ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

සතුන්ට ගිනි බින්ද අප්පු සිංඤෝට

උරුම වූයේ ගින්නමය 


එකල වනාන්තර ආශ්‍රිත කැලෑ ගම්වල දඩයක්කරුවන් පරම්පරාවෙන් පරම්පරාවට බිහි විය. එම වනාන්තරවල වනසතුන් ගහනව සිටි හෙයින් දඩ මස් සපයා ගැනීම පහසු වූයෙන් එදිනෙදා ආහාර වේ​ෙල් එක් අංගයක් වී තිබුණි. ගැමියන් කුරක්කන්, අමු, බඩ ඉරිඟු වැනි ධන්‍යවලින් හෝ අල බතල වලින් ආහාර වේල පිරිමසා ගත්තත් දඩ මස් වෑංජනයක් පිළියෙළ කර ගැනීම ඔවුන්ට අත්‍යවශ්‍ය විය.   


දැනට දසක හයකට පමණ පෙර විශාල ප්‍රදේශයක් පුරා විහිදී ගිය වනාන්තරයක් පිහිටියේය. ඒ තුළ විශාල වැවක් පිහිටීම නිසා දඩයක්කරුවන්ට මහත් රුකුලක් වූයේ දිය බීමට එන වන සතුන් එළා ගත හැකි වීමය. එකල මෙකල මෙන් වන සතුන් දඩයම් කිරීමේ තහන්චියක් තද බල ලෙස නොවූ හෙයින් හා කුකුල් කොටු, එළු කොටු හා ඌරු කොටු නොවූ හෙයින් බහුලව සිටි වන සතුන් ඔවුහු දඩයම් කළහ. ගෝනුන්, මුවන් හා වල් ඌරන් රංචු පිටින් දවල් රෑ මේ වනයේ සැරිසරද්දී දඩයක්කරුවන්ට රජ මඟුල් විය. එම වනාන්තරයට යාව පිහිටි කැලෑ ගමේ උස මහත උඩුරැවුල කරකවා බුලත් හපයෙන් නිතර කට පුරවාගත් එක්තරා පව්කාර පුද්ගලයෙක් සිටියේය. ඔහු අප්පුසිංඤෝ නමින් හඳුන්වමු.   


අප්පුසිංඤා් දක්ෂ දඩයක්කාරයෙකි. දඩ මස් වෙළෙන්දෙකි. ගමට හෝ අවට ගම්වලට මස් සැපයුවේ මොහුය. මඟුලක් තුලාවක් වූ විට මස් ඇණවුම් කළේ මොහුටය. කොටු වළවල් රැකීමට මොහු දක්ෂයෙකි. වැවේ වළක් කපා ඊට බැස හැංගී සතුන් වතුරට බසින විට කොටු වළ තුළ සිට ගිනි බින්දේය. වනයේ සතුන් ගැවසෙන ඉසව් බලා සතුන් කුලප්පු කර දුවන ගෝනුන් මුවන් එලා ගත්තේය.   


