බෙල්ලන්විල රජමහා විහරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ පසුගිය දිනක අපවත් වූහ. ඒ හිමියන්ගේ හදිසි අපවත්වීමත් සමඟ කාගේත් අවධානයට යොමු වූයේ එ් හිමියන්​ෙග් ආදරය, කරුණාව, රැකවරණය ලබමින් බෙල්ලන්විල පන්සලේ ඇති දැඩි වූ සුරතල් දඟකාර මියන් කුමාර ඇත් පැටවා පිළිබඳවය. 

බෙල්ලන්විල පන්සලේ වාර්ෂිකව පවත්වන පෙරහර ප්‍රභාවත් කිරීම උදෙසා ඇතකුගේ අවශ්‍යතාවය කලක සිටම පැවැතියේය. ඒ සඳහා යෝග්‍ය ඇත්පැටවකු සොයා ගැනීම බෙල්ලන්විල මහා නාහිමියෝ අසීමිත වෙහෙසක් ගත්හ. එය මල්ඵල ගන්වමින් මියන්මාර රජය විසින් බෙල්ලන්විල පන්සලට ඇත් පැටවකු පරිත්‍යාග කිරීම සිදුකළේය. එනම් මියන්මාරයේ උපත ලද ඇත් පැටවා 2013 වසරේදී ගුවන් හමුද‌ා යානයකින් ලංකාද්වීපයට ගෙන එන ලදී. උත්සවශ්‍රීයෙන් පන්සලට රැගෙන ගිය ඇත් පැටවාට ‘මියන්කුමාර’ ලෙස නම් තබන ලද්දේ ද බෙල්ලන්විල මහ නාහිමිපාණන් වහන්සේය.  


නිතරම ඇත් පැටවාගේ සුවදුක් සොයා බැලූ නාහිමියෝ සිය දෑතින්ම ඌට ආහාර කැවීමට පුරුදුව සිටියහ. පන්සලේ සුරතලකු වූ ඇත් පැටවාද එ් හිමියන්​ෙග් ලෙන්ගතුකම් විඳිමින් ආදරයෙන් ඇතිදැඩි වූවේය. නාහිමියන්ට ඇත් පැටවාත්, ඇත් පැටවාට නාහිමියනුත් ආගන්තුකයෝ නොවූහ. ඒ නිසාම ඇත් පැටවා කුමන තත්ත්වයකදී සිටියත් ඔහු වෙතට ළඟා වීමට උන්වහන්සේ මැලි නොවූහ. පෙරද‌ාක ඇතාට සියඹලා කැවීමට යන්නේත් ඒ තිබූ අසීමිත බැඳීම නිසාවෙනි.  


එහෙත් සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. උන්වහන්සේ නොසිතුව පරිදි සිදුවූ සිද්ධියකින් උන්වහන්සේට තුවාල වීමය. අවසාන​ෙය් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ අතර එහිදී එ් හිමියන් ලංකාවාසී සියලුදෙනා සන්තාපයට පත්කරමින් අපවත් වූහ. අධ්‍යාපනික, සංස්කෘතික, ජාතික, ආගමික, සාමාජික ආදී සියලු ක්ෂේත්‍රයන්ට සුවිශාල සේවාවක් කළ බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් අපවත්වීම රටට සිදුවූ මහත් අභාග්‍යකි. සැබැවින්ම එ් හිමියන්ට නිවන්සුව අත්වේවායි අපි පතමු.  


