IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අසරණ වූ පිළිකා රෝගීන්ට හිසකෙස් දන්දෙන ඉන්දිරා පිළිකා භාරය

 

මහරගම රෝහල් පාරේ පිහිටි ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වර්තමාන කතානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය වන්නේය. එහි සභාපතීත්වය දරන්නේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ දියණිය වන වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මියයි. මෙම පදනමේ මූලික අරමුණ වී ඇත්තේ පිළිකා රෝගයෙන් පිඩා විඳින පිළිකා රෝගීන් උදෙසා විවිධ අංශයන්ගෙන් උදව් උපකාර කිරීමය.


 විශේෂයෙන්ම මනෝ උපදේශනය, හිස කෙස් ගිය පිරිසට මිනිස් හිසකෙස්වලින් සෑදු කොණ්ඩා ලබාදීම, ​ඖෂධ සඳහා මූල්‍යමය ආධාර කිරීම, පිළිකා රෝගීන්ට ස්වයං රැකියා සඳහා මූලාරම්භය අරගෙන දීම, රෝගය හා ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, දරුවන් සඳහා වින්දනාත්මක හා අධ්‍යාපනික වැඩසටහන්, රුධිර සහ රෝග පරික්ෂාව සිදු කරදීම, පියයුරු අහිමි කාන්තාවන් උදෙසා කෘතිම පියයුරු සහිත ඇඳුම් ලබාදීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීමේ වැඩසටහන් හා පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම් මෙමගින් සිදුකරනු ලබයි.   


මෙම සද්කාර්ය සඳහා වෛද්‍ය ලංකා මහත්මියට බොහෝ පිරිසක් සහය දෙන්නේය. එහි ඇති විශේෂත්වය වන්නේ එම ​සේවය ස්වේච්ඡාවෙන් සැපයීමය. රෝගියකුට පිළිසරණ වී ලබන මානසික තෘප්තිය ඉතා අගනා බව එම ආයතනයේ සියලු දෙනාගේ මතය විය.  


සැබැවින්ම කය ගිලන් වූ රෝගියකුගේ මානසික ගිලන්වීමත් සාමාන්‍ය දෙයකි. ඔවුනගේ වැටුණු මනසට ඉන්දිරා පිළිකා භාරය අපේක්ෂාවක් වී ඇත.  


එම ස්ථානයට ගිය අපට එහි සිටි පිළිකා රෝගී කාන්තාවන් දැක්වූ අදහස් මගින් එය ප්‍රත්‍යක්ෂ කළේය. එනම් අප එහි ගිය දින පැමිණ සිටි එක් පිරිසක් මනෝ උපදේශනයට යොමු වී සිටියහ. තවත් පිරිසක් කෘත්‍රිම කොණ්ඩා පැළඳවීමට යොමුවී සිටියහ. ඔවුන් දැක් වූ අදහස් වූයේ කෘත්‍රිම කොණ්ඩය මගින් ඔවුන්ගේ පෙර පෙනුම ලබාදුන් බවත්, එය පෞද්ලික ජීවිතයට සේම රාජකාරී ජීවිතයට මහත් පිටුබලයක් වූ බවත්. ඒ නිසා ලබන මානසික සතුට ඉන්දිරා පිළිකා භාරයට අයිති බවත්ය.  


මිනිස් ජීවිතය දැල්වෙන පහන්සිළක් සේය. එය කොයි මොහොතේ නිවී යන්නේ දැයි කිසිවකුට කිව නොහැකිය. එහෙත් ඒ ජීවත්වෙන ආයුකාලය සතුටින් තැබීමට යම් හෝ දෙයක් ඔබට අපට කළ හැකිය. එයට පූර්වාදර්ශ සපයන ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය පැවසුවේ මෙවැන්නකි.  


2016 නොවැම්බර් මාසයේදීය. (ඉන්දිරා කැන්සර් ට්‍රස්ට්) ඉන්දිරා පිළිකා භාරය ආරම්භ කළේ. ඊට මූලිකවෙච්ච ප්‍රධාන හේතුවක් තිබුණා. වත්මන් කතානායක කරු ජයසූරිය මහත්මයාගෙ කනිටු දියණිය පිළිකාවකින් මිය ගියා. මියයාමට සතියකට පමණ පෙර ඇය සිහිසුන්වයි හිටියේ. ඒ කාලයේ තාත්තා නංගී ළඟයි හිටියේ. ඒ අවස්ථාවේ නංගිට එහෙ රෝහල්වලින් කළ සේවය අපිට දකින්නට ලැබුණා. ඒ වෙලාවේ අපිට හිතුණා ලංකාවෙත් එවැනි දෙයක් අපට කළ හැකි වුණා නම් හොඳයි නේද කියලා.  


ඒ වගේම ඉන්දිරා කියන්නේ මගේ සහෝදරිය. නංගිට පිළිකාවක් ඇති බව හඳුනා ගත්තේ 2008 වසරේ. ඊට පස්සේ කීමෝ තෙරපි ප්‍රතිකාරයෙන් එක පියයුරක් අයින් කළා. ඊට පස්සේ තමයි එයා පළවෙනි බබා හැදුවේ. ඇය මවක් ලෙස එක පියයුරකින් දරුවට කිරි දුන්නා. ඒ දරුවා බොහොම ආදරයෙන් හැදුවා. දෙවැනි දරුවා ලැබෙන්න ඉද්දී තමයි දෙවැනි වතාවට තවත් පිළිකා සෛල ඇති බව අඳුනා ගත්තේ. ඒ වෙද්දී හැම තැනම පිළිකාව පැතිරිලා. දෙවැනි දරුවා බිහිකළාට පසු නංගි නැති වුණා.  


එයා වෙනුවෙන් මොකක්ද කළ යුතු කියා හැඟීම අනුවයි මේ සද්කාරය ආරම්භ වන්නේ. අපි මුලින් මෙය ආරම්භ කළේ සේවා කීපයක් වෙනුවෙන් පමණයි. ඒත් දැන් පිළිකා රෝගීන් වෙනුවෙන් පුළුල් වැඩසටහනක් සිදු කරනවා.  


අපි මෙම වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ ඉක්ටා ආයතනය ලොකු සහයෝගයක් දුන්නා. දැන් මොබිටෙල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන අපට ලොකු සහයෝගයක් දෙනවා. ආරම්භක මොහොතේ සිට මේ දක්වා පිළිකා රෝගය වෙනුවෙන් තොරතුරු දැනගැනීම සහ සේවා සපයා ගැනීම පිළිබඳ අසා දුරකතන පණිවුඩ 25000ට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මාසෙකට ඇමතුම් 400ක් සහ දවසකට 30ක් පමණ එනවා. පිළිකා රෝගය පිළිබඳ විස්තර දැනගන්න හා උපදේශනය ලබාගන්නත් කොණ්ඩ සම්බන්ධව දැනගන්නත් තමයි වැඩි කෝල් ප්‍රමාණයක් එන්නේ.  


අපි වැඩසටහන් 22ක් සිදුකරනවා. ඉන් එක් වැඩසටහනක් වන්නේ කොණ්ඩේ සම්බන්ධ වැඩසටහන. එය හුඟාක් මිනිසුන්ගේ හදවතට දැනුණ දෙයක්.  


