පසුගිය දිනවල අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල ආදී වියළි කලාපීය ගොවිබිම්වල ජනතාව, විශේෂයෙන්ම බඩඉරිඟු ගොවීන් අතර කතාබහට ලක්වූ සේනා දළඹුවාගේ ආක්‍රමණය දැන් ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත්වී ඇත. ඒ නිසා ඒ පිළිබඳව විවිධ මතවාද, අදහස් සහ චෝදනා බහුලව අසන්නට ලැබේ.   


එක් රැයකදී අක්කර සිය ගණනක භෝග වගාවක් කා දැමිය හැකි සහ භෝග ප්‍රභේද සිය ගණනකට පහර දිය හැකි මේ ආක්‍රමණිකයාට අදාළව නිසි කල නිසි පියවර නොගත් බවට කෘෂිකර්ම බලධාරීන්ට එරෙහිව එක් පැත්තකින් චෝදනා එල්ලවෙයි. 


එහිදී ඔවුන් විසින් ප්‍රකාශයට පත්කළ අධ්‍යාපන පත්‍රිකාව ද මහජනයා විසින් හාස්‍යයට ලක් කෙරේ. එම පත්‍රිකාව මගින් ආක්‍රමණිකයාට උපත දෙන සලබයාගේ චර්යාවන් අනුව එම වැඩිහිටි පළිබෝධකයා හඳුනාගැනීම සහ පාලනය කිරීම පිළිබඳ උපදෙස් ලබා දී නොමැති වීම ඊට හේතුවයි. ඊට අමතරව දළඹුවා බහුලව පැතිර යන ප්‍රදේශවල රජය මගින් සිදුකෙරෙන මැදිහත්වීම කුමක්දැයි එහි සඳහන් වන්නේ නැත. එම පත්‍රිකාව මගින් මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ දුටු තැන පර්​ෙය්ෂණ මූලස්ථානයට දැනුම් දෙන ලෙස පමණි. 
කෙසේ වෙතත් Fall Army Worm ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන සේනා දළඹුවාගේ ආක්‍රමණයක් සිදු විය හැකි බවට කෘෂිකර්ම බලධාරීන් විසින් ජනමාධ්‍ය හරහා මහජනයාට අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. ඒ 2018 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට භූගෝලීයව ඉතා සමීප ඉන්දියාවේ තමිල්නාඩුවේ මෙම පළිබෝධකයා පැතිරීම වාර්තා වූ අවස්ථාවේදීය. ඇත්ත වශයෙන්ම පළිබෝධ ආක්‍රමණය වාර්තා වන්නේ මැයි මාසයේ දී වුවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ගොවීන් දැනුම්වත් කරන්නේ අගෝස්තු මාසයේදීය. 


ඒ වනවිට අම්පාර, අනුරාධපුර සහ පොළොන්නරුව ආදී ප්‍රදේශවල ගොවීහු මෙම ආක්‍රමණයට හුදකලාව මුහුණ දෙමින් සිටියහ. මීට පෙර 2016දී සේනා දළඹුවා හෙවත් ආමි පණුවාගේ ආක්‍රමණ හේතු කොටගෙන අප්‍රිකානු මහද්වීපයේ රටවල් 40ක අක්කර සිය දහස් ගණනින් භෝග වගා විනාශ විය. එම නිසා මෙම කෘමි පළිබෝධකයාගේ භයානකකම පිළිබඳව අදාළ ආයතනවලට අවබෝධයක් නොතිබුණා යැයි පිළිගත නොහැක. 


විශේෂයෙන්ම අන් කුමන පළිබෝධකයකුට වඩා සේනා දළඹුවාට රටක අස්වනු තොග ඉතා බරපතළ ලෙස අනතුරට ලක් කිරීමේ විභවයක් තිබෙන බවට ලෝක ආහාර සංවිධානය විසින් නිවේදනය කොට තිබුණි. එම තත්ත්වය ලෝක ආහාර සුරක්ෂිතතාවට බරපතළ අභියෝගයක් වන බවට තීන්දු කළ එම සංවිධානය විසින් ලෝකය පුරා සිදුකෙරෙන පාලන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක මුදලක් වෙන් කළ බව වාර්තා විය. එම මුදලින් ඩොලර් මිලියන 9ක් සාමාන්‍යයෙන් කරන වැඩසටහන් සඳහා සහ මිලියන 12ක් විශේෂ පාලන වැඩසටහන් සඳහා යොදවන බව වාර්තා වුවත් ශ්‍රී ලංකාවට අදාළව එම සංවිධානයේ මැදිහත්වීම කුමක්දැයි වාර්තා වන්නේ නැත. 


ලෝක ආහාර සංවිධානය එසේ සේනා දළඹු උවදුර මැඩලීම සඳහා බරපතළ මැදිහත් වීමක් සිදු කරන බවක් පෙනුණද ඇමෙරිකාවට ආවේණික පළිබෝධකයෙක් අප්‍රිකාවේ බරපතළ ලෙස පැතිරෙන්නේ කුමන හේතු සහ කුමන වැරදි නිසා දැයි වාර්තාවක් නිකුත් කොට නැත. නමුත් වාණිජ ගුවන් ප්‍රවාහනය හරහා මෙම දළඹුවාගේ සලබයා ඇමරිකාවේ සිට අප්‍රිකාවට ඇතුළු වන්නට ඇති බවට මත පළ වේ. ලෝකයේ පාලනය කිරීමට අපහසුම පළිබෝධකයකු ලෙස සැලකෙන සේනා දළඹුවාගේ පැතිරීම පිළිබඳව ලෝකය මීට වඩා දැනුවත් විය යුතු බවට විවාදයක් නැත. 


නමුත් දළඹුවා ගොවිබිම්වල පැතිරෙන විට නගන ඝෝෂාව නිරෝධාන අංශවල පූර්ව ක්‍රියාකාරීත්වය තුළ දක්නට නැත. සලබයාට කිලෝමීටර් 100ක් වුවත් එක රැයකදී පියඹා යා හැකි යැයි කියා ඇඟ බේරා ගැනීමට ඉඩක් නැත. ගුවන් සහ මුහුදු ප්‍රවාහන සේවා හරහා සලබයා පැතිරීමේ අවදානම පිළිබඳ අප රට සැලකිලිමත්ව කටයුතු කළ බවට සාක්ෂි නොමැති බව එම අංශවල අභ්‍යන්තර තොරතුරු දන්නා විද්වත්හු පිළිගනිති. 


මෙම සලබයාට විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ ආරක්ෂාකාරීව ජීවත් වීමේ සහ පැතිරීමේ හැකියාව තිබෙන බැවින් සහ පළිබෝධනාශකවලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන බව ඔප්පු වී ඇති බැවින් තත්ත්වය ඉතා භයානක වේ. විශේෂයෙන්ම සලබයා එක් වසරකදී ජීවන චක්‍ර 06ක් මගින් බෝ කිරීම් සිදුකරන නිසා සහ දළඹුවා හෙවත් කීට හෙවත් ලාවා අවස්ථාවේදී බෝග කා දැමීමේ වේගය ඉතා අධික බැවින් තත්ත්වය වඩාත් භයානක වේ. 


පවතින තත්ත්වය යටතේ ඉතා වේගයෙන් භෝග වගාවක් කා දැමිය හැකි දළඹුවන් රෑනක් එකා බැගින් අහුලා එකතු කොට විනාශ කිරීමට ගොවියා අසමත් වේ නම් එම කා දැමීම දින විස්සක් සිට හතළිහක් දක්වා කාලයක් තිස්සේ පැවතිය හැක. එසේ මහා විනාශයක් සිදු කිරීමෙන් පසුව පොළොවට වැටී දින තුන හතරක් වැනි කෙටි කලකදී පිලවා අවස්ථාව ගෙවා දමා නැවත සලඹයා ලෙස පියඹා යමින් ඉතා කෙටි කාලයක දී මහා භූමියක පැතිරීමේ හැකියාව මෙම පළිබෝධකයාට ඇත. 


ඒ අනුව ආහාර සුරක්ෂිතතාවට වැඩිම හානිය සිදු කළ හැකි පළිබෝධකයා සේනා දළඹුවා ලෙස හැඳින්වීමේ වරදක් නැත. අප්‍රිකාවේ දී ඉතා කෙටි කලක දී අක්කර සිය දහස් ගණනක් භෝග වගා විනාශ කිරීමට මෙම පළිබෝධකයාට හැකි වන්නේ එම හැකියාව නිසාය. මෙම දළඹුවා ප්‍රධාන වශයෙන්ම බඩඉරිඟු වගාවට වැඩි කැමැත්තක් දැක්වුවද එම වගාව වැඩෙන තෙක් වෙනත් බෝග වර්ග 80ක් මත යැපෙමින් තම ජීවන චක්‍රය පවත්වා ගැනීමේ හැකියාව එම පළිබෝධකයාට ඇත. 

