පසුගිය මාසයේ මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් අනතුරුව රටේ ඇතැම් පිරිස් ඉස්ලාම් සහ මුස්ලිම් සමාජය විවේචනයට භාජනය කර ඇත.   


ශ්‍රී ලංකාවේ පුරවැසියකු හා මුස්ලිම්වරයකු වශයෙන් එම විවේචනවලට පිළිතුරු ලබාදීම මගේ වගකීමක් යැයි මම සිතමි. 


ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඇතැම් අඩුපාඩුකම් පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම සඳහා ද ශ්‍රී ලාංකික සිංහල සහෝදර ස​හෝදරියන්ට ඉස්ලාම් ආගම හා මුස්ලිම්වරුන් පිළිබඳව යම් අවබෝධයක් ලබාදීම සඳහා ද මම මෙය අවස්ථාවක් කර ගනිමි. 


මා දන්නා තරමින් අප දෙපිරිස අතර විටින් විට ගැටුම්කාරී තත්ත්වයක් බිහිවීමට මූලික කරුණු තුනක් ඇත. ඉන් පළමුවැන්න, අප දෙපිරිස (මුස්ලිම් හා සිංහල) අත්වැල් බැඳගෙන ගී ගැයුවත්, එකට මේසයේ වාඩිවී රසවත් ආහාර අනුභව කළත්. එකිනෙකාට, උදව් උපකාර කළත් අද දක්වාම අප එකිනෙකා දෙස බලන්නේ ‘වපර’ ඇසිනි. ඊට මූලික හේතුව වෙන්නේ අප සමාජ දෙකේම සිටින බහුතරය එකිනෙකාගේ ආගම හා සංස්කෘතිය පිළිබඳව අනවබෝධයෙන් සිටීමයි. 


දෙවැනි කරුණ වන්නේ සිංහල සමාජයේ ඇතැම් අන්තවාදී පිරිස් අහිසංක සිංහල සමාජය තුළට ඉස්ලාම් හා මුස්ලිම්වරුන් පිළිබඳව සාවද්‍ය කරුණු ප්‍රචාරය කිරීමයි. 


අප දෙපිරිස අතර අවුරුදු 1000ටත් වඩා දිගු කාලයක සබඳතාවක් තිබුණද, අප එක තැනක වාඩිවී (අප එකිනෙකාගේ ආගම හා සංස්කෘතීන් පිළිබඳව) සුහද සංවාදවල යෙදුණේ නැත. 


එබැවින් අපට දැන් කරන්නට තිබෙන්නේ එකම දෙයයි. එනම් අප එකිනෙකා එක තැනක වාඩිවී, ජාතික මට්ටමින්ද දිස්ත්‍රික්ක මට්ටමින්ද ගම් මට්ටමින්ද සුහද සංවාද පැවැත්වීමයි. නොකඩවා මෙවැනි සංවාද පවත්වන්නේ නම්, වැඩිකල් යන්නට මත්තෙන් අප දෙපිරිස අතර පවතින වාර්ගික ගැටුම් සහමුලින්ම මුලිනුපුටා දැමිය හැකිය. 


ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් වන අපට අපේ අාගම හා සංස්කෘතීන් පිළිබඳව, බහුතර සිංහල ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික මට්ටමින් මුද්‍රිත මාධ්‍යයක් නොමැති වීම, අප අතර ගැටුම් ඇතිවීමට තිබෙන තුන්වැනි කරුණයි. එමෙන්ම මුස්ලිම්වරුන් අතුරින් සිංහල මාධ්‍යයෙන් උගත් පිරිස් සිටියද, මුස්ලිම්වරුන් හා ඉස්ලාමය පිළිබඳව නිසියාකාරව ලිපි සකසා මුද්‍රිත මාධ්‍යවලට යැවීමේ හැකියාවක් එවැන්නන්ට නැති වීමත් එක් හේතුවකි. 
ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව නගන ඇතැම් චෝදනා සහ විවේචන 


ෂරිආ නීති සංග්‍රහය යටතේ ක්‍රියාත්මක වන අතර අනෙක් කරුණු පොදු ප්‍රශ්න යටතට ගත හැකිය. 


‘ෂරීආ නීති සංග්‍රහය’ පිළිඳ කෙටි විස්තරයක්. 


අල් - කුර්අානය හා මුහම්මද් නබිතුමන්ගේ ‘ෂරිආ නීති සංග්‍රහය’ සකස් වී ඇත. සැබෑ මුස්ලිම්වරයෙක් තම දෛනික ජීවිතය ෂරීආ නීති සංග්‍රහය අනුව හැඩගස්වා ගැනීම අනිවාර්ය වේ. 


‘ෂරිආ නීති සංග්‍රහය’ පිළිබඳව මුස්ලිම් නොවන එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි වීරමන්ත්‍රි මැතිතුමන් ෂරීආ නීති සංග්‍රහය නමින් විශිෂ්ට ග්‍රන්ථයක් ලියා පළ කර ඇත. (එම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ සිංහල බසින්ද පරිවර්තනය කර පළ කර ඇත) ආචාර්ය වීරමන්ත්‍රී මැතිතුමන් මුලින්ම ශ්‍රී ලංකාවේ නීතීඥයකු ලෙසද 1991-2000 දක්වා ජාත්‍යන්තර අධිකරණ උසාවියේ (ICJ) විනිසුරුවරයකු වශයෙන් කටයුතු කර ඇත. වීරමන්ත්‍රීතුමන්ගේ ඒ ග්‍රන්ථය කියවා බලන්නේ නම් ‘ෂරිආ නීති’ පිළිබඳව මහා දැනුමක් ලබා ගත හැකිවේ. 


ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව නගා ඇති චෝදනාවන් හලාල් ආහාර, වකුබ් සභාව, පාසල් නිල ඇඳුම්, කාන්තාවන් විවාහ විය හැකි වයස අවුරුදු - 16, ක්වාසි උසාවි, කාන්තාවන්ගේ මුළු ශරීරය ආවරණය වන ඇඳුම, (මුහුණ වැසීම හා ඇස් දෙක පමණක් පෙනෙන සේ ඇඳීම) පිරිමින්ට විවාහ 4ක්, වෙනස් බැංකු ක්‍රමය යනාදිය, ‘ෂරීආ නීති සංග්‍රහය යටතට ගැනෙන අතර, මුස්ලිම් පාසල්වල විශේෂත්වය, සිකුරාද‌ා දවස්වල මුස්ලිම් පල්ලි අවට නීති කඩකිරීම, හෙල්මට් නොපැලදීම, රටේ වනාන්තර කැපීම, මුසිල්ම් ජනගහන ව්‍යාප්තිය හා මුස්ලිම්වරයෙක් සිංහල කාන්තාවක් විවාහ වීම යනාදී කරුණු පොදු කරුණු යටතට ගත හැකිය. 
සැබැවින්ම අප අතර සුහද සංවාදයට භාජනය විය යුතු කරුණු තවත් රාශියක් තිබෙන බව මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. 


ෂරිආ නීති සංග්‍රහය හඳුන්වාදීම 


ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට අවුරුදු දහසකට වඩා ඉතිහාසයක් තිබුණත් ඔවුන්ට ‘ෂරිආ නීති සංග්‍රහය’ හඳුන්වා දී ඇත්තේ පෘතුගීසීන් ශ්‍රී ලංකාව පාලනය කළ කාලයේදීය. පෘතුගීසීන්ගේ පාලනයේ මුල් අවධියේදී, ඔවුන් මුස්ලිම්වරුන්ට නොයෙකුත් අන්දමින් සැලකූ අතර ‘ෂරිආ නීති සංග්‍රහය’ ඔවුන්ට (මුස්ලිම්වරුන්) ලබාදීම පිණිස පෘතුගීසී පාලකයින් විසින් මුස්ලිම්වරුන්ගෙන් පිරිසක් ඉන්දුනීසියාවට යවා ලිඛිත ලේඛනයක් ලෙස (ෂරිආ නීති සංග්‍රහය) ගෙන්වා ගන්නා ලදී. 


