ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම් සංවිධානයේ ජාතික සංවිධායක අබ්දුල් සත්කාර්

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් ගැන නිරීක්ෂණයට ජනාධිපතිතුමා විසින් ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කොට ඇත. මෙහිදී සැලකිල්ලට ගන්නා කාරණා අතර අනාගතයේදී මෙවැනි ආරවුලකදී ගතයුතු පියවර මෙන්ම මෙම කලහකාරී සිදුවීම් මැඬපැවැත්වීමට අදාළ බලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරයද වැදගත් වනු නිසැකය.  


මුස්ලිම්වරයෙකු ලෙස පැහැදිලිව කිවහැකි කාරණයක් නම් වර්තමානයේ අප මේ උතුම් ශ්‍රී ලංකා බිමේ ජීවත්වෙන්නේ මුස්ලිම්වරු යන පටු හැඟීමෙන් නොව ශ්‍රී ලංකිකයන් යන හැඟීමෙන් බවය. පොදුවේ වර්තමානයේ අප දේශපාලනික හා ආගමික වශයෙන් දැඩි අසරණභාවයට මෙන්ම භීතියටද පත්වී සිටිමු. 1983 ජූලි කෝලහාලයේදී දෙමළ ජාතිය වළපල්ලට ඇද දැමූ එදා ආණ්‍ඩුව ජාතියක් වශයෙන් දෙමළ ජාතියට අත් කර දුන් ඉරණමම වත්මන් ආණ්‍ඩුව අද මුස්ලිම්වරුන්ට අත්කරදී ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතු කරුණකි.  


ලොව හැම රටකම ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් තිබේ. විදේශීය න්‍යාය පත්‍රවලට ක්‍රියාත්මක වෙන පක්ෂ සංවිධාන නොවේ. නමුත් රජයක් එසේ නොවිය යුතුය. සියලු ජාතීන්ට සාමුහිකව ආරක්ෂාව ලබාදීම රජයේ යුතුකමකි. එය බලයට පත් පක්ෂයට ඡන්දය දුන් නොදුන් හෝ ජාතීන් මත පටුවර්ගවාදීව තීරණ ගන්නා තත්ත්වයක් නොවිය යුතුය. පොදුවේ අපේ ආරක්ෂක හමුදාවල යුතුකම වන්නේ සෑම පුරවැසියකුටම ආරක්ෂාව සැලසීමය.  
මේ රටේ දේශපාලනඥයින් අවස්ථාවාදී ලෙස තම බලය රැකගන්නට ජාතිවාදය අවුස්සනු දැකගන්නට අැත. මෙහිදී වඩාත් අන්තවාදී ලෙස මුස්ලිම් ජනතාව පාවාදී ඇත්තේ අවස්ථාවාදි බලයේ සිටින මුස්ලිම් දේශපාලනඥයින්ය. මුස්ලිම් ජාතියට හෙන ගැහුවත් තම ඇමැතිකමේ වරප්‍රසාද රැක ගැනීමට මෙම ජාතිද්‍රෝහී මුස්ලිම් දේශපාලනඥයින්ගේ අරමුණය.  


මහින්ද රාජපක්ෂ යුගයේදී දුරදර්ශී ලෙස යුද්ධය හමාර කර ගැනීමට මුස්ලිම්වරුන් දුන් සහයෝගය අද බොහෝ දෙනාට අමතකවී තිබේ. 83 ජූලි කෝලාහලය නිසිලෙස මැඬ පැවැත්වීමට පියවර නොගත් නිසා එය යුද්ධයක් කරා ව්‍යාප්ත වෙන ලදී. අවස්ථාවාදී දේශපාලනයේ උසි ගැන්වීම් නිසා මුස්ලිම්වරුන්ට තම නිවාස මෙන්ම ව්‍යාපාරද ගිනිබත් වෙන විට සිදුවූයේ අසරණව බලා සිටීමටය.  


මුස්ලිම්වරුන් වන අප උපන්නේ මේ උතුම් ශ්‍රී ලංකාවේය. ද්‍රවිඩයන්ට අවශ්‍ය නම් තමිල්නාඩුවට යා හැකිය. රොහිගියන්ට අවශ්‍ය නම් බංග්ලාදේශයට යා හැකිය. නමුත් ලංකාවේ උපන් මුස්ලිම්වරුන් වන අප භාරගැනීමට පාකිස්තානය හෝ අරාබිය හෝ සූදානම් නැත. අපි මිය යායුත්තේ අප උපන් මේ උතුම් භූමියේමය.  


මුස්ලිම්වරුන් වන අපට දෙමළ ඊළාම් රාජ්‍යයක් මෙන් මුස්ලිම් රාජ්‍යයක් අවශ්‍ය නැත. මුස්ලිම් රටකටත් වඩා ලංකාවේ මුස්ලිම්වරුන් තම සියලු අයිතිවාසිකම් බුක්ති විඳින බව කිවයුත්තේ ආඩම්බරයෙනි. මුස්ලිම්වරුන් පැහැදිලිව දැකගතයුතු සත්‍යයක් නම් අරාබි රටකටත් වඩා මෙරට මුස්ලිම් ජනතාව ආගමික නිදහසක් භූක්ති විඳින බවය. මේ ඇතිවී ඇති සියලු වර්ගවාදී ගැටුම් වල අවසන් ප්‍රතිඵලය රට දේශපාලන සහ ආර්ථීක වශයෙන් අස්ථාවර කිරීමය.  