අපි අනුරාධපුරේදී හිසකෙස් පරිත්‍යාග කිරීමේ පින්කමක් කළා. එහිදී කොණ්ඩය ගිය පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් පරිත්‍යාග කරන්න 806 දෙනෙක් කොණ්ඩය ලබා දුන්න. ශ්‍රී ලංකා ඉතිහාසයේ සේම දකුණු ආසියාවේම එක දවසකට විශාල ප්‍රමාණයක් කොණ්ඩය දන් දුන් රට ලෙස මෙය වාර්තාවක් වේවි. පැය හතරක් වැනි කාලයක් තුළ කිලෝ 37ක හිසකෙස් එකතු වුණා. මෙය පුදුම පරිත්‍යාගශීලී හැඟීමකින් සිදු කළ දෙයක්.  
අපිත් මෙසේ ලබාදුන් කොණ්ඩා භාරගත්තේ ලොකු වගකීමකින්. හැම කෙනෙක්ම තමන් ආදරයෙන් ආරක්ෂා කරගත් කෙස් කළඹ යම් චේතනාවක් සමගයි දන් දුන්නේ. ඒ අයගෙ පවුල්වල කවුරු හෝ පිළිකා රෝගියෙක් සිටියා වෙන්න පුළුවන්. අපි එයාලා පරිත්‍යාග කළ කොණ්ඩය වගකීමෙන් යුතුව කෘත්‍රිම කොණ්ඩා සැකසීමට භාවිත කරනවා. මේ සඳහා අපිට රමණී ප්‍රනාන්දු මහත්මිය ලොකු සහයෝගයක් ලබා දුන්නා. නොමිලේම ඒ කටයුතු කර දුන්නා. ඒ වගේම ඒ අය නිකන්ම කොණ්ඩය කපලා යවන්නේ නෑ. කොණ්ඩය පරිත්‍යාග කරන්න යන අයගේ මුහුණට ගැලපෙන ලෙස අලංකාර කොණ්ඩ මෝස්තරයකට අනුවයි. කොණ්ඩය කපලා ගන්නේ. නොමිලේම කරන ඒ කටයුත්තෙන් කිසිම පාර්ශ්වයකට ගැටලුවක් මතුවෙන්නේ නෑ.  


කොණ්ඩා කැපීම සම්බන්ධව රමණී ප්‍රනාන්දු මහත්මියගේ සහ සහයක පිරිසගේ සහයෝගය අපි ඉතාම අගය කරනවා.  


ඒ වගේම මේ කටයුත්තේදී අපිට තවත් පිරිසක් එකතු වෙනවා. එක එක්කෙනාගෙන් කපාගන්නා කොණ්ඩා වෙන වෙනම කඩදාසි මලුවල අසුරලයි පසුව පෙට්ටිවල ඇසුරුම් කරන්නේ. ඒ සඳහා කඩදාසි මලු 1000ක් මාසයකට අවශ්‍ය වෙනවා. ඒ මලු අපි ලබා ගන්නේ රෝද පුටුවක සිට ස්වයං රැකියාව කරන කාන්තාවන් දෙදෙනකුගෙන්. ඉන් ඔවුන්ටත් ආදායම් මාර්ගයක් ලැබෙනවා. මේ ආකාරයට කෙස් එකතු කර හැම මාසයකම කොණ්ඩා 12ක් නිර්මාණය කරනවා. එ්ත් අපට ඊට වඩා වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒත් කළ හැක්කේ යම් ප්‍රමාණයකට පමණයි. පිටරටක නම් මිනිස් කෙස්වලින් ස්වභාවිකව හදන කොණ්ඩයක් සඳහා එක් ලක්ෂ පනස්දාහක් පමණ මිල වෙනවා. අපි ලංකාවේදී හදන එක් කොණ්ඩයකට රුපියල් 25000ක් ගෙවනවා. හේතුව කෙස් අරගෙන ගොතන කට්ටකින් එකින් එක අමුණමිනුයි මෙම කටයුත්ත කරන්නේ. එය ඉතා අසීරු කටයුත්තක්. සුමාන දෙකක් පමණ කාලයක් යනවා එකක් හදන්න. ඉල්ලුම වැඩි නිසා තවත් කට්ටිය එකතු කරගෙනයි මේ කොණ්ඩා නිර්මාණය සිදු කරන්නේ. මේ ආකාරයට හදන කොණ්ඩා අපි මුදලක් දී ලබාගත්තත් පිළිකා රෝගීන්ට ලබා දෙන්නේ නොමිලේ. මෙය සන්වේදී කටයුත්තක්. තමන්ගේ තිබුණු ලස්සන කොණ්ඩය නැති වෙලා සමාජයට පවුලට මුහුණ දෙන්න බැරි තරම් මානසිකව වැටිලා. සමහර අම්මලා කියනවා කුඩා දරුවෝ අම්මා ළඟට යන්න බයයි කියලා. අම්මා අඳුනන්නෙ නෑ කියනවා. සමහර අයට කාර්යාලවලට යාමට අපහසුයි. මෙවැනි දේ නිසයි අපි මේ සංවේදී කටයුත්තට අත ගැසුවේ. මේ කොණ්ඩා මෝස්තර සැකසුමට ලලිත් ධර්මවර්ධන මහතාත් කැපවී සේවය ලබා දෙනවා.  


මේ වෙද්දී පියයුරු පිළිකා නිසා එක් පියයුරක් ඉවත් කළ කාන්තාවන් වෙනුවෙන්ද අපි යමක් කරනවා. යම් කාන්තාවකට කෘතිම පියයුරක් සහිත බ්‍රෙසියරයක් අවශ්‍ය නම් එයත් නොමිලේ හදා දීමේ ක්‍රමවේදයක් තිබෙනවා. එම කටයුත්ත කරන්නෙත් පිළිකාවක් හැදුණ කාන්තාවක්මයි. අපි ඇයට රු. 250ක් වැනි මුදලක් එක් ඇඳුමකට ලබා දෙනවා. එය ඇයට ස්වයං රැකියාවක්. ඇයගෙන් මුදල් දී ලබා ගන්නා ඇඳුම රෝගී කාන්තාවන්ට ලබා දෙන්නේ නොමිලේ.  


අපි මෙච්චර කල් මේවා පිළිබඳ ලොකු ප්‍රචාරයක් කළේ නෑ. ඒත් විශේෂයෙන්ම කොණ්ඩා පරිත්‍යාග කරන අය ඒ අයගේ පරිත්‍යාගය අපතේ නොගිය බව දැන ගත යුතුයි. ඒ කෙස් භාවිතා කරලා හදන කෘත්‍ිම කොණ්ඩා පළඳින රෝගීන් අපිටත් කොණ්ඩය පරිත්‍යාග කරපු අයටත් පින්දීලයි යන්නේ.  


මීළඟට අපි පිළිකා රෝගීන්ගේ තවත් පැත්තක් හඳුනාගෙන තිබෙනවා. සමහර පිරිස් යම් යම් දේට බොහොම දක්ෂයි. ඒ අයගේ දක්ෂතා හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගන්න යොමුකර වීමකුත් අපි සිදු කරනවා. උදාහරණයට කිව්වොත් එක පිළිකා රෝගියෙක් අපෙන් උපකාර බලාපොරොත්තුවෙන් පැමිණුනා. ඔහුගේ අතක් නෑ. ඔහුගේ දුවගේ හෘදය වස්තුවේ සිදුරක්.  


අපි මෙම දියණිය පිළිකා රෝහලේ ඇති විශේෂ පුහුණු කිරීම් ඒකකයට යොමු කරා. එතනදී මෙයා බුමුතුරුණු හදන්න ඉගෙන ගත්තා. එයට අවශ්‍ය මූලික ආධාර අපි ලබා දුන්නා. ඊට පස්සේ එයා එයාට ලැබෙන ආදායමෙන් එම රැකියාව කරගෙන යනවා. අපි එයාලගෙ නිර්මාණ අලෙවි කරන්න අවස්ථාත් හොයලා දීලා තිබෙනවා.  


මේ කටයුත්ත වගේම අපේක්ෂා රෝහලත් සමග එකතු වී රෝගීන්ගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීම සඳහා දිනපතා වැඩසටහනක් සිදුකිරීමට සැලසුම් කරනවා.  


මේ සියලු දේ අපිට සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තිබෙන්නේ ස්වේච්ඡාවෙන් වැඩකරන 500ට අධික කණ්ඩායම නිසයි.  


අපේ සේවය ලබාගැනීම සඳහා 0112363211 දුරකතන අංකය භාවිතා කළ හැකියි.  

 

 

 

 


සටහන කුමාරි හේරත්  
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසුරිය   



අදහස් (1)

අසරණ වූ පිළිකා රෝගීන්ට හිසකෙස් දන්දෙන ඉන්දිරා පිළිකා භාරය

Amitha Jayakody Saturday, 20 August 2022 03:54 PM

උතුම් පින්කමක්. මගේ දියණිය මේ සඳහාම කොණ්ඩය වැව්වා. කොන්ඩය ලබා දීමට ඔබ ආයතනයට පැමිණි යුත්තේ සතියේ කවර දිනකදීද?

:       5       7

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2917 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 14 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1416 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 421 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site