පළාලි ගුවන් තොටුපොළේ කටයුතු ආරම්භ කිරීමට පැමිණි අර්ජුන රණතුංග අමාත්‍යවරයා 

 

 

මෙරට ඇති ගුවන් තොටුපොළ අතුරින් උතුරු පළාතේ ඇති වැදගත් හා යුද්ධය සමග බැඳුණු ගුවන් තොටුපොළක් වන්නේ පළාලි ගුවන් තොටුපොළයි. මෙරට පැවැති වාර්ගික අර්බුදයේදී රණවිරුවන් සඳහා ඉහළ දායකත්වයක් දුන් මෙම ගුවන් තොටුපොළේ පා ස්පර්ෂ වූ රණවිරුවෝ බතරයක් අද වනවිට මිහිමඬල යට නිදන්ව සිටිති. උතුරු පළාතේ යුද්ධය හා බැඳුණු මෙම ගුවන් තොටුපොළ අද වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ කොට තිබීම නම් පැසසිය යුතු කරුණක් වන්නේ රටේ සම්පත් එක් ප්‍රදේශයකට හෝ පළාතකට කේන්ද්‍ර නොකොට රටේ සෑම පුරවැසියකු සඳහාම නිසි අයුරින් හිමි විය යුතු නිසාවෙනි.   


පළාලි ගුවන් තොටුපොළ මෙරට වාර්ගික යුද ගැටුම් හා බැඳී පවතින, එය එම යුද්ධයේ රහස් රැසක් සඟවා සිටින ගුවන් තොටුපොළකි. අද වනවිට නිසංසලව පැවැතිය ද එවකට මෙම ප්‍රදේශවල මර බිය රජ කළ ප්‍රදේශ බව මෙරට සියලුම දෙනා දන්නා වූ කරුණකි.   


පළාලි ගුවන් තොටුපොළේ ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී එය ආරම්භ කිරීමෙන් පසුව අපට ලියන්නට ඇත්තේ මරණය හා බද්ධ වූ දුක කඳුළ පිරුණු කතා රැසකි.   
පළාලි ගුවන් තොටුපොළ ආරම්භ වන්නේ දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවන්ගේ මැදිහත්වීමෙනි. ඒ අනුව ඔවුන් විසින් යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි පළාලි ගුවන් තොටුපොළ ආරම්භ කරන ලදී. යුද්ධය අවසන් වීමෙන් පසුව එම ගුවන් තොටුපොළ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින් පවරා ගන්නා අතර පසුව 1947 දෙසැම්බර් 10 වැනි දින එයාර් සිලෝන් ගුවන් සේවය මගින් රත්මලාන ගුවන් තොටුපොළ් සිට මදුරාසියට කන්කසන්තුරෙයි හරහා ගමන් කරන ලදී. ඒ අනුව පළාලි ගුවන් තොටුපොළ මෙරටට නිදහස හිමි වීමෙන් පසු කොළඹට දේශීය ගුවන් ගමන් මෙන්ම දකුණු ඉන්දියාවට ජාත්‍යන්තර ගුවන් ගමන් සපයා තිබේ.   


මෙම ගුවන් තොටුපොළේ අඳුරුතම යුගය ආරම්භ වන්නේ කොටි ත්‍රස්තවාදය මෙරට තුළ දලු ලා වැඩීමත් සමගයි. කෙසේ වෙතත් කොටි ත්‍රස්තවාදය නිසා උතුරු පළාතට අහිමි වූ දේ බොහෝය. ජීවිත මෙන්ම මෙම ප්‍රදේශ මෙරට අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව දශක ගණනාවකින් පසුපසට ගමන් කළ බව නොරහසකි. ඒ සියල්ල උතුරේ දමිළ සිංහල හා මුස්ලිම් ජනයාට අහිමි කළේ ඒ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයයි.   


ඒ අනුව පළාලි ගුවන් තොටුපොළේ ගමන්, කොටි ත්‍රස්තවාදී තර්ජන හමුවේ නතර කර දමන්නට සිදුවිය. පසුව එම ප්‍රදේශවලට ආරක්ෂක අංශ පැමිණීමෙන් පසුව යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවට අතිශයින්ම වැදගත් ගුවන් තොටුපොළක් බවට පත් විය. ඒ අනුව ගුවන් තොටුපොළේ ආරක්ෂාව වෙනුවෙන් 1990 දශකයේ මුල් කාලයේදී පමණ ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් බවට පත් කරන ලදී. පසුව ආරක්ෂක අංශ විසින් වලිකාමම් ප්‍රදේශය අත්පත් කර ගැනීමත් සමග ගුවන් තොටුපොළ යාපනයට ඇති ඉතා වැදගත් සැපැයුම් මාර්ගයක් බවට පත්විය.   


ඒ අනුව පළාලි ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ලයන් එයාර් 1996 සිට සිවිල් ගුවන් සේවා ආරම්භ කරන ලදී. එමෙන්ම 1998 වසරේ මාර්තු මාසයේදී මොනාරා එයාර් ලයින් එම මාර්ගයේම ගුවන් ගමන් ආරම්භ කරන ලදී. නමුත් යුද හමුදා සෙබළුන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් ඇතිවූ ත්‍රස්තවාදී තර්ජන නිසාවෙන් මොනාරා 1998 සැප්තැම්බර් 16 සිට සිය ගමන් නතර කර දමන ලදී.   


මෙසේ යුද්ධය මැදින් වුව ද පළාලි ගුවන් තොටුපොළේ කටයුතු සිදු වුව ද එහි වූ අවාසනාවන්තම සිද්ධිය වන්නේ ලයන් එයාර් යානයකට එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයයි. එය එම ත්‍රස්තවාදීන්ගේ කුරිරුකම හා ම්ලේච්ඡත්වය ලෝකයටම විදහා පෑ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයකි. ඒ අනුව 1998 සැප්තැම්බර් මස 29 වැනි දින මෙරට ගුවන් ගමන් ඉතිහාසයේ අඳුරු දිනයක් විය. ඒ පළාලි ගුවන් තොටුපොළෙන් පිටත් වූ ලයන් එයාර් යානයකට එල්ල කළ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් නිසාවෙනි.   


මෙම ප්‍රහාරය පළාලි ගුවන් තොටුපොළේ ඉතිහාසය පිළිබඳවත් උතුරේ යුද්ධය පිළිබඳවත් කතා කිරීමේදී ඇති අතිශය බිහිසුණු හා අඳුරුතම කතාවකි. ඒ අනුව ලයන් එයාර් ෆ්ලයිට් 602 දරන යානය පළාලි ගුවන් තොටුපොළෙන් පිටවන්නේ රත්මලාන ගුවන් තොටුපොළ බලාය. එම ගුවන් යානය පළාලි ගුවන් තොටුපොළෙන් දහවල් 1.48ට පමණ පිටත් වූ අතර එය දහවල් 2.10ට පමණ අතුරුදන් වූ බවට වාර්තා වී තිබේ.   


ඒ අනුව මන්නාරම සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටා ඇති ඉරණතිව් ප්‍රදේශයේදී ඉහත අතුරුදන් වූ බව කියන යානය මුදට ක වැටෙණු ප්‍රදේශවාසීන් විසින් දැක තිබේ. ඒ අනුව එම යානයේ සිටි 55 දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූහ. පසුව අනාවරණය වූයේ කොටි ත්‍රස්තවාදීන් විසින් එම යානයට වෙඩි තබා බිම හෙළුෑ බවයි. මෙම ජීවිත අහිමි වන්නේ ත්‍රස්තවාදීන්ගේ ඇති ම්ලේච්ඡ බව නිසාවෙනි. කනගාටුවට කරුණ නම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් කඳුළු සලන්නන්, දහස් ගණනින් මිය ගිය මෙවන් අහිංසකයින් වෙනුවෙන් පෙනී නොසිමයි.

 

පළාලි ගුවන් තොටුපොළ  

 


මේ සමග යළිත් පළාලි ගුවන් තොටුපොළට හොඳ කාලයක් උදා නොවූයේ ත්‍රස්ත ක්‍රියා හමුවේ එම ප්‍රදේශය මාරණයේ පාරාදීසයක් වූ බැවිනි.   


පසුව 2002 වසරේ නෝර්වේජියානු මැදිහත්වීම මත මෙරට සටන් විරාමයක් ආරම්භ වන අතර එම වකවානුවේදී පළාලි ගුවන් තොටුපොළෙන් යළිත් සිවිල් ගුවන් සේවා ඇරැඹිණ. ඒ අනුව 2002 වසරේ ජුනි මාසයේදී එක්ස්පෝ එයාර් සිවිල් ගුවන් සේවා ආරම්භ කරන ලදී. ඒ යාපනය හා කොළඹ අතරයි. කෙසේ වෙතත් ඉල්ලුම පහත වැම හේතුවෙන් එක්ස්පෝ එයාර් සේවාව අත්හිටුවන ලදී.   


නමුත් දශක තුනක පමණ කුරිරු යුද්ධය අවසන්ව එකම රටක් බවට පත්වීමත් ත්‍රස්තවාදීන්ගේ සිහින ඊළාම් රාජ්‍යය සිහිනයක්ම බවට පත්වීමත් සමග 2012 වසරේ ජනවාරී මාසයේදී නැවතත් එම ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන ලදී.   


දශක ගණනාවක් පැවැති අඳුරු යුගය අවසන් කරමින් පළාලි ගුවන් තොටුපොළ ස්වර්ණමය යුගයකට වර්තමානයේ පා තබමින් සි. අනාගතයේදී උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්වීමට නියමිත මෙම ජාතික සම්පත මෙරටට දශක ගණනාවක් අහිමි කරනු ලැබුවේ මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදයයි.   
කෙසේ වෙතත් එම ත්‍රස්තවාදය අද වනවිට යුදමය වශයෙන් පරාජය වී අවසන්ය. සංවර්ධනය දැන් දැන් උතුරු පළාතට ක්‍රම ක්‍රමයෙන් සේන්දු වෙමින් පවතී. මෙය සැබැවින්ම සතුටු විය යුතු කරුණකි. ඒ අනුව පළාලි ගුවන් තොටුපොළ අනාගතයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කිරීමට උත්සාහ දරන සියලු ලාංකික දූ පුතුන් මෙහිදී ඇගයීමට ලක්කළ යුතුය. මන්ද එය යුගයේ අවශ්‍යතාවක් ලෙස සලකා ඔවුන් ඇප කැප වන බැවිනි.   


ඒ අනුව යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 22ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරනු ලබන අතර වත්මන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන අණතුංග මහතාගේ අදහස වන්නේ ඒ තුළින් පළාලි ගුවන් තොටුපොළ මෙරට තුන් වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බවට පත් කිරීමයි. එය උතුරු පළාතේ ජනතාවට ලබා දුන් තිළිණයක් බඳු බව මෙහිදී සඳහන් කළ යුතු වන්නේය.   

 

 


ඒ අනුව ප්‍රථම අදියර වශයෙන් පළාලි ගුවන් තොටුපොළේ ධාවන පථය දීර්ඝ කොට එයට මේ වනවිට ගොඩ බස්වන ගුවන් යානාවලට සාපේක්ෂ විශාල ගුවන් යානා ගොඩ බැස්විය හැකි ආකාරයට සංවර්ධනය කිරීම අපේක්ෂාව වන අතර පළාලි ගුවන් තොටුපොළේ දෙවැනි අදියර වශයෙන් මගී අවශ්‍යතා හා පරිපාලන අවශ්‍යතා සඳහා ගොඩනැගිලි ඉදිකිරීම, ජලය හා විදුලිය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සිදු කරනු ලබයි. මේ සියලු කටයුතු අවසානයේදී ශ්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස පළාලි ගුවන් තොටුපොළ නුදුරේදීම ජාතියට දායාද කිරීමට හැකි වේවායි ජාතියේ පැතුමයි.


පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ උතුරට නැවත යාල්දේවි දුම්රිය ගමන් ආරම්භ කළ මුල් කාලයේ කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව පවුල් පිටින් සිය දූ දරුවන් රැගෙන දුම්රිය මාර්ගය දෙපසට පැමිණියේ ජීවිතේ කිසි දිනක තම දූ දරුවන් දැක නැති දුම්රිය ඔවුන්ට පෙන්වීමටයි. ඔවුන් එම තත්ත්වයට ඇද දැමූවන් අද නරකාදියේ සිටිනු නොඅනුමානය. මහින්ද රාජපක්ෂ රජය මගින් උතුරට ලැබුණු සංවර්ධන දායාද අතර දුම්රිය මාර්ගයත් ඒ 9 මාර්ගය ඇතුළු නවීකරණය වූ උතුරේ මාර්ග පද්ධතිය උතුරේ ජනතාවට ලැබුණු මහඟු සංවර්ධන දායාදයන් බව මෙහිදී සඳහන් කළ යුතුය. එසේම උතුරේ අහිංසක වැසියන්ට නුදුරේදීම වත්මන් ආණ්ඩුව යටතේ ලැබෙන ප්‍රධානතම සංවර්ධන තිළිණය වන්නේ පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. එයට ඇප කැප වූ සියලු දෙනාටම ප්‍රණාමය පළ කිරීමට මෙහිදී අමතක නොකළ යුතුය.   

 

 


යාපනය ප්‍රදීප් කුමාර