මුස්ලිම්වරුන් තම නියම ජීවිතය ආරම්භ කරන්නේ මරණයෙන් පසුය. නමුත් වත්මන් බලලෝභී අවස්ථාවාදී මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සැපසම්පත් ලබාගන්නට තම ආගම මුළුමනින්ම පාවා දෙමින් සිටී. මුස්ලිම් ප්‍රජාවට අනතුරක් වූ විට පාර්ලිමේන්තුවේ විනාඩි 10 ක කතාවක් පැවැත්වීම පමණක් ඔවුන්ගේ රාජකාරිය වී තිබේ. ඉන්පසු ඒ මුස්ලිම් ප්‍රජාවට අත්වෙන ඉරණම ගැන දේශපාලනඥයින් ගන්නා පියවරක් නැත. මුස්ලිම් ජනතාව වඩ වඩාත් අසරණභාවයේ අන්තයට යන්නේ මේ බලලෝභී මුස්ලිම් දේශපාලකයන් නිසාමය.  


මේ බලලෝභී මුස්ලිම් දේශපාලකයින් තහවුරු කරගත යුතු පරම සත්‍යය වන්නේ දෙවියන් වහන්සේ රැවැටිය නොහැකි බවය.  


83 ජූලි කෝලහාලයේදී දමිළයන් රට හැර ගියද මුස්ලිම්වරුන්ට එවැනි විසඳුමකට යාමේ ප්‍රවණතාවය අවම මට්ටමක පවතී. අපට එකම විසඳුම ලබාගත හැක්කේ මේ රටේ ජීවත් වීමෙනි. මුස්ලිම් අවස්ථාවාදී දේශපාලකයින් මතවාදීව මුස්ලිම්වරුන්ගේ සිත් දූෂණය කොට අැත්තේ මරාගෙන මැරෙන තත්ත්වයකටය.  


කවුරුත් පිළිගත යුතු යථාර්ථය නම් මෙරට මුස්ලිම්වරුන්ගේ ආර්ථිකය රඳා පවතින්නේ සිංහල පාරිභෝගිකයින්ගේ ද්‍රවශීලතාවය මත බවය. ඉන් අදහස් වෙන්නේ අන්කිසිවක් නොව මුස්ලිම්වරුන් ජීවත්වන්නේ සිංහලයන් නිසා බව නොවේද? සිංහල ප්‍රජාව සාමුහිකව මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළහොත් මුස්ලිම් අපට වෙන්නේ බඩගින්නේ මැරෙන්නට බව අප පිළිගත යුතු පරම සත්‍යය විය යුතු නොවේද?  


අරාබියේ මුස්ලිම් සංචාරකයින් ලංකාවට ඒම නිසා මෙරටට ලැබෙන විදේශ විනිමය අති විශාලය. මැදපෙරදිග ගෘහණියන්ගෙන් ලබන අාදායම මෙරට ප්‍රධාන ආදායම වී තිබේ. මහනුවර ප්‍රදේශයේ හටගත් මේ ප්‍රශ්නය නිසා අරාබියේ කෝටිපතියන් බොහොමයක් තමන් වෙන් කරගත් හෝටල් අවලංගු කොට තිබේ. එය මෙරටට අහිතකර තත්ත්වයකි. අරාබියෙන් තෙල් නැවක් ප්‍රමාද වු විට රටම අර්බුදයක් කරා රැගෙන යාමට එය සමත්විය. මේ අරාබි රටවල මෙරටට ආර්ථීක සම්බාධක පනවා ඛණිජ තෙල් සැපයුම නතර කළහොත් ඇතිවිය හැකි තත්ත්වයේ බරපතළකම අප සිතා බැලිය යුතු නොවන්නේද?  


මුස්ලිම්වරු බෞද්ධයින්ට ගෞරව කරන්නේ චිරාත් කාලයක සිටය. බෞද්ධ භික්ෂූන්ට මුස්ලිම්වරු දක්වන්නේ දැඩි ගෞරවයකි. මුස්ලිම් ප්‍රජාව 99% කගේ සිත් තුළ ඇත්තේ සිංහල බෞද්ධයින් උසස් බෞද්ධාගමික ශික්ෂණයක් ලැබු ජාතියක් ලෙසය.  


අරාබි වසන්තය දෙස අවඥාවෙන් බැලූවද අවසානයේ සිදුවූයේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමය.  


මෙරට දේශපාලනය තුළ බරපතළ වරදක් සිදුවී ඇත්තේ සෙනසුරාදා මැතිවරණ පැවැත්වීම නිසාය. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින සිකුරාදා පල්ලියේදී ඇති කරන ලද්දේද මෙවැනි තත්ත්වයකි. සිකුරාදා පල්ලියේදී මුස්ලිම්වරුන්ගේ සිත් දූෂණය කළේ මහින්ද ආවොත් මුස්ලිම් තොප්පි ගලවනවා. පල්ලි කඩනවා. මුස්ලිම්වරුන්ට යන එන මං නැතිවෙනවා ආදී ලෙස මුස්ලිම්වරුන්ගේ සිත් දූෂණය කිරීම නිසාය.  


මෙරට ප්‍රජාව තුළ කිඳා බැස ගත් මතවාදය වෙන්නේ මුස්ලිම්වරු අධ්‍යාපන මට්ටමෙන් අවම තත්ත්වයක සිටිනා බවය. බොහෝ දෙනා සිතන්නේ මුස්ලිම්වරුන් මුදල් උපයන බිස්නස්කාරයින් බවය. නමුත් සත්‍ය වන්නේ මුස්ලිම්වරුන්ගෙන් 90% ක් දුප්පත් නූගතුන් බව නොවේද?  


සිංහල-මුස්ලිම් මේ ගැටලුවට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආණ්ඩුවට හේත්තුවී සිටින පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරු 21 දෙනාය. ඔවුනට විපක්ෂයේ පුටුවල වාඩිවී සිටින්නට පුරුද්දක් නැත. උතුරු නැගෙනහිර නැවත පදිංචිවූ මුස්ලිම් ජනතාවට මේ මන්ත්‍රීවරු එක් වැසිකිලියක්වත් තනා දී නැත.   


පටු දේශපාලනය නිසා තාවකාලිකව සිංහල මුස්ලිම් ප්‍රජාව විරසක වී ඇත. විවිධ ජාත්‍යන්තර සංවිධානවල අල්කයිඩා, ජිහාඩ් වැනි සංවිධානවල දේශීය නියෝජිතයන් ලෙස මුස්ලිම්වරු ගැරහීමට ලක්වුවද මේ අහිංසක මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට දර පොල්ලක් වත් නැති බව පැහැදිලිව කිව යුතුයි. මුස්ලිම් ජනතාව කවදත් හිටියේ සිංහල ජනතාව සමග සහජීවනයෙන් බව කිව යුතුයි. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවක් කොහොමත් මුස්ලිම් ජනතාව සමග බද්ධ වෛරයකින් පසුවන බව කිවයුතුයි. යුද්ධයේදී මුස්ලිම් ප්‍රජාව මතවාදීව සිංහල ජාතිය සමග සහජීවනයෙන් එකමුතුවීම මීට හේතුවයි. උතුරේ මුස්ලිම්වරු මුළුමනින් එලෙව්වේ එල්ටීටීඊ ය බව අප අමතක කළ යුතුනොවේ. ඒ තරහට තමයි සිංහල මුස්ලිම් ජාතින් උරණ කොට ආරවුල් ඇති කිරීමයි.  


ජිනීවා ප්‍රශ්නයට රාජපක්ෂ ආණ්ඩුවට මුහුණ දුන් වෙලේ එතුමාට පක්ෂව මෙරට මුස්ලිම්වරුන් පෙලපාලි ගිය බව නොරහසකි. මේ ජාතිකත්වය මත පදනම් වූ කලහකාරී සිදුවීම් පිටුපස ක්‍රියාත්මක වෙන්නේ විදේශීය ඒජන්තවරුන්ගේ න්‍යාය පත්‍රයක් බව අමුතුවෙන් කිව යුතු නැත.  


දැන් මුස්ලිම්වරුන්ගේ හිත් දූෂණය කරන විෂබීජ දාලා. ඒත් මුස්ලිම්වරුන් කවදාවත් සිංහලයින් ගැන අහිතකින් කටයුතු නොකරන බව කිව යුතුයි. ඩයස්පෝරා, රෝ වැනි සංවිධානවලින් අල්ලස් ගත් අවස්ථාවාදී මුස්ලිම් දේශපාලකයින් පිරිසක් මේ ජාතිවාදී ගිනිදැල් අවුළුවන්නේ මෙරට අරාජික කරන්නට බව කිව යුතුයි.  


මේ රටට අවශ්‍ය සිංහල දෙමළ මුස්ලිම් ජනතාව දෙස සාමුහිකව බලන සානුකම්පිත නායකත්වයක්. එම සහජීවනය තුළ පමණයි මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත හැක්කේ. වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙබඳු වුවහොත් 2020 වන විට අප කී දෙනෙක් ජීවතුන් අතර සිටිදැයි සැක සහිතය.   


මට අවසන් වශයෙන් පෙන්වා දිය හැක්කේ 1983 දී දෙමළ ජනතාවට අත්වූ ඉරණම මුස්ලිම් ප්‍රජාවට අත්වී ඇති බවය. බලලෝභී අවස්ථාවාදී මුස්ලිම් දේශපාලකයින් මේ තත්ත්වයට ඍජුවම වගකිව යුතුය.

 

 

 

සටහන - වජිර ලියනගේ