පොලිස් කාන්තාවක් අවුරුදු නවයක පමණ කාලයක් තිස්සේ ජීවිතය ගෙවා දමන්නේ රෝද පුටුවක් මතය. උප පොලිස් පරීක්‍ෂකවරියක වූ ආර්. එම්. එස්. ශ්‍යාමලී රත්නායක මහත්මියගේ ජීවිතය රෝද පුටුවකට සීමා වූ ඒ කතාව හරිම දුක්බරය.


ජීවිතයේ ඉතිරි කාලය ද ඇයට ගෙවා දැමීමට සිදුවන්නේ රෝද පුටුවේමය. යළි කිසිම දවසක පොළොවේ පය තබා ඇවිදීමට තරම් වාසනාවක් ඇයට නැත. රෝද පුටුවේ සිට ඇය යන්නේ ඇඳටය. ඒ හැරෙන්නට වෙන ගමනක් ඇයට නැත. සැමියා හා දරු දෙදෙනා කැටිව විනෝද ගමනක් යාමට මඟුල් ගෙදරක හෝ උත්සවයකටවත් යාමට ඇයට වරම් නොමැත්තේය.   


එය ඇයට සදාකාලික සිහිනයක් පමණකි. ශ්‍යාමලී රත්නායක කියන මේ පොලිස් ලලනාව මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ පෑවේ ඇයගේ සුසුම්නාවට හානි සිදුවී තිබීම හේතුවෙනි. ඒ නිසා ඇයගේ ඉණෙන් පහළ සම්පූර්ණයෙන්ම පණ නැත.   


දිවුලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ හා ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරි කරද්දී රාජකාරි ගමනක් යමින් සිටි පොලිස් වාහනය හදිසි අනතුරකට ලක්වීම නිසා එහි ගමන්ගත් තමාගේ සුෂුම්නාවට හානි සිදු වූ බව ශ්‍යාමලී රත්නායක මහත්මිය පවසන්නීය.   


මේ නිසා පොලිස් ජීවිතයට ද සදහටම සමු දෙන්නට සිදු වූ බව ඇය පැවසුවාය. අවුරුදු නවයක පමණ කාලයක් තිස්සේ රෝද පුටුවේ සිටින ඇය ගැන අපට කිව්වේ ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයේ ලේකම් වෙදගේ සමන්ත මහතාය.   


රෝද පුටුවට සිය ජීවිතය සීමා වූ දවසේ පටන් ඇයට උවටැන් කරන්නේ ආදරණීය සැමියාය. ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආදරණීය සැමියෙකි.   


ශ්‍යාමලීගේ මව සහ පියා ද ඇයට ජීවිතය ගෙන යාමට ලොකු අත්වැලක් සපයන්නේ දාරක සෙනෙහස ලොවට කියා පාමිනි. ශ්‍යාමලීගේ දරු පැටව් දෙන්නාගේ ඉගෙනීමේ කටයුතු හා අනෙකුත් වුවමනා එපාකම් ඉටු කිරීමට ඇයගේ සැමියා හා මව්පියන්ගෙන් ලැබෙන සහාය ද සුළුපටු නොවේ. උප පොලිස් පරීක්‍ෂකවරියක ලෙස ඇයට නිල ඇඳුමක් ඇඟලාගෙන රාජකාරිය කරන්නට ලැබුණේ අවුරුදු 13 ක් වැනි කෙටි කාලයකි.   


මෙවැනි හදිසි අනතුරකට මුහුණ නොපාන්නට ඇය තවමත් පොලිසිය බබළවන අභිමානවත් පොලිස් ලලනාවක් වන්නීය. ඇයට මෙවැනි ඉරණමක් අත්කර දුන් මූසල දවස මතක් වෙන මොහොතක් පාසා ඇයට ඇතිවන්නේ කිව නොහැකි වේදනාවකි. ශ්‍යාමනී පදිංචිව සිටින්නේ මිනුවන්ගොඩ ගල්කන්ද හොරොම්පැල්ලේය.


මේ සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දක්වමින් වීරපොකුණේ නාගීත හිමියෝ : මහනුවර දිගන ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයකු මිය යාම මුල්කරගෙන මහනුවර හා ඒ අවට ප්‍රදේශවල ජාතිවාදී කලබල සිදුවුණා. මේ නිසා මිනිස් ජීවිත කිහිපයක් නැතිවූ ආතර දේපොළ රැසකටම හානි වුණා.


