මහ වැව්, දැගැබ්, පිළිම ආදී මෙරට සුවිසල් නිමැවුම් සිදුකර ඇත්තේ බොහෝවිට රජවරුන්ය. නැතිනම් රාජ්‍ය නායකයින්ය. ඒ හැර ඇතැම් විට ආගමික නායකයින්ය.   


ආගමික නායකයින් මුල් වී එවැනි නිර්මාණ බිහිකර ඇත්තේ බොහෝ විට ද‌ායක ද‌ායිකාවන්ගේ උදව්වෙනි. එහෙත් එවැනි කිසිදු ද‌ායකත්වයකින් තොරව තම මාපිය උරුමයෙන් ලද දේපළ විකුණා රුපියල් කෝටි ගණනක් වැය කර මහා නිර්මාණයක් කළ හිමිනමක් පසුගියද‌ා අපට හමුවිය.   


ඒ වාද්දුව පොහොද්දරමුල්ල මහීගර්ජනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රවේදී කිරම ආනන්ද හිමියන්ය.   


උන්වහන්සේ තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විහාරස්ථාන භූමියේ පොළොන්නරුව ගල් විහාරයේ අනුරූ නිර්මාණය කර ඇත්තේ ඊට වඩා කීප ගුණයක් සුවිසල් ලෙසිනි.   


කිරම ආනන්ද හිමියන්ගේ ළමා කාලය, පැවිදි බිමට පත්වීම, පොහොද්දරමුල්ලේ මහීගර්ජනාරාමයට පැමිණීම මෙන්ම උන්වහන්සේ මුළු ජීවිත කතාවම අපූර්ව වූ එකකි.   


උන්වහන්සේගේ පියාවූ රත්නායක මුදියන්සේලාගේ විල්ප්‍රඩ් ප්‍රැන්සිස්කු ජයසුන්දර වික්‍රමසිංහ මහතා සේවය කර තිබුණේ තෙල් සංස්ථාවේය. වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු විවාහ වී සිටියේ පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ හේරත් මුදියන්සේලාගේ රන්මැණිකා මහත්මිය සමගය.   


රොෂාන් වික්‍රමසිංහ ඔවුන්ගේ එකම පුතු වූ අතර ඊට බාල දියණිය වූයේ එරන්දතී පුංචි මැණිකේය.   


මවත් පියාත් මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව අභාවප්‍රාප්ත වන විට පුංචි රොෂාන් වික්‍රමසිංහට වයස අවුරුදු හතරකි.   


එතැන් පටන් තම පුංචි අම්මාගේ සෙවණේ හැදුණු වැඩුණු ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ පේරාදෙණිය ප්‍රදේශයේ පාසලකිනි.   


එම පාසලෙන් පහ වසර ශිෂ්‍යත්වය සමත්වූ ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට පැමිණි​ෙය්ය. ඒ තම මවගේ මිතුරියක වූ ඈන් මිස්ගේ උදව්වෙනි. ඔහු මුලින් නතරවී පාසල් ගියේද ඇඹුල්දෙණියේ පිහිටි ඈන් මිස්ගේ නිවසේ සිටය. පසුව විදුහලේ නේවාසිකගාරයට ඇතුළු විය.   


හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට යාමට වරම් ලැබීය. එහිදී වසර දෙකක් බෞද්ධ දර්ශනය හැදෑරීමත් සමග පැවිදි බිමට ඇතුළත් වී සමාජයට සේවයක් කළ යුතුය යන හැඟීම ඔහු සිත තුළ ඇති විය.   


ඒ අනුව ඔහු හඳුනාගත් රාගම රත්නායක මහතා මගින් වාද්දුව මහීගර්ජනාරාම විහාරස්ථානයට පැමිණ පැවිදි විය.   


ඒ අනුව රොෂාන් වික්‍රමසිංහ නමින් කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔහු ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඉන් පිට වූයේ කිරම ආනන්ද හිමියන් ලෙසය.   


ඊට අමතරව උන්වහන්සේ හෙළ වෙදකම හා නක්ෂත්‍රයද ප්‍රගුණ කළ අතර ආයුර්වේද පාරම්පරික මෙන්ම අයුර්වේද බී.එ්. උපාධියද ලබා ගැනීමට උන්වහන්සේ සමත් වූහ.   


පොහොද්දරමුල්ල විහාරස්ථානයේ ආගමික කටයුතු මෙන්ම වෙදකමද කරගෙන මහා සමාජ මෙහෙවරක් උන්වහන්සේ සිදු කළහ.   


මේ අතර මීට වසර කීපයකට පෙර එකම නැගණියද හදිසියේ මිය ගියාය.   


ඒ අනුව තමනට මාපිය උරුමයෙන් හිමි වූ රුපියල් කෝටි ගණනක් වූ ඉඩකඩම් දේපළ විකුණා මහා නිර්මාණයක් කිරීමට උන්වහන්සේ සිතා ගත්හ.   


පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රතිමාවලට මහත් ඇල්මක් දැක්වූ උන්වහන්සේ විහාරාධිපති පොහොද්දරමුල්ලේ ශාන්තාලෝක හිමියන්ගේ අනුශාසනා ඇතිව ඒවායේ අනුරූ විහාරස්ථාන භූමියේ ඉදි කරන්නට පටන් ගත්හ.   


ඒ අනුව රුපියල් ලක්ෂ 49ක් වැය කර ඉදි කළ අඩි 72ක් උස හිටි පිළිම වහන්සේ අනුරුව 2014 මාර්තු මාසයේදී විවෘත කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතිනි.   


ඉන්පසු වැඩ ආරම්භ කළ ගල් විහාරයේ බුදුනු වහන්සේගේ පිරිනිවන් මංචකයේ දිග අඩි 52කි. රුපියල් ලක්ෂ 90ක් වැය කර ඉදි කළ එම අනුරුව ඉකුත් අප්‍රේල් 28 වැනිද‌ා විවෘත වූයේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්මය.   


එදින ගල් විහාරයේ සමාධි පිළිමයේ අනුරුවද මුල් ගල් තබන ලදී.   


ඊට අමතරව උන්වහන්සේ රුපියල් එක් කෝටි 20 ලක්ෂයක මුදලක් වැය කරමින් විහාරස්ථාන භූමියේ ලොව විශාලතම ඝණ්ඨාරය සඳහා ඝණ්ඨාර කුලුන ඉදි කරමින් පවතී.   


මෙම ලොව විශාලම ඝණ්ඨාරයේ උස අඩි 7ක් වන අතර විෂ්කම්භය අඩි 5කි. තඹ ටොන් 3ක් ඒ සඳහා යොදා ගැනෙන අතර ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 3 1/2කි.   

 

 

තම මාපියන්ටත් නැගණියටත් පිං පිණිස තමා පුද්ගලික ධනයෙන් මෙම ප්‍රතිමා නිර්මාණය කළ බවත් ඒ සමස්ත බෞද්ධ ජනතාවටම වන්දනාමාන කිරීමට බවත් කිරම ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.   


මේ අතර උන්වහන්සේ වැඩ වාසය කරන පොහොද්දරමුල්ලේ මහීගර්ජනාරාම විහාරස්ථානය පිළිබඳවද මුඛ පරම්පරාගත කතා රාශියකි.   


දෙවන පෑතිස් රජ සමයට අයත් බව පැවසෙන එය මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරන ස්ථානයක් බවට පත්ව තිබේ.   


විහාරස්ථානය පුරාම දෙල්ගස් තිබූ හෙයින් මුලින්ම එම විහාරස්ථානය හඳුන්වා තිබුණේ දෙල්ගහ පන්සල නමිනි.   


ශ්‍රී ලංකා බෝධියේ දෙතිස් ඵල බෝධීන්ගෙන් එකක් මෙම විහාරස්ථාන භූමියේ අද ද පවතී.   


පො​ෙහාද්දරමුල්ලේ ධම්මතිස්ස හිමියන් විහාරාධිපති ධුරය දැරූ සමයේ 1815 දී පමණ මෙහි මැටියෙන් චෛත්‍යයක් සාදවා ඇත. එය තැන්පත් කිරීම සඳහා ධාතුන් වහන්සේ නමක් නොවූ හෙයින් එය විවෘත කිරීම පසුවෙමින් තිබුණි.   


දිනක් වයස්ගත පුද්ගලයකු පැමිණ ආවාස ගෙය ඉදිරිපිට සිට ගත්තේය.   


‘‘හාමුදුරුවනේ මා ළඟ ධාතූන් වහන්සේ නමක් සිටිනවා. එය චෛත්‍යයට නිදන් කරන්න’’ යැයි කී ඔහු ධාතූන් වහන්සේ විහාරාධිපති හිමියන්ට භාර දුන්නේය.   


සතුටින් ධාතූන් වහන්සේ අතට ගත් විහාරාධිපති හිමියෝ ආවාස ගෙය තුළට ගියේ ඔහුට තිළිණ කිරීමට යමක් ගෙන ඒමටය.   


එහෙත් ආපසු එන විට එම පුද්ගලයා අතුරුදන්ව සිටියේය. ඔහුගේ හැරමිටිය පමණක් ආවාස ගෙය ඉදිරිපිට විය.   


ඒ අනුව එම චෛත්‍ය ධාතූන් වහන්සේ නමක් නොව එම හැරමිටියද නිධන් කරන ලදී.   


ඒවා නිධන් කළ දිනයේ එක්වරම පොළොව සෙලවී ගිය බව මුඛ පරම්පරාගත කතා අනුව කියැවේ. දෙල්ගහ පන්සල මහීගර්ජනාරාමය වූයේ එම පොළොව සෙලවී යාමත් සමගය.   


අතීතයේ පටන් මෙම විහාරස්ථානය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් නවාතැන්පොළක් වශයෙන් පැවැති බවත් අනුරාධපුරය දක්වා ගමන් ගත් ස්වාමීන් වහන්සේලා මෙහි ලැගුම් ගෙන පසුව ගමන් කළ බවත් වත්මන් විහාරාධිපති කළුතර පළාත් උප ප්‍රධාන සංඝනායක වෛද්‍යචාර්ය පොහොද්දරමුල්ල ශාන්තාලෝක හිමියෝ ප්‍රකාශ කළහ.   


මෙම විහාරස්ථානයේ විහාර මන්දිරය නුවර යුගයේ චිත්‍රවලින් අලංකාර වූ එකකි. ඉතා රමණීය දේව රූප ඇතුළු නිර්මාණ රැසක්ද ඊට අයත්ය.   


ඒ අනුව බලන කල වාද්දුව පොහොද්දරමුල්ලේ පිහිටි මහීගර්ජනාරාමය මහා කලාගාරයක් නොවන්නේ යැයි කාට නම් කිව හැකිද?   

 

 

 

 

 

සටහන හා ඡායාරූප 
කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි