IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාවේ ප්‍රථම මිනිස් කප්පම

 

පසුගිය මැයි මස 8 වැනි සඳුදා ලංකාදීපයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ‘ගම්පොළින් පැහැරගත් දරුවා කල්මුණෙන් සොයගනී’ යනුවෙනි. ලක්ෂ 30ක් කප්පම් ගන්න සැලසුම් කළා. මාමා එක්ක තිදෙනෙක් අත්අඩංගුවට, දුන්න ලක්ෂ 10ක් බේරාගනී... යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණි.


සුරංග රජනායක විසින් ගම්පොළ සිට ලියා ඇති මේ වාර්තාවට අනුව මේ පැහැර ගැනීම සිදුවී ඇත්තේ ඊට දවස් 5කට පෙර මැයි 3 වැනිදාය. එදින බදාදා දිනයකි. ප්‍රවෘත්තියට අනුව ගම්පොළ නගරයේ බස්නැවතුම ආසන්නයේ ගඟවට පාරේදී මෙම අතුරුදන් වීම සිදු වී ඇත. අවුරුදු දෙකහාමාරක් වයසැති මොහොමඞ් සල්මාන් නමැති දරුවාද දරුවාගේ මාමා කෙනෙකු වන 26 වැනි වියේ පසු වූ අබ්දුල් රහිම් මොහොමඞ් අසාම් නමැති තරුණයාද මෙසේ අතුරුදන් විය. නමුත් පසුව දරුවාගේ මාමා වන අසාම් නමැත්තා දරුවාගේ පියාටත් ඥාතීන්ටත් දන්වා ඇත්තේ තමන් කප්පම්කරුවන් විසින් මහනුවරට ගෙනවිත් දැමූ බවය.


මෙම නාටකයේ අවසන් ජවනිකාව වන්නේ පොලිසිය විසින් මාමා ද යොදාගෙන සිද්ධිය අනාවරණය කර ගැනීමය. පොලිසිය අවසානයේ සොයාගත් කරුණ වූයේ මෙම ලක්ෂ 30 කප්පම් සිද්ධියේ තිර රචකයා අන්කවුරුවත් නොව දරුවාගේ මාමා වන බවය. අවසානයේ දරුවාද නිරුපද්‍රිතව සොයාගැනීමට මෙන්ම ලබාදුන් ලක්ෂ 10 කප්පමද එළු ගාලක තිබී සොයා ගෙන ඇත. සිද්ධියේ සැකකරුවන් බොහොමයක් දැන් අත්අඩංගුවේය.


අවුරුදු දෙකහමාරක මොහොමාඞ් සල්මාන් නමැති මේ දරුවා පැහැරගැනීමත් සමඟම මෙම ළමා පැහැරගැනීම් ගැන මතකය බොහෝ දෙනාගේ නැවත අලුත්වන්නට විය. බොහෝ දෙනා තුළ මතකයක් ඇත්තේ මෙරට ඉතිහාසයේ පැහැරගෙන ගිය ප්‍රථම ළමයා වන්නේ මතුගම සමන් කුමාර ළදරුවා බවය. එහෙත් එය අසූව දශකයේ සිදුවූ සිදුවීමක් වන අතර ලංකාවේ ප්‍රථම ළමා කොල්ලය වාර්තා වන්නේ මීට වසර 59කට පෙරය. 1958 ක් වූ පෙබරවාරි 12 වැනි බඳාදා ලංකාදීප පුවත්පතේ ශීර්ෂ පාඨයේ මෙසේ සඳහන්ය.


“මුදලක් හිලව්වට මව්තුරුලෙන් ළපටියෙක් පැහැරගෙන යයි” ගනුදෙනුව කතා කරගන්න එන්නැයි පියාට පණිවුඩයක්. පොලිසියට කීවොත් ළමයා ලැබෙන්නේ නෑ.


ප්‍රධාන ශීර්ෂ පාඨයත් අනුශීර්ෂ පාඨවලත් පසුව ඇත්තේ මෙවැනි වාර්තාවකි.


ලංකාවේ අපරාධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් රුපියල් දොළොස් දහසක හිලව්වට තුන් හැවිරිදි ළපටියෙක් මවගේ තුරුලෙන් උදුරා ගෙන හඬව හඬවා පැහැරගෙන යෑමේ ඛේදවාචකයකන් මුළු හොරණ පළාතම කම්පාවී ගොස් තිබේ.


ඇමරිකා මංකොල්ල කාරයින්ගේ උපක්‍රම යොදමින් පැහැර ගෙන ගිය හොරණ මූණගම බී.ඩී. සිරිසේන මහතාගේ තුන් හැවිරිදි පුතා වන ජගත් කුමාර කුලසිරි ළපටියා සඟවා සිටින තැන සොයා පොලිස් කණ්ඩායම් දැන් ප්‍රදේශය දෙවනත් කරමින් සංචාරය කරති. මේ අතර ළමයා පිළිබඳ ගනුදෙනු බේරා ගැනීම සඳහා කොළඹ එක්තරා තැනකට එන ලෙස දරුවාගේ පියාට රහස් පණිවිඩයක් මේ හොර කණ්ඩායම විසින් එවා තිබේ.


ගනුදෙනු ගැන “පොලිසියට කියන්නට එපා, කීවොත් ළමයා ලැබෙන්නේ නෑ”යි ගනුදෙනු කතාකර ගැනීමට එන මෙන් දැන්වූ අවස්ථාවේදී මේ පිරිස දන්වා ඇත. තුන් හැවිරිදි පුතා පැහැර ගෙන යාම නිසා බියට පත්ව සිටින දෙමවුපියෝ එක් වියැති බිලිඳා හැර ඉතිරි දරුවන් හිතවතුන්ගේ ගෙවල රහසේ නවත්වා සිටිති. 


මවගේ තුරුලෙන් පැහැර ගත් දරුවා දමාගෙන මඳක් දුර ගියේ යයි සැක කරන කුලී මෝටර් රථය හා එහි රියදුරා හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ හැරුණු විට වෙන කිසියම් ආරංචියක් දැන ගනීමට පොලිසියට තවමත් නොහැකි වී ඇත. පොලිසිය විසින් මේ දක්වා සොයා ඇති කරුණු අනුව ළදරුවා හොරණ සිට ටික දුරක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන මෝටර් රථයේ ගමන් කර ඇති අතර එතැනදී වෙනත් මෝටර් රථයකට මාරුවී ඇත. සාක්කි අනුව මේ මෝටර් රථය කුරුණෑගල පළාතේ තිබෙන්නකි. ඒ රථයේ අයිතිකරුවන් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් කුරුණෑගල පොලිසියට දන්වා තිබේ.


පොලිස් අත්අඩංගුවට ගෙන සිටින කුලී මෝටර් රියදුරා ඇම්.බී. සිරිවර්ධන මහතා එකිනෙකට සැසඳෙන්නේ නැති සාක්කි ඉදිරිපත් කර ඇති අතර පිට සාක්කි අනුව ඔහුගේ සාක්කි පිළිගත නොහැකි බවට කියනු ලැබේ.

 


ගෙන ගිය හැටි
දරුවා පැහැරගෙන ගොස් අත්තේ පෙරේදා උදේ 9ට පමණය. දරුවාගේ මව වන ගුරුවරියක් වන සෙලෝහාමි අබේසිංහ (35) මෙහෙකාරියක් වන හීන්මැණිකේ යන දෙදෙනා දරුවන් දෙදෙනකුත් සමඟ මේ අවස්ථාවේදී ගෙදර සිටි බව කියති. මෝටර් රථයක් ගෙදර දොරටුව අසල නතර කරන බව දුටු හීන්මැණිකේ පිටිපස දොර වසා ගෙට ගොස් ඇත. මඳ වේලාවකින් පසු අබේසිංහ මහත්මිය සිටි කාමරයේ ජනේලය අසලට පැමිණි දෙදෙනෙක් බී.ඩී. සිරිසේන මහතා ගෙදර සිටින්නේ දැයි අසා තිබේ. මේ අතරතුර වැසූ දොරටුවට පයින් ගසා හැරගත් තවත් දෙදෙනෙක් මවගේ ඇඟේ එල්ලී සුරතල් බස් දොඩමින් සිටි ජගත් කුමාර කුලසිරි දරුවා ඔසවාගෙන හඬද්දී පැහැරගෙන ගොස් ඇත.


ජගත් කුමාර කුලසිරි දරුවා අබේසිංහ මහතාගේ දරුවන් පස් දෙනාගෙන් සිව් වැන්නාය. 