බෙල්ලන්විල මහ නාහිමියන්​ෙග් අපවත්වීමත් සමඟම මියන්කුමාර හස්තිරාජයා පිළිබඳවත් විවිධ පුවත් අසන්නට ලැබුණි. එහි සත්‍ය අසත්‍ය සොයා බැලීමේදී දැනගත හැකිවූයේ මියන්කුමාර කෑමට බොහෝ ප්‍රියකරන සියඹලා නාහිමි අතින් කැවීමට යාමේදී ලිස්සා වැටී හිමියන් තුවාල වූ බවයි. ඒ පිළිබඳව මහා නාහිමියෝ රෝහල් ගතකරන අවස්ථාවේ අසල සිටි හිමි නමටද පවසා තිබේ. ඉන් පෙනී යන්නේද රෝගීවූ හාමුදුරුවන් වහන්සේගේ හදවතේ මියන්කුමාර පිළිබඳව තිබූ සෙනෙහසය. මහා නාහිමියෝ ඒ ආකාරයට මියන්කුමාරට ලෙන්ගතු වූවා සේම මියන් කුමාරද එ් හිමියන්ට ලෙන්ගතු විය. ඒ නිසාම ඔබ අප සියලු දෙනාට වඩා ඒ හිමියන්​ෙග් වියෝව පිළිබඳව මියන්කුමාර විස්සෝප වෙනවා නොඅනුමානය. මන්ද යත් කිසිදු අදහසක් වාචිකව ප්‍රකාශ කළ හැකි නොවුවද ඔහු මානුෂික ගුණධර්ම හඳුනන කීකරු මහා ගුණ ඇති හස්තියෙකු වෙන බැවිනි.  
ඒ නිසාම මහ නාහිමියන්ගේ ආදරයට, කරුණාවට, දයාවට පාත්‍රවූ මියන්කුමාර නම් වයස අවුරුදු 13ක නාඹර හස්ති රාජයාගේ ආගමනය පිළිබඳව මෙසේ සනිටුහන් කරමු.  


පෙරහැරක සද‌ාතුක කරඬුව වැඩමවීම සඳහා තේජාන්විත දේහ ලක්ෂණවලින් යුත් සද්ධන්ත කුලයේ නිරෝගී ඇතකු අවශ්‍ය වේ. මන්ද යත් ඔහුගේ පෙනුම, ඔහුගේ ගමන් විලාසය, කරඬුව පිට මත තබා වැඩම කරවීමේ ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය වන්නේය. නර්ථනාංගවලින් සපිරි පෙරහර ප්‍රභාවත් හා ගාම්භීර වන්නේ ඇතාගේ තේජාන්විත ගමන්විලාසයත් සමඟය.  


බෙල්ලන්විල නාහිමියන්ට අවශ්‍ය වූයේ එවන් වූ ගති ඇති ඇත් පැටවකුය. එම ඇත් පැටවා තෝරා ගැනීමේ කාර්යයේදී පශු වෛද්‍යවරයකුගේ සහායද අත්‍යාවශ්‍ය වෙන්නේය. ඒ සඳහා බෙල්ලන්විල හිමියන් විසින් තෝරා ගන්නා ලද්​ෙද් පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතාය. බෙල්ලන්විල හිමියන් හා වෛද්‍ය ජගත් ජයසේකර මහතා මේ කටයුත්ත සඳහා සූද‌ානම් වූ අතර 2012 වසරේදී මියන්මාරය බලා පිටත්වූහ. එතැන් සිට ඇත් පැටවා මෙරටට ගෙන එන තෙක් සිදුවූ හා ඉන්පසු සිදුවූ දේ පිළිබඳව පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා පැවසුවේ මෙවැන්නකි.  


“2012 වසරේදී ස්වාමීන් වහන්සේත් සමඟ කතා කරගත් පරිදි මියන්මාරයට ගියා. එහි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දැව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සතුව විශාල ඇලි ඇතුන් ප්‍රමාණයක් හිටියා.  


ධාතු කරඬුව වැඩම වීම සඳහා තෝරාගන්නා ඇතා තේජාන්විත වෙන්න ඕනෑ. හිස කෙළින් තබා සිටිනා ඉරියව්වේදී ඍජු වෙන්න ඕනෑ. දළවල පිහිටීම හා හැඩයන් ගොඩක් වැදගත්. හේතුව එම දළ යුවළ වයසට සාපේක්ෂව වර්ධනය විය යුතු වෙනවා. සිරුරේ මහත, වලිගයේ ස්වරූපය, කොන්දේ පිහිටීම ආදියත් ගොඩක් වැදගත්. හේතුව කරඬුව තැන්පත් කිරීමේ ක්‍රමවේදයට සුදුසු වීමයි.  


ඇතාගේ බාහිර ලක්ෂණ වගේම ඔහුගේ චර්යාව, කීකරු බව, පුහුණු කරගත හැකිවීම ආදී හැසිරීම් පිළිබඳවද අපි අවධානය යොමුකළ යුතුයි.  


