IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පොත් ගැටුම

මුල් යුගයේ පාසල්වල භාවිතය සඳහා නියමිත නිර්දිෂ්ට ග්‍රන්ථ මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීම සඳහා විශාල වෙළෙඳ පොළක් තිබුණි. 1955 දී පමණ එවකට සිටි රජය විෂය මාලා ලිවීමටත්, පාසල් ​ෙපාත් ලිවීමටත් විෂය මාලා සංවර්ධන මධ්‍යස්ථානයක් ඇති කිරීමට පිඹුරුපත් සකස් කළේය. එය මල්පල ගැනුණේ 1956 වසරෙන් පසුවය. මේ අනුව විෂය නිර්දේශ, ගුරු අත්පොත්වල ක්‍රමවේදයක් ඇතිකිරීමට එවකට සිටි අධ්‍යාපන අධ්‍යක්ෂ බී.ජේ.පී. අලස් මහතා ප්‍රවීණ කථිකාචාර්යවරුන් අධ්‍යාපනඥයන් ඇතුළු කණ්ඩායමක් මගින් එක්වී ගණිතය, විද්‍යාව ආදී විෂයයන් පිළිබඳ පොත් ලිවීමට පු​ෙරා්ගාමීත්වයක් ගත්තේය. 

 1950 දශකයේ පාසල් පොත් පළ කළේ අතළොස්සක් වූ ප්‍රකට පොත් ප්‍රකාශන සමාගම් විසිනි. ඒ අතර කර්තෘ ප්‍රකාශකයන් ද වූහ. උදාහරණයකට පී. රූබන් පීරිස් සිංහල සෞඛ්‍යය, ගෘහ විද්‍යාව ආදී විෂයයන් ගැන පාසල් පොත් ලියුවේ ඇස්.ඇෆ්. ද සිල්වා භූගෝල විද්‍යාව, ඉතිහාස පොත් රචනා කළේය. එච්.ඩී. සුගතපාල ‘නවමග’ පොත් මාලාව සංස්කරණය කළේය. එවකට පාසල් පොත් බහුලව මුද්‍රණය කළේ ඇම්.ඩී. ගුණසේන සමාගමය. කොළඹ ඇපොතිකරිස් සමාගම ද පොත් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළ ප්‍රකට සමාගමකි. එකල මේ පාසල් පොත් විදුහල්පතිවරුන්ගේ අනුමැතිය ඇතිව ඒ ඒ පන්තිවලට නියම කරනු ලැබූහ. පුද්ගලික ආයතන පාසල් පොත් පළ කිරීමට ආරම්භයේ දී නොවූවත්, වෙළෙඳ පොළ වර්ධනය වෙන විට අක්‍රමිකතා අකටයුතු ඇතිවෙන්නට විය. ඒ නිසාම පාසල් පොත්වල ගුණාත්මක බව හීන විය. 
 
පනහ දශකයේ ජ්‍යෙෂ්ඨ (SSC) සිංහල හා ඉංග්‍රීසි විභාගයට ජනප්‍රිය නවකතා හා පරිවර්තන නවකතා භාවිතා විය. 1951 සිංහල හා ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගයට ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‘කැලෑහඳ’ නවකතාව නියමිතව තිබිණ. ඒ නිසාදෝ ‘කැලෑහඳ’ නවකතාව ඇසුරින් නිෂ්පාදනය වී 1953 තිරයට පැමිණි ‘කැලෑහඳ’ චිත්‍රපටය ද අති සාර්ථකව ආදායම් ලැබීය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මේ චිත්‍රපටය පොරකකා නැරඹීමට ගිය බව නොරහසකි. 
 
අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් පරිවර්තනය කරන ලද ‘මනුතාපය’ කෘතිය සවැනි පන්තියේ පටන් ඉහළට යෝග්‍ය ග්‍රන්ථයකැයි අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය විසින් සම්මත වී තිබුණි. ප්‍රංශ ලේඛක වික්ටර් මාරි හියුගෝ විසින් රචිත ‘ද ලේ මිසරාබ්ල’ නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ ‘මනුතාපය’ 1957-1960 වර්ෂවල දී ඉංග්‍රීසි, සිංහල පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින සිසුන් විසින් පරිශීලනය කළ යුතු නව ගද්‍යයන්ගෙන් එකක් ‘මනුතාපය’ යයි විභාග උපදේශක මණ්ඩලයෙන් ද නියම වූ බව ඊරියගොල්ල 1958 වසරේ සිය නමවැනි මුද්‍රණයේ සඳහන් කර ඇත. ‘මේ පොත මුද්‍රණය කිරීමත්, විකිණීමත්, මා විසින් භාර කරන ලද්​ෙද් ඇම්.ඩී. ගුණසේන සහ සමාගමටය.’ යන්න ඊරියගොල්ලයන් විසින් සඳහන් කර තිබුණි. 
 
විභාගයට නියමිත මේ පරිවර්තන කෘතියට පාදක වූ ‘ලේ මිසරාබ්ල’ නවකතාව ඇසුරින් සිනමාස් සමාගම ‘දුප්පතාගේ දුක’ නමින් චිත්‍රපටයක් 1956 වසරේද, සිරිසේන විමලවීරයන් අධ්‍යක්ෂණය කළ ‘සිරකරුවා’ 1957 වසරේ ද සිනමාවට නැගුණි. 
 
 ඊරියගොල්ල මහතාගේ දියණියක් වන පුෂ්පමාලා ඊරියගොල්ල මහත්මිය පවසන මේ අදහස් තුළින් එදා සිංහල පාසල්වලට පොත් නියම වූ ක්‍රියා පටිපාටිය මොනවට පැහැදිලි වේ. 
 
 ‘මගේ පියා 1943 දෙසැම්බර් මාසයේ ලියන ලද එඩ්වඩ් බුල්වර් ලීටන් විසින් ලියන ලද The Last Days of Pompeii (පොම්පියා නගරයේ අවසාන සමය) ‘දේවතාපය’ නමින් හැඳින්වුණා. සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂයෙන් ප්‍රයෝජනයත් සිංහල භාෂා පෝෂණයත් පතා ඉංග්‍රීසි සාහිත්‍යයේ උසස් තැනක් ගත් පොත් කිහිපයක්වත් අධ්‍යාපන මණ්ඩලය මගින් සිංහලයට අනුවාදය කොට ප්‍රකාශ කළ යුතු බව තාත්තා එවකට සිංහල අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. වාස් ද සිල්වා මහතාට යෝජනා කළා. තාත්තා මේ යෝජනාව කර ඇත්තේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ අනු දැනුම ඇතිවයි. ඒ අනුවයි ‘දේවතාපය’ ලියවුණේ. අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් දේවතාපය ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන් විසින් හැදෑරිය යුතු සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස නියම කළා. 
මේ අනුව ඊරියගොල්ලයන් විසින් ලියනු ලැබූ ‘දේවතාපය’ හා ‘මනුතාපය’ විභාග සඳහා නියමිත විය. මේ පොත් ප්‍රකාශයට පත් කළේ ගුණසේන සමාගම විසිනි. පොත් දහස් ගණනින් මුද්‍රණය විය. මුද්‍රණවාර ගණන 14 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර 1965 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජයේ අධ්‍යාපන ඇමැතිවරයා වූයේ ඊරියගොල්ල මහතාය. ඊට ඉහත 1956 බණ්ඩාරනායක මහතා බලයට පත් කිරීමට බණ්ඩාරනායක පිලිප් ගුණවර්ධන, ඩබ්ලිව්. දහනායක හා ඊරියගොල්ල මහතුන් මුල්වී​ සටන දියත් කරද්දී බලයට පත්වූ පසු අධ්‍යාපන ඇමැතිකම ඊරියගොල්ලට දීමට සිතා සිටියත්, බොහෝ දෙනාගේ බලපෑම හා ඔහු හා ඩඩ්ලි අතර එවකට පැවැති මිත්‍රත්වය නිසා ඇමැති ධුරය වෙනුවට උපඇමැතිකමක් ලැබිණ. 
1965 ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන ඇමැති ලෙස අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකීම උදෙසා කළ සේවය නිදහස් මතධාරින්ගේ ප්‍රසාදයට ලක් විය. මේ අතර පාසල්වල භාවිතා කරන පොතපත ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය. පාසල් පොත් රජයෙන් පළ කිරීමට ඔහු ගත් නිර්භීත ප්‍රයත්නයට මෙරට විද්වත් ගිහි පැවිදි උගතුන්, ලේඛකයන්, කිහිප දෙනෙකු විරෝධය පාමින් අදහස් පළ කිරීම නිසා මේ තත්ත්වය උණුසුම් විය. එවකට තිබූ ‘දවස’ පුවත්පත දිගට හරහට ඊරියගොල්ලයන්ට පහර දුන් අතර මේ විරෝධතා රට පුරා ගෙන ගියහ. මේ අදහස් කැටි කොට ‘පාසල් පැනය’ නමින් පොතක් ද පළකොට නොමිලයේ බෙදාහරින ලදී. මේ පොත සමස්ත ලංකා ප්‍රකාශකයින්ගේ සංගමය වෙනුවෙන් ඇම්.ඩී. ගුණසේන සහ සමාගම මුද්‍රණය කර තිබුණි. 
 
 අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේ පවසා සිටියේ කවර රජයක් හෝ පොත්පත් මුද්‍රණය පවරාගෙන කටයුතු කිරීමේදී ඔවුන්ගේ සිතුම් පැතුම් දේවත්වයෙන් අදහන ලේඛකයන් කීප දෙනෙකුගේ බුද්ධියට මුළුමහත් ජාතියේම බුද්ධි විකාශනය සීමා කිරීම සාධාරණ ක්‍රියාවක් නොවන බවය. ජාතියේ පහළ වෙන උසස් පෙළේ ලේඛකයන්ගේ දැනුම ජාතියට රජයේ එවැනි ක්‍රියා නිසා නොලැබී යන බවය උන්වහන්සේගේ අදහස වූයේ. 
 
 රජයේ බලාපොරොත්තුව පාසල් පොත් අඩු මිලට දීමද, නැතහොත් ඒකාධිකාරයක් ඇති කිරීමටද, එසේත් නැතහොත් පසුගිය හවුල් රජයේ මාක්ස්වාදී ප්‍රතිපත්ති රැකීමට ද යන්න තේරුම් ගැනීමට අපහසු නොවේ යැයි හිටපු අධ්‍යාපන ඇමැති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ද අදහස් දක්වා තිබුණි. 
 
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ අදහස නම් පාසල් පොත් ප්‍රශ්නය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට යොදන නිසි බලතල සහිත කොමිෂන් සභාවක් පත්කළ යුතු බවය. ප්‍රවීණ ලේඛකයකු හා කෙටිකතාකරුවකු වූ ජී.බී. සේනානායක පවසා තිබුණේ කවර පක්ෂයකටවත් වඩා ප්‍රජාතන්ත්‍රවාදය අගය වන බවත් පාසල් පොත් ආණ්ඩුවෙන් ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක් බවත්ය. 
 
රජයේ කීප දෙනෙකු අතට අධ්‍යාපනය හිමි කිරීම නිසා මිනිසාගේ විමුක්තිය ශ්‍රේෂ්ඨත්වයේලා සැලකූ බෞද්ධ ප්‍රතිපත්ති අනුව හැඩගැසුණු අපේ සමාජයට විය හැක්කේ අනර්ථයක් බව මහාචාර්ය ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න පවසා තිබූ අතර මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් පවසා තිබුණේ ග්‍රන්ථ සම්පාදනයෙහි නිදහස ලේඛකයාට තිබිය යුතු බවය. එසේ නැතිව රජය ග්‍රන්ථ සම්පාදනය අතට ගත්තොත් මතුවිය හැකි අන්තරාය ගැන සැලකිය යුතු බවය. 
නාරාවිල ධර්මරතන හිමි, කිරිඇල්ලේ ඥානවිමල හිමි, මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය, මහාචාර්ය ඇම්.බී. ආරියපාල, මුදලිඳු ඊ.ඒ. අබේසේකර, තිරානගම රතනසාර හිමි, සම භාෂා ප්‍රධානාචාර්ය සංගමයේ ලේකම් ම.පී. ගුරුදාස ආදීන් පාසල් පොත් රජය මගින් මුද්‍රණය කරවීමේ වැඩපිළිවෙළට විරෝධය දක්වා ඇත. කලින් කල ඇතිවන ආණ්ඩුවලට කැමැති කැමැති හැටියට බාල පරම්පරාව හැඩගැස්වීමට අවකාශ දුනහොත් මේ රටේ ජනතාව තමන්ගේ මිනීවළ තමන්ම කපාගන්නා බව සිහි කටයුතු බව මහා පඬිවරයෙක් කියා තිබුණි. 
 
ප්‍රවීණ ලේඛකයකු හා කවියකු වන ටී.ඇස්. ධර්මබන්දු ලියූ කවි පෙළක අවසන් කවියයි මේ. 
 
නිදහස් රටකට නිදහස් මත ඇති ලේඛකයින් ලියනා පත පොත් 
තිබෙන්නට ඕනෑ රජයක අතකොළු වූ පිරිසක් ඒවා ලිව්වොත් 
වහල් බවට ජාතිය නොවැටේදැයි නොපෙනෙද? ඔබ විමසා බැලුවොත්  
මහජන මතයක් ඇති කළ යුතු වෙයි නවතාලන්නට රජයේ පොත් 
 
 පොත් රජයෙන් පළ කිරීම ගැන ජාතික පුවත්පත් විවිධ අදහස් දැරූහ. ‘ලංකාදීප’ පත්‍රයේ ‘වගතුග’ තීරුව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගෙන් පසු ලියූ සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ඊරියගොල්ලයන්ගේ මේ තීරණය අගය කරමින් ‘වගතුග’ තීරු ලිපියෙන් දිරිගැන්වූ අතර ඔහුගේ පුත්‍ර ‘දවස’ පුවත්පතේ වාර්තාකරුවකු වූ නොබෝදා අභාවප්‍රාප්ත්‍ර වූ බිනෝයි සු​ෙර්න්ද්‍රගේ රැකියාව අහිමි වූ නීරස කතා පුවතක් කාලයේ වැලි තලාවට යටවී ඇත. එය මෙසේය. 
 
ප්‍රවීණ පුවත්පත් කලාවේදී සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර ‘දවස’ පුවත්පත් ආයතනයේ උපකතුවරයකු මෙන්ම ‘ශ්‍රී’ සඟරාවේ ද සංස්කාරකව සිටියදී ‘ලංකාදීප’ පත්‍රයෙන් ආරාධනයක් ලැබිණ. එතෙක් ලංකාදීප පත්‍රයේ ‘වගතුග’ තීරුව ලියූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මියයාම නිසා වගතුග තීරුව ලිවීමටයි ඒ ආරාධනය. ලංකාදීපයට ගිය ඔහු ඊරියගොල්ලයන් පොත් රජයෙන් මුද්‍රණය කිරීමට ගත් තීරණයට පක්ෂව ‘වගතුග’ තීරුව ලිව්වේ ‘කන්ද උඩ දේශනාව’ යන මාතෘකාවෙනි. 
 
මේ වන විට හිරිමල්වියේ සිටි බිනෝයි සුරේන්ද්‍ර දවස පත්‍රයේ වාර්තාකරුවකු ලෙස බැඳී සිටියේය. ඒ කාලයේ (1966) ඔහුට ගෙවීම් කෙරුනේ පළවෙන වාර්තාවල පේළියකට ශත හතර බැගිනි. තම පියා ලියූ ‘වගතුග’ පළ වූදා බිනෝයි සුපුරුදු ලෙස රැකියාවට ගොස් ඇත. මේ සිද්ධිය බිනෝයි අපට විස්තර කර තිබුණේ මෙසේය. 
‘දවස’ පත්තරේ නියෝජ්‍ය කර්තෘ ඩේවිඩ් කරුණාරත්න මහත්තයා ළඟට ඇවිත් මාව කැඳවා ගෙන ප්‍රධාන කර්තෘ ඩී.බී. ධනපාල මහත්තයාගේ කාමරයට එක්කන් ගියා. 
‘පුතා අද ලංකාදීපෙ තාත්ත ලියපු වගතුග තීරුව කියෙව්වද?’ ධනපාල මහත්තයා ඇහැව්වා. 
 
මට ඉබේටම ‘ඔව්’ කියවුණා. 
 
‘වගතුග’වලින් අපට ගහලා තිබුණා. පුතා දන්නවනේ පාසල් පොත් මුද්‍රණය කරන සමාගමටයි ‘දවස’ ආයතනයත් අයිති. ඩේවිඩ් කරුණාරත්න මහත්තයා කිව්වා. 
 
‘තාත්තා මෙතැන හිටිය කෙනෙක්. එහෙම හොඳද අපිට විරුද්ධව ලියන්න. මේක ඉහළින් ආපු නියෝගයක්. අපේ තීරණයක් නෙවෙයි. අනික පුතා මේ ආයතනයේ ස්ථිර සේවකයකු නෙවෙයි. මට බොහොම කණගාටුයි තරුණ ළමයෙකුට මෙහෙම කියන්න ලැබීම ගැන. අද ඉඳලා පුතාගේ වැඩ තහනම්’ ධනපාල මහත්තයා කිව්වාම මගේ ඇස්වලට කඳුළු ආවා.’ බිනෝයි එදා කීවේය. 
 
බිනෝයි කෙළින්ම ගියේ ලංකාදීපයටය. කතාව ඇසූ පියා දිනමිණ කර්තෘ ධර්මපාල වෙත්තසිංහට ටෙලිෆෝන් කළේය. 
 
‘පුතා දැන්ම යන්න දිනමිණට ධර්මපාල වෙත්තසිංහ මහත්තයා හමුවෙන්න.’ පියා පුතුට කීය. එදා සිට වසර 35 ක් බිනෝයි දිනමිණේය. නියෝ්‍ජ්‍ය කර්තෘ ලෙස ඔහු විශ්‍රාම ගත්තේය. 
 
ඊරියගොල්ල මහතා තම අභිමතාර්ථයන් ඉටුකර ගන්නා දේශපාලනඥයෙකි. ඔහු පොලිස් පරීක්ෂකවරයකුව සිටිය දීද නීතිය අකුරටම ඉටු කළේය. අධ්‍යාපන ඇමැති සමයේ ද ඔහු තම රාජකාරිවලද, තීරණවලදී නොසැලී විනය රැක්කේය. දරුවන් තුළ භාෂා සාහිත්‍ය රසවින්දනය ඇති කිරීමට කැපවූ ඔහු මෙරටටම ආවේණික අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට වෙහෙසුණේය. විවිධ විද්වතුන්ගෙන් යුතු විෂය මාලා සංවර්ධන මධ්‍යස්ථානයක් ඇති කළේය. මේ හැම කටයුත්තක දීම ඔහුට සතුරන් සිටියේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔහු ඊළඟ මැතිවරණයෙන් පරාජය කිරීමට පෙරමුණ ගත්හ. 1970 මහ මැතිවරණයෙන් එජාප ප්‍රබලයින් විශාල ඡන්ද ගණනකින් පරාජය වෙද්දී ඊරියගොල්ල පරාජය වූයේ අඩු ඡන්ද ගණනකිනි. 
 
 
 
 
 සිංහලය ක්‍රමවත්ව ඉගැන්වීමට අවශ්‍ය සම්මත වියරණ රීති මාලාවක් ඇති කිරීමට ඔහු කටයුතු කළේය. 
 
 
 
 
 
 
 
 
 
 
 
ඒ.ඩී. රන්ජිත් කුමාර



අදහස් (0)

විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පොත් ගැටුම

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3019 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 24 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site