 


ඇමරිකාවේ මුලින්ම කපු වගාව ආශ්‍රිතව දක්නට ලැබූ මෙම පළිබෝධකයාගේ වර්තමාන භූමිකාව ඒ ආකාරයට පුළුල් වී ඇත. ඒ නිසා මෙම පළිබෝධකයා උවමනාවෙන් පැතිරවීම මගින් යම් රටක ආහාර සුරක්ෂිතතාව බරපතළ ලෙස අනතුරට ලක්කිරීමේ හැකියාව ඇත. නමුත් එවැන්නක් සිදු විය හැකි බව හෝ යම් බලවේගයකට එවැනි උවමනාවක් තිබෙන බවට සාක්ෂි දක්නට නැත. 


එසේ වුවත් පසුගිය දිනවල මහජනයා අතර එවැනි මතවාද සාකච්ඡාවට ලක් විය. විශේෂයෙන්ම මීට පෙර සාමාන්‍ය මතවාදයක් ලෙස පැතිරී තිබෙන කෘෂිරසායන සමාගම් විසින් තම නිෂ්පාදන විකුණාගැනීම සඳහා පළිබෝධ හඳුන්වා දෙන බවට වන චෝදනාව මෙම අවස්ථාවේදීත් එල්ල වන බවක් අසන්නට ලැබේ. එහෙත් එම චෝදනාව මෙම අවස්ථාවේදී ඍජුව එල්ල කළ නොහැක. ඊට හේතුව මෙම පළිබෝධකයාගේ පැතිරීම සාපේක්ෂව පලිබෝධනාශක ප්‍රචලිත කිරීමක් දක්නට නොලැබීමය. 


ඊට අමතරව මේ වන තුරු නිශ්චිත ප්‍රතිඵලදායක පාලන ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකර්ම බලධාරීන් පවා අසමත් වී ඇති තත්ත්වයක් තුළ එවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණ නොවේ. නමුත් මෙම උවදුරේ බලවත්කම නිසා නව සොයා ගැනීමක් සඳහා විශාල වෙළෙඳ පොළක් විවෘත වන බවට විවාදයක් නැත. පවතින තත්ත්වය යටතේ කෘෂිකර්ම බලධාරීන් විසින් බිම් මට්ටමේ දී ගොවීන් සමඟ ඍජුව බද්ධ වන වැඩසටහනක් දියත් නොකළහොත් සමාගම්වල අලෙවි නියෝජිතයන් විසින් තමාට ලාභදායී එහෙත් මහජන සෞඛ්‍යයට සහ පරිසරයට ඉතා හානිදායක පළිබෝධනාශක හඳුන්වාදීමේ ප්‍රබල ඉඩක් විවර වනු ඇත. 


කෙසේ වෙතත් යම් පළිබෝධකයකු හෝ රෝගයක් පැතිරීමට සැලැස්වීම මගින් නව වෙළෙඳ පොළක් සොයා ගැනීම දුෂ්ට වාණිජ ක්‍රියාවක් වුවත් එවැනි ක්‍රියාවක් ජීව විද්‍යාත්මක අවි භාවිතයක් ලෙස හැඳින්විය නොහැක. එසේ වුවත් එමගින් එම වාණිජ වාසියට අමතරව මහජන සෞඛ්‍යය ආපදා තත්ත්වයකට හෝ බරපතළ ආහාර හිඟයට එම රටට මුහුණදීමට සිදුවුවහොත් ඒ මගින් දේශපාලන සහ යුදමය වාසි යම් බාහිර බලවේගයකට ලැබේ නම් එවැනි තත්ත්වයකදී ජීව විද්‍යාත්මක අවි යන වචනය යොදා ගත හැක. ඇත්ත වශයෙන්ම ජීව විද්‍යාත්මක අවි සොයා ගැනීමට මග පෑදෙන්නේ ස්වභාවිකව පැන නගින ව්‍යසනයක් ගැඹුරින් අධ්‍යනය කොට ඊට හේතු වන හේතු කාරක කෘත්‍රිමව නිර්මාණය කිරීමට හැකියාවක් තිබෙන විටය. බොහෝවිට ජීව විද්‍යාත්මක අවි ලෙස බහුලව යොදා ගැනෙන්නේ ඇසට නොපෙනෙන එහෙත් ජෛව ලෝකයට කෙටිකාලීන මහා විනාශයක් කළ හැකි බැක්ටීරියා සහ වෛරස් වර්ග බවට සාක්ෂි ඇත. එහෙත් ඊට වෙනස් තත්වයන් පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරයි. 