 මේ ආකාරයේ ඇත්පැටවකු තෝරා ගැනීම සඳහා අපි යැන්ගුන් අගනුරවට නුදුරින් පිහිටි ප්‍රදේශයකට ගියා. එහිදී ඇත් පැටවුන් කීප දෙනෙක්ම අපට පෙන්නුවා. ඉන් එක ඇත් පැටවකු අපගේ නෙත් ග්‍රහණය කරගත්තා. හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත පරිදි එම ඇත් පැටවා තෝරා ගත් පසු මම පරීක්ෂණ කිරීම ඇරඹුවා. මම සෞඛ්‍ය පරික්ෂාව ඇරඹුවා. ඇතාගේ හිස සිට පාදය දක්වාත්, හිස සිට පසුපස පෙදෙස දක්වාත් පරික්ෂා කළා. ඉන් පසුව රුධිර නිධියක් ගෙන රසායනාගාර පරීක්ෂණ සිදුකළා. ඒ සෑම පරීක්ෂණයකින්ම ඔප්පු වූ​ෙය් ඇතා නි​ෙරා්ගී බවයි.  


මීළඟට පැවරුණේ ලංකාවට ගෙන ඒම සඳහා පුරුදු පුහුනු කිරීමේ කර්තව්‍යයි. ඇතා ප්‍රවාහනය කළ යුතු වූයේ නැවකින්. ඊට දින ගණනාවක් ගතවෙනවා. මහ සයුර තරණය කරමින් පැමිණීමේදී නොයෙකුත් රෝග වැලඳෙන්න පුළුවන්. මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.  


අවසානයේ ඇත් පැටවා ප්‍රවාහනයට ගුවන් යානයක් භාවිතා කිරීමේ එකඟතාවයට ආවා. ගුවන් යානයකින් ඇතකු ප්‍රවාහනයේදී උස අඩි 06ට වඩා අඩුවිය යුතුයි. ඒ වගේම මියන්මාරයේ සිට ලංකාවට ගුවනින් ප්‍රවාහනය කිරීමත් අසීරු කටයුත්තක්.  


 රටවල් දෙකේම සත්ව නිරෝධායන නීති රීති, මියන්මාරයේ ප්‍රවාහන බලපත්‍ර, ලංකාවේ ආනයන බලපත්‍ර, සෞඛ්‍ය වාර්තා හා විදේශයකට සතුන් ලබා දීමේදී ඉදිරිපත් කළ යුතු බලපත්‍ර ආදී නෛතිකමය කටයුතු රාශියකුත් ඉටුකරගත යුතුයි.  


ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම කටයුතු සංවිධානය කර දුන්නා. තෝරාගත් ඇත් පැටවා යැන්ගුන් සත්ත්ව උද්‍යාන​ෙය් මසක කලක් තබාගෙන සිටියා. එහිදීත් අද‌ාළ පරීක්ෂණ රාශියක් සිදු කළා. ඉන්පසු ශ්‍රී ලංකා ගුවන් හමුද‌ාවේ සහාය ඇතිව ඇත් පැටවා ලංකාවට ගෙන ඒමේ කටයුත්ත සිදු කළා.  


 2013 ජූලි 04 වැනි දින බී 130 ගුවන් යානයෙන් අපි තෝරාගත් ඇත් පැටවා ලංකාවට ගෙන ආවා. ඊට පැය හයක කාලයක් ගත වුණා.  


විශාල මෙහෙයුමකින් පස්සේ අපි කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්සා. මෙය ඓතිහාසික අවස්ථාවක්. හේතුව ප්‍රථම වතාවට ගුවන් හමුද‌ා ගුවන් යානයකින් ඇත් පැටවකු ලංකාවට ගෙන ඒම. මෙය ඇත්තටම එක පැත්තකින් ලොකු අභියෝගයක්. හේතුව අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන රෙගුලාසිවලට අනුව ජීවී සතුන් ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු නීති රීති තිබෙනවා. ඒ අනුව ලීවලින් සකස් කළ විශේෂ පෙට්ටියක් සැකසුවා. එයට ඇතුළුවීමට ඇත්පැටවා පුහුණු කළා.   