බිංගිරියේ දී මාරක රිය අනතුරකින් මුස්ලිම් සිසුවෙක් මිය ගොස් සිංහල තරුණියක් බරපතළ තුවාල ලැබුවා. නමුත් බිංගිරිය ප්‍රදේශයේ ඉන්න සිංහල හා මුස්ලිම් ජාතිකයින් රටටම ආදර්ශයක් දෙමින් මේ මාරක අනතුර මුල්කරගෙන කිසිදු ආකාරයක ජාතිවාදී ගැටුමක් ඇති නොකරගෙන මුල සිටම හොඳ අවබෝධයක් ඇතිව සාමයෙන් සාමදානයෙන් මිය ගිය ඒ දරුවාට ද ගෞරවයක් වන ආකාරයට කටයුතු කළා. බිංගිරියේ සමස්ත ජනතාව රටට විතරක් නොවේ මුළු ලෝකයටම ආගමික සහජීවනය හා සංහිඳියාව ගැන කදිම ආදර්ශයක් ලබා දුන්නා.   


මේ සිද්ධිය වුණේ 2010 ජූලි මාසයේ 31 වැනිදා. එතකොට මම රාජකාරි කළේ දිවුලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ හා ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති හැටියටයි. එදා මම රාජකාරි ගමනක් පිටත්ව ගියා. අපි ගිය පොලිස් වාහනය හදිසි අනතුරකට ලක්වුණා. ඒ හදිසි අනතුරින් මගේ සුෂුම්නාවට හානි සිදු වුණා. මේ අනතුර නිසා මාස 09 ක විතර කාලයක් රෝගාතුරව ප්‍රතිකාර ලබා ගත්තා. කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කළා. සුෂුම්නාවට හානි සිදුවීම නිසා මගේ කොන්දෙන් පහළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. සුව කරන්න බැහැ. රාගම පුනරුත්ථාපන රෝහලේ ද කාලයක් නැවතී සිටියා.


මේ අනතුරින් පස්සේ මට රැකියාව කරන්න බැරිව ගියා. මගේ මාසික වැටුප ලැබෙන්න අවුරුදු 1 1/2 ක් විතර ගියා. ඒ නිසා ආර්‌‌ථික අපහසුකම් ගොඩක් ඇතිවුණා. ඒ කාලයේ දිවුලපිටියේ හිටිය දානපතීන් තුන් හතර දෙනෙක් අපිට මුදල් පරිත්‍යාග කළා. ඒ අයව මම කෘතවේදීව සිහිපත් කරනවා.   


මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා වැඩිමල්. එයාගේ වයස දැන් අවුරුදු 16 ක් වෙනවා. දුවගේ වයස අවුරුදු 13 ක් වෙනවා. දෙන්නම ඉස්කෝලෙ යනවා. මේ අනතුර වෙනකොට දුව මොන්ටිසෝරි යන්නෙවත් නැහැ. දුවව මොන්ටිසෝරි ගිය මුල් දවසේ වගේම මුලින්ම පාසල් ගිය දවසෙත් මට එයත් එක්කගෙන යන්න බැරිව ගියා. දරුවන් දෙන්නා වෙනුවෙන් පාසල් උත්සවයටක යන්නවත් මට හැකියාවක් නැහැ. සැමියා හා දරුවෝ එක්ක කිසිම ගමනක් යන්නේ නැහැ. මගේ ජීවිතය රෝද පුටුවෙන් ඇඳට, ඇඳෙන් රෝද පුටුවට දෝලනය වෙනවා. ඒ තමා මගේ ලෝකය.   


මගේ සැමියා ගුවන් හමුදාවේ සේවය කරලා විශ්‍රාම ගිය කෙනෙක්. එයා තමා අවුරුදු 10 ක් තිස්සේ ඉඳලා මාව ඇඳෙන් උස්සලා රෝද පුටුවේ තියන්නේ. රෝද පුටුවෙන් ඔසවා ඇඳෙන් තියන්නෙත්. ඒ නිසා එයාගේ ගමන් බිමන් පවා සීමාවී තිබෙනවා. මගේ මහත්තයා සැබෑ දෙවි කෙනෙක්.   


අසනීප වුණාම, අබ්බගාත වුණාම බිරිය අතහැර ගිය සැමියන් ගැන මම ඕනෑ තරම් අසා තිබෙනවා. මගේ සැමිාය සෙවණැල්ලක් වගේ මගේ පසුපස සිටිමින් එදා ඉඳලා මට ඇප උපස්ථාන කරනවා. ඒ නිසා තමා මම කිව්වේ එයා මට දෙවි කෙනෙක් කියා.   


මගේ අම්මයි තාත්තාගෙන්, මහත්තයාගේ අම්මගෙන් අපේ වැඩවලට වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබෙනවා. මමත් රෝද පුටුවෙන් ගිහින් මට පුළුවන් විදිහට ගෙදර දොරේ වැඩපොළවලට උදව් උපකාර කරනවා. හැබැයි ඉතිං රෝද පුටුවේ වාඩිවෙලා මට කරන්න පුළුවන් දේවල් ඉතාම සීමිතයි. ඔහොම තමා ඉතින් ජීවිතය ගෙවන්නේ” යැයි ඇය පැවසුවාය.   