ලෝකයේ මුස්ලිම්වරුන් සුළුතරයින් වී සිටින බොහෝ රටවල්වල ෂරිආ නීතියේ අංශ කීපයක් ඒ ඒ රටවල්වල රාජ්‍ය අනුග්‍රහයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතී. බොහෝ යුරෝපීය රටවල්වල මෙන්ම තායිලන්තයේද, ඉන්දියාවේද එය ක්‍රියාත්මකයි. 


එමෙන්ම ලෝකයේ හලාල් ආහාර නිෂ්පාදනය කිරීමේ මහා විශාල කර්මාන්තශාලාව පිහිටා ඇත්තේ තායිලන්තයේය. මෑතකදී තමන්ගේ රටටත් හලාල් ආහාර සපයන ලෙස ජපානය අරාබි රටවල්වලින් ඉල්ලීමක් කර ඇති බවට මාධ්‍යවල දකින්නට ලැබිණ. 


ඉස්ලාමය හා මුස්ලිම්වරුන්ට එරෙහිව නගා ඇති චෝදනාවට කෙටියෙන් පිළිතුරු දෙන්නට බලාපොරාත්තු වෙමි. 


‘හලාල්’ 


‘හලාල්’ යන්න අනුමත (කැප) හා ‘හරාම්’ යන්න තහනම් (අකැප) යන අර්ථ ගෙනදේ ෂරිආ නීති සංග්‍රහය අනුව දෛනික ජීවිතයේ මුස්ලිම්වරයකු කළ යුතු, යහපත්, නීත්‍යානුකූල හා අනුමත කර ඇති සියල්ල ‘හලාල්’ (කැප) වන අතර නොකළ යුතු, අයහපත්, නීති විරෝධි සියල්ල හරාම් (අකැප) වේ. 


හලාල් (කැප) ආහාර නිර්වචනය කරන්නේ නම් ඌරු මාංශවලින් තොරවූ, ලේ මෙන්ම ඉබේ මැරුණු සතුන්ගේ මාංශවලින් තොරවූ ‘අල්ලාහ’ දෙවිඳුන්ගේ නාමයෙන් ඝාතනය කරනු ලැබූ ඇතැම් සතුන්ගේ මාංශ ආහාර හලාල් වේ. රට පුරා මුස්ලිම්වරුන් හරක් මස්කඩ පවත්වන්නේ එ් නිසාය. (සත්වයින් දහයක මාංශ අකැප බව බුදු දහමේ සඳහන් වී ඇත. එමෙන්ම ඉස්ලාම් ආගමේද අකැප මාංශ ආහාර ඇත.) 


කෙසේ වෙතත් යම් පුද්ගලයෙක් හෝ සමාජයක් හලාල් ආහාර ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ අයට ඒ අයිතිවාසිකම තිබේ. 


වකුබ් සභාව 


ශ්‍රී ලංකාවේ පිහිටි මුස්ලිම් පල්ලි පරිපාලනය වෙන්නේ වකුබ් සභාව විසිනි. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වන මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ මෙම වකුබ් සභාව ක්‍රියාත්මක වේ. රටේ තිබෙන සියලු මුස්ලිම් (මහ) පල්ලිවල පරිපාලන සභා පත්කිරීමද, සියලු පල්ලිවලට අයත් දේපල ආරක්ෂා කිරීමද පල්ලි පරිපාලනයේ ගැටලු හා ආරවුල් ඇතිවීමේදී ඒවා විභාග කොට ‘ෂරිආ නීති සංග්‍රහය’ යටතේ විසඳුම් ලබාදීම ද වකුබ් සභාවේ වගකීම් වේ. 