ඊට හොඳම උදාහරණයක් වන්නේ 1840 දශකයේ දී කතෝලික බහුතර ජනතාවක් ජීවත්වන අයර්ලන්තයේ පැතිරුණු ‘‘අර්තාපල් සාගතයයි”. අර්තාපල් සාගතයට හේතුවන්නේ ‘‘අර්තාපල් බිලයිට්” නම් දිලීර රෝගය නිසා එම රටේ අර්තාපල් අස්වනු සම්පූර්ණයෙන්ම විනාශ වීමයි. එම වකවානුවේ අයර්ලන්ත ජාතිකයන්ගේ පමණක් නොව යුරෝපයේ බොහෝ ජාතීන්ගේ ප්‍රධාන ආහාරය වූයේ අර්තාපල්ය. අයර්ලන්තය ඉතා බරපතළ ලෙස මෙම උවදුරට ගොදුරු වන්නේ ඔවුන් ප්‍රධාන ආහාරය සඳහා එක් ගයක් මත යැපීම නිසා පමණක් නොව එම බෝගයේ එක් විශේෂ ප්‍රභේදයක් පමණක් බහුලව වගා කිරීම නිසාය. එම ප්‍රභේදය අදාළ රෝගයට ගොදුරු වීමේ විශේෂ ප්‍රවණතාවක් තිබූ බව පසුව අැමෙරිකාව විසින් සොයා ගැනිණි. 


කෙසේ වෙතත් මෙම සාගතය නිසා ඉතා කෙටි කාලයක් තුළ අයර්ලන්තයේ වැසියන් ලක්ෂ 10 කට ජීවිත අහිමි විය. මෙම සංඛ්‍යාව එරට ජනගහනයෙන් 20‌‌%කි. එම ඛේදවාචකය නිසා අයර්ලන්තයේ ජන පැතිරීමට සහ එහි සංයුතියට සේම රටේ ආර්ථිකයට ආපසු හැරවිය නොහැකි හානි සිදු විය. එවැනිම තත්ත්වයක් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ දී ඇති විය. මෙම සාගතයේදී ජර්මන් වැසියන් ලක්ෂ 7කට ජීවිත අහිමිවිය. අයර්ලන්ත සිදු වීමේ ප්‍රතිඵල දෙස බලන විට ඉන් වැඩි වාසි ලැබෙන රටවල් හා ලෝක බලවේග හඳුනා ගැනීමේ හැකියාවක් තිබුණි. නමුත් එම ප්‍රතිඵල ජීව විද්‍යාත්මක යුධ උපක්‍රම හෝ ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීම මගින් සැලසුම්සහගතව අත්පත් කරගත් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවීය. එහෙත් එම ප්‍රතිඵලයම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ දී දක්නට ලැබෙන විට විවිධ පාර්ශ්ව ඒ පිළිබඳව සැක උපදවමින් අදහස් පළ කළ බව වාර්තා වේ. 


කෙසේ වෙතත් අර්තාපල් බිලයිට් රෝගයට හේතු වූ දිලීරය පිළිබඳව ඇ​මෙරිකාව දීර්ඝ කාලයක් තිස්සේ පර්‌යේෂණ කරනු ලැබීය. 1950 දී ඇමෙරිකාවේ ජීව විද්‍යාත්මක අවි පිළිබඳ පර්‌යේෂණ ව්‍යාපෘතිය නවතා දැමූ බවට ප්‍රකාශයට පත් කරන තෙක් එම පර්‌යේෂණ සිදු වූ බව රහසක් නොවේ. ඒ වන විට මෙම දිලීරයේ සම්පූර්ණ ජාන සැලසුම් හඳුනාගෙන තිබූ අතර ජාන ඉංජිනේරු තාක්ෂණය අනුව මෙම දිලීරය පාලනය කිරීම හෝ පැතිරීම පිළිබඳ පර්යේෂණ සිදු කළ බවද වාර්තා වේ. 

 

අම්පාර, අනුරාධපුර සහ පොළොන්නරුව ආදී ප්‍රදේශවල ගොවීහු මෙම ආක්‍රමණයට හුදකලාව මුහුණ දෙමින් සිටියහ. මීට පෙර 2016දී සේනා දළඹුවා හෙවත් ආමි පණුවාගේ ආක්‍රමණ හේතු කොටගෙන අප්‍රිකානු මහද්වීපයේ රටවල් 40ක අක්කර සිය දහස් ගණනින් භෝග වගා විනාශ විය. මෙම දළඹුවා ප්‍රධාන වශයෙන්ම බඩඉරිඟු වගාවට වැඩි කැමැත්තක් දැක්වුවද එම වගාව වැඩෙන තෙක් වෙනත් බෝග වර්ග 80ක් මත යැපෙමින් තම ජීවන චක්‍රය පවත්වා ගැනීමේ හැකියාව එම 
පළිබෝධකයාට ඇත. 

 


ජීවයේ උපත අර්තාපල් බෝග උපත සිදු වූ බවට හඳුනාගන්නා da දකුණු ඇමරිකානු අන්දීස් කඳු ප්‍රදේශයේ සිදු වූ බවට සාක්ෂි ඇතත් මෙම රෝගය පළමුවෙන්ම බහුලව පැතිරෙන්නේ උතුරු ඇමෙරිකාවේය. අයර්ලන්තයට රෝගය පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබූ ඇමෙරිකාවේ සිට යැවූ අර්තාපල් බීජවලින් බව ඔප්පුවී ඇත. එසේ වුවත් එවැනි තත්ත්වයක් ඕනෑම රටකින් තවත් රටකට බීජ හෝ ප්‍රවාහන ද්‍රව්‍ය අපනයනය කරන විට පැන නැගිය හැකි නිරෝධාගත ගැටලුවක් ලෙස පෙන්විය හැක. 


නමුත් එම ඉතිහාස කතා අප වැනි ලෝකයේ වැදගත්ම යුදමය මර්මස්ථානයක පිහිටි රටකට වැදගත් වන්නේ එම රටේ ජනතාවට සැකයෙන් බියෙන් ජීවත්වීම සඳහා නොවේ. ඉතිහාස අත්දැකීම් සහ වර්තමාන අත්දැකීම් වැදගත් වන්නේ ස්වාභාවික විපත් ලෙස පෙනෙන එහෙත් යුදමය වැදගත්කමක් සහිත තත්ත්වයන් පිළිබඳ ගැඹුරු අවබෝධයෙන් කටයුතු කිරීම සඳහාය. 

 


උදාහරණයක් ලෙස අයර්ලන්තය තමා මුහුණ දුන් විපත නැවත සිදු නොවීම සඳහා තම ආහාර සංස්කෘතිය, ආහාර විවිධත්වය සහ භෝග ප්‍රභේද විවිධත්වය මෙන්ම නිරෝධායන උපායමාර්ග ආදී ඉතා පුළුල් ක්ෂේත්‍රවල වෙනස්කම් සිදුකරනු ලැබීය. අප රට ද සේනා දළඹුවා කියාදෙන පාඩම අනුව නිරෝධායන උපායමාර්ග දෙස පමණක් නොව සමස්ත ආහාර සුරක්ෂිතතාවට අදාළ උපායමාර්ග දෙස නැවත ආපසු හැරී බැලීමට කාලය පැමිණ ඇත. 


ඊට අදාළ සංවාදය බලධාරීන්ගේ වසාගත් කාමරවල පමණක් නොව මහා සමාජය තුළ ද සිදුවිය යුතුය. අඩු තරමින් ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමට වැදගත් කොට සැලකිය යුතුය යන සාකච්ඡාව උඩට ගැනීමට හැකි නම් අප විසින් අනාගතයේ ද ගෙවිය යුතු වන්දිය අඩුකර ගැනීමට ඉඩක් විවර වනු ඇත. 

 

 

වෛද්‍ය 
කේ.එම්. වසන්ත බණ්ඩාර