ඉන් පසුවයි ඇත් පැටවා ගුවන් යානයට පටවා ගත්තේ. ඉතා පරෙස්සමෙන් සියල්ල සිදු කළා. මීළඟ අභියෝගය වුණේ ඇතා ගෙන ආ යානය ගොඩබැස්සවීම. ඇතා නොවැටී සිටීම සහ දළ අනතුරකට ලක් නොකර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. අඩි 30,000ක් පමණ ඉහළින් ගමන්ගත් යානය ගොඩබැස්සවීමේදී ඇතා සිටි පෙට්ටියේ දොර හැර දළ ඇනීම් වළක්වා ගත්තා. දොර නැවත වැදීම වැළැක්වීමට මියන්මාර ඇත්ගොව්වන් යෙදවූවා.  


ශ්‍රී ලංකා ගුවන් හමුද‌ාවේ කපිතාන් ප්‍රභාෂ් මහානාම ඇතුළු පිරිස මේ කටයුත්ත සාර්ථක කරගැනීමට විශාල සහයෝගයක් ලබා දුන්නා.  


 හෙමිහිට ගුවන් තොටුපලින් බස්සවාගත් ඇත් පැටියා ගුවන් තොටේදීම ට්‍රක් රථයකට ගොඩකර ගත්තා. එහිදී බෙල්ලන්විල මහා නාහිමියන් වෙත අලි පැටියා භාරකිරීම සිදුකළා. ඉන්පස්සේ අපි සියලු දෙනාම ඇත් පැටියා රැගෙන පන්සලට ගියා. ඒ දවස අමතක කළ නොහැකි දවසක්. හේතුව විහාරස්ථානය අසලට ළඟා වෙනවාත් සමඟම මල් වැස්සක් වැටීම.  


ඇතා සමඟ බෙල්ලන්විල පන්සලට මියන්මාර වෛද්‍යවරයකු සහ අලි බලන්නන් පැමිණියා. ඔවුන් පන්ස​ෙල් නතරවෙලා ක්‍රම ක්‍රමයෙන් පන්සලේ අලි බලන්නන්ට අලි පැටියා පුුරුදු පුහුණු කළා.  

 

 

නායක හිමිපාණන් විසින් අලි පැටවාට මියන් කුමාර කියන නම තැබුවා. මියන් කුමාර බො​හොම හුරතල් දඟකාර ඇත් පැටියෙක්. මම නිතරම වගේ පන්සලට ගිහින් ඇත් පැටියාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලුවා. ඔහු නිරෝගියි.  


මියන් කුමාර මුලින්ම පෙරහරේ ගියේ 2014 වසරේ. මියන් කුමාර සියඹලා ආහාරයට ගන්න ගොඩක් ආසයි. එය ඒ රටේ සිටම ආ පුරුද්දක්. ඔහුට පිටගැස්මට, ධූලකාහයට, ජලභීතිකාවට, පණු හරණයට අවශ්‍ය ප්‍රතිකාර අපි සිදු කළා. ඒ හැර විටමින් වර්ග හා ඛණිජ ලවණ ලබාදෙමින් ඔහුගේ සෞඛ්‍යය පවත්වාගෙන ගියා.  


 මේ සතා මෙහෙට හුරුවූ ද‌ා සිට පන්සලට ගිහින් වැඳලා හාමුදුරුවන්ගේ ආවාසේ පැත්තෙනුයි එන්නේ.  


මේ සතා බොහොම හීලෑ සතෙක්. කලබලකාරයෙක් නෙවෙයි. මට ලැබුණු තොරතුරු අනුව හාමුදුරුවෝ ලිස්සලා වැටිලා තිබෙන්නේ. ඉන්පස්සෙයි හාමුදුරුවෝ තුවාල වෙන්නේ. මරණ පරීක්ෂණයෙත් තිබෙන්නේ ශල්‍යකර්මවලින් පස්සේ හෘදයාබාධයක් ආ බව. සතා ගැහුවා කියන ආරංචිය බොරුවක්. දැන් ඉන්න පොඩි හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ අසල ඉන්න වෙලා​ෙව් නායක හාමුදුරුවෝ කියලා තියෙනවා සතා මට ගැහුවේ නෑ ලිස්සලා වැටුණේ කියලා.  


 අපි දැකලා තිබෙන විදියට සතෙක් ගැහුවොත් ඒ වෙලාවෙම බරපතළ හානි සිදුවෙනවා. ඒ නිසා හාමුදුරුවන්​ෙග් ඉල ඇට බිඳෙන්න ඇත්තේ වැටීමේදී කියලා හිතන්න පුළුවන්.

 

 

 

 

සටහන - කුමාරි හේරත්