මුස්ලිම් පාසල් නිල ඇඳුම් 


විශේෂයෙන් මුස්ලිම් කාන්තා (ශිෂ්‍යා)වන්ගේ ඇඳුම් පිළිබඳව කතා කිරීමේදී ඒ පිළිබඳව අනිවාර්යයෙන් ‘ෂරිආ නීති සංග්‍රහය’ සිහි කළ යුතුව ඇත. මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් විලාශය පිළිබඳ අල් කුර්ආනයේ මෙලෙස සඳහන් වී ඇත. 


‘කාන්තාවන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන (මුහුණ හා අත්වල මැණික් කටු පෙදෙස්) දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද තමන්ගේ හිස්වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න’ 


(අල් කුර්ආනය : 24:31) 


අල් - කුර්ආනයේ තවත් ස්ථානයක මෙලෙස සඳහන් වී ඇත. 


‘තමන්ගේ හිස් ආවරණය තමන් කෙරෙහි එල්ලෙමින් තිබෙන සේ සකස් කර ගන්නා ලෙස විශ්වාසවන්ත (මුස්ලිම්) කාන්තාවන්ට පවසන්න. 


(අල් කුර්ආනය : 33:59) 


පාසල් නිල ඇඳුමක් හෝ වෙනත් ඇඳුමක් හෝ වේවා මුස්ලිම් කාන්තාවක් තම නිවසින් පිට යාමේදී ඉහත සඳහන් ආකාරයෙන් පැලඳිය යුතු බවට ඉස්ලාමය (ෂරිආ නීති සංග්‍රහය) අවධාරණය කර ඇත. 


ඒ අනුව පාසලේ ලැබෙන රෙදි ප්‍රමාණ මදි නම් අමතර මුදලක් ගෙවීමෙන් හෝ අවශ්‍ය රෙදි ප්‍රමාණය කඩ සාප්පුවකින් ලබා ගැනීමට මුස්ලිම් සමාජය ඉදිරිපත් වී සිටියි. 


කෙසේ වෙතත් මේ පිළිබඳව කරනු ලැබූ විවේචනයට අනුව මුස්ලිම් ශිෂ්‍යාවකට පාසැල් නිල ඇඳුම සඳහා රුපියල් 1500/-ක් දෙනු ලබන්නේ නැත. එක් මුස්ලිම් ශිෂ්‍යාවකට (වසර 13 තෙක්) ලැබෙන උපරිම මුදල රුපියල් 800/-කි. 


මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළ කර ඇති චක්‍රලේඛය (අංක 42/ 2017) නිරීක්ෂණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 


මුස්ලිම් කාන්තාවන් විවාහ විය හැකි වයස අවුරුදු 16කි. 


මෙය දීර්ඝ වශයෙන් සංවාදයට භාජනය විය යුතු කරුණක් වේ. ‘ෂරිආ නීති සංග්‍රහයට’ අන්තර්ගතවන මෙම කරුණ දැනට සංශෝධනයට භාජනය වෙමින් (කාන්තාව විවාහ විය යුතු වයස අවුරුදු 16ද - 18ද යන්න) පවතින අතර වර්තමාන මුස්ලිම් සමාජයේ මුස්ලිම් කාන්තාවන්ගෙන් 100%ක්ම විවාහ වෙන්නේ අවුරුදු 19 දී හෝ ඊටත් වැඩි වූ විටයි. එහෙත් අවුරුදු - 16ට පහළ වයසේදී විවාහ වන මුස්ලිම් කන්තාවන් ඇතැම් ගම් නියම් ගම්වල ඉතාමත් අඩුවෙන් දක්නට ලැබෙන අතර එය මුස්ලිම් නොවන සමාජවලද දකින්නට ලැබෙන පොදු ප්‍රශ්නයක් බටව පත්වී ඇත. 


