IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උඩවලවේ කුරු අලියා

 

ලෝකයේ විවිධ වර්ගයේ අලි සිටිති. අප්‍රිකානු අලියා, ආසියානු අලියා ලෙස උප වර්ගවලට බෙදෙන අලින් විවිධ උස ප්‍රමාණයකින් යුතුය.


එහෙත් මේ කියන්නේ ලෝකයේ සිටින එකම කුරු අලියා ගැනය. එම කුරු අලියා සිටින්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේය. 
ලෝකයේ සිටින්නේ එකම එක කුරු අලියෙක් පමණක් යැයි අප සමඟ පැවසුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි ආරක්ෂක ඩී. අනිල් ජයන්ත විතානගේ මහතාය. 


ඉතිං ජයන්ත මහත්තයා කී මේ කතාව අසා කුරු අලි බැලීමට ඔබේ සිතේ ඇතිවූ ආශාව ඇතිවූ සැණින් පහවයන්නට ඇතිවානම් නිසැකය.


ලෝකෙටම ඉන්නේ එකම එක කුරු අලියෙක් නම් ඉතිං අපි කොහොමද ඌ ඉන්න රට හොයාගෙන ගිහින් ඌ බලන්නේ. සල්ලි යහමින් තියන ලොකු මිනිසුන්ටනම් කුරු අලියා බලන්න යන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමේ කියා ඔබට සිතෙන්නටත් ඇත.
එහෙම සිතා බලාපොරොත්තු කිසිසේත් සුන්කරගත යුතු නැත.


වන ජීවි දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි ආරක්ෂක ජයන්ත විතානගේ මහත්තයා පවසන ආකාරයට මේ කුරු අලියා සිටින්නේ වෙන රටක රාජ්‍යයක තිබෙන කැලෑවක නොව අපේ රටේමය.


ඒ වෙන කොහේවත් නොව උඩවලවේ ජාතික වනෝද්‍යානයේය. 


කුරු අලියා හැම කාලයකම උඩවලවේ වනෝද්‍යානයේදී වුනත් දැක බලා ගැනීමට ලැබෙන්නේ නැත. එහෙත් මේ කාලයේ ඌ දැක බලා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාව සමහර විට ඔබට ලැබෙන්නට පුළුවන.


ලෝකෙටම සිටිනා එකම කුරු අලියා දැක ගැනීමටත් යම් වාසනාවක් තිබිය යුතුය.


ජයන්ත මහත්තයා ඇතුළු නිලධාරින් පමණක් නොව උඩවලවට ගිය දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුට ඒ අතිශය දුර්ලභ අවස්ථාව ලැබී ඇත.


ලෝකයටම ඉන්න එකම කුරු අලියාගේ හැසිරීම් රටා ඇතුළත් වීඩියෝ දර්ශන පමණක් නොව අපූරු ඡායාරූප එකතුවක්ද ජයන්ත මහතා ඇතුළු වනජීවී නිලධාරින් සතුව පවතී. 


දෙස්  විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුගේ කැමරා කාචවලද මේ කුරු අලියාගේ දුර්ලභ දසුන් සටහන්වී තිබේ.


වන සත්ව අඩවි ආරක්ෂක ජයන්ත මහතා පවසනුයේ ලෝකයටම ඉන්නා මේ කුරු අලියා නිසා ලෝකයේ සිටින වන සත්ව ලෝලීන්ගේ විශේෂ අවධානය අපේ රටට යොමුවී තිබෙනවා කියාය.


ලෝකයේ ප්‍රථම වතාවට කුරු අලියෙක් පිළිබඳව තොරතුරු සොයාගෙන ඇත්තේ සිසිලි දූපතේ නැගෙනහිර ප්‍රදේශයේදීය.
කුරු අලින්ගේ බවට සැක කෙරෙන අස්ථි විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට සත්ව විද්‍යාඥයන් සමත්වී තිබේ.
ඒ 1958 වසරේදීය.


මීට අමතරව සයිප්‍රස් රටෙන් සහ මෝල්ටා දූපත ආසන්නයේද මෙසේ කුරු අලින්ගේ බවට අනුමාන කෙරෙන අස්ථි විශාල ප්‍රමාණයක් සත්ව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඒවා උපයෝගි කරගෙන සත්ව අනුරූ සාදා ඇත.


ජයන්ත මහතා පවසන ආකාරයට ජීවී සත්වයෙක් ලෙස නම් අපේ රටෙන් හැරෙන්නට ලෝකයේ වෙන කිසිම රටකින් කුරු අලියෙකු පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.


