‘‘තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා  
එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා  
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා  
උගත මනා ශිල්පය මයි මතු රැකෙනා’’
  
අධ්‍යාපනය යනු කිසිවෙකුටත් සොරාගත නොහැකි තමන්ගේ ජීවිතයට අාභරණයක් වන වටිනාම සම්පතක් බව එදා පද්‍යයෙන් පසක් කර දුන්නේ එසේය. එය සර්වකාලීනය.  
 
ඊට නිදර්ශන සපයමින් ජීවිතය දිනාගත් අයද බොහෝය. එවන් වූ අය අතරට එක්වීමට ඇපකැප වන තවත් සුවිශේෂි චරිතයක් අපි හඳුන්වා දෙමු. ඔහු පොලිස් කොස්තාපල්වරයෙකි. නිවසේ වගකීම්, සමාජයේ වගකීම්, රැකියාවේ වගකීම් ඉටුකරමින් අභියෝග ජයගනිමින් ඉදිරියට යන්නෙකි. නමින් ඔහු ​ෙපාලිස් කොස්තාපල් 84019LG සජිත් ලක්රුවන් ද සිල්වාය.  
 
පොලිස් සේවයේ සිටියදී නීති අධ්‍යාපනයට ඇතුළුවීමේ විභාගය ඉහළින් සමත් වූ ඔහු නීතිය හැදෑරීම අපේක්ෂාවෙන් පසුවෙයි. මේ ඔහු සමග කළ සාකච්ඡාවයි.   
 
ඔයාගේ පවුලේ විස්තර මුලින්ම දැනගනිමු   
 
මගේ පවුලේ සහෝදර සහෝදරියේ දහයක් හිටියා. අම්මයි තාත්තතයි දොළහයි. (දැන් අම්මයි තාත්තයි ජීවතුන් අතර නෑ)  
 
තාත්ත කෑගල්ල මධ්‍යම වෙළෙඳ පො​ෙළ් එළවළු ව්‍යාපාරයක් කරගෙන ගියා. අම්මා පෙර පාසල් ගුරු උපදේශිකාවක්. මට අක්කලා 5 යි අයියලා 4 යි හිටියේ. මගේ ලොකු අක්කා නීතිඥවරියක්. මමත් දැන් විවාහකයි. රඹුක්කන පින්නවල ජීවත්වෙන්නේ. අවුරුදු හතරක දියණියක් ඉන්නවා මට.  
 
ඔයාගේ පාසල් කාලය පිළිබඳ සඳහන් කළොත්  
 
මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ රඹුක්කන සුජාතා විද්‍යාලයෙන්. උසස් පෙළ කරන්න පාසල් ගියේ නෑ. සාමාන්‍ය පෙළෙන් පස්සෙ රැකියාවට යොමුවුණා. ඒත් මම අධ්‍යාපනය අත ඇරියේ නෑ. පෞද්ගලික පංතිවලට ගිහින් උසස් පෙළ විභාගයට පෙනී හිටියා.  
 
පාසල් කාලය තුළ මම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණා. පුංචි කාලේ ඉඳලම පොලිසියට බැඳෙන්න ආශාව තිබුණා.  
 
ඒ හැම ආශාවක්ම තියාගෙන උසස් පෙළ අවසන් විභාගයට පෙනී සිටියා. මම හොඳින් විභාගය සමත් වුණා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන උපාධියට ලියාපදිංචි වුණා. මේ වනවිට පළමු වසර සහ දෙවැනි වසර සමත් වෙලා ඉවරයි. අවසන් අවුරුද්ද ලියලා ප්‍රතිඵල අපේක්ෂා​ෙවන් ඉන්නේ.  
 
ඒ වගේම මට තව දෙයක් කියන්න ඕනෑ. මම සාමාන්‍ය පෙළ විභාගයට පරිවාර පන්ති ගියේ නෑ. අපේ ගුරුවරු අපට හුඟාක් මහන්සිවෙලා ඉගැන්වුවා.   
 
ඔබ පොලිස් සේවයට අනුයුක්ත වෙන්නේ කෙසේද? 
 
2009 අප්‍රේල් පළවෙනිදා මම පොලිස් සේවයට බැඳුණා. පහළගම ​ෙපාලිස් විද්‍යාලයෙන් තමයි මූලික පුහුණුව ලබාගත්තේ. දැන් පොලිස් සේවයට වසර 10ක් වෙනවා. මම මීගමුව නිට්ටඹුව කියන පොලිසිවල සේවය කර තිබෙනවා. ඊට පසු පොලිස් මූලස්ථානයට අනුයුක්තව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටුනායක බළකායේ කෑගල්ල අනුකලාපයේ රජකාරි කරනවා.  
 
පොලිස් සේවයේ සිටියදී නීතිය හදාරන්න අපේක්ෂා කළේ ඇයි?  
 
මගේ පවුලේ නීතිඥවරු කීපදෙනෙක් ඉන්නවා. ඒත් මට නීතිය හදාරන්න පසුබිම වුණේ එය නෙවෙයි. මම පොලිස් දෙපාර්තමේන්තුවට බැඳිලා වසර 8ක් ගියාට පසුවයි හිතුවේ නීතිය හැදෑරිය යුතුයි කියලා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයා සහ පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහත්තයා යන අය නීතිඥවරු. ඒ අය පොලිසිය වෙනුවෙන් කරන සේවය දැක්කහම මට ගොඩක් ආසා හිතුණා. මම හිතුවා මමත් පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු ලෙස නීතිය හදාරලා මගේ උපරිම සේවය පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දෙනවා කියලා.
  
කොයි කාලෙද ඔබ නීති අධ්‍යාපනයට මුල පුරන්නේ.  
 
මම 2017 වසරේ තමයි ඊට යොමු වුණේ. මම ගොඩක් ස්තූති වන්ත වෙනවා. නිට්ටඹුව පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් මහත්තයාට. මම හිටියේ රථ වාහන අංශයේ. සතියකට දවසක් මම පන්ති ගියා. අධ්‍යාපනය කටයුතුවලට මට ලොකු සහයක් ලැබුණා ඔවුන්ගෙන්.  
 
රාජකාරියත් සමග කාලය කළමනාකරණය කර ගත්තේ කොහොමද?  
 
පන්ති ගිහින් ආපසු පැමිණිලා නයිට් ඩියුටියක් කරනවා. හැමදාම ඩියුටි කරාට පස්සේ අපිට විවෙක වෙලාවක් ලැබෙනවා. ඒ විවේකයේ මම නිදාගත්තේ නෑ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබාගත්තා. සමහර දවස්වල රෑ හතයි අටයි ඕෆ් වෙනකොට. ඊට පස්සේ රෑ නවයේ ඉඳලා පාන්දර දෙක වෙනකම් පාඩම් කරනවා. පැය කීපයයි. නිදාගන්නේ. ආයෙත් පාන්දර 5ට නැගිටලා රාජකාරියට යනවා. ඒ වගේ කැපකිරීමත් කරලා මම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබාගෙන නීති ප්‍රවේශ විභාගය සමත් වුණා.  
 
ඒ ගැන මට නිහතමානි අාඩම්බරයක් තියෙනවා. මම පොලිස් දෙපාර්තමේන්තුවේ රාලහාමි කෙනෙක්. මමත් එක්ක මේ විභාගය ලිව්වා කළමනාකාරවරු වගේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු දරන නිලධාරින්. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්. උපාධිධාරින්. ඒ අය අපිට වඩා දැනුමින් ඉහල තත්ත්වයක ඉන්න අය. ඒත් මගේ කැපවීම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු අරගෙන සමත් වෙන්න පුළුවන් වුණා. මම පොලිසියට ගරු කරනවා. මට මේ ජයග්‍රහණය කරා එන්නට පුළුවන් වුණේ පොලිසිය නිසයි.  
 
පොලිස් දෙපාර්තමේන්තු​ෙවන් තමයි මට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදුන්නේ. මම ඊට ණය ගැතියි.  
 
අධ්‍යාපනයට පවුලෙන් ලැබුණ සහයෝගය කෙබඳුද?  
 