උප පොලිස් පරීක්‍ෂකවරියක ලෙස ඇය පොලිස් සේවයට එක්වී ඇත්තේ 1997 වසරේ පෙබරවාරි මාසයේ 15 වැනිදාය. 

 
කුලියාපිටිය රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා එයින් සමත්වී උසස් පෙළ හැදෑරීමට ගියේ කුලියාපිටිය සාරනාත් මහා විද්‍යාලයටය. ශ්‍යාමලී සාරනාත් මහා විද්‍යාලයේ කාන්තා ශිෂ්‍ය භට බළකායේ සාමාජිකාවක ද වූවාය.   


යමක් කමක් තේරෙන කාලයක ඉඳලා මට ලොකු ආශාවක් තිබුණා ත්‍රිවිධ හමුදාවට හරි පොලිසියට හරි බැඳෙන්න. කාන්තා පොලිස් කොස්තාපල් හා කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියන් බඳවා ගන්න අයදුම්පත් කැඳවා තිබුණා. ඒ තනතුරු දෙකටම මම ඉල්ලුම්පත් දැම්මා. මුලින්ම කාන්තා උප පොලිස් පරීක්‍ෂක තනතුරට සම්මුඛ පරීක්‍ෂණයට කැඳවා තිබුණා. මම පරීක්‍ෂණවලින් සමත් වුණා. පොලිසියට බැඳුණාට පස්සේ මෙහෙයුම් කලාපවලත් රාජකාරි කර තිබෙනවා. අදටත් මම පොලිසියට ආදරෙයි. නිල ඇඳුමෙන් සැරසිලා ඉන්න පොලිස් කාන්තාවක් දැක්කාම හිතට කියන්න බැරි තරම් වේදනාවක් ඇති වෙනවා යැයි ශ්‍යාමලී මහත්මිය පවසන්නීය.   


ශ්‍යාමලී මහත්මිය : මම මේ වගේ අනතුරකට මුහුණ පෑවේ රාජකාරි ගමනක් යන අතරවාරයේ. අද මම සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වෙලා. මම වගේ පොලිසියේ ගොඩක් දෙනෙක් රාජකාරි කරන්න ගිහින් ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා. අපිට අවුරුදු 55 වෙනකම් වැටුප් ලැබෙනවා. ඊට පස්සේ විශ්‍රාම වැටුපක් තමා රජයෙන් ලබා දෙන්නේ.   
ත්‍රිවිධ හමුදාවේ ආබාධිත වූ අයට මිය යනකම්ම වැටුප් ලැබෙනවා. ජනාධිපතිතුමාගෙන් පොලිසියේ ආබාධිත අපිත් ඉල්ලන්නේ මිය යනතෙක් වැටුප් ලබාදෙන්න කියලයි. ආබාධිත වුණ අපි ආර්ථීක දුෂ්කරතා රැසක් මැද්දේ තමා ජීවත් වෙන්නේ. ජනාධිපතිතුමා අපි ගැන සානුකම්පිතව බලා මෙ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙයි කියා සිතනවා.   


ශ්‍යාමලිගේ ලෝකය කඩා වැටුණේ ඇය මේ හදිසි අනතුරකට මුහුණ දුන් දවසේ සිටය. ඇය මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්වූයේ පෞද්ගලික ගමනක් යාමට ගොස් නොව රාජකාරි ගමනක් යාමට ගොස්ය. ඔබත් මොහොතක් සිතා බලන්න රෝද පුටුවක වසර 10 ක් තිස්සේ ගත කරන ජීවිතය ගැන. හිතා ගන්නවත් බැහැ නේද?   


රාජකාරියට ගොස් ආබාධිත තත්ත්වයට පත්ව සිටින පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් ගැන වගකිවයුතු බලධාරින් මීට වඩා සොයා බැලිය යුතු නොවේද?   


ශ්‍යාමලී රත්නායක මහත්මියගේ සැමියාවන අජිත් ප්‍රේමලාල් මහතා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරියෙකි. එදා පටන් මේ දක්වා සිය ආදරණීය බිරියට අජිත් ප්‍රේමලාල් මහතා සාත්තු සප්පායම් කරන්නේ සැපේදී මෙන්ම දුකේදීත් අතහැර නොයන බවට විවාහ වූ දිනයේ ලබාදුන් පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරමිනි.   
මෙවැනි උතුම් මනුස්සයෙක් ලැබීම ලොකු භාග්‍යයක් බව ශ්‍යාමලී පවසන්නේද ඒ නිසාමය.

 

 

 

 

සටහන : 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය