුනක් සමත්වීම. සමහර රටවල විද්‍යා අධ්‍යාපනය නොලබපු අයටත් වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඒත් මේ අය කරන්න හදන්නේ වෙන දෙයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවම සුදුසුකම් ලෙස සඳහන් කර තිබෙන්නේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකින් ඒ හා සමාන අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීමට. එහි සීමා කිරීමක් නෑ.   


මීට පෙර වව්නියාව වගේ දුෂ්කර පළාත්වලින් එස් තුනක් ගත්ත ළමයි වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා තිබෙනවා. මේ නිසා උසස් අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් ගැසට් කරපුවාම එය රටේ සියලුම ළමයින්ට පොදුවිය යුතුයි. ඉන් අධ්‍යාපන අවස්ථා වැඩි වෙනවා. ඒත් තම තමන්ගේ රාජධානි හදා ගැනීමට කටයුතු කළොත් එක් පිරිසකට ලොකු අසාධාරණයක් වනවා. මේ නිසා අපි රජය සාධාරණ විසඳුමක් දෙනතුරු ඉවසීමෙන් බලා සිටිනවා.

 

ලෙඩ්ඩු මරන්න ලයිසන්

 

රයන් ජයලත්
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු


ආණ්ඩුව සයිටම් අහෝසි කරනවා කියලා පහුගිය නොවැම්බර් 08 වැනිදා පොරොන්දුවක් ලබාදුන්නා. දැන් ඒ පොරොන්දුව ඉෂ්ට කරනවා වෙනුවට සයිටම් ආයතනය වෙනත් හිමිකාරිත්වයක් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විදියට පවත්වාගෙන යාමේ කුමන්ත්‍රණයක නිරත වෙනවා. මේ වනවිට සයිටම් හිමිකාරිත්වය සබ්කෝ කියන අලුත් සමාගමට පවරලා තිබෙනවා. ඒ සමාගම තමයි දැන් සයිටම් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ. මේ සබ්කෝ කියන ආයතනය පාලනය කරන්නේ ස්ලිට් එකෙන්. දැන් කියනවා ස්ලිට් ආයතනය වෙනම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්නවා කියලා. මේ ක්‍රියාවලි දෙකම සිද්ධ වෙන්නේ එකම තැන. සයිටම් එකේ දේපළ වත්කම් ඔක්කොම ස්ලිට් එකට පවරා ගත්තට පස්සේ තවත් තැනක වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නේ කොහොමද? අනිත් එක අවම ප්‍රමිතීන්ට අනුකූලවන විදියට ඔය කියන ඉක්මනට අලුත් වෛද්‍ය විද්‍යාලය හදන්නේ කොහොමද? ඔවුන් කියනවා 2018 උසස් පෙළ ප්‍රතිඵලවලින් ශිෂ්‍යයෝ බඳවා ගන්නවා කියලා. පුංචි කාලයකින් කොහොමද වෛද්‍ය විද්‍යාල හදන්නේ. මේ කරන්න හදන්නේ සයිටම් හිමිකාරිත්වය ස්ලිට් ආයතනයට පවරා ගෙන පරණ විදියටම හොර උපාධිකඩය පවත්වාගෙන යාම. මේ කරලා තිබෙන්නේ ඇස් බැන්ඳුමක්. සැබෑ ලෙසම සයිටම් අහෝසි වෙලා නෑ. හිමිකාරිත්වය මාරු කිරීම පමණයි සිදුවෙලා තිබෙන්නේ. මේ කරලා තිබෙන බොරුවට අපි කිසිසේත්ම එකතු වෙන්නේ නෑ.   


ඒ වගේම සයිටම් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්න කිය එකට ආණ්ඩුවට අවශ්‍යතාවක් නෑ. ඒ යථාර්ථය ඔවුන්ද තේරුම්ගත යුතු වෙනවා. නැත්නම් ඔවුන්ගේ ජීවිත නැවත අර්බුදයකට යාවි.   


අපි මේ ශිෂ්‍යයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා උපරිම සාධාරණ විසඳුමක් දැනටමත් යෝජනා කරලා තිබෙනවා. දැනට සයිටම් ඉගෙන ගන්න ශිෂ්‍යයන් රජයෙන් ස්ථාපනය කිරීමට නියමිත වයඹ, සබරගමුව වෛද්‍ය විද්‍යාලවලට අන්තර්ග්‍රහණය කරන්න. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරන්න දැනට තිබෙන වෛද්‍ය පීඨ භාවිත කරන්න. දැනට දෙන්න පුළුවන් සාධාරණම විසඳුම ඒකයි.   
ඒත් ආණ්ඩුවට මේ විසඳුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍යථාවක් නෑ. ඔවුන්ගේ අවශ්‍යතාව සයිටම් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව සැපිරීම නොවෙයි. ආණ්ඩුවට උවමනාව තිබෙන්නේ මේ උපාධි කඩය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සකස් කර ගැනීම. එහෙම කළොත් තමයි මේ වගේ උපාධිකඩ පටන් ගන්න අඩිතාලම වැටෙන්නේ. අපි කියනවා මේ ලැජ්ජා නැති වැඩේ නවත්වන්න කියලා. පහුගිය දවස්වල හර්ෂ ද සිල්වා ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සටන් පාඨය ‘‘ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපනයක්” කියන එක බව පැවැසුවා. අපි පැහැඳිලිව කියනවා පෞද්ගලික අධ්‍යාපනය ප්‍රමිතිය ආරක්ෂා කරගත හැකි එකක් නොවන බව. අධ්‍යාපනය වෙළෙඳ පළේ විකුණන්න පටන් ගන්න පළමුවෙනි මොහොතෙම ඒකේ ප්‍රමිතිය හෑල්ලු වෙනවා. එය පැහැදිලිවම ආණ්ඩුව ඔප්පු කරලා තිබෙනවා. පහුගිය දවස්වල වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය පිළිබඳ ලේඛනය වෛද්‍ය සභාව මගින් ගැසට් කිරීමට ආණ්ඩුවට ඉදිරිපත් කළා. එහිදී කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරනවා වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වන අවම සුදුසුකම සී-2යි එස්-1යි කියලා. ඊට පසුව ජනාධිපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය නිවේදනයක් කරනවා වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගැනීමේ අවම සුදුසුකම පහත දැමීම නිසා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ගැටලුකාරී වී ඇති බවට. මේක මහ විහිළු කතාවක්. හේතුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය කැබිනට් මණ්ඩලය තීරණය කිරීම.   


මීට හේතුව වෛද්‍ය සභාව තීරණය කළ අවම ප්‍රමිතිය සහිතව පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ ආරම්භ කිරීමට ඇති නොහැකියාව. මේ නිසා ලාභ ලැබීම ඌණ වෙනවා. අධ්‍යාපන ව්‍යාපාරය යහමින් කරන්න තමයි මේ අය අවම සුදුසුකම පහත දාන්නේ. මෙතනම ප්‍රමිතිය ආරක්ෂා කරනවා කියන එක බොරුවක් කරලා මේ අය උපාධි කඩවලට ගැළපෙන විදිහට ප්‍රමිතිය කප්පාදු කිරීමයි සිදු කරන්නේ. මින් ලෙඩ්ඩු මරන්න ආණ්ඩුව ලයිසන්දීමකුයි සිදු කරන්නේ. අපි ආණ්ඩුව කරන මේ ක්‍රියාදාම දැඩි ලෙස විවේචනය කරනවා. ඊට විරුද්ධ වෙනවා. මේ එන්නේ මැතිවරණ සමය අපි නවත්තපු ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරනවා. ආණ්ඩුව කරපු බොරුවට විරුද්ධව දැඩි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගන්න සූදානමින් ඉන්නේ. මේ වෙද්දි විශ්වවිද්‍යාල මට්ටමින් උද්ඝෝෂණ ආරම්භ කරලා තිබෙන්නේ. ඉදිරි කාලයේදී දැවැන්ත විරෝධතා රැල්ලක් රටපුරා ඇති කරනවා. ‘‘මේ ආකාරයට සයිටම් අර්බුදය යළිත් උණුසුම් වන බවක් පෙනේ. මැතිවරණ කාලසීමාවත් සමඟ ඇතිවන මෙවැනි අර්බුද පවත්නා රජයට කරන බලපෑම පිළිබඳව ද ඉඟි පළ කරයි. එවන්වූ වාතාවරණයක දී සයිටම් ගැටලුව හා ඉදිරියේ ඇතිවන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ කතා කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සම්බන්ධ කර ගත්තෙමි. එහිදී මම ලංකාදීප පුවත්පතින් කතා කරනා මාධ්‍යවේදිනියක බව එතුමාට හඳුන්වා දුන් අතර එතුමා ප්‍රකාශ කර සිටියේ නොදන්නා මාධ්‍යවේදින්ට තොරතුරු නොදෙන බවයි.’’ තොරතුරු ලබාදීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තීන් එසේ වී නම් ඉදිරි ක්‍රියාමාර්ග දෙස අප සාවධානව බලා සිටිමු.



අදහස් (0)

විසඳුමක් නැතිව යළිත් ඇවිළෙන

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3697 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 35 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1465 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site