IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බැකෝවක් සහ ලොරියක් සොරකම් කළ හොරු අත්අඩංගුවට

 

කුඩා සෙල්ලම් බඩුවක් සොරකම් කළ හැකිය. නමුත් ගසක බැඳ සිටින අලියෙකු හෝ ඇතෙකු කිසිවෙකුට නොපෙනී සොරකම්කොට ගෙන යා හැකිද?
මෙයද මේ හා සමානම වූ අපරාධයක කතාවකි. මේ අපරාධයේ සුලමුල සහ ඊට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳව වාර්තා වූයේ පොතුහැර පොලිසියෙනි.


කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්බොක්ක මංසන්ධියට නුදුරින් පිහිටි ජපන් මෝටර් රථ අමතර කොටස් වෙළඳසලක රාත්‍රී සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ පුවත පසුගිය 13 වැනි දින වාර්තාවිය.


කුරුණෑගල තෝරයාය නාරම්පොළ පදිංචි වී සිටි හැටපස් හැවිරිදි පී. ඩී. සද්ධාතිස්ස නමැති දෙදරු පියෙකු එලෙස ඝාතනය කර තිබුණි. ඝාතකයෝ මෙම වයස්ගත පුද්ගලයාව කණුවකට තබා බැඳ, ඔහුගේ කටට රෙදි කැබලි ඔබා, හිස ද වැසෙන සේ බැඳ දමා තිබීමෙන් හුස්ම හිරවීමෙන් ඔහුගේ මරණය සිදුවී තිබුණි.


ඝාතනය දැනගත් වහාම එම ස්ථානයට පැමිණි පොතුහැර පොලිසිය වහා විමර්ශන ඇරැඹීය. ව්‍යාපාරික ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියෙන් ඝාතනයට සම්බන්ධ යම්කිසි හෝඩුවාවක් ලබාගත හැකි යැයි සිතූ පොලිස් නිලධාරීන් එය පරීක්ෂාවට ලක්කිරීමේදී අනාවරණය වූයේ ඝාතකයින් සීසීටීවී කැමරා පද්ධතිය ගලවා දමා පමණක් නොව එහි දත්ත පටිගත කෙරෙන කොටස ද ගලවාගෙන ගොස් ඇති බවය.


මෙයින් අනාවරණය වූයේ ඝාතනයට පැමිණි පුද්ගලයින් කාර්මික හැකියාවෙන් දක්ෂ පිරිසක් සේම මෙම ඝාතනය වසන් කිරීමට උත්සහ දරා ඇති බවය.


ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ජපානයේ සිට රථ වාහනවල විවිධ කොටස් මෙන්ම බැකෝ යන්ත්‍ර වැනි ඉදිකිරීම් යන්ත්‍රසූත්‍ර මෙරටට ගෙන්වා අලෙවි කරන්නෙකු විය. කෝටි ගණනාවක් වටිනා උපකරණ එහි විය.


මෙම සිද්ධිය දැන ගැනීමෙන් පසුව ව්‍යාපාරික ස්ථානයට පැමිණි හිමිකරු තම සම්පූර්ණ ව්‍යාපාරික ස්ථානයම නිරීක්ෂණයට ලක් කළේය.


“මම බලපු ගමන් කියන්නම් සර්. ආව මිනිස්සු ඇණයක්, මුරිච්චියක්වත් අරගෙන ගිහිල්ලා නැහැ.....” ඔහු පොතුහැර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත අධිකාරි මහතාට කීවේය.


ව්‍යාපාර හිමිකරුගේ එම ප්‍රකාශයෙන් පොලිසියට ඇතිවූයේ බරපතළ ගැටලුවකි. එම ස්ථානයේ වටිනා යන්ත්‍ර සූත්‍ර කොටස් රාශියක් තිබියදීත් ඒවා කිසිවක් ද රැගෙන ගොස් නොමැතිනම් ඔවුන් මෙම ඝාතනය සිදුකළේ කුමක් නිසා ද යන්න පොලිසිය හමුවේ වූ බරපතළ ගැටලුවක් විය.


ඝාතනයට ලක්වූ ආරක්ෂක නිලධාරියා පිළිබඳව සොයා බැලීමේදී ඔහු කිසිදු පුද්ගලයෙකු සමග අමනාපයකින් නොසිටි ඉතා අහිංසක පුද්ගලයෙකු බව ද අනාවරණය විය. එසේනම් මෙම ඝාතනය සිදුකළේ කුමක් නිසාදැයි යන උභතෝකෝටික ගැටලුව පොලිසිය හමුවේ විය.


කෙසේ වුවද අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා පොතුහැර පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටියදී මෙම ඝාතන සිද්ධියෙන් දින තුනකට පසුව ව්‍යාපාරිකයා පොතුහැර පොලිස් ස්ථානාධිපති අධිකාරි මහතා හමුවීමට පැමිණියේ අපූරු තොරතුරක් ද රැගෙනය.
“හරි වැඬේ සර්..... මගේ ප්ලේස් එකේ තිබුණු ලොරියකුයි පොඩි බැකෝ එකකුයි නෑනේ. මං හිතන්නේ ඒවා, අපේ වොචර් මරලා දාපු මිනිස්සු අරන් ගිහිල්ලා කියලයි......”


ව්‍යාපාරිකයා ලබාදුන් අපූරු තොරතුර විය. ව්‍යාපාරිකයා එසේ ලබාදුන් තොරතුරු අධිකාරි මහතා ද අසීරුතාවට පත්කරවන්නක්ම විය.
“ඔයා එදා හොඳට හොයලා බලලා නේද කීවේ ආව අය ඇණ මුරිච්චියක්වත් අරන් ගිහිල්ලා නැහැ කියලා. එතකොට මේ අලියෙක් වාගේ හොඳට පෙනෙන ලොරියකුයි, බැකෝ එකකුයි හොරකම් කරගෙන ගිහිල්ලා කියලා දැනගන්න දවස් තුනක්ම ගියා ද?” යැයි පොලිස් පරීක්ෂක අධිකාරි මහතා ව්‍යාපාරිකයාගෙන් විමසුවේ සිතට ආ කෝපය ද සහිතවය. එසේ රැගෙන ගිය ලොරියේ සහ බැකෝවේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික විය.


ව්‍යාපාරිකයා ලබාදුන් එම තොරතුර පිළිබඳව වහාම තම උසස් පොලිස් නිලධාරීන් වූ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එම්. සෝමරත්න මහතාට සහ සහකාර පොලිස් අධිකාරි (»»») කසුන් ජයසේකර මහතාට අධිකාරි මහතා දන්වා සිටියේය. ඔවුන් ඒ පිළිබඳව තම ඉහළ නිලධාරීන් වූ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති (වැඩබලන) චම්පික සිරිවර්ධන මහතාට දැනුම්දීමෙන් පසුව ඔවුන්ගේ උපදෙස් අනුව ආරක්ෂක නිලධාරියා ඝාතනයේ සහ රථවාහන සොරකමට සම්බන්ධ සැකකරුවන් සොයා වෙනත් මගක් ඔස්සේ පරීක්ෂණ ඇරඹුවේය.
මෙම අපරාධයේ විමර්ශන කටයුතු මෙහෙයවීම බාරවූයේ තරුණ පොලිස් නිලධාරියෙකු වූ සහකාර පොලිස් අධිකාරි කසුන් ජයසේකර මහතාටය. ඔහු කුරුණෑගලට පත්ව ආවේ මෑතකදීය.

 


ජයසේකර මහතා මේ සඳහා පොලිස් කණ්ඩායම් තුනක් සූදානම් කළේය. පොතුහැර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක දිමුතු ගුණසේකර මහතා යටතේ එක් කණ්ඩායමක් ද එහි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගාමිණී විමලසුරේන්ද්‍ර මහතා යටතේ තව කණ්ඩායමක් ද පත් කෙරුණු අතර, තුන්වැනි කණ්ඩායම පොල්ගහවෙල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මාලින්ද කුමාර මහතා යටතේ ද විය.


මෙම කණ්ඩායම් තුනට වෙන වෙනම රාජකාරි පැවරූ සහකාර පොලිස් අධිකාරි ජයසේකර මහතා උපපොලිස් පරීක්ෂක දිමුතු ගුණසේකර මහතාට පැවරූ රාජකාරි වූයේ මෙම සිද්ධියේ සැකකරුවන් ලොරිය රැගෙන ගිය ගමන් මග සීසීටීවී කැමරා ආධාරයෙන් අනාවරණය කර ගැනීමටය.


තරුණ නිලධාරියකු වූ ගුණසේකර මහතා රථවාහන අංශයේ රාජකාරි වෙනුවෙන් පසුගිය වසරේ හොඳම පොලිස් නිලධාරියාට හිමි සම්මානයකින් ද පිදුම් ලැබූ දක්ෂ නිලධාරියෙකි. තමන්ට පැවරුණු රාජකාරියට අනුව ගුණසේකර මහතා කුරුණෑගල නගරය මගහැර මෙන්ම ප්‍රධාන මාර්ගවල ඇති පොලිස් මාර්ග බාධකවලට හසුනොවී සැකකරුවන්ට පලා යා හැකි මාර්ග පිළිබඳව පළමුව විමසිලිමත් විය.


ඒ අනුව අනාවරණය වූයේ සැකකරුවන් ලොරිය ද රැගෙන ව්‍යාපාරික ස්ථානය අසලින්ම වැටී තිබෙන හාල්පාර මාර්ගය දිගේ මීගමුව මාර්ගය දෙසට ගොස් ඇති බවය. එම මාර්ගය මීගමුව පාරට පිවිසෙන කුඩා මල්කඩුවාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවල සහ නිවාසවල සවිකර තිබූ සීසීටීවී කැමරාවල පටිගතව තිබූ දත්ත පරීක්ෂා කර බැලූ ගුණසේකර මහතාට බේකරියක සවිකර තිබූ සීසීටීවී කැමරාවකින් සැකකරුවන් පිළිබඳව වූ පළමු හෝඩුවාව සොයා ගැනීමට හැකි විය. එහි (දම් පැහැති) කුඩා බැකෝවක් පටවාගත් සුදු පැහැති ලොරියක් ධාවනය වන අයුරු සටහන්ව තිබුණි.


ඒ ඝාතනය සිදුකර පැය කීපයකට පසුව අලුයම 1.16 ට විය. මෙම වේලාව සසඳා බැලීමේදී සැකකරුවන් ආරක්ෂක නිලධාරියා ඝාතනය කොට ඇත්තේ ඊට පෙර රාත්‍රී 10.00ත් 11.00ත් අතර විය හැකි බව පොලිසියේ නිගමනය විය.


ඉන් අනතුරුව ලොරිය මල්කඩුවාව දෙස සිට කුරුණෑගල නගරය දෙසට ධාවනය කර අලුයම 1.50ට පමණ විලේගොඩ මාර්ගය දෙසට පදවාගෙන යන අන්දම එම මාර්ගයේ ඉදිකෙරමින් පවතින ඉන්ධන පිරවුම්හලක සවිකර ඇති සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.


මේ අනුව සැකකරුවන් කුරුණෑගල යන්තම්පලාව හන්දියට පැමිණ එතැන් සිට වාරියපොළට දිවෙන අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගොස් ඇති බව ගුණසේකර මහතා තහවුරු කරගත්තේය.


ඒ අනුව ලොරිය වාරියපොළ දෙසින් ගියේ කුමන දිසාවට දැයි ඒ මාර්ගයේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවල දත්ත පරීක්ෂා කරන ලෙස සහකාර පොලිස් අධිකාරි ජයසේකර මහතා ගුණසේකර මහතාට උපදෙස් දුන්නේය.


ඒ අනුව කළ විමර්ශනයේදී බැකෝ යන්ත්‍රය පටවාගත් ලොරිය පාදෙනිය මංසන්ධියෙන් අනුරාධපුර දෙසට ධාවනය කරවන අයුරු එම මංසන්ධියේ පිහිටි වෙළෙඳසැලක ඇති සීසීටීවී කැමරාවක අපූරුවට සටහන්ව තිබුණි.


මේ විමර්ශනය සඳහා කුරුණෑගල සිට පාදෙනිය දක්වා වූ මාර්ගවල විවිධ ස්ථානවල සවිකර තිබූ සීසීටීවී කැමරා විසිපහකට වැඩි ප්‍රමාණයක දත්ත පරීක්ෂා කර බැලීමට උපපොලිස් පරීක්ෂක ගුණසේකර මහතාට සිදුවිය. තම මෙහෙයුමේ පළමු අදියර ඉතා සාර්ථක බව වටහාගත් සහකාර පොලිස් අධිකාරි ජයසේකර මහතා ඒ ඔස්සේ යමින් ලොරිය ගමන් කළ වේලාවන් සමග සංසන්දනය කරමින් දුරකථන ඇමතුම් දත්ත වාර්තාවක් ලබා ගත්තේය. එය විමර්ශනය කිරීමේදී එම වේලාවන් හා සමානව එක් ජංගම දුරකථනයකින් ඇමතුම් රැසක් ලබාගෙන තිබෙන බව හෙළිකර ගැනීමට ජයසේකර මහතාට හැකි විය.


එම ජංගම දුරකථන සිම්පත් හිමිකරු කවුරුන්දැයි සොයා බැලූවිට ඔහු මහව අඹන්පොළ දෙමටෑව ලිපිනයෙහි පදිංචිකරුවෙකු බව අනාවරණය විය.


එසේ අනාවරණය කරගත් පුද්ගලයා පිළිබඳව දන්නවාදැයි දම්බොක්කේ ව්‍යාපාරිකයාගෙන් විමසූවිට ඔහුගේ පිළිතුර වූයේ එම නම සහිත පුද්ගලයා තම ආයතනයේ සේවය කොට මෑතකදී ඉවත්ව ගිය අයෙකු බවය. මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයා මොහුම බව ඒ අනුව හඳුනාගත් පොලිසිය ඔහු කටුනායක ප්‍රදේශයේ වෑල්ඩින් වැඩපොළක සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත්තේය. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම ඝාතනයේ සුලමුල ඔහුගෙන් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය.


ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව එම අපරාධයට සහාය දුන් තවත් පුද්ගලයෙකු ද කටුනායක ප්‍රදේශයේදීම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් දෙදෙනාම අවුරුදු විසිපහේ පමණ පසුවන අවිවාහක තරුණයන් වන අතර දෙදෙනාම එකම ගමේ ජීවත්වන ගජ මිතුරන් බවත් දෙදෙනාම සීදුව ප්‍රදේශයේ බෝඩිමක එකට නවාතැන්ගෙන කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික ආයතන දෙකක සේවය කරමින් සිටියදී මෙම අපරාධය සිදුකර ඇති බවත් අනාවරණය වී ඇත. සොරකම් කරගෙන ගිය ලොරිය සමග බැකෝ යන්ත්‍රය අනුරාධපුර සාලියපුර පිහිටි ප්‍රධාන සැකකරුගේ මිතුරකුගේ නිවසෙහි දමා දෙදෙනාම පසුදින කටුනායක පිහිටි තම සේවා ස්ථානවල සේවයට ගොස් ඇති බව ද හෙළි විය.


ප්‍රධාන සැකකරුගේ ඉල්ලීමට අනුව දෙවැනි සැකකරු මෙම අපරාධයට හවුල් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.


විසිපස් හැවිරිදි ප්‍රධාන සැකකරු මෝටර් රථ පිළිබඳව මෙන්ම වෙනත් බොහෝ අංශ සඳහා කාර්මික හැකියාවෙන් යුත් දක්ෂ තරුණයෙකි. ඔහු ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සමග එක්ව ඔහුගේ සමීපතම මිතුරකු ද ලෙස කටයුතු කරමින් එම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු සඳහා සහාය වී ඇත.


අවස්ථා ගණනාවකදීම ඔහු එම ව්‍යාපාරිකයා සමග ජපානයට ගොස් වාහන අමතර කොටස් සේම බැකෝ වැනි යන්ත්‍රසූත්‍ර මෙරටට ගෙන ඒම සඳහා ද සහාය වී ඇති බව පැවසේ. එම ව්‍යාපාර කටයුතුවලින් ඔහුට හිමිවිය යුතු මුදලක් ලබාදීම ව්‍යාපාරිකයා විසින් මගහැරීම හේතුවෙන් ව්‍යාපාරිකයා හා අමනාප වී එහි සේවයෙන් ඉවත්ව ගිය බව පැවසේ. 


“මගේ දැනුමයි, මහන්සියයි පාවිච්චි කරලා තමයි එයා ඔය වාහන අමතර කොටස්, බැකෝ යන්ත්‍ර ජපානයේ ඉඳලා ලංකාවට ගෙනාවේ. ඒවායින් මට ලැබෙන්න ඕනෑ මුදල් නොදී එයා මගහැරියා. ඒ නිසා ඒ මුදලට හිලව් වෙන්න මොනවා හරි අරන් යන්න කියලා තමයි අපි එදා ආවේ.


අපි දෙන්නා යාඞ් එකට හොරෙන් ඇතුළු වුණාම වොචර් අපිව දැක්කා. මිනිහා කෑගහන්න හදනකොට පිටට සද්දේ ඇහෙයි කියලා බයවෙලා අපි දෙන්නා එයාව අල්ලලා බැඳලා කටටත් රෙද්දක් ඔබලා, ඔළුවත් වැහුවා. ඊට පස්සේ මම බැකෝවක පොම්පයක් ගලවන්න හැදුවත් ඒක බැරිවුණා. ඊට පස්සේ අල්ලපු කොටසේ තියෙන බැකෝ නවත්තලා තියෙන තැනට ගියාම මම දැක්කා මම ළඟදී ජපානයේදී තෝරපු හොඳ තත්ත්වයේ තියෙන පුංචි ප්‍රමාණයේ දම්පාට බැකෝ යන්ත්‍රයක්. මට ඒ වෙලාවේ අදහසක් ආවා මට ලැබෙන්න තියෙන සල්ලි හිලව්වට මේක ගෙනියනවා කියලා.


බැකෝ එකේ යතුරත් ඒකෙම තිබුණා. ඒක ගෙනියන්න වාහනයක් හොයන කොට සුදුපාට එල්ෆ් වර්ගයේ ලොරියකුත් යාඞ් එකේ තිබුණා. ලොරියෙත් යතුරු තිබුණු නිසා හිමිහිට බැකෝව ලොරියට පටවාගෙන අපි එතැනින් ගියා. පහුවදා ප්‍රවෘත්තිවලින් තමයි දැන ගත්තේ අපි කණුවක ගැටගහලා ආව වොචර් හුස්ම හිරවෙලා මැරිලා කියලා. අපිට එයාව මරන්න කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.” මේ ප්‍රධාන සැකකරු පොලිසියට කර තිබූ ප්‍රකාශයයි. පොලිස් නිල සුනඛයන්ට ද සොයාගත නොහැකිවන ආකාරයට කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට අපරාධකරුවන් පලා ගොස් සිටිද්දී, දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසකගේ සහායෙන් එම අපරාධය සිදුකර සතියක් වැනි කෙටි කාලයකදී ඔවුන් කොටුකර ගැනීමට ලැබීම විශේෂ කරුණකි.


විශේෂයෙන්ම මෙහිදී අපරාධකරුවන් කොටුකර ගැනීමට සීසීටීවී කැමරා දර්ශන සහ දුරකථන ඇමතුම් දත්ත පමණක්ම යොදා ගැනීමෙන් මෙය නවීන තාක්ෂණය භාවිතයෙන් නගරයෙන් බැහැර ගමේ පොලිසියත් අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගත් සුවිශේෂී අවස්ථාවක් ද වේ.


උපපොලිස් පරීක්ෂක දිසානායක, සැරයන් (36137) ජයසිරි, (22304) වසන්ත, (31001) කුලරත්න, කොස්තාපල් (38223) ගුණසේකර, (64736) සුජිත්, (36046) ජයසේකර, කාන්තා කොස්තාපල් (5460) තෙන්නකෝන් යන නිලධාරීහු ද අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා සහාය වූහ.



අදහස් (0)

බැකෝවක් සහ ලොරියක් සොරකම් කළ හොරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3650 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 33 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1463 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 454 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 166 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 272 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site