මම ඒ ගෞරවය මගේ බිරිඳට ලබා දෙනවා. ඇය තමයි මාව දිරිමත් ක​ෙළ්. විභාගය ළංවෙනකොට ඇය නිදිමරාගෙන මගෙන් ප්‍රශ්න අහනවා. දරුවා බලාගෙන නිවසේ කටයුතු කරගෙන සිටිය ඇය මට නිවසේ බර දැරීමට දුන්නේ නෑ. නිවසේ ගතකරන කාලය මට නිදහස් කර දුන්නා අැය.  
 
වගකීම් අඩුවුණ නිසා මගේ මනස සැහැල්ලුයි. ඉන් රැකියාවත් අධ්‍යාපන කටයුතුත් නිදහසේ සමබරව කරගත හැකි වුණා. අැය දුන්න සහයෝගය තමයි මගේ ජයග්‍රහණයේ රහස.  
 
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහය කෙබඳුද?  
 
අපේ උසස් නිලධාරීන් මට ගොඩක් උදව් කළා. නිට්ටඹුව පොලිසියේ එස්.අයි. මහත්තයත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමාත්, කටුනායක බලකායේ කර්නල් රංචාගොඩ සර්රුත් නිදහසේ අධ්‍යාපන කටයුතු කරන්න ලොකු නිදහසක් ලබා දුන්නා.
  
ඒ සියළු දෙනාටම ගොඩක් ස්තූතියි. ඒ වගේම අපේ පොලිස්පතිතුමාට විශේෂයෙන් ස්තූති කරන්න ඕනෑ. එතුමා තමයි අපිට ඉගෙන ගන්න අවශ්‍ය වතාවරණය සලසලා දීලා තිබෙන්නේ.   
 
ඔබ වගේ පොලිසියේ සිටින උසස් අධ්‍යාපනයට කැමති අයට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?  
 
අද වෙන කොටත් මට විවිධ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් කථාකර විස්තර ලබා ගන්නවා. උනන්දුව ඇති අය ‘‘මල්ලී අපිත් මේක කරන්න කැමති කොහොමද කරන්නේ කියලා අහනවා’’  
 
මට ඒ ගොල්ලන්ට කියන්න තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ඉගෙනගන්න කැමති අයට විශ්වවිද්‍යාලයක්. මේකේ පඩි මදි කියලා මේකට බැණ බැණ ඉන්න එක නෙවෙයි තියෙන්නේ. ඉගෙන ගන්නවා නම් පුදුම අවස්ථාවල් තිබෙනවා මෙහි. අපි ගන්න වැටුපට රාජකාරියක් කළ යුතුයි. එය තෘප්තිමත්ව ඉටුකරලා ලැබෙන හැම මොහොතකම ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කළොත් අභියෝග ජයගෙන අරමුණට ළගාවිය හැකියි. ​ඕනෑ විභාගයක් ජය ගත හැකියි. මම පොඩි තැනකින් ආපු පොඩි මනුස්සයෙක්.
 
දෙපාර්තමේන්තුවෙත් පොඩිම රෑන්ක් එකේ ඉන්න කෙනෙක්. ඒත් පොලිසියට ලොකු පිළිගැනීමක් තියෙනවා. අපි එහි ගෞරවය රැකගත යුතුයි. අධිෂ්ඨානය කියන එක අංක එකට තියා ගත්තොත් අභියෝග ජයගැනීම එතරම් දෙයක් නෙවෙයි. අපි පොලිස් පුහුණුවේ ලබාගත්ත ඒ දේවල් සාමාන්‍ය ජීවිතයට අදාල කර ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ වගේම මම ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමටත් උදව් කිරීමටත් නොපැකිළිව ඉදිරිපත්වෙනවා.  
 
ඔබ නීතිය හැදෑරීමෙන් පසු පොලිසියේම රැඳී සිටිනවාද? නීති වෘත්තිය තෝරා ගන්නවාද?  
 
මම නීති විද්‍යාලයට ඇතුළුවීමේ විභාගය ලියන්නේ ​ෙපාලිස් ​ෙදපාර්තමේන්තුව නිසා. මේ පිළිගැනීම ලැබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව නිසා මම නීතිඥවරයෙක් වෙලා මගේ මුළු දැනුමම කැපකරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. මම කිසිවිටෙක පොලිස් දෙපාර්තමේන්තුව හැර යන්නේ නෑ.
 
 
 
සටහන කුමාරි හේරත්