ක්වාසි උසාවි 


මුස්ලිම් විවාහ / දික්කසාද / බහු විවාහ පිළිබඳ නීති රීති ෂරීආ නීති සංග්‍රහයේ ඉතාමත් පුළුල් අන්දමින් විස්තර කර ඇත. මුස්ලිම් විවාහ ලියාපදිංචියද ඊට අනතර්ගතය. 


ඉහත සඳහන් කරුණු අතරින් විශේෂයෙන් දික්කසාද හා බහු විවාහ පිළිබඳ ප්‍රශ්නයක් මතුවීමේදී විභාග කරනු ලබන්නේ ක්වාසි උසාවි මගිනි. 


මුහුණ වසාගනිමින් හෝ ඇස් දෙක පමණක් පිටතට පෙනෙන අන්දමින් මුස්ලිම් කාන්තාවන් දිග ලෝගු පැලඳීම. 


මුස්ලිම් කාන්තාවක් තම නිවසින් පිටවී යෑමේදී මුහුණ හා දෑතේ මැණික් කටු පෙදෙස් හැර ශරීරයේ සියලු අවයවයන් වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු බවත්, ඒ ඇඳුම් පවා ඝනකම් රෙදිවලින් මසන ලද ලිහිල් ඇඳුමක් විය යුතු බවත් ෂරීආ නීති සංග්‍රහය අවධාරණය කර ඇත. 


කාන්තාවක් සංවරයකින් යුතුව තමන් ද ආරක්ෂා කර ගනිමින් සමාජයද (අසංවර භාවයෙන්) මුදවාගත යුතු පරිදි ඇඳුම් පැලදිය යුතු බවත් ෂරිආ නීති සංග්‍රහය පවසයි. අනාගතයේදී මනා පෞරුෂයෙන් යුත් ශක්තිමත් පවුල් ජීවිතයක් ගොඩනැගීමට එවැනි දැහැමි, සද‌ාචාරමත් ශිෂ්ටසම්පන්න ඇඳුම්ක් අත්‍යාවශ්‍ය බවත් ෂරිආ නීති සංග්‍රහය අවධාරණය කරයි. 


එමෙන්ම වර්තමානයේ දකින්නට ලැබෙන ඇඳුම් සංස්කෘතිය විශේෂයෙන් කාන්තා ඇඳුම් විලාසිතාව දෛනිකව වෙනස් වෙමින් පවතී. මුස්ලිම් නොවන කාන්තාවන්ද දැනට අවුරුදු 50 පෙර පැවැති ඇඳුම් විලාශයට වඩා බෙහෙවින් වෙනස් වූ ඇඳුම් පලඳින්නට වැර යොදමින් සිටිති. බටහිර සංස්කෘතියට ඇබ්බැහි වූ ඒ අය දෛනිකව තම ඇඳුම් විලාශය නවීකරණය කරමින් සිටිති. 


ඒ අනුව අරාබි කාන්තාවන්ගේ ඇඳුම් විලාශයට ප්‍රිය කළ මුස්ලිම් කාන්තාවන්ද අරාබි කාන්තාවන් මෙන් අඳින්නට පුරුදු වී සිටිති. 


එබැවින් මෙවැනි වෙනස්කම් විශේෂයෙන් සියලු කාන්තාවන් හා පිරිමින් අතරද සිදු වෙමින් පවතින නිසා එක් සමාජයකට පමණක් දෝෂාරෝපණය කිරීම නිවැරදි නොවන බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි. 
‘ෂරිආ නීති සංග්‍රහය’ අනුව කාන්තාවක් තම මුහුණ මුළුමනින්ම ආවරණය කිරීමට අවශ්‍ය නොවේ. එහෙත් එක්තරා කාන්තාවක් තම මුහුණ ද පිරිමින්ගේ ආකර්ෂණයට ලක්වී තමන්ට අනතුරක් සිදු වේ යැයි බිය වන්නේ නම් ඇයට තම මුහුණත් වසා ගන්නට අවසර දිය යුතුය යන්නයි ඉස්ලාමීය මතය. එහෙත් යම් අවස්ථාවක නීත්‍යානුකූල කර්තව්‍යයකදී ඇය මුහුණ විවෘත කළ යුතු බවට නියෝග කරනු ලබන්නේ නම් ඇය අනිවාර්​ෙ‌යන්ම තම මුහුණ නිරාවරණය කළ යුතුයි. 


