රටක දියුණුව අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා හොඳ ප්‍රවාහන සේවාවක් තිබිය යුතුය. හොඳ ප්‍රවාහන සේවාවක් සපයන්නට නම් හොඳ මාර්ග පද්ධතියක් ද තිබිය යුතුය. මෙරට යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෝ පවා දිවයිනේ සිව් දෙස යාකෙරෙන මහාමාර්ග පද්ධතියක් සේම දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකරනු ලැබුවේද ඒ නිසාය.


ඉහළ යන ප්‍රවාහන අවශ්‍යතා ඉටුකිරීම සඳහා මෙරට නගර, ගම්බිම් යා කෙරෙමින් ඉදිවෙන මහාමාර්ග ගැන මෙන්ම අධිවේගී මාර්ග ගැන ද අද ඇත්තේ අතීතයේ කිසි කලෙක නොවූ විරූ තරමේ උනන්දුවකි. ඒ උනන්දුව නිසාම රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා සිදුවෙතැයි කියන මාර්ග ව්‍යාපෘති ගැන මෙන්ම රජයේ මුදල් විනාශ කරමින් ඉදිවෙන කිසිදු ප්‍රයෝජනයක් නොමැති මාර්ග ව්‍යාපෘති ගැන ද අපට නිරතුරුවම අසන්නට ලැබෙයි.
ගම් බිම් යාකෙරෙමින් ඉදිවෙන මාර්ග පද්ධති ගැන මෙන්ම ප්‍රවාහන සේවාවන් ගැන ද වරින් වර බලයට පත්වෙන්නා වූ සෑම රජයක්ම කොතෙක් උදම් ඇනුව ද අදටත් යන්නට එන්නට හරිහමන් පාරක් තොටක් නැති ගම්මාන රැසක් ඌව පළාත තුළ පිහිටා ඇතැයි කිවහොත් ඇතැම් විට එය පිළිගන්නට ඔබ තරමක් මැළිවෙනු ඇත.


එහෙත් එය සත්‍යයකි. ඌව පළාතට අයත් මීගහකිවුල, රිදීමාලියද්ද, පස්සර, මහියංගණ, කන්දකැටිය, සොරණාතොට ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙවැනි ගම්බිම් රාශියකි.


යන්නට එන්නට හරි හමන් පාරක් තොටක් හෝ පොදු ප්‍රවාහන සේවාවක් නැති මේ ගම්වල ජනතාව ගමේ ගහ කොළවල හැදෙන කොස් ගෙඩිය, දෙල් ගෙඩිය, කිතුල් හකුරු ටික නගරයට රැගෙන යන්නේ හිස තබාගෙනය. පා ගමනින්ය. එසේත් නැතහොත් දවසකට වරක් හෝ සතියකට වරක් ගමට එන ලොරි රථයක එල්ලීගෙන දිවි පරදුවට තබාගෙනය. වැඩිහිටියන් පමණක් නොව මේ ගම්මානවල දරුවෝ පාසල් යන්නේ ද මේ අයුරින්මය.
සියවස් ගණනක දිගු ඉතිහාසයක් ඇති මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහතැන්න ගම්මානය ද මීට කදිම උදාහරණයකි.


රට පුරා කොතෙකුත් ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වුවත් මෙම ගම්මානයේ ජනතාව මෙම ගම්මානයේ සිට කිලෝමීටර් හත අටක් මෑතින් පිහිටි මීගහකිවුල නගරය වෙත පැමිණෙන්නේ සතියකට වරක් සිය ගම්මානය වෙත පැමිණෙන ලොරි රථයක ආධාරයෙනි.


මීගහකිවුල නගරයේ සිකුරාදා දින පැවැත්වෙන සති පොළ වෙත සිය ගම්බිම්වල හටගන්නා එළවළු ටික, කොස් දෙල් ටික මෙන්ම කිතුල් හකුරු ටික පොදි බැඳගෙන ගමට එන ලොරියේ පටවා ගන්නා මෙම ගම්මු ඒවා මීගහකිවුල නගරයේ සති පොළ වෙත ගොස් අලෙවිකරති. ඉන් පසුව එසේ අලෙවිකර ලබා ගන්නා මුදලින් සතියකට අවශ්‍ය මිරිස්, තුනපහ ටික මිලදී ගෙන සවස් වෙද්දී යළිත් එම ලොරි රථයේම නැගී සිය ගම්බිම් වෙත පැමිණෙති. කිසියම් හේතුවක් මත ලොරිය නොපැමිණියේ නම් එකතුකර ගත් බඩු බාහිරාදිය හිස තබාගෙන කිලෝමීටර් තුන හතරක් පයින් ගමන් කර ප්‍රධාන මාර්ගයක් වෙත ගොස් බස් රථයක් අල්ලා ගන්නට ඔවුන්ට සිදුවෙයි. එසේත් නැතිනම් එකතු කර ගත් බඩු බාහිරාදිය කැලේට විසිකොට හිස් අතින්ම නිවෙස්වලට යන්නට සිදුවෙයි.


පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් මුහුණ දී සිටින මේ ජීවන රටාව ගැන මෙම ගම්වාසීහු සිය හඬ මෙලෙස අවදි කළෝය.


ඩී.එම්. පුංචිබණ්ඩා-

මහත්තයෝ, බෝගහතැන්න කියන්නේ අපේ ගම. අපේ අල්ලපු ගම පුවක්ගහවත්ත. මේ ගම්මාන දෙකම එක වගෙයි. ප්‍රධාන පාරේ ඉඳල මහ කන්දක් උඩ පිහිටීම නිසා හරියට පාරක් නැහැ. ඒ නිසා කිසිම දියුණුවක් නැහැ. ගමේ කිසි කෙනෙකුට ස්ථිර ආදායමක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඉඳල හිටල කරන ගොවිතැනින් තමයි මිනිස්සු කීයක් හරි හොයා ගන්නේ.


ඩී.එම්. ගංඇති-

මේ ගමේ කිසිම කෙනෙකුට රස්සා නැහැ. ස්ථිර ආදායමක් නැහැ. ගමේ ගහ කොළවල හැදෙන කොස් දෙල් ටික, පලතුරු ටික, එළවළු මැල්ලුම් ටික, පැණි හකුරු ටික පොළට ගෙනිහින් කීයකට හරි විකුණලා තමා කීයක් හරි හොයා ගන්නේ.


ඩී.එම්. චන්ද්‍රරත්න-

මේ ගම හරිම සරුසාරයි. හැම දේම හැදෙනවා. ඒ වගේම බේත්, පොහොර නැති මේ ගමේ එළවළු, පලතුරුවලට නගරයේ අයගෙනුත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒත් මොනව තිබ්බත් මේව නගරයට අරන් යන්න අපිට ක්‍රමයක් නැහැ.


මේ ගස්වල ඇතිවෙන්න කොස් දෙල් හැදෙනවා. හැදිල වැටිල කුණු වෙලා යනව. හැබැයි අමාරුවෙන් හරි ගෙනිච්චනම් කීයක් හරි හොයා ගන්න පුළුවන්.


ඩී.එම්. සෙනවිරත්න-

අවුරුදු ගාණක් තිස්සේ අපි ජීවත් වෙන්නේ ගමේ ගස් කොළංවල හැදෙන එළවළු පලතුරු පැණි හකුරු ටික මීගහකිවුල නගරයට ගෙනිහින් විකුණලයි.


ටික කාලෙකට ඉස්සර මේ ගමට එන්න තිබුණෙ අඩි පාර. ඒ කාලේ ගමට වාහන එන්නේ නැහැ. ගමේ ඉඳල හැතැක්ම හතරක් විතර පහළින් තිබුණු කැටවත්ත ගමට ගියාම පානදුරේ ඉඳල කැටවත්තට එන බස් එක අල්ලගන්න පුළුවන්. ගමේ අය බඩු මුට්ටු ඔළුවේ තියාගෙන රෑ පානෙ පන්දම් අල්ලගෙන තමා බස් එකට යන්න ඕනෑ. බඩු වැඩිපුර තිබුණොත් කලින් දවසේ ගිහින් බස් එක නවත්තන ගෙදර මඩුවක ඒව අහුරල තියනවා.


ඩී.එම්. හීන්මැණිකා-

මේ ගමේ හැමෝම වගේ ජීවත් වෙන්නේ පොළේ ගිහින් මොනව හරි ටිකක් විකුණලයි. ඒත් ඉතින් අපිට මේ හැදෙන දෙයක් නගරයට ගෙනියන්න පහසුකම් නැහැ. ගම පල්​ෙලහැ කැටවත්ත ගමේ ඉන්න රූපේ මල්ලිට පින් සිද්ධ වෙන්න එයා සිකුරාදා පාන්දර වෙද්දී ලොරිය අරගෙන ගමට එනවා. අපි ඉතින් එකතුකර ගත්ත බඩු ටිකත් ලොරියට පටවාගෙන පුළුවන් විදිහට අපිත් වාඩිවෙලා මීගහකිවුල පොළට යනවා. හැබැයි අපි ලොරියෙන් බහින්නත් ඉස්සර මිනිස්සු ඇවිත් ලොරිය වට කරගෙන අපේ බඩු ඉල්ලනව. බේත් පෝර නැති අපේ එළවළු පලතුරුවලට මිනිස්සු ඒ තරම්ම කැමැතියි.


බොහෝ දුෂ්කරතා මැද්දේ දිවි ගෙවන මෙම ගම්මු තම දරු පැටවුන් උස් මහත් කරවන්නේ එළවළු පලතුරු ටිකක් මේ අයුරින් සති පොළ වෙත ගෙනවිත් අලෙවි කිරීමෙනි. සතියට ඇවැසි මිරිස් තුන පහ ටික, දරු පැටවුන්ට ඇවැසි පත පොත මෙන්ම ඇඳුම් පැලඳුම් මිලදී ගෙන බේතක් හේතක් කරගන්නට කීයක් හෝ මිරිමසා ගන්නේ ද මෙසේ පොළට පැමිණ උපයා ගන්නා සොච්චම් මුදලෙන්ය.


බඩු මුට්ටු හිස තබාගෙන සැතපුම් ගණන් පයින් ගොස් ප්‍රධාන මාර්ගයක් වෙත පැමිණි තමුන්ට කැටවත්ත ගමේ රූපේ මහතාගේ ලොරියෙන් ඉටුවෙන්නේ මිල කළ නොහැකි සේවයක් බව මේ ගම්මු පවසන්නේ මහත් කෘතවේදීත්වයකින්ය. රූපේ මහතාගේ ලොරියෙන් තම ගම්වාසීන්ට සිදුවෙන්නා වූ සේවය මිල කළ නොහැකියැයි මේ ගමේදී අපට හමු වූ ඩී.එම්. ආරියදාස මහතා කියා සිටියේ දැඩි කෘතවේදීත්වයකිනි.


“මහත්තයො මේ රූපේ මල්ලිට පින් සිද්ධ වෙන්න අපි මේ ගමේ හැදෙන දෙයක් පොළට අරන් ගිහින් කීයක් හරි හොයා ගන්නවා. කඳු හෙල් මැදින් වැටුණු මේ අබලන් පාරේ වෙන කිසිම වාහනයක් ආවේ නැතත් හැම සිකුරාදාම රූපේ මල්ලිගේ ලොරිය ගමට එනවා යි ආරියදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.


මෙම ප්‍රවාහන සේවාව වෙනුවෙන් රූපේ මහතා කිසියම් මුදලක් අය කළද එය සැබෑවටම මුදලින් තක්සේරු කළ නොහැකි සේවාවක් බව මේ ගම්මු පවසති. එ් නිසාම රූපේ මහතා පිළිබඳව මේ ගම්මුන් තුළ ඇත්තේ අපමණ ගෞරවයකි. මහත් ආදරයකි. ඒ අයුරින්ම තමුන්ගේම ඥාති පිරිසක් බඳු වූ මේ ගම්වාසීන් පිළිබඳව රූපේ මහතා තුළ ඇත්තේ ද එබඳුම කරුණාවකි. ළෙන්ගතු කමකි. වසර ගණනාවක් තිස්සේ මේ මිනිසුන් වෙනුවෙන් ඉටු කරන්නා වූ මෙහෙය ගැන ඔහු මෙසේ කීවේය.


බො​්ගහපතන කියන්නේ හරිම දුෂ්‍කර ගමක්. හරියට පාර හදල නැහැ. කෙටි වංගු පල්ලම් මහ කඳු. ඒ මදිවට පාර හරිම පටුයි. යන්තම් අත්වැරැද්දක් උනොත් කොහේ නවතියි ද කියන්න බැහැ. ඒත් හැමදාම මේ මිනිස්සු මේ මිනිස්සුන්ගේ දරු පැටව් විඳින දුක දැකල තමයි මම මේ විදිහට ලොරියෙන් මේ ගමට ඇවිත් මේ අය නගරයට අරන් යන්න පටන් ගත්තේ.


මම හැම සිකුරාදාම උදේ පහ වෙද්දි මේ ගමට එනවා. ගමේ අය 20-30ක් පන්දම් අරගෙන කන්ද බැහැල පාර දෙපැත්තට වෙලා බඩු ලෑස්ති කරගෙන ඉන්නවා. කොච්චර බඩු මුට්ටු වගේම සෙනඟ හිටියත් මම ඒ අය දාල යන්නේ නැහැ. බැරිම උනොත් කට්ටියක් පහළට ගිහින් දාල ආය සැරයක් ඇවිත් ඉතුරු අය එක්ක යනවා.


මේ ගමේ ඉඳල මීගහකිවුල නගරයට කිලෝමීටර් දහයකට වඩා තියෙනවා. ලොරියට ගාස්තුවක් කියල මම ගාණක් නියම කරන්නේ නැහැ. ඒ අය යනවට එනවට වගේම ගේන බඩු මලු ගානට සාධාරණයි කියල හිතෙන මුදලක් මට දෙනව. මමත් කීයක් දෙනවද කියල කිසිම දවසක ගැනල බලන්නේ නැහැ. සාක්කුවට දා ගන්නව.


අනෙක තමයි කිසිම දවසක මේ අය මට උදේට සල්ලි දෙන්නේ නැහැ. මම ඉල්ලන්නෙත් නැහැ. බඩු ටික පටවගෙන උදේට එන අය හවසට තමයි මට කීයක් හරි දීල බැහැල යන්නේ.


මේ මිනිස්සු පුදුම දුකක් විඳල තමයි මැල්ලුම් මිටි ටිකක්, කොස් දෙල් ටිකක් අරන් පොළට එන්නේ. පොළට ආවම සමහරු ඒව කුණු කොල්ලෙට ගන්නව. ඒ මදිවට පොළ කුලී කියල මුදලක් මේ අය ගෙවන්නත් ඕනෑ. ඒත් ඉතින් මේ අයට වෙන කරන්න දෙයක් නැතිකමත් අනෙක් අවශ්‍යතා පිරිමහ ගන්න තියෙන ​වුවමනාවත් නිසා සෑම සිකුරාදාකම ඒ අය මේ විදිහට එනව. අනෙක ඉතින් මේ අයට මේ​ ගේන කිසි දේකට මුදලක් වැය වෙන්නේ නැහැනේ.


මීගහකිවුල නගරයේ සති පොළ පැවැත්වෙන සිකුරාදා දිනයේ අලුයම 3.00 පමණ වෙද්දී කහට කෝප්පයකින් දවස අරඹන මේ ඇතැම් ගැමියන්ගේ කුසට යළිත් අහරක් වැටෙන්නේ එදින සවස් වරුවේ නිවෙස් වෙත යාමෙන් පසුව බවද රූපේ මහතා කියා සිටියේය.

 

 

මේ මිනිස්සු ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ. උදේ එන මේ අය දවල් වෙනකම්ම අව්වේ ඉඳගෙන මේ ගේන දේවල් විකුණනවා. සමහර වෙලාවට උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවත් ඒවා ඉතිරිවෙනවා. හැබැයි ඉතින් කෙසෙල් ගෙඩි මැල්ලුම් වගේ දේවල්වලට නම් ඉහළ ඉල්ලුමක් තියෙනවා. හැබැයි කොස් දෙල් තියෙන කාලෙට ගේන ඒව පොළේම අත ඇරල යන වෙලාවලුත් තියෙනවා.


මාර්ගයේ යන එන බොහෝ බස් රථවලට මෙන්ම පොදු ප්‍රවාහන සේවාවන්ට නිසි කාලසටහනක්, වේලාවක් තිබුණ ද රූපේ මහතාගේ ලොරියට එබඳු කාල වේලාවක් නොමැත.


මේ ලොරියේ උදේට එන කිසිම කෙනෙක් වෙන වාහනයක් තිබුණත් ඒ වගේ යන්නේ නැහැ. එයාල කීයට හරි මම එනකම් පාර අයිනට වෙලා වාඩිවෙලා ඉන්නව. මමත් ඉතින් මේ අය මට පුලුවන් විදිහට රෑ බෝ වෙන්න කලින් ගෙවල්වලට ගිහින් අරිනව.


ලොරියේ ගමන අනාරක්ෂිතය. දුෂ්කරය, එහෙත් රූපේ මහතා එම කටයුත්ත ඉටු කරන්නේ දේව කාරියකටත් වැඩි කැපවීමකිනි. මේ මිනිස්සුන්ගේ පිහිටට සිටින්නේ තමාත් තම ලොරි රථයත් බව දන්නා රූපේ මහතා කිසි දිනෙක මෙම මිනිසුන් රස්තියාදු නොකරයි. ලොරියේ සුළු කාර්මික දෝෂයක් පවා තිබුණහොත් එය දෙවරක් නොසිතාම හෙතෙම මහත් උනන්දුවෙන් එය නිවැරදි කර ගනියි.


ගමන දුෂ්කර වුවද මේ ලොරි ගමන එක් අතෙකින් හරිම අපූරු අත්දැකීමකි. බඩු මුට්ටු පුරවාගෙන එකිනෙකාට තෙරපෙමින් පැද්දෙමින් උසුළු විසුළු කරමින් ඇතැම් විට රැවුම් ගෙරවුම් පාමින් නගරය කරා යන මේ ගමන එක් අතෙකින් සුන්දර මනරම් අත්දැකීමක් බවද මේ ගම්මු කියති. වසර ගණනාවක සිට එකට එක් වී ලොරියේ යන එන මේ නඩය තුළ ඇත්තේ ද අපූරු ළෙන්ගතුකමකි. එකමුතුවකි. මේ එකමුතුකම නිසාම ඔවුහු එකිනෙකා ආමන්ත්‍රණය කරගන්නේ ද මාමා, නැන්දා, අයියා, මල්ලී ආදී නෑකම්වලිනි. කිසිවෙකුටත් කරදරයක් හිරිහැරයක් වූවොත් ඒ අවසන් වෙන්නේ ද එකට එන සියලු දෙනා මැදිහත්වීමෙනි.


මේ මිනිසුන් ඉඳහිට සිනහසෙන්නට උත්සාහ ගත්ත ද තමුන්ට ඇති වී තිබෙන ඉරණම පිළිබඳව ඔවුන්ගේ සිත් තුළ ඇත්තේ දැඩි කලකිරීමකි. තම දෙමාපියන් අත්විඳි දුෂ්‍කරතාව එලෙසින්ම අඩුවක් නැතිව අත්විඳින තමුන්ට ඒ දුෂ්‍කරතාව තම බාල පරපුරට ද දායාද කරන්නට සිදුවීම ගැන මේ ගම්මුන්ට ඇත්තේ මහත් සංවේගයකි. කලකිරීමකි.


මේ කලකිරීම ගැන හොඳින් දන්නා දේශපාලකයෝ ද සෑම මැතිවරණයකදීම ඔවුහු මුහුණ දී සිටින මෙම ප්‍රවාහන ගැටලුව පිළිබඳව ගම්මුන්ට සිහින පෙන්වති. සිහින අතරේ අතරමං වෙන ගම්මුද මාරුවෙන් මාරුවට ඔවුන් බලයට පත් කරති.


ගමට පාරක් කපාගෙන ගමට ආලෝකයක් ගෙන දෙන්නට නිරතුරුවම සිය කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කරන බෝගහපතන ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඩී.එම්. පුංචිබණ්ඩා මහතා පවසන්නේ බෝගහපතන ගම්මානයට පසුව ජනාවාස වූ ගම්බිම්වලට පවා මේ වෙන විටත් බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා ඕනෑවටත් වඩා ක්‍රියාත්මක වෙන බවකි.


පොදු ප්‍රවාහන සේවාවක් යනු බෝගහපතනට නම් තවත් දශක ගණනාවකට සැබෑ නොවන්නා වූ සිහිනයකි.


පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ බෝගහපතනේ ගම්මුන් දකින්නා වූ හීනය සැබෑවක් කළ හැක්කේ මේ රට කරවන ඇත්තන්ටත් මනාප හොයාගෙන මැතිවරණ සමයේදී මේ ගමේ ගෙන් ගෙට ගිය දේශපාලකයින්ටත් පමණි.

 

 

 

 

සටහන ඡායාරූප වියලුව වාර්තාකරු 
නිශාන්ත කුමාර