දිනක් අප්පුසිංඤා් වැවේ රාත්‍රියේ කොටු වළක සිටින විට අලි රෑනක් ඒ හරහා යද්දී ඇත් පැටවෙකු වළට වැටීමට ගොස් ඇතින්න විසින් පැටවා ඔසවා තැබීමෙන් අප්පුසිංඤා් බේරුණු බව ඔහු ගම්මුන්ට පවසා තිබුණි.   
දවස පුරාම දඩයමේ යෙදුණ අප්පුසිංඤා් ඉඳහිට හේන් ගොවිතැනද කළේ දඩයමට පහසු හෙයිනි. ළඟ එන මෝසම් වැස්ස අල්ලා කුරක්කන්, තල, මුං වැපිරීමේ අදහසින් වනාන්තරය තුළ හේනක් කෙටීමට පටන් ගත්තේය. දින ගණනක් හේන කොටා කැපූ ගස් කොළන් හේන වටේ දැමීය. හේනේ වැඩ කළත් මුවෙක් ඌරෙක් දිනපතා දඩයම් කර ගමට ගෙන ගොස් මුදල් කළේය. හේන කොටා අවසන් වුවද ගස් කොළන් කොළ රොඩු හේන පුරා විසිරී තිබුණි. කැපූ ගස්වල මුල් හේනේ තැනින් තැන හේන පුරා මතු වී තිබුණි. මෝසම් වැස්සට කලින් හේන සුද්ධපවිත්‍ර කර ගැනීමේ අදහසින් මුව පොව්වෙකුට ද ගිනි බිඳ හේනේ පසෙක තබා හේනේ කැපූ ගස් කොළන් දැමූ බඩ වැටිවලට හා කොළ රොඩුවලට ගිනි තැබුවේය. ගින්න සමග සුළං වේගයෙන් හමන්නට විය. ගින්න හේන පුරා පැතිර ගියේය. ගින්න බුර බුරා නගිනු දුටු අප්පුසිංඤා් ඒ මේ අත දුවන්නට විය. හේනෙන් පිටවීමට තැනක් සොයමින් අප්පුසිංඤා් දුවද්දී ඔහු ගිනි බින්ද දුවන මුව පොව්වකු වැටෙන්නා සේ කනු මද්දක පය හැපී බිම ඇඳවැටුණි.   


කණු මද්දේ (කැපූ ගසක මුලක) හැපීමෙන් පාදයක වූ කැඩී බිඳීමක් නිසා නැගිට ගැනීමට නොහැකිව කෑ ගසන්නට විය. ඇඳිරි වැටෙද්දී නිතර දඩමස් කදකුත් ​​රැගෙන එන අප්පුසිංඤා් එදින රෑ බෝ වෙන තුරුත් නොපැමිණියෙන් බිරිඳ අසල්වාසීන්ට දැනුම් දුන්නාය. වටින් ගොඩින් එළිය වැටෙද්දී ගින්නෙන් කරවී ගිය අප්පුසිංඤා්ගේ සිරුර ඔවුන් සොයා ගත්තේ ගිනි තැබූ හේනේදීය. ඔවුන් පැවසුවේ අහිංසක සතුන්ට ගිනි බින්ද අප්පුසිංඤා්ට මෙලොවදීම ගින්නෙන්ම විපාක ලැබී ඇති බවයි.  



ඉඳුරුවේ ඇම්.ඒ. ප්‍රේමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.

තලගොයි මරන්න ගොස් සල්ලම් වූ ඇක්මන්


දකුණට නුදුරු ගමක ජීවත් වූ අැක්මන්ගේ පව්කාර කම් මෙලොව දීම පටිසන් දුන්නේ මාස එක හමාරක් පමණ දුක්විඳ හරි හැටි නිදාගැනීමටත් නොහැකිවය.   


අවුරුදු 50 ක් පමණ වූ කෙසඟ සිරුරක් හා නිසි අධ්‍යාපනයක් නොලද ඇක්මන් තනිකඩව ජීවත් වූයේ අකාලයේ බිරිඳ මියයාමත්, දරුවන් නොමැති වීමත් නිසාය. සත්ව හිංසාවට මහත් සේ ඇළුම් කළ ඇක්මන් ඉබ්බන්, තලගොයින් මැරීමට මෙන්ම සඳ කාලයට කැස්බෑවන් ඇල්ලීමටත් බිත්තර ගැනීමටත් කකුළුවන් ඇල්ලීමටත් මාළු බෑමටත් ඉතා දක්ෂයෙකි. මාළු බෑමේ දක්ෂතාවය කොතෙක් ද යත් තම යහළුවන් සමග එකම තැන හිඳ පනුවන් ඇමට ගසා බිලී කොකු දැමූ විට අන් අයගේ බිලී කොකුවලට හසු නොවන මාළු ඇක්මන්ගේ බිලී කොක්කට හසු වේ. එවිට යහළුවන් ද කියනුයේ මචං උඹ නං කළේකට බිලී පිත්ත දාගෙන හිටියත් මාළු අහුවෙනවා යනුවෙනි.   


