මගේ ජයග්‍රහණයේ අයෝමය ශක්තිය මගේ බිරිඳයි

 

 

“මනුෂ්‍ය ජීවිතයේ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපි නොහිතන නොපතන විදිහට. මට මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වුණා. නමුත් මගේ දැඩි විශ්වාසයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මට සාධාරණ යුක්තියක් ඉෂ්ඨ වෙයි කියලා. ඒ පරමාර්ථයෙන් මම ජීවිතේ ජය ගත්තා. මම වැටුණේ නැහැ. මගේ ඒ උත්සාහය අද මල් ඵල ගැන්විලා, හරිම සතුටුයි”   


ඔහු, ඉන්දික බමුණුසිංහ ය. බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවැනි විත්තිකරු වූ බමුණුසිංහ ඇතුළු හය දෙනෙකු කොළඹ මහාධිකරණ නඩු තීන්දුවෙන් මරණීය දණ්ඩනය නියමව වැලිකඩ මහ උළුගෙදරට යන්නේ ඉකුත් 2015 වසරේ නොවැම්බර් 27 වැනිදාය.   


ඉකුත් දිනෙක බමුණුසිංහ හමුවන්නට මා වැලිකඩ බන්ධනාගාරය වෙත ගියේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ අවසරයෙනි.   


“බමුණුසිංහගේ පශ්චාත් උපාධිය ගැන ලියන්න හිතුවා” මාගේ ඉල්ලීමට කාරුණිකව ඉහළම ප්‍රතිචාරයක් ලබා දුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඉතා ඉක්මනින් මා වැලිකඩ බන්ධනාගාර අධිකාරි එම්.එෆ්. ලාහීර් මහතා වෙත යොමු කරනු ලැබීය.   


ඉතාමත් සුහදශීලීව මා පිළිගත් ලාහීර් මහතා ඉන්දික බමුණුසිංහ හමුවීමට මා වෙත ඉඩ හසර ලබාදුන්නේය.   


“මිස් ආයෙත් මාව බලන්න ආවා නේද? ගිය අවුරුද්දේ උපාධිය ගත්ත වෙලාවේදිත් මිස් ආවා”   


“ඉතිං කොහොමද බමුණුසිංහ?”   


“ගොඩාක් සතුටින් ගොඩාක් දුකින් ඉන්නවා?”   


අහිංසක නිහතමානි සිනහවකින් සැරසී මා ඇමතූ බමුණුසිංහ දිගු කතාන්දරයක් දිග හරින්නට වූවේය.   


“හරියටම ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2017 ජනවාරි 05 වැනිදා තමයි මම මගේ සාමාන්‍ය උපාධිය ලබා ගත්තේ. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 12 වැනි බාහිර උපාධි ප්‍රදානෝත්සවයේ දී. ඒ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. මම එදා ඒ ජයග්‍රහණයෙන් නතර නොවුණේ අහිමි වී තියෙන නිදහස ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. ජයග්‍රහණයේ උපරිම සතුට උරුම වෙන්නේ නිදහසත් සහිත වීම තුළයි”   


ඉකුත් 2013 වසරේ අප්‍රේල් මස 1 වැනිදා සහ මැයි මස 22 වැනිදාත් අතර කාලයේ බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් අසාම්ඩීන් මොහොමඩ් ෂියාම් මහතා ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ ඉකුත් 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදාය.   


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, උ.පො.ප. ලක්මිණ ඉන්දික බමුණුසිංහ, පො.සැ. (51799) ගාමිණී අතපත්තු සනත් චන්ද්‍ර, පො.කො. (68656) ආනන්ද ප්‍රියන්ත සංජීව, පො.කො. (61816) කැලුම් රංගන දිසානායක සහ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු සමීර වාස් ගුණවර්ධන යන අය මෙලෙස වරදකරුවන්ව මරණීය දණ්ඩනය ලැබූ අය වූහ.   


මේ සිද්ධියට අදාළව අපේ කතානායකයා වූ බමුණුසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් 2013 වර්ෂයේ ජුනි මස 05 වැනිදාය.   


පෑලියගොඩ දිසා දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව රාජකාරි සිදුකරමින් සිටි ඔහු, ඒ වන විට වයස අවුරුදු 29ක ආදරණීය සැමියෙකි. රජයේ පිළිගත් රැකියාවක නිරතවූ ඇය වසර ගණනාවක ප්‍රේම සබඳතාවක් මත ඔහු හා විවාහ වී තිබිණ. එක් සහෝදරයකු පමණක් සිටි පවුලක වැඩිමලා වූ ඔහු කහතුඩුව ප්‍රදේශයේ පදිංචියට යන්නේ අලුත් කැදැල්ල තනාගනිමිනි. එහෙත් බමුණුසිංහ රහස් පොලිස් අත්අඩංගුවට පත්වෙන්නේ අලුත් දීගය දෙසතියකට සීමා වෙමිනි.   


එතැන් සිට මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු වසර දෙකකට අධික කාලසීමාවක් බමුණුසිංහ ඇතුළු හය දෙනාම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජීවිතය ගත කළහ. 

 
“ඔයා හිටපු පොලිස් නිලධාරියෙක් නේද?”   


“ඔව්. මම වසර 10ක් උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළා. 2007 මාර්තු මාසේ 01 වැනිදා තමයි ත්‍රිකුණාමලය කොට්ඨාස වැටලීම් අංශයේ ස්ථානාධිපති විදියට මම වැඩ පටන් ගත්තේ. පසුව කොළඹ අපරාධ කොට්ඨාසයට, කුරුණෑගලට, කහවත්තට මාරුවීම් ලබා ගියා. මේ සිද්ධියට අත්අඩංගුවට පත් වෙද්දී මම හිටියේ පෑලියගොඩ.”   


“බමුණුසිංහ හොඳ බොක්සර් කෙනෙක් කියලා මම අහලා තියෙනවා”   


“ඔව්. මම බොක්සිං ක්‍රීඩාවේ නිරත වුණා. පොලිස් ස්ථානවල රාජකාරි කරන්න කලින් මම පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් බොක්සිං තරගාවලිවලට සහභාගි වෙමින් ජයග්‍රහණ ලබාගත්තා. 2005දී ආධුනික බොක්සින් තරගාවලියේ කිලෝග්‍රෑම් 48 බර පංතියේ දක්ෂතම ක්‍රීඩකයා වුණා. ඒ අවුරුද්දේම ශ්‍රී ලංකා ආධුනික ඉන්ටර් මීඩියා බොක්සිං තරගාවලියේ ජයග්‍රාහකයා වුණා.”   


“පශ්චාත් උපාධිය ගත්තේ කුමන විෂය ධාරාවෙන් ද?”   


“සමාජ විද්‍යා පශ්චාත් උපාධිය ගත්තේ.”   


“කොහොමද ප්‍රතිඵල?” 

 
“සංයුක්ත සමාජ විද්‍යාවට ‘ඒ’ සාමාර්ථයක්. සමාජ විද්‍යා න්‍යාය, සමාජ පර්යේෂණ, සංවර්ධන සමාජ විද්‍යාව, සමාජය හා සංස්කෘතිය සහ සමකාලීන සමාජ විද්‍යාව යන විෂයන්ට ‘බී’ සාමාර්ථ.”   
“මුලින් සාමාන්‍ය උපාධිය ගන්න හිරගේ ඇතුළේ ඔබ පාඩම් කළ ක්‍රමවේදයම ද මේ සැරේත් අනුගමනය කළේ?”   


“මම රිමාන්ඩ් එකට එද්දී බාහිර උපාධියේ පළමු විභාගය කරලා ඒකෙන් සමත් වෙලා හිටියේ. ඊට පස්සේ මට ලෙක්චර්ස්වලට යන්න විදිහක් නෑනේ. මගේ බිරිඳ තමයි ඒ දේශනවලට ගිහිල්ලා ඒවා රෙකෝඩ් කරලා නෝට්ස් එක්ක මට ගෙනල්ලා දෙන්නේ. ඕනෑ කරන පොත් ඔක්කෝම ගෙනල්ලා දුන්නේ එයා. හැම සති අන්තෙම එයා ඒවාත් අරගෙන එනවා. මගේ සෙවණැල්ල වගේ ඉඳලා මට මේ ජයග්‍රහණය ලබා ගන්න එයා උදව් කළා. එදා වගේම අදත් මට මේ ජයග්‍රහණය ලබන්න උදව් කළේ එයා.”   


තම ආදරණීය බිරිඳ ගැන එසේ සඳහන් කළ ඔහු, තමන් යම් ජයක් ලැබුවාද එහි පූර්ණ හිමිකම තම බිරිඳට ලැබිය යුතු යැයි කීවේ කඳුළු පිරි දෙනෙතිනි. ඒ කඳුළු සතුට වෙනුවෙන් ද නොඑසේනම් මොනයම් හෝ වේදනාවක් වෙනුවෙන් දැයි විමසීමට මට සිත් නොදිනි.   


“දැන් අවුරුදු පහක් තිස්සේම එයා මාව බලන්න එනවා. හැම සති දෙකකට සැරයක්ම ඇවිත් නෝට්ස් ටිකයි ටියුට්ස් ටිකයි දීලා මාව සනසලා යනවා. කොහොම හරි මා එළියට එනවා කියන විශ්වාසය එයා තුළ මටත් වඩා වැඩියෙන් තියෙනවා කියලා මට හිතෙනවා.”   


“ඔබ බන්ධනාගාරේ ඇතුළේ සාමාන්‍යයෙන් ජීවිතේ ගෙවා දමන්නේ කොහොමද?”   


“රෑ 10ට මෙහේ ටී.වී. ඕෆ් කරනවා. ඊට පස්සේ තමයි මම පාඩම් කරන්නේ. උදේ පහ විතර වෙනකල් පාඩම් කරනවා. ඊට පස්සේ නිදා ගන්නවා. ආයෙත් ඇහැරෙන්නේ උදේ නවයට විතර. ඊට පස්සේ මම කම්පියුටර් රූම් එකට යනවා. මේ වෙන කොට නම් ඒ කම්පියුටර්වල අන්තර්ජාල පහසුකම් වගේ දේවල් නැහැ. නමුත් අධ්‍යයන කටයුතු කරගෙන යනවා. එතැනම පුස්තකාල පහසුකම තියෙනවා. පොත් කියවන්න එතැනින් පුළුවන්. ඒ වගේම බන්ධනාගාරේ ඇතුළේ ඉන්න ආචාර්යවරුන් කිහිප දෙනෙකුගෙන්ම ඉගෙනීම කරන්නත් එතැනදී පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මට ඉගැන්නුවා සර් කෙනෙක්. එතුමා සිරදඬුවම් විඳින ප්‍රසිද්ධ ගුරුවරයෙක්. මම එතුමන්ව මතක් කළ යුතුම වෙනවා.”   


“ඔබගේ පශ්චාත් උපාධිය ගන්න විශ්වවිද්‍යාලයෙන් ලද සහයෝගය කොහොමද?ද”   


“විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවෙන් මට විශේෂ අවසරයක් ලබා දීලා තිබුණා දේශනවලට සහභාගි නොවී උපාධියට පෙනී සිටින්න. දේශන සඳහා නියෝජිතයකු සහභාගි කරවන්න ඒ අවසරයෙන් හැකියාවක් තිබුණා. ඉතිං මගේ බිරිඳ තමයි ඒ දේශන අහලා ඇවිත් මට ලැබෙන්න සලස්වන්නේ. මට රෙකෝඩරයක් පාවිච්චි කරන්න මෙහෙන් අවසර දීලා තිබුණා.”   
“විභාගේ ලියුවේ කොහොමද?”   


“වැලිකඩ බන්ධනාගාරය තුළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටෙව්වා. පහුගිය 2017 ඔක්තෝබර් මාසේ 27 වැනිදා ඉඳලා සෑම ඉරු දිනකම විභාගය පවත්වලා දෙසැම්බර් 10 වැනිදා විභාගය ඉවර කළා. ඒක අධීක්ෂණය කරන්න කැලණිය විශ්වවිද්‍යාලයෙන් සහභාගි වුණා.”   


“ඔබට විශ්වවිද්‍යාලයේ උදව් උපකාර කළ අය කවුද?” 

 

 

“විශේෂයෙන්ම මතක් කළ යුතු කිහිප දෙනෙක් ඉන්නවා. පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන්න මට අවසර ලබා දුන්න කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති හාමුදුරුවන්, උපකුලපති මාහාචාර්ය බී.එම්. ප්‍රේමසිංහ මහතා, පශ්චාත් උපාධි පීඨයේ උපකුලපතිතුමන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලය, මහාචාර්ය කරුණාතිලක සර්, පශ්චාත් උපාධි සම්බන්ධීකාරක සිසිර සර්, මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, ආචාර්ය ගීතානි අමරතුංග මහත්මිය, ආචාර්ය ඔබේසේකර මහතා, ආචාර්ය සරත් විතාන මහතා, මහාචාර්ය සුභාෂිණී මහත්මිය, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මයා, චාමින්ද සර්, ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය, සුධීර සර්, අංශාධිපති ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා, කථිකාචාර්ය වරුණි වික්‍රමාරච්චි මහත්මියට වගේම, තරුණ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ හිරන්ත ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට.” 

 
“ඔබට බන්ධනාගාරය තුළ ලැබුණ සහයෝගය කොහොමද?”   


“බන්ධනාගාරයේ කොමසාරිස් ජනරාල්තුමාගේ අනුමැතිය මත හිටපු වැලිකඩ බන්ධනාගාර අධිකාරි වත්මන් කොමසාරිස් චන්දන ඒකනායක මහත්තයා මට ගොඩක් උදව් කළා. ඒ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. මං හිටිය කාමරේ තුන් දෙනෙක් හිටියා. ඒක වැලිකඩ විශේෂ අංශයේ සී 3 කාමරය. චන්දන මහත්තයා මට පොඩි මේසයකුයි පුටුවකුයි දීලා තිබුණා පාඩම් කරන්න. දවල් වරුවට හිරගෙදර ඝෝෂාව වැඩියි. මං පාඩම් කළේ රෑට. ඒ වගේම මම පොලිස් සේවයේ ඉද්දී කළ වැටලීම් සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න කොළඹින් පිට පළාත්වලට බන්ධනාගාරය මගින් අරගෙන යනවා. කුරුණෑගල, පිලැස්ස, වාරියපොල, ත්‍රිකුණාමලය වගේ අධිකරණවල සාක්ෂි දෙන්න මාව එක්ක යනවා. ඒ යද්දි මං පොත් දෙක තුනක් අරගෙන තමයි යන්නේ. මට බන්ධානගාරයේ නිලධාරීන් මහත්තුරු ගොඩක් උදව් කළා.”   


“ඒ වගේම, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක උපුල්දෙණිය සර්, හිටපු කොමසාරිස් තිස්ස ජයසිංහ සර්, බන්ධනාගාර සහකාර අධිකාරි සුජීව මහතා, සහකාර අධිකාරී බන්දුල සෙනෙවිරත්න මහතා, ප්‍රධාන ජේලර් මොහාන් මහත්තයා ඇතුළු නිලධාරින් මට ගොඩක් උදව් කළා. ඒ වගේම වර්තමාන බන්ධනාගාර අධිකාරී එම්.එෆ්. ලාහීර් මහත්මයා මගේ ඉදිරි විභාග කටයුතු වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදීමට මට පොරොන්දු වුණා.”   
තම ජයග්‍රහණය පසුපස සිටින සෑම කෙනෙකුටම දිගින් දිගටම සුබ පැතුම් එක්කරමින් සිටි ඔහු මේ කඩඉමෙන් පසු තමන්ගේ ඊළඟ බලාපොරොත්තුව ගැන මෙසේ ද පැවසීය.   


“මට උදව් උපකාර කළ හැමෝටම පින්. ඒ වගේම ස්තූතියි. මගේ ඊළඟ බලාපොරොත්තුව දර්ශනපති උපාධිය සම්පූර්ණ කරන්න. එතැනින් ආචාර්ය උපාධිය දක්වා යන්නයි මගේ බලාපොරොත්තුව. මං දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් යොමු කරලා තියෙන්නේ. මං දන්නවා අනිවාර්යයෙන්ම මං මේකෙන් නිදහස් වෙනවා කියලා. ඊට පස්සේ මං මේ රටට කළ සේවයට වඩා වැඩියෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉඳලා සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. මං ආයෙත් කියන්නේ මං වැරැද්දක් කරල නෑ කියලා.”   


“ආරංචි වුණා ඔබ පොතක් ලිව්වා කියලා හිරගේ ඇතුළේ ඉඳලා. ඒක ඇත්තද?”   


“ඔව්. ‘මා දකින නීතිය’ කියලා පොතක් මං ලිව්වා. ඒක මේ වෙද්දී සියලු වැඩ කටයුතු කරලා මුද්‍රණය කරන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ මං නීතිය ගැන ගොඩක් අධ්‍යයනය කළා. පොලිස් නිලධාරියෙක් විදිහට මං ලබපු අත්දැකීම්, මට වූ දේවල් සියල්ල ඒකේ ගැබ්වෙලා තිබෙනවා.”   


“ඔබ බන්ධනාගාර ඉතිහාසයේ සිරකරුවකු ලෙසින් ප්‍රථම උපාධිය ලබපු ප්‍රථම කෙනා විදිහට ඉතිහාස ගත වුණා. ඒ වගේම පශ්චාත් උපාධිය ගත් සිරකරුවා ලෙසිනුත් ඉතිහාස ගත වෙනවා නේද?”   


“ඔව්. ආයෙත් මං ස්තූති කරනවා බන්ධානාගාරයේ කොමසාරිස් ජනරාල් තුමාට බන්ධනාගාර සියලුම නිලධාරින්ට”.   


“ඔබට සහෝදර රැඳවියන්ගෙන් ලද සහයෝග කොහොමද?“   


“ඇත්තටම මම මානසිකව වැටිච්ච වෙලාවට මාව දිරිමත් කරලා මට මේ ජයග්‍රහණය ලබන්න ඒ හැම කෙනෙක්ම උදව් කළා.”   


“සිරකරුවකු ලෙසින් ජීවිතයට මුහුණ දුන්නේ කොහොමද?”   


“මං මේ ජීවිතයට හුරු වෙලා නෑ. නමුත් ඒක කරන්න වෙනවා. මං මේකෙන් විඳ දරා ගැනීමට හුරු වුණා. මට විතරක් නෙවෙයි, මගේ බිරිඳට පවුලේ අයට විඳ දරා ගැනීම ගැන ගොඩක් පුරුදු වුණා මම හිරේට ආව එක. ඒකත් එක්තරා ශක්තියක් අපේ ජීවිත ගොඩනැගෙන්න. මරණ දඬුවම නියම වුණා කියලා කඩා වැටිලා හිටියා නම් අද මේ සතුට නෑ. මාව හිර කළත් මගේ හැඟීම්, මගේ හැකියාව හිරකරන්න බැරිවුණා.”   


“තවත් මොනවා හරි දෙයක් ඔබට කියන්න තියෙනවාද ?”   

 

 

“ඔව් මිස්... පුළුවන් නම් මේ දේත් ලියන්න. මේ වන විට බන්ධනාගාර ගත වෙලා ඉන්න මරණ දඬුවම සහ ජීවිතාන්ත සිර දඬුවම නියම වෙලා සිටින රැඳවියන්ට සමාජ ගතවීමට නිසි ක්‍රමවේදයක් නැහැ. සමස්ත බන්ධනාගාර නිලධාරින් කොතරම් උත්සාහ ගත්තත් රැඳවියන් පුනරුත්ථාපනය කළත් පලක් නැහැ. මේ තුළින් රජයට වියදම පමණයි. බන්ධනාගාර ගත වූවන් තුළින් ඉපැයීම් ක්‍රමයක් නිර්මාණය කරන්න පුළුවන් නම් මරණ දඬුවම සහ ජීවිතාන්තය ලබපු සිරකරුවන්ගේ දඬුවම් අඩු කිරීමට හෝ සමාව ලබාදීමේ පූර්ණ බලය තිබෙන්නේ අතිගරු ජනාධිපතිතුමන් වෙතයි. ඒ නිසා දැහැමි රටක් යන සංකල්පය තුළ පිහිටලා විශේෂ දක්ෂතා සහ කුසලතා දක්වමින් ඉදිරියට එන්න උත්සාහ දරන දැහැමිව ජීවත් වීමට කැමැත්තෙන් සිටින අලුතින් ජීවිතය දකින්න උත්සාහ කරන මේ රැඳවියන් සම්බන්ධයෙන් මානුෂීය වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා මම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම මගේ දර්ශනපති උපාධියේ නිබන්ධනයට තෝරාගත්තේ රැඳවියකු සාර්ථක පුනරුත්ථාපනයක් ලබන්න නම් කළ යුතු ක්‍රමවේදය පිළිබඳවයි. එහි තේමාව ‘බන්ධනාගාර පුනර් සමාජානුයෝජනය’ ලෙසින් නම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.”   


“බොක්සින් ක්‍රීඩාවට ආයෙත් යන්න අදහසක් 


නැද්ද ?” “මම අවසර ඉල්ලුවා බන්ධනාගාරයෙන්. පුහුණුවීම් කරන්න වගේම තරගවලට සහභාගි වෙන්න. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.”   


උත්සාහයට වඩා අන් දෙයක් නැතැයි යන්න ඔප්පු කර පෙන්වූ බමුණුසිංහ, සිය ජයග්‍රහණ එසේ සමරන මොහොතේ මට යමක් සිහිපත් විය. ඒ ඔහු කොළඹ මහාධිකරණය හමුවේ සිය මරණීය දණ්ඩනය පැනවීමට පෙර විත්තිකූඩුවේ සිට කළ ප්‍රකාශය. ලක්මිණ බමුණුසිංහ, ඔබට අපේ සුභ පැතුම් සමග එය මෙසේ ලියා තබා ලිපිය අවසන් කරමි.   


“ස්වාමීනී, මම නිර්දෝෂයි, මම කිසිම අවස්ථාවක චෝදනාවකට දායකත්වය නොදැක්වූ බව ඉතා ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මගේ එකම වරද මගේ ජංගම දුරකතනය නැති වීම පමණයි. මේක අමූලික බොරුවක්. යුක්තිය ඉටුවුණේ නෑ. පටාචාරා කතා වස්තුව ආදර්ශයක්. එදා මේ විමර්ශන නිලධාරින් හිටියා නම් ඒකාන්තයෙන්ම පාටාචාරාවට මොනවා වේවිද දන්නේ නෑ. මගේ ජීවිතයේ සියලු දේවල් නැති වුණා. මං දෙවියන්ගෙන් හරි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.”   

 

 

 

 

නිමන්ති රණසිංහ සහ 
ජයන්ත සමරකෝන්