‘‘ඔයාට පුළුවන්ද හොඳ පොල් ගෙඩි දෙක තුනක් ගෙනත් දෙන්න’’ යයි මගේ බිරිඳ මට මල්ලක් ද අතට දෙමින් කීවාය.   


මම මල්ලත් රැගෙන බිරිඳට කඩේ ගියෙමි. අප නිතර පොල් ගන්නේ ගොළුමඩම හන්දියේ කල්දෙමුල්ල පාරට හැරුණ ගමන් තියෙන එළවළු කඩෙනි. තරමක ලොකු පොල් ගෙඩි තුනක් තෝරා දුන් මුදලාලි හාමිනේ ගෙඩි තුනට රුපියල් තුන් සියයක් ගත්තාය.   


‘‘පොල්වල ගණන් ඇහැව්වාම එලොව පොල් පෙනෙනවානේ’’දැයි කඩේට බඩු ගන්න ආව කෙනෙක් මගෙන් ඇසීය.   


මම ගෙදර පැමිණි පසු පොල්වල මිල ගණන් කියමින් හාන්සි පුටුවේ ඉඳගතිමි. මගේ සිත ඈතට ඈතට ගියේ මටත් නොදැනීමය. එකල පාසල් යන කාලේ අපි ‘ශ්‍රී’ සඟරාවට ලිපි ලිව්වේ අපි කීවේ මා මිත්‍ර කුලරත්න ආරියවංශ (ප්‍රවීණ ගීත රචක) සමගය. දවස නිවසින් නිකුත් වූ මේ මාසික සඟරාවේ සංස්කාරිකා ශ්‍රියා රත්නකාර මහත්මිය කිසිම හැඳිනීමක් නැතිවම මේ ලිපි පළ කළාය. හඳුනා ගැනීමෙන් පසු ඇය අපට ‘ශ්‍රියා අක්කා’ වූවාය. අපේ ලිපි පළ කළා පමණක් නොව ඒ සඳහා රුපියල් දහයක චෙක් පතක් ද ප්‍රදානය කළාය. එදා රුපියල් 10 අපට මහ මෙරක් විය. මේ හැටේ දශකයේ මැද හරියේය. ශ්‍රියා අක්කා එදා බඩු මිල ගැන අපූරු ලිපියක් ලියා තිබුණා. මට මතක් විය. දවස් දෙක තුනකින් මට එ් ලිපිය සොයා ගත හැකි විය. ලිපියේ මැය වූයේ ‘‘ගෘහනිය තෙරපන ජීවන බර’’ය. ඒ ලිපිය පටන් ගෙන තිබුණේ කෙටි කතාවක හැඩයෙනි.   


‘‘මා අසලින් එදා බස් රථයේ අසුන් ගත්තේ වයසක වට්ටි අම්මා කෙනෙකි. හිස් වට්ටි ටික රියැදුරු අසුන ළඟ තැබු ඇය මා අසලින් වාඩි වූවාය. බිමට නැඹුරු වී ඇඳි චීත්තයෙන් මුහුණේ දහදිය පිස දමා ගත් ඇය ඉනේ තිබූ කඩල ගොටුවක් ඇද ගත්තාය. ඇය මා දෙස බලා ‘‘බලන්න දුවේ ගොටුවේ කඩල කීයද තියෙන්නේ කියලා. මේකට මගෙන් සත දහයක් ගත්තා’’. ඇය ගොටුව මා වෙත දිගු කළාය. මම හිස වැනුවා මිස උත්තර නොදුන්නෙමි. නමුත් ඇය දෙස බැලූ නිසාදෝ ඉන් දිරි ගත් ඇය නොනවත්වාම මා සමඟ කථා කරන්නට වූවාය.   


එතැන් සිට වට්ටි අම්මා ශ්‍රියා අක්කාට විස්තර කර තිබුණේ ගම අසලින් සොයා ගන්නා දේ කොටුවට ගෙන වුත් වෙළෙඳාම් කර ඉන් ලැබෙන ආදායමෙන් ඉතා දුක්බර ජීවිතයක් ගත කරන බවය. ඇය දිනකට රුපියල් තුනක් පමණ ලාභ වශයෙන් උපයා ගන්නා බවය. නමුත් ඒ මුදලින් ඇය දරුවන් පස් දෙනෙක් නඩත්තු කළ යුතුව ඇත. සැමියා කුලී කරුවෙකි. ඔහු උපයන මුදල මඳ නිසා තමා මෙසේ දහඩිය වගුරවන බව කියා තිබුණි. ඒ මුදල ඇයටත් දරුවන්ටත් යැපීමට සෑහේද ශ්‍රියා අක්කා ප්‍රශ්නාර්ථයක් දක්වා එදා නගර බද කම්කරුවන්ටත් ගම්බද ගොවීන්ටත් මධ්‍යම පන්තියටත් දරා ගත නොහැකි අයුරින් දිනෙන් දින ජීවත් වීමේ ප්‍රශ්නයේ බර මිරිකෙන්නේ ස්ත්‍රියයි. නැත්නම් ගෘහිණිය බව දක්වන්නීය. ඇය මෙසේ ද කියන්නීය.   


‘‘කලකට පෙර නම් පොල් සම්බෝලයක් සමග හෝ පරිප්පුවක් සමග හෝ කරවල බැදුමක් සමග හෝ උයා ගත් බතකින් වේලක් පිරිමසා ගැනීමේ වරම ගෘහිණියට තිබුණි. නමුත් අද (1965 වසරේ) ඇයට එසේ පිරිමසා ගැනීමට පුළුවන්කමක් තිබේද? අපේ රටේ පොල් බහුලව වැවෙති. නමුත් පොල් ගෙඩියක මිල කීයද? හොඳ පොල් ගෙඩියක් ශත 25 ක් පමණ වෙයි. අඩුම ගණන ශත 18කි. පොල් සම්​බෝලයක් සාදා ගැනීමට අවශ්‍ය මිරිස් රාත්තලක මිල රු. 1.30 සිට 1.40 දක්වා වෙයි. මිරිස් රාත්තලක් එක වරම ගැනීමට තරම් හැකියාවක් ඇත්තේ අප කීයෙන් කී දෙනෙකුටද?   


වැඩි වශයෙන් අප ගෙවල්වලට ගෙන එන්නේ මිරිස් රාත්තල් 1/4 යි. නොමැති නම් මිරිස් ශත දහයකයි. ශත දහයක මිරිස් ඉල්ලූ විට කරල් 10 ක් නැත්තම් 12 ක් පමණ ලැබෙයි. එය දවසකටවත් සෑහේද? දරුවන් කිහිප දෙනෙකු සිටින පවුලකට යම්තම් වේලක් පිරි මසා ගැනීමට පරිප්පු රාත්තල් 1/4 තිබුණොත් ප්‍රමාණවත් වෙයි. නමුත් අද පරිප්පු කෝ? පරිප්පු දෙන්නේ සමුපකාරයෙන් පමණය. රාත්තලක මිල ශත 52කි’’. 

 
අද ගෘහිණියට මෙන්ම මීට වසර 53කට පෙර ද බඩු මිල නිසා එදා ගෘහිණියට ද එලොව පොල් පෙනී තිබෙන බව ශ්‍රියා අක්කාගේ මේ ලිපියෙන් මොනවට පැහැදිලි වේ.   


1970 දසකයේ මුල් හරියේ ‘සරසවිය’ හා ‘නවයුගය’ පත්‍රවල සේවය කරන කාලයේ ඉඩ ලැබෙන ආකාරයට කොළඹ 07 රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙවීම් කාමරයට ගොස් පැරණි පුවත්පත් කියවීමෙන් එහි තොරතුරු සටහන් පොතක ලියා තබා ගැනීමේ පුරුද්දක් මට තිබුණි. මෙවැනි සටහන් පොත් රැසක් මා සතු වෙයි. ඒවායින් ඇතැම් විට විශේෂාංග ද ලීවෙමි.   


‘‘මේවා දැන් ඔයාට ඕනැත් නැතිව ඇති පරණ වෙලා. දූවිලි පිරිලා දුර්වර්ණ වෙලා අපි මේවා අයින් කරමු’’ දැයි බිරිඳ නිතර ඇසුවත් මම ඇයට එහි අගය පහදා දී ඒ සටහන් පොත් නිධානයක් සේ රැක ගතිමි.   


ශ්‍රියා අක්කා ලියූ ඉහත සඳහන් පැරණි ලිපිය කියවීමෙන් පසු මම සටහන් පොත උඩින් පල්ලෙන් බැලුවෙමි.   


‘‘කම්කරු පවුලක වියදම රු. 193 ක්’’ බව කියවෙන පුවතක් 1951 ජනවාරි 05 දා ‘ලංකාදීප’ පත්‍රයේ පළ වී තිබුණි. එවකට සිටි සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ කේ. විලියම් මහතා ගණන් බලා ඇති බව ද එහි සඳහන් වේ. මේ අනුව කම්කරුවෙකුගේ මසකට වියදම රු. 192 ශත 50ක් බව කියවේ.   


ගෙවල් කුලීවලට රු. 11.22  
ගමන් වියදම් රු. 3.77   
දරවලට හා ලාම්පු තෙල් රු. 8.05   
රෙදි පිළි රු. 15.53   
ඉතිරි කිරීමට රු. 2.61  
පොලි ගෙවීමට රු. 2.40  
තෑගි බෝගවලට ශත 64  
උත්සවවලට රු. 3.90  
බෙ​ෙහත්වලට රු. 3.36   
මත්පැන් රු. 5.25   
චිත්‍රපට බැලීමට රු. 1.45 දුම් බීමට රු. 6.29   
කෑමට රු. 113.05   


1956 මිල දර්ශනය විශ්ලේෂණය කරන විට 1957 ජනවාරි 22 වැනිදා මැද කොළඹ 3 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තේමිස් මහතා කම්කරුවන්ට සහන කෝ? මැයෙන් ප්‍රශ්නයක් මතු කරමින් කළ කතාවක් ‘ජනතා’පත්‍රයේ පළ වී ඇති ප්‍රවෘත්තියක් ඇස ගැසිණි. ඔහු දක්වා තිබූ එදා බඩු මිල මෙසේය.   


​ෙපාල් ගෙඩියක් ශත 15 කි. දරවලට ශත 20 කි. එළවළු ශත 30 කි. කරවල හා මාළුවලට ශත 50 කි. මැල්ලුමක් ශත 10 කි. දෙහි, කරපිංචා, අමු මිරිස් ශත 10 කි. වියළි මිරිස්, ලුණු, ලූනු ශත 20 කි. ලාම්පු තෙල්, පොල් තෙල් බෝතලයක් ශත 20 කි. පස් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට (එක වේලකට) රු. 2 ශත 35 කි. ගෙවල් කුලිය (කෑලි 2 ක ගෙයකට රු. 15 කි)   


 මේ මිල දර්ශනය ඉදිරිපත් කරමින් තේමිස් මහතා පාර්ලිමේන්තුවේ දී කම්කරුවන්ට වහාම සහන සලසන මෙන් ඉල්ලා සිටියේය. 1956 වසරේ මාළු, එළවළු හා කරවල මිල දර්ශනය ද මගේ පොතේ සටහන් වී තිබුණි. තෝර මාළු රාත්තලයක් රු. 2 කි. පරව් රාත්තල ශත 75 කි. කෙළවල්ලා ශත 75 කි. ජීලා රු. 1.25 කි. කට්ටා කරවල රාත්තල රුපියලකි. මෝරා රු. 1.10 කි. තලපත් රු. 1.30 කි. තෝරා රු. 1.30 කි. පරව් රු. 1.30 කි.  
එළවළු මිල මෙසේය. ගෝවා රාත්තල ශත 15 කි. බෝංචි රාත්තල ශත 35 කි. කැරට් රාත්තල ශත 40 කි. ලීක්ස් ශත 35 කි. බීට්රූට් ශත 40 කි. වැටකොළු ශත 40 කි. පිපිඤ්ඤා ගෙඩියක් ශත 10 කි. තක්කාලි ශත 40 කි. කරවිල ශත 40 කි.   

 

 

1891 වසරේ උපත ලැබූ මාර්ටින් වික්‍රමසිංහ මහතා තමන් ඇසු විත්ති දුටු දැකුම් සිහි කොට ලියු ‘‘උපන් දා සිට’’ කෘතියේ තමා කුඩා කාලයේ දුටු බඩු මිල ගැන මතක් කරමින් තුට්ටු තුනක් ගෙවා හාල් සේරුවක් හා තුට්ටු හයක් ගෙවා රෙදි යාරයක් ගත් කාලයෙහි සතුටින් ජීවත් වූ ගැමියන් මුදලට ගිජු නොවූ බව සඳහන් කර තිබුණි. 

 
අන් බොහෝ ගැමියන්ට මෙන් අන්දිරිස් ගුරුන්නාන්සේට ද ගෙදර ඉඩමේ ගස්වලින් කෑමට වුවමනා පොල් ද එළවළු කොටුවෙන් එළවළු, පලා කොළ ද අමු මිරිස් ද ලැබිණ. ඔහු මුදල් ගෙවූයේ හාල්, ලුණු, මිරිස්, කරවල, ජාඩි හා මාළු ද ගනු පිණිසය.   


අලුත් අවුරුද්දට දෙදවසකට පමණ පෙර සිට අවුරුදු තෑගි රැගෙන තම පියා හමුවට ගමේ වෙළෙන්දෝ තුන් හතර දෙනෙක් පෙරහරක් මෙන් පැමිණෙන බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මොවුහු සිල්ලර බඩු රෙදි පිළි හාල් ගෝනියක් හා ලුණු, මිරිස්, සීනි, උම්බලකඩ ආදිය බරබාගයක පටවාගෙන එති. කාමරයෙන් අඩක් පිරෙන තරම් කැවිලි හාල් සිල්ලර බඩු කෙසෙල් කැන් හා එළවළු ද වික්‍රමසිංහ ගෙදරට ලැබේ. තෑගි කරින් හා හිසින් හෝ ගෙනෙන වෙළෙන්දෝ ගෙදරින් සංග්‍රහය ලබති. තෑගි බෝග ලබති. එය යුගයක කතාවකි.   


තමන් නිපද වු ද්‍රව්‍ය විකිණීමට හෝ ඒවා හුවමාරු කිරීමටත් තමන්ට උවමනා දෑ මිලයට ගැනීමටත් ගමට කිට්ටු නගරයට හෝ පොලවල්වලට යෑම ගැමියා කාලාන්තරයක් තිස්සේ සිට පුරුදුව සිටින සිරිතක් බව ජිනදාස විජයතුංග ලියු Grass For My Feet මා පයට තණතිල්ල කෘතියේ සඳහන් කර ඇත්තේ ද 1900 වර්ෂයේ පමණ කාලය ගැන මතකය ​අවදි කරමිනි.   


බඩු බාහිරාදිය හුවමාරු කිරීමට හෝ මිල දී ගැනීමට ගාලු ගිය ගමේ උදවිය ආපසු එනු පෙනේ. හැම කෙනෙකු අතේම ගාලු මාළු, මාර කැට්ටුව ඉදිරිපිට සතයකට විකුණන අමු පොල් කොළ පිරි වැස්ස බැගින් ඇත.   


​ෙවළෙඳ පොළට ගිය තැනැත්තාගේ වත් පොහොසත්කම හා කැමැත්ත අනුව මේ රැගෙන එන පිරිවැසි, රසවත් කරවල, හරක් මස්, එළු මස්, මූදු මාළු නගරයේ හැමදාම වාගේ පිරී ඉතිරී ඇති දිවුල් ඇතුළු නොයෙක් වර්ගයේ පලතුරු මුරුංගා, බණ්ඩක්කා වැනි එළවළු යනාදියෙන් පිරී ඇත. මේවා හැර ගෙදර බරබාගයේ ගොනාගේ කරට විය බානක් ද ලාම්පු තෙල් දැවීමට බෙලෙක් කුප්පි ලාම්පුවක් හා දුම්කොළ අතක් ද ගෙදර ඉතිරි වූ ලොකු කුඩා කාගේත් ඉමහත් සතුටට පත් වන වෙනත් දේ අතර ආපසු ගෙදර එන තැනැත්තාගේ පිරිවැස්සේ ඇත.   


මේ ආකාරයෙන් යුගයෙන් යුගය බඩු මිල වෙනස් වූ හැටි, එහි පරිණාමය සිදු වු අයුරු දැන ගත හැකි වුවත් අපට අද මෙන් එදත් බඩු මිල අසා එලොව පොල් පෙනුන බෙරි වුණ මුහුණු සහිත මිනිසුන්ගේ මුහුණු මනසින් සිහිපත් කර ගත හැකිය.   

 

 

 

ඒ. ඩී. රන්ජිත් කුමාර 
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්