IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එවරස්ට් මුදුනේ දෙවැනි වතාවටත් සිංහ ධජය එසවෙයි

අභියෝග ජයගත් මිනිස්සු

 

වලාකුළු වියන පසුකර නීල ගගන තලය සිපගත් මිහිපිට ඇති උස්ම ස්ථානය එවරස්ට් යැයි ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. මිනිසා විශ්වය ජය ගත්තේ හෙවත් සඳ මත පා තැබුවේ 1969 වසරේ දී ය. නමුදු මිනිසා එවරස්ට් තරණය කළ ඉතිහාසය ඊටත් එහා වූ අතීතයකට දිවයයි.   


මිනිසා එවරස්ට් තරණය කළේ 1953 වසරේ දී ය. නිල වශයෙන් එවරස්ට් මුදුනත සිපගත් මානවයින් දෙදෙනා වූයේ ටෙන්සින් නෝර්ගේ සහ එඩ්මන්ඩ් හිලරි ය. එලෙසින් ඒ දෙදෙනා එවරස්ට් තරණය කළ ප්‍රථම මානවයින් දෙදෙනා වුව ද ඊට පෙර මේ සුදෝ සුදු හිම ශිඛරය තරණය කළ තවත් මිනිසුන්ගේ නාමයන් සඳහන් වේ.
  
එයින් නිරුපද්‍රිතව නැවත ඒමට හැකි වූයේ කීප දෙනෙකුට පමණි. මිහිමත නැගී සිටින මේ දැවැන්ත කඳු ශිඛරය ස්පර්ශ කිරීමට එදා ප්‍රයත්න දැරූ බොහෝ දෙනාට නැවත ඒමට නම් නොහැකි විය.  


පියවරෙන් පියවර තබමින් කඳු මුදුනතට ළඟා වෙමින් සිටි සමහරු අතුරුදන් වූහ. තවත් සමහරු එවරස්ට් හිම මත සදහටම සැඟව ගිය චරිත බවට පත්වූහ. කඳු තරණයට ලොල් බැඳි තවත් සමහර දෙනා එක් වතාවක දී නොව අවස්ථා කීපයකදීම එවරස්ට් තරණය කිරීමට ප්‍රයත්න දැරුව ද ඒවා අසාර්ථක ප්‍රයත්නයන් බවට පත්විය. ජපන් ජාතික කඳු තරණය කරන්නෙකු අට වතාවක දී ම උත්සාහ දරා අවසන එවරස්ට් වෙත ජීවිතය පූජා කළේය.  
එවරස්ට් තරණය කෙතරම් අවදානම් ද යන්න කීමට ඒ කරුණු හොඳටෝම ප්‍රමාණවත් ය.  


එසේ තිබිය දී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් එවරස්ට් මුදුනත ලක් ධජය එසැවූ ප්‍රථම චරිතය වන්නේ ජයන්ති කුරුඋතුම්පාල ය. ඇය ඒ හපන්කම කළේ 2016 වසරේ දී ය. ඇය සමග ඒ විශ්මිත චාරිකාවට එදා තවත් කෙනෙක් එක්ව සිටියේය. ඔහු යොහාන් පීරිස් ය. ජයන්ති සහ යොහාන් එක්ව එදා ඒ අසීරු ඉලක්කය කරා යමින් ඔවුනගේ ගමනාන්තයට සමීපව සිටිය දී ඔක්සිජන් නොමැති වූ හේතුවෙන් ශිඛරය මුදුනත පෙනි පෙනී යොහාන්ට නැවත පල්ලම් බැසීමට සිදුවිණි.  


එය ඔහුට එතරම් කණස්සලට හේතුවක් නොවූයේ තම ගමන් සහායිකාව වූ ජයන්ති ජයග්‍රහණය සනිටුහන් කළ නිසාය. කෙසේ වෙතත් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියාකරන යොහාන් තම උත්සාහය අත් නොහැරීය. පසුගිය වතාවේ ලද අත්දැකීම් ද උපයෝගී කරගෙන නොබෝදා යළි එවරස්ට් තරණයට එක්විය. ඒ දැඩි ආත්මශක්තියක් දරාගෙනය.  


‘මම මෙවර එවරස්ට් තරණය කරනවාමයි’ යනුවෙන් ඔහු තම හිතවතුන්ට මෙන්ම පවුලේ අම්මා, අයියා සහ අක්කා වෙත පැවසීය. එය යථාර්ථයක්ම බවට පත් කිරීමට මේ යොහාන්ට අද හැකිව තිබේ.   


ජයන්තිගෙන් පසුව එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස යොහාන්ගේ නාමය දැන් සනිටුහන් වී හමාරය. ජීවත්වීමේ ජීවිත ආසාව පසෙක තබා එවරස්ට් මුදුනත සිපගත් මේ යොහාන් කවුද?  


මීට දශක හතරකට පමණ පෙර දී යොහාන් කොළඹ දී උපත ලැබුවේ පවුලේ බාලයා ලෙසය. එක් සහෝදරයකු සහ එක් සහෝදරියක ඔහු සතු ය. පවුලේ බාලයා විටෙක දඟකාරයකු යැයි කීවද, යොහාන් දඟයෙකු නොවීය. ඔවුනගේ පියා පරිසරයට මහා පුදුමාකාර ලෙස පෙම් බැඳි චරිතයක් වූ අතර නිවාඩුවක් ලද විගස තම දරු තිදෙනා රැගෙන වනගත වීම ඔහුගේ පුරුද්දක් විණි. තාත්තාගේ ඒ ආභාෂය ලද යොහාන් ද පරිසරයට ආදරය කරන්නෙකු බවට පත්වූයේ ළමා වියේදීමය.  


ඉගෙනීමට සාමාන්‍ය ලෙස දක්ෂතා දැක්වූ ඔහු සෑම පාසල් නිවාඩුවක්ම එළැඹෙනතෙක් ඇඟිලි ගනිමින් සිටියේ තාත්තා ඊළඟට ඔවුන් රැගෙන යන චාරිකාව සඳහා එක්වීම වෙනුවෙනි. ‘අක්කෙ තාත්තා මෙදා සැරේ අපි කොහේ රැගෙන යාවිද? අයියෙ ඔයා දන්නවද මෙදා සැරේ අපි යන්නෙ කොහෙටද කියලා?’  


එලෙසින් යොහාන් නිතර කුතුහලයෙන් පසුවූ දරුවකු විය. වතාවක තාත්තා මේ දරු තිදෙනා ද කැටුව නකල්ස් තරණයට එක්ව සිටියේය. ඒ වන විට යොහාන්ගේ වයස අවුරුදු දහයක් පමණ විය.  


පසු කලෙක කඳු නැගීමේ නොතිත් ආසාව යොහාන්ට අැති වූයේ එදා එලෙසින් නකල්ස් තරණයට එක්වීම නිසා යැයි කිව හැකිය. එදා කඳු නැගි ආකාරය ගැන පුංචි යොහාන් තමා ඉගෙන ගත් පාසල වන කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අනෙකුත් සිසුන් හට පැවසූයේ මහත් උද්දාමයෙනි. පංතියේ මිතුරන් විමතියෙන් යුතුව තමාගේ ඒ වික්‍රමයන් ගැන කතා කිරීම යොහාන්ට ඇති කළේ අරමුණු සහ බලාපොරොත්තු ගොන්නකි.  


‘මම ලෝකය වටේ තියෙන කඳු තරණයට එක්වෙනවා, කවදාහරි පස්ස බලන්නෙ එවරස්ට් තරණය කරලයි’ යනුවෙන් ඔහු ඔහුටම සඵත කර ගත්තේය.  


‘මල්ලි ත්‍රාසජනක අත්දැකීම් ලබන්න, ඒ වගේම විවිධ අත්හදා බැලීම් කරන්න. අමුතු දේ අලුත් දේ අත්හදා බලන්න, සෙවුම් බැලුම් කරන්න නිතරම උත්සාහ ගත්ත කෙනෙක්. ඒ වගේම හරිම නිර්මාණශීලී චරිතයක්. කලාත්මක විදියට බොහෝ දේ කරන්න පුළුවනි. ඉස්සර ගෙදර හැඩ වැඩ දැමීමේ කටයුතු වගේම මිදුලේ ගෙවත්තේ මල් පෝච්චි පවා ලස්සන රටාවකට පිළියෙල කළේ මල්ලි’  


යොහාන්ගෙ ළමා වියේ මතකය ගැන අක්කා ශාමිලා පැවසුවේ එලෙසිනි. ඒ විදියට එදා ත්‍රාසජනක සිදුවීම් ඇසුරේ හැදී වැඩුණ යොහාන් වතාවක කිතුල්ගල ගඟේ හැඩ පහරකට හසුව ගසාගෙන ගියේය. දිවි පරදුවට තබා තාත්තා පුංචි පුතුගේ ජීවිතය බේරා ගත්තේය.  


‘ඒත් තාත්තා කවදාවත් අපේ නිදහසට තහංචි දැම්මෙ නැහැ. පරිසරයට ඒ තරම් ආදරය කළ තාත්තා කෙනෙක් අපි තවත් දැකලා නැති තරම්, අද ළමුන්ට අත්දැකීම් ලබන්න වැඩිහිටියන් අවකාශය ලබාදෙන්නේ නැහැ. සෑම දෙයටම එපා එපා කියලනෙ කියන්නෙ. ඒත් එදා අපි පරිසරය සමග ජීවත් වූ නිසා ලැබූ අත්දැකීම් බොහෝමයි.’  


යොහාන් අද මෙලෙසින් වික්‍රමාන්විත චාරිකාවක යෙදීමේ අත්තිවාරම ලැබුණේ එදා එලෙසින් ලද පන්නරය නිසා යන්න අක්කා ශාමිලා ඉඳුරාම පවසන දෙයකි.  


නමුත් සමහර දඟ වැඩට එහා ගිය අත්දැකීම් අත්විඳින්නට ගිය අවස්ථාවල දී තාත්තාගෙන් දඬුවම් ද ලැබූ අයෙකි. එමෙන්ම අයියාගේ විහිළු තහළු හමුවේ විටෙක කිපුණු චරිතයක් ද විය. එලෙසින් සමාජ ගතවූ යොහාන්ගේ අරමුණ වී තිබුණේ කොණ්ඩා මෝස්තර නිර්මාණ අංශයට පිවිසීමය. එය කුඩා කල සිටම ඔහුට සහජයෙන් උරුම වූ හැකියාවක්ම විය.  


‘එදා යොහාන් මල්ලි අපේ ආච්චි අම්මාගෙ මුහුණ පාට කරලා මේක්අප් දැම්මා. ඒ විතරක් නම් මදෑ, ආච්චි අම්මගෙ කොණ්ඩයට එක එක විලාසිතා දැම්මා. මෙයාට ඕනෑ දෙයක් කරන්න දීලා ආච්චි අම්මා බොහෝම ඉවසීමෙන් හිටියා.’  


අක්කා පවසන පරිදි කොණ්ඩා මෝස්තර කලාවට එලෙසින් උනන්දු වූ යොහාන් පාසල් ජීවිතයට සමුදුන් විගස දිවයිනේ ප්‍රකට සහ ප්‍රවීණ කොණ්ඩා විලාසිතා නිර්මාණ ශිල්පිනී රමණි ප්‍රනාන්දු යටතේ එකී කලාව ඉගෙනීමට ගියේය. නමුත් අද මෙන් කොණ්ඩා විලාසිතා කලාව අසූව දශකය තුළ එතරම්ම ප්‍රචලිතව නොතිබිණි. එනිසා ඔහු මෙම අංශයට පැමිණීම ගැන පවුලේ බොහෝදෙනා අකමැත්ත ප්‍රකාශ කර තිබේ.  


නමුත් තාත්තා කියා ඇත්තේ ‘දරුවා කැමති දේ කරන්න ඉඩ දෙන්න’ යනුවෙනි. ​යොහාන්ගේ දක්ෂතාව ගැන තාත්තා හට ඉවක් තිබෙන්නට ඇත. ඉනික්බිතිව 99 වසරේදී පමණ ඔහුට ඔහුගේම ආයතනයක් ඇරඹීමට හැකිවිණි. රමණි ප්‍රනාන්දු යටතේ ශිල්ප හදාරා පසුව තමාගේ ස්වාධීන ගමන ඇරඹුවේ ‘කටින් ස්ටේෂන්’ (Cutting Station) ආයතනය අරඹමිනි. එතැන් සිට අප්‍රතිහත ධෛර්යයෙන් සහ කැපවීමෙන් දිවා රෑ නොබලා කටයුතු කළ යොහාන් හට දිනෙන් දින තම කොණ්ඩා නිර්මාණ විලාසිතා ආයතනය දියුණුවෙන් දියුණුවට පත්කර ගැනීමට හැකිවිණි.  

 

 

‘මල්ලි එයාගේ මේ ආයතනය දියුණු කරගත්තෙ උත්සාහය නිසාමයි. අද වන විට Cutting Station (කටින් ස්ටේෂන්) කොළඹ 07 ජාවත්තෙ ආයතනයට අමතරව, කෝට්ටෙ සහ වෝටර්ස් එජ් හි ශාඛා පිහිටුවා තිබෙනවා. ඊට අමතරව ලන්ඩන්හි බ්‍රිස්ට්ල් වල තවත් කෙනෙකු සමග ශාඛාවක් පවත්වාගෙන යනවා. ඊටත් අමතරව ඔස්ට්‍රේලියාවේ ශාඛා දෙකක් ස්ථාපිත කර තිබෙනවා.’  


මෙම ආයතනයන්හි කටයුතු අධීක්ෂණය කරන යොහාන්ගේ අක්කා එලෙසින් පවසන්නීය.  


මෙලෙසින් ජීවිතයේ අභියෝග ජයගෙන ඉදිරියට යමින් සිටින යොහාන් කඳු නැගීමේ අංශයට අවතීර්ණ වූවේ අද ඊයේක නොවේ. එදා තාත්තා සමග නකල්ස් තරණය කළ පසු දිගින් දිගටම කඳු නැගීමට ප්‍රිය කළ හේ ශ්‍රී ලංකාවේ ඇති සියලුම කඳු තරණය කළ අයෙක් ලෙස හැඳින් විය හැකිය. 

 
පසුගිය වතාවේ එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල ඇතුළු තවත් පිරිසක් මෙලෙසින් කඳු නැගීමේ කටයුතුවල නිරතව සිටිති. යොහාන් ඒ කඳු නැගීමේ කඳවුරේ එක් සාමාජිකයෙකි. ශ්‍රී ලංකාවේ කඳු තරණය කළ යොහාන් පසුව ලෝකයේ විවිධ රටවලට ගොස් කඳු නැගීමේ සංචාරයන්ට නිරන්තරයෙන් එක්වූ අයෙකි. ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කඳු ශිඛරය මෙන්ම ස්විට්සර්ලන්තයේ කඳු කීපයක් ද ලොව තවත් ප්‍රකට කඳු කීපයක්ම තරණය කරමින් අත්දැකීම් ලද චරිතයකි.  


යොහාන් එවරස්ට් තරණයට එක්වූයේ එලෙසින් ලද අත්දැකීම් ඇතිවය. ඒ හැරත් එවරස්ට් තරණයට එක්වීම එක්වර කළ හැකි දෙයක් නොවේ. ඒ වෙනුවෙන් පළපුරුද්ද මෙන්ම ඊට එහා ගිය අධිෂ්ඨානශීලීත්වයක් තිබිය යුතුය.  


වතාවක එවරස්ට් තරණයට අත්දැකීම් ලබාගැනීම වෙනුවෙන් හා හා පුරා ගිය යොහාන්ගේ ජීවිතය බේරී ඇත්තේ වාසනාවකට මෙනි. එදා පිරිසක් සමග ඊට එක්ව සිටි අතර සෑහෙන දුරකට ළඟාවූ පසු එක් කඳවුරක මේ පිරිස රොද බැඳ සිටියහ. මේ කණ්ඩායමේ එක් අයෙකු ඉන් එහාට නොගොස් එම කඳවුරේ නතරවිණි. යොහාන් ඇතුළු අනෙක් පිරිස යළි ගමන් ඇරඹූ අතර, නැවත කඳවුර වෙත පැමිණීමේ වේලාව පසුවී තිබිණි. තම මිතුරන්ට කරදරයක් වී ඇති බව කඳවුරේ නතර වූ මිතුරාට වැටහී තිබිණි. ඒ අනුව ඔහු ක්‍රියාත්මකවී ආරක්ෂක සේවා සපයන්නන් හට පැවසූ නිසා ශීත හිම යායේ එකිනෙකා නොපෙනෙන ඉමක අතරමං වී සිටි පිරිස සොයාගත හැකි විය. එසේ නොවන්නට අද මේ කතා කරන යොහාන් ගැන අපට කතා කරන්නට සිදුවන්නේ වෙනත් කතාවකි.  


එදා එලෙසින් ඍණාංශක ශීතලට අසුවී මරණය පෙනි පෙනී සිටි යොහාන් ඉන්පසුව ද තම ඉලක්කය කරා යන ගමන කෙරෙහි බිය වී නැත. 2016 දී ජයන්ති කුරුඋතුම්පාල සමග නැවත එවරස්ට් යෝධයාගේ සිරස සිපගන්නා අභිලාෂයෙන් ඔහු ඊට එක් වී සිටියේය. ශීත කුණාටු, හිම වරුෂා ආදී නේක බාධකවලට මුහුණ දෙමින් මේ දෙදෙනා කඳු ශිඛරය මුදුනත වෙත ළඟා වෙමින් සිටියෝය. නමුදු යොහාන් වෙත ඔක්සිජන් සපයා තිබූ පද්ධතියෙහි ඔක්සිජන් ප්‍රමාණය පෙන්නුම් කළේ මුදුනතට යාම දක්වා පමණි. නැවත ඒමට තරම් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවුණි. නමුදු යොහාන් ජයන්තිව තව තවත් ධෛර්යවත් කළේය. ජයන්ති හට සිංහ ධජය එසැවීමට එදා (2016) දී හැකි විණි.  

 

 

යොහාන් ඒ ජයග්‍රාහී මොහොත හදවතින්ම විඳ දරා ගත්තේය. එදා තමාට මග හැරී ගිය එවරස්ට් තරණය එතෙකින් නිමා කිරීමට ඔහුට සිත් නොවීය. ඉන් වසරක විරාමයකින් පසු යොහාන් 2018 අප්‍රේල් 07 වැනිදා එවරස්ට් තරණයට යළි එක්වූවේය. මෙහි කටයුතු පැවරී තිබුණේ කඳු නැගීමේ සංචාර අන්තර්ජාතික වශයෙන් සංවිධානය කරන ඇමරිකානු සමාගමක් වෙතය. එවරස්ට් නැගීමේ දී දිනකට යා යුතු දුර ප්‍රමාණයක් මෙන්ම ශාරීරික සුවතාව ගැන ද වාර්තා ලබාගත යුතුය. මේ ඇමරිකානු සමාගම ඒ කටයුතු ඉහළින්ම අධීක්ෂණය කරමින් සේවා සපයන ආයතනයකි.  


‘ජීවිතය සියල්ලට වඩා වටිනා වන්නේය, අපි ඔබ නැවත පහළට ගෙන එන්නේ වඩාත් ආරක්ෂා සහිතවය.’ යන්න ඔවුනගේ තේමාවය. එකී සපථ වීම මත මෙවර එවරස්ට් තරණයට යොහාන් එක්වූයේ රුපියල් මිලියන දහයක වියදමක් දරාගෙනය.  


ඒ සඳහා විවිධ සමාගම් සහ යොහාන්ගේ මිතුරන් ද විවිධාකාරයෙන් උපකාර කර තිබිණි. නමුත් ඒ සමස්ත මිලියන දහය සඳහාම නොවේ. මෙකී බරපැන ද දරාගෙන පසුගිය අප්‍රේල් 07 වැනි දා ඔහු ඒ වාසනාවන්ත චාරිකාව යළි ඇරඹීය. නේපාල නිම්නයේ ෂර්ෆාවරුන්ගේ ද මග පෙන්වීම් ඔස්සේ, ඔහුට සේවා සැපයූ කණ්ඩායම සමග එලෙසින් ගිය ගමන මසකුත් දින පහළොවකට සමීපව තිබිණි.  


මැයි 22 වැනිදා යනු ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශ වූ දිනය වේ. මෙදින අලුයම 5.55 පමණ වන විට උදෑසන හිරුරැස්වලින් එවරස්ට් ශිඛරය ආලෝකවත් වී තිබිණි. ගුවනේ සිට එය දර්ශනය වන්නේ දිස්නය දෙන රිදී සළුවක් මෙනි. හිම ඇතිරූ සුදෝ සුදු පුළුන් වලාව අතරින් සිංහ ධජය එසැවිණි. ඒ යොහාන් පීරිස් අතිනි.  


මොන තරම් නම් සතුටක් ඔහුට ඇතිවන්නට ඇති ද? මම මේ කන්ද තරණය කළා නේද? මගේ රටට වාසනාවන්, ඔහු සිතන්නට ඇත. මෙලෙසින් ඈත ක්ෂිතිජය සිපගත් එවරස්ට් ශිඛරයට පෙම් බැඳ ජය සලකුණු තබා නැවත පොළෝ තලයට ඒමට යොහාන් හට තව දින කීපයක් ගත වේ. එවරස්ට් මෙලෙසින් තරණය කළ යොහාන් සතු සුවිශේෂත්වය වන්නේ, එදා නිල වශයෙන් එවරස්ට් මුල් වරට තරණය කළ ටෙන්සිං සහ හිලරි දෙදෙනා ගිය දුර ප්‍රමාණය ද ඉක්මවා තිබීමය.  


වාර්තා අනුව එදා ඒ දෙදෙනා අඩි 28,199 කින් යුතු මුදුනත ස්පර්ශ කළ බැව් සඳහන් වේ. යොහාන් ස්පර්ශ කළ කඳු මුදුනත සඳහා අඩි 29,030 ක දුරක් ගොස් තිබේ.  


සැබැවින්ම මේ අපූරු ශ්‍රී ලාංකිකයා අභිමානවත් විශ්වීය චරිතයක් නොවන්නේද? දැනටමත් ඔහු කළ මේ වික්‍රමය උදෙසා බොහෝ ප්‍රකට චරිත සුබපැතුම් සටහන් තබා ඇත. ඒ අතර ලෝප්‍රකට ක්‍රිකට් තරුවක වන කුමාර් සංගක්කාර තමාගේ පුද්ගලික ට්විටර් (Twitter) පිටුවේ සටහනක් තබා ඇත්තේ මෙලෙසිනි.  


යොහාන් පීරිස්ට මගේ උණුසුම් සුබපැතුම්, එවරස්ට් තරණයට ඔහු ප්‍රයත්න දැරූ දෙවැනි අවස්ථාව මෙයයි. ඔබ සතු උට්ඨාන වීර්යය සහ ධෛර්ය ගැන අපි බොහෝ සෙයින් ආඩම්බර වෙමු. දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා ධජය එවරස්ට් මුදුනත එසැවීම හරිම අපූරුයි.  

 

මැයි 22දා අළුයම 5.55ට යොහාන් පීරිස් හිමගිර මුදුනේ...

 

 

 

 

 

 


සටහන   
සඳුන් ගමගේ   



අදහස් (0)

එවරස්ට් මුදුනේ දෙවැනි වතාවටත් සිංහ ධජය එසවෙයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3713 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1468 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site