 තම හුරතල් දරුවා පැහැර ගෙන ගිය අය පිටුපස ටික දුරක් එලවා ගිය නමුත් එතැන තිබුණ මෝටර් රථයේ ගොඩ වී වේගයෙන් ගිය පිරිසට කිට්ටු කිරීමට මවට නොහැකිවී ඇත. එවෙලේම පොලිසියට පැමිණි මව විසින් මේ සිද්ධිය විස්තර කරන ලදී.


ලංකාදීපය මෙම ප්‍රවෘත්තිය පළකොට දින 2කට පසු එළඹුණු 1958 පෙබරවාරි මස 14 වනි සිකුරාදා පුවත්පත වර්තා කොට ඇත්තේ පැහැරගත් දරුවා හම්බ වූ බවය. එහෙත් එදින උදෑසන ලංකාදීපය මෙය වාර්තා කොට නැත්තේ ලංකාදීපය එවකට උදෑසන පුවත්පතක් වූ නිසාය. එදින සවස නිකුත් වූ ‘ජනතා’ පුවත්පතේ මෙම සිද්ධිය වාර්තා කොට ඇත. අද දිනපතා පුවත්පත්වල ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ ‘ඊයේ සිදුවිය’ යනුවෙනි. එහෙත් ජනතා පුවත්පත මෙම සිදුවීම වාර්තාකොට ඇත්තේ දරුවා නැවතත් අද උදෑසන සිය මව් තුරුලේ උණුසුම ලැබුවේය... යනුවෙනි. දැන් සිංහලෙන් සවස පුවත් පත් නිකුත්වීම අභාවයට ගොස් ඇති නිසා ඉරිදා ලංකාදීප පාඨකයින්ට මෙම ප්‍රවෘත්තිය අලුත් අත්දැකීමක් වනු නියතය. එම ප්‍රවෘත්තියේ මෙසේ සඳහන්ය.


“පැහැර ගත් ළමයා හම්බවෙයි. ගේට්ටුව ළඟ අඬ අඬා හිටියා” ‘කොහෙද පුතේ ගියේ’ ‘නැන්දලෑ දිහෑ’ 


සිව් දිනකට උඩදී මව් තුරුලෙන් පැහැරගෙන ගිය සිඟිති දරුවා නැවතත් අද උදෑසන සිය මව් තුරුල්ලේ උණුසුම ලැබුවේය.


අද අලුයම 2.30ට පමණ කොළඹ ග්‍රෑන්ඞ්පාස්හි පුද්ගලික බෙහෙත් ශාලාවකට ගෙනැවිත් දමන ලද ජගත් කුමාර නමැති තුන් හැවිරිදි ළදරුවා එවේලේම පොලිසිය භාර ගෙන, හොරණට ගෙන යන ලදී.

 


තවත් රියැදුරෙක් අල්ලයි
උදේ 6.30ට පමණ හොරණ පොලිස් කාර්යාලයේදී දරුවා සිය දෙමාපියන්ට දෙනු ලැබීය.


සතුටු කඳුළින් පිරි දෙනෙතින් දරුවා වෙතට දිව ආ අම්මා දැඩි ආශාවකින් සිය දරුවා සිඹිමින් වැළඳ ගත්තාය.


“කොහේද පුතේ මගෙ පුතා හිටියේ”යි ඈ ඇසුවාය.


දවස් ගණනකට පසු මව්පියන් දැකීමේ ප්‍රීතියෙන් පිනාගිය කුමාර්, නැන්දලාගේ දිහාවේ ගියා යැයි කීවේ කිසිම කලබල ගතියක් නැතිවය.


පොලිස් නිලධාරීන් ඇතුළු අති විශාල පිරිසක් බලාසිටියදී මාපිය දෙදෙනාට යළත් එක් වූ ළදරු කුමාර පසුව පොලිස් කාර්යාලය තුළදීම සෙල්ලම් කරමින් සිටියේය.


රාජකාරිය පිළිබඳ කටයුතු, හමාරවී මාපියන් සමඟ නැවතත් ගෙදර යනතෙක්, ළදරුවා හැසිරුණේ කිසිම කලබලයක් නොවූ අන්දමකිනි. 


කොළඹ ග්‍රෑන්ඞ්පාස් වීදියේ බවර් ෆ්ලැට්ස්හී අංක දරණ ස්ථානයේ නිවැසි කේ. ඊ. පී. පෙරේරා මහතා මේ දරුවා සොයා ගැනීම පොලිසියට උදව් වූ බව ඔහු කියති. 


පෙරේරා මහතා ජනතාවට කළ ප්‍රකාශය මෙසේය.


ගේට්ටුව බැඳ තිබුණා


“අද අලුයම 2.10ට ග්‍රෑන්ඞ්පාස් වීදියේ බබාපුල්ලේ දිස්පැන්සරිය පසුකොට මම ගමන් කරමින් සිටියෙමි. දිසපැන්සරියේ ගේට්ටුව ඇතුළත ළමයකු හඬමින් සිටිනු මම දුටුයෙමි. ගේට්ටුව වසා තිබුණෙන් ළමයාට එළියට එන්නට මඟක් නොතිබුණේය.


ගේට්ටු පලු දෙක එකට තුවායකින් බැඳ තිබුණ නිසා ළමයා ඉන් පිටවන්නට බැරිව අඬ අඬා සිටියේය.


ඒ අතර තවත් කෙනෙකු එතැනට පැමිණියහ. මේ අතර ඩිස්පැන්සරිය තුළ වුසු අයද එළියට ආහ. පසුව ළමයා පිළිබඳ විස්තරය පොලිසියට දන්වා සිටියලු. එවිට පොලිසියෙන් අවුත් ළමයා ගෙන ගියේය.


දොස්තර බි්‍රටෝ බබාපුල්ලේ මහතාගේ දිස්පැන්සරියේ සේවය කරන හෙන්රි ජෝසප් පිල්ලේ මහතා මෙසේ කීවේය. 


අළුයම 2.15ට පමණ මෝටර් රථයක් අප බෙහෙත් ශාලාව අසල නවත්වන ශබ්දයක් ඇසුනා. සාමාන්‍යයෙන් දොර අරින්නේ සීනුව නාද කළ පසුයි. මිනිත්තු 15කට පමණ පසු සාත්තු සේවිකාවක් වූ ඊ.ජී. ඩිග්‍රට් නෝනා මහත්මිය වීදුරු ජනේලයකින් පිටත බැලූවිට ළමයෙක් බෙහෙත් ශාලාවේ ඉස්තෝප්පුවේ සිටින බවත් ගේට්ටුව තුවායකින් බැඳ තිබුන බවත් දුටුවාය. කලිසමක් ඇඳ සිටි කෙනෙක් සහ සරමක් ඇඳ සිටි කෙනෙක්ද ගේට්ටුවෙන් පිට සිටිනු ඈ දැක තිබේ. 


මේ බව ඈ මා සමඟ කී විට මා එළියට ගොස් ගේට්ටුව ඇර ළමයාට කථා කළ නමුත් ඔහු කථා නොකළේය.


ටැලිපෝනයෙන් දැන්නුවා
ඉන්පසු මම ග්‍රෑන්ඞ්පාස් පොලිසියට ටැලිපෝනයෙන් දැන්නුවෙමි.


පොලිසියෙන් පැමිණ ළමයාත් ගේට්ටුව අසල සිටි දෙදෙනාත් පොලිස් කාර්යාලයට කැඳවාගෙන යනු ලැබූහ.


හොරණ සිට මරදානට කුලී මෝටර් රථයකින් ළදරුවා ගෙනා බවට සැක කරනු ලබන රියැදුරෙක් පොලිසිය විසින් සිර භාරයට ගනු ලැබ සිටී.


ළමයා ගෙනා බවට සැක කරන ඒ කුලී මෝටර් රථය, දැනට කොළඹ ගරාජයක තිබෙන බවද කියනු ලැබේ.


වසර 59කට පෙර සිදුවූ මේ ළමා පැහැර ගැනීම පසුපස හඹාගිය ඉරිදා ලංකාදීපයට සොයාගැනීමට අවශ්‍ය වූයේ හොරණ මුණගම ජගත් කුමාර කුලසිරි ළදරුවා ලොකු මහත් වූ විට විවාහ වූයේ කා සමඟද යන පැනයයි. හොරණ මුණගම කරක් ගැසූ අපට අවසානයේ ජගත් කුමාර විවාහ වූ පෙම්වතිය සොයා ගත හැකි විය. ඒ හොරණ නම් නොවේ. නුගේගොඩ ප්‍රදේශයෙනි. ඇය නමින් කාන්ති ජයවර්ධනයි. ජගත් සමඟ විවාහයෙන් පසු ඇය කාන්ති කුලසිරි නම් වූවාය. මේ ඇය ඉරිදා ලංකාදීපයට ඒ අතීතය හාරා අවිස්සූ අන්දමයි.


ජගතුයි මායි ඉගෙන ගත්තේ හොරණ තක්ෂිලාවේ. මගේ තාත්තායි ජගත්ගේ තාත්තායි හොඳ යාලුවෝ. පොඩි කාලේ ඉඳන් අපි යාලුවෝ. අපි දෙන්නා අවුරුදු 11ක් යාළුවෙලා ඉඳලා බැන්දේ 1981 දී. එතකොට ජගත්ට වයස 27යි. මට 24යි. ජගත් උපන්නේ 1954 නොවැම්බර් 03 වැනිදා”.


ඇය අතීතය ස්මරණය කරන්නට අප සමඟ එක් වූයේ දහස්වර නෙතුපිය හෙළමින් ආදර අතීතයක් සිහිපත් කරමින් විය යුතුයි. ජගත් කුමාර නිදහස් වීමෙන් පසු තමන් පැහැරගෙන ගිය පුද්ගලයා සමඟ පැවැත්වූයේ කවර අන්දමේ සබඳතාවයක් දැයි දැනගැනීමට අපට අවශ්‍ය විය. මේ ‘ළමා කොල්ලකරු’ ගැන ඇගේ වචනයෙන්ම.


“අපි ධරැඛ කරනකොට දවසක් ජගත් මාත් එක්ක හොරණ බස් එකේ ආවා. කොහුවලින් බහින්න ඕනෑ කිව්වා. ජගත්ව පැහැරගෙන ගිහින් තිබ්බේ ජයසිංහ කියලා එක්කෙනෙක්. කොහුවලින් බහින්නේ මොකද කියලා ඇහුවම කිව්වා පොඩි කාලේ මාව පැහැරගෙන ගිය ජයසිංහ මැරිලා, මිනිහගේ මළගේට මම යනවා කියලා”.


අපට ඊළඟ ජගත් - කාන්ති විවාහයේ දරුවන් ගැන විමසූවිට ඇය තම පවුල් ජීවිතයේ එම ආදරණීය සංධිස්ථානය ගැන මතක් කළේ දැඩි ළෙන්ගතුකමකිනි.


ජගත් - කාන්ති යුවලට මුලින්ම දරුවකු උපන්නේ 1982දීය. කුළුඳුලේ උපන් එම පුතුට සඳුන් යැයි නම් තැබූ අතර ඉන්පසු උපන් දියණියන් දෙදෙනාට අනුෂි සහ මධුෂි යයි නම් තබන ලදී. මේ දරුවන් උපන් 80 දශකයේ රට කැළඹූ මතුගම සමන් කුමාර පැහැරගෙන යාම ගැන විමසීමේදී කාන්ති මදක් සිතුවිලි සයුරේ නිමග්නව අප අමතන්නට වූවාය.


“මං නම් පත්තරවල ප්‍රවෘත්ති ඔක්කොම දැන ගත්තේ ජගත්ගෙන්. එයා පත්තර ඔක්කොම අරගෙන උදේට බලනවා. සමන් කුමාර පැහැරගෙන ගිය වෙලේ උදේ පාන්දර ගිහින් තියෙන පත්තර ඔක්කොම ගෙනල්ලා කියෙව්වා. ඊට පස්සේ අකුරක් නෑර මට කියවනවා. සමන් කුමාර මැරුවා කියපු වෙලේ එයා හරියට කනගාටු වුණා. මාව නම් තුන්පාරක් පිස්තෝලෙ තියලා මරන්න ගියා. මම පිස්තෝලවලට ආස නිසා ඒක ඉල්ලුවා. මං දැනං හිටියේ නෑ ඒවා ඇත්ත පිස්තෝල කියලා. මම එදා මරණයෙන් බේරුණා. මට සමන් කුමාර මරපු එක ගැන හරි දුකයි” කියලා මහත්තයා ඒ දවස්වල පුදුම කම්පනෙන් හටියේ”


ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පැහැරගත් දරුවා වන ජගත් කුමාර කුලසිරිගේ පුතා ගැනද දෛවෝපගත සිදුවීමක් අපට කාන්ති සමඟ කතා බහේදී දැනගැනීමට හැකිවිය. මේ සිදුවීම ඇගේ වචනයෙන් නොව අප සොයාගත් තොරතුරු මත සඳහන් කරන්නේ ඒ පැහැරගැනීමට උත්සාහ කළ තැනැත්තා තවමත් ජීවතුන් අතර සිටින නිසාය. ජගත් කුමාර වරක් මෝටර් රථයක් සඳහා අත්තිකාරමක් ගෙවූ විට ඔහු සොයා හොරණ ප්‍රදේශයේ නම් දැරූ ‘චණ්ඩියෙකු’ ලුහුබැඳ එම රථය තමන්ට අවශ්‍ය බව පවසා ඇත. නමුත් ජගත් ‘චණඩියාගේ’ ගෝරනාඩුවට බය නොවුණේ බැංකුවක් කඩා හිරේ ගොස් සිටි චණ්ඩියාව තුට්ටුවකට ගණන් ගන්නේ නැතුවය. පසුව ජගත්ට දැන ගන්න හැකිවී ඇත්තේ තමන්ම මෙන්ම තම පුතු සඳුන්ව පැහැරගෙන යාමට මෙම චණ්ඩියා සැලසුම් කර ඇති බවය. තමන්ගේත් දරුවන්ගේත් ආරක්ෂාව පැතූ ජගත් කුමාර හොරණින් නුගේගොඩට සංක්‍රමණය වන්නේ ඉන්පසුවය.


ජගත් කුලසිරි පසුව මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකු බවට පත්විය. හොරණ සහ කිරුළපන පිහිටි සිග්මා ආයතනයේ නිර්මාතෘවරයා වන්නේ මේ ලිපියට පාදක වූ ජගත් කුමාර කුලසිරිය. ඔහුග් බිරිඳ වූ කාන්ති අප සමඟ පැවසුවේ ජගත් කේන්දර එතරම් විශ්වාස නොකළ බවය. වරක් ඔහුගේ කේන්දරය බැලූ ප්‍රකට දෛවඥයකු පවසා ඇත්තේ ඇනේපිඬුසිටුතුමා මෙන් නිකං බලා සිටියත්දී  ජගත්ගේ දෙපාමුලට ධනය ගලාඑන බවය. නමුත් ජගත් ඊට එකඟ වී නැහැ. සල්ලි තිබෙන්නේ හරියට ළිඳක්වගේ උනන්න ඕනෑ දෙයක්. අපි වතුර ගන්නවා වගේ සල්ලි අරන් වියදම් කරන්න කරන්න ඒකට සල්ලි නමැති ජලය උනන්න ඕනෑ”ය ජගත් පවසා ඇත.
මේ ජගත් කුමාරගේ වත්මන් තොරතුරු දැනගැනීමට පාඨක ඔබද දැන් පුල පුලා බලා සිටිනු නියතය. මේ ගැන ජගත්ගේ බිරිඳ කාන්තිගෙන් අප විමසුවෙමු.


“මහත්තයා 2017 ජනවාරි 1 වැනිදා ඔක්කොම සේවකයෝ ගෙදරට ගෙනැල්ලා ලොකු සංග්‍රහයක් කළා. මහත්තයා නිතරම කියන කතාවක් මට තනියෙන් මැරෙන්න ඕනෑ. ඔයා නැත්තම් ඒකටත් පස්සෙන් එයි කිව්වා. එයාගේ මළගෙදර මට කතාවක් කරන්න කිව්වා. මහත්තයා එහෙම කිව්වට අපිට කිසිම කරදරයක් තිබුණේ නැහැ. අපේ සාර්ථක ව්‍යාපාරයක් තියෙනවා. දරුවොත් ඔක්කොම බැඳලා. පුතා ව්‍යාපාර බලාගන්නවා. දුවල දෙන්නම ඕස්ටේ්‍රලියාවේ වෛද්‍ය සේවයේ. අසනීපෙන් හිටියට මහත්තයා මරණයට බය වුණේ නෑ. සමහර දාට රෑට නිදා ගන්නකොට මිනියක් වගේ අත් බැඳ ගන්නවා. අද රෑට මළොත් හෙට දවල්ට ආදාහන කටයුතු කරන්න කිව්වා. එහෙම ඉඳලා පෙබරවාරි 26 වැනිදා මහත්තාය නැති වුණා. මහත්තයා හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ඉගෙන ගන්න සිල්වත් භික්ෂූන්ට විතරයි වඳින්නේ. මහත්තයාගේ තුන්මාස බණට මැයි 26 වැනිදා මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ වඩිනවා. මාත් මහත්තයත් එක්ක භාවනා කළ නිසා මහත්තයාගේ අඩුව මට දැනෙන්නේ නැහැ.”

ඩී. ජී. ලියනගේ



අදහස් (0)

ලංකාවේ ප්‍රථම මිනිස් කප්පම

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3030 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 24 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site