“මානව සමාජයේද ආසන්න ලේ ඥාතින් අතර සිදුවන විවාහවලදී බිහිවන දරුවන් අංගවිකලවීමේ ප්‍රවණතාවක් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පුවී තිබෙන දෙයක්. කවුරුත් දන්නා කියන කරුණක්. ඕනෑම සත්වයකුගේ බිහිවීමට බලපාන ප්‍රධානතම සාධකය මව්පියන්ගේ පාර්ශ්වයෙන් උරුම වන ජානමය ස්වභාවයයි. එම ජානවල ඇති ප්‍රබල ජාන හේතුකොටගෙන නිරෝගි සත්වයෙක් බිහිවන අතර දුබල ජාන නිසා වර්ධනයෙන් අඩු යම් යම් දුර්වලතාවන්ගෙන් යුතු සතුන් බිහිවෙනවා. මෙසේ දුර්වලතා හේතුවෙන් බිහිවන සතුන්ගේ ශරීර අවයව බොහෝ විට විවිධ ආබාධයන්ට ලක්වෙනවා. යම් යම් විකලාංග තත්ත්වයෙන් සමන්විත සතුන් බිහිවන්නේ දුබල ජාන හේතු කොටගෙනයි. කුරු අලි බිහිවනුයේ ද මෙවැනි ජාන විකෘතිතා නිසා” යැයි වන ජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි ආරක්ෂක ජයන්ත විතානගේ මහතා පවසයි.


අපේ සමාජයේ ද සමීප ඥාතින් අතර ඒ කියන්නේ නෑනා මස්සිනාලා අතර විවාහවීමට වැඩි හිටියන් ඉඩ නොදෙන්නේ වෙන කිසිවක් නිසා නොව යම් යම් අඩුපාඩුකම් සහිත දරුවන් බිහිවීම වළක්වා ගැනීමටයි. ඒ සමහරවිට ඔබ මේ කතාව ඇසුවොත් පුදුම වනවාට කිසිම සැකයක් නම් නැහැ. ඒත් කතාව ඇත්තයි. අලින්ගේ පවුල් සමාජයේද සමීප ලේ ඥාතින් සමඟ ලිංගික සම්බන්ධතා ඇතිවීමට ඉඩ තියන්නේ නැහැ. වැඩිහිටි අලින් මේ සඳහා අපූරු විධික්‍රමයක් යොදා ගන්නවා. අලි රංචුවක සිටින කුඩා පිරිමි අලි පැටවුන් ලිංගික අතින් පරිණත වුනාම එවැනි පිරිමි අලින් රැලෙන් පන්නා දමනවා. එහෙම කරන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවේ. දුබලතා ඇති අලි පැටව් බිහිවීම වළක්වා ගැනීමටයි. ලිංගික පරිණත භාවයට පත්වූ පසු රැලෙන් එළවා දමා පිරිමි අලියෙක් ආයෙත් කවමදාවත් ඒ රැළට වද්දා ගැනීමක් සිදුවෙන්නේ නැහැ. උඩවලවේ රක්ෂිතයේ මේ දවස්වල සැරිසරන කුරු අලියා ද එවැනි ආකාරයේ සමීප ඥාති ලිංගික සම්බන්ධයක් හේතුකොටගෙන ජාන විකෘතිතාවක් නිසා බිහිවූ අලියෙක් බව මේ අනුව අනුමාන කළ හැකියි.


කුරු අලියෙකුගේ උප්පත්තිය සිදුවන ආකාරය ගැන විද්‍යාත්මක හේතු සහ ඒ හා සම්බන්ධ කරුණු කාරණා ගැන වන සත්ව අඩවි ආරක්ෂකවරයා කීවේ එවැනි කතාවකි.


වැඩිහිටියන්ගේ අකමැත්තට සිදුවන ලේ ඥාතින් දෙදෙනකුගේ අසම්මත ආදර සම්බන්ධතාවක් දුරදිග ගොස් ශරිර විකෘතිතා ඇතිවී මෙලොවට ජනිත වූ කුරු අලියා අපේ රටට යම් ආකාරයකින් ප්‍රසිද්ධියක් ලබාදී ඇති බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ වසරේ පසුගිය කාලයේ දී මම විතරක් මේ කුරු අලියාව මේ වනවිට අවස්ථා තුන හතරක්ම නිරීක්ෂණය කර තිබෙනවා යැයි ඔහු පවසා සිටියේය.


මේ කුරු අලියාගේ හැඩරුව ගැන අදහස් දක්වමින් ජයන්ත මහතා මෙසේ කීය.


