ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.   

හක්කපටස් තබා සතුන් මැරූ පාපය පටිසන් දෙයි 

 


සිරිදාස දුෂ්කර ගමක විසූ දඩම්බර මිනිසෙකි. කිසිදාක වැස්සකටවත් පාසලකට පය නොතැබූ ඔහු මළ පොතේ අකුරක් නොදන්තෙකි. කිසිදු අණක් ගුණක් නොදත් කිසිදු ජීවනෝපාය මාර්ගයක් නොහදා හෙතෙම වෙහෙස මහන්සි වී හරි හම්බ කර ජීවත්වීමට ද කැමැත්තක් නොදැක්වීය.   


ඉක්මනින් පොහොසත් විය හැකි මාර්ගයක් තම ජීවනෝපාය ලෙස හේ තෝරා ගත්තේය. එනම් මත්වතුර පෙරීම, විකිණීම හා සතුන් දඩයම් කිරීමයි.   


මේ කටයුතු සඳහා ඔහුටම ගැළපෙන ගෝලබාල පිරිසක් ද ඔහු වටා රොක්ව සිටියහ. මේ පව්කාර ජාවාරමෙන් සිරිදාසට දිනෙන් දින හොඳ ආදායමක් ලැබිණ. වැඩි කලක් නොයාම ඔහු ගමේ පොහොසත්ම මෙන්ම බලවත්ම පුද්ගලයකු බවටද පත්විය. ඒ නිසාම මත් වතුර පෙරීම ගෝලබාලයන්ට පවරා සතුන් දඩයම් කිරීම ඔහු විසින්ම සිදු කෙරිණි. ඉන් ඔහුට අපමණ සතුටක් ගෙන දෙන්නට විය.   


සතුන් දඩයම් කිරීම සඳහා සිරිදාස තෝරාගෙන තිබුණේ බොහෝ පහසු ක්‍රමයකි. එනම් සතුන් ගැවසෙන ඉසව්වල හක්කපටස් නම් පුපුරන ද්‍රව්‍ය යොදා සැකසූ උගුල් තැබීමය.   


හක්කපටස් ආහාරයට ගත් සතුන්ගේ මුඛය තුළ පුපුරායාම නිසා ඉතා දරුණු අන්දමින් මුඛය තුවාල වී මුහුණ විකෘති වී සතුන් දැඩි ලෙස වේදනා විඳ මරණයට පත්වෙයි. හක්ක පටස් පුපුරා යාමෙන් තුවාල වන සතුන් එක් වරම මිය යන්නේ ද නැත. උන් බොහෝ දෙනෙක් දින ගණනා වක් තිස්සේ අධික වේදනා විඳිමින් පණ ඇද මිය යන ආකාරය බලා සිටීමට හෝ බැරි තරම්ය.   


මේවාට වැඩිපුරම ගොදුරුවන්නේ වල් ඌරන්ය. සතුන්ට ඉව දැනීමට මේවාට රස කෑමක් යොදන නිසා ඒ ඉව ඔස්සේ ගොස් ගමේ ගෙවල්වල බල්ලන් ද මේවා ආහාරයට ගැනීමෙන් අනතුරට පත් වන අවස්ථා ද බොහෝය.   


සිරිදාසට මේවා අදාළ නැත. ඔහුට අවශ්‍ය කෙසේ හෝ සතුන් මස් කර මුදල් ඉපයීම පමණි.   


ඔහුගේ මේ පව්කාර වැඩවලටද විරාමයක් තැබීමට ස්වභාව ධර්මයා තීන්දු කළා වැන්න. හිටිහැටියේ සිරිදාසගේ උගුරේ අමාරුවක් හට ගැනිණි. රෝගය හඳුනාගත නොහැකිව බොහෝ කලක් බෙහෙත් කිරීමට සිදුවිය. මේ නිසා ඔහුට සුපුරුදු ලෙස ව්‍යාපාර කරගෙන යාමට නොහැකි විය. තමන් මෙතෙක් හරිහම්බ කරගත් මුදල් ද බොහෝ වැය විය. මේ නිසාම ඔහු මනසින් ගතින් මෙන්ම ආර්ථික අතින්ද දුර්වල වන්නට විය. මෙතෙක් ඔහු වටා සිටි ගෝලබාලයන්ද ඔහු හැර දමා ගියේ වාසියක් නැති බව පවසමිනි.   


ඔහුට වැළඳී ඇත්තේ උගුරේ පිළිකාවක් බව සොයා ගන්නා විට එය මේ වනවිට මුඛය දක්වා පැතිරී මුහුණ පවා විකෘති වී ගොස් තිබිණ. 

 
මුහුණ හරියටම හක්කපටස් නිසා විකෘති වී ගිය සතෙකුගේ මුහුණ මෙනි. ජීවත්වීමට කිසිදු මගක් නොමැති වූ සිරිදාස කළේ ගම පුරා ඇවිද ගැමියන්ට අත පා කීයක් හෝ හිඟාගෙන තම ජීවිතය ගැට ගසා ගැනීමටයි. කළ පව් මෙලොවදීම පලදී ඇත්තේ කාට කාටත් සිතන්නට යමක් පෙන්වා දෙමිනි.   

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.   

එළු මස් වෙනුවට බලු මස් දුන්නා   

දරුණු මරණයට පත්විය දෙන්නා 

 
කතරගම වන්දනාකරුන්ට බලු මස් අලෙවි කිරීමක් පිළිබඳව මෑතකදී පුවත්පත්වල පළ වී තිබුණි. කූට වෙ​ෙළඳුන් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉතා අඩු මුදලකට බලු මස් ලබාගෙන විකුණා ලාභ ලැබීම කවදා හෝ පල දෙන පවක් බව ඔවුහු නොසිතති.   


හැටේ දශකය ඇරඹීමත් සමග අනුරාධපුර නව නගරය වෙත පැරණි නගරයේ තිබු රාජ්‍ය ආයතන ගෙන ඒම ඇරඹුණි. එතෙක් රාජ්‍ය ආයතන හා වෙ​ෙළඳ පොළවල් කඩ සාප්පු ආදිය තිබු පැරණි නගරය වන්දනාමාන කටයුතුවට මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටද සැදී පැහැදී තිබුණි.   


එකළ රජරට ප්‍රදේශයේ ගම්මාන බොහොමයක විශාල එළු පට්ටි තිබුණි. කිරි ගැනීම එතරම් බහුල නොවූයෙන් ප්‍රධාන වශයෙන් උන් ඇති කළේ මස් පිණිසය. අද මෙන් කුකුල් මස් ප්‍රචලිත නොවූ එකල වැදගත් යැයි සැලකෙන බොහෝ දෙනා ආහාරයට ගත්තේ එළු මස්ය.   


එළුමස් විකුණන ස්ථාන කිහිපයක්ම රජරට පළාතේ තිබුණි. ‘සේන මුදලාලි’ වශයෙන් මා හඳුන්වන පුද්ගලයාද එළුමස් විකුණන ස්ථාන දෙකක හිමිකරුවකු විය.   


ඔහුගේ වෙ​ෙළඳ සල්වල මස් අනෙක් තැන්වලට වඩා ලාභ නිසා ඈත පළාත්වල ජනතාව පවා එළු මස් ගැනීමට ඔහුගේ වෙ​ෙළඳසල් වෙත මිනිසුන් ඇදී ආහ. බොහෝ ආපන ශාලා හිමියෝ එළු මස් ගත්තේ ඔහුගේ වෙ​ෙළඳසල්වලිනි.   


මට අවශ්‍ය අධික ලාභයක් නොවේ. මිනිසුන්ට දැරිය හැකි මිලකට මස් සැපයීමයි. ඔහු නිතර කියූ දෙයකි. බොහෝ දෙනා සිතුවේ ඔහු සාධාරණ මුදලාලි කෙනෙකු ලෙසිනි. සේන මුදලාලිට සහචරයකු සිටියේය. ඔහු සුසාන භූමියේ මුරකරුගේද හිතවතකු විය.   


ඒ කාලයේ නගරයේ දඩාවතේ හැසිරෙන බල්ලන් වෙඩි තබා මරණ ක්‍රමයක් තිබුණි. මිනිසුන් විසින් බල්ලන් මරණ පුද්ගලයා හැඳින්වූයේ ‘බලු අබරා’ ලෙසිනි. තුවක්කුවක්ද රැගෙන පාපැදියේ නැගී සංචාරය කරන ඔහු දකින දකින බල්ලන්ට වෙඩි තැබීය. ඉන් ටික වෙලාවකට පසුව පැමිණෙන කුණු ට්‍රැක්ටරය මගින් බල්ලන් සුසාන භූමිය වෙත ගෙන ගොස් භාර දෙන්නේ වළලා දැමීමටයි.   


සහචරයා මේ බල්ලන් මරා මස් කොට අපද්‍රව්‍ය අසල වන ලැහැබට දමන අතර රාත්‍රියට නරි හා කබරයින් ඒවා ආහාරයට ගන්නා නිසා වළවල් හෑරීමට අවශ්‍ය නොවීය. මුරකරුටද කිසියම් මුදලක් දෙන මොහු බලු මස් සේන මුදලාලිට සපයයි. ට්‍රැක්ටරයෙන් බලු සිරුරු නොගෙනෙන දිනවල ඔහු කළේ දඩාවතේ යන බල්ලන් අල්ලා ගෙල සිරකර මරා දමා මස් ගැනීමයි.   


මේ අන්දමින් වසර කිහිපයක් මේ දෙදෙනා රජරට පළාතට මෙන්ම පිටස්තර අයටද බලු මස් කැවූහ. මෙය හොර රහසේ සිදුවූවක් නිසාත් අද මෙන් සන්නිවේදන ක්‍රමය නොදියුණු නිසාත් ඔවුන් දෙදෙනා පොහොසතුන් වූහ.   


දිනක් මේ දෙදෙනා සවස් කාලයේ වෙ​ෙළඳ කටයුතු නිමවා බසවක්කුලම වැවට නෑම සඳහා ගියහ. අසාමාන්‍ය ලෙස ඔවුන්ගේ ආපසු පැමිණීම ප්‍රමාද වූ හෙයින් සේන මුදලාලිගේ හිතවතුන් මධ්‍යම රාත්‍රිය වනවිට ඔවුන් ​ෙසවීම ඇරඹූහ.   


ඔවුන්ට දක්නට ලැබුණේ විශාල මාර ගහක් කඩා වැටී එයට යටවී මැරී සිටි සේන මුදලාලි හා ගෝලයාය.   


ඔවුන්ගේ ශරීර කොටස් නරින් හා කබරයන් විසින් කා දමා තිබුණි. එළුමස්වලට බලු මස් කවලම් කර විකුණා ඇති බව රට්ටු දැන ගත්තේ ඔවුන්ගේ මරණයෙන් පසුවයි.   
දෙදෙනාම එකතැන එකට මිය ගියේත් ශරීර කොටස් සතුන් විසින් කා දමා තිබුණෙත් ඔවුන් කළ පව් පලදීමක් ලෙසින් බවත් වැඩිහිටියන් අතර පැතුරුණ මතයක් විය.   
මිනිසුන්ට ආහාර අලෙවි කිරීමේදී වංචා කිරීම හා මුලා කිරීම බරපතළ පාපයක් බව අද සිටින කූට වෙ​ෙළඳුන්ටද කවදා හෝ අවබෝධ වන්නේ නම් එය ඔවුන්ගේත් සෙසු මහජනයාගේත් වාසනාවකි.   

 


 

අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.   

රේල් පාරේ මැණික් සෙවූ පියදාස දුම්රියට බිලි වෙයි  


සේතුහාමි මීට අඩසිය වසකට පමණ පෙර විසූ අහිංසක ගැමියෙකි. සරොම් කබලක් හැඳ නිරුවත් උඩුකයේ තුවායක් රඳවා ගෙන කඩිසර ගමනින් යනඑන හෙතෙම වඩා උස නැත. උසේ තරමට මහතය. අනුන්ගේ බඩු බාහිරාදිය කඳක තබා ගෙන ගොස් දීම ඔහුගේ ජීවනෝපාය විය. ලැබෙන සොච්චම් මුදල අරපිරිමැස්මෙන් වැය කළ ඔහුගේ එකම අභිප්‍රාය දරුවන් තිදෙනාට හොඳින් පාසල් අධ්‍යාපනය දීමයි. වැඩිමහල් පිරිමි දරුවා සිරිපාල ය. දියණියන් ලීලාවතී හා කුසුමලතා නම් වූහ. ඔවුන් තිදෙනාම ගමේ පාසලට ගිය අතර සියල්ලෝම ඉගෙනීමෙහි දක්ෂයන් වූහ. එහෙත් හැම වාර විභාගයකදී මුල් ස්ථාන වලට වඩා අඩු ස්ථානයකි ලැබුණේ. ඊට හේතුව ගුරුවරුන් හා සෙසු ළමයි මොවුන්ගේ දක්ෂතා නොඉවසීමයි. පහත් යැයි සම්මත කුලයකට අයත් ඔවුන් ඉගෙන ගෙන ඉහළට ගියහොත් තමන් දරන ඉහළ තැන අහිමි වෙතැයි වංසක්කාරයින් යැයි කියා ගත් ඇතැම් ගුරුවරුන් හා සිසුන් බියට පත්වීම එසේ ඊර්ෂ්‍යා කිරීමට හේතුවයි.   


කුලගොත් මතු වන සේ ඇමතීම, පහර දීම, සමච්චල් කිරීම, යමක් බෙදා හදා නොගැනීම ආදිය එසේ කරන ලද වෙනස්කම් අතර කීපයකි. නැති වැරදි මතු කොට ගුරුවරු වේවැල් පහර එල්ල කරයි. කොතරම් නිවැරදි වුවත් ඔවුන්ගේ අභ්‍යාස පොතේ පිළිතුරු වැරදි සහගතය. මේ ආකාරයට පාසල එපා වන සේ පාසල් ප්‍රජාවම මෙම දරු තිදෙනාට එරෙහි වූහ.   
සිරිපාලගේ පංතියට ඉහළ පංතියක පියදාස උගෙනියි. ඔහු ගමේ බලවතෙකුගේ පුතෙකි. සිරිපාලට නිරන්තරව හිරිහැර කරන්නෙකි. දිනක් ඔහු බඩ රිදෙන බව මුල් ගුරුතැනට පවසා පාසලින් වේලාසනින් නික්මුණි. එහෙත් පාසල නිම වී පැමිණෙන විට පඳුරක් අතර සැඟ වී සිටි පියදාස පාරට පැන ඔහු අල්ලා ගත්තේය. ඔහු කෑ ගැසුවේය. සෙසු ළමයි පැමිණි විට පියදාස ඔහු අතහැර පලා ගියේය. මෙම පුවත සිරිපාලගේ සොයුරියන් සිය මව්පියන්ට සැල කළාය. බලවන්තයන් හමුවේ තමන් වරදකරු වන බව ඒකාන්ත බව දත් මව්පියේ ඊට එරෙහිව පියවරක් ගැනීමට මැලි වූහ.   


දින කීපයක් ගත විය. හිරු බැස යාමට ආසන්න වෙමින් තිබුනි. ලාම්පුතෙල් බෝතල් බාගයක් ගෙන ඒමට සිරිපාල ගමේ කඩේට යමින් සිටියේය. මග වැටී තිබුණේ ගඩොල් පෝරණුව අසලිනි. ඒ වෙතට සමීප වෙත්ම එහි සැඟවී සිටි පියදාස පැන එකවරම සිරිපාල අල්ලා ගත්තේය. කට අතින් මිරිකා ගෙන කෑ ගැහුවොත් මරණ බවට තර්ජනය කළේය. අනතුරුව මෑත කාලයේ එක්තරා උත්තරීතර ආයතනයකදී එක්තරා ඇමැත්තෙක් එක්තරා හිමිනමකගේ අල්ලා ගත් ඉන්ද්‍රියෙන්ම වැරෙන් අල්ලා ගත් පියදාස බයේ ගැහෙමින් සිටි ළමයා ගඩොල් පෝරණුව පසුපසට ඇදගෙන ගොස් සිය මනදොළ සපුරා ගත්තේය. වේදනාවෙන් හා දුකෙන් හඬමින් කඩේට ගොස් ලාම්පු තෙල් රැගෙන නිවසට පැමිණියද සිදු වූ කිසිවක් මව්පියන්ට සැල නොකළේය. එහෙත් පසු දා සිට පාසල් ගමන නිම කළේය. මව්පියන් කොපමණ ඇවිටිලි කළ ද සිරිපාල සිය තීරණය වෙනස් නොකළේය. හේතුව විමසන විට ඊටද පිළිතුරක් නොලැබුණි. මව්පියන්ගේ කටයුතුවලට වරින්වර උදව් කළ ද සිරිපාල කල්පනා කරමින් හුදකලාව දවසේ වැඩි කාලයක් ගෙවන බව මව නුදුටුවා නොවේ. විමසුවද ඇයට පිළිතුරක් නැත. මාස කීපයක් මෙසේ ගත විය. දිනක් සම්මාදමේ වැඩම කළ හිමි නමක් මව්පියන්ගේ අවසරය මත දරුවා කැඳවා ගෙන ගියේය. ඒ පැවිදි කිරීමේ අරමුණෙනි.   
මේ අතර පියදාසගේ පාසල් ගමනද නිමා විය. අනුන්ගේ ගස්වල පොල් කඩා විකුණා බීඩි, සිගරට් බොමින් රස්තියාදු වන ඔහු රා බීමටද පුරුදු විය. මත් වී පරුෂ වචන තෙපලමින් මග දිගේ යන ඔහු සෙසු ගැමියන්ට හිසරදයකි. රා වලට වඩා මත්වන එක්තරා ශාකයක බීජ පිළිබඳ පියදාසට කන වැටුණි. ඔහු ඒවා සොයා අනුභව කළේය. පුදුමයකි. වඩාත් මත් වේ. දිගු කල් මත් බව පවති. අහසේ පා වෙනවා වැනිය. මැණික් පර්වත නෙත් හමුවේ දිස් වේ. පියදාස ඊට හුරු විය.   


සුරංගනා ලොවක තනි වී වර්ණවත් සිහින දකිමින් සිරිපාල රේල් පාර දිගේ ගමන් කරන්නට විය. රේල් පීලි දෙක අතර අතුරා ඇත්තේ මැණික් ය. ඊට සිත ගිය පියදාස රේල් පීල්ලක් මත හිඳ ගත්තේය. කමිස සාක්කුව මැණික් ගල් වලින් පුරවා ගත්තේය. ඒත අවසානයක් නැත. තවත් මැණික් ගල් ඉතිරි වී තිබේ. සරොම් පටට ඒවා එකතු කරමින් සිටී. දුම්රියේ නළා හඬ පරයා මැණික් එකතු කිරීමේ ක්‍රියාවලියට සිත යොමු වී තිබේ. ගත වූයේ නිමේෂයකි. සිරිපාලගේ ගතේ සුන්බුන් අවට විසිරිණ. කැකුළු මලක් තළා දැමීමේ අපරාධයකට සොබාදහම මෙලොවදීම සිරිපාලට දඬුවම් කළේ එසේය.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්