ප්‍රවීණ පරිවර්තකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, ළමා රචකයකු ආදී වශයෙන් සාහිත‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරමින් නිර්මාණ රචනයේ යෙදෙන ටෙනිසන් පෙරේරා අප අතර සිටින ප්‍රතිභාසම්පන්න නිර්මාණ රචකයෙකි. මෙවර කතා බහ ඔහු සමගයි.


ප්‍රශ්නය:-ඔබේ නවතම කෘතිය පිළිබඳව මුලින්ම කතා කරමු.


පිළිතුර:- මා දැන් මාස ගණනාවක සිට සිංහල පරිවර්තන සාහිත්‍යට එක් විය යුතු “අරාබි නිසොල්ලාසය හෙවත් එක් දහස් එක් රැය’’ නම් කෘතියේ පූර්ණ පරිවර්තනයක් කරමින් සිටිනවා. මීට වසර එකසිය විසි හතරකට පෙර (1894 දී) ඇල්බට් සිල්වා මහතා මෙහි සාරාංශමය පරිවර්තනයක් කර තිබෙනවා. එය එතරම් සාර්ථක නොවූ වසර සියයකටත් වඩා පැරණි සිංහල බස් ආරෙන් සම්පාදනය කළ එකක්. ඊට පසු ඩබ්ලිව්.ඒ. සිල්වා, කේ. බී සුගතදාස වැනි උගතුන් තෝරාගත් අල්ප කතා එකතු පළකර තිබෙනවා. මේ හැම පරිවර්තකයෙකුගේම අභිප්‍රාය අරාබි නිසොල්ලාසයේ රසවත් කතා තෝරා සිංහල පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීම වුවද මගේ අහිප්‍රාය ශාස්ත්‍රීය පදනමක් මත පිහිටා අරාබි නිසොල්ලාසයේ පූර්ණ පරිවර්තනයක් සිංහල පාඨකයා වෙත ගෙන ඒමයි.


මේ කෘතියේ කතා රසය ඉක්මවා යන බොහෝ කරුණු කාරණා අඩංගුයි. දෙවියන්නේ වහන්සේගේ දර්ශනය පමණක් නොව වෙනත් ජීවිතය අරබයාවූ දාර්ශනික මෙන්ම සංස්කෘතික කාරණා තිබෙනවා. මුල් කෘතියේ අඩංගු යයි සැලකෙන හැම දෙයක්ම මෙම පරිවර්තනයේදී වාරණයෙන් තොරව සැපයීම මගේ අපේක්ෂාවයි. මෙම කෘතිය මැද පෙරදිග මුස්ලිම් ජනයාගේ ස්වර්ණමය යුගය පාදක වූවත් මෙය සිංහල රසිකයා නැවුම් හැඟීමෙන් අවදි කරන නව රසවේදයන්ට යා හැකි ගුණාංග අඩංගු කෘතියක් ලෙසද නම් කළ හැකි වෙනවා. මගේ අදහස වන්නේ ප්‍රබන්ධ කලාවේ විවිධ දිසානති පෝෂණය කරන අපූරු අන්තර්ගතයන් මෙහි ඇති බවයි. කතා ගෙතීම හා පරිකල්පනය විවිධ දෙසට හැරවීමේ සූර කතා කලාවක් ඇති කෘතියක් ලෙසද අරාබි නිසොල්ලාසය සැලකිය හැකියි. රැයවල් එකදහස් එකක් තුළ කියන ලද කතා දස දහස් ගණනක් ඇති මේ කෘතිය පරිවර්තනය දෑස් වලින් කඳුළු වෙනුවට ලේ ගලන අසීරු කාර්යයක්. එසේ වුවද සිංහල ප්‍රබන්ධ කලාව සහ සිංහල රසිකයින්ගේ රසිකත්වය වර්ධනයට මෙම කෘතියෙන් ලැබෙන පිටුවහල මෙපමණකැයි අතිශෝක්තියෙන් තොරව කීමට රුචි කරනවා. මෙම කෘතිය කොටස් දොළහකින් පළ කිරීමට අපේක්ෂා කරන අතර දැනටම කොටස් හතක් මුද්‍රණයෙන් පළවී ඇති බව කීමට කැමතියි. මගේ වෙනත් නිර්මාණ කටයුතු පසෙකලා මෙම කෘතියේ ඉතිරි කොටස් මේ වසර අවසන් වන විට පරිවර්තනයෙන් පළ කිරීම මගේ එකම අභිප්‍රායයි.


ප්‍රශ්නය:- ඔබ කාලයක් ලේඛන වෘත්තියේ යෙදුණ ලේඛකයෙක්. සාහිත්‍යයට දායකත්වය බොහෝයි. මේ රටේ ලේඛකයෙකුවීම පිළිබඳව ඔබට ඇති හැඟීම කවරාකාරද?


පිළිතුර:- මා සිංහල සාහිත්‍යයට දායක වූයේ මීට වසර හැටකට පෙරයි. මගේ මුල්ම කෙටිකතා එකතුව පළ වූයේ එකදහස් නවසිය පනස් අටේදී. මා මේ වන විට කෘති සියයකට වඩා පරිවර්තනය කර තිබෙනවා. නවකතා, කෙටිකතා, පරිවර්තන හා ළමා කතා ආදී වශයෙන්. ලෝකයේ ප්‍රකට නවකතාකරුවන් වූ ෆාන්ස් කෆ්කා, ගාර්ෂියා මාර්කෙස් ආදීන්ගේ වැදගත් නවකතා ඒ පරිවර්තනවලට අයත් වෙනවා. ළමයින් වෙනුවෙන් ලොව ප්‍රකට ජගත් ජනකතා සුරංගනා කතා සියයකට වඩා ළමා සාහිත්‍යට එක්කර තිබෙනවා. මා මේ පරිවර්තන කාර්ය කළේ හිතාමතා ළමා සාහිත්‍යයේ තිබූ අඩුපාඩුවක් පිරිමසා ලීමටයි. බටහිර සාහිත්‍යයේ පවා දුර්ලභ ළමා කතා සොයා පරිවර්තනයෙන් පළ කරන්නට මා මහත් වෙහෙසක් දැරුවා. නවකතා කෙටිකතා පවා මා ලියන්නන් වාලේ ලීවේ නැහැ. සිංහල සාහිත්‍යට නව ප්‍රවණතා එක් කිරීම තමයි මා කෙටිකතා හා නවකතා ලියා පවා කළේ. සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ ගතානුගතිකත්වය මා ඉවසුවේ නැහැ. නව තේමා, නව ආඛ්‍යාන විධි කෙරෙහි මගේ ඇති ඇල්ම මවිසින් පළ කළ නවකතා තිහෙන් හා කෙටිකතා සංග්‍රහ දහයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා ඇති.


ලේඛකයෙකු වශයෙන් මා අදහන දේ නම් ලේඛකයා ජගත් සාහිත්‍ය හදාරන්නෙකු විය යුතු බවයි. ඔහු විවිධ නවකතා ධහරා, කෙටිකතා ධහරාවන් හැදෑරිය යුතුයි. ඒ වගේම අපේ සම්භාව්‍ය සාහිත්‍ය හැදෑරිය යුතුයි. හැදෑරිය යුතුය යන්නෙන් අදහස් කරන්නේ ඒ කෘතිවල ආඛ්‍යාන, භාෂා ළෙන්ගතු කරගැනීමට වෑයම් කිරීමයි. මම බොහෝ තරුණ සාහිත්‍යකරුවන් අතර ගැවසෙන්නෙක් වශයෙන් කියන්නට තිබෙන්නේ මේ තරුණ ලේඛකයින්ගෙන් එක් අයෙක් දෙන්නෙක් හැරුණු විට බහුතරයක් සාහිත්‍ය ගැන හැදෑරීමක් නැති ලියන්නන් වාලේ ලියන අය බවයි. මීට වසර පණහකට පෙර අප අතර සිටි ලේඛකයා අදට වඩා නිර්මාණ කලාව ගැන ප්‍රබුද්ධයි. ඔවුන් උසස් පෙර අපර කෘති කියවා තිබෙනවා. විචාර කියවා තිබෙනවා. ඒනිසා එදා අපේ නිර්මාණ සාහිත්‍ය අදට වඩා සබුද්ධිකයි. අද අපේ නිර්මාණ සාහිත්‍ය බහුතරයක් ඕලාරිකයි. බොලඳයි. එකල අප කෙටිකතාවක් හෝ වෙනයම් රචනයක් පුවත්පතට ගෙන ගියහොත් ‘මෙය කීවරක් කියවා බැලුවාද? උගතෙකුට බලන්න දුන්නාද?’ එකල කතුවරු දහසක් ප්‍රශ්න නැගූ හැටි මතකයි. එකල පොතක් පළකරවා ගැනීමට ප්‍රකාශකයෙකු ළඟට කෘතියක් ගෙන ගිය විට එකවරම කියන්නේ මෙය උගතෙකු ලවා සමීක්ෂණය කරවා දන්වන්නන් කියායි. එහෙත් අද ඇතැම් ප්‍රකාශකයෙක් ළඟට ගිය විට මොනම සමීක්ෂණයක්වත් නැහැ. අද අතිශයින් දුර්වල කෘති වෙළඳ පොළට එන්නේ මෙවන් වැඩ නිසයි.


එකල ලේඛකයෙකුවීම ගැන තරුණ අපි තුළ එක්තරා අභිමානයක් තිබුණා. එයට හේතුව වියතුන් සභා මැදට යාමට එයින් යම් ආත්ම ශක්තියක් ඇති වුණ නිසයි. අපි එකල මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක ආදී ලේඛකයින් හමුවීමට ගියා. එතුමන්ලාගෙන් පොතපත තුටු පඬුරු ලෙස ලබාගත්තා. සාහිත්‍ය ගැන යම් යම් දේ කතා කළා. ඔවුන්ගේ නිර්මාණ ආත්මයේ සුවඳ ආඝ්‍රහණය කළා. ඔවුන්ගේ පුස්තකාල නැරඹුවා. ඔවුන් ඇසුරෙන් ප්‍රබන්ධ රචකයෙකු වීමට මොනතරම් පොතපත කියවා තිබිය යුතුද යන හැඟීම අප තුළ ඇති වුණා. ලේඛකයින් තම රටේ සංස්කෘතික දේහය පෝෂණය කිරීමට මොනතරම් වෙහෙසිය යුතුද යන හැඟීම එම ලේඛකයින්ගේ ජීවන තතු හරහා අප තුළ කාන්දු වූවා.


රට කනපිට හැරී ඇති මෙකල ලේඛකයින් හතු පිපෙන්නාක් මෙන් බිහිවෙනව. ඔවුන් තුළ ජීවන හරයන් අප වෙත කාන්දු නොවන තරම්. ව්‍යාජත්වය, ජනප්‍රියත්වය මිසක වෙනත් හරයක් ඔවුන් වෙතින් විකසිත වන්නේ නැහැ. මේ අතර හිස් ජීවිත ඇති දේශපාලන කල්ලි මතු වෙනවා. ඔවුන් පෙර සමාජයේ මතුවී තිබූ හරවත් මිනිසුන්ට ඉහළින් පූජනීයත්වය තමන්ම ආරූඪ කරගන්නවා. මාධ්‍යය, රජයේ ආයතන දේශපාලකයින් සිය ග්‍රහණයට ගන්නවා. මේ අතර මෙරට සාහිත්‍යකරුවා, ලේඛකයා දේශපාලනයෙන් වැසී යනවා. මට දවසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සාහිත්‍ය උත්සවයක දේශනයක් පැවැත්වීමට ඇරැයුම් කර තිබුණා රජයේ නිලධාරීන්ට. දේශපාලකයින්ට මේ උත්සවයේ පොල්තෙල් පහන දැල්වීමට කතා කළත් මෙහි දේශනය පැවැත්වීමට නියමිත තිබූ මට ඇරැයුම් කළේ නැහැ. එහි සිටි සංස්කෘතික අධ්‍යක්ෂවරයෙකු පැමිණ මගේ අතින් අල්ලා රැගෙන යනතුරු ප්‍රධාන දේශක ලේඛකයා ඔවුන්ට වැදගත්වී තිබුණේ නැහැ. මෙය එක උදාහරණයක් පමණයි. ලේඛකයින්ගේ සහ සාහිත්‍යකරුවන්ගේ උත්සවයක් වන රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී පවා ශාලාවේ මුල් අසුන් හිමිකරුවන් වන්නේ දේශපාලකයන් සහ ටයිකාරයින්. මෙවන් සාමාජයක් තුළ ලේඛකයෙකුගේ භූමිකාව අතිශයින් ශෝචනීය බව කිව යුතුය.


ප්‍රශ්නය:- ලේඛකයාගේ කර්තෘභාගයෙන් බදු අයකර ගැනීම ගැන පසුගිය කාලයේ විශාල ලෙස කතා බහට ලක් වුණා. ඔබත් ඒවෙනුවෙන් විශාල හඬක් නැගුවා. යම් යම් සංශෝධන ඉදිරිපත්වී ඇති බව ආරංචියි. මේ සංශෝධන සම්බන්ධයෙන් ලංකා ලේඛක සංවිධානය එකඟ වෙනවාද?


පිළිතුර: - 2017 අංක 24 දරණ දේශිීය ආදායම් පණත ඡේද 84 හා 85 යටතේ ලේඛකයින්ගෙන් කර්තෘ බාගයෙන් සියයට දාහතරක (14%) බද්දක් අය කිරීමට මේ රජය ක්‍රියාකර තිබෙනවා. කතුවරයා පොත් ලියා උපයන ආදායමෙන් තමයි මේ බද්ද කැපීම සිදු කරන්නේ. උදාහරණයක් වශයෙන් කිවහොත් යම් ප්‍රකාශකයෙක් යටතේ පොතක් ලියා මසකට පණස් දාහට වැඩියෙන් මුදල් ඉපයූවොත් ඒ වැඩි වන මුදල මෙකී බද්දට යටත් වෙනවා. තව උදාහරණ දක්වා කියනවා නම් කතුවරයෙක් කෘතියක් උදෙසා යම් මසක හැට දහසක් ඉපයුවොත් එයින් දසදහසක් සියයට දාහතරේ බද්දට යටත්වෙනවා. මෙය රජය නම්කර තිබෙන්නේ රාජ්‍ය බද්ද නමින් නිසා ලේඛකයින්ට බදු නැතැයි කියන අමන ලේඛකයින්ද සිටිනවා. එහෙත් මෙය සඟවා ගැසූ බද්දක් ලෙස නම් කරන්නට කැමතියි.


විත් හෝල්ඩින් බද්ද ලෙස නම් කරන මේ බද්ද තවත් විජ්ජාවක් ලේඛකයා ඉදිරියේ ති​ෙබනවා. එනම් මෙය රඳවා ගැනීමේ බද්දක් ලෙස සමහරු හඳුන්වන්නේ ‘විත් හොල්ඩින්’ නම් විජ්ජාපදය නිසයි. මේ මුදල බදුෆයිල් එකක් විවෘතකර යම් වරදක්වී ඇත්නම් ආපසු ලබා ගන්නට ලේඛකයාට අවකාශ ඇත යන අදහස දීමෙන් ලේඛකයා සනසන්නට දරන වෑයම් ශෝචනීයයි. රජය විසින් කැපූ මුදලක් ආපසු ගැනීම නම් විජ්ජාවේ මේ අසරණ ලේඛකයා රජය විසින් පටලන්නේ ඔහු දුක්විඳ තම රටට කළ ජාතික මෙහෙවර ගැන අබමල් රේනුවක ගරු කිරීමක් නැතිවයි.


පසුගිය දවස්වල මේ ගැන ඇති වූ කතා බහ නිසාදෝ බදු සීමාවේ යම් සුළු වෙනස්කමක් කළත් එය අප සලකන්නේ විරෝධය සමහන් කිරීමට ගත් වෑයම් ලෙසයි. මෙම සංශෝධන හරහා බදු සීමාවේ සීමාව සුළුවෙන් ඉහළ දැමීමක් විනා සියයට දාහතර කැපීමේ ෂයිලොක් අත කපා දැමීමක් නම් නොවෙයි. අපගේ නිගමනය මෙහෙමයි. ලේඛකයින්ගෙන් තඹයකින්වත් ලේඛක බද්දක් කැපිය යුතු නැහැ. මෙරට සංස්කෘතික ඉතිහාසයේ රජයක් විසින් ලේඛකයාගේ පරිකල්පන හැකියාවට අභියෝග කළ මෙරට සාහිත්‍ය ඉතිහාසයේ කළු අකුරෙන් ලියවෙන ලැජ්ජාවක් නැති රාජ්‍ය වෑයම ලෙස මෙය හැඳින්විය හැකියි. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ දහසින් බැඳි පියළි හා ගම්වරදී ලේඛකයා නගා සිටවූ රටක මෙලෙස ක්‍රියා කිරීම සංවේග ජනකයි.


ප්‍රශ්නය:- පවතින සමාජ දේශපාලනික ක්‍රමය තුළ නිර්මාණ රචකයෙකුට ඇති තැන ගැන ඔබ මොකද හිතන්නේ?


පිළිතුර:- පවතින දේශපාලන ක්‍රමය තුළ නිර්මාණ රචකයෙකුට ඇති තැන සතුටුදායක නැහැ. ඔහුට නිදහසේ සිය නිර්මාණ කිරීමට අද ආර්ථික ශක්තියත් අවශ්‍ය වෙනවා. මා උදහරණයට ගෙන කියනවා නම් වසර හැටකට වඩා කාලයක් නිර්මාණ සාහිත්‍ය පෝෂණය සඳහා වැඩ කරමින් සිටින මගේ ජීවන තත්ත්වය ශෝචනීයයි. මට විශ්‍රාම වැටුප වශයෙන් රුපියල් විසි දාහක් ලැබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර වශයෙන් දොළොස් දහසක් වැය වෙනවා. මෙම තත්වය තුළ මගේ පැවැත්ම තහවුරු කර ගන්නට මට පෙරට වඩා ලේඛන කාර්යයේ යෙදෙන්න වෙනවා. 1995 සිට සිට මා පූර්ණ කාලීනව වේගයෙන් ලියන්නට පටන් ගන්නේ ජීවිතයේ යැපුම් මට්ටමක් ඇති කර ගන්නටයි. වයසත් සමග නොයෙක් සංකූලතා ඇති වෙනවා. වෙනදා මෙන් පයින් යාම සහ බස්වල යාම අසීරු වෙනවා. ඒත් බස්වල යනවා මිසක වෙන පහසු විකල්පයක් නැහැ. ලේඛකයෙකු වශයෙන් යාවත් කාලීනව ජීවත්වීම සඳහා පොතපත මිලදී ගන්නටත්, අන්තර්ජාල සේවනය කරන්නටත් මාසිකව මහත් මුදලක් වැය වෙනවා. මේ සඳහා මෙන්ම දෛනික කටයුතු වැය කරන්නේ කර්තෘ භාග මුදල්. මෙය ජීවන සටනක්. සමහරු කියනවා බටහිර ලේඛකයින් ඩොලර් දහස් ගණනින් බදුගෙවනවා කියලා. ඔවුන් එය කරන්නේ ජීවත්වීම සඳහා ලේඛකයෙකු වශයෙන් හොඳ ජීවන තත්වයක් ඇති නිසයි. මා දන්නවා ලංකාවේ සමහර ලේඛකයන් මැරුණාම වලදාගන්න තම නිවෙසෙහි රුපියල් දසදහසක් නැති වුණ අවස්ථා ගැන. මෙයින් ගැලවෙන්ඩ බිරිඳ කරන්නේ සැමියාගේ පොතක් ප්‍රකාශකයෙකුට විකිණීම, නැත්නම් ප්‍රකාශක ඇත්තෙකුගේ පිහිට පැතීම. මා දන්න සමහර දෙමළ, මුස්ලිම් ලේඛකයින්ගේ ජීවන තත්ත්වය මීට වෙනස් නැහැ. ඔවුන්ගේ ලේඛක දිවිපැවැත්ම සිංහල ලේඛකයින්ට වඩා අසරණයි. මේ තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොවෙයි. අද තත්වය අන්තිම උග්‍රයි. මෙය තමා අප රටේ බහුතරයක් ලේඛකයින්ගේ තත්ත්වය. අප රටේ සංස්තෘතික ඇමති වෙලා ලේඛකයෙක් හිටියා. සංස්කෘතික ලේකම්වරු හිටියා. අප ඒදවස්වලත් ඒ ඇත්තන්ට ලේඛකයින්ගේ ජීවන තත්ත්වය ගැන කීවා. කළේ පොත් ටිකක් මිලදී ගන්න එකයි. ලේඛකයාගේ ජීවන තත්ත්වය නගා සිටවන්නට එක පණතක් ගෙනාවද? ඔහුගේ කර්තෘ භාගය වැඩිකර දෙන්නට උත්සාහ කළාද? තවත් එනවා කර්තෘ භාගයට බදු ගහන්නට.

 

 

 

 

සංවාද සටහන - ගාමිණී කන්​ෙදපොළ