උඩවලවේදී දකින්නට ලැබුණු මේ කුරු අලියාගේ පිටුපස ගාත් දෙක කුඩායි. ඉදිරිපස ගාත් දෙක ලොකුයි. ඒ කියන්නේ ඉදිරිපස පාද දෙකට සාපේක්ෂව පිටුපස පාද දෙක කුඩාවට පිහිටා තිබෙනවා. මේ අලියාගේ හිසද ශරීරයට සාපේක්ෂව විශාල ලෙස වැඩී තිබෙනවා. කුරු අලියා ගමන් කරන්නේ යම් තරමක අපහසුවකින් බව අපට පැහැදිලිවම පෙනී ගියා. පාදවල කුඩා බව නිසා ශරීරයේ බර දරා ගත නොහැකිව තිබෙන බව පෙනී යනවා. සාමාන්‍යයෙන් කුරු අලියෙක් උපදින විටම උගේ උස සෙන්ටිමීටර් 80ක් පමණ වන අතර බර කිලෝ ග්‍රෑම් 168ක් පමණ වෙන බව සොයාගෙන තිබෙනවා.


සෑම වර්ෂයකම අලින්ගේ මද වැගිරෙන සමය ආරම්භ වීමත් සමඟම කුරු අලියා ද උඩවලවේදී දැක ගැනීමට පුළුවන් බව පවසන ජයන්ත විතානගේ මහතා කුරු අලියා ගේ මද වැගිරෙන සමය අවසන් වීමත් සමඟම ඌ උඩවලවෙන් නික්මයන බව පවසයි. 


කුරු අලියාගේ ස්ථිර වාසස්ථානය පිළිබඳව අප සොයා බැලීමක් කළා. මේ කුරු අලියාගේ ස්ථිර වාසස්ථානය උඩවලවේ වනාන්තරය නොවන බව අපට පෙනී ගියා. කුරු අලියාගේ නිශ්චිත වාස භූමිය පිළිබඳව තව දුරටත් සොයා බැලීමේදී ඌ හම්බේගමුව, කල්තොට හා බෝගහපට්ටිය ප්‍රදේශවල අනෙකුත් කාල සීමාවේ සැරිසරන බවට තොරතුරු අනාවරණය වුණා. මා මේ සඳහන් කළ ප්‍රදේශ විශාල අලි ගහනයක් සහිත ප්‍රදේශ වශයෙන් වන ජීවී දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබෙනවා යැයි පැවැසුවේද වන සත්ව අඩවි ආරක්ෂක ජයන්ත විතානගේ මහතාය.


ඔබ කියනවා ලෝකයෙන්ම කුරු අලියෙක් ඉන්නේ ශ්‍රී ලංකාවේ විතරයි කියා. මේ වාගේ අලියෙක් වෙන ඇත්තේම නැහැ යැයි කියා. නමුත් සිරිපා අඩවියේ කුරු අලි ඕනෑ තරම් ඉන්නවා කියන කතාව මොකක්ද?
මා ඇසූ ඒ ප්‍රශ්නයට වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි. 


“ශ්‍රී පාද අඩවියේ කුරු අලි නැහැ. එය ජනප්‍රවාදයක් පමණක් බව ඉඳුරාම පවසන්න පුළුවනි. සාමාන්‍යයෙන් අඩි හත සහ අට තරම් උස අලි ශ්‍රී පාද අඩවියේ සිටිනවා. එහෙම නැතිව කුරු අලි ශ්‍රී පාද අඩවියේ ජීවත් වෙන්නේ නැහැ. ඒක මිථ්‍යාවක්. නාඹර තරුණ අලියෙක් දුටු සමහරුන් කිසිදු වග විභාගයකින් තොරව පවසන්නේ තමන් ශ්‍රී පාද අඩවියේදී කුරු අලියෙක් දැක්කා කියාය. මෙවැනි කට කතා පැතිරිම නිසා තමා ශ්‍රී පාද අඩවියේ කුරු අලි ඉන්නවා කියා මිථ්‍යා මතයක් පැතිර ගොස් තිබෙන්නේ. රුහුණේ සමහරුන් කුරු අලි හඳුන්වන්නේ රුහුණු ගැටව් කියා. ඒකත් සම්පූර්ණ බොරුවක්.


ඔබට මතක ඇති මා මීට කලින් සඳහන් කළ ලිංගික වශයෙන් පරිණත වන පිරිමි අලි පැටව් රංචුවෙන් පන්නා දැම්මාට පස්සේ ආයෙත් රංචුවට වද්දා ගන්නේ නැහැ කියා. රංචුවෙන් පන්නා ගත් අලින්ට තමා තනි අලියා කියා හඳුන්වන්නේ. එවැනි තනි අලි ශාරීරික වශයෙන් සාමාජීය වශයෙන් කිසියම් පරිණත තත්ත්වයකට එනතෙක් ඉතාම දරුණු ලෙස හැසිරෙනවා. එසේ හැසිරෙමින් භව භෝග වලට හානිකර ඒවා ආහාරයට ගෙන තම ශරීර ශක්තිය වර්ධනය කර ගන්නවා. ඊට පස්සේ නැවත වෙනත් රංචුවකට එක්වී අනෙකුත් පිරිමි අලින් සමග සටන් කර ජයගෙන තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට පෙළඹෙනවා.


මෙකී කාල වකවානු තුළ කලහකාරි ලෙස හැසිරෙන තනි අලින්ටද මිනිස්සු කුරු අලි ලෙස හඳුන්වනවා. මෙම අලි පරිනත කාය ප්‍රමාණයට වඩා කුඩා ශරීරයකින් යුතු නිසා මෙම අලින්ද සමහරු කුරු අලින් ලෙස හඳුන්වනවා. නමුත් උන් කුරු අලි නොවන බව බොහොම පැහැදිලිවම කිව යුතු යැයිද වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියා පෙන්වා දෙයි.


ප්‍රධාන වශයෙන් වර්තමානයේදී ලෝකයේ අලි කොටස් දෙකකට බෙදා වෙන්කර ඇති අතර ඒ ආසියානු අලියා සහ අප්‍රිකානු අලියා වශයෙනි.


ආසියානු අලියකුගේ උස අඩි 8-11 අතර ප්‍රමාණයකි.


දැනට මිහිමත ජීවත්වන විශාලතම ක්ෂීරපායි සත්වයාද වනුයේ අලියාය. ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි විශේෂය වන්නේ ෑකැචය්ි ඵ්ංසපමි ඵ්ංසපමි කුලයයි.


මීට අමතරව ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ෑකැචය්ි ඵ්ංසපමි ීසය්ක්හ්බ නමින් මැමත් වර්ගයේ සත්ව විශේෂයක් ජීවත්ව සිට වඳවී ගොස් ඇති බව ආචාර්ය දැරණිගයගල මහතා විසින් හෙළිදරව් කර ගෙන ඇති බව ජයන්ත විතානගේ මහතා පෙන්වා දෙයි. 


මෙවැනි සත්ව කොටසක් ජීවත්ව සිටි බවට සාධක වශයෙන් අස්ථි කොටස් ද පුරා විද්‍යාත්මක කැණිම්වලදී සොයාගෙන ඇති බව පෙන්වා දෙන ඔහු මෙම අස්ථි කොටස් හමුවී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ කළ කැණීම්වලදී බවද පවසයි. පුරා විද්‍යාත්මක කැණීම්වලින් සොයාගත් එම අස්ථි කොටස් රත්නපුර වන ජීවී කාර්යාලයේ 
කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තිබෙන බවද හෙතෙම කීය.


ශ්‍රී ලංකාවේ මහවැලි විල්ලු ප්‍රදේශ ආශ්‍රිතව ෑකැචය්ි ඵ්ංසප්ි ඪසක්කහ් නමින් උප විශේෂයක් ජීවත්වන බවට සනාථ කරගෙන ඇති අතර මෙම අලි එම මඩගොහොරු සහිත විල්ලු පරිසරයට අනුවර්තනයක් ලෙස ශරීරය පළල් ස්වභාවයක් උසුලන බව ජයන්ත විතානගේ මහතා පවසා සිටියේය.


ඔහු තවදුරටත් පවසන ආකාරයට දැනට එම අලි මහවැලි ගඟේ හඳපාන් විල්ලුව ආදි විල්ලු ප්‍රදේශවල ජීවත්වේ. 


වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරණ මහතාගෙන්ද මේ කුරු අලියා ගැන විමසුවෙමි.


මෙවැනි අලියෙක් බිහිවෙන්නේ ජාන විකෘතිතාවයක් නිසයි. ලංකාවෙන් මෙතෙක් වාර්තාවී ඇත්තේ උඩවලව කැලයේ සැරිසරන මේ අලියා විතරයි. සමහරවිට ලෝකයෙන්ම මෙවැනි අලියෙක් සිටින්නේ අපේ රටේ පමණක් විය හැකි යැයි වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.


ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ගහනය 5,800ක් පමණ වන අතර උඩවලව කැලෑවේ පමණක් අලි ඇතුන් 700ක් පමණ සැරිසරන බව සමීක්ෂණයකින් හෙළිවී ඇත.


මෙම අලි ඇතුන්ගේ සංඝණනය 2010 වසරේදී සිදුකළ බව ජයන්ත විතානගේ මහතා පවසයි.

 



අදහස් (0)

උඩවලවේ කුරු අලියා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2902 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 14 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1414 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 421 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site