මුස්ලිම් පිරිමින්ට විවාහ 4ක් 


මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙලෙස සඳහන්වී ඇත. 


‘නුඹලා ප්‍රිය කරන ස්ත්‍රීන්ගෙන් දෙදෙනකු තිදෙනෙකු හෝ සිව්දෙනෙකු විවාහ කර ගන්න. නුඹලා (ඔවුන් අතර) සාධාරණ ලෙස ක්‍රියා කරන්නට නොහැකි යැයි බිය වන්නේ නම් එක් තැනැත්තියක් පමණක් විවාහ කර ගන්න. 


(අල්කුර්ආන් : 4:3) 


අල්කුර්ආනයේ හෙවත් ෂරිආ නීති සංග්‍රහය මගින් මුස්ලිම් තරුණයින්ට උපරිම විවාහ 4ක් කර ගැනීමට අනුමැතිය ලබාදී තිබුණද, ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිමින්ගෙන් කාන්තාවන් 4 දෙනෙකු විවාහ කිරීම කෙසේ වෙනත් කාන්තාවන් දෙදෙනකු විවාහ වීම පවා දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. බිරියන් අතර සාධාරණය ඉටු කිරීමට නොහැකි කිසියම් මුස්ලිම් පිරිමියකුට බහු විවාහ තහනම් වේ. (එහෙත් අනියම් සබඳතා බරපතළ වැරැද්දක් ලෙස ෂරීආ නීති සංග්‍රහය අවධාරණය කර ඇත.) 


සිකුරාද‌ා දවස්වල මුස්ලිම් පල්ලි අවට නීති කඩ කිරීම 


මෙය නීති විරෝධී කරුණක් බව මුස්ලිම්වරුන් අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. ප්‍රදේශවාසීන්ගෙන් බහුතරයක් සිකුරාද‌ා පවත්වන විශේෂ දේශනවලට සවන්දීමට එක්රොක්වන බැවින් පල්ලි අවට ප්‍රදේශයේ මෙවැනි තදබදයක් දන්නට ඇත. මුස්ලිම් පල්ලි බොහෝවිට නගරවල හා මහපාරට යාබදව පිහිටීම හේතුවෙන් මෙලෙස වාහන තදබදය සිදුවේ. කෙසේ හෝ මුස්ලිම් පල්ලිවල පරිපාලකයින් මේ සඳහා අවශ්‍ය විකල්ප මාර්ගයන් සොයා ගත යුතුයි. 


මුස්ලිම්වරුන් බහුලව ජීවිත් වන ප්‍රදේශවල හෙල්මට් නොපැලඳීම. 


හෙල්මට් නොපලඳින යතුරුපැදිකරුවන්ට දඩ ගැසීම හෝ දඩුවම් ලබාදීම පොලිසියේ වගකීමකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඕනෑම සමාජයක් බහුලව ජීවත්වන ප්‍රදේශවල තරුණයින් හෙල්මට් රහිතව යතුරුපැදිවල ගමන් කරනු දැකිය හැකිය. 


රටේ වනාන්තර කැපීම 


රජයට අයත් ඉඩම්වල අනවසරයෙන් සිදුකරන සියලු ඉදිකිරීම් කටයුතු වහාම නැවැත්වීමට පියවර ගැනීම රජයේ වගකීමක් වේ. මෙවැනි අකටයුතු විල්පත්තු ප්‍රදේශයේ පමණක් නොව සිංහරාජ අඩවියේද රට වටේ තිබෙන අනෙකු් ප්‍රදේශවලද සිදුවෙමින් පවතින බව අපට මාධ්‍යවලින් දැකගත හැකිය. 