දිනක් යහමින් මාළු හසුවී තම මිතුරන් මඟ හැර නිවසට එන විට අසල හුඹහක් තුළට හිස දමා කඳ ඵලියේ තිබූ තලගො​ෙයක් දුටු ඇක්මන් එක්වරම ගොස් වලිගයෙන් අල්ලා උඩට උෟ උස්සා පොළොවේ ගැසීමට සූදානම් විය. තලගොයා මර බියෙන් දඟලන විට ඇක්මන් අතින් ගිලිහී ඔහුගේ හිස මතට වැටී ඇග දිගේ දුවන්නට විය. තලගොයාගේ නිය පහරවල්වලට දරුණු ලෙස හිස හා පිට ප්‍රදේශයෙන් ලේ ගලන්නට විය. 

 
වේදනාවෙන් කෑගසන ඇක්මන්ගේ හඬ ඇසුණු ප්‍රදේශවාසීන් පැමිණ රෝහලට පිටත් කළ ද මොහුගේ තත්ත්වය අනුව ප්‍රතිකාර එම රෝහලේ නොමැති නිසා ගිලන් රථයකින් වෙනත් රෝහලකට මාරු කෙරිණි.   
සතියකට පමණ පසු නැවත නිවසට පැමිණියද උඩින් තුවාල සනීප වී යටින් නරක් වී තිබුණි. ඇක්මන් ට නිදා ගැනීමටවත් නොහැකිව මුණින් අතට නිදා ගැනීමට සිදු විය. කිසි​ෙවක් නිවසේ නැති නිසා කෑමටවත් දෙයක් නැතිව නිරාහාරව සිටි ඇක්මන් මළ මුත්‍රා පවා නිවස තුළම කළේ හවුහරණක් නැති දුබල වූ ශරීරය නිසාය. ඉතා වේදනා විඳ කුසට අහරක් නොමැතිව ජීවිතයෙන් සමුගත්තද අසල්වාසීන් මිතුරන් එකතු කරන ලද මුදලින් ඇක්මන්ගේ අවසන් කටයුතු කළේය.  

 



හලාවත කනුකැටිය සෝමසිරි ජයසිංහ මහතා ලියා එවූ කතාවකි.   

හරක් බෙලි කැපූ ඝාතකයාට

අත් වූ ඉරණම   


චමිල අවුරුදු 32 ක් පමණ වූ තරුණයෙකි. ප්‍රේම සම්බන්ධයකින් පසු ඔහු අසල්වාසී ගමක තරුණියක කසාද බැඳගෙන වසර 10 ක් පමණ ගමේ කා අතරත් හොඳ හිත දිනාගෙන සිටියේය. කසාද බැඳීමෙන් වසර කීපයක් පහු වුවද දරුවකුගේ සුරතල් බැලීමට ද ඔහුට වරම් නොලැබුණේ බිරිඳගේ කිසියම් රෝග තත්ත්වයක් නිසා බැව් ගම්මු පවසති.   


චමිල රැකියාව වශයෙන් කළේ ගස් කැපීම සහ පොල් කැඩීමයි. ඒ හැරුණු විට ඔහුට ලැබෙන ඕනෑම කුලී වැඩක් කර දවසේ වියදම සරිකර ගැනීමට ඔහුට හැකියාව තිබේ. ඔහු එතරම් ධෛර්ය සම්පන්නය. දක්ෂය. යහළුවන් සමග සුහදව ඇසුරු කළ චමිල මහන්සි​ෙයන් සොයා ගත් මුදලික් ගත් ඉස්තරම් වර්ගයේ යතුරුපැදියක හිමිකරුවෙකුද වී සිටියේය.   


චමිලගේ තාත්තා රැකියාව වශයෙන් කළේ හරකුන් මරා මස් කඩයක විකිණීමයි. චමිල ද ඉරිදා දිනවල තාත්තාගේ මෙම කාර්යයට දර දිය ඇද දී යම් මුදලක් උපයා ගැනීමට පුරුදුව සිටියේය. ගමේ අහල පහළ ඕනෑම වැඩක් චමිලට පැවරූ සැනින් එම කාර්යය නිසි ලෙස කර දෙයි. ඉන් ලැබෙන මුදලින් තම බිරිය සමග ජීවත් වෙයි. එමෙන්ම යහළුවන් සමග එක් වී ඕනෑම දුරාචාරයක යෙදීමට ද අවස්ථාව ලද සැනින් චමිල සූදානම් ව සිටී එහෙයින් ම සුරාව සූදුව චමිල​ගේ දිනචර්යාවේ කොටසක් විය.   


දිනක් ගම කෙළවර වෙල්යායේ ගොවි මහතකුගේ ඇරයුමින් චමිල ඇතුළු කීප දෙනෙකු කුලියට වී වැපිරීමට ගොස් එම කාර්යයේ යෙදුනහ. උදේ 8 ට පමණ ආරම්භ වූ මෙම කාර්යය සඳහා චමිල ද සහභාගී විය. එදින ඉරිදා දිනක් වූ බැවින් චමිලට උදෑසනම තවත් කාර්යක් බාර වී තිබුණි. එනම් හරකුන්ගේ බෙලි කපා ඝාතනය කොට තාත්තාට භාර දීමයි. උදෙන්ම ඒ සඳහා ගොස් එදිනට නියමිත හරක් හතර දෙනෙකුගේ බෙලි කැපූ චමිල කෙළින්ම ගියේ වපුරණ තැනටය.   


වැපිරීම අවසන් වෙද්දී සවස තුනට පමණ විය. චමිල ඇතුළු පිරිසෙන් කීප දෙනෙකු අරක්කු බෝතල් දෙකක් හිස් කළේ කට ගැස්මට බැඳපු හරක් මස් ද සමගය. විහිළු කවටකම් අසභ්‍ය වචන ද ඒ අතරට එක් විය. එසේ සූර් වූ චමිල ඇතුළු පිරිසට දවල්ට කෑමද පිළිවෙළ විය. කෑම පාර්සල්වල තිබුණේ ද හරක් මස් සමග තවත් වෑංජන කීපයකි.   


කුඹුරුයායට යාබදව ගම්මුන් විසින් පුද පූජා පවත්වනු ලබන දේවාලයයි. ඉතාම බලගතු එම දේවාලය හාස්කමින් අනූනය.   


ගොවි මහතා පිරිසේ කුලිය වශයෙන් බෙදා ගැනීමට යැයි කියා රුපියල් 5000 කොළ කීපයක් අමිලට ලබා දුන්නේ මාරු කර ගෙන ඒමටය. මුදල් මාරු කරගෙන ඒම සඳහා කඩමංඩියට යාමේ අවශ්‍යතාව මත චමිල ඔහුගේ යතුරුපැදියට නැග මහත් වේගයෙන් එය පැදවූයේය. බමනමතින් සිටි ඔහුට සයිකලයේ වේගය පාලනය කිරීමට නොහැකිය. වත්ත මැදින් ගොස් පාරට වැටුණ ඔහුගේ සයිකලය ඔහුත් සමග අතුරු පාරකින් අවුත් පාරට දැමු ලෑන්ඩ් මාස්ටරයක මුහුණට මුහුණ ගැටුණි. චමිලගේ බෙල්ල වෙන් විය. පුදුමය නම් රුධිරය ගලා ගොස් නොතිබීමයි. හරක් මැරූ පව් ​ෙමළොවදීම පළ දුන්නේය.   

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්