මුස්ලිම් ජනගහන ව්‍යාප්තිය 


රජයේ සංගණන ලැයිස්තු අධ්‍යයනය කර බැලීමේදී මෙයද සාවද්‍ය කරුණක් බව ඔප්පු කළ හැකි​ෙව්. සැබෑ තත්ත්වය නම් දැනට විවාහවී සිටින බොහෝ තරුණ මුස්ලිම් පවුල්වල පවා සිටින්නේ ළමයින් 2-3ක් පමණි. 
එහෙත් අවුරුදු කීපයකට පෙර ‘පුංචි පවුල රත්තරං’ නමැති සංකල්පය රටට ඉදිරිපත් කළේ සිංහල දේශපාලන නායකයෙකි. සිංහල සමාජයද ඊට එරෙහි වූයේ නැත. එම සංකල්පයට මුස්ලිම්වරුන් සහාය නුදුන් අතර එය දිරිමත් කරන්නට ද මුස්ලිම් සමාජය ඉදිරිපත් වූයේ නැත. එබැවින් මෙම තත්ත්වයට වගකිවයුත්තන් කවුරුන්දැයි යන්න ඉතාමත් පැහැදිලිය. 


මුස්ලිම් නොවන කාන්තාවක් මුස්ලිම්වරයකු හා විවාහවීම, ඒ කාන්තාව ඉස්ලාමය වැලඳ ගැනීම 


තරුණ සිංහල, දෙමළ, මුස්ලිම්, කිතුනු ආදී කොටස් තම කැමැත්තෙන්ම විවාහ වීම/ (නීත්‍යානුකූලව/ නැතිව) වර්තමාන ලංකාවේ සාමාන්‍ය දෙයක් බටව පත්වී ඇත. 


විවාහ වෙන යුවළ තමන් පැතූ අන්දමින් ජීවත් වීමට රජය අවසරය ලබාදී ඇත. අනාගත​ෙය්දී ඇතිවෙන ප්‍රශ්නවලට එවැනි තරුණ යුවළ මුහුණ දීමට සූද‌ානමින් සිටින්නේ නම් ඒ අයට තමන් කැමති ආගමක් පිළිගැනීමටත්/ ප්‍රතික්ෂේප කිරීමටත් අයිතියක් ඇත. එහිදී ආගම/ ජාතිය ගැන සැලකීමක් අවශ්‍ය නොවේ. 


අවසාන වශයෙන් 


කෙසේ වෙතත් ඉහත සඳහන් කරනු ලැබූ විවේචන හා තවත් ප්‍රශ්න රාශියකට අප දෙපිරිස පිළිතුරු සෙවිය යුතුව ඇත. 


එබැවින් අප මුලින්ම කළ යුත්තේ මෙවැනි කරුණු ලැයිස්තු ගත කර ඉතාමත් සංවරශීලීව සුහද සංවාදවල යෙදෙන්නට අප උනන්දු විය යුතුයි යන්නයි. 


ඒ අනුව අප එකිනෙකාගේ ආගම් හා සංස්කෘතීන් හඳුනා ගනිමින් එකි​ෙනකාගේ අනන්‍යතාවන් රැකගනිමින් එකිනෙකාගේ අයිතිවාසිකම් ලබාදෙමින් ඉවසිලිමත්ව සමගිය ගොඩනගන්නේ නම් වැඩිකල් යන්නට මත්තෙන් සතුටින් හා සෞභාග්‍යයෙන් පිරුණු මනරම් ශ්‍රී ලංකාවක් දැකිය හැකිය. 


ඒ සඳහා ඔබ සියල්ලටම මගේ ගෞරවාන්විත අරාධනාව.

 

 

 

එම්.එච්.එම්. නියාස් 
රජයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තක 
(සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි)